නන්ද කුමාර කතා වස්තුව

See the source image

නන්ද කුමරු විවාහ වන්නට නියමිත ව සිටිය දී, ඊට පෙර දිනයක අවුත්, ඒ කුමරුන්ට දා ගිය හේනක වැඳිරියක් ද අතරමග දී පෙන්නා, දෙව්ලොවට රැගෙන ගොස් සුරඹුන් ද පෙන්නා, පෙම් කළ ජනපද කළ්‍යාණිට අවමන් කොට, ඇයට කණුවක් තබන්නට සලස්වා, මහණ කිරීමට බුදුන් වහන්සේ විසින් ඔහු පොළඹවා ගත් කතාව එන්නේ බෞද්ධ සාහිත්‍යයේ ය. බෞද්ධ චරිතය ඇසුරෙනි.

පළමුව, කියන්නට තිබෙන්නේ මෙහි ඇත්ත නැත්ත අප නොදන්නා බවත් ඇත්ත නැත්ත විමසන්නට අපට දැන් නොහැකි බවත් ය.

මේ කතාව පාදක කර ගෙන ගෙතූ අගනා ගීයක් අපේ ගීත සාහිත්‍යයට එක් වී තිබෙන්නේ ය. මේ සටහනේ අරමුණ මේ සිද්ධිය මේ ගීතය ද පාදක කර ගනිමින් නැවත විමසීම ය. පළමුව, අපි ගීතයේ එන පද මාලාව දෙසට යොමු වෙමු.

නව දැලි හේනක පෑව වැඳිරි රුව

ලෙස උවමින් දෙනුවන් රවටා

මා පෙම් කළ ජනපද කල්‍යාණිට හිමියනි

මට කළ නොහැක නිගා

තමන් පෙම් කළ ජනපද කළ්‍යාණියට අවමන් කිරීම පහසුවෙන් අමතක කළ නොහැකි හිත් වේදනාවක් ඇති කළ බව කියමින් නන්ද කුමරු සැබෑ පෙම්වතෙකු බවට පත් කිරීමට මේ ගී පද රචකයා සමත් ව තිබේ. ඊළග පද පෙළෙන් ඔහු ඊටත් වඩා ගැඹුරු පෙමක මහිමය අපට කියා පාන්නේ ය.

සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි

සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා

මා හඳුනන මගෙ හදගත් කලණිය

මට නුදුරුයි සුරඟනට වඩා

ගැහැණියකගේ සුන්දරත්වය ඇත්තේ සිරුරේ ම නොව, රූපයේ ම නොව, හදවතේ බව පවසමින් මේ පෙම්වතා කියන කතාවට අපට විරුද්ධ විය හැකි ද? බාහිර ආටෝපයෙන් සිහි විකල් වන මිනිසෙකුට එහා ගිය බැඳීමක් මේ පෙම්වතුන් අතර තිබුණ බවක් එයින් පසක් නොවෙයි ද? මේ කඩා බිඳ දමන්නට උත්සහ කරන්නේ එවැනි දැඩි බැඳීමක් නොවේ ද? එය තෙතමනයක් ඇති සිතකට කළ හැක්කක් ද?

මා සිත සුවපත් කරලනු නොහැකිය

සෝ ළතැවුල් දෙයි රැය ද දිවා

නෙත දුටු සුරඟන රූසිරි කුමට ද

හද දුටු ජනපද කලණ නිසා

පෙම්වතා තමන් රැවටීම සඳහා කරන මේ ප්‍රයත්නය ඉවත දමන්නේ අළුයම හෙලන කෙළ බිඳක් පරිද්දෙන් නොවේ ද?

මේ නම් අපට පෙන්වා දුන් නන්ද කුමරු නොවේ. සැබෑ පෙම්වතෙකු ය.

අප කලින් ඇසූ පහසුවෙන් රැවටුනු නන්ද කුමාරයාගේ කතාව වස්තුවත් එය සමච්චලයට ලක් කරමින් දිග හැරෙන මේ ගීතයත් එකට ගත් කල ඒවායින් අපට කියන්නේ කුමක් ද?

මේ සම්බන්ධයෙන් බෞද්ධ අර්ථ දැක්වීම කුමක් දැයි අපි දනිමු. ඒ අර්ථ දැක්වීමෙන් කියන්නේ නිවන් දැකීමට පින් ඇති බව දැන, විවාහ වුවහොත් ඒ අවස්ථාව අහිමි වෙතැයි දිවැසෙන් දුටු බුදු හිමියන් විසින් නන්ද කුමාරයා ගලවා ගත් බව ය. ඒ සඳහා ප්‍රයෝගයක් භාවිතා කිරීම ඒ නිසා අකැප නැති බව ය. බුද්ධි ගෝචර බව ය. කළ යුතු ව තිබූ බව ය.

ඒ ගැන අපට එකඟ විය  හැකි ද? එසේ එකඟ වන අපට ඒ සමග ම එකඟ වීමට සිදු වන්නේ අවසාන අරමුණ යහපත් නම් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගයේ ගුණ යහපත් කම් නොසෙවිය යුතු බව කියන කියමන සමග ය. එය මා දන්නා බුදු දහමට නම් එකඟ නැත. බුදුන් වහන්සේ අරමුණත් මාර්ගයත් දෙක ම යහපත් විය යුතු බවට කරුණු ඉදිරිපත් කළ උත්තමයෙකු ලෙස පින්තූරයක් මට ඇති බැවිනි.

බුදු දහම, බෞද්ධ සාහිත්‍යය සමග පටලවා නොගත යුතු යැයි කියමින් මේ සමස්ත සංසිද්ධිය අමතක කළ යුතු බව ද කෙනෙකුට, විශේෂයෙන් බෞද්ධ ආගමත් අකලංක ප්‍රේමයත් දෙකම බේරා ගන්නට තැත් කරන කෙනෙකුට, කිව හැකි ය. ඔහු තවදුරටත් කියනු ඇත්තේ මේ සමස්ත සිද්ධිය ම පසු කලෙක එකතු කර ගත් දෙයක් විය හැකි බව ය. ඒ ද ඇත්තක් විය හැකි ය.

තවත් කෙනෙකුට මේ කතාව ඇත්ත යැයි ද බුදුන් වහන්සේ මෙහි දී වැරැද්දක් සිදු කර ඇතැයි ද එසේ වුව ද එයින් බුදුන් හෝ බුදු දහම අවලංගු වී නොයන්නේ යැයි ද කියමින් බුද්ධ චරිතය තුළ තිබෙන මහා ප්‍රතිරූපය මහ පොළොව මතට ගෙන ආ හැකි ය. අප බුදුන් දෙස සාමාන්‍ය මනුස්සයෙකුට වඩා වෙනස් විදිහකට බැලිය යුතු නැතැයි ද බුදුන් ගත් තීරණ වැරදුනු අවස්ථා තිබුනේ යැයි ද එවැනි කෙනෙකුට තර්ක කළ හැකි ය. බුදුන් වහන්සේ එවැනි අවස්ථාවල ඒ වැරදි නිහතමානීව පිළි‌ගෙන ඇතැයි ද කිව හැකි ය. ඒ සඳහා උදාහරණයක් ලෙස රාහුල කුමරු මහණ කර ගත් අවස්ථාවේ ශුද්ධෝදන රජතුමන් විසින් කරන ලද මැදිහත් වීමත් ඒ මත පිහිටා දෙමාපිය අවසරයෙන් තොරව මින් මතු කුඩා දරුවෙකු මහණ කර නොගත යුතු යැයි පැනවීමක් කළ බව ද කිව හැකි ය. එසේ බුදුන් වහන්සේ ද වැරදි කළ සාමාන්‍ය මනුෂ්‍යයෙකු හැටියට දැකීම අපට අපේ ජීවිත දෙස වඩාත් දයාර්ද්‍ර බැල්මක් හෙලීමට හේතු වනු ඇතැයි ද එවැන්නෙකුට කිව හැකි ය. ඒ අතරම එයින් බුදුන්ගේ කරුණා ගුණය වඩාත් ඉස්මතු වෙන බවත් නිහතමානීත්වය ප්‍රකට වන බවත් කිව හැකි ය.

ඒ නිසා හොඳින් බලතොත් මෙවැනි විමසීමක් අපට බොහෝ කාරණා නිසා ම වැදගත් වේ. පළමුව, අවසාන අරමුණ හා ඊට ළඟා වන මාර්ගය සම්බන්ධ ගැටළුව විසඳා ගැනීමට ය. දෙවනුව, බුදුන් දෙස අප බැලිය යුත්තේ කවර අයුරකින් දැයි නිගමනය කිරීමට ය. තෙවනුව, බෞද්ධ සාහිත්‍ය සම්බන්ධයෙන් අප අනුගමනය කළ යුත්තේ කුමන ප්‍රතිපදාවක් දැයි තීරණය කිරීමට ය. සිව්වෙනුව, ආදරය ගැන අපේ අදහස් නැවත විමසීමට ය. ඔබට ඇතැම් විට මීට තවත් මානයන් එකතු කළ හැකි ය. වඩාත් වැදගත් වන්නේ මේ සිද්ධියෙන් උගත යුතු පාඩම් ඉගෙනීම ය. එයින් විවර කෙරෙන මග ඔස්සේ ලෝකය සොයා ගැනීම ය. ඒ ලෝකය තුළ අපේ ස්ථානය සොයා ගැනීම ය.

එහෙත් ඒ සියල්ල මතු කර ගැනීම සඳහා එක් මහාර්ඝ ගුණයක් අවශ්‍ය ය. ඒ පතළ මහා කරුණාවෙන් සෑම දෙයක් ම විමසීමේ ගුණය ය. ඊට අනුග්‍රහය ලද හැක්කේ බුදුන් විසින් ම දේශනා කළ කාලාම සූත්‍රය ඇසුරෙනි. ශාස්තෘන් වහන්සේ කියන යමක් වුව අභියෝගයට ලක් කළ හැකි බවට, සැක කළ හැකි බවට, කියා හැම දෙයක් ම විමසන්නට පෘතුල නිදහසක් අපට දුන් කාලාම සූත්‍රයෙනි. එවන් විචාරාත්මක දැනුමක් දෙසූ බුදුන්ගේ ජීවන දර්ශනයේ යහපත් හරය මතු කර ගැනීමෙනි.

(රූ සටහන බුදුසරණ අන්තර්ජාල කලාපයෙන් උපුටා ගන්නා ලදී)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s