සහනයක් දැනේ නම් සුද්දාට පලු යන්න බණින්න

See the source image

සුද්දා යනු හොඳින් තැලිය හැකි මුව හමකි. කොටින් ම සුද්දා විවෘත ආර්ථිකය වගේ කොයි‌ දේ ට ත් වග කිව යුතු යැයි අපට හිතෙන අපූරු සංකල්පනාවකි. කළ දේ ට මෙන් ම නොකළ බොහෝ දේ ට ද බැණුම් අහන ගෝතයෙකි. සුද්දා කියා කෙනෙකු නැතිවාට අමතර ව, බණින්නේ සිංහලෙන් නිසා, හිටියා වුනත් ඌට මේ කපේ දී මේවාට උත්තර දෙන්නට ලැබෙන්නේ නැත.

ඒ නිසා  ඌ ට බණිමු. අපේ සිතට සහනයක් ලැබෙන තුරු ඌට බණිමු. අපේ සියලු පව් ඌට කර ගහන්නට සලස්වමු.

එසේ බණින්නට සූදානම් වන විට අපට පෑදෙන එකක් නම් සුද්දා එන්නට පෙර අප මස් මාළු නොකා එළවලු පළතුරු අනුභවයෙන් පමණක් ජීවත් වූ අහිංසක ජාතියක් බව ය. මේ බවට දැනටමත් සමහරු සපථ කර ඇති නිසා එය කර ගසා ගැනීමේ අමාරුවක් ද නැත. ඔවුන් තවදුරටත් කියන්නේ සුද්දා මස් මාළු කන්නට අප ව හුරු කරන්නට පෙර ඒ නිසා ම අපට ඉහෙන් බහින රෝගයක් තිබුනේ නැති බව ය. සුද්දාගේ බේරුමට එදා මෙන් ම අදත් කප්පරක් උදවිය සිටිති. උන් නිස්සද්ද කරන්නට හොඳම විදිහ උන් කළු සුද්දන් බව කියා පෑම ය. එහෙම කියා කට වැසිය නොහැකි කීප දෙනෙක් සිටිති. උන් අපෙන් අසන්නේ මිහිඳු හිමියන් වඩින කල දේවානම් පියතිස්ස මුවෙකු ලුහු බැඳ ගියේ ඌ ට තණකොල කවන්නට දැයි කියා ය.

ඒ කාලෙ අප මස් කෑවත් ඊට පසු, විශේෂයෙන් බුදු දහම වැළඳ ගත් පසු නම් නිර්මාංශිකව සිටි අහිංසක ජාතියක් යැයි කියා අපට ෂේප් වෙන්නට පුළුවන් කම තිබුනේ ය. කරුමෙකට වගේ දේවානම් පියතිස්ස යුගයෙන් පසු බිහි වූ වැව් ආශ්‍රිත ව දකින්නට ඇති සමහර පැරණි සෙල්ලිපි කියන්නේ වැවේ මත්සයින්ගෙන් යම් පංගුවක් පන්සලට හිමි විය යුතු බව ය. දෙමල රජකෙනෙකු අප මාංශ භක්ෂිකයන් බව ඔප්පු කරන්නට හිතාමතා ම බොරුවට ගලේ එහෙම යමක් කෙටුවා වෙන්නට බැරි ද? දෙමල රජවරුන් ද රාජ්‍ය විචාරා ඇති නිසා ඒක ටිකක් ඒත්තු යන කතාවක් ය. තව බොහෝ දේ වෙන්නට පුළුවන. එහෙත් සුද්දා අපට පුරුදු කරන තුරු අප මස් මාළු කා නැත. ඒ කතාව ලස්සණ නම් එය පිලිගත්තහම මක් වෙනවා ද?

මස් මාළු කතාව මොහොතකට අමතක කරමු. මත්පැන් බිඳක් කටේ නොතිබ්බ අපට අරක්කු බොන්නට පුරුදු කරන ලද්දේ සුද්දා නොවේ ද?

අරක්කු ගැන සඳහනක් අපේ සාහිත්‍යයේ කොතැනකවත් නැති නිසා ඒ බව පිළි ගැනීමට සුද්දාව ආරක්ෂා කර ගැනීමට දත් මිටි කන අයට සිදු වේ.

කරුමෙකට මෙන් ගුත්තිල කාව්‍යය ඉදිරිපත් වන්නේ මේ කතාව බොරු යැයි කීමට ය. එහි එක තැනක මෙවැනි කවියක් තිබේ.

සරා සලෙලු දන සතො     සේ

සුරාපාන කරන ලෙ          සේ

පුරා අවුලු නොයෙක ර     සේ

සරා අවන් හල් සහ           සේ

ගුත්තිල කාව්‍යය ජාතක කතාවක් බව නොදන්නේ දැයි ඔලොක්කු කොට අපට එයින් ද ගැලවිය හැකි ය. එහෙත් එය ජාතක කතාවක් ඇසුරෙන් ලියන ලද්දේ වුව ද එදා රට තොට සිදු නොවූවක් කවියෙකු අතින් කවියට නැගෙන්නේ නැතැයි කියා මේ කියන්නේ සිරිලක එදා දකින්නට තිබුණු තත්වයක් විය හැකි යයි යන අනුමානයක් කෙනෙකුට ඉදිරිපත් කළ හැකි ය. උන් ට ඒ වගේ පුංචි තොරතුරක්, ඔත්තුවක්, ගමකට කතා කරන්නට ඇති ය.

මෙහි එක තැනක සුරාපාන කරන ලෙසේ කියා ලියා තිබීමෙන් එයින් මත්පැන් ඇඟවේ ද? ඇතැම් විට ඒ එකල තිබූ වෙනත් කිසියම් පානයක් වෙන්නට බැරි ද? අපටත් ආ පිටට තර්ක කළ හැකි ය.

කවි පන්තිය දිගට කියවන විට එය ද මත්පැන් ම විය යුතු ය යන කියවෙන පදයක් ද දකින්නට ලැබුනේ ය. ඒ මෙසේ ය.

රැගත් සුරා පිරූ වි             ති න්

සුරත් තඹුරු පෙති සෙනෙති න්

පුවත් නොදැන බමන ග   ති න්

නටත් අයෙක් සුරා ම       ති න්

දැන් නම් ගැලවුමක් නැත. ඇතැම් විට ගුත්තිල කාව්‍ය ලියන්නට ඇත්තේ සුද්දාගමනයෙන් පසු ව විය නොහැකි ද? ටී ඇස් ධර්මබන්ධු මහතා විසින් පැරණි කවි එකතු කර සම්පාදනය කර ඇති කාව්‍ය මාලිනී ග්‍රන්ථයට අනුව ගුත්තිල කාව්‍යය ලිය වී ඇත්තේ ක්‍රිව 1440 ත් 1475 ත් අතර ය. ඒ නම් සුද්දා අප රටට අඩිය තබන්නට පෙර ය. පරංගින් පවා එන්නට පරම්පරා දෙක තුනකටවත් පෙර ය.

ටී ඇස් ධර්මබන්දු කියන නමේ ම තියෙන මුලකුරු විමසීමේ දී පෙනී යන්නේ ඒවා ඉංග්‍රීසි අකුරු බව ය. ගුත්තිල කාව්‍යයට මේ කවි මේ ඉංග්‍රීසි මුලකුරු නමට ඈඳා ගත් ඊනියා කවියා විසින් එකතු කරන්නට ඇතැයි සැක කරන්නට නොහැකි ද? අපේ ඉතිහාසය විකෘති කරන්නට මාන බලන කළු සුද්දන්ගෙන් අපට අඩුවක් නැත.

මුණ සෝදන බේසමේ පවා කිඹුලන් සිටිය හැකි යැයි කල්පනාවෙන් ඉන්නා අපට එහෙම දෙයක් සිදු නොවිනි යැයි කිව නොහැකි ය.

මස් මාළු කෑවත් සුරාව පානය කර නැටුවත් තුන්වෙනි සිල්පදය නම් අප රැක ඇති බවත් ඒක කැඩීමේ වගකීම නම් සුද්දා විසින් බාර ගත යුතු බවත් කෙනෙකුට කියන්නට පුළුවන. වස්ත්‍රාභරණයෙන් සැරසුනු කාන්තාවකට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කළ හැකි වූයේ ය යන කියන ඉතිහාස කතාව ඊට සාක්ෂි දරණ හෙයින් ය.

ඒ මහා වංශය මුළුමණින් කියවන තුරු පමණ ය. අපේ කාව්‍ය ශාස්ත්‍රය පරිහරණය කරන තුරු පමණ ය.

මහා වංශයේ සඳහන් වන ආකාරයට රාග ගින්නෙන් දැවී ඇත්තේ පිරිමි පමණක් නොවේ. අනුලා බිසවගේ කැරැට්ටුව පොලා පනින්නේ ඒ බව අපට පෙන්වමිනි. ඒ ඉතිහාසයට අනුව ඇය රාගයෙන් දැවී හිමියන් ගණනාවක් මරමින් අලුත් අලුත් පෙම්වතුන් ස්වාමිපුරුෂයන් කරගත් බවක් කියවෙන්නේ ය.

අනුලා රැජිණ(ක්‍රි.පූ.47-42) අර්ථවත් පාලනයක් ගෙන ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම රැජිණයි. එසේම ඇය ආසියාවේ ප්‍රථම රාජ්‍ය පාලිකාව ද වේ. අනුලා රැජිණ බලයට පත් වූයේ චෝරනාග රජුගේ බිසව ලෙසිණි. චෝරනාග රජු අනුරාධපුරයේ වළගම්බා රජුගේ පුත්‍රයාය. කෙසේ හෝ ඇය තමාගේ පාලන කාලය තුළ අඩු ගණනේ තවත් ස්වාමි පුරුෂයන් හතර දෙනෙකුට වස දුන්නාය. අනතුරුව තම අභිමතය පරිදි රාජ්‍ය විචාලාය.”

ඒ කියන්නේ පිරිමින් අනාරක්ෂිතව සිටි බව මිස ගැහැණුන් අනාරක්ෂිත වූ බව නොවේ යැයි කියා ගැලවෙන්නට අපට බැරි ය. ඒ ව්‍යාතිරේඛයක් පමණක් බව කියා අපට මග හරින්නට බැරි ද? එක් අයෙකුගෙන් ජාතියක් මැණිය නොහැකි බව කවුරු වුනත් පිලිගන්නවා ඇත.

මේ තිසර සංදේශයේ එන කවියකි.

නිලුපුල් දිගැසී තන රන් කල      සී

සිඳුලිය සදිසි සියුමැලි දිගැ          සී

රඟ බැස නොලසී රඟ දෙන විල සී

දුටු ඒම විගසී මඳ තෙමෙ ඇවි     සී

ගැහැණු පමණක් නොව තවුසන්ගේ තවුස් දම් පවා බිඳුනු කතා පවා කවියට නගා අපේ අවසාන ව්‍යාපෘතියට ද හෙණ ගහන්නට අපේ ම කවියන් කටයුතු කර ඇති බව පෙනේ. පරෙවි සංදේශයේ එන මේ කවිය ද ඊට දෙස් දෙයි.

පියයුරු කිණිහිරි කැකුලෙක අන්    දම්

දස’ නග රැස් වැනි ගෙල දෑසමන්    දම්

ලෙළ වන කොමලත් පැහැසර රන් දම්

අඟනන් දුට නොතිබේ තවුසන්       දම්

ගැලවීමේ එක මඟක් තිබේ. කවි යනු ඇත්ත යැයි නොගත යුතු බව කීම ය.

ඉතිරි ව ඇති අනෙක් මඟ නම් ඉතිහාසය ද සාහිත්‍යය ද නැවත ලිවීම ය. එය වඩාත් ආරක්ෂිත ය. සමහරු එය පටන් ගෙන තිබේ. අපට තියෙන්නේ කළු ලප ඉවත් කරමින් ලස්සණ ඉතිහාස කතාවක් ගොඩ නගා ගැනීමට ය. එසේ කරමින් වත්මන ඇති සියළු කුණු කන්දල් සුද්දා පිට පටවා අපේ ගැලවීම හදා ගැනීම ය.

දැන්වත් ඔබට සනීප ද?