සල්ලි, බලය, විවෘත ආර්ථිකය, මත්පැන්, ගෑණු හා අවි ආයුධ

බොහෝ ව්‍යාසනයන්ට ඛේදවාචකයන්ට මුල සල්ලි ය. සල්ලි ඉස්සරහ දොරින් ගෙට වදින විට මනුස්සකම පෑල දොරින් පිට මං වන්නේ ය. ඒ පිළිබඳ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ අපට හිතෙන හැටි ය. ඒ සිතුවිල්ල කොහෙත්ම අසාධාරණ නැත. සල්ලි ලැබුණු පසු නොමිනිසුන් වූ මිනිසුන් අප දැක තිබෙන නිසා ය.

“අහිංසක” අංගුලිමාල කළේ ඔහුගේ ගුරුතුමා ය. ඒ අයුරින් ම අප විසින් දක්නා ලද ඒ “අහිංසක” මිනිසුන් ඝොරතර සපුන් බවට පත් කළේ සල්ලි ය. ඒ අර්ථයෙන් අප හැම කෙනෙක් ම අහිංසක ය. අප නොමිනිසුන් කරන්නේ බාහිර බලවේග විසිනි. එයින් එකක් සල්ලි ය.

සල්ලි ළගට ම එන තව එකක් තිබේ. ඒ බලය ය. බලය ද බොහෝ මිනිසුන් නොමිනිසුන් කරන්නේ ය. ඒ ද ඇත්තකි. අප ඇස් පනා පිට සිදු වූ, සිදු වන,  අපට මග හැර යා නොහැකි සංසිද්ධියකි. සල්ලි බලයට මග පාදන අතර බලය සල්ලි උපයන ඉල්ලමක් ද වී ඇති මේ කාලයේ ඒ දෙක ම ඒකරාශී වුනු විට තත්වය ඉතාම භයානක ය. ඒ නිසා ඒ දෙක ම යක්ෂයාගේ සාපය රැගත් බලවේගයන් ය.

විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දෙනු ලැබුයේ 1977 දී ය. බොහෝ අය කියන්නේ අප නොමිනිසුන් බවට පත් කිරීමේ වගකීම එය විසින් ද දැරිය යුතු බවකි. ඒ මතයට අනුව එකිනෙකා පරයා නැගෙන වුවමනාව ඇති කරන ලද්දේ ද සහෝදරත්වය සාමූහිකත්වය නැති කරන ලද්දේ ද ඒ හඳුන්වා දීම නිසා ය. අපේ අහිංසක මිනිසුන් මත කඩා පාත් වූ හෙණයක් ලෙස විවෘත ආර්ථිකය බොහෝ දෙනාගේ විවේචනයට ලක් ව ඇත්තේ ද ඒ නිසා ය. ඒ නිරීක්ෂණයේ ද බැලූ බැල්මට එහෙමට වැරැද්දක් නැත. බඩු භාණ්ඩ සුලභ වීමත් ඒවා ගැනීමට මුදල් අවශ්‍ය වීමත් නිසා මිනිසුන් අන් සියල්ල පසෙකලා මුදල් හරි හම්බ කිරීමට වෙහෙසෙන්නට පටන් ගත්තේ ඉන් පසුව ය. වෙනදා සුහදත්වය පතා දුන් හැම දෙයක් මත් විකුණන්නට පුරුදු වුනේ ද ඒ නිසා ය.

මිනිසා නොමිනිසා කරන තව දේ ද තිබේ. ඒ අතරින් ඉදිරියට එන එකක් මත් පැන් ය. මත් ද්‍රව්‍ය ය. එහි ද අසත්‍යයක් නැත. බීමට ඇබ්බැහි වුනු එකා ගැන කුමන හෝ විශ්වාසයක් තැබිය නොහැකි ය. ඒ නිසා ඒ ද පිටු පෑ යුතු ලයිස්තුවට ඇතුළත් වේ. මතට තිත තියන පොරොන්දුව මහා ආශ්වාදයක් වන්නේ ඒ නිසා ය. බාර් වැහුවහම සතුටු වන්නේ ඒ නිසා ය. මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එල්ලුම් ගස ගේනවා යැයි කියන විට අපට පස් වනක් ප්‍රීතියක් දැනෙන්නේ ඒ නිසා ය.

ඊළගට එන්නේ ගැහැණිය ය. ඇයගේ සුකුමාර දේහය දකින පිරිමි වියරු වැටෙති. ඒ අහිංසක පිරිමින් ඒ වියරුවෙන් බේරා ගත හැක්කේ ගෑණියකගේ සුන්දරත්වය කුමන හෝ අකාරයකින් මතු වන්නට තිබෙන සියලු ඉඩකඩ වසා දැමීමෙනි. ඒ නිසා කළ යුත්තේ උඩ සිට පහලට ඇය ව වසා දැමීම ය. ඇයට දැරිය නොහැකි ගෝනියක් වගේ එකකින් ඇය වසා තැබීම ය. වික්ටෝරියානු යුගයේ කාන්තා ඇඳුම බොහෝ දික් වූ නිසා කාන්තාවගේ විලුඹ ද ආකර්ශණීය වූ බවක් අප අසා ඇත. ඒ නිසා ඇඳුමෙන් පමණක් මේ නිමිත්තෙන් ගැලවෙන්නට අපට බැරි ය. කළ යුත්තේ හැකිතාක් දුරට කාන්තාව ගේ මුල්ලට ම තල්ලු කර දැමීම ය. රැකියාවෙන් අධ්‍යාපනයෙන් ඉවත් කර තැබීම ය. තලේබාන් මිනිසුන් කරන්නේ අන්න ඒ “උත්තුංග” කටයුත්ත ය.

තුවක්කු හා අවි ආයුධ ද මිනිසුන්ට පේන්නට බැරි ද ඒ නිසා ය. ඒවා මිනිසුන් නොමිනිසුන් කරන්නේ ය. අහිංසක මිනිසුන් මිනීමරුවන් බවට පත් කරන්නේ ය. ඒ නිසා ම ඒවා තහනම් කළ යුතු ය. ප්‍රශ්නයකට ඉතිරි වන්නේ මිනිසෙකු මැරීමට තව බොහෝ දේ ද භාවිතා කරන්නට පුළුවන් වීම ය. ඒ අතර මන්නය පොරොව මෝල්ගහ පමණක් නොව කුස්සියේ මස් කපන පිහිය වැනි බොහෝ දේ ද ඇත. ඒවා තහනම් කිරීම නම් උගහට ය.

අප හිර වන්නේ ඔන්න ඔතන දී ය.

අප මේතාක් කළේ අපේ පිටින් ඇති බාහිර දේ ට වරද පටවා අප අහිංසකයන් බවට පත් කර ගැනීම ය. ඒවා පිළිකුල් කිරීම ය. බැහැර කිරීම ය. හැකි නම් තහනම් කිරිම ය. ඒ හරහා අපේ වගකීමෙන් අප ව නිදහස් කර ගැනීම ය. එය තව දුරටත් කළ නොහැකි ය.

අප කැමති වුව ද අකමැති වුව ද මේ සියල්ල අතීතයේත් පැවති අතර අද මෙන් ම අනාගතයේ දී ත් පවතිනු ඇත. ඒවා අයත් වන්නේ ඇතිවත් බැරි නැතිවත් බැරි ගොඩට ය. ඒ නිසා අප මේ වියවුලෙන් මිදීමට වෙන මගක් සොයා ගත යුතු ය.

අප බොහෝ දෙනෙකු විසින් අමතක කර ඇති, බමුණන් විසින් කිළිටි නොකරන ලද, බුදු වදන් පිහිටට එන්නේ මෙතැන දී ය.

බුදුන් වහන්සේ මේ බාහිර බලවේග සමග ගැටුමකට ගියේ නැත. ඒවා තහනම් කරන ලෙස උන්වහන්සේගේ කුළුපග ශ්‍රාවකයන් වූ රජවරුන්ගෙන් වත් ඉල්ලීමට ගියේ නැත.

උන් වහන්සේ මේවා සතුව තිබූ දූෂ්‍ය ගුණය දැන සිටියහ. ඒ බව සෙස්සන්ට පෙන්වා දුන්හ. උන් වහන්සේ අනු දැන වදාළේ ඒවායින් තමන් කිළිටි නොවන බවට වග බලා ගන්නා ලෙස ය. තම සිත් පිරිසිදු ව තබා ගන්නා ලෙස ය. තමාගේ සිත තුළට ඒවා වැද්ද ගැනීමේ දී පරිස්සම් වන ලෙස ය. ඒවා සමග ගනුදෙනු කිරීමේ දී පරිස්සම් වන ලෙස ය. ඒවායින් තමන්ට අනිසි බලපෑමක් ඇති නොවන තැනට තමන් ශක්තිමත් වන ලෙස ය.

උන් වහන්සේ අදහස් කළේ අධ්‍යාපනය, මෙම පෙළඹවීම් වලින් මිනිසුන් ගලවා ගත හැකි, මාර්ගය හැටියට ය. උන් වහන්සේ දෙසුවේ බාහිර සමග ඔට්ටු වනු වෙනුවට තමන් පිළිබඳ අවධානයෙන් පසු වන ලෙස ය. තමන්ගේ ගැලවීම ඒ හරහා සකසා ගන්නා ලෙස ය.

ඒ බුදු බණ වෙනුවට බොහෝ දෙනෙකු දන්නේ බමුණන් විසින් කිළිටි කරන ලද බණ ය. වේදිකා දෙදරවමින් කතා කරන, බොහෝ විට අද මාධ්‍යයන් විසින් පුම්බා ඇති, හාමුදුරුවන්ගේ බණට සවන් දෙන විට හොඳින් විමසන්නේ නම් පෙනෙනු ඇත්තේ ඒ උන්නාන්සේලා කියන්නේ බුදු බණ නොව බමුණු මත බව ය. තම අභ්‍යන්තරය සමග කරන ගනුදෙනුව අත් හැර ඇති උන්නාන්සේලා “ගේම” ඉල්ලන්නේ බාහිරව පවතින, ඇතැම් විට නොපවතින එහෙත් හිතෙන් මවා ගත්, දේ සමග ය. රටේ අවාසනාවට බොහෝ දෙනෙකු කැමති ඒ බණ අසන්නට ය. ඊට එක් හේතුවක් නම් අප කලින් ද දැක් වූ පරිදි තමන්ට වැරදිකරුවන් වීමේ වගකීමෙන් නිදහස් විය හැකි නිසා ය. තමන්ගේ වැරදි දුර්වලකම් ඒවා මත පටවා නිදහස් විය හැකි නිසා ය. අර්බුදය ඇත්තේ සල්ලි වල වත් බලයේ වත් විවෘත ආර්ථිකයේ වත් මත්පැන් වල වත් ගැහැණු අඟ පසඟ වල වත් අවි ආයුධ වල වත් නොව අපේ සිත් තුළ බව උගන්වන අධ්‍යාපනයක් රටට අවශ්‍ය ය. ඒවා ගැන අනිසි අවධානයක් යොමු කිරීමෙන් අප කරන්නේ අපේ වගකීමෙන් අපව නිදහස් කර ගැනීමේ බොළඳ උත්සහයක නිරත වීම බව කියන අධ්‍යාපනයක් රටට අවශ්‍ය ය.