බලු නොවටින සාක්ෂරතාවය හා උගත්කම

See the source image

සාක්ෂරතාවය අතින් ලංකාව ලොව ඉහළ ම රටවල් අතර තිබේ. එහෙත් උගත්කම අතින් ද අප ඉහළ බවක් එයින් හැඟවෙන්නේ ද? උගත් කම ලබා ගැනීමට සාක්ෂරතාවය අවශ්‍ය ය. එහෙත් අකුරු කියවීමට ලිවීමට දැනගත් පලියට අප ඒවා යොදා ගෙන උගන්නේ ද යන්න ගම්‍ය නොවේ.

සාක්ෂරතාවය අතින් පමණක් නොව අධ්‍යාපන සංඛ්‍යා ලේඛන සමහරක් අතින් ද ලංකාව ඉහළ ය. එයින් පවා අප උගත් ජනතාවක් ඉන්නා රටක් බව හැඟවෙන්නේ ද? අප යම් යම් දේ උගත්තේ වුව ද ඒවා ඇත්තට ම යල් පැන ගිය පල් හෑලි ද ලෝකයට අවශ්‍ය දැනුම ද යන්න ද අතුරු ප්‍රශ්න හැටියට ඉතිරි වන නිසා එයට ද උත්තරය පැහැදිලි නැත.

උගත් කම මැණිය යුත්තේ ලබා ගන්නා සහතික පිරික්සීමෙන් නොවේ. ජනතාවගේ හැසිරීම නිරීක්ෂණයෙනි. එසේ බැලූ විට පෙනී යන්නේ එහෙමට උගතුන් මෙහි නැති බව ය.

රාමු කර ප්‍රදර්ශනයට තබන උපාධි සහතික වලට අමතරව ඒවා පිරිනමන බට සමග ලෝගුවක් හා සංකේතාත්මක තොප්පියක් ඇඳ පෙනී සිටින ඡයාරූප ද අප ආඩම්බරයෙන් ලඟ තබා ගත්තත් අපේ කෙරුවාව අප ඊට සුදුසු යැයි කියා සිටින්නේ නැත.

පාර්ලිමේන්තුවේ අපේ නියෝජනය දෙස බැලීම අප රටේ ජනතාව කොතරම් උගත් දැයි දැන ගත හැකි එක මිම්මකි. දේශපාලනඥයින් ඉදිරියේ වැඳ වැටෙන උගත්තු දෙස බැලීමෙන් ද අපේ උගත්කම ගැන අදහසක් අපට ලබා ගත හැකි ය.

විශ්‍රාම ගිය බාස් උන්නැහේ කෙනෙකු නිපදවූ පැණියකින් නව රෝගයක් වූ කෝවිඩ් සනීප කර ගත හැකි යැයි සිතා ඒ පැණි ගැනීමට පෝලිමේ ගිය ජනතාව දෙස බැලීමෙන් අපේ උගත්කම ගැන තව මිම්මක් ලැබෙන්නේ ය. මොකක් හෝ ශක්තියක් ඇතැයි තමාම කියා ගන්නා මිනිසුන් පසු පස ලුහුබඳින මිනිසුන් දසත දකින විට ද ඒ මිනිසුන් තුළ උගත්තු ද අප්‍රමාණව දකින විට ද නිගමනකයට බැසීමට මණින්න වුවමනා ම නැතැයි සිතෙන්නේ ය.  

ලෝකයේ වෙනත් රටවලට අවශ්‍ය නැව්, අහස් යානා ටයර්, මෘදුකාංග සහා පෝසිලේන් පිඟන් අප විසින් නිපදවද්දී එවැනි කර්මාන්ත වලට දිරිදීම පසෙක තබා අල්පෙනෙත්තක් බයිසිකල් ටයර් එකක් හෝ බෙලෙක් පිඟානක් වත් අප විසින් නිපදවන්නේ නැතැයි කියමින් අඩා වැලපෙන මිනිසුන් උගතුන් ලෙස සළකන්නට හැකි දැයි අප විසින් විමසිය යුතු ව තිබෙන්නේ ය.

නිහීන නවක වදය උඩ දමමින් පවත්වාගෙන යන්නාවූ ද එය නැවැත්වීමට ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකරන්නා වූ ද ශිෂ්‍ය ප්‍රජාවක් උපාධි ලබා ගත්තත් ඒ උපාධියට ඇත්තේ කුමන වටිනාකමක් විය හැකි ද?

ගුරුවරුන් දණ ගැස්සවීමට ඉදිරිපත් වන මහජන නියෝජිතයින්ගෙන් සමන්විත එවැනි නියෝජිතයන් දිගින් දිගට මන්ත්‍රණ සභාවට පත් කර එවන මිනිසුන්ගෙන් රට සමන්විත වන විට එහි උගත් කම ගැන කවර කතා ද?

වසර තිහක යුද්ධයක් නිම කළ ඒ සඳහා තමන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට තරම් වූ රාජකාරියක් කළ ලෝකයේ හොඳ ම යුද්ධ හමුදාපති තුට්ටු දෙකේ වැරැද්දකට වසර ගණනාවක් හිර කිරීම රටකට තරම් වේ යැයි සිතන උගතුන් අපට බහුල ය (වැරැද්දකට වැරදි කරුවෙක් කිරීම හා දෙන ලද දඩුවමේ සාධාරනත්වය දෙකක් ලෙස සැලකීමට තරම් වත් උන් උගත් වූයේ නැත). එය එසේ තිබිය දී මිනීමරුවෙකු ලෙස නඩු තීන්දු දෙකකින් ම ප්‍රකාශයට පත් කරනු ලැබ මරණ දණ්ඩනයට නියම වූවෙකු නිදහස් කිරීමෙන් නොනැවතී ඔහුට සංස්ථා සභාපති කමකින් පූජා කිරීමට මැදිහත් වූ ආණ්ඩුවක් ඉවසීමට සමත් ජනතාවක් ද එවන් සභාපති කෙනෙකු ඉවසීමට තරම් සමත් සංස්ථා සේවකයන් රැසක් ද අපට උරුම ය.

උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ජාතීන් හා ආගම් අතර වෛරය පතුරවන බවට ප්‍රසිද්ධියක් උසුලන බීමත් ව රිය පැදවීම ඇතුළු වැරදි ගණනාවකට වැරදිකරුවෙකු වූ චීවර ධාරියෙකු එක රටක් එක නීතියක් උදෙසා ජනාධිපති කාර්ය සාධන බලකායක මුල් පුටුවට පත් වන විට ඒ ගැන විලිලැජ්ජාවක් නැති මැති ඇමතිවරු ඉන්නා රටක් ද අපට උරුම ය.

මැතිවරණයේ දී තමන්ට ජයග්‍රහණය කිරීමට අනුග්‍රහය ලබා දීමේ පදනම මත විශ්ව විද්‍යාල කුලපති වරු පත් කරන ආණ්ඩුවක් ද ඒ පත් වීම් ඉවසන සරසවි ප්‍රජාවක් ද සහිත රටක ඉන්නා උගතුන් කුමන ආකාරයේ උගතුන් දැයි සිතා ගැනීම කියවන ඔබට බාර ය.

වෙන රටවල උගතුන්ට අත ගැසීමට වුවමනා වුව ද ඒවායේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ගැටළු නිසා ම ඉහළ මට්ටමින් කළ නොහැකි යැයි ද සීරුවෙන් කළ යුතු යැයි ද සළකන කාබනික ගොවිතැන සහ පුනර්ජනනීය බල ශක්තිය නැමැති සංකල්ප දෑස් බැඳගෙන බදා ගන්නට තරම් නොඉවසිල්ලක් ප්‍රදර්ශනය කරන විට අපේ උගත් කමේ පරිමාණය ගැන සිතා ගත හැකි ය.

රජය විසින් භාණ්ඩයකට මිලක් නියම කර පමණින් ඒ මිලට භාණ්ඩ ලබා ගත හැකි යැයි විශ්වාස කරන මිනිසුන් ද ආණ්ඩු ද සිටිනා විට ද අපේ උගත් කම ගැන අදහසක් ගත හැකි ය.

මේ ඉතා මෑතක දී සිද්ධ වූ සංසිද්ධි කීපයක් පමණ ය. නිදහසින් පසු අපේ ඉතිහාසය පුරා මෙවැනි කතන්දර ඇසූවාට අමතරව දැන් දැන් ඒවා කිසිදු හිරිකිතයකින් තොරව පැටව් ගසමින් එලි බැසීම අපේ උගත් කමේ තරම පමණක් නොව එය දවසින් දවස පිරිහීමේ තරම ද වටහා ගැනීමට ප්‍රමාණවත් ය.

දැන උගත් කම හැම විට ම සාධනීය වන්නේ නැත. වැරදි දේ දැන උගන තිබීම කිසිත් ඉගෙන නොතිබීමට ද වඩා භයානක ය. ඒ නිසා ම ඇතැම් උපාධි වලට ඇත්තේ ඍණ අගයක් ද විය හැකි ය. ඇතැම් උපාධිකාරයන් රස්සාවට බඳවා ගැනීමට සමහරු අකමැත්තේ ඒ නිසා ය.

අපේ රට ගොඩ ගැනීම අප්‍රිකාව ගොඩ ගැනීමට වඩා ඒ නිසා පමා වන්නට ද පුළුවන. අලුත් දේ ඉගෙනීමට පරණ දේ හල යුතු නිසා ය. දැඩිව ගෙන ඇති දේ පහසුවෙන් හලන්නට බැරි ය. ඒ නිසා තිබෙනවා යැයි කියන උගත්කමට තුට්ටු දෙකක වත් වටිනාකමක් නොතිබෙන්නට ඉඩ තිබෙන අතරතුර එය අමතර බරක් වී ඍණ අගයක් ගැනීමට ද ඉඩ තිබෙන්නේ ය. ඒ නිසා ම මේ ඊනියා උගත්කම ගැන ඉක්මන් සංවාදයක් සමාජය තුළ ඇති කළ යුතු ය. ඒ සඳහා සෑබෑ උගතුන් පෙල ගැසිය යුතු ය.

6 thoughts on “බලු නොවටින සාක්ෂරතාවය හා උගත්කම

  1. උගතුන් ලෙස ඉදිරියට යාමට ලංකාවේ දැනට පවතින දේශපාලනික, ආර්ථික, අධ්‍යාපනික පරිසරය තුල සිසුවෙකු විසින් කුමන ආකාරයක අධ්‍යාපනයක්, දැනුමක් ලබා ගත යුතුද?

    දැනට පවතින අධ්‍යාපන පද්ධතිය ඒ සඳහා ප්‍රමාණවත් ද?

    ඔබතුමාගේ අත්දැකීම හා පරිචයට අනුව සිසුවෙක් වශයෙන් තනි තනි පුද්ගලයන් වශයෙන් මේ ප්‍රශ්න වෙනුවෙන් අපට කළ හැකි යමක් තිබේද?

    මේ සියල්ල විෂම චක්‍රයක් වන බවයි මගේ හැඟීම. එහෙත් විෂම චක්‍රයක් වුවද කුමක් හෝ තැනකින් කෙසේ හෝ බිඳ දැමිය යුතු වේ. එසේ කල හැකි බවක් දැනට ලංකාව තුල දැකිය නොහැකිය යන්න මගේ මතය, ඒ ගැන ඔබතුමා කුමක් සිතනවාද?

    • අප රට සම්බන්ධයෙන් කළ යුතු දේ පිළිබඳව “අපේ සිහින දේශය” නමින් පොතක් පළ කර ඇත්තෙමි. ඒ මෙම බ්ලොගයේ මා විසින් “අපේ සිහින…..” යන මැයෙන් ලියන ලද ලිපි 25 ක් ගොනු කරමිනි. ඒ ලිපි ඔබට මෙම බ්ලොගය හරහා කියවිය හැකි ය. කළ යුතු වැඩ රාශියක් හා ඒ සඳහා ප්‍රවේශයන් ද එහි සඳහන් ය.

      • හරි බොහොම ස්තුති. ඒ ගැන කියවලා බලන්නම්😊❤

  2. අතීතය සිට වර්තමානය වනතුරු රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපට වැරදී ඇත.

    අප තව දුරටත් එම වැරදිම සොයමින් ඒවාට පහර දෙනවාද?
    එසේත් නැත්නම් අපට කල හැකි දේ මොනවාද යන්න පිලිබඳ කතිකාවක් නොවේද ගොඩ නැගිය යුත්තේ????

    ඔබතුමාගේ අත්දැකීම් හා පරිචයන් අනුව අපට මේ ඛේදනීය තත්වයෙන් මිදීමට කල හැකි දේ පිලිබද කතිකාවක් ගොඩනගන්න යැයි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා🤓

    මක් නිසාද යත් වැරදුන් ඒවාට බැන බැන ඇගිල්ල දිගු කිරීමට ඕනෑ තරම් අය මේ ලංකාවේ සිටින නිසාය🤐

    • හැම ක්ෂේත්‍රයකම වෙනස් කම් කළ යුතු ව තිබේ. ඔබගේ කමෙන්ටුවට දී ඇති ප්‍රතිචාරයේ ඒ වෙනස් කම් පිළිබඳව සඳහන්ව ඇති බ්ලොග් සටහන් පිළිබඳව සඳහන් කර ඇත. එම සටහන් 25 කියවන්නේ නම් මා අපේක්ෂා කරන වැඩ පිළිවෙල ගැන ඔබට යම් අදහසක් ඇති කර ගත හැකි ය. ප්‍රතිචාර දැක්වූවාට ස්තුති ය. මේ බ්ලොග් සටහන් මිනිසුන් කියවන්නේ අඩුවෙනි. ඒවාට ප්‍රතිචාර දක්වන්නේ ඊටත් අඩුවෙනි. එවන් වටපිටාවක ඔබ දැක්වු උනන්දුව අගය කරමි.

      • අනිවාරෙන්ම. කියෙව්වාට කමෙන්ට් නොකරන අයද සිටිනවා ඇති.

        ඔබතුමා මේ ආකාරයෙන් කරගෙන වැඩ කටයුත්ත ඉහළින්ම අගය කරනවා💐💐

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s