මිලිටරීකරණය පිළිබඳ අවුල නිරවුල් කිරීම

සරසවි අධ්‍යාපනය මිලිටරීකරණ කිරීමේ ක්‍රියාවලියට විරුද්ධ අය පවා කොතලාවල විශ්ව විද්‍යාලය තුළ මිලිටරීකරණයක් ඇතැයි පිලි ගන්නේ නැත. ඒ නිසා අධ්‍යාපනයේ මිලිටරීකරණයෙන් අදහස් වන්නේ කුමක් ද යන්න ගැන හරවත් සංවාදයක් සිදු විය යුතු ය. මේ ඊට ප්‍රවේශයක් පමණ ය.

මිලිටරීකරණය කියන වචනය තේරුම් ගැනීමෙන් තොරව මේ සංවාදය සිදු කළ නොහැකි ය. එයින් අප අදහස් කරන්නේ දැඩි විනයක් යටතේ සිසුන් සරසවිය තුළ රඳවා ඉගැන්වීම ය. නිල ඇඳුමක් කොණ්ඩය හා රැවුල සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ඇතුළු බාහිරින් සමගාමී පෙනුමක් පවත්වා ගැනීමේ සිට ආචාර්ය මණ්ඩලයට කීකරුව ඔවුන් කියනා ආකාරයට ම කටයුතු කිරීම ද එයින් අමතරෙන් අදහස් කරන්නේ ය. වෙනත් පනවන සීමාවන් හා ඒ අනුසාරයෙන් බිහිවන මේ භෞතික පරිසරය තුළ ප්‍රශ්න කිරීමට මානසික බාධකයක් ඉදි වන්නේ ය.

සමහරු එය පිළිගැනීමට කැමති නැත. යම් විනයක් යටතේ සිසුන් නඩත්තු කිරීමේ වරදක් ඔවුන් දකින්නේ නැත. බොහෝ දෙනෙකු ද දකින එකක් නැත.

ඒ අස්ථානය ගැන කල්පනා කරන විට මගේ සිහියට නැගෙන්නේ කළමනාකරණ පශ්චාත් අධ්‍යාපන ආයතනයේ සිදු වූ සිදු වීමකි. ඒ ආයතනයේ අධ්‍යක්ෂක හැටියට වැඩ කරමින් සිටි එහි පුරෝගාමීයා නිවාඩුවක් ගෙන විදේශ ගත ව සිටියේ ය. ඒ වසර දෙකක කාලයකට ය. ඒ කාලය තුළ ඔහුගේ වැඩ ආවරණය කරන ලද්දේ වැඩ බලන අධ්‍යක්ෂක වරයෙකි.

එතුමාට ආයතනය විධිමත් කිරීමට අවශ්‍ය විය. ඒ නිසා ලංකාවේ එවකට ආයතන තුළ ක්‍රියාත්මක වූ ඵලදායීතා ප්‍රවර්ධන වැඩ සටහනක් ආයතනය තුළ ක්‍රියාත්මක කිරීමට ඔහු ක්‍රියා කළේ ය. ඒ යටතේ 5 S සංකල්පය ද දියත් කෙරිණි. ඒ වැඩ සටහන තුළ කළ එක් කාර්යයක් වූයේ තරප්පු පෙල දිගේ උඩට පහලට යා යුතු ආකාරය දිලිසෙන කහපාටින් යුත් ඊතල යොදා දැක්වීම ය. ඒ අනුව උඩට යන අය එක් ඊතල පේලියක් අනුගමනය කරමින් තරප්පු පෙලේ එක් පැත්තකින් උඩටත් පහලට යන අය අනෙත් පැත්තේ ඇති ඊතල පේලිය අනුගමනය කරමින් පහලටත් ගමන් කළ යුතු විය.

බැලූ බැල්මට මෙහි ඇති වැරැද්දක් නොවී ය. එකිනෙකාට බාධාවකින් තොරව ඉහළටත් පහළටත් ගමන් කිරීමට ඒ ඊතල පහසුවක් විය හැකි බව ද කාට වුව පෙනිණි. එය කොතලාවල ඇකඩමිය තුළ බොහෝ දෙනා දුටු සාමය හා සමාන ය.

නැවතත් පැරණි අධ්‍යක්ෂ තුමා පැමිණි විට කර ඇති වෙනස්කම් පිළිබඳව ඔහු සතුටට පත් වනු ඇතැයි ද වැඩබැලූ අධ්‍යක්ෂක වරයා සිතුවේ ය. එහෙත් විධිමත් අධ්‍යක්ෂක තුමා තමන්ගේ නිවාඩු කාලය අවසන් කර නැවත ආයතනයේ අධ්‍යක්ෂ පදවිය බාර ගත් විට තරප්පු පේලියේ මේ ඊතල මෝස්තරය වෙනස් කිරීම ඔහු සිය ප්‍රථම රාජකාරිය කර ගත්තේ ය.

ඒ පියවර ගැන ඇතැම් අය හිතුවේ තමන් නැති අතරේ කළ වැඩක් නිසා ඔහු ඒ ගැන උරණ වී එය වෙනස් කරන්නට ඇතැයි කියා ය. ඒ ගැන විමසන අයට ඔහු කීවේ මේ ආයතනය ඒකාකාරී භාණ්ඩ නිශ්පාදනය කරන ෆැක්ටරියක මට්ටමට ගෙන ඒමට තමන් නොකැමති බව ය. ආයතනය මගින් කොපි කරන මිනිසුන් බිහි නොකළ යුතු බව ය. ව්‍යුහයකට යටත් ව කටයුතු කරන මිනිසුන් නිර්මාණය නොකළ යුතු බව ය. එකකට එකක් වෙනස් නිශ්පාදන ලොවට දායාද කරන නවෝත්පාදනය සිය ජීවන දර්ශනය කර ගත් නිර්මාණශීලි මිනිසුන් බිහිකිරීම එහි අරමුණ විය යුතු බව ය. ඒ නිසා කෙනෙකුට අවශ්‍ය නම් නටමින් වුව තරප්පු තරණය කිරීමේ නිදහස තිබිය යුතු බව ය. ඔහු තවදුරටත් කීවේ මෙවැනි සීමා නිසා මිනිසුන්ගේ සිතීමේ ශක්තියට පවා විලංගු වැටිය හැකි බව ය.

භෞතික පරිසරය අ‌පේ මනෝභාවයන් වලට දැඩි බලපෑමක් කරන බව මනෝ විද්‍යාවේ එක් වැදගත් ඉගැන්වීමකි. එය සිසුන්ට පමණක් නොව ආචාර්ය මණ්ඩලයට ද බලපාන්නේ ය. වෙන එකක් තබා එවැනි පරිශ්‍රයකට පිවිසෙන බාහිර පුද්ගලයෙකුට පවා බලපාන්නේ ය. හොඳට හෝ නරකට බලපාන්නේ ය. එක විදිහකට නොව බහුවිධ ආකාරයකට බලපාන්නේ ය.

මෙය වඩාත් හොඳින් අවබෝධ කර ගත හැක්කේ මිලිටරි අත්දැකීම් හෝ සමාන අත්දැකීම් ඇති අයට ය. වෙනත් බොහෝ දෙනෙකු බාහිරින් පෙනෙන සාමයෙන් සෑහීමකට පත් වෙති.

නිකම් ම මිලිටරීකරණයට ඇති විරෝධය පල කොට ප්‍රමාණවත් නැත්තේ ඒ නිසා ය. මනෝ විද්‍යාත්මක පසුබිමක් ඇති අය බරපතල ලෙස මේ සංවාදයට මැදිහත් විය යුතු යැයි අප කල්පනා කරන්නේ එහෙයිනි.

පටලවා නොගැනීම සඳහා තවත් එකක් කිව යුතු ය. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම මිලිටරීකරණය කිරීමට සමාන නැත. එහෙත් එය ද මේ සමග එකට ගැනීමෙන් අප අමාරුවේ වැටෙන්නේ ය.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම යනු රජය අධ්‍යාපනයෙන් මුළුමණින් ම ඉවත් වීම ය. ඒ අර්ථයෙන් පෞද්ගලීකරණය සැළකුවහොත් එය ද මිලිටරීකරණය තරම් ම බරපතල ය. එවිට ආර්ථික හයියක් නැති බොහෝ අය ඉවත් වන නිසා ය. ඒ තුළ වටිනා සම්පත් ජාතියට අහිමි වී යා හැකි නිසා ය. ඒ නයින් ගත් කළ සටන් පාඨ දෙක ම එක ගොඩට දමා ගත්තාට ගැටළුවක් නැත.

ගැටළුව ඇත්තේ අධ්‍යාපනය පෞද්ගලික අංශයට විවෘත කිරීම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සමාන කිරීමෙහි ය. දෙවැන්න බරපතල වුව ද පළමුවැන්නෙහි ඒ බර නැත. ඊට හේතු කීපයකි. රජයට අවස්ථා සපයා දිය නොහැකි නම් පෞද්ගලික අංශයට ඒ සඳහා අවකාශ සැලසීමේ අවුලක් නැති වීම එකකි. දැනට ද එය සිදු වෙමින් පවතින නිසා එය අලුත් දෙයක් වන්නේ නැති වීම ද තව එකකි. අධ්‍යාපනය සඳහා ඇති අවකාශ පළල් වීම හා ඒ තුළ විවිධත්වයක් ඇති වීම තුන්වෙනි හේතුව ය.

අධ්‍යාපනය අර්බුදයක බව සැබෑ ය. ඒ අර්බුදයෙන් ගැලවීමට තැත් කරන බව පෙන්වමින් ඒ සඳහා ආණ්ඩුව ගෙනෙන යෝජනා තරමට ම ඒවා පිළිකෙව් කරන පාර්ශවයන් ගෙනෙන සටන් පාඨ ද ඒ අනුව එක සේ වැරදි ය. කිරි සමග ගොම කලවම් කර ඒවා පානය කරතැයි අපේක්ෂා කිරීම නොකළ යුතු ය.

මිලිටරීකරණ හා පෞද්ගලීකරණයට එරෙහි විරෝධතා දෙක වෙන වෙන ම පවත්වා ගෙන යන තරමට මුල් හා වඩා බරපතල කරුණට එරෙහි කඳවුර ශක්තිමත් වනවා ඇත. එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරන්නට යෑමෙන් වන්නේ එක කුරුල්ලෙකු වත් අහිමිව යෑම ය. අන්තිමේ දී ආණ්ඩුවේ මර්දනකාරී උපාය මාර්ගය ජය ලැබීම ය. උසස් අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමේ වැඩ පිළිවෙලට ඉඩ හසර පාදා දීම ය.