වත්මන් ප්‍රශ්න වලට – අතීත විසඳුම්

See the source image

ප්‍රශ්න වලට මුහුණ දෙන බොහෝ දෙනෙකුට හිතෙන්නේ වර්තමානය ඊට හේතුව බව ය. ඒ නිසා කළ යුත්තේ ඒ ප්‍රශ්න නොතිබූ අතීතයට යෑම ය.

ගෝලීයකරණය නිසා බොහෝ රටවල දියුණුවක් ඇති වූ බව ද හැම රටක ම පාහේ බහුතර ජනතාවකට ඉන් වාසි සැලසුන බව ද ඇත්ත ය. එහෙත් එහි ප්‍රතිඵල හැමට ම වාසි දායක වූයේ නැත. ගෝලීයකරණයට අන්තර්ග්‍රහණය වූ අය ට වඩා හොඳ ජීවිතයක් ලැබෙද්දී එයින් බැහැර කරනු ලැබූ පිරිසක් ද ඉතිරි විය. ඒ අයගේ ජීවිත හොඳ අතට නොහැරුණා පමණක් නොව වඩාත් නරක අතට හැරුණු තැන් ද තිබුනේ ය. එසේ බැට කෑ අයට අවශ්‍ය වූයේ ගලන ගඟ ආපසු හැරවීමට ය. ගෝලීයකරණයට පිටුපා ජාතික වාදය වැළඳ ගැනීම ය.

ලෝකයේ සිදු වන හැම නව දියුණුවක් ම කලින් යහපත් ජීවිත ගත කළ ඇතැම් අයට නුහුරට හිට ඇත. ලංකාවේ දුම්රිය පාර ඉදි කරන විට එයින් පහර වැදුනේ යහපත් ආදායමක් තිබූ ගැල් කරුවන්ට ය. පාලමක් ඉදි කරන විට පහර වැදුනේ පාලම් පාරුවෙන් නැත්නම් ඔරුවෙන් මිනිසුන් මෙන්ම බඩු භාණ්ඩ ද එගොඩ කරමින් සිය ජීවිතය පවත්වාගෙන ගිය තොටියාට ය.

වෙනත් බොහෝ මිනිසුන්ට දුම්රිය ද පාලම ද ආශිර්වාදයක් වන විට එය අභාග්‍යයක් වූ සුළුතරයක් ද ඇති වීම නොවැළැක්විය හැකි විය. ඒ වෙනත් ජීවන මාර්ගයක් ඔවුන් සොයා ගන්නා තුරු ය. ඒ තත්වය තුනී කරනු සඳහා ප්‍රමාණවත් මැදිහත් වීමක් රජය විසින් කරන්නේ නැතිනම් එසේ පහර කෑමට සිදු වන අය ඇතැම් තැනක කඩාකප්පල් කාරී ක්‍රියාවල පවා නිරත වීම වැළැක්විය නොහැකි ය.

ගෝලීයකරණයෙන් බැට කෑමට සිදු වූයේ තුන්වෙනි ලෝකයේ රටවල මිනිසුන්ට පමණක් නොවේ. ඇමරිකාවේ ඇතැම් මිනිසුන්ට ද ඒ ඉරණමට මුහුණ දීමට සිදු විය. වැඩි හරියක් ම එසේ වූයේ කර්මාන්තශාලා වල වැඩ කළ කම්කරුවන්ට ය. ගෝලීයකරණය නිසා ලාභ ශ්‍රමය සොයා ගෙන වෙන රටවලට ආයෝජන සේන්දු වීමේ ප්‍රතිඵලයක් ලෙස එසේ ආයෝජන ගලා ගෙන ගිය රටවල මිනිසුන්ට යම් යහපතක් උදා වෙද්දී ඇමරිකාවේ කම්කරුවන්ට සිය රැකියා අහිමි වුනේ ය. එසේ ආයෝජන විස්ථාපනය නොවුනු තැනක වුව ද චීනයෙන් සහ තුන්වෙනි ලෝකයේ ඇතැම් රටවලින් ඇමරිකාවට ආ ලාභ බඩු සමග තරඟ කරන්නට නොහැකි වීමෙන් ද කර්මාන්ත ශාලා වැසී ගියේ ය. ඇතැම් විට සිදු වූ බලපෑම, සෙසු රටක ගෝලීයකරණය නිසා ජීවනමාර්ග අහිමි වූ මිනිසුන්ට ද වඩා වඩාත් දැඩි ව ඔවුන්ට දැනෙන්නට ඇත. ඒ තුන්වෙනි ලෝකයේ මෙන් පහසුවෙන් විකල්ප නිර්මාණය නොවීම නිසා විය යුතු ය.

මේ තත්වය කොතෙක් උග්‍ර වූයේ දැයි කීවොත් ගෝලීයකරණය කෝකටත් තෛලයක් ලෙස ලෝකයට හඳුන්වා දුන් ඇමරිකාව ම, 2016 දී, ට්‍රම්ප් අප්පච්චි බලයට පත් කරමින් ලෝකයට ප්‍රකාශ කළේ තමන් පවා තවදුරටත් තමන් විසින් ඉදිරිපත් කළ ඒ ගුලිය ඖෂධයක් ලෙස පිළිනොගන්නා බව ය.

වඩාත් ඉදිරියට යන්නට සිදු ව තිබිය දී ආපස්සට ගිය විට වන්නේ පස්ස බිම ඇන ගැනීමට ය. ඇමරිකාව ඒ පාඩම ඉගෙන ගත්තේ වසර 4 ක් තිස්සේ පස්සට යෑමෙන් පසු පස්ස බිම ඇන ගෙන තුවාල වීමෙන් ද පසු ය (සමහරු නම් කියන්නේ ඇමරිකාව තවමත් සම්පූර්ණයෙන් ඉගෙන ගෙන නැති බව ය). ඒ තුන්වෙනි ලෝකයේ රටක දකින්නට ලැබෙන පසුගාමී හැසිරීමක් ලෝකයට ම ප්‍රදර්ශනය කිරීමෙන් පසු ය.

ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ගොවිතැන ද ගෝලීයකරණය වුනේ ය. අප ට දැන් බීජ ලැබෙන්නේ පිටරටිනි. පොහොර පිටරටිනි. වල් නාශක කෘමි නාශක පිටරටිනි. ඒවා අපේ බීජ වලට වඩා අපට නිපදවා ගත හැකි පොහොර වලට රසායනික වලට වඩා හොඳ ය. කාර්යක්ෂම ය.

ඒවා කොතෙක් සාර්ථක වී ද යත් 60 දශකයේ එවකට සිටි ජනගහණයට පවා ආහාර සපයා දෙන්නට නොහැකි ව පිටරටින් ආනයනය කළ රට එදා ජනගහණය මෙන් 140% ක් වූ ජනගහණයකට මුළුමණින් ම පාහේ ආහාර සැපයීමට තරමට හැකියාවක් ලබා ගත්තේ ය.

එහෙත් ඒවා සමග වස විස අපට මිශ්‍ර වේ යැයි අපි සැක කරමු. එයට අමතර හේතුවක් ලෙස අපේ ගොවීන් ඒවා ප්‍රමිතියකට භාවිතා නොකරතැයි යන සැකය ද තිබේ.

ආහාර වල වස විස ඇතැයි සිතන නිසා අප කැමති හැකි නම් රසායනික පොහොර හෝ රසායනික වල් නාශක හා කෘමි නාශක භාවිතා නොකළ කෑම කෑමට ය. ඒවා සුපිරි වෙළඳ සැල් වල ඇතත් ගිනි ගණන් ය. ඒ නිසා අප කැමති කාබනික ගොවිතැන පමණක් තිබූ අතීතයට යෑම ට ය. රසායනික පොහොර වෙනුවට ගොම පොහොර දැමීමට ය. ට්‍රැක්ටර් වෙනුවට මී හරක් නැවතත් වෙලට කැඳවීමට ය. ගොවීන් ස්වේච්ඡාවෙන් නොකරන්නේ නම් ආණ්ඩුව විසින් දැන් කර ගෙන යන ආකාරයට බලහත්කාරයෙන් කරවීමට ය.

විදේශ විනිමය අර්බුදය නිසා හදිසියේ කරලියට පැමිණි, මෑතක ඉදිරිපත් කළ, මුළුමණින් ම කාබනික වගාවට යමු කියනා ගුලිය ගොවීන්ට කෙසේ වෙතත් සෙසු ජනතාවට බොහෝ පහසුවෙන් ගිල්විය හැකි වූයේ ද ඒ මතය ඒ වන විටත්  රට තුළ පැවති නිසා ය. වෙන එකක් තබා එය සෞභාග්‍යයේ දැක්මට ද ඇතුළත් කර තිබුනේ ද ඒ නිසා ම විය හැකි ය.

දර පෝරණුවේ උයන පාන් කෑමට, නෙළුම් කොළේ කෙහෙල් කොළේ බෙදා ගෙන බත් වැළඳීමට, ගමේ කඩේ කියා බෝඩ් ගසා ඇති තැනකින් කෑම කෑමට, යන එකී නොකී දේ පිළිබඳ ආලය ද මීට සමාන ය.

ප්‍රශ්නය ඇත්තේ අප මේ පැරණි දේ අත්හැරියේ ම ඒවා අපට ප්‍රමාණවත් නොවූ හෙයින් ය යන්න අද අපට අමතක වීම තුළ ය. ඒ පැරණි ඒවා සැමරීම සඳහා මිසක් ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්නට අපහසු බව බොහෝ දෙනා කටින් නොකිව්වත් හිතින් පිලිගන්නා බවට සැකයක් නැත. එහෙත් කවුරුන් හෝ අවුස්සන්නේ නම් අපට ඒ අතීතය නැවතත් වැළඳ ගන්නට සිතේ.

සම්ප්‍රාදායික බීජ වලින් අප ලැබූ අස්වැන්න අපේ ජනතාවට කන්න දෙන්නට ප්‍රමාණවත් වූයේ නැත. ඒ නිසා වැඩි අස්වැන්නක් ලැබෙන බීජ අපට අවශ්‍ය විය. ඒවාට රසායනික පොහොර යෙදිය යුතුවාට අමතරව ඒවා වල් පැල වලින් හා කෘමින්ගෙන් ආරක්ෂා කිරීමට අමතරව රසායනික යෙදීමට ද අවශ්‍ය විය.

දර පෝරණු සඳහා දර සොයා ගැනීම අද ප්‍රශ්නයක් ව ඇත්තේ ය. ඒ අප දැනටමත් කැලෑ කපා විනාශ කර ඇති නිසා තවදුරටත් එසේ කළ නොහැකි නිසා ය. රටේ හැමෝටම බත් බෙදා ගන්නට තරම් නෙළුම් කොළ හෝ කෙහෙල් කොළ අද නැත. ඒ ජනගහණය වැඩි වී ඇති නිසා ය. නෙළුම් වසා සැල්වීනියා සැදී ඇති නිසා ය. නගර ආශ්‍රිතව කෙසෙල් වවන්නට තරම් ලොකු ඉඩම් මිනිසුන්ට නැති නිසා ය.

අද පවතින තත්වය ගැන සෑහීමකට පත් විය නොහැකි නම් අප කළ යුත්තේ නවීන විද්‍යාවේ පිහිට පැතීම ය. ඒ ආශ්‍රයෙන් වත්මන් ප්‍රශ්න වලට අලුත් විසඳුම් සෙවීම ය.

රසායනික අඩුවෙන් භාවිතා කළ හැකි ක්‍රම නවීන විද්‍යාව විසින් හඳුන්වා දී තිබේ. හරිතාගාර එක් උදාහරණයකි. හයිඩ්‍රොෆොනික් තාක්ෂණය ද එවැන්නකි. හරිතාගාර හරහා කෘමි උවදුර අවම කර ඇති අතර හයිඩ්‍රොෆොනික් තාක්ෂණය යොදා ගෙන වල් පැල අවම කර ගෙන ඇත. ඊට අමතර ව ඒ තාක්ෂණය නිසා අවම පොහොර ප්‍රමාණයක් පමණක් යෙදීමේ ඉඩ කඩ ද විවෘත ව ඇත්තේ ය.

අප කරනුයේ එසේ නවීන විද්‍යාව විසින් විවර කරමින් ඇති ක්‍රම වලට අපේ අවධානය යොමු කරනු වෙනුවට, ඒවා යොදා ගත හැකි ආකාර සොයනු වෙනුවට, යල්පැන ගිය නිසා අප ම අත්හැරිය දේ නැවත වැළඳ ගැනීමේ මොන්ටිසෝරි උත්සහයක යෙදීම ය. අතීතයට තකහනියේ දිවීම ය.

ඇමරිකාව පස්ස බිම ඇන ගත්තේ ය. ඒ එරට බුද්ධිමතුන්ගේ අවවාද නොතකා හරිමින් ජනතාව කටයුතු කළ නිසා ය. අපත් අද ගමන් කරන්නේ ඒ මාවතේ ය. ඉදිරිය දකින බුද්ධිමතුන්ට, පොහොර හා රසායනික ආනයනය කරන සමාගම් වල ඒජන්තවරුන් යැයි කියා ගරහමින් අත් හැර දැමූ අතීතයට සීඝ්‍රයෙන් පසු බැසීමේ මාවතේ ය.

ඇමරිකාව පස්ස බිම ඇන ගත්තේ වුව ද පසුව ඉගෙන ගත්තේ ය. අප එසේ වූ පසු ද ඉගෙන ගනිතැයි සැක සහිත ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s