ඉල් මහ විරුවන් සැමරීම

See the source image

ඉල් මහ විරු සමරුව බොහෝ ඉහලින් මේ මාසය තුළ පැවැත්වීමට නියමිත ය. ඉල් මහේ රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන්ගේ මරණයත් සමග අවසානයට පත් වන්නේ ඒ වන විට වසර දෙකක් තිස්සේ දියත් කෙරෙමින් තිබුණු, පැහැදිලිව ම ත්‍රස්තවාදය මත පදනම් වූ, දේශපාලන ව්‍යාපාරය ය. ඒ ව්‍යාපාරය විසින් දියත් කරන ලද කැරැල්ල ය.

එය හිස ඔසවන්නේ ජවිපෙ එජාප රජයේ අසාධාරණ මර්දනයට ලක් ව කිසිදු සාධාරණ හේතුවක් නැතිව තහනම් කරනු ලැබ වසර පහක් පමණ ගත වීමෙන් පසු ය.

වෙනත් නමකින් පෙනී සිටිය ද ඒ පසුපස සිටියේ ජවිපෙ බව නායකයන්ගේ මරණයෙන් පසු කැරැල්ල අතුරුදහන් වීමෙන් පෙනී ගියේ ය. ඉල් මහ විරුවන් සමරන නිසා ද ජවිපෙ එහි වගකීම කෙලින් ම නැතත් වක්‍රව බාර ගන්නා නිසා ද එය ජවිපෙ ය පසු කළ තවත් එක් වකවානුවක් සනිටුහන් කළ බව ලෝකයාට රහසක් නොවී ය.

88-89 නැගිටීම, 1971 කැරැල්ල සමග සන්සන්දනය කිරීමේ දී අතිශයින් වෙනස් මෙන් ම මෘග ස්වරූපයක් ගත් බව කිව යුතු ය. ඒ දෙක සන්සන්දනය කිරීමේ දී  පෙනී යන්නේ ඒ දෙක සංවිධාන දෙකක් විසින් කළේ යැයි හිතෙන තරමට වෙනස් බව ය.

1971 ආයුධ ගත් තරුණයන්ගේ ඉලක්කය රාජ්‍ය යන්ත්‍රය නියෝජනය කළ පොලිස් ස්ථානවලටත් ආණ්ඩුව නියෝජන කළ දේශපාලනඥයන්ටත් එල්ල වෙද්දී 88-89 කැරැල්ල, කැරැල්ල නොඉවසූ, එයට සහය නොදැක්වූ, එහි නියෝග වලට අවනත නොවූ, සාමාන්‍ය මිනිසුන් ව ද ඉලක්ක කර ගත්තේ ය.

රජයට විරුද්ධව පෙලපාලි යෑමට ඒ ව්‍යාපාරය ජනතාව මෙහෙය වූයේ පිටුපස හෝ සැඟ වී තුවක්කුව එල්ල කර ගෙන බලහාත්කාරය යොදා ගනිමිනි. ඒ දවස ජීවත් වූ ජනයා කල් ගෙව්වේ මරණය අත්වන්නේ රජයේ හමුදා වලින් ද ඊනියා දේශප්‍රේමී හමුදාවෙන් ද යන්න නොදැන ය. ගිරයට අසු වූ පුවක් ගෙඩි සේ ය.

තමන්ට දේශපාලන වශයෙන් තර්ජනයක් එල්ල වෙතැයි සැක කළ වාමාංශික ව්‍යාපාරයේ අය පවා ඔවුන්ගේ දෘඪ මර්දනයට හසු විය. ජවිපෙ සමග සිට පසුව වෙන් වූ තමන්ගේ ම පැරණි සගයන් කැරැල්ල මෙහෙයවූවන් විසින් මරා දැමුණේ ය.

මරා දැමූවන් දේශද්‍රෝහී ලේබලය යටතේ ගෞරවාන්විත අවමංගල්ලයකට වත් හිමි නැති අය බවට පත් කෙරිණි.

කැරැල්ලේ ස්වභාවය එහි දේශපාලන අරමුණු ඉක්මවා ගොස් තිබුනේ ය. පළමුවෙන් ඒ ගැන කතා කළේ ඒ නිසා ය. දේශපාලන අරමුණ වුව ද සුජාත එකක් වූයේ නැත. උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය පරාජය කිරීම අරමුණ වු බව ක්‍රියාත්මක වූ ආකාරය හා ඉදිරිපත් වූ ඇතැම් සටන් පාඨ වලින් පෙන්නුම් කළේ ය.

එවකට පැවති දේශපාලන පසුබිම සැකෙවින් විස්තර කරන්නේ නම් ඒ උතුරේ කැරැල්ල ආරම්භ වී වසර අටකට වැඩි කාලයක් ගෙවී තිබුණු වකවානුවක ය. ඉන්දියාව උතුරේ කැරලිකාර හමුදාවන්ට තමන්ගේ භූමිය තුළ කඳවුරු පවත්වමින් පුහුණු කරමින් සිටියේ ය. ඒ දෙමල ජනතාවගේ අයිතීන් මායිම් නොකරමින් දකුණේ ආණ්ඩුව කටයුතු කළ නිසා පමණක් නොව එම ආණ්ඩුව ඉන්දියාවට එරෙහිව බටහිර කඳවුරේ පැත්ත ගෙන සිටීමට එකට එක කිරීමක් ද ලෙස ය. මේ වන විට උතුරේ කැරැල්ල අනවශ්‍ය ලෙස ඔඩු දුවා තිබෙන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා ක්‍රියාකාරිත්වයන් නිසා උතුරේ ජනතාව අපහසුතාවයට පත් ව තිබෙන බවත් තමන් මැදිහත් වී යම් විසඳුමක් දිය යුතු බවත් ඉන්දියාව කල්පනා කරමින් සිටි කාලයයි. අහසින් පරිප්පු දමමින් ඊට මැදිහත් වූ ඉන්දියාව තමන් බේරුම් කරුවෙක් ලෙස ක්‍රියාකරන්නට සූදානම් යැයි අනෙත් අතින් දන්වා සිටි සමය යි. පළාත් සභා නැමැති ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් තමන් කිරි පොවා හැදූ වැඩු කැරලිකරුවන් මේච්චල් කර දීමේ වගකීම බාර ගැනීමට ඉන්දියාව සිය සූදානම පල කළ වකවානුවයි. ඒ සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පසු ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබුණු කාලයයි.

ඒ හේතුවෙන් දකුණේ කැරැල්ලේ ප්‍රකාශිත දේශපාලන අරමුණ වූයේ ඉන්දීය වඳුරු හමුදා පළවා හැරීම ය. ඒ සඳහා ඒවාට ආරාධනා කළ දකුණේ ආණ්ඩුව ද පළවා හැරීම ය. වාමාංශය ඉලක්කය කෙරුණු දේශපාලන හේතුව ලෙස දැක් වුනේ උතුරට දේශපාලන විසඳුමක් දීම මගින් රට පාවා දීමට ආන්ඩුවට සහය දැක්වීම ය.

මේ හේතුව නිසා කැරැල්ලේ ස්වභාවය පමණක් නොව කැරැල්ලේ දේශපාලන සුජාත භාවය ද ප්‍රශ්නයක් වූයේ ය. උතුරේ ජනතාවට මොනම හෝ ස්වයං පාලනයක් දීම ඔවුන් දුටුවේ රට පාවා දීමක් ලෙස ය. එහි ජාතිවාදය මොනවට පිළිබිඹු වූයේ ය.

ඒ නිසා ම කිව හැක්කේ ඔවුන් පෙනී සිටියේ උතුරේ කැරැල්ල මිලිටරි බලය යොදා ආම්බාම් කිරීමට බව ය. ඔවුන් ආණ්ඩුවටත් වඩා කැරැල්ල තිරශ්චීනව මැඩලීම වෙනුවෙන් පෙනී සිටීම එක් අතකින් උත්ප්‍රාසජනක විය. අනෙක් අතින් ඛේදජනක විය.

මෙසේ ස්වභාවයෙන් තිරශ්චීන වූ ද අරමුණ අතින් ප්‍රතිගාමී වූ ද 88-89 කැරැල්ල තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ නීති විරෝධී කිරීමේ හා මර්දනය කිරීමේ ප්‍රතිඵලය නිසා ම උපන් බව දැක්වීමෙන් එකී ද්විත්ව වැරදි කාරිත්වයෙන් මිදීමට ඔවුන්ට නොහැකි ය.

ඔවුන් හැසිරුණේ දේශපාලනය ව්‍යාපාරයකට වඩා ත්‍රස්ත මංකොල්ල කරුවන් පිරිසක් ලෙසිනි. ඔවුන්ගේ අවසාන ආයුධය වූයේ යුද්ධ හමුදාවෙන් අස් නොවන පවුල් වල අයට දඩුවම් පමුණුවන බව කියමින් යුද්ධ හමුදාව අකර්ණම්‍ය කොට බලය අල්ලා ගැනීමට ය. එහෙත් එය ම ඔවුනට භූමරංගයක් වූයේ ය.

නිලධාරීන්ගේ සිට සාමාන්‍ය සෙබලා දක්වා හමුදාවේ සෑම තරාතිරකම කෝපයට ඔවුන් නතු ව ගියේ ය. ඉතාමත් තිරශ්චීන ලෙස මරා දමන ලද තරුණ තරුණියන්ගේ මල සිරුරු වලින් පොළොව තෙත් වුනේ කැරලිකරුවන් විසින් මරා දමන ලද මිනිසුන්ට අමතරව ය. අවසානය වන විට මරණු ලැබුයේ කවුරුන් විසින් ද යන්න පවා සොයා ගත නොහැකි තරමයට මරණ තරඟය උග්‍ර වූයේ ය.

ඒ නිසා ම ජවිපෙ නායකයින් අල්ලා ගනු ලැබූ විට බොහෝ මිනිසුන් සුසුමක් හෙලන්නට ඇත.

කැරැල්ල අවසන් නිසා දැන් අපට ඉතිරිව ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ පමණ ය. එහෙම ඒවා බොහෝ තිබුනේ ය. මෙය එයින් එකක් පමණ ය.

දෙපැත්තේම මරා දමනු ලැබුයේ යටත් වීමට අකමැති වූ මිනිසුන් ය. තරුණ තරුණියන් ව ය. ඒ නිසා මේ සියලු මරණ විරු මරණ ලෙස අවශ්‍ය නම් කෙනෙකුට හැඳින්විය හැකි ය. එහෙත් ජවිපෙට අනුව විරුවන් වන්නෙ කැරලි කරුවන් ලෙස මිය ගිය අය පමණ ය.

ඔවුන් විරුවන් ද? ඊට උත්තර මම හරියට ම නොදනිමි.

ඔවුන් නිර්භීත දැයේ දරුවන් වූ බව නම් සැබෑ ය. ඒ අහිමි වූ ජීවිත අපට සිටි වටිනාම මිනිසුන් කොටසකගේ බව ද මම පිළිගනිමි. එහෙත් ඔවුන් මියගියේ නිරපරාදේ ය. යටි අභිමතාර්ථයන් තිබූ නායකයන් විසින් අයාලේ යවනු ලැබූ නිසා ය. ඇතැම් නායකයන් ද නොදැනුවත් කම නිසා අයාලේ ගිය වූවන් ද විය හැකි ය. අයාලේ ගිය අයටත් විරුවන් යැයි කිව හැකි නම් 88-89 කැරැල්ලෙන් මිය ගිය ජවිපෙ සමාජිකයන් ද විරුවන් ලෙස සැලකීමේ වැරැද්දක් නැති බව කියමින් මේ සටහන අවසන් කරන්නෙමි. 

ජනතා විමුක්ති පෙරමුණට අදට ද දේශපාලන ව්‍යාපාරයක් ලෙස නැගී සිටීමට බැරි වීම පිටුපස 71 කැරැල්ලට ද වඩා බලපෑවේ ත්‍රස්තවාදය සිය කුරිරම ස්වරූපයකින් යොදා ගැනීම පදනම් කර ගත් 88-89 කැරැල්ල ය. ඒ ගැන සමාවට කාරණා කීමෙන් පමණක් ඔවුන්ට එයින් ගැලවිය නොහැකි ය. ඒ සඳහා වඩා විවෘත පාපෝච්චාරණයක්, කළ වැරදි නිශ්චිත ව හා විස්තීරණ ව දක්වන පාපොච්චාරණයක්, අවශ්‍ය ය.

මේ සමග ඇති ඡයාරූපයේ තිබෙන්නේ ඉල් මහ විරුවන් විසින් ඉදිරි කරන ලද තාප්පය පිළිබඳ සංකේතයකි. ඒ තාප්පය අදටත් බාධකයක් ව ඇති බව ඉක්මණින් පසක් කරගත් තරමට යහපත් ය. ඒ සඳහා කළ යුත්තේ පිටුපස හැරී බැලීම ය.