
විකිණීම සමහරුන්ට පෙනෙන්නේ නරක දෙයක් හැටියට ය. මිනිසුන් සූරා කෑමක් හැටියට ය. ගරානාවක් හැටියට ය. කොටින් ම අසික්කිත දෙයක් හැටියට ය.
එසේ වුව ද විකිණීම අතිශයින් යහපත් වැඩකි. පුණ්‍ය කටයුත්තකි. වෙළෙන්දන් විකිණීම වර්ජනය කළොත් අපට මැරෙන්න වෙන්නේ බඩගින්න උසුලා ගන්නට බැරි ව ය.
වෙළෙන්දන් මෙන් බඩු නොවිකුණතත් අපි දු විකුණන්නෙමු. ඒ අපේ ශ්‍රමය ය. අපේ ශ්‍රමය විකිණීමට ගැනුම් කරුවෙකු නැත්නම් ඒත් එහෙම ය. බැරි වෙලාවත් විකිණිම පිළිකෙව් කොට අපේ ශ්‍රමය ගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවෙතොත් වෙන්නේ අන් අය විකුණන බඩු භාණ්ඩ ආහාර පානාදිය ගැනීම උදෙසා ඒ වෙනුවෙන් දෙන්නට දෙයක් අපට නැති ව යාම ය.
ඒ නිසා විකුණන එක ට දොස් කියන්නට ශ්‍රමය විකුණන, විකිණීමෙන් බඩ ගින්න නිවා ගන්නා, අපට අයිතියක් නැත. එසේ තිබිය දී මේ විකිණීමට ගැරහීමේ තේරුම කුමක් ද?
විකිණීම ප්‍රශ්නයක් වන්නේ එයින් ලාභයක් ලබා ගනිවී යැයි කල්පනා කරන විට ය. තමන්ට ලැබෙන යමක් නැත්නම් විකිණීමට මහන්සි විය යුත්තේ ඇයි දැයි මේ ලාභයක් ලබා ගනිතැයි කල්පනා කරන අය සිතන්නේ නැත. ලාභය විකිණීම සඳහා තිබෙන ගාමක බලවේගය ය.
නිකම් දෙනවා නම් ඔ්නෑම දෙයක් ගන්නා ලෑස්ති අය බොහෝ වෙතත් විකුණන විට ගන්නට ලෑස්ති වෙන්නේ ටික දෙනෙකි. ඒ ද අවශ්‍ය ම දේ පමණ ය. එයින් අදහස් කරන්නේ විකුණන නිසා ම නාස්තිය අවම වී ඇති බව ය.
විකුණන්නේ නැති ව හැමෝ ම තමන් යමක් නිෂ්පාදනය කර නොමිලේ බෙදා හරින්නේ නම් විකුණන්නට වුවමනා නැත.
ප්‍රශ්නය වන්නේ අනුන්ගෙන් ජීවත් වන මිනිසුන් විසින් එවැනි තත්වයක් තමන්ගේ වාසියට ගනු ලබන බව ය. ආඩි හත්දෙනාගේ කැඳ හැලිය හුදු වතුර හැලියක් වූයේ ඒ නිසා ය. එයට ආඩි හත්දෙනාගේ කුඩුකේඩු කම ද බලපෑ බව ඇත්ත ය. හත් දෙනෙකු වැනි පිරිසක් පම්ණක් ඉන්නා කුඩා කණ්ඩායමක මේ මුදලින් තොර එකිනෙකා කෙරෙහි සහයෝගයෙන් වැඩ කරන තත්වයක් උදා කර ගත හැකි වුව ද කණ්ඩායම විශාල වන විට ඒ තත්වය අපහසු වේ. විකිණීම එන්නේ ඒ අපහසුතාවයට උත්තර හැටියට ඳ ය.
විකුණන සමාජයක හැම දෙයක් ම විකිණීමට ඉඩක් තිබෙන නිසා මිනිසුන් තම දෙමාපියන් ද දරු මල්ලන් ද විකුණාගෙන මුදල් සරි කිරීමට පෙළඹෙතැයි සමහරු සිතති. එවැනි මිනිසුන් අතලොස්සක් සිටිය හැකි ය. ඒත් ඒ විකිණීමේ වරද නිසා නොවේ. ඒ පුද්ගලයින්ගේ වරද නිසා ය. පිහිය ප්‍රයෝජනවත් මෙවලමක් වුව ද එයින් තුවාල සිදු කළ හැකි ය. මිනිහෙක් මරා දැමිය හැකි ය. එහි වරද පිහියට නොපවරණ අපි නෑසියන් විකුණන මිනිසුන්ගේ වරද විකුණන වෙළඳ පොල ආර්ථිකය මතට පටවන්නේ කුමන හේතුවකට ද යන්න පැහැදිලි නැත.
විකිණීම පාපයක් ලෙස සලකන තාක් අප දුගියන් ය. හිඟන්නන් ය.
විකිණීම හොර මැරකම් සිදු වන්නට ඉඩ ඇති ක්‍රියාවලියක් බව ඇත්ත ය. අප කළ යුත්තේ එවැනි දෑට ඉඩ අවම කිරීම ය. උදාහරණයක් ලෙස පොදු වෙළඳ පොලක තමන් ගත් බඩු නැවත කිරා බැලිය හැකි නිවැරදි තරාදියක් පවත්වා ගෙන යා හැකි ය. භාණ්ඩ තත්ත්ව පරීක්ෂණ යන්ට ලක් කළ හැකි ය. පාපගාමී ක්‍රියාකරන්නන් නීතිය හමුවට පමුණුවා දඩුවම් කළ හැකි ය. ඒ සඳහා රජයට මෙන්ම ස්වේච්ඡා සංවිධානවලට ද අවස්ථාව සළසා දිය හැකි ය. ඒවා නිසි ලෙස සිදු වන්නේ දැයි සොයා බැලීමට මාධ්‍යවලට හැකි ය. අද නම් අන්තර්ජාලය හරහා එවැනි අකටයුතුකම් කරන අය නිරාවරණය වන අවස්ථා ද තිබේ. ඒවා තව තවත් ශක්තිමත් කළ හැකි ය.
ඇතැම් විකිණීම් ප්‍රශ්නකාරී විය හැකි ය. ඒ විකුණන්නේ කුමක් ද ඒ මුදලින් ගන්නේ කුමක් ද යන කරුණු මත ය. උදාහරණයකට තමන් ඉන්නා ගේ විකුණා එ මුදලින් පියෙකු බොන්නට තීරණය කරන්නේ නම් ඒ විකිණීම අවුල් ය. එහෙත් ගේ විකුණා ඒ මුදලින් වඩා යහපත් ගෙයක් හදන්නේ නම් හෝ වඩා ඉදිරිගාමී ආයෝජනයක් කරන්නේ නම් එහි අවුලක් නැත. තාවකාලිකව කුලී නිවසක ජීවත් විය හැකි බැවිනි. සීගිරි ගල විකුණා එයින් ස්විස් බැංකුවක ඇති පුද්ගලික ගිණුමක ඇමතිවරයෙකු මුදල් තැන්පත් කරන්නේ නම් එය අයහපත් ය. ඒ මුදල සාක්කුවේ දාගත් නිසා පමණක් නොවේ. සීගිරියට මිලක් නියම කළ නොහැකි තරමට එය වටිනා ද නිසා ය. එවැනි ජාතික සම්පතකින් පුද්ගලික වාසියක් ලබා ගැනීමට තම දේශපාලන බලය භාවිතා කිරීම පොළොව නුහුලන අපරාධයක් නිසා ය. එහෙත් පාඩු ලබන රාජ්‍ය සංස්ථාවක් දිගින් දිගටම භාණ්ඩාගාරයේ මුදල් යොදවමින් පවත්වා ගෙන යනවා ට වඩා එවැන්නක් විකිණීම යහපත් ය. රටට ද ජනතාවට ද වාසි දායක ය.
විකුණනවා යැයි කෑගසමින් විකුණුම් සියල්ල එකම කුලකයකට දැමීම මෝඩ කමකි. රටක් ඉදිරියට යෑමට විශාල ම බාධාව ද එවැනි පටු සිතුවිලි අප වෙත තිබීම ය.
නිකම් දෙන්න තරමට පොහොසත් නම් නිකම් දුන්නාට නරකක් නැත. විකුණන එකත් ඒ් තරමට ම හොඳ ය. විශේෂයෙන් යමක් නිකම් ගොඩ ගහගෙන තියා ගෙන ඉන්නවාට වඩා හුඟක් හොඳ ය.
සමහරු කියන්නේ කිසි කෙනෙකු කිසි දෙයක් නිකම් නොදෙන බව ය. ඇතැම් විට හිලව්වට අපේක්ෂා කරන්නේ මුදලක් නොවෙතත් වෙන යමක් විය හැකි බව ය. ඇතැම් කෙනෙකුගේ අවශ්‍යතාවය ඉන් පිනක් හෝ කීර්තියක් ලබා ගැනීම විය හැකි ය. ඇතැමෙකුට එය සතුටක් ආත්ම තෘප්තියක් ලබා ගැනීමට විය හැකි ය.
මොකක් විකුන්නත් නොවිකිණිය යුතු එකක් ද තිබේ. ඒ ඔබේ ආත්මය ය.