නියුට්‍රල් එකේ ගියහම බ්රේක් ගැසීම අමාරු ය

See the source image

ඊළග මැතිවරණය සඳහා වැඩ කරන්නේ දේශපාලනඥයා ය. රාජ්‍ය තාන්ත්‍රිකයා වැඩ කරන්නේ ඊළග පරම්පරාව ඉලක්ක කර ගෙන ය. වෙනත් වචන වලින් කියතොත් දේශපාලනඥයා කෙටිකාලීන දැක්මකින් ද රාජ්‍ය තාන්ත්‍රිකයා දිගු කාලීන දැක්මකින් ද මෙහෙය වෙන්නේ ය.

රටක බලය ඇති, ඊළග මැතිවරණයේ දී ද ඉදිරිපත් වීමට අපේක්ෂිත, පුද්ගලයකුගේ හැසිරීම විමසන අපට හමුවන ඒ නිර්ණායකය බලය නැති මුත් බලය බලාගෙන හැසිරෙන අය සම්බන්ධයෙන් ද යොදා ගත හැකි එකකි.

මැතිවරණයක් නිශ්චිත කාල රාමුවක පවතින්නකි. ඒ කාල වකවානුවට යටත් ව වැඩ කරන විට බලය අපේක්ෂා කරන අයට ද ෂෝට් කට් සෙවීමට සිදු වන්නේ ය. කෙටි කාලීන උපාය මාර්ග අනුගමනය කිරීමට සිදු වන්නේ ය.

ඒ වැඩ පිළිවෙල තුළ මිනිසුන්ට පෙනෙන්නටවත් පන්සල් වන්දනා කරන්නට සිදු වන්නේ ය. සමරිසි අයිතිවාසිකම් ගැන ප්‍රසිද්ධියේ කතා නොකර ඉන්නට සිදු වන්නේ ය. ශාසනයේ පවතින නිකාය භේදය ශාසනය විසින් විසඳාගත යුතු වැඩක් ලෙස දක්වා ජාම බේරාගන්නට සිදු වන්නේ ය. යමක් ප්‍රතිපත්තිමය වශයෙන් වැරදි වුව ද සංස්කෘතිය රැක ගැනීම උදෙසා පෙනී සිටින බැවින් ඒ වැරැද්ද මතු නොකර සිටීමට වග බලා ගත යුතු වන්නේ ය.

මිනිසුන් ඉදිරියට තල්ලු කරන වැඩය තාවකාලිකව පැත්තකට තබා මිනිසුන් සිටින තැනට වී මිනිසුන්ගේ වැරදි හැසිරීම් හා පටු අදහස් පිළිබඳව මුවින් නොබැන බලා සිටීමට සිදු වන්නේ ය. එසේ වන්නේ කෙටි කාලයකින් මිනිසුන් වෙනස් කළ නොහැකි බැවිනි. හෙට අනිද්දා බලය ලබා ගැනීමට සූදානම් වන කණ්ඩායමකට මිනිසුන් වෙනස් කිරීම පසෙක තබා මිනිසුන්ට අනුව තමන් හැඩ ගස්වා ගැනීමට ඒ අනුව සිදු වන්නේ ය. ඒ මිනිසුන්ගේ කැමැත්ත ගැනීම ප්‍රථම රාජකාරිය කර ගැනීමට ඔවුන්ට සිදු ව ඇති නිසා ය.

ඔවුන්ගෙන් දිගින් දිගට ප්‍රශ්න කරන විට ප්‍රසිද්ධියේ නොකියන දෙයක් ඔවුන්ගෙන්, විශේෂයෙන් ඔවුන්ගේ නායකයන්ගෙන්, ගිලිහෙන්නේ ය. ඒ බලය ලබා ගත් පසු ඒ බලය ද භාවිතයට ගෙන මිනිසුන් වෙනස් කරන බව ය.

බැලූ බැල්මට එහි ඇති වැරැද්දක් නොපෙනේ. මිනිසුන් වෙනස් කර බලය ලබා ගන්නවාට වඩා බලය ලබා ගෙන මිනිසුන් වෙනස් කිරීම පහසු යැයි පෙනෙන නිසා ය.

එසේ කියන අය රට ගොඩ නගන්න හදන්නේ මිනිසුන් සමග එකතු ව නොවේ. මිනිසුන් පිටුපස සිට මෙහෙය වීමෙනි. ඒ කියන්නේ කිසියම් ආකාරයක බලයක් මිනිසුන් කෙරෙහි බල පැවැත්වීමෙනි.

බලහත්කාරයෙන් වැඩක් කර වීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා පිටුපසින් සිටිය යුතු ය. කෙවිටක් ගත යුතු ය. එයින් අවසානයේ සිදු වන්නේ එලියට පෙනෙන්නට මිනිසුන් හැසිරෙන ආකාරය වෙනස් වීම ය. ඇතුළතින් තවමත් මිනිසුන් පරණ සුපුරුදු තැන රැඳීමට තැත් කිරීම ය. පරණ කුණු කන්දල් වෙනත් සියුම් ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වීම ය. ඒවා යටිබිම් ගත වීම ය.

ඉරාන විප්ලවයට පෙර මිනිසුන් නිවෙස් තුළ ආගම ඇදහූ අතර එලියේ නිදහසේ විනෝද වූ බවත් විප්ලවයෙන් පසු ව නිවෙස් ඇතුළේ විනෝද වීමට හා එලියේ ආගම ඇදහීමට යොමු වූ බවත් කියවෙන්නේ ඒ නිසා ය.

ඇතැම් තැනක විරෝධයන් එලියට ම මතු විය හැකි ය. බලයට එනකොට නම් ඔය මොකක්වත් කිව්වෙ නෑ. දැනං හිටිය නම් චන්දෙ දෙනවා තිය හිතන්නෙවත් නෑ. යන පාඨයන් මිනිසුන්ගේ මුවින් ගිලිහිය හැකි ය.

සමහර විටක දිගු කාලීන දර්ශනය ජන ගත නොවී සඟවා තැබූ නිසා ම ඒ ගැන නොදත් ඒ ව්‍යාපාරයේ ම අය තුළින් විරෝධයන් මතු විය හැකි ය. ඒවා නායකත්වයට කරන තර්ජනයන් ලෙස සළකමින් තමන්ගේ ම අනුගාමිකයන් පවා මර්දනය කිරීමට එවිට නායකත්වයට ම සිදු වන්නේ ය. විරෝධයන් පාලනය කිරීමට වාරණයන් පැනවීමට සිදු වන්නේ ය. ඒ සියල්ලෙන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට කෙළ වීම ය.

නායකයාට සිදු වනුයේ ජනතාව ගැන විශ්වාසය තබනු වෙනුවට මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය ගැන විශ්වාසය තැබීමට ය.

වෙනසක් සඳහා මිනිසුන් බල මුළු ගැන්විය යුතු ව්‍යාපාරයක් මැතිවරණය වෙනුවෙන් මිනිසුන්ට අවශ්‍ය විදිහට තමන් වෙනස් කර ගැනීමට කටයුතු කිරීමෙන් අත් විය හැකි යහපත් ප්‍රතිඵලයක් නැත. ඊට ප්‍රතිපක්ෂව අපට කිව හැක්කේ එවැනි ව්‍යාපාරයකට බැරි වෙලාවත් බලය ලැබුණොත් ඇති විය හැකි ප්‍රතිඵල භයානක විය හැකි බව පමණ ය. අප තේරුම් ගත යුත්තේ නියුට්‍රල් දමා පල්ලම් බහින වාහනයක තිරිංග තද කිරීමට නොහැකි විය හැකි බව ය. තාවකාලික ඉන්ධන වාසියක් සිදු වුව ද එවැනි ක්‍රියා අනතුරකට අත වනන බව ය.