
සංවර්ධනය යන වචනය භාවිතා කොට යම් සටහනක් ලියන විට හැම විට ම වත්පොතේ මිතුරන් අසන ප්‍රශ්නයක් තිබේ. ඒ සංවර්ධනය යනුවෙන් මා අදහස් කරන්නේ කුමක් ද යන්න ය. මේ උත්සහය ඒ ගැන පැහැදිලි කිරීමට ය.
සංවර්ධනය යන්නට නිර්ණායක බොහෝ ය. ඒ අතරින් මා වඩාත් කැමති නිර්ණායකය පළමුව දක්වනු කැමැත්තෙමි.
ඒ කෑම සඳහා ජීවත් වෙන තත්වයෙන් මිදීමට තරම් මිනිස්සුන් ආර්ථික අතින් හා සංස්කෘතිමය අතින් ශක්තිමත් ද යන්න ය. කොපමණ ප්‍රමාණයකට ඒ තත්වයෙන් මිදී ඇති ද යන්න ය. කෙනෙකු තමන්ගේ සම්පූර්ණ කාලය ම යොදා වැඩ කරන්නේ වුව ද එයින් කාලා ඇඳලා වත් ඉන්නට බැරි නම් එතැන ඇත්තේ නොදියුණුවකි. මිනිසුන් බහුතරයකට උරුම එවැනි ජීවිතයක් නම් ඒ රට සංවර්ධනය වූ රටක් ලෙස සළකන්නට බැරි ය.
අතීතයේ බොහෝ රටවල එසේ කළ හැකි වූයේ සමාජයේ ඉහළ ම ස්ථරයට අයත් අතලොස්සකට පමණ ය. දැන් ඒ තත්වය වෙනස් වෙමින් තිබේ. දියුණු රටවල මිනිසුන් බහුතරයකට ඒ හැකියාව අද ලැබී තිබේ.
රටක් සංවර්ධනය වන විට මිනිසුන්ට තමන්ගේ ආදායමෙන් කෑම සඳහා වැය කිරීමට සිදු වන්නේ සොච්චමකි. ඒ යම්තම් කුමක් හෝ දෙයකින් බඩ පුරවා ගෙන නොවේ. සමබර රසවත් ආහාර වේලක් වළඳින ගමන් ය. ඉතිරි මුදල් ඔහුට සංස්කෘතික ජීවිතයක් ගත කළ හැකි තරමට ප්‍රමාණවත් ය. ඒ මුදලින්, දෙවරක් සිතන්නේ නැතිව, ඔහුට නාට්‍යයක් චිත්‍රපටියක් බැලිය හැකි ය. පොතක් පත්තරයක් ගත හැකි ය. කලා කෘතියක් නිර්මාණය කළ හැකි ය. දේශ ගවේෂණයේ යෙදිය හැකි ය. තමන් වඩාත් කැමති රැකියාවක් කළ හැකි ය. රැකියාව තුළ තමන් අකමැති දේ සිද්ධ වේ නම් තවදුරටත් බලා නොසිට, දෙවරක් නොසිතා, ඉවත්ව යා හැකි ය. ඔහුට/ඇයට නව දේ අත්හදා බැලිය හැකි ය.
ඊට අමතරව සංවර්ධනය වී ඇතැයි කියන්නට නම් සංස්කෘතික වශයෙන් ද මිනිසුන් ශක්තිමත් විය යුතු ය. එසේ ශක්තිමත් වන මිනිසුන් මුදල් වියදම් කරන්නේ භෞතික සැප සම්පත් එක් රැස් කර ගැනීමට පමණක් නොවේ. මුදල් මුදල් ලෙස ම ගොඩ ගසා තබා ගැනීමට ද නොවේ. ජීවිතය විඳීමට ය. ඔවුන්ට මුදල් තිබෙනවා පමණක් නොව ඒවා නිසි ලෙස ජීවිතය විඳීම සඳහා යොදා ගැනීමේ කලාව ද උරුම ව තිබේ. ඒ පමණට අධ්‍යාපනයක් ද ශික්ෂණයක් ද ඔවුන් ලබා තිබේ. ඒ නිසා ම ඔවුන් තුළ සෙසු අයට, තමන්ට වෙනස් අයට පවා, ගරු කිරීමේ වැඩි නැඹුරුවක් දක්නට පුළුවන. මානව හිම්කම් ගරු කිරීමට ඔවුන් කටයුතු කරනු, ඒ සඳහා නීති අණපනත් සම්මත කරනු, දැකිය හැකි ය. භාෂණයේ නිදහස ද සම්මතයන්ට පවා විරුද්ධ වීමේ නිදහස ද ඔවුන් අගයනු දැකිය හැකි ය. ඇමරිකාව ආර්ථික වශයෙන් ඉදිරියෙන් සිටිය ද ඉහත කී සංවර්ධන නිර්ණායකයන් ගැන සැළකීමේ දී එය අදටත් සිටින්නේ එයට වඩා ආර්ථික වශයෙන් දුර්වල බටහිර යුරෝපයේ රාජ්‍යයන්ට පසු පසිනි. චීනය ද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් සිටින රාජ්‍යයක් වුව ද ඉහත සංවර්ධන නිර්ණායකයන්ට අනුව ජන ජීවිතය සකස් වීමට ඔවුන් තව බොහෝ දුර යා යුතු ව තිබෙන්නේ ය.
එසේ ආර්ථික හා සංස්කෘතිකමය අතින් ශක්තිමත් මිනිසුන්ගෙන් සමන්විත රටක් සංවර්ධනය වූ රටක් ලෙස ගිණිය හැකි ය.
සංවර්ධනය මැණීම සඳහා ආර්ථිකය ප්‍රමාණවත් සාධකයක් නොවෙතත් සංවර්ධනය මණින සෙසු දර්ශක අතර ආර්ථික දර්ශකය ද ප්‍රධාන ය. ඒක පුද්ගල දළ දේශීය නිශ්පාදනය එවැනි එක් ආර්ථික දර්ශකයකි. එය පළමුවැන්න තරමට ම ඍජු ලෙස සංවර්ධනය අර්ථ නොගැන්වුවේ වුව ද ඒ දර්ශකයෙන් ඉදිරියට ඇති බොහෝ රටවල් මා සඳහන් කළ මුල් දර්ශකයෙන් ද සාපේක්ෂකව ඉදිරියෙන් සිටින බව පෙනෙනු ඇත. එයින් කියවෙන්නේ ආර්ථිකය අප කලින් සඳහන් කළ තත්වය ඇති කිරීමේ තීරණාත්මක කාර්යයක් කරන බව ය.
කලින් අප සඳහන් කළ නිර්ණායකය මැනීම පහසු නොවෙන නිසා ම ආදේශකයක් ලෙස බොහෝ දෙනා භාවිතා කරනුයේ දෙවැනි කී නිර්ණායකය ය. ඒක පුද්ගල දළ දේශීය නිශ්පාදනය ද ඒක පුද්ගල ශුද්ධ දේශීය නිශ්පාදනය ද එම අගයන් ඒ රට රටවල පාරිභෝගික මිල දී ගැනීමේ හැකියාවට අනුව සකස් කළ තෙවැනි හා සිව්වෙනි දර්ශකයන් ද ඇතැම් විට භාවිතා වෙයි. එයට හේතුව ඇතැම් සංවර්ධනය වූ රටක නගරයක නිවාසයක් මිල දී ගැනීම හෝ වෙනත් එවැනි අත්‍යවශ්‍ය දේ මිල දී ගැනීම වෙනුවෙන් ඊට වඩා අඩු සංවර්ධන මට්ටමක් සහිත වෙනත් රටක සමාන පහසුකම් ඇති තැනක මිල දී ගන්නවාට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදු වන නිසා ආදායම පමණක් සැලකීම යෝග්‍ය නොවන නිසා ය. ඒ ආදායමට ඇත්තට ම ලබා ගත හැක්කේ කුමන ජීවන තත්වයක් ද යන්න සංවර්ධනය මැනීමේ දී වඩාත් අදාළ වන නිසා ය.
තවත් නිර්ණායකයක් වන්නේ පරමායුෂ, සාක්ෂරතාවය සහ ඒක පුද්ගල දේශීය ආදායම යන නිර්ණායක එකතුවෙන් ගොඩ නගනු ලබන මානව සංවර්ධන දර්ශකය ය. පරමායුෂ රටේ සෞඛ්‍ය තත්වයත් සාක්ෂරතාවය රටේ අධ්‍යාපන තත්වයත් ආදායම ආර්ථික තත්වයත් පිළිබිඹු කරන නිසා ය.
ඉහත කරුණු අනුසාරයෙන් සංවර්ධනය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක් දැයි ඔබට තේරුම් ගන්නට පුළුවන් වනු ඇත. එය මුළුමණින් ම අල්ලා ගැනීම පහසු නොවූව ද එය කුමක් දැයි දැනෙන්නට ප්‍රමාණවත් යයි අපි සිතමු. ඔබට ද මේ සංවාදයට දායක විය හැකි ය. ඒ අපට හසු නොවුනු වෙනත් මානයන් දැන ගැනීමට අප කැමති නිසා ය. ඒවා සෙසු අය සමග බෙදා හදා ගැනීමට ද අප කැමති නිසා ය.
I think if people are lining up to immigrate to a country it can be considered a developed country. Countries like Germany, Switzerland, Norway, Australia, New Zealand, etc …
I live in the USA, and I don’t consider it to be a truly developed country, since it lacks the social safety net that is available in most other developed countries. But still, lots of people wait in line to immigrate to the US, so the advantages outweigh the disadvantages.
Then countries like China, I don’t consider them to be developed. Even if they are a military and financial powerhouse, there are no human rights. So people are not willing to move there. I could include Russia and middle-east (middle wast anyway don’t have the immigrate option) in the same list.
මානව සංවර්ධන දර්ශකට වඩා සංතෘෂ්ටි දර්ශකය සංවර්ධනය මැනීමට වඩාත් ප්‍රගතිශීලී නොවේද?
එක දර්ශකයක් නෙවෙයි දර්ශක කීපයක් භාවිතා කරන්න වෙනව හරි අදහසක් ගන්න නම්.