අරගලය මං සන්දියක

අදට අරගලකරුවන් ගෝඨාගෝගම කඳවුරු බැඳ දින 50 කි. අරගලකරුවන් පැමිණියේ කඳවුරු බැඳීමට නොවන්නට ඇත. කොහුවල, නෙළුම් පොකුණ අභියස, මිරිහානේ ජනපති නිවස ඉදිරිපිට පමණක් නොව හන්දියක් ගානේ, ටවුමක් ගානේ, මතු වෙමින් තිබුණු, කිසිදු බලවේගයක ආරාධනයක් නොමැති ව, ස්වෙච්ඡාවෙන් එකතු වූ පිරිස, අවසානයේ අරගලයේ කේන්ද්‍රය බවට ගෝල්ෆේස් පිටිය පත් කර ඊට ගෝඨාගෝගම යනුවෙන් නමක් ද තැබූහ. ඒ අරගලයේ ස්වරූපය මිනිසුන් එතෙක් දැක තිබූ අරගල ස්වරූපයට වඩා වෙනස් ආරක් ගත් අතර අවිහිංසාව පදනම් කර ගත් ඒ අරගලයට සමහරු ආදරයේ අරගලය ලෙස නම් කිරීමට පවා ඉදිරිපත් වූහ.

අරගලයේ ප්‍රධාන ඉල්ලීම තවමත් ඉටු වී නැතත් මේ අරගලය විසින් බොහෝ දේ අපට දායාද කර ඇත්තේ ය. සමහර ඒවා දේශපාලනික වන අතර තවත් ඒවා සමාජ හා සංස්කෘතික ය.

අරගලය මැඩ පැවැත්වීමට ආණ්ඩුව පැත්තෙන් නොකළ දෙයක් නැත. අවසානයේ එයට පහර දීමට මැරයන් යෙදවීමට පවා ආණ්ඩුවට සිදු විය. ඒ එකකින් වත් අරගලය දියාරු කිරීමට හැකි වුනේ නැත.

එහෙත් දැන් කණින් කොණින් කියවෙන්නේ අරගල භූමියට වෙනදා මෙන් ජනයා එක් නොවන බවකි. ජවය තරමක් අඩාල වී ඇති බවකි.

ඒ සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනාව එල්ල වන්නේ රනිල් වික්‍රමසිංහට ය. ඔහු විසින් අරගලය පාවා දී ඇතැයි ද සමහරු කියන බවක් පෙනෙන්නට තිබේ. පාවා දෙන්නට නම් රනිල් අරගලය තුළ සිටිය යුතු ය. එසේ සිටියා ද යන්න විවාද සම්පන්න ය. ඒ නිසා ම ඒ විවාදය පසෙක තබා ඔහුගේ මැදිහත් වීම යන වඩා ගැලපෙන ප්‍රකාශය ගෙන එය අරගලයට බලපෑ ආකාරය අප විමසිය යුතු ය. ඒ අරගලයේ ඉදිරි දවස පිළිබඳ වඩා යහපත් වටහා ගැනීමකට ය.

අරගලයක් පමණක් නොව වෙන ඔ්නෑම දෙයක්, සංවිධානයක්, ක්‍රියාකාරකමක් වර්ධනයට හෝ පසුබැසීමට ලක් වන්නේ අභ්‍යන්තර හා බාහිර සාධක විසින් ඒ මත ඇති කරන සම්ප්‍රයුක්ත බලය මත ය. රනිල් යනු ඒ අර්ථයෙන් බාහිර සාධකයක් ලෙස අප ගත යුතු ය. අභ්‍යන්තර සාධක වන්නේ අරගලය මෙහෙයවන්නන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් ය. ඔවුන්ගේ ශක්තිය ය. ඔවුන්ගේ උපාය මාර්ගයන් ය. ඔවුන් ප්‍රදර්ශනය කරන වුවමනාව ය. උනන්දුව ය. ඔවුන් සතු අභිප්‍රේරණය ය.

රනිල් යනු ආසනයක් වත් නොදී ප්‍රතික්ෂේප කර ඇති දේශපාලන චරිතයකි. ජාතික ලයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීධුරය පවා පුරවා ගන්නට වසරකට ආසන්න කාලයක් තැටමූ දේශපාලන පක්ෂයක නායකයෙකි. එක් මන්ත්‍රී අසුනක් ඇති පක්ෂයක මන්ත්‍රීවරයෙකි.

අනෙක් පැත්තේ ඉන්නේ ජනතාවගේ ආදරය දිනූ අරගලකරුවන් ය. ඔවුන්ගේ ආශිර්වාද ලැබූ අරගලකරුවන් ය. මිනිසුන් තලා පෙලා දමන ලද පාලකයන්ට එරෙහිව අවි එස වූ අරගලකරුවන් ය. අව් වැසි නොතකා දින ගණනාවක් තිස්සේ අරගලයේ යෙදෙන මිනිසුන් ය. දුර්දාන්ත මර්දනය ඉදිරියේත් පසු නොබැස දිරියෙන් සටන් වදින මිනිසුන් ය.

එසේ බැලූ විට රනිල් කිසිසේත් අරගලයට තර්ජනයක් ඇති කළ නොහැකි පුද්ගලයෙකි. ඔහු ද රාජපක්ෂලාගේ ගොඩට දමා පහසුවෙන් චකබ්ලාස් කළ හැකි චරිතයකි. රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරීමට ඔහු වැනි පුද්ගලයෙකුට හැකි වී නම් එසේ සිදු විය හැක්කේ කෙසේ ද? අරගලකරුවන් තමන්ගෙන් ම විමසිය යුතු ප්‍රශ්නය එය ය.

අරගලකරුවන්ගේ ඉලක්කය රාජපක්ෂලා එලවීම ය. රනිල් යන සාධකය රාජපක්ෂලාගේ ශක්තිය සමග සසඳන විට නොගිණිය හැකි තරම් කුඩා ය. රාජපක්ෂලා යනු මේ රට යුද්ධයෙන් “ගොඩ” ගත් පවුල ය. සිංහල බෞද්ධ ජනතාවගේ කලෙක අප්පච්චී ය. මහරජ ය. අතිවිශාල වැඩ ඡන්දයකින් බලයට පත් වී තවමත් ගෙවී ඇත්තේ වසර දෙකකි. ඒ නිසා ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඔවුන්ට තිබේ. ඒ බලය ද විධායක ජනාධිපති බලය ද සමග එකතු වූ විට නෛතිකව ඔවුන් සතු ව ඇති බලය අසීමිත ය. එය අරගලය නිසා සසලව තිබෙන බව ඇත්ත ය. එහෙත් එය අහෝසි වී නැත. තවමත් පොලීසිය හා හමුදාව ඔවුන්ගේ අණ බොහෝ දුරට පිලිපදින බව පෙනෙන්නට තිබේ. ඔවුන් සතුව විශාල ආර්ථික ශක්තියක් ද ඇත. ඔවුන් නිසා වරදාන ලැබූ අය රාජ්‍ය සේවයේ ඉහළ තැන්වල තවමත් සිටිති. ඒ ශක්තිය ද එක්තරා ප්‍රමාණයකට ඔවුන්ට යෙදවිය හැකි ය.

අරගලකරුවන් තේරුම් නොගන්නා කාරණය නම් මේ සම්ප්‍රයුක්ත බලය පහසුවෙන් ඉක්මවිය නොහැකි බව ය. ඔවුන් සතු ව ඇති විශාල ම ශක්තිය නැතහොත් වාසිය ඒ එකක් වත් නොවේ. ඒ වාසිය දුර්වල විපක්ෂයක්, පොදුවේ රට පිළිගන්නා විකල්ප නායකත්වයක්, අදට ද නැති වීම ය. එය පාර්ලිමේන්තුව තුළ පමණක් ඇති තත්වයක් නොවේ. රට තුළ ද එවන් නායකත්වයක් හෝ බලවේගයක් නැත. මිනිසුන් ස්වේච්ඡාවෙන් පාරට බැස්සේ ද නිර්පාක්ෂික විරෝධයක් ලෙස විරෝධයට නමක් ලැබෙන්නේ ද ඔවුන් මෙහෙයවීමට ඔවුන්ගේ විශ්වාසය දිනාගත් නායකත්වයක් නොමැති තත්වයයක් යටතේ ය. ඇතැම් පක්ෂ ගෝඨාගෝගම සිදු වෙමින් පැවති දෙය දෙස සැකයෙන් බැලුවේ ද තමන් විස්ථාපනය වේදැයි බියට අමතරව සංවිධායකයන් කවුදැයි අඳුනාගැනීමට පවා බැරි තරමට එය ස්වේච්ඡාවෙන් එක් වූ පිරිසකගේ ක්‍රියාවක් වූ නිසා ය.

මහජන විරෝධය උච්ඡතම අවස්ථාවට පැමිණි මැයි 9 දා ට පසු අගමැතිට පවා ඉල්ලා අස්වීමට සිදු වූ බව ඇත්ත ය. එහෙත් එයින් නිර්මාණය වූයේ රික්තකයකි.

ඒ රික්තය පිරවීමට හරි හමන් කිසිවෙකු සිටියේ නැත. ඉදිරිපත් වූයේ නැත. අප අරගලයේ හෙට දවස නම් සටහන මැයි 2 දින ලියමින් කීවේ රාජපක්ෂලා ඉවත් වීමෙන් ඇති වන රික්තකය පිරවීමට පාර්ලිමේන්තුව ඇතුළත ඉන්නා දේශපාලන සංවිධාන එකඟතාවයකට පැමිණ සූදානම් විය යුතු බව ය. ඒ වන විට ද ආණ්ඩුව මහ බැංකු අධිපති කෙනෙකු පත් කර තමන්ගේ සියලු වැරදි රිවස් කිරීමේ කටයුත්තේ යෙදී සිටියේ ය. එහෙත් ඔහු ම කී පරිදි දේශපාලන ස්ථාවරත්වයක් නැති රටක මහ බැංකු අධිපති කෙනෙකුට කළ හැකි වැඩ සීමා සහිත ය. ඒ සටහනින් උපුටා ගත් කොටස මෙසේ ය.

“නන්දලාල් මහතා කෙතරම් වෘත්තීය දක්ෂතා දැක් වුව ද ආණ්ඩුව ගැන විශ්වාසයක් නැවත ගොඩ නැගීම රාජපක්ෂ සහෝදරයන් රට කරන තුරු සිහිනයක් පමණ ය. විශ්වාසය බිඳී ඇත්තේ ආර්ථික අර්බුදයෙන් බැට කන සාමාන්‍ය ජනතාවගේ පමණක් නොවේ. විශාල ව්‍යාපාරිකයන්ගේ ද විශ්වාසය මේ වන විට බිඳී තිබේ. එය අන්තර්ජාතික තලයේ ද අර්බුදයට ලක් ව තිබේ. ඉන්දියාව හැරුණු කොට කිසිදු රටක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් අර්බුදයෙන් ගොඩ ඒමට උදව් දෙන බවක් පෙනෙන්න නැත. ඊට, ළඟක් වෙනකම් එක පතේ කෑ, චීනය ද අයත් ය. ආධාර ඉල්ලා සිටි ලංකාවට චීනය දුන්නේ චීන ණය ගෙවීමට තව ණයක් පමණ ය. ඒ නිසා ආර්ථික අර්බුදයෙන් නිදහස් වීමට රාජපක්ෂලා ඉවත් වීම පූර්ව කොන්දේසියක් බවට පත් ව තිබේ.

රට පුරා ම ජනතාවගේ ඉල්ලීම එය ය. එහෙත් ඔවුන් ඉවත් වන පාටක් නැත. හේතුව පැහැදිලි ය. රටේ දැනට පවතින විරෝධය හමුවේ බලය අත්හැරීම සිය දිවි නසා ගැනීමකි. පොලීසියේ හා හමුදාවේ ද නීතියේ ද ආරක්ෂාව බලයේ සිටින තාක් රාජපක්ෂලාට තිබේ. බලය අත් හැරීම සමග ඔවුන්ට නැතිවන, අද වන විට අතිශය තීරණාත්මක, දේ එය ය. ඒ බලය අත් හැරිය දාට තමන්ට කුමක් සිදු වෙතැයි ඔවුන්ට සිතා ගැනීමටවත් බැරි ය. ඒ නිසා ඔවුන් ස්වකීය කැමැත්තෙන් ඉල්ලා අස්වන්නේ නැත.

වෙනදා මෙන් නොව රාජපක්ෂලාට ඉවත් වන ලෙස කරන අරගලයට ද නැවත හැරීමක් නැත. අර්බුදය උත්සන්න වන වාරයක් පාසා එය බුරා බුරා නැගෙනු ඇත. දැන් අරගලයට නායකත්වය දෙන අය වෙහෙස වී ඉවත් වුව ද තව තවත් මිනිසුන් ඒ හිඩස පුරවනු ඇත.

මෙය අවසන් වනු ඇත්තේ කෙසේ ද? අද බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නය එය ය.

බොහෝ දෙනෙකු දකින අවදානම නම් මෙය විශාල ලේ වැගිරීමකින් අවසන් වීමට ඇති ඉඩ ය. රාජපක්ෂලා යන්නේ නැත්නම් ද අරගලයට බල පෑ හේතු දිගින් දිගට වර්ධනය වන්නේ නම් ද මේ තත්වය අවසන් විය හැක්කේ පිපිරීමකිනි.

එය වළක්වා ගත හැකි එකම ක්‍රමයක් තිබේ. ඒ පාර්ලිමේන්තුව විසින් අරගලයේ ධජය තමන් අතට ගැනීම ය. විශ්වාස භංග යෝජනාවකින් මහින්ද රාජපක්ෂ අගමැති තනතුරින් ඉවත් කිරීම ය. පහසු ම හා පළමු පියවර එය ය. එය ක්ෂණයකින් කළ හැකි දෙයකි.

දෙවැනි පියවර ජනාධිපතිට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙන ඒම ය. ඒ සඳහා වසරක පමණ කාලයක් ගත වනු ඇති නිසා අතරමැදි පියවරයන්ට යා යුතු ය.

ඒ නිසා කළ යුත්තේ විශ්වාසභංග යෝජනාවෙන් අගමැති ඉවත් වූ වහාම නව අගමැති කෙනෙකු යටතේ අන්තර්පාලන ආණ්ඩුවක් සියලු පක්ෂ සහභාගිත්වයෙන් පිහිටුවීම ය. ඒ සඳහා ගෝඨාභය ඉවත් වීම පූර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත් කිරීම නැවත වතාවක් ඉදිරියට යා නොහැකි ගැටයකට අසු වීමක් වනු ඇත. ඒ නිසා කළ යුත්තේ අන්තර්පාලන ආණ්ඩුව තම ප්‍රථම කටයුත්ත ලෙස 19+ ව්‍යවාස්ථා සංශෝධනයකට ගොස් ජනාධිපතිගේ තටු කැපීම ය. දෝෂාභියෝගයෙන් ජනපති ඉවත් කරන තුරු ඔහුට පාර්ලිමේන්තුවේ සිරකාරයෙකු කිරීම එහි අදහස ය. ජනාධිපතිට ඇති මුක්තිය අහෝසි කිරීම ද එහි අංගයක් කළ හැකි ය. අධිකරණයේ නඩු පවරා සිර ගෙදර යැවීම ද එයින් කළ හැකි ය.

මේ වැඩ පිළිවෙලට අරගලයේ සහය ලබා ගත යුතු ය. සහය ලබා ගත හැකි ය.

පාර්ලිමේන්තුවේ ඉන්නා බහුතරය අවස්ථාවාදීන් බව ඇත්ත ය. ඔවුන් සමග කළ හැක්කේ ද සීමා සහිත වැඩ කොටසක් බව ඇත්ත ය. එහෙත් මේ අය ජනතාවට යටත් ය. අරගලයේ ජනතාවට යටත් ය. උන් අඩු වශයෙන් ජනතා නියෝජිතයන් වන නිසා ය. ස්වාධීන වීමට ද රාජපක්ෂලාගෙන් ඈත් වීමට ද බල කෙරුණේ ඒ ජනතාව සමග ඇති පෙකනි වැල ය.

මේ 225 අතුරින් එක් අයෙකුට මේ වැඩ පිළිවෙළට නායකත්වය දිය හැකි ය. එහෙම එකෙකුවත් නැත්නම් ජනතාවට සොරි ය.

උපුටා ගැනීම අවසන් ය. මහින්ද රාජපක්ෂව ඉවත් කිරීමට විශ්වාස භංගයක් අවශ්‍ය වූයේ නැත. ඔහු විසින් ම එය සිදු කර ගන්නා ලදී. එහෙත් ඊළග පියවරයන්ට කර ගැසීමට හරි හමන් කිසිවෙකු සිටියේ නැත. රනිල් පිරවූයේ ඒ රික්තකය ය.

රාජපක්ෂලාට පමණක් නොව එල්ලෙන්නට වැලක් නැතිව සිටි රටකට ද පිදුරු ගහක් ලැබුනේ ය. සියලු සමීකරණ නැවත සකසන්නට සිදු ව ඇත්තේ ඒ නිසා ය.

අරගලය විසින් දැන් සටන් පාඨ වෙනස් කළ යුත්තේ ඒ නිසා ය. රනිල් පැන්නීමට නොව රනිල් ස්වේච්ඡාවෙන් නොකරන වැඩ පවා කරවා ගන්නට නායකත්වය දෙන්නට අරගලයට මේ වන විට සිදු ව තිබෙන්නේ ය. ඒ මාවත විවෘත ව තිබෙන තාක් මිනිසුන් වෙනත් සටන් උපායකට යොමු කිරීම අමාරු නිසා ය. පිදුරු ගහකට ද (වෙනත් විකල්පයක් නැති තත්වයක් යටතේ) වටිනාකමක් ලැබෙන නිසා ය.  

රනිල් දැනටමත් ව්‍යවස්ථා සංශෝධනයකට අත ගසා තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගැනීම පහසු නැත. අරගලයට ඒ සඳහා මැදිහත් වීමක් කළ හැකි ය. එක සටන් පෙරමුණකට, එක ම සටන් පාඨයකට, සීමා වී එක ම මාදිලියක උපාය අනුගමනය කිරීමෙන් ප්‍රබල සතුරෙකු පැරදිය නොහැකි ය.

ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා කරන උත්සහය දෙවිදිහකට අවසන් විය හැකි ය. එකක් ජයෙන් ය. අනෙක පරාජයෙන් ය. පරාජයෙන් අවසන් වූවත් අවුලක් නැත. ඒ මාර්ගයේ යා නොහැකි බවට, උත්සහයකින් පසු, ජනතාව ද තේරුම් ගනු ඇති නිසා ය. ජයෙන් අවසන් වුව හොත් ජනතාවට කොහොමටත් හොඳ ය. නපුරක් විය හැක්කේ සියලු දෙනා අසාර්ථක වී තමන්ගේ ඔඩොක්කුවට බලය වැටෙන තෙක් බලා සිටිනා සංවිධාන වලට පමණ ය.

දේශපාලන බලවේගයක් හැටියට සමාන යෝජනාවක් කර තිබෙන්නේ 43 සේනාංකය පමණ ය. මුළුමණින් ඔවුන් හා එකඟ නොවෙතත් ඔවුන්ගේ ඒ අස්ථානය අපේ අගැයීමට ලක් වන්නේ ය. රටේ නායකයින් ලෙස පෙනී ඉන්නා බොහෝ අයට කොහොමටත් නුවණ පහල වන්නේ පමා වී බව අප හැමදාමත් විඳ ඇති අත්දැකීමකි. මෙවරවත් එසේ නොවේවායි පතමු.