යුද්ධය දිනාගෙන – ආර්ථික යුද්ධය ඇන ගැනීම

See the source image

මොන කටයුත්තේ දී පසුබෑවත් යුද්ධය නිමා කිරීමේ කටයුත්තේ දී ශ්‍රී ලංකාව අනුගමනය කළ උපාය මාර්ගය ඵල දැරූ බව යුද්ධයේ විවේචකයන්ගේ පවා පිළිගැනීම ය. එහි දී සිදු වූයේ අභියෝග රැසක් තිබිය දී ද පසුබැසීමට තීරණය නොකර ආක්‍රමණශීලී උපාය මාර්ගය ම තෝරා ගැනීම ය.

යුද්ධයක් තුළ තාවකාලික පසුබැසීම් කළ යුතු වුව ද හැම විටම මානසිකත්වය ආක්‍රමණශීලී මට්ටමක පවත්වා ගත යුතු ය. අභියෝග ඉදිරියේ පසුබැසීමට හැම විට ම තීරණය කරන හමුදාවකට යුද්ධයක් ජය ගැනීමට බැරි ය.

යුද්ධයේ දී එවකට පැවති ආණ්ඩුව හා හමුදා නායකත්වය දැක් වූ ඒ උපාය මාර්ගය, වත්මන් ආණ්ඩුව ආර්ථික ක්ෂේත්‍රයේ දක්වන බවක් පෙනෙන්නට නැත. දිගින් දිගට ම පෙන්නුම් කරන්නේ පසු බසින ලකුණු ය. කුඩා දෙයකින් ද බිය වන හැටි ය. ඇකිලෙන හැටි ය.

සංචාරක ව්‍යාපාරයට පහර වැදී විනිමය අර්බුදයකට මුහුණ දීමට සිදු වූ මුල්ම වතාවේ සිට කල්පනා කළේ හැකිලෙන්නට ය. ආනයන වලට පොලු දමන්නට ය. ඩොලරය කෘතිම ව පහළ තැනක පවත්වා ගෙන යෑමට ය. මුදල් අච්චු ගැසීමට ය.

එයින් සිදු වුන එක් විපත්තියක් නම් අපනයන කර්මාන්තයට ද පහර වැදීම ය. බොහෝ අපනයන කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය එකක් හෝ කීපයක් ආනයනය කිරීමට සිදු වේ. ඊට අමතරව ඒවා නිශ්පාදනය සඳහා යොදවන යන්ත්‍රවල අමතර කොටස් ද ආනයනය කිරීමට සිදු වේ. ඒවාට පොලු දැමීම මගින් සිදු වූයේ අපනයනයට ද කණ කොකා හැඩීම ය. ඒ අතර ලංකවට විදේශ විනිමය සපයන ප්‍රමුඛ පෙලේ අංශයක් වූ තේ වගාව ඇතුළත් අපනයන කෘෂිකර්මය ද වෙයි. ඊට කොක්ක වැටුනේ රසායනික පොහොර තහනම හරහා ය.

පහර වැදුනේ අපනයන කර්මාන්ත වලට පමණක් නොවේ. එහෙත් අපනයන කර්මාන්ත වලට වැදුණු පහර විෂම චක්‍රයකට මග පෑදුවේ ය. ඒ තව තවත් ඩොලර් රටට අහිමි වීමෙන් ය.

ඊට අමතරව දේශීය කර්මාන්ත වලට ද පහර වැදුනේ ය. ඒ අතර දැඩිම පහර එල්ල වූයේ කෘෂිකර්මයට ය. ඒ ද රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය තහංචිය නිසා ය. ඒ නිසා කෘෂි නිශ්පාදන ඇතුළු වෙනත් දේශීය නිශ්පාදන ද වෙළඳ පොලේ හිඟ වන්නට පටන් ගත්තේ ය. ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් නැති වීමෙන් බඩු මිල ඒ නිසා ද ඉහළ ගියේ ය.

ඒ තත්වය යටතේ විය යුතු පරිද්දෙන් ම ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ද ඉහළ ගිය අතර ඒවා ද හිඟ විය.

වැඩිවන මිලට පිළියම් හොයන්නට දැමූ මිල පාලනය ඒ භාණ්ඩ නැත්තට ම නැති කළේ ය, නැතිනම් හිඟ කළේ ය. ගෑස් හිඟ විය. සීනි අධික ලෙස මිල ඉහළ යෑමත් සමග ඒවා සගවන ලද්දේ ය.

ඩොලරය පහත මට්ටමක කෘතිම ව පවත්වා ගෙන යෑමට තැත් කිරීමෙන් සිදු වූයේ අපනයනකරුවන්ට ලැබිය යුතු රුපියල් ආදායම අඩු වීම ය. ඒ නිසා ම ඩොලර් නිල මට්ටමෙන් ලංකාවට ගෙන ඒමට ද මිනිසුන් කම්මැලි වීම ය. ඒවා බැංකුවලට විකුණනු වෙනුවට කළු වෙළඳ පොලේ විකිණීමට උනන්දු වීම ය. අන්තිමේ මහ බැංකුවට තවදුරටත් පුද්ගලික බැංකුවල ඩොලර් මිල තීරණය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වීම ය.

මුදල් අච්චු ගැසීමෙන් තත්වය තවත් බරපතල වූයේ ඩොලරයට ලැබුණ රුපියල ද ඒ නිසා අවප්‍රමාණ වීම ය. ඒ නිසා අපනයන කර්මාන්තයට තවදුරටත් පාඩු සිදු විය.

හැම පසුබැසීමක ම අවසාන ප්‍රතිඵලය වූයේ තව පසුබැසීමකට තල්ලු වීම ය. ගන්නා ලද හැම පියවරක් ම භූමරංගයක් ව නැවත පැමිණියේ ය. තවත් විටෙක ඒවා තව තවත් පහළට යමින් පඩි පෙලකට තල්ලු කරන ලද රෝදයක් මෙන් පතුලට ම පෙරලී යන බවක් පෙන්නුම් කරමින් සිටින්නේ ය.

ඒ සියල්ලෙන් පෙනෙන්නේ පසු බසින මානසිකත්වය වැළඳ ගත් හමුදාවක නොනවතින පසුබෑම ය.  

මෙය නැවැත්විය හැක්කේ ආක්‍රමණශීලී වීමට තීරණය කිරීම මගින් ය. ඒ ආනයන සීමා අවම කිරීමත්, ඩොලරය පාවීමට ඉඩ හැරීමත්, නිසි මුල්‍ය පාලනයක් ඇති කර ගැනීමත්, නාස්තිය හා දූෂණය අවම කිරීමත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹීම හරහා තාවකාලික හුස්මක් ගැනීමට අවකාශ සළසා ගැනීමත් හරහා ය. ඒ අතරේ කෝවිඩ් අර්බුදය ජය ගැනීමට අවශ්‍ය සෑම සම්පතක් ම ඒ සඳහා මැදිහත් වී ඇති පාර්ශවයන්ට ලබා දීමටත් කටයුතු කිරීම හරහා ය.

එහි දී තාවකාලික හානි සිදු විය හැකි බව සැබෑ ය. එහෙත් එසේ නොකළහොත් ඊටත් වඩා ශෝචනීය තත්වයකට දිගුකාලීන ව මුහුණ දීමට රටට ම සිදු වන්නේ ය.

පෙරමුණු කීපයක ම සටන් කිරීමට සිදු වී ඇති අපට තීරණාත්මක අභියෝගය එල්ල වන්නේ ඒ එකකින් වත් නොව වසංගතයෙනි. බොහෝ යුද්ධ පැරදුනේ සතුරු හමුදාවල දක්ෂතාවය නිසා හෝ මිත්‍ර හමුදාවල අදක්ෂතාවය නිසා නොවේ. මිත්‍ර හමුදාවන්ට කාලගුණය හෝ දේශගුණය හරස් වීම නිසා ය. නැත්නම් එවැනි වෙනත් බාහිර කරුණක් නිසා ය. ඒ අවස්ථාවල බලමුළු වල ආරක්ෂාව සඳහා පසුබැසීම ද යුද්ධයේ දී අවශ්‍ය ය. අප ඒ වෙනුවට කරන්නේ ඒ පසුබැසීම් පමා කරමින් අපගේ බලමුළු ඒවාට නිරාවරණය කිරීම ය. එයින් වාසිය අත්වන්නේ සතුරු හමුදාවලට ය. ඒ ඔවුන්ට මුහුණ දීමට සිදු වන විට අප දුර්වල වී සිටිය හැකි නිසා ය. ඒ සංවේදීතාවය පවා අපට නොමැති වූයේ කෙසේ ද? පුදුම වන්නට දෙයක් නැත. සංග්‍රාමයේ දක්ෂයෙකු වූ හිට්ලර්ට ද එයින් ගැලවීමට බැරි විය. ඔහුගේ හමුදා පරාජය ලබන්නේ රුසියාවේ අධික සීතලට ඔරොත්තු දෙනු බැරිව ය. ඒකාධිපතියෙකු වූ හිට්ලර්ට තම හමුදා පිළිබඳ සංවේදිත්වය හෝ සෙසු අයගේ අදහස් විමසීමට අවශ්‍ය නිහතමානිත්වය හෝ නැති වීමෙන් වූයේ අන්ත පරාජයකට මුහුණ දී ජීවිතයෙන් ද සමුගැනීමට ය. හිට්ලර්ගෙන් ඉගෙනීමට අදහස් කරන අයට කිව යුත්තේ ඔහුගේ තාවකාලික ජයග්‍රහණයෙන් පමණක් නොව ඔහුගේ අන්ත පරාජය සනිටුහන් කළ දුර්වලකම් වලින් ද අප ඉගෙන ගත යුතු බව ය.

චීනයෙන් අපි බොහෝ දේ ගෙන ඇත්තෙමු. ඒවා අතර ගුවන් තොටුපල වල්, වරාය වල්, නෙළුම් කුළුණු, වරාය නගරය, ණය, භාණ්ඩ හා ආයෝජන ද වේ. නොගන්නා එක ම දෙය පාඩම් ය. හිට්ලර්ගෙන් පාඩම් ඉගෙන ගන්නට අසමත් වූ අපට එය මහා දෙයක් නොවන්නට පුළුවන. එහෙත් අප දැන්වත් වෙනස් විය යුතු ය. අප හැම දෙයක් ම ගන්නා චීනයෙන් පාඩම් ද ගත යුතු ය. විශේෂයෙන් ආර්ථික ක්ෂේත්‍රය තුළ ඔවුන් ලද ජයග්‍රහණයෙන් පාඩම් ගත යුතු ය.

චීනය ද ස්වයං පෝෂිත ආර්ථිකයක් ගැන (සමාජවාදය ගැන ද) විශ්වාසය තබමින් ගමනක් ගොස් ඇණ ගත්තේ ය. චීනය විශාල රටක් නිසා ස්වයං පෝෂිත ආර්ථිකයක් තැනීමට අපට වඩා ශාක්‍යතාවයක් තිබිය දී ත් ඇණ ගත්තේ ය. චීනය විසින් කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලය වූයේ මිලියන ගණනක් මිනිසුන් සාගතයෙන් මිය යෑමය. ඉතිරි වූ අයට සිදු වූයේ දරුවන් වෙනත් රටවලට දන් දී දරුවන්ගේත් තමන්ගේත් ගැලවුම සොයා ගැනීම දක්වා දුරක් යෑමට ය.

ඒ අගාධයට ගිය ගමන වෙනස් කිරීමට ඒ ගමනට නායකත්වය දුන් මා ඔ් සේතුං මැරෙන තුරු සිටීමට චීනයට සිදු විය. එසේ වූයේ, අප රටේ බො‌හෝ දෙනෙකු උඩ දමන, ඒකාධිපතිත්වයට පින් සිදු වන්නට ය. අවසානයේ ඔහුගේ මරණය චීනයට නව අවස්ථාවක් උදා කළේ ය. වාසනාව ගෙනාවේ ය.

ඒ පසුව බලයට පත් වූ ඩෙන්සියාඔ් පිං ට පින්සිදු වන්නට ය. ඔහු චීනය විවෘත කළේ ය. විදේශ ආයෝජනයන්ට විවෘත කළේ ය. ගෝලීය ආර්ථිකයෙන් හැංගෙනවා වෙනුවට, එයට බිය වී පසුබසිනවා වෙනුවට, එයට මුහුණ දීමට ඔහු තීරණය කළේ ය. ආනයනයන්ට ඇතුළු වන්නට අවකාශ සැළසුවේ ය. ලෝක ප්‍රසිද්ධ සමාගම් වලට චීන වෙළඳ පොල විවෘත කළේ ය. මැක්ඩොනල්ඩ් පීසා හට් වැනි සමාගම් පමණක් නොව තාක්ෂණික මෙවලම් නිපදවන කර්මාන්ත ශාලා ද චීනය තුළ ඉදිකරන්නට පමණක් නොව ඒවායේ නිශ්පාදන චීනය තුළ විකුණනන්ට ද අවසර දුන්නේය. ඒවා සමග තරග කරන්නට චීන කර්මාන්ත කරුවන්ට බල කළේ ය. චීනයේ දැවැන්ත කර්මාන්ත බීහි වුනේ ආරක්ෂණ ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් හැටියට නොවේ. මේ විවෘත කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ය. ඒ නිසා බිහි වූ තරඟයේ හා ඊට සමගාමී ව ගෝලීය ව්‍යාපාරිකයන් සමග ඇති කර ගත් සහයෝගයේ ප්‍රතිඵල හැටියට ය.

අපනයන ක්ෂේත්‍රයට මුල් තැනක් දීමට ඔහු වග බලා ගත්තේ ය. රටට අවශ්‍ය දේ පමණක් නිපදවීමෙන් ගොඩ එන්නට නොහැකි බව තීරණය කළ ඔහු ලෝකයට අවශ්‍ය දේ නිපදවන්නට උත්සුක විය. ඊට අවශ්‍ය විදේශ ආයෝජනවලට අවශ්‍ය පරිසරයක් ඔහු හදා දුන්නේ ය. ඊට අවශ්‍ය එක් කොන්දේසියක් වූයේ ආනයන සීමා වලින් දමන විවිධ තහංචි වලින් ව්‍යවසායකයන්ට නිදහස ලබා දීම ය. ඔහු ඒ සියල්ල කළේ ය.   

ලෝකය ඉදිරියේ බියෙන් පසුබැසීමේ උපායමාර්ගය ඉවත හෙලා ලෝකයට නිර්භයව මුහුණ දෙන්නට තීරණය කිරීම හරහා, ඔහු ලෝකයෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට, පූර්ව ඩෙන්සියාඔ් පීං යුගයේ කිසි දිනෙක ඉගෙන නොගත් බොහෝ දේ ඉගෙන ගැනීමට, අවස්ථාව චීන ජනතාවට ලබා දුන්නේ ය.

අප ඉන්නේ හැරවුම් ලක්ෂයක ය. ගන්නා ලද වැරදි තීරණ වලින් ඉගෙන ගන්නවා ද නැත්නම් ඒවා වඩාත් තදින් කරන්නට තීරණය කර අර්බුදය ව්‍යාසනයකින් ඈවර කර ගන්නවා ද යන මං සන්දියේ ය. ආණ්ඩුවට වැරදුනේ විද්‍යාර්ථීන් වෙනුවට අයිඩියොලොජි කාරයන්ට සවන් දීමට යෑම නිසා ය. ඒ පූර්ව ඩෙන්සියාඔ් පිං යුගයේ චීනයට වූ සන්තෑසියම ය. බොරු මාන්නය ඉවත දමා ඒ වැරැද්ද නිවැරදි කර නොගන්නේ නම් ඇන ගන්නේ ආණ්ඩුව පමණක් නොවේ. ඔබ හා මමත් ඇතුළු සමස්ත රට ම ය.