ආගමික උන්මාදය හා බිලි පූජා – පකිස්තානයෙන් උගත යුතු පාඩම්

Hundreds of enraged Muslims in eastern Pakistan lynched and publicly burned the body of a Sri Lankan sports equipment factory manager on Friday after he was accused of blasphemy

සෑම මිනිසෙකු තුළ දෙවියෙකු ද යකෙකු ද ජීවත් වෙතැයි කියමනක් තිබේ. තමන්ට පමණක් නොව අනුන්ට ද ඒ දෙවියා හෝ යකා අවදි කරවිය හැකි ය. එකෙක් අවදි වන්නේ අනෙකා නින්දට යවමින් නිසා අපට මේ දෙදෙනා එකවර මුණ ගැසෙන්නේ නැත.

පකිස්ථානයේ මේ නොබෝදා ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත් කරමින් අවදි වූයේ ඒ යකා ය. පුදුමයට කරුණ නම් යකා අවදි වූයේ දෙවියන්ගේ නමින් වීම ය. දෙවියන් වෙනුවෙන් වීම ය.

යකා හා දෙවියා එක ම මිනිසා තුළ ජීවත් වීම පුදුම සහගත වනවා නම් ඊටත් වඩා අප පුදුමයට පත් කරවනුයේ මේ යකාත් දෙවියාත් අතර මේ සිද්ධියේ දී ඇති වූ අශුද්ධ සන්ධානය ය. එය මේ සිද්ධිය සම්බන්ධයෙන් සුවිශේෂ වූවක් නම් නොවේ. ආගම් සංස්ථාපිත වූ දා සිට, ආයතන ගත වූ දා සිට, මේ තත්වය දකින්නට ලැබේ. වඩාත් වැඩි ජීවිත හානි සිදු ව ඇත්තේ ආගමේ නාමයෙන් සිදු වූ යුද්ධවල ය.

රජුන් හා පූජකයන් විසින් ආගම හයිජැක් කිරීමෙන් අනතුරුව එය කඩේ යැව්වේ උන් වෙනුවෙන් පමණ ය. ඒ සඳහා සෙසු මිනිසුන් අවශ්‍ය වුවහොත් බිල්ලට ද දෙන ලද්දේ ය. බිලි පූජා සැළකුණේ ආගම ශක්තිමත් කිරීමේ පියවරයන් ලෙස ය. පකිස්ථානයේ සිදු වූයේ ද එවැනි වූ බිලි පූජාවකි. බිලි පූජාවක් ලෙස එය නම් නොකළා පමණ ය.

ඒ නිසා ම පකිස්ථානයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනය අපට අලුත් යමක් කියන්නේ නැත. කියන්නේ හැමදාමත් කියන දෙය ම ය. ඒ මිනිසුන්ගේ විමුක්තිය උදෙසා පවතින්නේ යැයි කියන ආගම ම මිනිසුන් පිස්සු වට්ටවා අනතුරු සිදු කරන බව ය. ඒ නිසා ම ආගම ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතු දෙයක් බව ය.

අපේ අවාසනාවට බොහෝ මිනිසුන් මේ පාඩම ඉගෙන ගන්නේ නැත. ඔවුන් කරන්නේ වෛරය නව වටයකින් ඇරඹීම ය. ඒ තමන්ගේ ආගම වෙනුවෙන් ද බිලි පූජා ඉල්ලා සිටීමෙන් ය. ඔවුන් වට පිට බලන්නේ එවැනි අවස්ථාවක් උදා කර ගත හැකි ද යන විමසුම සහිත ව ය. එකම සැනසීමකට තිබෙන්නේ ආණ්ඩුව විසින් දිනෙන් දින පටවන ප්‍රශ්න විමසීමට මිසක වෙනත් දෙයක් කිරීමට උන් ට කාලය නොමැති වීම ය. ඉස්පාසුවක් නොමැති වීම ය. ඊට අමතරව මේ වන විට ඊනියා දේශප්‍රේමයේ ද ආගමික උමතුවේ ද සළු පිළි ගැල වී තිබීම ද තත්වය පාලනයට හේතුවකි.

අමතර සැනසුමකට තිබෙන්නේ පකිස්ථාන රජයේ ඉක්මණ් ප්‍රතිචාරය ය. දැනටමත් අට සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් ද පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් ම මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දැකීමට ඉදිරිපත් වීමෙන් ද ඇති විය හැකි ගින්නක් නිවා දමා තිබේ.

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවට උන් වීරයන් ලෙස සළකා මිනිසුන්ගේ අනිසි කෝපය යුක්ති යුක්ත කරන පාලකයන් සිටින ලෝකයක ඉම්රාන් ඛාන් දෙවියෙකු වන්නේ ඒ නිසා ය. පකිස්තානයේ මිනිසුන් නොදියුණු වුනාට පාලකයන් දියුණු අඩියක සිටීම සැනසීමට කරුණකි. අගය කළ යුතු කරුණකි.

සිදු වූයේ කුමක් දැයි විස්තර නොදනිතත් එය ආගම විවේචනය කිරීම හා සම්බන්ධ යැයි සැළකේ. අප රටේ ද මිනිසුන් පණ පිටින් පිච්චුවේ නැතිවාට ආගම විවේචනය කිරීම යන කරුණ අරබයා රජයේ පොලීසි ද මැදිහත් වී මිනිසුන් හිරේ රඳවා ගෙන සිටි බව හා සිටින බව අප අමතක කළ යුතු නැත. මරණ දඩුවම තරම් දරුණු නොවෙතත් එය ද දරුණු දඩුවමකි. එය නිල මට්ටමෙන් ම කරන නිසා පකිස්තානයට ද වඩා වැඩි අපුලක් මතු කිරීමේ ද සමත් ය.

ඔ්නෑම දෙයක් විවේචනය කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ උරුමයකි. ආගම සම්බන්ධයෙන් එය වෙනස් විය යුත්තේ මන්ද?

දැක්විය හැකි එක ම‌ හේතුව ආගම් බොහෝමයක විවේචනය කළ හැකි දේ අඩංගු විම ය. ඒවා විවේචනය කිරීමෙන් සැබෑ තතු අනාවරණය වී තමන්ගේ අනුගාමිකයන් තමන්ගෙන් හැලේ යැයි ඒ නිසා පූජකයන් ද ආගම් භක්තිකයන් ද විසින් සැක කරනු ලැබීම ය.

විවේචනයට බිය විය යුත්තේ බොරු කාරයින් ය. වැරදි කර ඇති අය ය. හොරු ය.

පුහුල් හොරා හැඳින ගත්තේ කරෙන් දැනෙන බව කීමෙන් ය. විවේචනයට බිය වන්නේ කවුරුන් ද උන් තුළ සඟවා තබා ගත යුතු දෙයක් ඇතැයි යන නිගමනයට බැසීමට ඒ නිසා අපට සිදු වේ.

අපට පකිස්ථානය හදන්නට බැරි ය. ඉම්රාන් ඛාන් එය කරපුවාවේ. ඔහුට ඒ සඳහා දැක්මක් පමණක් නොව ශක්තියක් ද තිබෙන බවක් කරන කියන කාරණා වලින් මතුපිටින් වත් පෙනේ. අප කළ යුත්තේ අපේ රට සහ අපේ මිනිසුන් හදා ගැනීම ය. ඒ සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් ආගම් විචාරය කිරීමේ නිදහසත් වෙනුවෙන් ද නොබිය ව පෙනී සිටීමෙන් ය.