රජෙකුට ඇබෑර්තුවක් තිබේ?

ඉන්නා රජා ෆේල්ය යන උපකල්පනය මත පිහිටා සමහරු රජෙකුට ඇඳීමට තැත් කරන බව පෙනේ.  ඇත්තට ම කියන්නේ නම් ඒ අතරින් සමහරු වස්ත්‍රාභරණ ද දැනට ම සූදානම් කර ගෙන අවසන් ය. බහුතරය තෝරාගත් තමන්ගේ කෙනෙකු රජෙකුට ඇන්දවීමට කටයුතු කරන ලකුණු ද බොහෝ තැනක දැකිය හැකි ය. ඔවුන් ද මේ දිනවල ඔ්වර් ටයිම් නැතිව ම වැඩ ය.

ඇත්තට ම මේ දෙවර්ගය ම ගැන මට ඇත්තේ අනුකම්පාවකි.

තවමත් මිනිසුන් අපේක්ෂා කරන්නේ ආශ්චර්යයන් ය. රජෙකු සොයන්නේ ඒ ආශ්චර්යය පහළ කර ගනු පිණිස ය.  

බොහෝ දෙනෙකු සිතන්නේ ප්‍රශ්නය හොරුන් රජ වීම කියා ය. මට හිතෙන හැටියට සැබෑ ප්‍රශ්නය ඇත්තේ රජෙකු සෙවීම තුළ ය.

ඒ දවස් වල නම් රජු සොයා ගියේ මගුල් ඇතා ය. දැන් අපට එහෙම කෙනෙකු නැත. සුද්දා ඒවා අපෙන් උදුරාගත් පසු දැන් රජෙකු සෙවීම සඳහා අපට තියෙන්නේ සුද්දා අපට දමා ගිය උරචක්‍රමාලය විතර ය. ඒ, රට ගැන මෙලෝ වගක් නැති, අරක්කු බෝතලයට, රුපියල් පන්සියයට, වෙනත් සිල්ලර උදව් වලට පමණක් නොව, පිටට තට්ටු කර හලෝ කී පලියටත් විකිණෙන මිනිසුන්ගේ ඡන්දය ය. ඒ නිසා ම හොරුන්ට මැරයන්ට බලයට පත් වන්නට ඉඩක් විවරව තිබුණේ ය. හොරු එපා වන තරමට රට විනාශ වී ඇති නිසා, දැන් හොරෙක් නොවන සුදු චරිතයක් දෙස මිනිසුන්ගේ අවධානය යොමු වී ඇතැයි සමහරු කියති. මට නම් ඒ ගැන තවමත් ඇත්තේ කුකුසකි.

ඒ එහෙම කෙනෙකු සොයා ගැනීම අසීරු විය හැකි නිසා වත් එසේ හොයා ගත් තැනැත්තා වුව බලයට පත් වූ පසු හොරෙකු වන්නට ඉඩ ඇති නිසා වත් නොවේ. ඒවා ද ගැටළු බව ඇත්ත ය. එහෙත් වැඩිම කුකුස ඇත්තේ මිනිසුන්ට තවමත් එහෙම කෙනෙකු අවශ්‍ය ද යන්න ගැන ය.

මම දන්නා මිනිසුන් නම් කැමති තමන්ගේ දේශපාලනඥයා v8 එකකින් තමන්ගේ මලගෙදර එනවා නම් ය. නම්බුව තමන්ට ලැබෙන්නේ එවිට ය. මරුටියකින් ඇවිත් ඔහු පිටට තට්ටු කළේ වුව ද එයින් තමන්ට ආලෝකයක් ලැබෙන්නේ නැත. නම්බුවක් ලැබෙන්නේ නැත. අහල පහල මිනිසුන් වත් එවැනි කෙනෙකු මායිම් කරන්නේ නැත. ආවා ද නැද්ද යන්න කිසිවෙකුට පේන්නේ ද නැත. V8 වාහනයකින් ඇවිත් ඈතින් ඉඳලා ගියත් ඊට වඩා නම්බු ය.

මිනිසුන්ට හොරකු නොවන රජෙකුගේ අවශ්‍යතාවය අවබෝධ වූයේ යැයි ද තනි සුදු කෙනෙකු සොයා ගැනීමට ඔවුන් සමත් වූයේ යැයි ද මොහොතකට සිතමු. එහෙත් රජෙකුගෙන් නම් අද වැඩක් වන්නේ නැත.

තනි රජෙකුට කළ හැකි බක්කක් වත්මන් ලෝකයේ නැත. අප ඉන්නේ ස්වයං පෝෂිත ගමක් හෝ රටක් තුළ නොවේ. එකිනෙකා මත රඳන, එකිනෙකා මත යැපෙන, බොහෝ මායිම් දියවෙමින් යන ගෝලීය සන්දර්භයක ය. ඊට අමතරව සම්පත් සීමා වෙමින් යන ලෝකයක ය. රටක ය. ඒවා කාර්යක්ෂමව භාවිතා නොකරන්නේ නම් ඒ සන්දර්භය තුළ අපට පැවැත්මක් නැති යුගයක ය. අතීතය තවදුරටත් තීරණාත්මක නොවන පසුබිමක ය. සම්ප්‍රදාය තවදුරටත් වලංගු නොවන පරිසරයක ය. ග්‍රහචාරයට හස්ත රේඛාවලට හූනන්ට බස්සන්ට උලමන්ට කළු පූසන්ට තවදුරටත් අනාවැකි කියන්නට බැරි ලෝකයක ය. වාලම්පූරි වලට සුරවලට නූල් වලට නවරත්න මුදු වලට යන්ත්‍ර-මන්ත්‍ර වලට තවදුරටත් වෙනසක් කරන්නට බැරි ලෝකයක ය. දීර්ඝ පර්යේෂණ වලින් පසු තනන එන්නතකින් මිස කාලි අම්මාගේ ආවේශයෙන් නිපදවන පැණියකට හෝ එකසිය අටවාරයක් ජප කළ පිරිත් දේශනාවකට වසංගත වැළැක්විය නොහැකි ලෝකයක ය.

ඒ තත්වයට මුහුණ දීම සඳහා ආගම හෝ සංස්කෘතියට වඩා වැදගත් වන්නේ නවීන විද්‍යාව හා තාක්ෂණය ය. අද පවතින හෝ හෙට මතුවන ප්‍රශ්න වලට පැරණි අතීතය අනුසාරයෙන් උත්තර සොයන්නට බැරි ය. ඒ සඳහා නව ක්‍රමෝපායන් සොයා ගත යුතු ය. ඊට පිටිවහල ලබා ගත හැක්කේ විද්‍යාව හා තාක්ෂණයේ නව ජයග්‍රහණයන් සොයා යෑමෙන් පමණ ය.

එය තනි රජෙකුට කළ හැකි කාර්යයක් නොවේ. සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව විද්වතුන්ට ද සවන් දීමට කැමති, ඊටත් වඩා තමන්ගේ කඳවුරේ නොවන විද්වත් මතයන්ට ද සවන් දීමට කැමති, ලෝකයට, විද්‍යාවට, තාක්ෂණයට, සවන් දීමට කැමති, ලෝකයේ අත්දෑකීම් වලින්, ලෝකය සතු දැනුමෙන්, ඉගෙන ගැනීමට කැමති, අනුන්ගෙන් ඉගෙන ගැනීමට කැමති, සමූහයකට පමණක් කළ හැකි වැඩකි. එපමණක් නොවේ, පැරණි දේ අත් හැරීමට සූදානම්, ඊට බය නැති, සමූහයකට පමණක් කළ හැකි වැඩකි. පැරණි දැනුම ප්‍රශ්න කිරීමට ඊට අභියෝග කිරීමට සූදානම් සමූහයකට පමණක් කළ හැකි වැඩකි.

එවන් සමූහයකට තිබිය යුතු මූලික කොන්දේසියක් වන්නේ කිසියම් දර්ශනයකට පක්ෂපාත වීමෙන් නිදහස ය. එයින් අදහස් කරන්නේ ඇඳීම සඳහා භාවිතා කළ යුත්තේ හිස් කොළයක් බවට තේරුම් ගත් මනසක් ඔවුන් සතුව තිබිය යුතු ය. නවෝත්පාදනයට ඉඩ ඇත්තේ එවැනි නිදහස් මනසක ය.

රට මුහුණ පා තිබෙන අර්බුදය නිසි ලෙස තේරුම් ගෙන ඒ අර්බුදය විසින් මතු කර ඇති අභියෝග ද ලෝකය විසින් ඉදිරිපත් කරන අවස්ථා හා ඒ තුළ ඇති අවකාශ ද නිසි ලෙස වටහා ගෙන රටේ ශක්තීන් මෙන් ම දුර්වලතා ද වටහා ගෙන උපාය මාර්ග සළකුණු කළ හැකි පිරිසක් ඒ සඳහා අවශ්‍ය ය. ඒ අවබෝධය ඇතිව සකස් කළ මහ පොළොව තුළ ක්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට සමත් පිරිසකට මිස මේ රට ගොඩ නැගීමට තනි පුද්ගලයන්ට නොහැකි ය. එවැනි සංවිධානය වීම් කුඩා කණ්ඩායම් මට්ටමේ සිදු වන නමුත් ඒ සංවාදයන් ජන ගත කිරීම තවමත් සිදු වී නැත.

රජෙකුට අඳින බොහෝ දෙනාත් ඔවුනට අන්දන බොහෝ දෙනාත් හිතන්නේ මිනිසුන්ට හිතට හරියන ඇඳුම් ඇඳගත් රජ කෙනෙක් ලැබුනොත් හොර රජුන් එලවා නිසි පුද්ගලයා සිහසුනේ තැබිය හැකි බව ය. එවිට සියල්ල හරි යන බව ය. රට බත බුලතින් සරු වන බව ය. ඔවුන් සියල්ල සකස් කරන්නේ සාමාන්‍ය මිනිසාට ආකර්ෂණීය වන ලෙස ය. හැසිරීම තුළ පමනක් නොව ඉදිරිපත් කරන ප්‍රතිපත්තිවල ද දක්නට ඇත්තේ ඒ සීමා ව ය. ඔවුන්ගේ කල්පනාව එසේ ඇඳගත් විට රට ම ඔහු සමග සිටින බව ය.

ප්‍රශ්නය ඇත්තේ දැන්‌ නොදකින දේ රජ වූ පසු කෙනෙකුට නොදැකිය හැකි වීම තුළ ය. ඊට පසු පිරිස විසින් රජු වටකරගත් විට ඒ පිරිසට එහා කිසිවක් රජුට පෙනෙන්නේ නැත. සිදු වන්නේ මධු සමය ඉක්මණින් අවසන් වීම ය. පූජාසනය මත වඩා හිඳ වූ පිරිස ම දෙස් දෙවොල් තබමින් රජු ගරහන්නට වීම ය.

මෙය දැනටමත් කීප වතාවක් රඟ දැක්වූ නාඩගමකි.

අප දැන් සූදානම් ඒ නාඩගමේ නැවත විකාශනයක් නව සංස්කරණයක් ලෙස නරඹන්නට ය. කඩල ගොට්ටක් අර ගෙන පුටුවකට නැග ගෙන බලා ඉන්නවා හැරෙන්නට කරන්නට දෙයක් නැත. නළුවන් අලුත් නිසා නාටකය කෙටි කලකට රසවත් වීමේ කුඩා ඉඩක් තිබෙන්නේ ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s