ලොකුගේ සමග එකට සිට ගත යුතු සෙසු වගඋත්තර කරුවන් මෙන්න

See the source image

යුක්රේනයෙන් සංචාරකයන් ගෙනාවේ ද ඉන්දියාවෙන් නිරෝධායනය ව්‍යාපෘතියක් ගෙනාවේ ද කාගෙන් අහලා දැයි අප දන්නේ නැත. කරල පැහේ නම් ඔ්නෑම අවදානමකට රටක් යටත් කිරීමට සූදානම් දේශපාලනඥයන්ගෙන් අපට අඩුවක් නැති නිසා ම පිලියන්දල ලොක්ඩවුන් ප්‍රශ්නය විචාරශීලී මිනිසුන්ගේ අවධානයට ලක් වුනේ ය.

වසංගතයක් යනු අභාග්‍යයකි. දේශපාලනඥයන් සිය ඉල්ලම් පාදා ගැනීමට රාජ්‍ය පාලනයට අත පෙවීම ද අභාග්‍යයකි. ඒ අනුව වසංගතයක් පවතින අවස්ථාවක ද දේශපාලනඥයින් තමන්ට ඉල්ලම් පදා ගැනීම උදෙසා එය පාලනය කිරීමට බාධා කරමින් පොලු දමන තත්වයක් ඇති වීම ඩබල් අභාග්‍යයක් ලෙස සැලකිය යුතු ය.

පිළියන්දල ලොක් ඩවුන් එක ලොකුගේ අමාත්‍යවරයාගේ මැදිහත් වීම නිසා අකුලා ගන්නට යෙදුනේ ය. එය මේ වසංගතය සම්බන්ධයෙන් දේශපාලනයේ අනිටු මැදිහත් වීම පිළිබඳ එක ම උදාහරණය නොවෙතත් මෑත ම උදාහරණය ය. එහි ප්‍රතිඵල පිලියන්දල ජනතාව විඳිමින් සිටි අතර පසුව ඒ නිසා ම ඒ දෙවැනි තීරණය හරවා ගත් බවක් ද අසන්නට ලැබිණි. ඉස්තාලය වසන විට අස්වයා පැන ගොස් අවසාන ය.

එතෙකුදු අප ඒ ගැන කතා කළ යුතු ය. ය හෙට දිනයේ වෙනත් තැනක වෙනත් ආකාරයෙකින් සිදු නොවේ යැයි දෙන්නට සහතිකයක් අපට නැති නිසා ය. වසංගතය ඉල්ලමක් ලෙස සලකන දේශපාලනඥයන් විසින් ඉදිරියේ දී ද රට අවදානමකට හෙලන තීරණ ගන්නට ඉඩ ඇති නිසා ය.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ දෝෂාරෝපනය එල්ල වන්නේ ලොකුගේට ය. ඔහු ප්‍රධාන වගඋත්තරකරු බව ඇත්ත ය. එහෙත් ඔහු එකම වගඋත්තර කරු ද? එසේ කිරීමෙන් අපට සැබෑ ප්‍රශ්නය මග හැරෙන්නේ ය.

ඔහුගේ බලපෑමට නතු වූ සෙසු බලධාරීන් මීට වගකිව යුතු නැද්ද? එතැන දී ඇඟිල්ල එල්ල වන්නේ හමුදාපතිට ය. ඒ ඔහු වසංගතය මඩින කාර්ය සාධක බලකායේ ප්‍රධානියා නිසා ය. කණ්ඩායමක තීරණයක් තනි පුද්ගලයෙකුට ලඝු කළ හැකි ද?

කෙනෙකු කියනු ඇත්තේ ප්‍රධානියා හැටියට ඔහුට විශේෂ වගකීමක් තිබෙන බව ය. නායකයෙකුට විශේෂ වගකීමක් තිබෙන බව ඇත්ත ය. ඒ නිසා ඔහු ද වග උත්තරකරුවෙකු කළ යුතු ය.

ඔහු ඉහලින් ලද නියෝගයක් නිසා එසේ කළේ නම් ඒ නියෝග දුන් ඉහළ ද වගකිව යුතු ය. එපමණක් නොවේ. ඔහු එසේ කටයුතු කළේ ඉහලින් ලද ‌නියෝගයක් නිසා නොවේ නම් එවැනි තීරණයක් ගැනීම ගැන ඔහුගෙන් නිදහසට කරුණු නොවිමසූ ඒ තීරණය වෙනස් කරන්නට මැදිහත් නොවූ ඉහළ දේශපාලන අධිකාරිය ද මීට වගකිවයුතු ය.

එයින් ද සියල්ලන් අසු වන්නේ නැත. බලකායේ සෙසු සාමාජිකයන් තීරණයට විරුද්ධ වූයේ ද? ඒ ගැන අප දන්නේ නැත. ඔවුන්ගෙන් විමසීමක් පවා කරන්නට ඇද්දැයි අප දන්නේ නැත. එහෙත් ඒ සියල්ලෙන් පසු ද ඔවුන්ට වුව ඇඟ බේරා ගත හැකි ද?

ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් අගමැති පිට මං කළ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඔහු ව අප නිදොස් කරනවා ද? එසේ තමන් ඉවත් කිරීම ගැන ඔහු විරුද්ධ වූයේ ද? ඒ බවට සාක්ෂි අපට නැත. එහෙත් ඔහු ජනතාවට ඒ බව කීවේ නැති බව නම් අපි හොඳාකාරව ම දනිමු. ඒ නිසා අපි ඔහු වැරදිකරුවෙකු කළෙමු. එය එසේ ම කළ යුතු විය. ඒ නීතියට ම අනුව මේ බලකායේ සෙසු සාමාජිකයන් මේ තීරණයෙන් ඉවත් කොට තැබුවා නම් ඒ බව ජනතාවට කීමට ඒ සම්බන්ධයෙන් විරෝධය පල කරන්නට ඔවුන්ට යුතුකමක් නොතිබුනේ ද? එවැනි බලකායක තවදුරටත් රැඳී සිටින්නට තමන් සූදානම් නැති බව කියන්නට තිබිණි.

ඔවුන් ද අපරාධයේ හවුල්කරුවන් කරවා අපට මේ රටේ වෙසෙන පුරවැසියන් ලෙස මේ වගකීමෙන් නිදහස් විය හැකි ද?

තමන්ගේ තීරණයන් නොපිලිගත් රජයේ සේවකයන්ට පොදුවේ දේශපාලනඥයින් ද විශේෂයෙන් පවතින ආණ්ඩුවේ බලධාරීන් ද කටයුතු කර ඇති ආකාරය අපි දනිමු. සමහර අයට අස්වෙන්නට සිදු වූ බව ද එසේ අස් නොවූ කල ඔවුන් බලයෙන් පහ කළ බව ද අපි දනිමු. එකල අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායකට සිදු වූ සියල්ල ද අපි දනිමු. ඒ දන්නා අප ඒ අය ම බලයට පත් කළ විට ඒ සම්බන්ධයෙන් අපට ද වගකීමක් නැද්ද? කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්නට හැකි නිලධාරීන්ගේ පැවැත්මට අප තිත තිබ්බේ නැද්ද?

ඉතින් කෙලින් නොසිට බලපෑමට යටත් වීම ගැන නිලධාරීන්ට දොස් පවරා ඒ තත්වයට මග පෑදුවන්ට චන්දය දුන්,  උන්ට හුරේ දැමූ, ජනතාව ලෙසට අපට නිදොස් විය හැකි ද?

පුද්ගලයන්ට චෝදනා කිරීමෙන් අප කරන්නේ ක්‍රමය නිදහස් කිරීම ය. ඒ ක්‍රමය පවත්වා ගෙන අයට හා ඊට අනුග්‍රහ දක්වන අපට අපේ වගකීමෙන් පැන යෑමට අවස්ථාවක් ලබා ගැනීම ය. පුද්ගලයන් චෝදනා ලැබිය යුතු ය. ඒ තරමට ම හෝ ඊටත් වඩා මේ ක්‍රමයට ද එය නඩත්තු කරන අපට ද අප දොස් පැවරිය යුතු ය. දොස් පවරා ගත යුතු ය. ඒ නිර්භීතභාවය ලබා ගන්නා තෙක් රට ගොඩ ගත නොහැකි ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s