හානා හීය පානා අඬහැරෙන් දැනේ – වස විස නැති ගොවිතැනේ නොදකින පැති

වස විස නැති ගොවිතැන යහපත් දෙයක් ද?

ඔව්

වස විස එකතු වෙන්නේ කොහොම ද?

ගොවිතැනට යොදන කෘමිනාශක වල් නාශක රසායනික පොහොර වගේ ඒවයෙ අවභාවිතය නිසා. මතක තියා ගන්න භාවිතය නිසාමත් නොවෙයි අවභාවිතය නිසා.

කාබනික නිශ්පාදන වල වස විස නෑ නේද?

ඒවා ප්‍රකාශිත ආකාරයට ම කාබනික නම් වස විස නැති වීමේ ඉඩකඩ ඉහළයි. ඒ වුනත් වස විස සම්පූර්ණයෙන් ම නෑ කියල ම කියන්න බෑ.

මිනිසුන් ඒවා භාවිතා නොකරන්නේ ඇයි? ඒවාට ඉල්ලුමක් නැත්තේ ඇයි?

ඒවාට ඉල්ලුමක් තියෙනව. ඒත් ඒවා ගණන්. ඒ නිසා සාමාන්‍ය මිනිසුන්ට මිල දී ගන්න අමාරුයි.

කාබනික එළවලු/නිශ්පාදන ගණන් ඇයි?

රසායනික පොහොර නොදමන නිසා අස්වැන්න අඩුයි. කෘමි නාශක භාවිතා නොකරන නිසා කෘමින්ගෙන් ආරක්ෂා කර ගන්නට අමතර වියදමක් දරන්නට වෙනව. වල් නාශක නොදමන නිසා වල් උදුරා දැමීමට අමතර වෙහෙසක් වියදමක් ද දරන්නට වෙනව. ඒ සියල්ල පාරිභෝගිකයාගෙන් අය කර ගන්න වෙනව.

ඒවාගෙ කෘතිම රසායනික යොදන්න වෙලා තියෙන්නෙ ඇයි? ඉස්සර ඒවා භාවිතා කළේ නෑ නේද?

අතීතයේ වැඩි දෙනෙක් ජීවත් වුනේ ගොවිතැනින්. ඒ අතරින් වැඩි ප්‍රතිශතය තමන්ගේ ආහාර තමන්ම වගා කර ගත්තා. ඔවුන්ට අතිරික්තයක් නිපදවන්න වුනේ රජ්ජුරුවන් හා සංඝයා නඩත්තු කරන්නත් වෙනත් සීමිත රැකියා නිරත සුළු ප්‍රතිශතයක් මිනිස්සු නඩත්තු කරන්නත් විතරයි. අද ඒ තත්වය සපුරා වෙනස්. බොහෝ දෙනෙක් වෙනත් නිශ්පාදන කාර්යය වල නිරත වෙලා ඉන්න නිසා අධික ජනගහණයක් නඩත්තු කරන්න විශාල අතිරික්තයක් නිපදවන්න වෙනව. මේ තත්වය 1950 ගණන් වන විට ලෝකයට ම අභියෝගයක් වුනා. ආහාර හිඟය නිසා මිනිස්සු බඩ ගින්නේ මිය යන තත්වයක් ඇති වුනා. හරිත විප්ලවය ආවේ ඒකට උත්තර හැටියට. ඒ විප්ලවයේ ප්‍රතිඵලය තමයි වැඩි අස්වැන්නක් දෙන බීජ හඳුන්වා දීම. ඒවා කලින් භාවිතා කළ බීජ වලට වඩා කීප ගුණයක් අස්වැන්න ලබා දෙන්න සමත්. ඒත් හැම යහපත් දෙයක් එක්ක ම ප්‍රශ්නයකුත් ගැට ගැහෙන්න පුළුවන් නෙ. මේ බීජ සම්බන්ධයෙනුත් එහෙම ප්‍රශ්නයක් පැවතුනා. ඒ මේවායින් අස්වැන්න ගන්නට රසායනික පොහොර යොදන්නට සිදු වීමත් ඒ අස්වැන්න සහතික කර ගන්නට කෘමි/වල් නාශක භාවිතා කරන්නට සිදු වීමත්.

ලංකාව සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සාධකයක් මේ සඳහා බලපෑව. අපි ගොඩ ගොවිතැන් කළේ හේන් වල. ඒ කියන්නෙ කැලේ කපලා ගිනි තියල ඒකෙන් ලැබෙන ඛණිජ වල ආධාරයෙන්. මුල් වටයේ ඇල් වී, කුරහන්, අමු මෙනේරි වගේ ධාන්‍යත් ඊළග වටයෙ මුං බෝංචි වගේ රනිල කුලයේ ශාඛාත් වශයෙන් සශ්‍ය මාරුවක් එහෙමත් ක්‍රියාත්මක වුන. එක චක්‍රයකට පස්සෙ අපි ඒකෙ නැවත කැලේ වැවෙන්න හැරිය. ඒ වෙනුවට කැලේ වෙන පැත්තක් තෝරා ගෙන ආයෙමත් ඒ වැඩේ කළා. පරණ තැනකට යන්නේ තව අවුරුදු 10-12 කින්. එතකොට ආයේ කැලේ වැවිල ගිනි තියල ඛණිජ ලබා ගන්න පුළුවන් ගාණට. ජනගහණය වැඩි වීමත් සමග මේ වැඩේ දිගින් දිගට කරන්න බැරි වුන. කැලේ අඩු වෙන කොට කැලේ වටිනාකම තේරුණා. හේන් වගාවට තිත වැටුන. එකම බිමක දිගින් දිගට වගා කරන කොට අවශ්‍ය ඛණිජ ලවණ අඩුවෙල යනව. ඊට පස්සේ කෘතිම පෝර නැතිව බැරිව ගියා.

කෘතිම පෝර නැති ව බැරි ම ද?

බැරි ම නෑ. ඒත් අස්වැන්න විශාල වශයෙන් අඩුවීමක් එයින් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේ දී සාගත තත්වයක් ඇතිවෙන්න පුළුවන්.

එතකොට කාබනික පොහොර?

රසායනික පොහොර හා සන්සන්දය කරන විට කාබනික පොහොර විශාල ප්‍රමාණයක් සමාන ප්‍රතිඵල ගැනීම සඳහා අවශ්‍ය වෙනව. වී වගාව පමණක් සැලකුවහොත් කොම්පෝස්ට් අවශ්යතාවය මෙට්රික් ටොන් මිලියන 6 ඉක්මවා ගිය අගයක් ගන්නා බව පොහොර ගැන කළ එක සාකච්ඡාවක දී අනාවරණය වුනා. ඊට අමතරව කාබනික පොහොර වල වස විස නෑ කියල සහතික කරන්න අමාරුයි. කාබනික පොහොර හදන්න යොදා ගන්නෙ මොනව ද කියන එක අනුව ඒවයෙ තියෙන්න පුළුවන් වස විස තීරණය වෙනව. සමහර ප්‍රභවයන් නිසා ඇතැම් විට වඩාත් වැඩි වස විස ප්‍රමාණයක් තිබිමේ ශාක්‍යතාවයත් තියෙන්න පුළුවන්. ඊටත් අමතරව ඒවා නිසා ඇතැම් විට බෝග වලට වෙනත් දිලීර වගේ රෝග වැළඳීමේ ඉඩ කඩත් තියෙනව.

ගිනිසීරියා නැත්නම් ලාඩප්ප වගා කිරීම හරහා කාබනික පොහොර නිපදවන්න වැඩ පිළිවෙලක් තිබුන. තවමත් තියෙනව. ඒත් ඒ සඳහා විශාල භූමි භාගයක් අවශ්‍යයි.

එහෙම තෝරා ගැනීමක් එක්ක යහපත් ප්‍රභවයන්ගෙන් පමණක් මිල දී ගෙන කාබනික පොහොර භාවිතා කරන්න ගියොත් දැනට නිශ්පාදනය වන පොහොර ප්‍රමාණය රට තුළ ගොවිතැනට සෑහෙනව ද?

නැහැ කොහෙත්ම නැහැ. බොහෝ කාබනික ගොවිතැන් කරන අය ඒ සඳහා තමන්ගේ ම ගොවිපලේ සතුන්ගේ ගොම වගේ දේ භාවිතා කර තමන්ම නිශාපදනය කර ගත් කාබනික පොහොර තමයි භාවිතා කරන්නෙ. වෙළඳ පොලේ තියෙන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක්. ඊට අමතරව ඒවායේ ගුණාත්මක භාවය පමණක් නොවෙයි ඒ ගුණාත්මක භාවයේ ස්ථාවරත්වය ගැනත් ඇගයීම අමාරුයි. ඒ කියන්නෙ එක් එක් තොගයේ වෙනස් සංයුතීන් තියෙන්න පුළුවන් කියන එකයි.

කාබනික පොහොර ආනයනය කරන්න බැරි ද?

පුළුවන්. ඒත් ආනයනය කරන රටේ ඉන්න ක්ෂුද්‍ර ජීවින් ඒ පොහොරත් සමග එන්න පුළුවන්. බොහෝ රටවල් තමන්ගේ භූමියට සත්තු හා ශාක හා ඒවායින් නිපදවන ද්‍රව්‍ය ආනයනය කිරීමට තහංචි යොදා තියෙන්නෙ ඒ නිසා. එහෙම ආ වසංගතයන් නිසා සමස්ත බෝග ප්‍රභේදයන් ම මිය ගිය අවස්ථා තියෙනව. එවැනි රෝග සත්තුන්ටත් මිනිසුන්ටත් හැදෙන්න මේ නිසා ඉඩ විවර වෙනව.

ක්ෂුද්‍ර ජීවීන් නැති කාබනික පොහොර ගෙන්වන බව ඇමතිවරයා කියනව. එහෙම කළොත් හරි නේද?

කාබනික පොහොර පොහොර වෙන්නෙම ක්ෂුද්‍ර ජීවින් නිසා. ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය නිසා. ක්ෂුද්‍ර ජීවින් වර්ග දෙකක් ඉන්නවා. එක කට්ටියක් අපට අවශය කරන ජීව රසායකික ප්‍රතික්‍රියාවලට අවශය කරන අනුබලය සපයනවා. අනෙක රෝග ඇති කරනවා. එකක් නැතිව අනෙක ගන්න බෑ. ජීවානුහරණය කළාම දෙවර්ගයම නැති වෙනව. ඒ නිසා ඇමතිතුමා මේ ප්‍රකාශය කරල තියෙන්නෙ නොදැනුවත් කම නිසා.

කෙටි කාලීනව බැරි වුනත් දිගු කාලීන වැඩ පිළිවෙලක් යටතේ වස විස නැති ගොවිතැනක් ගොඩ නගා ගන්න බැරි ද?

රසායනික පොහොර හා කෘමි / වල් නාශක නිසි අයුරින් නිර්දේශයන්ට අනුව භාවිතා කරන්නේ නම් ලොකු ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමයි කළ යුතු වන්නේ. ඊට ගොවීන්ට නිසි දැනුම ලබා දීම වගේ ම ආහාර ප්‍රමිතිය පරීක්ෂා කරන ක්‍රමවේදයන් සකස් කිරීම ද ඇතුළත් කළ හැකි යි.

දැනට ගොවි නිශ්පාදන වල වස විස ගැන පරීක්ෂන සිදු වෙනවා ද? ඒවායේ ප්‍රතිඵල මොනවා ද?

එහෙම පරීක්ෂණ ලංකාවේ සිද්ධ වෙන්නෙ නෑ. ඒ සඳහා අවශ්‍ය සංවේදී උපකරණ අප සතු ව නැහැ.

දිගු කාලීනව කාබනික ගොවිතැනට යොමු වෙන්න බැරි ද?

කාබනික ගොවිතැන තවදුරටත් ප්‍රවර්ධනය කළ හැකියි. ඒත් සම්පූර්ණයෙන් ම රසායනික භාවිතයෙන් තොර ගොවිතැනක් කියන්නෙ හීනයක්. වත්මන් තත්වය යටතේ හීනයක්.

සියයට සියයක් කාබනික පොහොර පමණක් භාවිතා කරන කෘතිම වල්/කෘමි නාශක භාවිතා නොකරන රටවල් නැද්ද?

නැහැ තවම බිහි වී නැහැ. ලෝකයේ රටවල් අතරින් රටවල් 16 ක තමයි තමන්ගේ ගොවි නිශ්පාදන වලින් 10%ට වඩා කාබනික වගාවෙන් ලැබෙන රටවල් තියෙන්නෙ. වැඩිම කාබනික ගොවි නිශ්පාදන නිපදවන්නෙ Liechtenstein කියන අප්‍රසිද්ධ රටේ. ඒ ප්‍රමාණය 38.5% ක් පමණයි. ඒක ඉතා කුඩා රටක් වර්ග කිමි 160 ක 38749 ජනගහණයකින් යුක්ත. දෙවැනි තැනට එන්නෙ අප්‍රිකාවේ සැමෝවා රාජ්‍යය 34.5% ක් සමගින්. තුන්වෙනි තැන ඔස්ට්‍රියාවට 24.5% ක් නිපදවමින්.

හයිඩ්‍රෝෆෝනික් වැනි නව තාක්ෂණයන් යොදා ගෙන හරිතාගාර වල වල් නාශක අවශ්‍ය නැති කෘමින්ගෙන් ආරක්ෂිත වූ තත්වයන් යටතේ කෙරෙන වගාවන් තියෙනව. ඒත් ඒවාටත් රසායනික පොහොර භාවිතා කරනව.

දැනට රටේ ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල නිසා කුමක් විය හැකි ද?

නිශ්පාදනය පහළ යන්නත් ඒ නිසා නිශ්පාදන වල මිල ඉහළ යන්නත් හේතු වෙන්න ඉඩ තියෙනව. සමහරුන්ට ගොවිතැන එපා වෙන්නත් මෙය බලපාන්න පුළුවන්. ඉහළ යන මිල නිසා සාගතයෙන් මන්දපෝෂණයෙන් මිනිසුන් පෙලෙන්න පුළුවන්. තේ වගේ ද්‍රව්‍ය සඳහා ලෝක වෙළඳ පොලේ තියෙන සන්නාමයන් පවා අනතුරට වැටෙන්න පුළුවන්. පොහොර රසායනික ද්‍රව්‍ය ආනයනය නොකිරීම නිසා ඉතිරි වන මුදල මෙන් කීප ගුණයක් මුදල් ගෙවා ආහාර ආනයනය කරන්නට සිදු වෙන්න පුළුවන්. ආනයනය කරන කාබනික පොහොර නිසා පැතිර යා හැකි ජීව වසංගතයක් මගින් බව‌ භෝග මුළුමණින් විනාශ වී යන්න පුළුවන්. ඒ වගේ ම වසංගත තත්වයන් ඒ හරහා එන්න පුළුවන්. වැරදි ප්‍රභවයකින් ආනයනක කරන පොහොර නිසා ඇතැම් විස ශරීර ගත වෙන්නත් පුළුවන්.

තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනව අවසාන වශයෙන් ඔබෙන් අහන්න. අපි අහල තියෙනව ලංකාව හැඳින්වුනෙ පෙරදිග ධාන්‍යාගාරය කියල බව. ඒ කියන්නෙ අපේ මුතුන් මිත්තන් දක්ෂ ගොවීන් වෙන්නට ඔ්න. වෙන රටවලටත් ධාන්‍ය අපනයන කරන්න සමත් වුනු. ඒ එක්කම මිනිස්සු කියනව මේ බිම පින් බිමක්. වියලි දණ්ඩක් පස් වලට යට කරත් දළු දානව කියල. ඒ කාලෙ හිටිය මිනිස්සු යෝධයො වගේ සවි ශක්තිය ඇති මිනිස්සු කියල. අපේ පැරැන්නන් වස විස නැති භෝග සරුවට වවන්න කිසියම් හැකියාවක් ඇතුව හිටිය කියල ඒ කතාවෙන් කියවෙනව. අන්න ඒ තාක්ෂණය මතු කරල ගන්න අපට බැරි ද?

ප්‍රශ්නය දිග නිසා උත්තරයත් දිග වෙනව. පළමුවෙන් අපි පෙරදිග ධාන්‍යාගාරය කියන කතාව අර ගෙන බලමු. මේ ගැන ඇතැම් ඉතිහාසඥයන් කියන්නෙ අපි ධාන්‍යාගාරයක් වුනේ අපි ම නිපදවපු ධාන්‍ය අපනයනය කරපු නිසා ම නෙවෙයි. අපි ධාන්‍ය ප්‍රතිඅපනයනය කරපු තොටක් හැටියට වැඩ කළ නිසා කියල. එක පැත්තකින් චීනයෙන් එන නැව් තව පැත්තකින් අරාබි කරයෙන් එන නැව් තම තමන්ගෙ භාණ්ඩ හුවමාරු කරගන්න ඇත්තෙ මේ තොටින් කියල.

ඒ කොහොම වෙතත් ලංකාවේ ඉතිහාසයෙ සෞභාග්‍ය සහිත කාලයක් තිබුණු බව ඇත්ත. ඒත් ඒක 12 වන සියවසෙන් පස්සේ (පොළොන්නරු යුගයෙන් පස්සෙ වගේ) ක්‍රමයෙන් අභාවයට යනව. ඒ කාලයෙන් පස්සෙ ඉදි කෙරුණු වාරි ක්‍රම ගැන සඳහන් වෙන්නෙ අඩුවෙන්. නටබුන් පවා තියෙන්නෙ අඩුවෙන්. මේ පරිහානියට හේතු හැටියට දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණ වගේ ම මිනිසුන්ට වගේ ම භෝග වලටත් බෝවෙන්නට ඇති විවිධ වසංගත හේතු වෙන්න පුළුවන් කියල අනුමාන කෙරෙනව. ඒ විතරක් නෙවෙයි ඒ සෞභාග්‍යමත් කාල වල පවා සාගතයන් පැමිණි බවට තොරතුරුත් තියෙනව. ඊට පස්සෙ සෞභාග්‍යමත් කාලයක් හැටියට සඳහන් වෙන්නෙ කෝට්ටෙ යුගය. ඒත් අපි ඒ වන විට කුළු බඩු නිශ්පාදකයෙක් හැටියට තමයි ඉදිරියට යන්නෙ.   

පැරැන්නන් සතුව තිබුණු බොහෝ තාක්ෂණ විධි පිළිබඳ විස්තර අද නෑ. අපි කරන අනුමාන විතරයි තියෙන්නෙ.

අනෙත් එක අප මතක තියා ගන්න ඔ්න කාරණය තමයි අද ලෝකය එදාට වඩා වෙනස්. කෘමීන් වගේ ම පැලෑටිත් පරිණාමය වෙලා. ඒ වගේ ම ගෝලීයකරණ වෙචච ලෝකයක ඉන්න අප එදා ට වඩා රෝග වලට (මිනිසුන්ට පමණක් නොව පැලෑටි වලටත් හැදෙන) නිරාවරණය වෙලා. එදා භාවිතා කළ තාක්ෂණ ක්‍රම අමාරුවෙන් සොයා ගත්තත් ඒවා අද ලෝකයට ගැලපෙන එකක් නෑ.

ඒ වුනත් නව තාක්ෂන ක්‍රම සොයන එක අප අත්හැරිය යුතු නෑ. ඇතැම් පැරණි ක්‍රම අත්හදා බැලීමේ වැරැද්දකුත් නෑ. ඒත් ඒවා නිශ්චිත විසඳුම් හැටියට හඳුන්වා දීමේ දී අපි පරිස්සම් විය යුතු යි. විශේෂයෙන් ඒවා පිළිබඳ සොයා නොබලාම ඒ අතීතය නැවත ප්‍රතිනිර්මාණය කරන්නට පෙර හා ඒ වෙනුවෙන් නව දේ අත් හැරීමට පෙර දෙවරක් නොව කීප වරක් සිතිය යුතු යි.

2 thoughts on “හානා හීය පානා අඬහැරෙන් දැනේ – වස විස නැති ගොවිතැනේ නොදකින පැති

  1. පහත දැක්වෙන්නේ කෘෂි ක්ෂේත්‍ර යේ ප්‍රමාණිකයෙකු වූ බුද්ධී මාරඹේ මහතාගේ ලිපියකින් කොටසකි.

    තේ වගාව සෑම දින 5-7 කට වරක් දළු ඉවත් කරගන්නා බෝගයකි. නියමිත අවස්ථාවට පෝෂක නොලැබීමෙන් දළු අස්වැන්න 40% සිට 50% කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් පහත වැටෙන බව පළපුරුදු තේ වගාකරුවන්ගේ ගණන් ගැනීමයි. රසායනික පොහොර නොමැතිව කාබනික පොහොර යෙදීම මගින් පමණක් (වැඩි ප්‍රමාණවලින් යෙදුවත්) දළු මගින් ඉවත්වන පෝෂක ප්‍රමාණය ඉක්මනින් නැවත සැපයීම ශක්‍යතාවකින් යුත් විකල්පයක් නොවේ.
    ශ්‍රී ලංකා තේ මණ්ඩලයට අනුව 2021 වසරේ තේ අපනයනය මගින් අපේක්ෂිත ආදායම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.42 ක් පමණ වේ. ගණනය කිරීමේ පහසුවට මෙම ආදායම මාසිකව සමසේ බෙදී යන්නේ යයි උපකල්පනය කරමු. එවිට ඉදිරි මාස 6 තුල, අවශ්‍ය පෝෂක නියමිත අවස්ථාවේ දී ශාකයට නොලැබීම නිසා ඉහත සඳහන් කල ආකාරයට තේ දළු අස්වැන්නේ අඩුවිමකින් අපට අහිමි විය හැකි විදේශ විනිමය ඩොලර් මිලියන 284 සිට 355 ක් පමණ විය හැක (රුපියල් බිලියන 55 සිට 70 අතර). තේ වගාව සම්බන්ධ අනිකුත් සමාජ ආර්ථික ගැටළු මොහොතකට අමතක කලවිට සහ තේ වගාකරුවන් විසින් ඉදිරි මාස 6 සඳහා අවශ්‍ය රසායනික පොහොර ගබඩා කොට නැතැයි සිතුවොත්, නුදුරු අනාගතයේදී මෙම තත්ත්වය ශ්‍රී ලංකා ආර්ථිකයට තදබල අහිතකර බලපෑමක් ඇතිකරනු ඇත.
    කාබනික තේ සඳහා වැඩි මිලක් විදේශ වෙළඳපල තුල පවතී. එහෙත් වසර ගණනාවක් කෘෂි රසායන භාවිත කල තේ වගා භුමි හිටිහැටියේ ඒවා නැවැත්වූ පමණින් කාබනික වන්නේ නැත. ඒවාට කාබනික ලේබලය ඇලවිය නොහැක. එයට හේතුව වන්නේ ගෝලීය වශයෙන් කාබනික තේ මෙන්ම අනෙකුත් කාබනික ආහාර වලට, එලෙස පිළිගැනීම සඳහා, වගා ක්ෂේත්‍රයට කෘෂි රසායන යෙදීම නැවැත්වූ කාලයේ පටන් වසර 2-3ක පමණ පරිවර්තන කාලයක් අවශ්‍ය වීමයි. කාබනික තේ ලෙස වැඩි මිලකට අපනයනය සඳහා සහතික කරණය කිරීම ආරම්භ කල හැක්කේ ද එවිටය. යහපත් කෘෂිකාර්මික ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම තුලින් කාබනික වගාව කෙරෙහි ක්‍රමානුකුලව අවතීර්ණ විය හැකිය.
    මහනුවර සිට ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල දෙසට ගමන් කිරීමේදී ගලගෙදර බෑවුම (පල්ලම) හමුවේ. බොහෝ වාහන රියදුරන් මෙම තියුණු බෑවුමේදී වේගය නිසියාකාරව පාලනය නොකිරීම හේතුවෙන් දරුණු අනතුරුවලට ලක්වී ඇත. එම ගලගෙදර මාර්ගයේ අනතුරු වැලැක්වීම සඳහා පොලිස් රථවාහන අංශයෙන් ප්‍රදර්ශනය කර ඇති කෙටි වදන් පෙළක්, හරිත සමාජ ආර්ථිකයක් කරා යන ගමන්මගෙහි තීරණ ගැනීමේදී ද පුර්වාදර්ශයක් වන බව සඳහන් කරමින් මෙම ලිපිය අවසන් කරමි – “හදිස්සිම නම්, හිමින් යන්න”.
    මහාචාර්ය බුද්ධි මාරඹේ
    භෝග විද්‍යා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම පිඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s