නුදුරේ පවත්වන මැතිවරණයකින් ජය ලැබිය හැක්කේ කාට ද?

මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි යැයි සිතන කණ්ඩායම් දෙකක් ගැන අපි දනිමු. එකක් සජබ ය. අනෙක ජාජබ ය. අද කුමක් සිදු වුව ද අප්පච්චී අත නාරින කොටසක් ද ඉන්නා බව ද අපේ සැළකිල්ලට යොමු වේ. පරණ ශ්‍රී ලංකා කාරයින් ද චන්ද යම් ප්‍රමාණයක් ලබා ගනු ඇත. ආසනයක් ලැබේ දැයි විශ්වාස නැතත් රනිල්ගේ එජාපය ද අලුත් තත්වය යටතේ චන්දය පතනු ඇත. රාජපක්ෂලාගෙන් වෙන් වූ පොදු ජන පෙරමුණු කණ්ඩායමක් බිහි වීමේ ඉඩක් ගැන ද මේ දිනවල කසුකුසුවක් පැතිරෙන්නේ ය. මුස්ලිම් හා ද්‍රවිඩ පක්ෂ වලට ආවේණික වූ චන්ද පදනමක් ද ඇත. ඒ තත්වය යටතේ තනි ජන වරමක් නැති පාර්ලිමේන්තුවක් පත්වීමේ විශාල ඉඩක් තිබේ.

ලංකාවේ මැතිවරණ වල චන්දය පාවිච්චි කරන ආකාරය පරීක්ෂාවෙන් බලන කෙනෙකුට පෙනෙන දෙයක් නම් පක්ෂය හා පුද්ගල සාධක එකට එතී ගමන් කරන බව ය. පක්ෂ සාධකය අවැදගත් නැතත් පුද්ගල සාධකය බොහෝ තැනක පක්ෂ සාධකය අභිබවා වුව යා හැකි බව ය. පක්ෂ මාරු කරන අය ද නිතර බලයට පත් වීම සම්බන්ධ දත්ත ඔ්නෑ තරම් ඇති නිසා ය. පවතින අර්බුදය හමුවේ ඒ තත්වය කොතෙක් වෙනස් වී ඇද්දැයි කියන්නට අප දන්නේ නැත. ඒ නිසා පුරුදු ජොකියන් වෙනත් පාටකින් වෙනත් ‌ලේබලයකින් නැවත පත්වීමේ ඉඩක් ද ඇත.

අර්බුදය පමණක් නොව ඊට එරෙහි ව මතු වූ අරගලය ද යම් යම් දේ වෙනස් කර ඇති බව ඇත්ත ය. එහෙත් සිදු නොවූ වැදගත් එක් දෙයක් තිබේ. ඒ නිශ්චිත විකල්ප නායකත්වයක් මතු නොවී ම ය. බොහෝ දේ ගැන විශ්වාසය බිඳී ඇති බව සැබෑ ය. එහෙත් විකල්පයක් ගැන නම් ඒ හැටි විශ්වාසයක් තවමත් ගොඩ නැගී නැත. ඒ නිසා මේ හිඩැස කෙසේ පිරවේ දැයි කියන්නට අප තවමත් ඉක්මන් වැඩි ය. මේ නිගමනය සම්බන්ධයෙන් සමහරු උරණ විය හැකි ය. ඒ තමන් පිළිබඳ අධිතක්සේරුවක් සහිත අය ය. ශුභවාදී වීමේ අවුලක් නැත. එහෙත් ඇතැම් තැනක දී යථාර්ථය ද සැළකිල්ලට ගත යුතු ය.

ගමේ මිනිස්සු චන්දය දෙන්නේ පක්ෂයට අමතරව ඒ පක්ෂය තමන් ජීවත්වන මහපොළොවේ නියෝජනය කරන්නේ කවුරුන් විසින් යන්න ද බලා ගෙන ය. ඒ නිසා පක්ෂ හා බලවේග විසින් විශ්වාසය ගොඩ නැගිය යුතු වන්නේ ජාතික නායකත්වය පිළිබඳව පමණක් නොවේ. ගමේ තමන් නියෝජනය කරන්නා ද සම්බන්ධයෙනි. අමාරු කාරණය එය ය. ඒ සාධකය ද මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් තීරණාත්මක ව බල පානු ඇත. මහපොළොවේ යථාර්තය සැළකිල්ලට ගත යුතු යැයි අප කියන්නේ ඒ නිසා ය.

මේ විමසුම වැදගත් වන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය නිසා අරගලය හා ජනතාව අපේක්ෂා කරන වෙනස් කම් කිරීමට නොහැකි යැයි යන පූර්ව නිගමනයේ පිහිටා මැතිවරණයක් පවත්වනු යන සටන් පාඨය ඉදිරිපත් කරන විපක්ෂ කණ්ඩායම් වලට ය.

අපට සිතෙන ආකාරයට අර්බුදය විසින් ද අරගලය විසින් ද පාර්ලිමේන්තුවේ බලතුලනය එක්තරා දුරකට වෙනස් කර ඇත. තවදුරටත් වෙනස් කර ගත හැකි ය. ඒ සඳහා කේවල් කිරීමට නව අගමැති තුමාට ද හැකියාවක් ඇත. 21 සංශෝධනයක් ගැන කතාබහ කරලියට පැමිණ ඇත්තේ ද ඒ සන්දර්භය යටතේ ය. ඒ හරහා වෙනස් කම් කර ගන්නට උත්සහ කර බැරි වන්නේ නම් මැතිවරණය සටන් පාඨය ඉදිරියට ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව ඇත්ත ය. එහෙත් එතෙක් ඒ විකල්පය බැහැර කිරීම ඥානාන්විත නොවේ. එය අරගලයේ ශක්තිය පවා බැහැර කරන අස්ථානයකි.

ඡන්ද විමසීම් තිබුණ ද එහි දී පවා මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අජ පල් වුව ද පාර්ලිමේන්තුවේ හැසිරීම නිශ්චය ලෙස දත හැකි තීරණාත්මක ඡන්ද විමසීමක් තව ම පැමිණියේ නැත. ඒ තත්වය යටතේ තිබෙන පාර්ලිමේන්තුව බැහැර කිරීමට පෙර තව අවස්ථාවක් දිය යුතු යැයි අපට හැඟේ. ඒ එය බැහැර කිරීමට සුජාත භාවයක් ලබා දීම ද සඳහා ය. 21 වෙනි සංශෝධනය ඒ සඳහා අවස්ථාවක් ලබා දෙනු ඇත. ඒ නිසා ම අද සටන් පාඨය විය යුත්තේ මැතිවරණයක් නොව 21 සංශෝධනය ඉක්මණින් ගෙන එනු යන්න ය. මැතිවරණය දෙවැනි වටයට ගත හැකි ය.

දේශපාලන පක්ෂ හා බලවේග වල දේශපාලන පරිණතභාවය පරීක්ෂා වන්නේ ඔවුන් ඉදිරිපත් කරන සටන් පාඨ කෙතරම් දුරට අවස්ථාවෝචිත ද යන්න අනුව ය. මේ සටහන ඔවුන්ගේ ඇස් අරවනු පිණිස ය.