හත් අට ගුණයක වැඩි-පාඩු ලබන අඩු-පාඩු වෙළඳාම

See the source image

ඇතැම් තැනක ඇතුළු වීමට පෙර මුට්ටිය ඔබා බලන ආණ්ඩුව, තවත් තැනක හිටිහැටියේ ගැඹුරු වලකට පැන ඉන් පසු පමණක් ගොඩ එන්නට මං සොයන්නේ ඇයි ද යන්න එකවර පැහැදිලි වන්නේ නැත. එය විවරණය කොට සොයා ගත යුතු ය.

සමහර ගැසට් රිවර්ස් වූයේ ඒ දමන මුට්ටි වලට වැදුනු පොලු පහරවල් හේතුවෙනි. එහෙත් තවමත් රිවස් නොවන ඒවා දෙක තුනක් තිබේ. පළමුව, විදේශ විනිමය අර්බුදයට කිසිවක් නොකර ආනයනය සීමා කිරීමට පමණක් සීමා වී සිටීම ය. ඒ ආර්ථික විද්‍යාඥයන්ට පසු පස හරවමින් ඔවුන් කියන දෙයට නෑසුනු කණ් ඇතිව සිටිමින් ය. ආනයන සිමා කීපයක් ම ඉවත් කර ගත් නමුත් ආණ්ඩුව රිවස් නොකර තෙපර බාමින් සිටින වඩා වැදගත් ආනයන සීමාවක් තිබේ. ඒ රසායනික පොහොර ය. ඒ රිවස් නොවන දෙවැන්න ය. නැනෝ නයිට්‍රජන් වැනි වෙනත් නාමකරණයන් යටතේ ඒවා ගෙන්වනු ලැබූව ද ඒවා තවමත් ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ නැත. ඒ නිසා ගොවියන් අසරණ වී ඇති අතර සාගතයක අඳුරු වලා අහසේ පසුගිය දිනවල දක්නට ලැබුනු අඳුරු වලා පරයමින් නැගී සිටී.

රිවස් කළ නොහැකි ව තිබෙන්නේ, කාබනික ගොවිතැන නැමැති වල ට කඩිමුඩියේ පැනගත් ආණ්ඩුව ඒ ගැන ලොරි ටෝක් දී ඇති නිසා ය. එයට හේතු වුනේ අපට නැති විදේශ විනිමය ප්‍රශ්නයට උත්තරයක් ලෙස රසායනික පොහොර වලට ආනයනය සීමා දමන්නට සිදු වූ විට එයින් ද දේශපාලන වාසියක් ගන්නට කල්පනා කිරීම ය. පොහොර නොගෙන්වන්නේ විනිමය නැති නිසා නොව රටේ ජනතාවට සුරක්ෂිත ආහාර ලබා දිය යුතු නිසා බව කියන්නට ගොස් දැන් ආණ්ඩුව හිර වී සිටින්නේ ය. එසේ නොකළා නම් මුට්ටියට වැදුනු පොලු පහරත් සමග අකුලා ගත් වෙනත් පියවරයන් මෙන් ම මේ රසායනික පොහොර තහංචිය පිළිබඳ පියවර ද ආපස්සට ගන්නට ඉඩ කඩ තිබුනේ ය. දැන් මුළු ඇඟපතේ ම ගාගෙන මිසක මේ නාරා වලෙන් ගොඩ ඒමක් නැත්තේ ය.

ආණ්ඩුවක් ජනතාවට අවංක විය යුත්තේ ය. මේ එසේ නොවීම නිසා ඇතිවුනු ප්‍රශ්නයකි.

රසායනික පොහොර අර්බුදයට උත්තර සොයන්නට ගොස් දැන් අප ඉන්නේ චීනයේ බලාහාත්කාරකම් ඉවසිය නොහැකි තැනක ය. අහිතකර බැක්ටීරියා රැගත් චීන කාබනික පොහොර නැව තවදුරටත් අපට තර්ජනය කරමින් මහ මුහුදේ රැඳී සිටින්නේ ය. මහජන බැංකුව දැනට ම බ්ලැක්ලිස්ට් වී ඇති අතර ලෝක ආහාර සංවිධානයට ද ගතු කීම ට චීන සමාගම සූදානමෙන් සිටින්නේ ය. අප ඒ නැව බාරගැනීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්නට ඔවුන්ගෙන් ලැබෙන උපදෙස් වල අඩුවක් ද නැත. නවතම තොරතුරු වලට අනුව ආණ්ඩුව ඒ සඳහා ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට සූදානම් ය. එසේ ගෙවීමෙන් පසු ඒ ඊනියා පොහොර වලට කුමක් කරනු ඇති දැයි තවම දන්නා කෙනෙකු නැත. හත් පොලේ ගා ගෙන මිසක ගොඩ ඒමක් නැති මේ අර්බුදයට අප මුහුණ දුන්නේ ආණ්ඩුවේ දුර්වලකම දුර්වලකමක් නොව ශක්තියක් ලෙස පෙන්නන්නට යෑමේ අතුරු ඵලයක් ලෙස ය.

ආණ්ඩුව දැන් සූදානම් වන්නේ රසායනික වස වෙනුවට කාබනික වස කවන්නට ය. එසේ නොකළොත් චීනයෙන් බේරුමක් නැත්තේ ය.

බුදධිමතුන් අඩිය ගහන්නට බිය වන තැන්වල මෝඩයෝ පිනුම් ගසන බව කියවේ. මේ කාබනික පොහොර නාඩගම ඊට අගනා උදාහරණයකි.

ස්වාධීන කෘෂි විශේෂඥයින් පමණක් නොව රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මේ නටන තොවිලයට ආවඩන්නේ නැත. ඒ වෙනුවට මේ දිනෙන් දින පැටලෙන නූල් බෝලය පිළිබඳ ඔවුන්ගේ මතය නොබියව ප්‍රකාශ කිරීමට ඔවුන් ඉදිරිපත් වන අයුරු ද පෙනෙන්නට තිබේ.

රජය ප්‍රතිචාර දක්වන්නේ ඔවුන් නිලතල වලින් අයින් කරමින් හා එසේ කරන බවට තර්ජනය කරමිනි. මේ මෑතක දී ස්වදේශ කටයුතු අමාත්‍යංශය චක්‍රලේඛනයකින් කියා තිබුනේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමට රාජ්‍ය සේවකයන්ට අයිතියක් නැති බව ය. රටට වන තර්ජනය හමුවේ සහ ඉන් තමන්ට හා තමන්ගේ ම හිතේෂීන්ට අනාගතයේ මුහුණ දීමට සිදු විය හැකි තර්ජනයන් හමුවේ මේ නිලධාරීන් ඉදිරියට ද ආණ්ඩුවේ මේ ඊනියා තර්ජනයන්ට ද නොබිය ව මුහුණ දෙනු ඇතැයි අපි සිතමු. ඊට අමතරව දැන් තහංචි දමා ආණ්ඩුවට වහන්නට වෙන්නේ අශ්වයින් පැන ගිය ඉස්තාලයකි. ඒ ආණ්ඩුවේ ප්‍රෝඩාවන් මේ වන විටත් මිනිසුන් ට හෙලි වී ඇති නිසා ය.

ඉහත හේතු නිසා අපට ආණ්ඩුවට කියන්නට තියෙන්නේ දැන්වත් තමන්ගේ වැරැද්ද පිලි ගෙන රසායනික පොහොර ආනයනයට පනවා තිබු තහංචිය ඉවත් කරන ලෙස ය.

එසේ නොකළොත් ඊයේ පෙරේදා පකිස්තානයෙන් තකහනියේ ගෙන්වූවාක් මෙන් රසායනික පොහොර යොදා වෙන රටවල නිපදවූ ආහාර ගෙන්වා මේ රට මිනිස්සුන්ට කන්න දෙන්නට ආණ්ඩුවට හෙට දිනයේ සිදු වන්නේ ය. අන්තිමට අපට මුට්ටියත් එළුවාගේ ඔලුවත් දෙක ම අහිමි වනු ඇත්තේ එසේ ය. මහදැන මුත්තනි, එළුවාගේ බෙල්ල කපන්නට කරන යෝජනාව ඉක්මණින් අකුළා ගන්නා තරමට ඔබට ද රටට ද යහපත් ය.