බක්මහ සිදු වූ සෙල්ලම් විප්ලවය

හැත්තෑ එකේ (1971) අප්‍රේල් කැරැල්ලේ අර්ධ ශත සංවත්සරය තව දින කීපයකින් උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිත ය. දැනටමත් ඒ කැරැල්ලට අයිතිය කියන ඇතැම් පාර්ශව අනෙක් පාර්ශවයේ පෝස්ටර් වැසී යන ලෙස පෝස්ටර් ගැසීමේ නිරත ව සිටිති.

අවසානයේ දී ගාම්භීරව සරසනු ලබන වේදිකා කීපයක ම එම වේදිකා දෙදරවමින් අභිමානයෙන් බක්මහ විරුවන් සැමරෙනු ඇත. කැරැල්ලේ අයිතියට ඔවුන් ඒ වේදිකා මත්තේ ම සිට සටන් වදිනු ඇත. ඒ සටනේ වීරාභිවාදනයෙන් අපේ දෑස් අන්ධ වන්නට පෙර කැරැල්ල ගැන විමසිය යුතු ය. ඒ කිසිවෙකුටත් අපහාස කරනු පිණිස නොව අතීතයෙන් ඉගෙන ගනු පිණිස ය. එසේ ඉගෙනීමට අපොහොසත් වූ නිසා ඇති වූ ම්ලේච්ඡ දෙවැනි කැරැල්ලක මතක සටහන් ඇති අය එවැනි ඉගෙනීමක වටිනාකම වඩාත් හොඳින් අවබෝධ කර ගනු ඇත.

මේ කැරැල්ලේ, නොහොත් එකල ජීවත් ව සිටි වැඩි දෙනාට මතක ඇති පරිදි “ගල් කටස්” හා “කිරි-ටින්” බෝම්බ යොදා ගෙන කරන ලද සෙල්ලම් විප්ලවයේ, පියා විජේවීර නම් නොවේ. ඔහු එහි මව පමණ ය.

ඒ කැරැල්ල එතෙක් ලංකාව අනුගමනය කරන ලද සංවර්ධන ප්‍රතිපත්තියේ පිතෘත්වය යටතේ සිදු වූව කි. එම ප්‍රතිපත්තියේ මූලික අත්තිවාරම් තුනක් විය. පළමුවැන්න, “වැවයි දාගැබයි ගමයි පන්සලයි” යන ආශීර්වාද පාඨය පදනම් කර ගත් කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයක් පිළිබඳ වැඩි බරක් දැරීම ය. දෙවැන්න, “සියරට දේ සිරි සැප දේ” නම් අභිමානනීය උද්ධෘතය යටතේ දියත් කෙරුණු දේශීය වෙළඳ පොළ ඉලක්ක කර ගත් ආර්ථික ක්‍රමයක් පිළිබඳ සිහිනය ය. තුන් වැන්න ඒ සියල්ල, “ජනසතු” කිරීමේ සටන් පාඨය යටතේ දියත් කෙරුණු රාජ්‍ය කේන්ද්‍රීයව ආර්ථිකය හසුර වීමේ ප්‍රතිපත්ති ය.  

මේ එකකින් වත් රටේ වැඩි වෙමින් පැවති ජනගහණයට ඇති තරම් සම්පත් හෝ ඒවා ලබා ගත හැකි තරමේ රැකියා, අධ්‍යාපනික හා ව්‍යාපාරික අවස්ථා සම්පාදන කළේ නැත. ජීවන මාර්ග සැපයුවේ නැත.

සිදු වූයේ තරුණයන් තුළ කලකිරීම වර්ධනය වීම ය.

පන්ති පහක් පවත්වමින් පවතින තත්වය විග්‍රහ කිරීමට ඉදිරිපත් වූයේ විජේවීර ය.

හැත්තෑව දශකයේ ආරම්භ වන විට ඇමරිකාව හා රුසියාව අතර තරඟයෙන් රුසියාව ජය ගන්නා බවක් පෙන්නුම් කරමින් සිටියේ ය. විශේෂයෙන් ඒ වන විට ප්‍රකට ව පෙණුනු අභ්‍යවකාශ යුද්ධයේ පෙරමුණ ගෙන සිටියේ රුසියාව ය. එවකට ඔ්නෑම කෙනෙකුට නොමිලේ ගෙන්වා ගත හැකි ව තිබූ “සෝවියට් දේශය”, “අද චීනය” වැනි සඟරා හරහා පෙන්වනු ලැබුවේ ලොවේ හැම ප්‍රශ්නයකට ම උත්තර ඇත්තේ සමාජවාදය තුළ බව ය. රුසියාවෙන් ඒ වනවිට පන්නා දමනු ලැබ තිබූ රෝහණ විජේවීර රුසියාවටත් වඩා පිරිසිදු සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටින විට කලකිරුණු තරුණ ජනයාට ඔහු වීරයෙකු වීම අහම්බයක් නොවේ.

පන්ති පහෙන් එකක විෂයය වූයේ ඉන්දියානු ව්‍යාප්තවාදය ය. වතු කම්කරුවන් ඒ ව්‍යාප්ත වාදයේ ඒජන්ත වරුන් ලෙස හඳුන්වා දෙන ලද බවට ද ආරංචි ලැබී තිබුණේ ය. ඒ කියන්නේ සමාජවාදයේ ආශ්වාදයට අමතර දේශප්‍රේමයේ අනුග්‍රහය ද ජනතා විමුක්ති පෙරමුණට ආරම්භයේ සිට ම ලැබී තිබුණු බව ය. ඒ අච්චාරුව රසවත් ය. දිරවා ගැනීමට පහසු ය. බඩ සායෙන් පෙළුණු තරුණයන්ට එය නොවරදින කට ගැස්මක් විය.

තවදුරටත් තරුණයන් දිනා ගැනීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදී බිල්ලා ව ද යොදා ගන්නා ලදී. බෙන්තොට එවකට ඉදි වෙමින් පැවති හෝටලය ඇමරිකන් හමුදා ගොඩ බැස්සවීම සඳහා ඉදි කරනු ලබන ඇමරිකන් බලකොටුවක් බවට ද ඒත්තු ගන්වන ලද්දේ යැයි පසු කලෙක ආරංචි විය.

එහෙත් කැරැල්ල මැඩ පවත්වනු ලැබුවේ විශේෂයෙන් රුසියාවේ හා චීනයේ ද ආධාර ඇති ව ය. කැරැල්ලෙන් පසු එළඹි යුගයේ කැරලි කරුවන් මහ පොළොවට ඇද දැමූ එක සාධකයක් වූයේ ද “ධනපති” ආණ්ඩුව රැකීමට ඇමරිකන් හමුදා වෙනුවට සමාජවාදී කඳවුර ඉදිරිපත් වීමේ පරස්පර ය.

තුවක්කු හඬ අවසන් වූ පසු ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් සෙසු අයට යටත් වන්නට නියෝග කළ අතර බොහෝ දෙනෙකු හමුදාවට බාර වනු ලැබ පුනරුත්ථාපනය කරන ලද්දේ ය. තෝරා ගත් තිස් දෙනෙකු ඉක්මවන නායකයින් ගණනකට පමණක් නඩු පවරන ලද අතර ඔවුන්ගේ නඩුව විශේෂ කොමිෂන් සභාවක් ඉදිරියේ දී විභාග කරනු ලැබිණ.

කැරැල්ලෙන් පසුව වුව ද සමගි පෙරමුණු ආණ්ඩුව පැරණි ප්‍රතිපත්ති තුන ඉදිරියට ගෙන ගියා මිසක තීරණාත්මක වෙනසක් කළේ නැත. ඇත්තටම සිදු වූයේ ඒ ප්‍රතිපත්ති වඩාත් තීරණාත්මක ස්වරූපයෙන් ඉදිරියට ගෙන යෑම ය. කෘෂිකර්මයට ම බර තබනු වෙනුවට කාර්මීකරණයට තැත දැරුව ද ඒවා සිදු කරන ලද්දේ රාජ්‍ය ව්‍යවාස හරහා ය. සමාජවාදී කඳවුරේ රාජ්‍ය අනුග්‍රහය හරහා ය. ඒ නිසා ම සීමාකම් ඇති ව ය. ඊටත් අමතරව දේශීය වෙළඳ පොල ඉලක්ක කර ගෙන ය. ඒ නිසා ම කුඩා වෙළඳ පොලක් ඇති රටක් හැටියට ඒ හරහා බොහෝ ඉදිරියට යෑමට පුළුවන් කමක් නොවී ය.

වඩාත් තීරණාත්මක මැදිහත් වීම ආණ්ඩුව විසින් කරන ලද්දේ ආනයන සීමා පැනවීම හරහා ය. එයින් සිදු වූයේ දේශීය නිෂ්පාදකයන්ට සිය භාණ්ඩ වල ගුණාත්මක තත්වය ඉහළ දැමීමට අවශ්‍ය තල්ලුව නොලැබීම ය. බාල බඩු නිපදවීමට ඔවුන් වඩාත් පහසුවෙන් පෙලඹීම ය. ඒවායින් සෑහීමට මිනිසුන්ට සිදු වීම ය. අපනයනට සුදුසු භාණ්ඩ නිපදවීමේ හුරුව ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වීම ය.

කළ එකම වෙනස ඉඩම් ප්‍රතිසංස්කරණයන් ය. එහෙත් එම ප්‍රතිසංස්කරණ පවා රැකියා අධ්‍යාපන හෝ ප්‍රමාණවත් ව්‍යාපාරික අවස්ථා ඇති කළේ නැත. සම්පත් උත්පාදනය කළේ නැත.

තුනෙන් දෙකකින් බලයට පත් වූ ආණ්ඩුව හයෙන් පහකින් පරාජය කරමින් ඒ ගමන කෙළවර විය. කැරැල්ල පමණක් නොව පාලනය ද එසේ අවසන් විය. ඉතිරි වූයේ විජේවීර පමණ ය.

කැරැල්ලේ දෙවැනි පෙල නායකයින් බොහෝ දෙනෙකු ස්වයං විවේචනයන් කරමින් ජවිපෙන් වෙන් වූ අතර පසුව ගොඩ නැගුණු ජවිපෙ තුළ ඉතිරි ව උන් ලයනල් බෝපගේ වැනි අය ද පසු කලෙක ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති වුන මතභේදයන් සමග ඉන් ඉවත් වූහ. සමහරු සමාජවාදය ද අත් හැර වෙනත් ලබ්ධීන් වැළඳ ගත් බවක් ද පෙනී ගියේ ය. කොටින් ම දෙවැනි කැරැල්ල ඇරඹෙන විට ජනතා විමුක්ති පෙරමුණ තුළ විජේවීර හැරුණු විට නායකත්ව මට්ටමේ පරණ මුහුණු සිටියේ අතක ඇඟිලි වලින් ගණන් කරන්නට පුළුවන් සීමාවේ ය. නඩුවේ සිටි චුදිතයන් අතරින් නම්, මට මතක හැටියට, අවසානයේ ඔහු හා රැඳී සිටියේ සෝමවංශ අමරසිංහ පමණ ය.

දෙවැනි කැරැල්ල ගැන හා ඊට පසුබිම් වූ කාරණා ගැන වෙන ම ලිවිය යුතු ය. එහෙත් ඊට පළමුව, උතුරේ කැරැල්ල ගැන කතා කළ යුතු ය. ඒ දෙවැනි කැරැල්ල ඇති වන්නේ උතුරේ කැරැල්ල පසුබිමේ නිසා ය. එය පසුවට තබා පළමු කැරැල්ල විමසන අයට මග හැරෙන ප්‍රධාන කාරණය ගැන සඳහනක් කොට මේ සටහන අවසන් කරන්නෙමි.

බොහෝ දෙනෙකු කැරැල්ල දෙස බලන්නේ දේශපාලනය පමණක් විමසමින් ය. එහෙත් බොහෝ කැරැලි සේ ම මේ කැරැල්ල පිටුපස ද තිබුණේ දැවෙන ආර්ථික හේතූන් ය. පියා අමතක කොට මව ගැන පමණක් සොයා බැලීමෙන් දරුවා අවබෝධ කර ගත නොහැකි සේ ම ආර්ථිකය අමතක කර දේශපාලන විමසුමක් පමණක් කිරීමෙන් කැරැල්ල අවබෝධ කර ගත නොහැකි ය.

එක් කලෙක ඛේදවාචකයක් වන දෙය ඊළඟ රවුමේ මතු වන්නේ ප්‍රහසනයක් ලෙස බව කීවේ කාල් මාක්ස් ය. එය ජවිපෙ සම්බන්ධයෙන් ද සත්‍යය විය. ප්‍රශ්නය වූයේ එය නිකම් ම නිකම් ප්‍රහසනයක් නොව අතිශයින් මෘග ප්‍රහසනයක් වීම ය. පළමු කැරැල්ලෙන් ඉගෙන නොගැනීම ද ඊට බලපෑවේ ය. ඒ නිසා මේ සංවත්සර මොහොතේ එය දෙස නැවත නැවතත් බැලීම වැදගත් ය. ඒ අනාගතය සඳහා ඉගෙන ගනු පිණිස ය. යන මාර්ගය සොයා දැන ගැනීම පිණිස ය.

2 thoughts on “බක්මහ සිදු වූ සෙල්ලම් විප්ලවය

  1. සිලෝන් 2 ශ්‍රී ලංකා FB පිටුවෙන් උපුටා ගන්නා ලද පහත දැක්වෙන සටහන කැරැල්ල පිළිබඳව ආණ්ඩුව එතරම්ම දැනුවත් නොසිටි බවට සාක්ෂියකි. කැරැල්ල ආණ්ඩුවේ මර්දනය හමුවේ කරන්නට දෙයක් නොමැති කමට කරන ලද්දැක් ය යන ජවිපෙ නිල ප්‍රකාශය කෙතරම් සත්‍යයක් විය හැකි දැයි මේ ඔස්සේ නිගමනයකට එළඹීය හැකි ය.

    පොලිසිවලට ගසා ආණ්ඩු බලය අල්ලා ගැනීමට සූදානම් වන බවට ලැබුණු වාර්තා ඒ යුගයේ ජීවත් වූ තලත්තානි පත්තර කර්තෘවරු උපහාසයෙන් යුතුව ප්‍රතික්ෂේප කළහ. එහෙත් ඒවාට ප්‍රමුඛත්වය දෙමින් සවිස්තරව පළ කළ “මෝඩ” කර්තෘවරු දෙන්නෙක්ද වූහ. ඒ “වීක්එන්ඞ්” කර්තෘ රෙක්ස් ද සිල්වා සහ “රිවිරැස කර්තෘ ගුණදාස ලියනගේය. මෙම වාර්තා වැඩිපුර ලියන ලද්දේ ඉංගිරිසි අංශයෙන් ඉක්බාල් අතාස් සහ සිංහල අංශයෙන් දයා විජේසේකර විසිනි.
    1971 කැරැල්ල පටන් ගැනීමට මාසයකට පමණ කළින් එක් “රිවිරැසක” මුල් පිටුව මා සම්පූර්ණයෙන්ම කැප කළේ දිවයිනේ නොයෙකුත් පළාත්වලින් ලැබුණු චේගුවේරා වාර්තාවලටය. පිපිරීම ඉතා ආසන්න බව එම ප්‍රවෘත්තිවලින් පැහැදිලි ලෙසම පෙනුණි.
    ඊට පසු දින නුගේගොඩ, පාගොඩ පාරේ පැට්‍රෝල් ගබඩාවේදී මට එච්.කේ. මහින්දදාස මුණ ගැසුණි. ඔහු එවකට මැතිනියගේ “සිරිලක” පත්‍රයේ කතුවරයා විය.
    “මිස්ටර් ලියනගේ රිවිරැසට මොකද වෙලා තියෙන්නේ? මේ කජුකිරි කොල්ලෝ ටිකක් කරන විකාර වැඩවලට ඇයි වැදගත් පත්තරයකින් ඔය තරම් තැනක් දීලා උන්ව වීරයො කරන්න හදන්නේ?” යි මහින්දදාස මගෙන් ඇසීය.
    එහෙත් රිවිරැස සහ වීක්එන්ඞ් පත්තරවලින් ඒ අන්දමින් රටට කරුණු නොකීවා නම් ඒ අනුව පොලිසිය යන්තම් හෝ සූදානමින් නොසිටියා නම් කජු කිරි කොල්ලන් මේ රටේ බලය අල්ලන්නේ කජු කන්නාක් මෙනි.
    ඒ වන විට නැවතත් රෝගාතුරව සිටි ධනපාල මහතා බලන්නට මාර්තු මාසයේ මැදදී දිනක මම ඔහුගේ නිවසට ගියෙමි. තරුණ විප්ලවයක් නිසා භයානක ලේ වැගිරීමක් අත ළඟ බව ධනපාල මහතා තරයේ විශ්වාස කළේය. ඒ වේලාවේ හැටියට එක පැත්තක්වත් විවේචනය කරන්නට නොගොස් ප්‍රවෘත්ති පමණක් අපක්ෂපාතීව ඉදිරිපත් කරන ලෙස ධනපාල මහතා මට කීය.
    1971 මාර්තු 18 වෙනිදා පාන්දර කොළඹ ඩර්ඩන්ස් රෝහලේදී ධනපාල මහතා අවසන් හුස්ම හෙළීය. මරණය ගැන කාටවත් නොදන්වා ගුණකථන නැතිව පැය ගණනක් ඇතුළත අවමඟුලේ සියලු කටයුතු අවසන් කළ යුතු බව ධනපාල මහතා කල් ඇතිව කියා තිබුණු නිසා සියල්ල චාම් අන්දමින් සිදුවිය.
    අන්තිමේදී මුළු රටම මවිතයට පත් කරමින් “කජු කිරි කොල්ලන්ගේ” විප්ලවය ආරම්භ විය. ආණ්ඩුව තිගැස්සුණි. කැරැල්ල මැඩ පැවැත්වීමට වහ වහා කටයුතු යොදන ලදී. ඒ අතර සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම චේ තරුණයන්ගේ පාලනය යටතට පත්විය.

  2. සිලෝන් 2 ශ්‍රී ලංකා FB පිටුවෙන් උපුටා ගන්නා ලද පහත දැක්වෙන සටහන කැරැල්ල පිළිබඳව ආණ්ඩුව එතරම්ම දැනුවත් නොසිටි බවට සාක්ෂියකි. කැරැල්ල ආණ්ඩුවේ මර්දනය හමුවේ කරන්නට දෙයක් නොමැති කමට කරන ලද්දැක් ය යන ජවිපෙ නිල ප්‍රකාශය කෙතරම් සත්‍යයක් විය හැකි දැයි මේ ඔස්සේ යම් තක්සේරුවකට එළඹීය හැකි ය.

    පොලිසිවලට ගසා ආණ්ඩු බලය අල්ලා ගැනීමට සූදානම් වන බවට ලැබුණු වාර්තා ඒ යුගයේ ජීවත් වූ තලත්තානි පත්තර කර්තෘවරු උපහාසයෙන් යුතුව ප්‍රතික්ෂේප කළහ. එහෙත් ඒවාට ප්‍රමුඛත්වය දෙමින් සවිස්තරව පළ කළ “මෝඩ” කර්තෘවරු දෙන්නෙක්ද වූහ. ඒ “වීක්එන්ඞ්” කර්තෘ රෙක්ස් ද සිල්වා සහ “රිවිරැස කර්තෘ ගුණදාස ලියනගේය. මෙම වාර්තා වැඩිපුර ලියන ලද්දේ ඉංගිරිසි අංශයෙන් ඉක්බාල් අතාස් සහ සිංහල අංශයෙන් දයා විජේසේකර විසිනි.
    1971 කැරැල්ල පටන් ගැනීමට මාසයකට පමණ කළින් එක් “රිවිරැසක” මුල් පිටුව මා සම්පූර්ණයෙන්ම කැප කළේ දිවයිනේ නොයෙකුත් පළාත්වලින් ලැබුණු චේගුවේරා වාර්තාවලටය. පිපිරීම ඉතා ආසන්න බව එම ප්‍රවෘත්තිවලින් පැහැදිලි ලෙසම පෙනුණි.
    ඊට පසු දින නුගේගොඩ, පාගොඩ පාරේ පැට්‍රෝල් ගබඩාවේදී මට එච්.කේ. මහින්දදාස මුණ ගැසුණි. ඔහු එවකට මැතිනියගේ “සිරිලක” පත්‍රයේ කතුවරයා විය.
    “මිස්ටර් ලියනගේ රිවිරැසට මොකද වෙලා තියෙන්නේ? මේ කජුකිරි කොල්ලෝ ටිකක් කරන විකාර වැඩවලට ඇයි වැදගත් පත්තරයකින් ඔය තරම් තැනක් දීලා උන්ව වීරයො කරන්න හදන්නේ?” යි මහින්දදාස මගෙන් ඇසීය.
    එහෙත් රිවිරැස සහ වීක්එන්ඞ් පත්තරවලින් ඒ අන්දමින් රටට කරුණු නොකීවා නම් ඒ අනුව පොලිසිය යන්තම් හෝ සූදානමින් නොසිටියා නම් කජු කිරි කොල්ලන් මේ රටේ බලය අල්ලන්නේ කජු කන්නාක් මෙනි.
    ඒ වන විට නැවතත් රෝගාතුරව සිටි ධනපාල මහතා බලන්නට මාර්තු මාසයේ මැදදී දිනක මම ඔහුගේ නිවසට ගියෙමි. තරුණ විප්ලවයක් නිසා භයානක ලේ වැගිරීමක් අත ළඟ බව ධනපාල මහතා තරයේ විශ්වාස කළේය. ඒ වේලාවේ හැටියට එක පැත්තක්වත් විවේචනය කරන්නට නොගොස් ප්‍රවෘත්ති පමණක් අපක්ෂපාතීව ඉදිරිපත් කරන ලෙස ධනපාල මහතා මට කීය.
    1971 මාර්තු 18 වෙනිදා පාන්දර කොළඹ ඩර්ඩන්ස් රෝහලේදී ධනපාල මහතා අවසන් හුස්ම හෙළීය. මරණය ගැන කාටවත් නොදන්වා ගුණකථන නැතිව පැය ගණනක් ඇතුළත අවමඟුලේ සියලු කටයුතු අවසන් කළ යුතු බව ධනපාල මහතා කල් ඇතිව කියා තිබුණු නිසා සියල්ල චාම් අන්දමින් සිදුවිය.
    අන්තිමේදී මුළු රටම මවිතයට පත් කරමින් “කජු කිරි කොල්ලන්ගේ” විප්ලවය ආරම්භ විය. ආණ්ඩුව තිගැස්සුණි. කැරැල්ල මැඩ පැවැත්වීමට වහ වහා කටයුතු යොදන ලදී. ඒ අතර සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම චේ තරුණයන්ගේ පාලනය යටතට පත්විය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s