අරගලයේ හෙට දවස

මේ ගෙවී යන්නේ ලංකා ඉතිහාසයේ අතිශය දරුණු වූත් අතිශය සුන්දර වූත් මොහොතකි. එක ම මොහොතක පරස්පරයන් දෙකක් එකට එතී තිබීම එහි ඇති සුවිශේෂත්වයයි. පසුගිය සති කීපය තුළ ම ලියන්නට සිතක් ඇති වූයේ නැත. ඒ වචන පිටුපසට දමමින් ක්‍රියාව ඉදිරියට පැමිණ ඇති නිසා ය. අප වචනයෙන් පසුගිය වසර ගණනාවක් පුරා ම ලියමින් කියූ දෑ අද දවසේ රට තුළ සිදු වෙමින් තියෙන නිසා තවදුරටත් ඒවා ලිඛිත මාධ්‍යයක සඳහන් කිරීම අර්ථ විරහිත වී ඇති නිසා ය. ඒවා මේ වන විට පැටව් ගසමින් සැණකෙලි පවත්වන නිසා ය. අප හා අපට සමාන අදහස් ඇත්තන් විසින් ලිය‍න ලද වචන දහස් ගණනකගේ නොව ලක්ෂ ගණනකගේ මුවින් ප්‍රතිරාව නංවමින් මුළු ගුවන් ගැබ ම කළඹමින් සිටින නිසා ය.

එසේ වුව ද වත්මන් මොහොතේ වෙනත් ආකාරයක මැදිහත් වීමක් අවශ්‍ය ව තිබේ. ඒ අරගලයේ හෙට දවස වෙනුවෙනි. එය ද මෙතෙක් සිද්ධීන් පෙල ගැසී සිදු වුනු අයුරින් ම ස්වයං සිදු වනු ඇතැයි අපේක්ෂා කළ ද එසේ වන බවක් පෙනෙන්නට නැති නිසා නැවතත් වචන වල පිහිට සෙවීමට සිදු ව තිබේ.

එක් පැත්තකින් ඇත්තේ දවසින් දවස උග්‍රවන ආර්ථික අර්බුදය ය. වේගයෙන් පතුළට කරා දිවෙන මගක ආර්ථිකය ගමන් කරමින් සිටී. වගකිවයුත්තන්ට ඒ ගැන වගේ වගක් නැත. ඔවුන් ඒ ගැන නිනව්වක් නැතිව කල් මරති. තමන් විසින් ම පලවා හරින්නට යෙදුනු නන්දලාල් වීරසිංහ මහතා ආර්ථිකය ගොඩ ගෙන දී තමන්ව ද ගොඩ දමනු ඇතැයි ඔවුන්ගේ පැතුම ය. එහෙත් දේශපාලන ස්ථාවරත්වයක් නැතිව නන්දලාල් මහතාට පමණක් එය කළ නොහැකි ය.

නන්දලාල් මහතා කෙතරම් වෘත්තීය දක්ෂතා දැක් වුව ද ආණ්ඩුව ගැන විශ්වාසයක් නැවත ගොඩ නැගීම රාජපක්ෂ සහෝදරයන් රට කරන තුරු සිහිනයක් පමණ ය. විශ්වාසය බිඳී ඇත්තේ ආර්ථික අර්බුදයෙන් බැට කන සාමාන්‍ය ජනතාවගේ පමණක් නොවේ. විශාල ව්‍යාපාරිකයන්ගේ ද විශ්වාසය මේ වන විට බිඳී තිබේ. එය අන්තර්ජාතික තලයේ ද අර්බුදයට ලක් ව තිබේ. ඉන්දියාව හැරුණු කොට කිසිදු රටක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් අර්බුදයෙන් ගොඩ ඒමට උදව් දෙන බවක් පෙනෙන්න නැත. ඊට, ළඟක් වෙනකම් එක පතේ කෑ, චීනය ද අයත් ය. ආධාර ඉල්ලා සිටි ලංකාවට චීනය දුන්නේ චීන ණය ගෙවීමට තව ණයක් පමණ ය.

ඒ නිසා ආර්ථික අර්බුදයෙන් නිදහස් වීමට රාජපක්ෂලා ඉවත් වීම පූර්ව කොන්දේසියක් බවට පත් ව තිබේ.

රට පුරා ම ජනතාවගේ ඉල්ලීම එය ය. එහෙත් ඔවුන් ඉවත් වන පාටක් නැත. හේතුව පැහැදිලි ය. රටේ දැනට පවතින විරෝධය හමුවේ බලය අත්හැරීම සිය දිවි නසා ගැනීමකි. පොලීසියේ හා හමුදාවේ ද නීතියේ ද ආරක්ෂාව බලයේ සිටින තාක් රාජපක්ෂලාට තිබේ. බලය අත් හැරීම සමග ඔවුන්ට නැතිවන, අද වන විට අතිශය තීරණාත්මක, දේ එය ය. ඒ බලය අත් හැරිය දාට තමන්ට කුමක් සිදු වෙතැයි ඔවුන්ට සිතා ගැනීමටවත් බැරි ය. ඒ නිසා ඔවුන් ස්වකීය කැමැත්තෙන් ඉල්ලා අස්වන්නේ නැත.

වෙනදා මෙන් නොව රාජපක්ෂලාට ඉවත් වන ලෙස කරන අරගලයට ද නැවත හැරීමක් නැත. අර්බුදය උත්සන්න වන වාරයක් පාසා එය බුරා බුරා නැගෙනු ඇත. දැන් අරගලයට නායකත්වය දෙන අය වෙහෙස වී ඉවත් වුව ද තව තවත් මිනිසුන් ඒ හිඩස පුරවනු ඇත.

මෙය අවසන් වනු ඇත්තේ කෙසේ ද? අද බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නය එය ය.

බොහෝ දෙනෙකු දකින අවදානම නම් මෙය විශාල ලේ වැගිරීමකින් අවසන් වීමට ඇති ඉඩ ය. රාජපක්ෂලා යන්නේ නැත්නම් ද අරගලයට බල පෑ හේතු දිගින් දිගට වර්ධනය වන්නේ නම් ද මේ තත්වය අවසන් විය හැක්කේ පිපිරීමකිනි.

එය වළක්වා ගත හැකි එකම ක්‍රමයක් තිබේ. ඒ පාර්ලිමේන්තුව විසින් අරගලයේ ධජය තමන් අතට ගැනීම ය. විශ්වාස භංග යෝජනාවකින් මහින්ද රාජපක්ෂ අගමැති තනතුරින් ඉවත් කිරීම ය. පහසු ම හා පළමු පියවර එය ය. එය ක්ෂණයකින් කළ හැකි දෙයකි.

දෙවැනි පියවර ජනාධිපතිට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙන ඒම ය. ඒ සඳහා වසරක පමණ කාලයක් ගත වනු ඇති නිසා අතරමැදි පියවරයන්ට යා යුතු ය.

ඒ නිසා කළ යුත්තේ විශ්වාසභංග යෝජනාවෙන් අගමැති ඉවත් වූ වහාම නව අගමැති කෙනෙකු යටතේ අන්තර්පාලන ආණ්ඩුවක් සියලු පක්ෂ සහභාගිත්වයෙන් පිහිටුවීම ය. ඒ සඳහා ගෝඨාභය ඉවත් වීම පූර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත් කිරීම නැවත වතාවක් ඉදිරියට යා නොහැකි ගැටයකට අසු වීමක් වනු ඇත. ඒ නිසා කළ යුත්තේ අන්තර්පාලන ආණ්ඩුව තම ප්‍රථම කටයුත්ත ලෙස 19+ ව්‍යවාස්ථා සංශෝධනයකට ගොස් ජනාධිපතිගේ තටු කැපීම ය. දෝෂාභියෝගයෙන් ජනපති ඉවත් කරන තුරු ඔහුට පාර්ලිමේන්තුවේ සිරකාරයෙකු කිරීම එහි අදහස ය. ජනාධිපතිට ඇති මුක්තිය අහෝසි කිරීම ද එහි අංගයක් කළ හැකි ය. අධිකරණයේ නඩු පවරා සිර ගෙදර යැවීම ද එයින් කළ හැකි ය.

මේ වැඩ පිළිවෙලට අරගලයේ සහය ලබා ගත යුතු ය. සහය ලබා ගත හැකි ය.

පාර්ලිමේන්තුවේ ඉන්නා බහුතරය අවස්ථාවාදීන් බව ඇත්ත ය. ඔවුන් සමග කළ හැක්කේ ද සීමා සහිත වැඩ කොටසක් බව ඇත්ත ය. එහෙත් මේ අය ජනතාවට යටත් ය. අරගලයේ ජනතාවට යටත් ය. උන් අඩු වශයෙන් ජනතා නියෝජිතයන් වන නිසා ය. ස්වාධීන වීමට ද රාජපක්ෂලාගෙන් ඈත් වීමට ද බල කෙරුණේ ඒ ජනතාව සමග ඇති පෙකනි වැල ය.

මේ 225 අතුරින් එක් අයෙකුට මේ වැඩ පිළිවෙළට නායකත්වය දිය හැකි ය. එහෙම එකෙකුවත් නැත්නම් ජනතාවට සොරි ය.

ගෝඨාභය ජනාධිපති ව සිටිනා තුරු තමන් අන්තර්වාර පාලනයකට එකඟ නැතැයි විපක්ෂයේ සියලු ප්‍රධාන පක්ෂ – සජබ, ජාජබ පමණක් නොව දෙමළ සන්ධානය ද කියන තත්වයක් යටතේ මෙය ක්‍රියාත්මක කළ හැකි ද යන්න තිබෙන ප්‍රධාන ප්‍රශ්නය ය.

කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකකුත් ඉල්ලීම පිටුපස තිබෙන අරමුණ පැහැදිලි නැත. එයින් අදහස් කරන්නේ ඒ කොන්දේසිය නිසා ගෝඨාභයට අස්වීමට සිදු වෙතැයි උපකල්පනය කර තිබීම නම් අපට ඊට ද කාලයක් දිය හැකි ය. එහෙත් උග්‍රවන අර්බුදය ඉක්මන් මැදිහත් වීමක් ඉල්ලා තිබේ.

එසේ තිබිය දී මේ විපක්ෂ කණ්ඩායම් දෙක ම තමන්ගේ ආණ්ඩුවක් පිළිබඳ සිහින දැකීම නිසා අර්බුදය විසඳීමට ඇති මාර්ගයට පිවිසීම කල් දමමින් සිටින බවක් අපට නම් පෙනෙන්නට තිබේ. සජිත්ගේ හැසිරීම අනුව පෙනෙන්නේ දැනටමත් රජකම දිනා ඇති රජකුමරුගේ ස්වරූපය ය. ඒ කණ්ඩායම් වලට අවශ්‍ය ඉක්මන් මැතිවරණයකි. කළවම් නැති තමන්ට බහුතරයක් සහිත පාර්ලිමේන්තුවකි. අශුද්ධ සන්ධානයකට දිගු ගමනක් නැති බව ද ඒ නිසා ඒ වුවමනාව සාධාරණ බව ද සැබෑ ය. එසේ වුව ද වත්මන් අර්බුදය ඉක්මණ් මැදිහත් වීමක් ඉල්ලයි. 2015 යහපාලන රජය සුළුතරයක් විසින් කළමනාකරණය කරන ලද පාලනයක් විය. ඒ තුළ ප්‍රශ්න තිබිය හැක. ඒත් නායකත්වය යනු අමාරු තැනක යමක් කිරීම ය.

ඉක්මණින් මැදිහත් නොවුනහොත් ජනතාව ඊළගට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ වලට ද සිය විරෝධය එල්ල කරනු ඇත. දැනටමත් එකිනෙකාගේ ගොඩ වැඩ කර ගැනීමට කතා කරනවා විනා විසඳුමක් සඳහා කිසිවක් කරන්නේ නැතැයි කියන තැනට ජනතාව පත් වෙමින් තිබේ.

කරන මගුලක් ඉක්මණට කරන්න යැයි අර්බුදය ඉල්ලා සිටී. තව වරක් රට ලේ විලක් වීමෙන් වළක්වා ගත හැක්කේ පාර්ලිමේන්තුවේ මැදිහත් වීමකින් පමණකි.

එසේ නැතිනම් අරගලය මේ වන විට අත්පත් කර ගෙන ඇති ජයග්‍රහණ ද අපතේ යනු ඇත. මතුවෙමින් පවතින සුන්දර සිහිනය ලේ තැවරී බොඳ වී යනු ඇත.

මේ මගට පිවිසෙන්නට යැයි නායකත්වය ගත හැකි පාර්ලිමේන්තුව ඉන්නා සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු. නායකත්වය ගන්නේ කවුරුන්දැයි අපට අදාළ නැත. එක ම කොන්දේසිය රාජපක්ෂ තුරුළේ බත් බැලයෙක් ලෙස එල්ලී නොසිටිය කෙනෙකු වීම පමණ ය. එය මිනිසුන් අතර විශ්වාසයක් ගොඩ නැගීමට අත්‍යවශ්‍ය නිසා ය. එය පාර්ලිමේන්තු බහුතරය දිනා ගැනීමට ද ඒ තරමට ම අවශ්‍ය නිසා ය.