සුන්දර අතීතය හා බියජනක අනාගතය

බොහෝ දෙනෙකු අතීතයට කැමති ය. එය දැන් ගෙවා අවසන් නිසා බොහෝ විට අතීතය අභියෝග ගෙන එන්නේ නැත. කරන්නට තිබෙන්නේ ඒ සුන්දර අතීතය සිහිපත් කරමින් ඒ තුළ ගැලී අපූරු, අහිංසක, විචිත්‍ර සිහින අතර ජීවත් වීම ය.

අනාගතයේ කුමක් වේ දැයි අප දන්නේ නැත. බොහෝ දෙනෙකුට ලොකුම කරදරය ඒ නිසා අනාගතය ය. සිදුවන්නේ කුමක්දැයි හරි හැටි නොදන්නා අවිනිශ්චිත අනාගතය ය. අවදානමක් සහිත අනාගතය ය. ඒ නිසා ඇතැමුන් ඒ අනාගතය ගැන හිතමින් හිත කරදර කර ගනිති. තවත් අය බය නිසා ම ඒ ගැන නොසිතා ජීවත් වෙති.

නොදන්න දෙවියාට වඩා දන්න යකා හොඳ වන අපට නොදන්න අනාගතයට වඩා දන්න අතීතය හොඳ වීම අරුමයක් නොවේ.

ගැටළුවකට ඇත්තේ ඒ අතීතය තුළ මතකයට අප තුරුළු කර ගෙන ඇත්තේ බොහෝ විට අපට ප්‍රිය උපදවන දෙය පමණක්  ය. ඉතිරිවා අපි මකා දමා තිබීම ය. කළු යකා සුදු කර තිබීම ය.

නවක වදයට භාජනය වූ බොහෝ දෙනෙකුට මතක ඒ් පරපීඩක ක්‍රියාව තුළ හදිසියෙන් මතු වූ හාස්‍යය පමණ ය. ඒ ක්‍රියාවලිය තුළ ප්‍රදර්ශනය වූ අජූව අමතක කොට මේ හාස්‍යය මතක් කර ගනිමින් එය සුන්දර යයි ඔවුහු හඟිති. එය සෙස්සන්නට ද හඟිස්සවන්නට කටයුතු කරති. ඔවුන්ට නවක වදය නැවත මුලිච්චි කළ හැකි නම් පමණක් ඔවුන් ඒ පිළිබඳව තම අදහස වෙනස් කරගන්නවා ඇත.

සුන්දර පාසල් සමය ගැන කතා කරන විට අපට මතකයට නගා ගන්නේ යහළුවන් සමග ගත කළ ප්‍රීතිමත් කාලය ය. පාසලේ දී මැර කොල්ලන්ගෙන් ද අසාධාරණ ගුරුවරුන්ගේද ලැබූ දහසකුත් එකක් අඩම්තේට්ටම් අපට මතක් වන්නේ නැත. විභාගය අභාග්‍යයක් වූ හැටි මතක් වන්නේ ද නැත. ශරීරයේ සිදු වූ වෙනස්කම් සමග ගනුදෙනු කරන්නට දන්නේ නැතිව අසරණ වූ හැටි මතක් වන්නේ ද නැත. වැහි දිනක කොතරම් සතුටින් ගෙදර ගත කළේ ද යන්න සිහිපත් වන්නේ නැත.

අමිහිරි මතකයන් අකා මකා දමා සුන්දර මතකයන් පමණක් තුරුළු කර ගැනීම නිසා අපි අතීතයට කැමැත්තෙමු. ඒ් සුන්දර අතීතය නැවත එනවාට කැමැත්තෙමු. එය නැවත නිර්මාණය කරන්නට කැපවන්නට ද අපට ඒ නිසා ම වුවමනා ය.

ට්‍රැක්ටර් නැතුව මී හරක්ගෙන් කුඹුරු හානවා දකින්නට සමහරු කැමති ය. ඒ හානා අය නොවේ ය. බලා ඉන්නා අය ය. හානා අය නම් එවැන්නක් ගැන හිතන්නටවත් කැමති නැත.

බ්ලෙන්ඩර් හා ග්‍රයින්ඩර් විසිකොට මිරිස්ගල, වංගෙඩිය, මෝල්ගහ තුරුළු කර ගැනීමට ඔහු කැමති ය. එයට අකමැති ගැහැණියට, සිය නිවසේ දී නැතත්, සමාජය ඉදිරියට පැමිණ ඔහු දෙස්දෙවොල් තියන්නේ ය.

සුවපහසු ඇඳක නිදාගන්නේ වුව ද පැදුරක් අතගා බලන්නට ඔහු කැමති ය.

දැන් මී හරක් නැත

අවාසනාවට අතීතය නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි තරමට දුරක් අප ගෙවා අවසන් ය. හාන්නට තරම් මීහරක් අපට නැත. මීහරක් ගෙන හාන තාක්ෂණය දන්නා මිනිසුන් ද නැත. ට්‍රැක්ටර් තිබිය දී මීහරකුන්ගෙන් හාන්නට යන “මීහරකුන්“ ද ගොවීන් අතරින් නම් හොයා ගැනීම අමාරු ය. ග්‍රයින්ඩර් බ්ලෙන්ඩර් විසිකර කුස්සියට වී පැරණි ක්‍රමයට ජීවත්වෙන්නට කැමති ගැහැණුන් ද අඩු ය.

ඒත් අතීතයට ආලය කරන මිනිසුන්ට එයින් ගැලවීම උගහට ය. ඔවුන් ඉඩ ලැබුනු හැම වෙලාවකම එහි ඇලෙති. ගැලෙති. ඔවුන්ට මහ ගෙදර විකුණන්නට බැරි ය. එය වෙනස් කරන්නට බැරි ය. පරණ බඩු විසි කරන්නට බැරි ය. හැම දෙයක් ම සමරුවක් වන නිසා ය. ඔවුන්ට පරණ සම්බන්ධකම් කොතරම් අප්‍රසන්න වුව ද ඒවායින් මිදෙන්නට බැරි ය. පරණ පුරුදු කොතරම් යල් පැන ගියේ වුව ද ඒවායින් ගැලවෙන්නට ද බැරි ය.

පරණ ආකල්ප කොතරම් නොගැලපෙන්නේ වුව ද යල් පැන ගියේ වුව ද ඒවායින් නිදහස් වන්නට ද ඔහුට බැරි ය. ඔහුට අතීතයේ මෙන් රජෙකු අවශ්‍ය ය. රජ පෙළපතක් අවශ්‍ය ය. මරණ දඩුවම අවශ්‍ය ය. මරණ දඩුවම දෙනවිට පවා රජ කාලේ මෙන් ගල් ගසා මරන්නට වුවමනා ය.

ගැහැණුන්ට පෙර කාලයේ මෙන් සාරි, ඔසරි හෝ හැකි නම් චීත්ත අන්දන්නට ඔහුට අවශ්‍ය ය. අඩු ගණනේ අවුරුදු කාලයේ වත් චීත්තයෙන් ගැහැණුන් සරසන්නට ඔහුට වුවමනා ය.

ජිම් එකට යන මල්ලිලා කුඹුරට දක්කන්නටත් නංගිලාට මෝල්ගහ ගන්නා ලෙස කීමටත් ඔහුට වුවමනා ය.

වසර ගණනාවකින් පසුව ද අප දකින්නේ පරණ පුරුදු මිනිසා ය. එදා කළ දෙයම ඒ් විදිහටම කරමින් ඉන්නා පරණ මිනිසා ය. හාත්පස සිදුවෙමින් පවතින වෙනසට දෙස් දෙවොල් තබමින් ඉන්නා මිනිසා ය. හැකිනම් නැවත ඒ මියගිය අතීතය ගොඩ ගැනීමට තමන් කළ හැකි යමක් කරන්නට පසුබට නොවන පරණ මිනිසා ය. සියල්ල වෙනස් වුව ද තමන් ඉන්ද්‍ර ඛීලයක් ලෙස නොසැලී ඉන්නා බවට වගාඩම්බර කියන පැරණි මිනිසා ය.

ඒ් වගාඩම්බරය අස්සෙන් හදිසියේ යථාව ද මුණ ගැසෙන්නේ ය. ඒ් යථාව නැවතත් මුසු වන්නේ මායාව සමග ය. අතීත මායාව සමග ය. වත්මනට පිවිසි විට මුණ ගැහෙන යථාර්ථයට ගැලපෙන පරිදි කලිසම අඳින්නේ වුව ද ඔහු චන්දය දෙන්නට සොයන්නේ තවමත් සරම අඳින ගමේ බයියෙක් වන්නේ ඒ අනුව ය. චන්දය දීමට සරම අඳින ගමේ බයියෙකු සොයන අතීත කාමී ගැහැණිය පවා කසාද බැඳීමට කලිසම අඳින නගරයේ ටොයියෙකු සොයන්නේ ද ඒ අර්ථයෙනි.

එහෙත් සමහරුන්ට අතීතය ද එතරම් ප්‍රසන්න නැත. ඒ කුඩු කෑ විත්ති තිබෙන නිසා ය. කොයි වෙලේ හෝ හවුලේ කුඩු කෑ අනෙකා විසින් කුඩු කෑ විත්ති හෙලිදරව් කළ හැකි නිසා ය

“කුඩු කෑ“ විත්තියක්, නිතර අළුත් වන පැරණි තුවාලයක්, පරණ කෝන්තරයක් හැරුණු විට අතීතය එහෙමට අපව බියපත් කරන්නේ නැත. ඒ සියල්ල ද පැරණි අතීතය නිසා අනාගතයේ විය හැකි දේ සම්බන්ධයෙන් වන අවිනිශ්චිතතාවයෙන් උපන් ඒවා ය. ඇත්තටම එහි බර පැන ද දැරිය යුත්තේ අනාගතයේ ය. අවිනිශ්චිතතාවයේ හෙවනැල්ලෙන් අප බිය වද්දන අනාගතයේ ය.

නොදන්නා කම

අතීතය ගැන ඇති අපේ ආදරය වඩාත් දැඩිව ඇත්තේ අපේ නොදන්නා කම නිසා ය. අතීතය ගැන කතා කරන බොහෝ දෙනෙකු සිතන්නේ අතීතයේ දී මිනිසා වඩා හොඳින් ජීවත් වූ බව ය. ඇත්ත ඊට සහමුලින්ම වෙනස් ය.

අතීතකාමීන්ට අනුව අතීතයේ මිනිස්සු අදට වඩා වැඩි කලක් ආයු වැළඳුවෝය. ලෙඩ රෝග වලින් පීඩා නොවින්දෝ ය. ඇත්ත ඊට හාත්පසින් ම වෙනස් ය.

දහනම වන සියවසේ දී මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය වූයේ වසර තිහකි. ඒ් ලොව පුරා පැතිර ගිය වසූරිය මහාමාරිය සෙංගමාලය කොලරාව උණසන්නිපාතය මැලේරියාව පෝලියෝ වැනි ලෙඩ රෝග නිසා බොහෝ දරුවන් පමණක් නොව මිනිසුන් ද ආකාලයේ මිය ගිය නිසා ය. එකල මේ බොහෝ ලෙඩ රෝග වලට පිලියම් තිබුනේ නැත. එපමණක් නොවේ. අද කරන බොහෝ සැත්කම් කිරීමට වෛද්‍ය විද්‍යාව නොදියුණු මට්ටමක තිබීම හේතුවෙන් දරුවන් වැදීමේ මියගිය අම්මලා ගණන ද සුළුපටු නොවී ය. පිස්සු බලු රෝගයෙන් ද සර්ප විසෙන් ද මියගිය ගණන සැළකිය යුතු අගයක් ගත්තේ ය.

ආයුකාලය පිළිබඳව ලෝකයේ 70 වෙනි ස්ථානයේ සිටින ලංකාවේ පිරිමියෙකුගේ සාමාන්‍ය ආයුකාලය 2018 වසරේ සංඛ්‍යාලේඛන වලට අනුව 72 ක් ද කාන්තාවකගේ 78 ක් ද වන්නේ ය.

අතීතකාමින් මොනවා කිව්වත් ලෝකය හැරී ඇත්තේ බොහෝ කරුණු වලින් යහපත් අතට ය. මානසික රෝගීන් පමණක් නොව ලාදුරු වැනි රෝගීන් ද සමාජයෙන් පිටමං කර තැබුනේ ඉස්සර ය. දැන් එසේ නැත. කාන්තාවන් ද දරුවන් ද අතීතයට වඩා අද බොහෝ වරප්‍රසාද විඳිති. අප කුඩා කල ප්‍රචලිතව තිබූ ළමා මෙහෙකාර කම අද දකින්නට පවා නැත.

අතීතකාමීන්ට අනුව ලොව අපරාධ වැඩි වී ඇත. එහෙත් දත්ත හා තොරතුරු කියන්නේ මුළුමණින්ම වෙනස් කතාවකි. බොහෝ රටවල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ අපරාධ වසරක් පාසා අඩුවන බව ය. දහනම විසිවෙනි සියවසේ මැද භාගය වන තෙක්ම යුද්ධය සාමාන්‍ය දෙයක් වී තිබුනේ වුව ද අද යුද්ධය පවා අප දකින්නේ කලාතුරකින් ලොව අහුමුළු කීපයක පමණි.

ජීවන තත්වය සම්බන්ධයෙන් තොරතුරු පරීක්ෂා කරන විට අනාවරණය වන්නේ පැරණි රජෙකුට වඩා යහපත් ජිවන තත්වයක් අද ජීවත්වන සාමාන්‍ය මිනිසෙකුට තිබෙන බව ය.

හර පද්ධතිය

මේ වෙනස්කම් නිසාම අපේ හර පද්ධතීන් ද වෙනස් ව තිබේ. අපේ පරම්පරාවේ පැරැන්නන් කියන එක් කතාවක් වන්නේ ඔවුන් තුළ තිබුනු අරපරෙස්සම වත්මන් තරුණයන් තුළ ‌නොමැති බව ය. හාල් ඇට කීපයක් අහුලන්නේ තැතිව අතුගා විසිකිරීමේ වරදට යහමින් ගුටි කෑ කෙනෙකු මට මේ මෑතක දී මට මුණ ගැසුනේ ය. හාල් ඇට කීපයක් අහුලනවාට වඩා වැදගත් වැඩ අද තරුණයන්ට තිබේ. අපේ පරපුරේ පැරැන්නන්ට ආහාර අද කාලයේ මෙන් සුලබව තිබුනේ නැත. ඒ් නිසා ම ඒ කාලයේ හරපද්ධතිය තුළ එවැන්නක් තිබීම සාධාරණ ය. ප්‍රශ්නය එය අද ද අපේක්ෂා කිරීම ය. එසේ නොවන කල කළකිරීම ය. ලොකුවට ආඩපාලි කීම ය.

ආහාර පමණට ම හර පද්ධතීන් ද යල් පැන යන්නේ ය. එවිට ඒවායේ එල්ලී සිටීම මෝඩ කමකි. අන් සියල්ල අත්හැරිය ද මේ වටිනාකම් අත් හැරීමට බොහෝ දෙනෙක් ලෑස්ති නෑත.

අතීතයේ සිවුරට ගරු කරන ලද්දේ හාමුදුරුවරුන් ඇසූ පිරූ අය වීම නිසා ය. උන්වහන්සේලා ධර්ම දේශකයන්ට අමතරව ගුරුවරුන් ද වෙදමහතුන් ද වූ නිසා ය. හැම අතින්ම ගරුකටයුතු වූ නිසා ය. ප්‍රයෝජනවත් වූ නිසා ය. උන්වහන්සේලා විසින් සලසන ලද සේවය මුදලට ගත නොහැකි වූ නිසා ය. ඒ් සඳහා වඩා සුදුසුකම් ලැබූ වෘත්තිකයන් අද සිටින නිසා අද ඒ සියල්ල හාමුදුරුවන් නැතුවාට මුදලට ගත හැකි ය.

අතීතයේ දී වැඩිහිටියන් පුදනු ලැබුයේ දැනුම හා අත්දැකීම්වල ඒකාධිකාරය ඔවුන් සතු වූ නිසා ය. අද දැනුම තිබෙන්නේ මිනිසුන් ලඟ නොවේ. අන්තර් ජාලයේ ය. වෙනදා ලැබූ වටිනාකම වැඩිහිටියන් විසින් ඒ විදිහටම අපේක්ෂා කරනු ලැබීම ඒ නිසා වැරදි ය.

බොහෝ දෙනෙකුට අතීතය තුළ ජීවත්වීමට අවශ්‍යව ඇත්තේ මේ වෙනස්වීම් අප රැගෙන යන්නේ කවර ආකාරයේ අනාගතයකට දැයි නොදන්නා ද නිසා ය. ඒ් පිළිබඳව ඇති සැකය නිසා ය. බිය නිසා ය. ඒ නැතුව අතීතය යහපත් නිසා නොවේ.

එයින් අදහස් කරන්නේ අද දවස සෑම අතින්ම යහපත් බව නොවේ. අපි ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇති වන තිබෙන අතුරුඵල වල ගොදුරු වී ඇත්තෙමු. පරිසර දූෂණය නිසා මතුව ඇති ප්‍රශ්න වලින් පීඩා විඳින්නෙමු. ඒ සියල්ල ද අතීතයට නැවත යෑමට මිනිසුන් පොළඹවන සැබෑ හේතු බව ඇත්ත ය.

අතීතයට යෑමට මෝටර්රථයට ආයුබෝවන් කියා කරත්තයකට නැගිය යුතු ය. කැකුණ තෙල් යොදා නිවෙස් ආලෝක කර ගත යුතු ය. ලෝකය හකුළුවා දමා ගමට යා යුතු ය. ලොකුවට කතා කළාට එහෙම කරන කෙනෙක් නැත. ඒවා කාපු බීපු වෙලාවට කියන කතා පමණ ය.

අභියෝගයට මුහුණ දීම

බොහෝ දෙනා තේරුම් නොගන්නා කාරණය වන්නේ වත්මන අප මුහුණ දෙන ප්‍රශ්න අපට අතීතයට යාමට නොව වඩාත් ඉක්මණින් අනාගතයට යෑමට හේතුවක් විය යුතු බව ය. අප කළ යුත්තේ කැකුණ හොයනවා වෙනුවට ඉක්මණින් සූර්ය බල ශක්තියට මාරු වීම ය. එය රාත්‍රි කාලයට ද ප්‍රයෝජන ගත හැකි ලෙස ගබඩා කර ගත හැකි  ලාභදායි විකල්ප සෙවීම ය. මෝටර් රථයට විකල්ප සෙවිම ය. ප්‍රතිරෝධය අඩු මාධ්‍යයක ගමනකට මාරු වීම ය. ගම වසා කැලෑ ඇති කොට නගරයට එක් වීම ය. නගරය තුළ තිරස් සංවර්ධනය වෙනුවට සිරස් සංවර්ධනයට මාරු වීම ය.

එකිනෙකා හා තරඟයට ළමයි හදමින් ගෝරි දා ගැනීමට සූදානම් වීම වෙනුවට, ඒ හරහා දැනටමත් ලොවට බරක් වී ඇති ජනගහණය තවත් වර්ධනය කිරීමට දායක වනු වෙනුවට, ගුණාත්මක දරුවෙක් දෙන්නෙක් හැදීමට හිත හදා ගැනීමට ය. පින්මඳ පුතුන් සියයක් හැදුවත් නිසරු බව දැන ගුණ නැණ ගුණෙන් යුතු පුතෙකු දුවෙකු හදන්නට හිත හදා ගැනීම ය.

ලොවේ ජයග්‍රහණය දැනට ද හිමිව ඇත්තේ එක්කෝ එහෙමට ඉතිහාසයක් නැති ජාතීන්ට ය. නැතිනම් ඒ ඉතිහාසය කර ගසා ගෙන ඉන්නේ නැතිව බිම තියන්නට තරම් හයියක් හා නුවණක් තිබුණු ජාතීන්ට ය.

වංශය කබල් ගගා හිටියාට වැඩක් නැත. වසර දෙදහස් පන්සියයක මහඟු ඉතිහාසය ලියැවී ඇති මහාවංශය වනපොත් කළාට වැඩක් නැත. “මහා” වංශයෙන් කතා කළාට ද වැඩක් නැත. රාවණාට පණ දීමට උත්සහ කළාට ද වැඩක් නැත. ඒ වෙනුවට ලොව ජයගත හැකි විද්‍යාව හැදෑරිය යුතු ය. එය ප්‍රයෝජනයට ගන්නා හැටි කියවෙන කළමනාකරණය හැදෑරිය යුතු ය. ජීවිතය සුවපත් කරනු සඳහා ද ජීවිතය විඳීම සඳහා ද කලාවෙන් සාහිත්‍යයෙන් දර්ශනයෙන් ගත හැක්කේ කුමක් දැයි සෙවිය යුතු ය. අතීතයේ ශේෂයන් ලෙස අදට ද අපට වද දෙන ආගමික අන්තවාදය ජය ගත හැක්කේ කෙසේ දැයි විමසිය යුතු ය. එකිනෙකාට ගරු කරමින් එකිනෙකාගේ වෙනස් කම් ඉවසමින් ජීවත් වන්නේ කෙසේ දැයි පිළිබඳව සෙසු රටවලින් උගත යුතු ය.

අතීතය අවැදගත් යැයි ද එය පිළිකුලෙන් බැහැර කළ යුතු යැයි ද මෙයින් අදහස් කරන්නේ නැත. අතීතය වරින් වර ආවර්ජනය කර එයින් කිසියම් උත්තේජනයක් ලබා ගැනීමේ අවුලක් නැත. එහෙත් ඒ තුළ ගිලී එය අනුභව කරන්නට සූදානම් වීමෙන් වන්නේ අවුලකි. එය රැකගැනීමට අනාගතයට පිටුපාමින් පිට පොට ගැසීමට ඉදිරිපත් වන්නේ නම් සිදුවන්නේ අවුලකි.

ඇතැමුන් එසේ කරන්නේ නොදැන, මෝඩකමට ය. ඇතැමුන් එසේ කරන්නේ දැන, වාසියට ය.

පළමු ඝනයට ඊනියා විද්වතුන් වැටෙන විට දෙවැනි ඝනයට දේශපාලනඥයන් ද දේශප්‍රේමීන් ද වෙනත් රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් ද වැටෙන්නේ ය.

විද්වතුන් පළමු ඝනයට වැටෙන්නේ ඔවුන් දක්ෂ විශ්ලේෂණයට නිසා ය. විශ්ලේෂණය කළ හැක්කේ අතීතය පමණකි. ඒ අතීතය යුග වලට බෙදිය හැකි ය. ඒ එක් එක් යුගය සම්බන්ධයෙන් කරුණු සංඛ්‍යාලේඛන තිබෙන්නේ ය. ඒවා පදනම් කර ගෙන එක් එක් යුගය විශ්ලේෂණය කළ හැකි ය. එහෙත් අනාගතය සම්බන්ධයෙන් ඒ කිසිවක් බැරි ය. අනාගතය දැකිය හැක්කේ සිහිනයක් හැටියට ය. අද සිදු වෙන දේ වල එකතුවක් හැටියට ය. සංශලේෂණයෙන් ය. විද්වතුන්ට සංශ්ලේෂණය අරහන් ය. ඒ නිසා විද්වතුන්ට අනාගතය මවා ගත නොහැකි ය. ඒ නිසා ඔවුන්ගේ නොදැනුම ගැන සමාව දිය හැකි ය. එහෙත් ඔවුන් එයින් ගලවා ගත යුතු ය. ඔවුන් අනාගතය පිළිබඳ නව දැනුමෙන්  ශක්තිමත් කළ යුතු ය.

දේශපාලනඥයන් හා දේශප්‍රේමීන් යන දෙගොල්ලන්ම ගහන්නේ ගේමකි. ඒ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට ය. සංක්‍රමණය වූවන්ට අවශ්‍ය, තමන් නැවත එන විට ද අර පැරණි රට දකින්නට ය. බැරි වෙලාවත් රට දියුණු වී තිබුණොත් තමන් ගිය ගමනෙන් වැඩක් නොවන නිසා ය.

මේ ලිපිය පළමු අයට ය. ඒ දෙවැන්නන්ගෙන් රට ගලවා ගැනීමට, පළමු වර්ගයට ශක්තියක් වීමට ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s