පරාක්‍රම සමූද්‍රයේ වෝකින් ට්‍රැක් එක

පරාක්‍රම සමූද්‍රයේ බැම්ම මතින් ඇවිදින මං තීරුවක් දැමීමට කටයුතු කොරෝනා සංචරණ සීමා මැද්දේ ම ලහි ලහියේ ආරම්භ කර තිබේ. මේ ගැන පක්ෂව ද විපක්ෂව ද කරුණු ඉදිරිපත් කෙරෙමින් තිබේ. ඉහත සටහනෙන් දැක්වෙන්නේ ඒ පිළිබඳව දක්වන මහජන විරෝධයේ ස්වභාවයයි.

ඒ ගැන විමසුමක් කරන කෙනෙකුට සළකා බැලීමට පැති කීපයක් ඇත. එකක් මේ මංතීරුව ඉදිකිරීමේ දී පරාක්‍රම සමූද්‍රයේ බැම්මට හානියක් සිදු වේ ද යන්න ය. දෙවැන්න මේ ඉදිකිරීම මගින් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති වැවක ඒ වටිනාකමට බලපෑමක් වන්නේ ද යන්න ය. තෙවැන්න ඒ මගින් visual pollution ද්‍රෘෂ්‍ය දූෂණයක් සිදු වන්නේ ද යන්න ය. සිව් වැන්න එවැන්නක් ඉදිකිරිමට මෙය වෙලාව ද යන්න ය.

පළමු පැත්ත – බැම්මට ඉන් හානියක් සිදු වේ ද යන්න තීරණය වන කාරණා කීපයක් තිබේ. එකක් මේ ඉදිකිරීම සිදු කිරිම සඳහා රලපනාව ඉවත් කර අතරවාරයේ ජල මට්ටම වැඩි වී සුළං සහිත කාල ගුණයක් ඇති වුවහොත් වැව් බැම්ම සේදී යෑමේ ඉඩක් තිබීම ය. දෙවැන්න මේ සඳහා කරන කටයුතු නිසි ගුණාත්මක භාවයෙන් සිදු නොකරතොත් රළපනාව නැවත දැමීමේ කාර්යය හරිහැටි සිදු නොවී කලින් කී ආකාරයේ හානියක් වීමේ ඉඩ කඩක් තිබීම ය. එවැනි ආකාරයේ සියුම් කාර්යයක් නිසි ලෙස කිරීමට වෙනත් තැනක මං තීරුවක් සැදීමට යන වියදමට වඩා විශාල මුදලක් වැය වීම ය. මං තීරුවක් ‌සෑදීමේ අදහස නරක නැත. එහෙත් ඒ සඳහා ජාතික සංකේතයක් පරදුවට තබා විශාල මුදලක් වැය කොට ඉදිකිරීමෙන් ලැබෙන ප්‍රතිලා්‍භය සාධාරණීකරණය වන්නේ දැයි ද අප විසින් විමසිය යුතු ව තිබේ.  

දෙවැනි පැත්ත – පරාක්‍රම සමූද්‍රය තවත් එක වැවක් නොව්. එය ශත වර්ෂ ගණනාවක් පැරණි කෞතුක වටිනාකමක් ඇති වැවකි. ජාතික සංකේතයකි. පැරණි රජවරුන් කළ වැව් අතර රජු ලෙස සැළකිය හැකි වන්නේ මේ වැව ය. සාමාන්‍ය පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වල පවා සිදු කරන වෙනස් කම් ඒ වටිනාකමට හානියක් නොවන සේ සිදු කළ යුතු ය. නාගරික වටපිටාවක ඔබ්බන ඉන්ටර්ලොකින් ගඩොල් මගින් එවැනි හානියක් සිදු නොවන්නේ ද යන්න මේ පැත්ත විමසන කෙනෙකුට මතු වන ගැටළුව ය. ගාලු කොටුවේ ‌නවීන පන්නයේ ගොඩනැගිලි ඉදිකිරීමට අවසර නොදෙන්නේ ද සමාන හේතුවක් නිසා ය.

තුන්වෙනි පැත්ත – පරාක්‍රම සමූද්‍රය පැරණි ශිෂ්ඨාචාරයක් ද සිහි කරන සේ පවත්වා ගෙන යෑමට මෙයින් බාධාවක් වනවාට අමතරව වෙල් යාය ජල ධාරාව කඳු නිම්න මතින් දිස් වන රූපයට මේ ඉන්ටර්ලොකින් ගල් අවහිරයක් නොවන්නේ ද ඒ මගින් ද්‍රෘෂ්‍ය දුෂණයක් ඇති නොවන්නේ ද යන්න තුන්වෙනි පැත්ත යටතේ විමසිය යුතු ය.

සිව් වෙනි පැත්ත – ඒ සියල්ල පැත්තකින් තිබිය දී රටට මුදල් නැතැයි හඩමින් රෝහල්වල අඩුපාඩුකම් සපුරන ලෙස මිනිසුන්ගෙන් යදින අතරේ මෙවැන්නක් ලහි ලහියේ කිරීම ද අප විසින් විමසිය යුතු ව තිබේ.

කුඩා වැවක හෝ කෞතුක වටිනාකමක් නැති වැවක මං තීරු දැමීමත් පරාක්‍රම සමූද්‍රයේ මංතීරු දැමීමත් ‌එකක් නොව දෙකක් බව අවබෝධ කර ගෙන මේ ප්‍රශ්නය නැවත සළකා බැලීම වඩා ඥානාන්විත වනු ඇත.

මේ සම්බන්ධයෙන් EIA සමීක්ෂණයක් කළේ දැයි සැක ය. එසේ කළා නම් මේ කාරණා මේ ආකාරයට මග හැරෙන්නට විදිහක් නැත.