මිත්‍යා විශ්වාස වලට මේ තරම් ලැදි ඇයි?

See the source image

“අපේ රටේ තරුණ පරම්පරාව මිථ්‍යා විශ්වාස කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති බව පෙනේ. ඒකට විශේෂ හේතුවක් තිබෙනවා ද?” මේ මුහුණු පොතේ මිතුරෙකු මට යොමු කළ ප්‍රශ්නයකි. මේ සටහන ඒ සඳහා පිළිතුරක් දීමට මා කරන්නා වූ වෑයමකි. ඔබට ද මේ සංවාදයට දායක විය හැකි ය.

මගේ මිතුරා එම ප්‍රශ්නය සඳහා තරුණ පරම්පරාව පමණක් ඉලක්ක කර ගත්තේ ඇයි ද යන්න නම් මට නොවැටහේ. මක් නිසා ද යත් මෙය පරම්පරාවෙන් පරම්පරාවට යන නිධන් ගත රෝගයක් නිසා ය. මට හිතෙන්නේ එසේ කිරීම මගින් ඔහු වත්මන් තරුණ පරම්පරාවට අසාධාරණයක් කර ඇති බව ය. ඒ නිසා මා කැමති පොදුවේ ලාංකිකයා මිත්‍යා විශ්වාස වලට මේතරම් ලැදි ඇයි දැයි විමසීමට ය.

විචාරය වෙනුවට දීනත්වයේ දයාදය

අපව හුරු කර තිබෙන්නේ ප්‍රශ්න කරන්නට නොව අනුගමනය කරන්නට ය. කරබා ගෙන අනුගමනය කරන්නට ය. අන්දරේගේ අම්මා අන්දරේට කිව්වා වගේ දෙන දේ කා ගෝනා වගේ හිටින්නට ය.

හාමුදුරුවන් බණ කී පසු තිබෙන්නේ සාදු කියන්නට ය. කොතෙක් ප්‍රශ්න තිබුණත් ඒවා ප්‍රසිද්ධියේ අහන්නට බැරි ය. ආගම තියෙන්නේ විශ්වාස කරන්නට මිස විචාරය කරන්නට නොවේ ය.

වැඩිහිටියෙකුට කීකරු වෙනව මිසක ප්‍රශ්න කිරීමට අපට අවසර නැත. එය සහගහන අපරාධයකි. වැඩිහිටියෙකු වැරදි දෙයක් කළ ද ඉවසිය යුතු ය. වැඩිහිටියෙකු හා හරිහරියට සංවාදයක යෙදීම පවා සැළකෙන්නේ එකට-එක කීමක් ලෙස ය.  නොමනා වැඩක් ලෙස ය. තියෙන්නේ අහ ගෙන ඉන්නට ය. හූමිටි තියන්නට ය. වැඳ නමස්කාර කර පිළිගන්නට ය.

ගුරුවරුන් ප්‍රශ්න කිරීම විනය විරෝධී වැඩකි. පාසල් ජීවිතයට ම දුක උරුම කර දෙන වැඩකි. ප්‍රශ්න කරන ලද ගුරුවරයාගේ පමණක් නොව ගුරු පරපුරේමත් දෙමාපියන්ගේත් උදහසට ලක් වන වැඩකි.

දෙවියන් ගැන සැක පහල කිරීම වුව දරුණු විපාක හිමිවන කට වරද්දා ගැනීමකි. ඒවාට පිටින් යන අයට හිමිවන්නේ දෙවියන්ගේ ශාපය ය. නැතිනම් අපාය ය.

විද්‍යාව වෙනුවට විජ්ජාව

ඒ හුරු කිරීම කරන්නේ කුඩා කාලයේ පටන් ය. ජීවිතයේ හැම කටයුත්තකට ම සම්බන්ධ වන එකක් ඇත්නම් ඒ මිත්‍යාව ය.

ලෙඩකට වෛද්‍යවරයෙකු මුණ ගැසුනාට මදි ය. බෝධි පූජාවක් කළ යුතු ය. වතුර කළයක් මැතිරිය යුතු ය. තොවිල් පවිල් කළ යුතු ය. දෙහි කැපිය යුතු ය. මැතිරිය යුතු ය. සෙත් කවි කිව යුතු ය. සෙත් පිරිත් කළ යුතු ය. පිරිත් පැන් පානය කළ යුතු ය. නූල් බැඳිය යුතු ය.

දරුවෙකු උපන් විට මුලින් ම කරන කටයුතු අතර වේලපත්කඩය හැදීම ද එකකි. ඉන්පසු කරන හැම කටයුත්තක දීම – ඉඳුල් කට ගාන්නටත් අකුරු කියවන්නටත් කොටහළු මගුලටත් විවාහ මගුලත් තව එකී නොකී වැදගත් හැම මගුලකටමත් වේලපත්කඩය වුවමනා ය. ඒක බලා සුබ වේලාවන් දැන ගත යුතු ය. අසුබ වෙලාවන් මග හැරිය යුතු ය. ඒ අනුව කටයුතු කළ යුතු ය.

කරදරයක් වුනොත් දුවන්නේ අන්න ඒ කේන්දරේ බලවා ගන්නට ය. ඊට පසු කටයුතු සිදු වන්නේ කේන්දර කාරයා කියන විදිහට ය.

මේ හැසිරීම ප්‍රදර්ශනය නොකළොත් සමාජයෙන් අසන්නට වෙන්නේ අපවාද ය. දරුවා ලෙඩ වෙලාවත් පෙනේ ද බෝධී පූජාවක් වත් කරන්න උනන්දුවක් නෑ – මොකෝ ඔ්ක කළා කියල ඇඟෙන් කෑල්ලක් යනව ද යනුවෙන් නැගෙන අවලාද ය. එවන් අය සළකනු ලබන්නේ නරුමයන් ලෙස ය.

පරිසරය ජය ගැනීම උදෙසා අභියෝගයන් ඉදිරිපත් කළේ නැත

අපේ රටේ ස්වභාවීක විපත් අවම ය. භූමිකම්පා නැත. දරුණු සුළි සුළං නැත. ගංවතුර ඒ හැටි දරුණු නැත. බොහෝ විට මිය යන්නේ ගංවතුර ගණන් නොගන්නා මිනිසුන් ය. නාය යෑම් ඇතත් ඒවා හදිසියේ සිදු වන ටික දෙනෙක් පමණක් මරණයට පත් කරන ඒවා ය. ලැව් ගිනි නැත. ඔරොත්තු නොදෙන සිතලක් නැත. ඒ නිසා ම අපට තිබුනේ සෞම්‍ය ජීවිතයකි.

විලි වසා ගැනීමට අමතරව ඇඳුමක වුවමනාව වත්, හෙවනකට අමතරව ගෙයක වුවමනාව වත්, තිබුනේ නැත. සීතල කාලයට අවශ්‍ය අඩුම කුඩුම එකතු කිරීමක් ද සිදු වූයේ නැත. ඒ නිසා ම විද්‍යාව ඒ හැටියට වුවමනා වූයේ ද නැත. එකම දෙය දිගින් දිගට කර ගෙන යෑමෙන් සෑහීමකට පත් වීමට අපට හැකි විය. ඒ සඳහා අවශ්‍ය වූයේ පුරුද්ද පමණ ය.

මුහුදෙන් වටවූ දිවයිනක් නිසා තරමක ආරක්ෂාවක් ද තිබුණේ ය. වරින් වර සතුරු ආක්‍රමණ ඇති වුන ද සාමාන්‍ය මිනිසාගේ ජීවිත වලට එයින් ඇති වූ බලපෑම අල්ප ය. බොහෝ ආක්‍රමණ සිදු වුනේ ඇතුළත ඉල්ලීමක් අනුව ය. එසේ නොවූ ඒවා ජය ගත්තේ ඇතුළත ආධාරයක් ඇතිව ය. සම්මුතියෙන් ය. ඒ නිසා ද ජන ජීවිතය අවුල් වූයේ නැත.

එකම ප්‍රශ්නයකට තිබුනේ වියලි කලාපයේ ශිෂ්ඨාචාරය පැවතුණු කාලයේ නියං සමයකින් බැට කෑමට සිදු වීම ය. ඒ සඳහා පමණක් අපේ මිනිස්සු විද්‍යාව සොයා ගියෝ ය. වැව් කර්මාන්තය බිහි වුනේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. විශාල චෛත්‍ය හා ආගමික ස්ථාන ඒ ශිෂ්ඨාචාරයේම අතුරු ඵලයන් විය. ඒවා සඳහා ද විද්‍යාව යොදවා ගැනිණි.

වියලි කලාපය පුරා පැතිරුණු මැලේරියා වැනි ලෙඩ රෝග නිසා තෙත් කලාපයට සංක්‍රමණය වීමෙන් පසු ඒ වුවමනාව ද නැති විය.

ඉතිරි වූයේ විද්‍යාවෙන් විසඳුම් ඉල්ලා නොසිටින හෝ එයින් එක එල්ලේ විසඳිය නොහැකි අභියෝග කීපයක් පමණ ය. ඒවා අතර ලෙඩ දුක්, සතුරු කරදර හා වනසතුන්ගේ කරදර තිබිණි. ඒවායින් ගැලවිය හැකි එකම මාර්ගය වාසනාවේ පිහිට පමණ ය. මිත්‍යා විශ්වාස හරහා ඒවාට විසඳුම් සෙවීමට පමණක් මනස යොදවන්නට ඇත්තේ ඒ නිසා විය යුතු ය.

ඒ හැටි අභියෝග නොතිබූ සෞම්‍ය ජීවිතය ඉල්ලා සිටියේ කීකරු කම ය. වසර ගණනාවක් ගත වුන ද මිනිසුන්ගේ ජීවිතවල ඒ හැටි වෙනසක් ඇති නොවුනේ ය. ඒ නිසා කැරලි ගහන්නට, සොයා යන්නට, විචාරය කරන්නට අවශ්‍ය වූයේ නැත.

දැනුම පරම්පරාවෙන් පරම්පරාවට පවරා දෙන ලද්දේ ය. ඒ අතර සරල ශිල්ප ක්‍රම ද මිත්‍යාව ද හරි හරියට තිබුනේ ය. ඒවා වෙන වෙනම නොව මිශ්‍ර කර තිබුණේ ය. එය ලබා ගැනීම සඳහා ද කීකරු කම අනිවාර්යය වූයේ ය. දීන කම කොන්දේසියක් වූයේ ය.

එක ම දෙය දිගින් දිගට කරමින් පරම්පරාවෙන් පරම්පරාවට වැඩ කටයුතු කර ගෙන ගිය මිනිසුන්ගේ ජීවිත නැවත වතාවක් වෙනස් වන්නට පටන් ගත්තේ යුරෝපීයන්ගේ ආගමනයෙනි. එහෙත් ඔවුන්ට පවා මිනිසුන්ගේ ජීවිත වල වෙනසක් කිරීම පහසු වූයේ නැත. කුලියට වැඩ කිරීමට ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගන්නට සුද්දන්ට සිදු වුනේ වෙනස් වීමට අපේ මිනිසුන් දැක් වූ අකමැත්ත නිසා ම ය. මිනිසුන් වෙනස් නොවුනා නොවේ. එහෙත් වෙනස් වූයේ හෙමිනි. ඒ සඳහා ඇටුවම් බැස තිබුණු සම්ප්‍රදායික මානසිකත්වය ද හික්මවනු ලැබ තිබුනු පුරුදු චර්යාව ද දැඩි ලෙස බලපෑවේ ය.

කුමක් වෙනස් වුවත් කිඳා බැස තිබූ ජීවිතයේ හැම සංසිද්ධියක් හා බද්ධ වූ මිත්‍යා විශ්වාස නම් වෙනස් වූයේ ම නැත. අද ද අප ඉන්නේ එතැන ය. විද්‍යාව පිළිබඳ ආචාර්යය මහාචාර්යය වරු පවා මිත්‍යාව පසුපස යනු අප තවමත් දකින්නේ ඒ නිසා විය හැකි ය.

උගුල

විද්‍යාවත් විජ්ජාවත් කලවමට භාවිතා කරන නිසා අපට ප්‍රතිඵල ලැබෙන්නේ කුමකින් ද යන්න අපට වැටහෙන්නේ නැත. ඒ නිසා විජ්ජාවට තවදුරටත් ජීවත් විය හැකිව තිබේ.

විද්‍යා අධ්‍යාපනය සීමා වී ඇත්තේ විභාග පාස් කරන්නට පමණ ය. එය ජීවන දැක්මක් බවට පත් වූයේ නැත. ඒ සඳහා අප කලින් කී හේතු දැඩි ලෙස බල පෑවේ ය.

රට ජාතිය ආගම මෙන්ම අප කී සියලු මිත්‍යා විශ්වාස ද එකක් හැටියට මිස වෙන වෙනම සැලකීමක් අපට නැත. ඒ නිසා එකකට විරුද්ධ වීම යනු සියල්ලට විරුද්ධව යෑම ය. ගැලවීම අපහසු වීමට මේ බන්ධනය ද බල පා ඇත්තේ ය.

කොහොමටත් කරුණු සංඛ්‍යාලේඛන තර්ක විතර්ක සහිත කර්කෂ විද්‍යාවට වඩා ලස්සණ කතන්දර පුදුම හිතෙන ප්‍රතිඵල සහිත විජ්ජාව ආකර්ෂණීය ය. දිරවීමට පහසු ය. එය ද මේ උගුලේ හිර වීමට හේතුවක් ව තිබේ.