රාජ්‍ය අංශය ද පෞද්ගලික අංශය ද?

See the source image

අම්ම ද නැත්නම් ඔබගේ බිරිඳ ද? මේ ප්‍රශ්නය නගමින් ගැයෙන වාද බයිලාවක් ඔබ අසා ඇතුවාට සැක නැත. ගම ද නගරය ද? තවත් එවැනි ම වාදයකට ප්‍රස්තූත වෙන යුගලයකි. අද අප සාකච්ඡා කරන්නට යන්නේ ද තවත් එවැනි යුගල පදයක් ගැන ය. ඒ වඩා හොඳ රාජ්‍ය අංශය ද පුද්ගලික අංශය ද යන්න ය. මේ වාදය සඳහා අප නිර්ණායක කීපයක් යොදා ගැනීමට අපේක්ෂා කරන්නෙමු.

වඩා කාර්යක්ෂම කුමක් ද යන්න එක් නිර්ණායකයකි. ඒ අප සතු සීමිත සම්පත් අපතේ නොයවා වැඩ කටයුතු කළ යුතු හෙයිනි. නාස්තිය මෙන් ම පරිසර දූෂණය ද අවම කර ගැනීම එහි අපේක්ෂාව ය.

වඩා සේවාලාභීන්ට හිතකර වන්නේ කුමක් ද යන්න දෙවැනි නිර්ණායකය ය. එයින් අදහස් කරන්නේ වඩා පහසුවටත් ලාභයටත් සේවාලාභීන්ට සේවාව ලබා ගත හැක්කේ කුමකින් ද යන්න සොයා බැලීම ය.

වඩා රටටත් පොදු ජනතාවටත් හිතකර වන්නේ කුමක් ද යන්න තුන්වෙනි නිර්ණායකය ය. එයින් අදහස් කරන්නේ බදු ආදායමක් හැටියට රජයට වැඩි පුර ලැබෙන්නේ කුමකින් ද යන්නත් ඒ ආයතන නඩත්තු කිරීමට බදු ආදායමෙන් කවර ප්‍රමාණයක් වියදම් වන්නේ ද යන්නත් සොයා බැලීම ය.

මේ විමසුම සඳහා අප දන්නා ආයතන කිහිපයක් විමසන්නට අපි අපේක්ෂා කරන්නෙමු. සමහර ඒවා සම්බන්ධයෙන් ප්‍රමාණික දත්ත අප සතු ය. සෙසු ඒවා සම්බන්ධයෙන් පරිවාර සාක්කි අප සතු ය. ඔබට දත්ත ඉදිරිපත් කර මේ සංවාදය තව දුරටත් පොහොසත් කළ හැකි ය. වෙනත් මානයන් අවශ්‍ය නම් එක් කළ හැකි ය. සම්පූර්ණයෙන් ම වෙනස් නිගමනයන් ඉදිරිපත් කළ හැකි ය.

ගෑස්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකිණීම රාජ්‍ය ඒකාධිකාරයක්ව තිබුණු සමයේ පාඩු ලැබූ ගෑස් සමාගම නඩත්තු කිරීම සඳහාත් බදු ආදායම් යොදන්නට සිදු වි තිබුණේ ය. ඒත් නඩත්තු වුනේ මුළුමණින් නොවේ. බාගෙට ය. ඒ නිසා ම අලුත් සිලින්ඩර සඳහා ඔවුන් ආයෝජනය කළේ නැත. සිලින්ඩර ලබා ගැනීම සඳහා මාස ගණන් බලා සිටිය යුතු විය.

එය ෂෙල් සමාගමට පැවරීමත් සමග ගෑස් සිලින්ඩර දුර්භික්ෂය අවසන් විය. එයට තවත් සමාගමක් පසු ව එකතු වූ හෙයින් තරඟකාරී මිලකට ගෑස් මිල දී ගැනීමට ද ජනතාවට වරම් ලැබුනේ ය.

සමාගම් දෙක ම දැන් ආදායම් බදු ගෙවන නිසා තව දුරටත් බදු ආදායම් වලින් ආයතනයක් නඩත්තු කිරීමට ආණ්ඩුවට සිදු නොවීය.

දුර කථන

දුර කථන කතාව ද ගෑස් කතාවට සමාන ය.

රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව කලෙක ඒකාධිකාරය ඉසිලුවේ ය. එය පැවතුනේ දුර කථන සැපයීමෙන් හෝ අදාළ සේවාවන් සැපයීමෙන් ලද ආදායමෙන් පමණක් නොවේ. රජයේ බදු ආදායමෙන් තමන්ගේ පාඩුව ද පියවා ගැනීමෙනි.

ගෑස් සිලින්ඩර වලට මෙන් ම දුරකථන ලබා ගැනීමට ද දිගු පෝලිමක බලා සිටීමට සිදු විය. ගෑස් සිලින්ඩර වලට සමානව ම ඒ සඳහා ඇතැම් වෙලාවක මාස ගණන් අවුරුදු ගණන් බලා සිටීමට සිදු විය. කල් ඇතුව ලබා ගැනීමට පුළුවන් කම ලැබුනේ එක්කෝ බල පුළුවන්කාරයින්ට ය. නැත්නම් ඔවුන්ගේ පිහිට භාවිතා කොට ය. නොවඳිනා වැඳුම් වැඳලා ය.

එය පුද්ගලීකරණය කිරීමෙන් පසු සියල්ල වෙනස් විය. රැහැන් දුරකථන සඳහා සන්ටෙල් පුද්ගලික සමාගම පිවිසීමෙන් තත්වය තවත් සතුටුදායක විය. ජංගම දුර කථන පැමිණිම සමග ආ තරඟයෙන් තවදුරටත් වෙනස් විය. යහපත් අතට වෙනස් විය. රජයේ නියාමන කොමිසම අත නොපොවන්නට වඩාත් තරඟකාරී මිලක් වුව ලබා ගත හැකි ව තිබෙන්නේ ය.

ඛණිජ තෙල්

ඛණිජ තෙල් විකිණීම සඳහා ආයතන දෙකක් ඇත. එකක් දේශීය රජයේ ආයතනයක් වන ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ය. අනෙක විදේශීය රාජ්‍ය- පෞද්ගලික හවුල් ආයතනයක් වන, IOC යන ප්‍රචලිත නාමයෙන් හඳුන්වන ලබන, ඉන්දියානු තෙල් සමාගම ය. (ඉන්දියානු තෙල් සමාගම ඉන්දීය රජයේ සමාගමක් වන නමුදු එහි කොටස් ඉන්දීය කොටස් වෙළඳ පොලේ විකිණනු ලබයි. ඒ නිසා එහි ස්වරූපය වඩා ළඟ පෞද්ගලික සමාගමකට ය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට තරමක් දුරට සමාන ය. 2018 සැප්තැම්බර් මාසයේ දී එහි කොටස් අගයෙන් 57% ක් රජයට ද ඉතිරි 43% වෙනත් පාර්ශවයන්ට ද හිමි ව තිබුනි).

මෑත කාලයේ ඉන්ධන මිල ඉහළ දමමින් ඛණිජ තෙල් පිළිබඳ අමාත්‍ය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ ආකාරයට ඛණිජ තෙල් සංස්ථාව වසර ගණනාවක් තිස්සේ කෝටි ගණන් පාඩු ලබමින් තිබේ. 2020 වසර වන විට ඛණිජ තෙල් සංස්ථාව ලැබ තිබෙන සමස්ත පාඩුව ඩොලර් මිලියන 300 ක් ඉක්මවන බව කීවේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය පිලිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය.

ඛණිජ තෙල් සමාගම පාඩු ලබන බව කියතත් ඉන්දියානු තෙල් සමාගමේ ලංකා ශාඛාව වාර්ථා කරන්නේ අධික ලාභයකි. මාධ්‍ය වල ප්‍රකාශ වුනු ආකාරයට එය 2020/21 ආදායම් වර්ෂය සඳහා ලැබූ ලාභය රුපියල් කෝටි 87 ට වැඩි ය. (ඉන්දියානු තෙල් සමාගමට 2020 වසරේ ඉන්දියාවේ Fortune India 500 ලයිස්තුවේ දෙවැනි ස්ථානය ද හිමි ව තිබුනේ ය. එය 2020-21 ආදායම් වර්ෂය සඳහා ලැබූ ශුද්ධ ලාභය ඇමරිකන් ඩොලර් බිලියන 6.1 ක් විය.)

ඉන්දියානු තෙල් සමාගම සිය මිල තනිවම ඉහළ නංවා තිබූ මාස කීපයකට සීමා වූ කාල වකවානුවක් තිබුනේ වුව ද ඉන්ධන මිල ගණන් වැඩි කාලයක් පැවතියේ සම මට්ටමේ ය. ඊට අමතරව ඉන්දියානු තෙල් සමාගමට ඇත්තේ ලංකාවේ වෙළඳ පොලෙන් සියයට දහයක පමණ ප්‍රමාණයක් බව ද අපේ සැලකිල්ලට ගත යුතු ය. එසේ තිබිය දීත් එය ලාභ ලබන්නේ කෙසේ ද?

අපට සිතා ගත හැකි එක ප්‍රධාන හේතුවක් වන්නේ ආයතන දෙකේ කාර්යක්ෂමතාවය ය.

ආණ්ඩුවේ මිල පාලනය නිසා පාරිභෝගිකයන්ට මේ දෙ තැනින් ම ගන්නට සිදු ව ඇත්තේ එක ම මිල ගණන් වලට බව සැබෑ ය. එසේ වුව ද ඉන්දියානු තෙල් සමාගම වෙළඳ පොලට පිවිසීමෙන් පසු තෙල් පිරවුම් හල් වඩාත් ඉඩකඩ ඇති අයුරිනුත් වඩාත් සිත් ගන්නා අයුරිනුත් ප්‍රතිසංස්කරණය වූ බවත් ඒ නිසා ඛණිජ තෙල් සංස්ථාවේ පිරවුම් හල ද ඒ වෙනස් කම් අනුගමනය කරමින් වෙනස් වුනු බව ද අපට ඊට අමතරව මතක ය.

පාඩු ලබන රාජ්‍ය ආයතනයක් පවත්වා ගැනීමට රටේ සීමිත බදු ආදායම වෙන් කරන්නට සිදු වීම නිසා ඛණිජ තෙල් සංස්ථාව රටට ගෙන දෙන්නේ පාඩුවකි. ජනතාවට මේ පාඩු ලබන ආයතනය නඩත්තු කිරීමට අමතර බදු ගෙවන්නට සිදු වීම නිසා පොදු මහජනතාවට ද අත් වන්නේ පාඩුවකි. ලාභ ලබන නිසා ඉන්දියානු තෙල් සමාගම බදු ගෙවමින් රටට ආදායමක් උපයා දෙන්නේ ය. ජනතාවට අමතර බරක් ඇති නොකරන්නේ ය.

උදාහරණ නම් තව රාශියකි

බැංකු ක්ෂේත්‍රය තවත් එවැනි ම ක්ෂේත්‍රයකි. රාජ්‍ය බැංකු පාඩු ලැබුවේ නැති වුව ද සලසන ලද සේවය ඉතා දුර්වල විය. පෝලිම් බහුල විය. කුඩා වැඩක් කර ගැනීමට පවා විශාල වශයෙන් බැංකු තුළ රස්තියාදු විමට සිදු විය.

සම්පත් බැංකුව තරඟයට පිවිසීමෙන් ආරම්භ වූ පුද්ගලික බැංකු විසින් ක්ෂේත්‍රය මේ වන විට උඩු යටි කුරු කර තිබේ. දැන් බැංකුවක් ඇතුළට යන්නේ නැතුව ATM යන්ත්‍ර හරහා බොහෝ දේ කර ගත හැකි ය. මහ බැංකුව විසින් නියාමනය නොකරන්නට මීට වඩා වැඩි පොලියක් ලබා ගැනීමේ ඉඩ ද සේවා ලාභීන්ට අයත් වන්නට තිබුනේ ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද කලෙක රජයේ ආයතනයක් ව පාඩු ලබමින් තිබී කළමනාකරණය පුද්ගලීකරණය කිරීම නිසා ලාභ ලැබීමට පටන් ගත් ආයතනයකි. පසු ව නැවතත් රජයට පවරා ගැනීමෙන් නැවතත් පාඩු ලැබීමට පටන් ගත් අතර, මේ වන විට රජයට දරා ගත නොහැකි මට්ටමේ පාඩුවකට හිමිකම් කියන, ආයතනයකි.

තවත් පාඩු ලබන ආයතන ගණනාවක් ඇත. ලිපිය දික් වන නිසා හැම දෙයක් ගැන ම ලියන්නට හැකියාවක් නැත.

හේතු සාධක

මෙසේ වීමට හේතු සාධක මොනවා ද?

අයිතිකරුවෙකු නැති වීම එක් ප්‍රධාන හේතුවකි. අයිතිකරුවෙකු සිටී නම් ඔහු විවිධ කටයුතු කරමින් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර ගැනීමට උත්සහ කරනවා ඇත. තමන්ගේ ගැලවුම සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයක් ම තිබිය දී මේ ආයතන බාර ගන්නා අයට එහෙම ගායක් ඇති වන්නට හේතුවක් නැත. එහෙම උණක් ඇති අයට පවා මෙවැනි ආයතන තුළ පහත දැක්වෙන හේතූන් නිසා වැඩි කලක් රැඳෙන්නට වෙන්නේ නැත.

දෙවැන්න, මේ ආයතන බාර දෙන්නේ දේශපාලන අධිකාරියේ හිතවතුන්ට මිස දක්ෂ කළමනාකරුවන්ට නොවීම ය. එයට උප හේතුවක් වන්නේ තමන්ට රිසි පරිදි ආයතනය මෙහෙයවීමට එහෙයියන් මිසක දක්ෂයින් නම්මවා ගැනීමට නොහැකි නිසා ය.

තුන්වැන්න, මේ ආයතන දේශපාලන අධිකාරිය හා ඒවායේ පාලනය බාර දී ඇති නිලධාරී තන්ත්‍රය විසින් සළකන්නේ තමන්ගේ පෞද්ගලික නින්දගම් ලෙස වීම ය. තමන්ට තමන්ගේ සහචරයන්ට පමණක් නොව නැදෑ සනුහරයට ද පිණුම් ගැසිය හැකි කෙළි බිම් ලෙස ය.

සිව්වෙනුව, මේ ආයතන දේශපාලන අධිකාරිය විසින් සැළකෙන්නේ තමන්ට කඩේ ගිය මිනිසුන්ට රැකියා හෝ ව්‍යාපාරික අවස්ථා සලසා දිය හැකි කප් රුකක් ලෙස වීම ය.

සේවා ලාභියාගේ වුවමනාව හා රටේ වුවමනා එපාකම් එන්නේ ඒ සියල්ලට ඉඩ දී ඉන්පසු ඉතිරි වන වපසරිය තුළ ය.

මේ කියන දේශපාලන අධිකාරියට හෝ නිලධාරී තන්ත්‍රයට සමීප වීමෙන් තමන්ටත් යම් සොච්චම් වරප්‍රසාදයක් ලබා ගත හැකි නම් එයින් සෑහීමකට පත් වෙන ජනතාවක් සිටින රටක දේශපාලනඥයන්ට මේ තත්වය වෙනස් කිරීමේ කිසිදු වුවමනාවක් ඇතිවන්නට හේතුවක් ද නැත. එය පස් වෙනි හේතුව ය.

පුද්ගලික අංශය හැම තැනට ම ගැලපේ ද?

නොමිලේ සේවා ලබා දෙන තැනක පුද්ගලික අංශයට කළ හැකි කාර්යය භාරය සීමා සහිත ය. හොඳම උදාහරණය අපට ලැබෙන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා අරබයා ය.

එහි දී පවා අපට පෙනෙන්නට ඇති දෙය නම් මිනිසුන් නොමිලේ දෙන අඩු ගුණාත්මක සේවය පසෙකලා මිලක් ගෙවා වඩා හොඳ සේවයක් ලබා ගන්නට මුදල් ඇත්නම් පසු බට නොවෙන බව ය. ජාත්‍යන්තර පාසල් පුද්ගලික පාසල් පෞද්ගලික රෝහල් පෞද්ගලික චැනල් සේවා වලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ එය ය.

එතැන දී වුව වඩා හොඳ සේවයක් සැලසෙන්නේ පුද්ගලික වීම නිසා ම නොවේ. ඊට අමතරව තරඟයක් ද තිබෙන නිසා ය.

අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වියදම් කළ නොහැකි ජනතාවට රජයෙන් යම් මුදලක් හෝ යම් රක්ෂණ ආවරණයක් ලැබෙන්නේ නම් ඔවුන් ද මිල කළ පෞද්ගලික සේවාවන් තරඟකාරී මිලකට ඇති වටපිටාවක ලබා ගැනීමට උනන්දු වනවා ඇත. ඒ සඳහා අවශ්‍ය තත්වයන් සම්පාදනය කළ හැකි නම් අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට පවා පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාවය සහිත දායකත්වයක් ලබා ගත හැකි වනු ඇත.

පුද්ගලික අංශය කෝකටත් තෛලයක් නොවේ. නිසි පරිසරය සෑදිය හැකි නම් එයින් මීට වඩා වැඩ ගත හැකි බව කියමින් මේ ලිපිය දැනට අවසන් කරමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s