අර්බුදය නිර්මාණය කළේ කවුද?

ලංකාවේ අපරාධ කරන කෙනෙක් නැත. ඒවා ඉබේ සිදු වන්නේ ය. පවතින අර්බුදය ද ඊට සමාන ය. අර්බුදයක් ඇතත් වගකියන්නට කෙනෙක් නැත. ජනාධිපතිතුමා ම වගකීමෙන් කර හරින විට එය පටවන්නට ඉතිරි වන්නේ කවුද? එය කර්තෘ කෙනෙකු නැති තවත් එක කරුමයකි යැයි කියා බැහැර කළ හැකි ද?

ශ්‍රී ලංකාව එක් ලේඛකයෙකු හඳුන්වා දී තිබුණේ වැරදි දහසක් සහිත රාජ්‍යයක් ලෙස ය. එසේ නොවන්නට සියල්ල එකවර අර්බුදයකට යන්නට හේතුවක් නැත.

පළමු වැරැද්ද අධික පොලියට ණය ගෙන රටටත් ලෝකෙටත් එහෙමට වැඩක් නැති ව්‍යාපෘති වල යොදවා විනාශ කිරීම ය. ඒ සඳහා උදාහරණ සොයා ගැනීමට ඔබට වඩාත් ඉඩකඩ ලැබෙන්නේ රුහුණු රටට ගිය විට ය. කොළඹ ආශ්‍රයෙන් ද එවන් දේ නැතුවාම නොවේ. පොහොට්ටුවේ හැඩය ගත් නෙළුම් කුළුන අහසට නැගී කියන්නේ ඒ කතාවේ කොළඹ පරිච්ඡේදය ය. අදට ද ඒ වැඩ පිළිවෙල එලෙසම ක්‍රියාත්මක වන්නේ ය. ඒ ලොකු අවුලක් නැති පාරවල්, ඇතැම් විට ඒ වන විටත් කාපට් කර ඇති පාරවල්, නැවත කාපට් කිරීම වැනි වැඩකට නැති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා ය. එහෙමකට වැඩක් නැති අධිවේගී මාර්ග (මාතර සිට හම්බන්තොටට යන මාර්ගය මෙන්) ඉදිකිරීම හරහා ය.

දෙවනි වැරැද්ද බදු අඩු කිරීම හරහා ආණ්ඩුවේ ආදායම ආණ්ඩුව විසින් සියතින් කපා දැමීම ය. පරතරය පියවීමට දේශීයව ද විදේශීය ද ණය ගැනීමට අමතරව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම එහි ම අතුරු ඵලයක් වූයේ ය. එහෙත් එහි බරපතල කම නිසා ම නෝට්ටු සීමාවක් නැති ව අච්චු ගැසීම තුන්වෙනි වැරැද්ද ලෙස නම් කළ යුතු ය.

සිව්වැනි වැරැද්ද කිසිදු අවශ්‍යතාවයක් නැති ව ලක්ෂ ගණනින් සේවකයන් රජයේ ආයතන වලට බඳවා ගැනීම හරහා ය. රජයේ ම මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළ ලෙසින් රාජ්‍ය සේවය රටට බරක් කිරීමට ඒ හරහා දායක වීම හරහා ය.

පස්වෙනුව, විදේශ විනිමය අනුපාතිකය බලහාත්කාරයෙන් රු දෙසීයේ රඳවා තැබීම සඳහා නොයෙකුත් උප්පරවැට්ටි යෙදීම හරහා විදේශ සංචිත තවදුරටත් නැති කර ගැනීම හරහා ය. ඒ අතර එක් ප්‍රධාන මූලාශ්‍රයක් වූයේ විදේශ රැකියා නියුක්තිකයන් විසින් ලංකාවට එවන මුදල් ය. ඔවුන්ට මුදල් එවීම සඳහා උණ්ඩියල් ක්‍රම සෙවීමට සිදු වූයේ මහ බැංකුවේ මේ ප්‍රතිපත්තියට පින්සිදු වන්නට ය. ඒ නිසා රටට අහිමි වුනු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක් පමණ වේ යැයි ගණන් තැබිය හැකි ය. ඊට සමාන ප්‍රතිචාරයක් අපනයනකරුවන් ද කර තිබෙන බව පෙනෙන්නට තිබේ.

සයවෙනුව, ඒ සඳහා ම ආනයන සීමා පැනවීමෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය නැති කරමින් අපනයන කර්මාන්තය ද අමාරුවේ දැමීම ය.

සත් වෙනුව, කාබනික පොහොර ගොවිතැනට පැය 24 න් එළඹීමේ අදූරදර්ශී මරි මෝඩ තීරණය හරහා ය. ඒ ක්‍රියාදාමයේ අතුරුඵල බොහෝ ය. ඒවා අතර ගූ නැවකට ඩොලර් මිලියන ගණනක් ගෙවීමට සිදු වීම එක් කරුණක් පමණ ය. අපනයන ආදායම් මාර්ගයක් වූ තේ කර්මාන්තයට කඩා වැටුනු හෙනය තවම ගණන් බලා නැත.

අට වෙනුව, කොරෝනා වසංගතයට පරිප්පු සැමන් අඩු කිරීම හරහා සතොසට ජනයා කැඳවීම, වරින් වර වසා නැවත කෙටි කලකට ඇරීම හේතුවෙන් ජනයා නැවත කෙටි කලකට විශාල වශයෙන් කඩපොලට රැස්කිරීම, පැණිය පිරිත හා වෙනත් දේශීය ක්‍රම ගැන විශ්වාසය තබමින් එන්නත් වැඩ පිළිවෙල පමා කිරීම, මුල්කාලයේ ලැබුණු සීමිත එන්නත් දේශපාලන හා නිලධාරී බලපුළුවන්කාරකම් ඔස්සේ බෙදී යෑමට සැලැස්වීම යන මුල් යුගයේ සිදු කරන ලද පරිපාලන වැරදි ඔස්සේ වසංගතයට ආර්ථිකය ගිල ගැනීමට ඉඩකඩ සලසා දීම හරහා ය.

නව වෙනුව, පිරිපහදුව වසා බොරතෙල් වෙනුවට පිරිපහදු කරන ලද තෙල් ගෙන්වීමට කටයුතු කිරීම ය. සිදු වූයේ ඒ හරහා භූමිතෙල් හිඟයක් ද නිර්මාණය වීම ය.

දහ වෙනුව, ගෑස් වල සංයුතිය බාල කරමින් ද බර වෙනස් කරමින් ද ගෑස් භාවිතා කරන්නවුන් අනතුරේ දමමින් ලාභ ලැබීමට තැත් කිරීම ය. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් වගකියන කෙනෙකු නැති තත්වයට රට පහළ දැමීම ය.

එකොළොස් වෙනුව, ණය ගෙවීමට ඉතිරි සියලු විදේශ සංචිත යොදවමින් සංඛ්‍යාලේඛන කළමනාකරණයක යෙදීම ය. එහි අතුරු ඵලයක් ලෙස රටේ ආර්ථිකයේ රුධිරය වන බලශක්තිය අර්බුදයකට යැවීම ය. දැන් අවශ්‍ය තරමට විදුලිය නැත. ඉන්ධන නැත. ගෑස් නැත.

දොළොස් වෙනුව අර්බුදය දිගින් දිගට ඔඩු දුවන විට එයට පිළියම් කිරීම පසෙක තබා හිතවත් ව්‍යාපාරිකයන්ට මුදල් සරිකර දීමට එය උපයෝගී කර ගැනීම ය.

දහතුනට, ඒ සියලු සිද්ධීන් මැද සුපුරුදු ලෙස විවිධ සැණකෙලි පැවැත්වීමට ලෝස් නැතිව වියදම් කිරීම ය. ඉන්ධන හිඟයක් මැද උජාරු නිදහස් උත්සවයක් පැවැත්වූයේ ඒ බව ලෝකයට ම කියන්නට ය.

ලයිස්තුව තව දිග ය. ඊටත් වඩා කිව යුත්තේ මේ හැම එකක ම අතුරුඵල බොහෝ බව ය. ඒවායේ දිග පළල ගැන අවබෝධයක් ගැනීමට පහත කරුණු ප්‍රමාණවත් ය. වෙළඳ පොලේ පැනඩෝල් පෙත්තක් පවා නැතිවන තැනට අර්බුදය මේ වන විට දුරදිග ගොස් ඇත. විදුලි බල මණ්ඩලයට බිල්පත් මුද්‍රණය කිරීමට හෝ අධ්‍යාපන බලධාරීන්ට විභාග පැවැත්වීමට ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට හෝ කඩදාසි අද නැත. බලශක්ති අර්බුදය නිසා කුපිත ව ඇති මිනිසුන් මහා මාර්ග අවහිර කරන තැනට ම ප්‍රශ්නය ඔඩු දුවා ඇත. ගමන් ගිය මිනිසුන් නැවත පැමිණිමට ඉන්ධන නොමැති කමෙන් පීඩා විඳින අතර දුර ගමන් මේ නිසා ඇණ හිට තිබේ. මහා බ්‍රිතාන්‍ය සිය රටවැසියන්ට ශ්‍රී ලංකාවට පිවිසීම සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත්තේ මේ වර්ධනයන් නිසා ය. ඒ නැතත් මෙවැනි රටකට ඒම ට පෙර ඔ්නෑම මිනිසෙකු දෙවරක් සිතනවා ඇත. ඒ කියන්නේ සංචාරක කර්මාන්තය ද මෙයින් අර්බුදයට යවා ඇති බව ය. මේවා තවදුරටත් වෙනත් අපට නොපෙනෙන බලපෑම් ඇති කරමින් තව තවත් පැටව් ගසමින් වැඩෙනු ඇත.

අර්බුදය උග්‍රවන විට පාරම්බෑම ද උග්‍ර විය. හොඳට ම කළේ අප බව කියනු ද ඇසිණ. හොම්බෙන් ගියත් ගත් පියවර ආපස්සට නොගන්නා බව ද කියවිණි. දැන් ඒ සියල්ලේ නිරුවත තවදුරටත් වසා ගන්නට බැරි ලෙස විවෘත වී ඇත. ඒ නිසා දැන් අප නරඹන්නේ පසු බසින සමය ය.

පළමුවෙන්ම කළේ වගාඩම්බරයෙන් ප්‍රකාශයට පත් කළ මිල පාලනය අකුලා ගැනීම ය. දෙවනුව හරවන්නේ නැතැයි කී කෘෂි රසායනික හා පොහෙර තහනම ඉවත් කීරීම ය. ඊළගට බලහාත්කාරයෙන් පවත්වා ගෙන ගිය රුපියලට පාවෙන්නට (එය එහෙමමත් නොවන බව දැන් දැන් පෙනෙන්නට තිබේ. ඒ පරණ මතිමතාන්තර වලින් මිදීමට තවමත් නොහැකි වීම නිසා ය) ඉඩ හැරීම ය. අවසානයකට කළේ මොන තත්වයක් යටතේ වත් නොයනවා යැයි කියූ මුල්‍ය අරමුදලට යෑම ය. ඒ සියල්ල කළ යුතු ව තිබුනේ කලින් ය. අප කොහොමටත් හැමදාමත් කළේ අස්සයා පැන ගියාට පසු ඉස්තාලය වහන එක ය.  

අපට සිදු වුනේ විද්‍යාවට පිටුපාන, ලෝක ආර්ථික යථාර්තයන්ට පිටු පාන, ඔ්නෑම රටකට සිදු විය හැකි දෙයක් මිස අමුතු ලබ්බක් නොවේ. මේවා වර්තමාන පාලකයන්ට පමණක් නොව “වෙන්ඩ ඉන්නා පාලකයන්ට” ද අගනා පාඩම් ය.

One thought on “අර්බුදය නිර්මාණය කළේ කවුද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s