අර්බුදයෙන් අර්බුදයට…..

See the source image

කෝවිඩ් හමුවේ සෙසු රටවල් අත් නොවිඳි අර්බුදයකට අප රට පත් වුනේ ඇයි ද යන ප්‍රශ්නය බොහෝ දෙනා නගති. ඒ ප්‍රශ්න නගන බොහෝ දෙනෙකු ඒවාට උත්තර ද තම තමන් අසා ඇති පරිදි යෝජනා කරති. එයින් වඩාත් ප්‍රචලිත අදහසක් නම් අප ආහාර වලින් ස්වයං පෝෂිත නොවීම හේතුවෙන් අපට මේ අර්බුදය හටගත් බව ය. ඒ නිසා කළ යුත්තේ ආහාර ආනයනය නවත්වා රට තුළ ඒවා නිශ්පාදනයට දිරි දීම ය. ආණ්ඩුව ද ඒ අදහසේ ම සිටි බව කහ ඇතුළු බොහෝ ආහාර ද්‍රව්‍යය ආනයනය නතර කිරීම හරහා රටට කියා සිටියේ ය.

මිල ඉහළ ගිය ද තාවකාලික ව මේ බර දරා සිටීමට ද බොහෝ දේශ හිතේෂීන් හිත හදා ගත් බව ට තොරතුරු ද ලැබිණි. මේ ගැන පරිසර වේදියෙකු ද මේ ලේඛකයා හා කරන ලද සංවාදයක දී අගය කරමින් කතා කරනු අත්දැක ගත හැකි විය.

මේ අගය කිරීම කරන බොහෝ දෙනෙකුට නොපෙනෙන කාරණාවක් තිබේ. ඒ දැනුදු අප සතු කැලෑ ප්‍රමාණය සීග්‍ර ලෙස පහළ බැස ඇති බව ය. තව දුරටත් වගා කටයුතු සඳහා ඉඩම් වෙන් කිරීමට පරිසරයට හානියක් නොකොට බැරි බව ය. පරිසරවේදියෙකුටවත් එවැන්නක් නොපෙනී යෑම මේ ලේඛකයා පුදුමයට පත් කළේ ය. එහෙත් එය පුදුම විය යුතු දෙයක් නොවෙන බව මිනිසුන්ගේ චින්තන ශක්තියේ සීමා දෙස බලන විට පෙනේ.

තමන්ගේ නිගමනය නිසා සමස්තය මත ඇති කරන දිගුකාලීන බලපෑම කවර ආකාර දැයි සොයා බලන්නට ඔවුන්ට හැකියාවක් නැත.

ආහාර පමණක් නොව ආහාර නිශ්පාදනයට අවශ්‍ය රසායනික පොහොර සම්බන්ධයෙන් ද අපට හමු වූ පරිසරවේදියා ද රටේ බොහෝ දෙනා සමග එක්ව පල කළේ ද සමාන අදහසකි. ඒ ශරීරයට විස රසායනික පොහොර පිටරටින් ගෙන්වනු වෙනුවට අප රටේ ම කාබනික පොහොර නිශ්පාදනයට පියවර ගැනීම සුදුසු බව ය. ඔහු එකඟ නොවුනේ කඩිමුඩියේ කාබනික කිරීමට යෑමට පමණ ය.

ඔවුන්ට නැවතත් මග හැරුණ කාරණය නම් සමස්ත ගොවිතැනට ම අවශ්‍ය කාබනික පොහොර නිපදවීමට නම් ඇල්බීසියා ගිනිසීරියා වැනි ශාක වගා කිරීමට අපට සිදු වන බව ය. ඒ සඳහා ද ඉඩම් අවශ්‍ය කරන බව ය. ඒ ව්‍යායාමය නිසා කැලෑ ප්‍රමාණය තවදුරටත් අඩුවනු ඇති බව ය.

ඔවුන්ට මග හැරුණ වඩාත් බරපතල කාරණය නම් කාබනික පොහොර යොදා ගොවිතැන් කිරීම නිසා වෙනදා ලැබෙන අස්වැන්න නොලැබී යන බව ය. ඒ හේතුවෙන් ඔවුන්ගේ ඉලක්කය වන ආහාර අතින් ස්වයං පෝෂණය වීම සඳහා තවත් කැලෑ වගා බිම් බවට පත් කිරීමට සිදු වන බව ය.

මේ උපාය මාර්ග කිසිවක් වෙනත් කිසිදු රටක් අනුගමනය කරන ඒවා නොවේ. මෙයින් පළමුවැන්න, සියලුම ආහාර වර්ග අතින් ස්වයං පෝෂණය කිරීම, අප රටේ ද කලකට ඉහත දී අත්හදා බලා අසාර්ථක වූ එකකි. ලොව කිසිදු රටක් තමන්ට අවශ්‍ය සියල්ල තම රටේ ම නිශ්පාදනය කරන්නට මේ යුගයේ දී නම් සිතන්නේ නැත.

භූතානය හැරුණු විට ලොව කිසිදු රටක් කාබනික ගොවිතැනට මුළුමණින් ම පිවිසීමට ද පිඹුරු පත් සකසා නැත. භූතානය පවා ඒ සඳහා ප්‍රවේශ වන්නේ දිගු කාලීන සැලැස්මක් යටතේ ය. ඒ අප තරම් ම නොවුනත් තරමක කඩිමුඩියේ කාබනික ගොවිතැනට පිවිසෙන්නට ගොස් පස්ස බිම ඇණ ගැනීමෙන් පසු ය.

අප මේ කටයුතු කර ගෙන යන ආකාරයට දැනට අප මුහුණ දෙන විදේශ විනිමය අර්බුදයට අමතරව ඊට වඩා බරපතල ආහාර හා පරිසර අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇත්තේ ය. ඒ නිසා ම ඉදිරියේ දී ආහාර ගෙන්වීමට සිදුවීම හරහා විදේශ විනිමය අර්බුදය ද නව වටයකින් වඩාත් දරුණු විදිහට මතු වීමට නියමිත ය. පරිසරය තවදුරටත් විනාශ වී වන ගහණය අවම වන්නට ද නියමිත ය. ඒ කවුරුන් හෝ මැදිහත් වී මේ නටන නාඩගම නැවැත්වූවේ නැතිනම් ය.

අප සතු මොළය කුඩා වීම නිසා ම නොව ඒ මොළය විශාල වපසරියක් ආවරණය වන පරිදි භාවිතා කිරිමට පුරුද්දක් නැති කම නිසා මේ තත්වය හට ගෙන ඇතැයි මට සිතේ.

කැලෑව මැදින් වැටී තිබුණු එක්තරා පාරක කුළු මීමෙකුගෙන් මිනිසුන්ට කරදර සිදු වෙමින් තිබුනේ ය. කුළුමීමා නිසා බොහෝ දෙනෙක් මේ පාරේ ගමන් කළේ බියෙනි. කුළු මීමා දිස් වුවහොත් ගසකට නැගීමේ සූදානමින් මිසක ඒ පාරේ කිසිවෙකු ගමන් නොකළේ ය. දිනක් මේ පාරේ බියෙන් යන මිනිසෙකුට ගමේ වෙසෙන මිනිසෙකු මුණ ගැසිණි. “දැන් බය වෙන්න දෙයක් නෑ. ඊයේ රෑ කුළුමීමාව සිංහයෙක් මරා දාලා තිබුන”. ඒ සතුටු දායක ආංචියෙන් අමන්දානන්දයට පත් වූ අපේ මගියා නිදහසේ ගමන් ඇරඹීය.

කුළුමීමාට බය වූ, මට මුණ ගැසුනු පරිසරවේදියාට ද බහුතරයක් මිනිසුන්ට ද, කුළුමීමා වෙනුවට සිංහයා හමුවිය හැකි බව මතක් වූයේ නැත. ඒ කුළුමීමාගෙන් මිසක සිංහයාගෙන් එන අනතුරක් ඔවුනට හුරුව නොතිබීම ය. අපේ රටේ අවාසනාව ඒ නොදැනුවත් කම ය. පේන මානයෙන් එක පියවරක් හෝ ඔබ්බෙන් හිතන්නට බැරි කම ය.

අපට උගැන්මට ඒ නිසා තවත් පාඩම් අවශ්‍ය ය. ආණ්ඩුව කියා දෙමින් සිටින්නේ ඒ පාඩම් ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s