“අපට දෙන්න. අපි කරන්නම්.” ඒවා දැන් වානා.

අරගලය මේ වන විට මිනිසුන් විසින් බාර ගෙන ඇත්තේ දේශපාලන බලවේග වලට අනාගත දිසාව සැලසුම් කිරීමට ඉඩ හසර සලසමිනි. එහෙත් ඔවුන් ඒ ඉඩ භාවිතා කරන බවක් පෙනෙන්නට නැත.

මිනිස්සු තම ආවේගය පල කරමින් සිටින අතර දේශපාලනඥයන්ගෙන් අපේක්ෂා කරන්නේ ඒ ආවේගය ක්‍රියාත්මක කළ හැකි වැඩ සටහනකට රට යොමු කිරීම ය. දේශපාලනඥයන් ඒ වෙනුවට කරන්නේ ආවේගය පල කරන ජනතාවට පිටුපසින් සිට ඒ ආවේගයේ හවුල් කරුවන් වීම පමණ ය. ඒ හරහා තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට උත්සහ කිරීම පමණ ය.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නේ කැලඹීමක ය. අතිශයින් දුර්වල තැනක ය. ඒ නිසා ම ජනතාවට පක්ෂපාත වැඩ පිළිවෙළකට ඔවුන්ට අත ඉස්සීමට බල කෙරෙනු ඇත. මෙවන් අවස්ථාවක් රටක එළඹෙන්නේ අතිශය කලාතුරකින් ය. එහෙත් එයින් වැඩ ගැනීමට කිසිදු දේශපාලන බලවේගයක් උනන්දු වන බවක් පෙනෙන්නට නැත. ඒ නිසා ජනතාව විසින් පාරට බැස නිර්මාණය කරන ලද අගනා අවස්ථාව නිකම් ම දිය වී යෑමට නියමිත ය.

සජිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලන්නේ රජයෙන් ය. විධායක ජනපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනවාට වඩා එසේ ඉල්ලන එක පහසු ය. එවිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ නැත. ඊළඟ ඡන්දයක දී එවිට එය තමන්ට ද භාවිතා කළ හැකි ය. ඔහු සිතන්නේ එහෙම නම් සොරි තමා ය. අප සජිත්ට බල කළ යුත්තේ එවැනි සංශෝධනයක් ගෙන එන ලෙස ය. ඒ මගින් එක්කෝ විධායක ජනපති ක්‍රමය ද ගෝඨා සමග ගෙදර යැවිය හැකි ය. නැතිනම් ඒ වෙනුවෙන් අත උස්සන්නට අකමැති ජනතාවගේ පැත්ත නොගන්නා ජනතා නියෝජිතයන් කවුදැයි කියා වත් හඳුනා ගැනීමට හැකි ය. ජනතාවට වඩා උචිත සටන් පාඨයක් ද ඒ හරහා ලැබෙනු ඇත.

ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අමතරව ස්වාධින කොමිසම් පිහිටුවීම ද වැනි තීරණාත්මක කාර්යයන් ආවරණය කරන පරිදි පුළුල් විය හැකි ය. ඒ සඳහා දැනටම පූර්වාදර්ශ තියෙන නිසා නැවත අලුතින් පටන් ගැනීමේ වුවමනාවක් නැත.

ව්‍යවස්ථා සංශෝධනයකින් මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැති බව සැබෑ ය. එහෙත් ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා අවශ්‍ය දේශපාලන යටිතලය සාදා ගත හැකි ය.

අරගලයේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ ගෝඨා ගෝ හෝම් යන්න ය. ඒ කියන්නේ ගෝඨා ගැන විශ්වාසය බිඳී ඇති බව ය. මහා බලැති ජනපති ක්‍රමය පිළිබඳ තැබූ විශ්වාසය ද ඊට සමගාමීව එක්තරා ප්‍රමාණයකට තුනී වි ගොස් ඇත. රටේ ජනතාවගේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද ව්‍යාපාරික ප්‍රජාවගේ ද විශ්වාසය මේ වන විට පුද්ගලයා හා තනතුර යන දෙක ම විසින් නැති කර දමා ඇත. ඒවා නැවත ගොඩ නොනගා ආර්ථික අර්බුදයෙන් ගොඩ යා නොහැකි ය. ඉන්දියාව පවා ණය දුන්නේ මුදලින් නොවේ. ද්‍රව්‍ය වලිනි. චීනය ණය දුන්නේ තමන්ගෙන් ගත් ණය ගෙවීම ට පමණ ය. එසේ වීමට එක් හේතුවක් ඒ අහිමි වූ විශ්වාසය වන්නට බැරි ද?

දේශපාලන විසඳුම සමග ආර්ථික විසඳුම ද (කෙටි කාලීන) ඉදිරිපත් කළ යුතු ය. අපිට දෙන්න අපි කරන්නම් කතා නැතිව කරන්නේ කෙසේ දැයි කියන ආර්ථික විසඳුමක් ඉදිරිපත් විය යුතු ය. ඩොලර් හිඟා කාලා කරනවා කියන්නේ නැතිව ණයට අර ගන්නා විදිහක් හා එය ගෙවනා විදිහක් යෝජනා විය යුතු ය. මුදල් අච්චු ගහන්නේ නැතිව මුදල් ලබා ගන්නා විදිහක් ඒ තුළ ඇතුළත් විය යුතු ය.

වසර හැත්තෑ හතරක හෝ වසර දෙකක සාපය ගැන අතීත කතා කීමෙන් නම් වැඩක් වන්නේ නැත. අරයාට වඩා අප හොඳ යැයී කීමෙන් ද වැඩක් නැත. ඒ දෙකින් එකකින් වත් අද මුහුණු දී ඇති අර්බුදයෙන් ගොඩ යා නොහැකි ය.

ජනතාවට මේ කියන නායකත්වය මේ මොහොතේ දෙන්නේ නැත්නම් පසුව ඔවුන් අයාලේ ගියා යැයි කියන්නට ඉඩක් කිසිදු දේශපාලන පක්ෂයකට නැත.

One thought on ““අපට දෙන්න. අපි කරන්නම්.” ඒවා දැන් වානා.

  1. ඔවුන්ගේ සුපුරුදු වාචාල කතා ඇසෙන විට සිතෙන්නේ තත්ත්වය අවබෝධ කරගැනීමට හෝ උවමනාවක් ඔවුන් තුළ නැති බව ය. 225 ම එපා යන්නට සාධාරණත්වය ඉටුකරන බව ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s