ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නොදන්නා ළමා ආරක්ෂණය

See the source image

ළමයින්ගේ ආරක්ෂණයේ දී වැදගත් ම කාර්යයක් වන්නේ ලිංගික අපයෝජනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීම ය. ඒ එවැනි අත්දැකීම් ඉතාමත් දැඩි ව ඔවුන්ගේ අනාගතයට බලපාන නිසා ය. එතැනින් නොනැවතී සමාජයට ද එහි අතිරික්තයන් උතුරා යන නිසා ය.

මේ ගැන කරන ලද පර්යේෂණයන්ගෙන් පෙනී යන වැදගත් ම කාරණය නම් ඔවුන් අපයෝජනයට ලක් වන්නේ ඔවුන්ගේ ම ආරක්ෂකයන් අතින් බව ය. ඒ අතර සොයුරි සොයුරියන් ද මාමලා බාප්පලා ද ගුරුවර ගුරුවරියන් ද පූජකයන් ද ඇත. ඒ බොහෝ අවස්ථාවල එවැනි අයගේ ඉලක්කයන්ට අසු වීමට එක හේතුවක් නම් ඔවුන් ව විශ්වාස කිරීම ය.

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව කියා ගැලවෙන්නට කාට හැකි වුවත් ළමා ආරක්ෂණ අධිකාරියට නම් බැරි ය. මක් නිසා ද යත් ඔවුන් වැටුප් ලබන්නේ ද ආයතයට අදාළ සෙසු පිරිවැය දරන්නේ ද ළමයින්ගේ ආරක්ෂාවේ නාමයෙන් බැවිනි.

මෙයින් ළමුන් ගලවා ගත හැක්කේ ඔවුන්ට දැනුම දීමෙනි. ඔවුන් දැනුවත් කිරීමෙනි. ඒ සඳහා ලිංගික අධ්‍යාපනය අනිවාර්යය වෙයි. එහෙත් ලංකාවේ ලිංගික අධ්‍යාපනය දකින්නේ ම කුණුහරුපයක් හැටියට ය. ඉතා සංයමයකින් ලියා ඇති “හතේ පොත” භික්ෂූන් වහන්සේලා කීප නමක් එකතු වී අධ්‍යාපනයෙන් අයින් කරනු ලබන්නේ එය කුණුහරුපයක් බව කියමිනි. එහෙත් සුදුසු විකල්පය කුමක් දැයි ඒ උන්නාන්සේලා පමණක් නොව වෙන කිසිවෙකු හෝ කියන්නේ නැත.

ළමුන් බලාත්මක නොකර ඔවුන් මේ උගුලෙන් ගලවා ගැනීම අපහසු ය. එහෙත් භික්ෂූන්ගේ විරෝධය මාධ්‍යයේ මෙය අකුලා ගත් පසු කිසිවෙකු ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ බවට ආරංචියක් ද නැත.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් මෑතක දී පවත්වනු ලැබූ online සාකච්ඡාවක දී මේ ප්‍රශ්නය මම මතු කළෙමි. මා ඇසූ එක් ප්‍රශ්නයක් වූයේ හතේ පොත තහනම් කිරීම මගින් ළමුන් බලාත්මක කිරීමේ කටයුත්තට වැටුනු බාධකය සම්බන්ධයෙන් අධිකාරිය කුමක් කරන්නේ ද යන්න ය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති තුමා ඒ ගැන දුන්නේ පුදුම උපදවන ප්‍රතිචාරයකි. ඔහු කියා සිටියේ හතේ පන්තියේ උගන්නා දියණියක් ඒ පොත හඳුන්වා දී ඇත්තේ කුණුහරුප පොතක් ලෙසින් බව තමාට වාර්තා වී ඇති බව ය. එවැන්නක් වෙනුවෙන් පෙනී සිටීමේ අමාරු කම ඔහු එසේ අනියමින් දක්වා සිටියේ ය. ලිංගික අධ්‍යාපනය අවශ්‍ය බව ඔහු පිළිගත්තත් අනිත් සියලු ඉලක්කයන් ගැන කාල වකවානු දුන් ඔහු ලිංගික අධ්‍යාපනය ගැන කාල වකවානු හෝ අධිකාරියේ ඉලක්කයන් ඍජුව කියා සිටියේ නැත. ඔහු එය මග හැරියේ ය.

මට ඔහුගේ කතාවෙන් ඇති වූ මූලික ම ප්‍රශ්නය දියණියගේ උත්තරය ඔහු බාර ගත් හැටි ය. ඒ දියණියගේ උත්තරය හරහා අපට කිනම් නිගමනයක් බැස ගත හැකි ද? එය ඇගේ ප්‍රකාශනයක් ද? කවුරු හෝ ඇයට කී දෙයක් ද? රූපවාහිනියේ භික්ෂූන් වහන්සේලා විසින් කියල ලද්දක් ඇය ප්‍රතිරාවය කරනවා වත් ද? ඇය එසේ කියන්නේ කුණුහරුප පිළිබඳව වැටහීමක් ඇති ව ද? එවැනි ප්‍රකාශයක් කිරීමට හේතුව විය හැක්කේ ඇයට කුණුහරුප පිළිබඳ අල්ප මාත්‍රයක දැනුමක් නැති නිසා ද? ලිංගිකත්වය මහා නරක දෙයක් ලෙස ඇය අසා ඇති නිසා ද?

එහෙත් එවැනි විපරමකට නොගිය සභාපති තුමා තීරණය කර ඇත්තේ ඒ දියණියගේ ප්‍රකාශය නිසා ම එය සැබැවින් ම කුණුහරුප පොතක් විය යුතු බව ය.

ඇත්තට ම එක් අතකට එතුමා අසරණ ය. මේ රටේ වැඩ කෙරෙන්නේ භික්ෂූන් වහන්සේලා කියන විදිහට ය. එසේ මැදිහත් වන භික්ෂූන් වහන්සේලා නොදන්නේ ආගම ධර්මය පමණකි. උන් වහන්සේ අන් සියලු දේ සම්බන්ධයෙන් විද්වතුන් ය. දියණියගේ කතාව ඔහු අපට කියන්නට ඇත්තේ අපව හගිස්සවන්නට පමණක් විය හැකි ය. අපට අනුව නම් ආගම හරහට සිට ඇත්තේ දරුවන්ගේ ආරක්ෂාවට ය. ලිංගික දැනුමක් නොමැති  දරුවෙකු පහසුවෙන් තමන්ගේ ම හිතවතෙකුගේ ම ගොදුරක් වීමේ ඉඩ හසරක් තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දරුවන් වෙනුවෙන් සැබැවින් පෙනී සිටින්නේ නම් මෙවැනි අදූරදර්ශී ආගමික මැදිහත් වීම් වලට ද අභියෝග කළ යුතු ය. එහෙත් රජයේ නිලධාරියෙකුගෙන් එවැනි හැසිරීමක් අපට මේ කාල වකවානුවේ අපේක්ෂා කළ නොහැකි ය.

මා තවදුරටත් කීවේ ආගම කුඩා දරුවන්ගේ ආරක්ෂාවට තවත් ආකාරයන්ගෙන් ද නරක ලෙස මැදිහත් වී ඇති බව ත් ළමා ආරක්ෂණ අධිකාරය ඒවා සම්බන්ධයෙන් පියවර ගත යුතු බවත් ය. එකක් කුඩා ළමුන් මහණ කිරීම හරහා ඔවුන්ගේ ළමා දිවිය ඔවුන්ගෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන් ය. දෙවැන්න ඒ ළමා කොල්ලයට ම ළමා විවාහය පිළිබඳ මුස්ලිම් විවාහ නීතිය යටතේ ඉඩ සළසා දීම සම්බන්ධයෙන් ය.

මෙවැනි විශාල කපොලු තිබිය දී කුඩා හිල් වැහීමෙන් වැඩක් නැති බව, නස්රුදින් යතුර නැති වුනු තැන එය නොසොයා එලිය තියෙන තැනක් බලා එය සෙවීම වැනි යැයි කියමින්, ඒත්තු ගන්වන්නට උත්සහ කළ නමුත් එය ළමා මහණ කිරීම් සම්බන්ධයෙන් නම් සාර්ථක වූයේ නැත. ඒ රාහුල කුමරුන් නිසා ය.

බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන තීන්දු තීරණ ගන්නා මිනිසුන්ට පදවි තානාන්තර ලැබුනු විට ඔවුන්ගේ මහාචාර්ය පට්ටම් වලින් ද වැඩක් නැති බව පෙන්වන හොඳම උදාහරණය ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ සභාපති තුමා ය.

මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් නම් පනතක් සකස් කර ඇතැයි ඔහු කීවේ ය. එය ද හතේ පොත මෙන් අතර මග දී නතර නොවනු ඇතැයි හිතන්නට අපේ ඉතිහාසය අපට ඉඩ දෙන්නේ නැත. ආරම්භ කරන ලද බොහෝ යහපත් දේ සංස්ථාපිත ආගමේ මැදිහත් වීමෙන් අතුරුදහන් කරන ලද නිසා ය.   

මෙවැනි රටක දරුවන් ආරක්ෂා කරන්නට සමත් අභීත අධිකාරියක් මෑතක දී පහළ වෙන එකක් නැත. එවන් අධිකාරයකට පහසුකම් සලසන ආණ්ඩුවක් ද ඇතිවන එකක් නැත. එතෙක් ළමයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් කළ හැක්කේ අපට පුළුවන් විදිහට ඒ සඳහා පෞද්ගලික ව මැදිහත් වීම පමණ ය.