රටට වැරදුනේ කොතැන ද?

May be an image of outdoors

රටට වැරදී ඇති බව බොහෝ දෙනෙක් පිළිගනිති. එහෙත් වැරදුනේ කොතැනදැයි දන්නා අය අඩු ය. ඒ ගැන හොයන්නට උනන්දුවක් ද බොහෝ දෙනෙකු තුළ නැත. එසේ උත්සහ ගැනීමට අලස බොහෝ දෙනෙකු සිතන්නේ වැරැද්ද ඇත්තේ රටේ නායකයා තුළ බව ය. ඔහු නිවැරදි නම් ඒ අයට අනුව සියල්ල හරි යනු ඇත.

ඒ අනුව යමින් වැඩි දෙනෙකු කරන්නේ නායකත්වයට වඩාත්ම සුදුසු අනුප්‍රාප්තිකයා සෙවීම ය. බොහෝ අය වැරදි කරන නිසා ම ඔවුන්ගේ උපාය මාර්ගය වී ඇත්තේ අඩුවෙන් ම වැරදි කරන අනුප්‍රාප්තිකයෙකු සොයා යෑම ය.

මට හිතෙන හැටියට නම් ලෝකයේ දක්ෂම නායකයා අප විසින් සොයා ගනු ලැබූව ද මේ රට වැටී ඇති තත්වයෙන් මුදා ගැනීමට ඔහුට හෝ ඇයට පමණක් නොහැකි බව ය. ඒ එවැනි නායකයෙකු අවබෝධ කර ගැනීමට සමත් ජනතාවක් රටේ නැති නිසා ය.

බුදු හිමියන් අද වැඩියත් ඒ හිමියන්ට ද මුහුණ දීමට සිදු වනු ඇත්තේ ද ජන විරෝධයකට ය. ඒ වත්මන් භික්ෂූන් විසින් මෙහෙයවන විරෝධයකට ය. ඔවුන් පසු පස යන ඊනියා සිංහල බෞද්ධයන්ගේ විරෝධයට ය. ඒ නිසා නායකයෙකු සොයා යෑමෙන් එහෙමකට ප්‍රයෝජනයක් අත් වන එකක් නැත

අප පළමුවෙන් සොයා ගත යුත්තේ අපට වැරදී ඇත්තේ කොතැන ද කියා ය. එය තනි නායකයෙකු සොයන තරම් පහසු නැත.

මට හිතෙන හැටියට වැරදි හැම තැනක ම ය. පාසල අප්සෙට් ය. පංසල රුයිතෙට ය. මාධ්‍ය ජඩ ය. ආර්ථිකය අවුල් ය. ආගම කචල් ය. ආකල්ප අමු ගොන් ය. කලාව ඇතැම් තැනක විරුව පට්ටං ය. රාජ්‍ය අංශය අංග විකල ය. පුද්ගලික අංශය දේශපාලනඥයන්ගේ කරේ එල්ලී ගොඩ යෑමට සිතන මිනිසුන්ගෙන් සමන්විත ය. සෙසු ව්‍යාපාරිකයන්ට ඉඩක් සමාජය තුළ නැත. සෙසු මිනිසුන්ට සංවේදී මිනිසුන් රටේ නැති තරම් ය. කොන්දක් බො‌හෝ අයට ඇත්තේ ම නැත. වැඳ වැටිලා ම ඒක නැමිලා වකුටු වෙලා ය. මිනිසුන්ට අදහන්නට නිකම් ම නිකම් කපුරාල කෙනෙකු ප්‍රමාණවත් ය. එවැන්නෙකු සපයන ඔ්නෑම පැණියකට වහ වැටෙන්නට බොහෝ මිනිසුන් ලෑස්ති ය. ඒ සඳහා උගත්කමවත් හරස් වෙන්නේ නැත. උපාධි ලබා ඇත්තේ කුමන අධ්‍යාපනයකින් පසු ද යන්න පවා සැක සහිත තරමට විද්වතුන්ගේ වචන පමණක් නොව හරඹ ද පුදුම එලවන සුළු ය.

මේ ව්‍යාසනයෙන් රටත් ජනතාවත් ගොඩ ගැනීමට තනි මිනිසෙකුට හැකියාවක් ඇතැයි ඒ නිසා මොළේ ඇති මිනිසෙකුට නම් හිතෙන්නේ නැත. ඒත් එහෙම මොළයක් ඇති අය අඩු ය. එහෙම කල්පනා කරන්නට බුද්ධියක් ඇති දැක්මක් ඇති මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් අද සිටින්නේ පාස්පෝට් පෝලිමේ ය. ඉතිරි අය ඉන්නේ හති වැටිලා ය.

මීටත් වඩා පහළට වැටුනු රටවල් ද ගොඩ ගොස් ඇති නිසා අප අධෛර්ය වත් විය යුතු නැත. එහෙත් රට ගොඩ ගැනීමට ෂෝට් කට් සෙවීමෙන් නම් පලක් වන්නේ නැත. ඒ සඳහා වෙහෙසකර මාවතක යා යුතු ය. වැරදුනේ කොතැන ද යන්න ගැන සාකච්ඡාවක් ඒ සඳහා අවශ්‍ය ය.

අප කතා කළ මේ හැම ක්ෂේත්‍රයක ම වෙනස් කම් පිළිබඳ සිහිනයක් මට තිබිණි. එවැනි සිහින විසිපහක් එවකට එවැනි සංවාදයකට ඉඩ හසර තිබුනු දිනමිණ පුවත් පතේ වරින් වර පළ කළෙමි. ඒවා කියවන්නට කැමති අය ට මගේ “වචන සෙල්ලම්” බ්ලොග් අඩවියට ද “යුක්තිය” වෙබ් අඩවියට ද දිනමිණ පරණ පුවත් පත් වලට ද පිවිස පිරික්සිය හැකි ය. ඒවා කියවූ සෙයිරි ප්‍රකාශක රනිල් ඇල්විටිගල මහතා එය “අපේ සිහින දේශය” යන මැයෙන් පොතක් හැටියට ද පල කළේ ය.

එහි සඳහන් සියල්ල හරියට ම හරි යැයි කියන්නට මා සූදානම් නැත. එහෙත් ඒ හැම දෙයක් ම සංවාදයට බඳුන් විය යුතු ඒවා ය. එවැනි සංවාදයක් ඉදිරියට ගෙන යා යුතු යැයි මම තරයේම විශ්වාස කරමි. ඒ වැරදුනේ කොතැන දැයි දැන ගැනීමට ය. දැනුවත් සක්‍රීය පුරවැසියන් නැතිව තනි නායකයෙකුට රටක් ගොඩ නැගිය හැකි ය යන සිහිනයෙන් අප ඉක්මණින් ඉවත් විය යුතු ය.

යම් නායකයෙකු රට හැදිය යුතු යැයි අවංකව විශ්වාස කරන්නේ නම් කළ යුත්තේ තමන් අනෙත් අයට වඩා දක්ෂ යැයි පෙන්නීමට හෝ සෙසු නායකයින් තමන්ට වඩා අදක්ෂ වංචනිකයන් යයි පෙන්නුම් කිරීමට හෝ වෙහෙස වීම නොවේ. මිනිසුන් තුළ මේ කියන සංවාදය ගෙන යෑමට අඩිතාලම දැමීමට ද කටයුතු කිරීම ය. මිනිසුන් වෙනස් කිරීමට කටයුතු කිරීම ය.

එසේ කරන කෙනෙකු මේ සොයන නායකයන් අතර නම් මා දැක නැත. එවැන්නකට තමන්ට හැකි පමණින් කටයුතු කළ එක් නායකයෙකු ගැන මම දනිමි. ඒ “සිය අවසාන යුගයේ” අප දුටු මංගල සමරවීර ය. එහෙත් ඔහු දැන් අප අතර නැත. එහෙත් නායකයින් නැති වුනත් මේ සංවාදය ඉදිරියට ගෙන යායුතු යැයි කල්පනා කරන මිනිසුන් නම් මට බොහෝ හමු වී ඇත. මා අපේක්ෂා දල්වා ගන්නේ ඔවුන් දෙස බැලීමෙනි.

අපට වැරදුනේ දැනුමට පිටු පෑ නිසා ය. විද්‍යාවට පිටු පෑ නිසා ය. අතීතය බදා ගත් නිසා ය. මිත්‍යාව වැළඳ ගත් නිසා ය. අප ලොව ඉහළම මිනිසුන් ලෙස වැජඹුනු ජාතියක් යැයි පාරම්බාමින් සිටි නිසා ය. ව්‍යාපාරිකයන් යනු අපට කෙළවන්නට ඉන්නා මිනිසුන් ලෙස නම් කරමින් ඔවුන්ට කෙළවන්නට කටයුතු කළ යුතු යැයි සිතූ නිසා ය. එය දුප්පතුන් වෙනුවෙන් අපට කළ හැකි ඉහළ ම කටයුත්ත ලෙස සැලකූ නිසා ය. උන් නැතිවාට රජයට සියල්ල කළ හැකි යැයි සිතූ නිසා ය. මිල පාලනයෙන් බඩු මිල අඩු කළ හැකි යැයි සිතූ නිසා ය. අපට අවශ්‍ය හැම දෙයක් ම මේ රටේ ම නිපදවිය හැකි යැයි සිතූ නිසා ය. නවීන තාක්ෂණය ගැන විශ්වාසය නොතැබූ නිසා ය. ඒ වෙනුවට අතීතයේ අපට තිබුනේ යැයි කියන තාක්ෂණය ම සොයමින් සිටින නිසා ය. ලෝකයේ රටවල් මාන බලමින් සිටින්නේ අපට එරෙහි ව කුමන්ත්‍රණ කරන්නට යැයි සිතූ නිසා ය. සිංහල හා බෞද්ධ නොවන අය ඉන්නේ සිංහල බෞද්ධයින්ට කෙළවන්නට යැයි සිතා ඊට කලින් උන්ට කෙළවිය යුතු යැයි සිතූ නිසා ය. ලයිස්තුව දිග ය. අප දිගට ම ලියුවේ අප විහින් ඉල්ලා කන මේ සන්තෑසිය ගැන ය. ඉදිරියට ද අපි ලියන්නෙමු. එක එකා මේ අවබෝධය ලබා ගන්නා තුරුම ලියන්නෙමු. අපට හති වැටෙන තුරුම ලියන්නෙමු.

නායකයන් බිහි වනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන ජනතාව බිහිකිරීමට අපි පෙල ගැසිය යුතු වෙමු.