ෆේල් කුමක් ද? විවෘත ආර්ථිකය ද අප ද?

See the source image

රටට උදා වී ඇති තත්වයට හේතු හොයන සමහරු නතර වන්නේ විවෘත ආර්ථිකය ළඟ ය. ඔවුන්ට අනුව වත්මන් සාපයේ ආරම්භය එතැන ය. පිටරටින් බඩු ගෙනැවිත් ගොඩ ගසා ලංකාවේ නිශ්පාදන වලට යන එන මං නැති කළේ ද විවෘත ආර්ථිකය ය. අප පරාධීන ජාතියක් වූයේ එතැන් සීට ය. මිනිසුන් නොමිනිසුන් වූයේ ද ජෙන්ට්ල්මන් ලා වූ දේශපාලකයන් තගාලා බවට පත් කළේ ද එය ය. කොටින් ම සියල්ල වැරදුනේ එතැන් සිට ය.

ඒ කියන සමහරු වත්මන් ආණ්ඩුවට පක්ෂපාත ය. ආණ්ඩුව ආර්ථික පාලනය කරන මෝඩ ආකාරය ආරක්ෂා කරගන්නට මේ තර්කයන් ඔවුන් ගේනවා වන්නට පුළුවන. එහෙත් ආණ්ඩුව විවේචනය කරන පාර්ශවයන් ද විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ විකල්පය ලෙස සළකන පාර්ශවයන් ද මේ මතයේ සිටින නිසා මෙය විමසිය යුතු ය.

මෙසේ කියන අයට මුලින් ම සංඛ්‍යා ලේඛන මග හැරෙන්නේ ය. වෙනත් රටවල සිදු වූ හා සිදු වෙමින් පවතින දේ මග හැරෙන්නේ ය. විවෘත ආර්ථිකය නිසා වැටුණු නිශ්පාදන සිහියට ආව ද ඒ හරහා අපට විවෘත වූ නව අපනයන් මග හැරෙන්නේ ය.

සංඛ්‍යාලේඛන කියන්නේ අප සහලින් ස්වයං පෝෂිත වූයේ විවෘත ආර්ථිකය සමග බව ය. එයට එක් හේතුවක් නම් වඩා ඵලදායී නිශ්පාදනයට අවශ්‍ය සියල්ල ආර්ථිකය විවෘත කිරීමත් සමග අපට පිටරටින් ගෙන්වා ගැනීමට හැකි වීම ය. අපේ ශ්‍රමය හා භූමිය හැරුණු විට කෘෂිකර්මයට අවශ්‍ය, මෙරට නැති, බොහෝ දේ පිටරටින් ගෙන්වා ගැනීමට ඒ මගින් ඉඩ විවර වීමෙන් ය.

වෙනත් රටවල සිදු වෙමින් තිබෙන දෙයින් කියන්නේ බොහෝ නොදියුණු රටවල් විවෘත ආර්ථිකයට පිවිසීමත් සමග විශාල ලෙස දියුණු වූ කතාව ය. ඉතාම ආකර්ෂණීය උදාහරණ අතර දකුණු කොරියාව හා චීනය යන අන්ත දෙකක රටවල් ද තිබෙන්නේ ය. ඉන්දියාව හා වියට්නාමය වැනි පරස්පර දේශපාලන ක්‍රමයන් ද වෙනස් ඉතිහාසයන් ද සහිත රාජ්‍යයන් ද තිබෙන්නේ ය. බංග්ලාදේශය වැනි අපට වඩා නොදියුණු තත්වයක පසු වූ රාජ්‍යයන් ද තිබෙන්නේ ය.

චීනය සංවෘත ආර්ථිකයක් වූ කාලයේ සාගතයෙන් ආහාර හිඟයෙන් මිනිස්සු මිය ගියෝ ය. ඉන්දියාව සංවෘත ආර්ථිකයක් ලෙස පැවති කාලයේ දරිද්‍රතාවයෙන් පෙලුන මිනිසුන් අදට සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයක් ගත්තේ ය. ඒ සියල්ල විවෘත ආර්ථිකය විසින් වෙනස් කර ඇත්තේ ය.

අප බයිසිකල් ටයර් පිටරටින් ගෙන්වතත් අහස්යානා ටයර් පිටරට යවන බව මේ කියන අයට මග හැරෙන්නේ ය. අප කාර් පිටරටින් ගෙන්වතත් ලන්ඩන් කොටස් වෙළඳපොලට මෘදුකාංග නිපදවන බව මග හැරෙන්නේ ය.

අන් රටවලට සාපේක්ෂව විවෘත ආර්ථිකයෙන් ප්‍රතිඵල අත් කර ගැනීමට අප අපොහොසත් වී ඇති බව නම් ඇත්ත ය. රට විවෘත වුව ද මිනිසුන්ගේ ආකල්ප වල පසුගාමීත්තය නැති වූයේ නැත. රන් කිකිළිය මරා ගෙන කෑමට මිසක උගේ බිත්තර විකුණා ජීවත් වන්නට මිනිසුන් සූදානම් වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ මහන්සියෙන් වැඩ කොට උපයා ගැනීමට නොවේ. ඒ සඳහා සුදුසු තත්වයන් රට තුළ බිහිකිරීමට නොවේ. ආණ්ඩුවලින් හැකි හැම දෙයක්ම නිකම් ලබා ගැනීමට ය. ඊට හාල් පොහොර ටකරන් සිල් රෙදි ආදී නිමි ද්‍රව්‍යය පමණක් නොව රස්සාවල් ද ආදායම් මාර්ග ද ඇතුළත් විය. කපටි දේශපාලකයන් මේ වුවමනාව භාවිතයට ගෙන එකක් නොමිලේ දෙන විට දහයක් ඔවුන්ගේ සාක්කු වලට දමා ගත්හ.

දේශපාලකයන් විසින් ඉල්ලන ලද අල්ලස් දීමට අකමැති වූ බොහෝ ව්‍යාපාරිකයන් ලංකාවේ ආයෝජන කරන අදහස අත්හැර දමන සිද්ධි බොහෝමයක් මම පෞද්ගලිකව ම දනිමි. තිස් අවුරුද්දක් පුරා දිග්ගැස්සුණු යුද්ධය නිසා ද කැරලි තුළින් ප්‍රකට වූ දේශපාලන අස්ථාවර භාවය නිසා ද ශ්‍රීලංකන් ගුවන්සේවය Emirates සමාගමෙන් උදුරා ගැනීමෙන් සහ තවත් එවැනි ක්‍රියාවලින් පෙන්නුම් කරන ලද ආණ්ඩුවල අත්තනෝමතික භාවය නිසා ද ආයෝජකයන් පැමිණියේ නැත. විවෘත ආර්ථිකය සෑම පොළොවක ම පැල වන්නේ නැත. ඒ සඳහා සුදුසු තත්වයන් ලංකාවේ තිබුනේ නැත. අප ඒවා නිර්මාණය කර ගත්තේ නැත. අප කළේ ඒවා විනාශ කර ගැනීම ය. චීනය වියට්නාමය මැලේසියාව සිංගප්පූරුව පමණක් නොව බංගලිදේශය තුළ පවා විවෘත ආර්ථිකය අතිශය පුදුමයන් නිපදවමින් ක්‍රියාත්මක වන්නේ ද අපට බැරි වුනේ ද ඒ කාරණා නිසා ය.

අපේ රට ගැන පොතක් ලියූ ආයෝජකයෙකු එය හැඳින්වූයේ Tragedy of Sri Lanka; Only man is vile යනුවෙනි. එය සිංහලයට පෙරලා ගත්තොත් එයින් කියවෙන්නේ මිනිසා පමණක් තිරශ්චීන වූ ශ්‍රී ලංකාවේ ඛේදවාචකය යනුවෙනි. ආයෝජකයන් නොඑන්නට අප ඉහත කී ඇතැම් හේතු බල පෑ ආකාරය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් සිය අත්දැකීම් ගෙන හැර දක්වමින් කියන්නට ඒ කතුවරයා සමත් වී තිබේ.

අපට තව ඉගෙන ගැනුමට බොහෝ දේ තිබේ. මුලින් ම ලෝභය ද්වේශය මෝහය යන තුනෙන් නිදහස ලබා ගැනීම ය. ඒ බව කියන බුදු දහම සිවුරක හිරකර එයට වන්දනා මාන කිරීමෙන් මේ තුනෙන් නිදහස ලබා ගත නොහැකි ය. අද පාලකයන් ගන්නා තීරණ පිටුපස පමණක් නොව බොහෝ මිනිසුන් ගන්නා තීරණ පිටුපස ද හොඳින් බැලුවොත් ඇත්තේ මේ තුන් දොස ය. ඒවා විසඳා ගන්නේ නැතිව තලන්නට මුව හමක් සෙවීමෙන් වන්නේ අපේ ගමන තවත් ප්‍රමාද වීම ය. බැදි වල මංමුලා වීමට ය.

ලොරි ටෝක් දෙන්නට කලින් වෙනත් රටවල සිදු වන්නේ කුමක් ද කියා සොයා බැලීමත් සංඛ්‍යාලේඛන විමසීමත් කළ යුතු ය. අපට වැරදුනේ කොතැන දැයි ඊට පසු සොයා බැලිය යුතු ය.

විවෘත ආර්ථිකය අපට කාර්යක්ෂමව නිපදවීමට බැරි දේ මිල දී ගැනීමටත් කාර්යක්ෂමව විකිණිය හැකි දේ විකුණා මුල් කී‌ දේ සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමටත් ඉඩකඩ විවෘත කරන එකකි. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන ඉගැන්වීම විවෘත ආර්ථිකය විසින් අපට හඳුන්වා දුන් උපදේශයක් නොවේ. තනිකරම දේශීය ඉගැන්වීමකි. එහෙත් විවෘත ආර්ථිකය වැඩ කරන්නේ ඒ උපදේශය අනුව ය.

විවෘත ආර්ථිකයට බැට දෙන අය කල්පනා කරන්නේ අපට අවශ්‍ය සියල්ල රට තුළ නිපදවා ගැනීමට ය. ඒවා නිපදවා ගැනීමට පවා යම් යම් දේ පිටරටින් ගෙන්වා ගත යුතු ව තිබෙන බව ඔවුන්ට සිහිපත් නොවේ. නැතිනම් ඔවුහු එය මග හැර යති. ඒවා ගෙන්වා ගැනීමට අප පිටරටට අවශ්‍ය දේ ද මෙහි නිපදවිය විය යුතු ය. විවෘත ආර්ථිකය කියන්නේ ඒ සඳහා ඉඩ හසර සලසන වෙළඳාමට ය. අපව ගිල ගන්නට ඉන්නා යකෙකුට නොවේ.

ජේ ආර් සමග හෝ යූඇන්පීය සමග හෝ බටහිර සමග තරහට අප නහය කපා ගත යුතු නැත. එසේ කරන අය පල කරන්නේ ද්වේශය ය. එහි උපත මෝහය ය.

රටේ නායකත්වයට ලෝභයෙන් අගතියට පත් නොවූ මිනිසුන් පත් කිරීමෙන් පමණක් ඵලක් නොවේ. ඒ සඳහා ද්වේශයෙන් හා මෝහයෙන් අගතියට පත් නොවූ මිනිසුන් ද සෙවිය යුතු ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s