නමක් ගමක් නම් දන්නෙ නැහැ, හැබැයි මනුස්සයෙක්

https://i2.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/11/25/1020_25112019_FSS_CMY.jpg

නමක් ගමක් නම් දන්නෙ නැහැ. හැබැයි මනුස්සයෙක්. මේ අපූරු වෙළඳ දැන්වීමක තිබූ දෙබසක කොටසකි. ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශනයේ දිගින් දිගට ම ප්‍රචාරය වූ නිසා බොහෝ දෙනෙකුගේ මතකයේ මේ අපූරු දෙබස සටහන් වන්නට ඇත.

පසුබිම මෙසේ ය. වාහනය පණ ගන්වා ගත නොහැකිව කාන්තාවක් හා වයසක පියෙකු අතරමං ව සිටිති. එතැනින් යන මිනිසෙකු මේ දැක නැවතී සිය ශිල්පීය කුසලතා ද භාවිතා කොට රථය පණ ගන්වා දෙයි. පියා දියණියගෙන් අසන්නේ ඔහු කවරෙකු ද යන්න ය. ඉහත කී උත්තරය ලැබෙන්නේ එවිට ය.

මනුස්සයෙකු යනු උසස් මනසක් ඇති පුද්ගලයෙකි. මේ කියන පුද්ගලයාට උසස් මනසක් තිබෙන්නේ පැති කඩ දෙකකිනි. එකක් මග හැර නොයා උදව් දෙන්නට කැප වීමට ඇති හෘදයාංගම මිනිස් කම ය. අනෙක සිදු වී ඇති ප්‍රශ්නය ඉක්මණින් හඳුනා ගැනීමට හැකි ශිල්පීය දක්ෂතාවය හා පැසුණු නුවණ ය. කෙටියෙන් කියන්නේ නම් ඔහු සතුව තිබුනේ ගුණ නැණ දෙක ය.

කරුමයකට මිනිසුන් දෙස මෙසේ බලන්නට අපට බැරි ය. අප ඉගෙන ගෙන තිබෙන්නේ ම මිනිසුන්ට නමක් ගමක් පැටිකිරියක් හා ඉතිහාසයක් දෙන්නට ය. ඒ ලේබල් හරහා ඔහු ඇය දෙස බලන්නට ය. ඔහුගේ ඇයගේ වටිනාකම ඔහු හෝ ඇය සතු ගුණ දහමෙන් හෝ කුසලතාවලින් නොමැණ, ඔහු ඇය අයිති කණ්ඩායම ඇසුරෙන් සොයන්නට ය. ඔහුගේ ජාතකය ඇසුරෙන් සොයන්නට ය. ඇයගේ වගකීමක් නොවන ඇය මත කඩා පාත්ව ඇති උරුමය ඇසුරෙන් සොයන්නට ය. ඇයගේ ඉතිහාසය ඇසුරෙන් සොයන්නට ය.

මා සිංහලයෙකු වූයේ ඉල්ලුම් පතක් දමා ඇප්ලයි කොට නොවේ. මගේ කිසියම් දක්ෂතාවයක් හෝ ගුණ යහපත් කමක් නිසා නොවේ. එය මගේ ජන්මයෙන් මා වෙත ලැබුණු ලේබල් එකකි. ඒ සම්බන්ධයෙන් මට කළ හැකි දෙයක් නැත. ඇත්තටම ඒ ප්‍රශ්නයේ දී මා අසරණ ය.

ඒ කීවේ සිංහලයෙකු වීමේ තීන්දුව සම්බන්ධයෙන් මා අසරණ බව මිසක සිංහලයෙකු වීම කෙනෙකු අසරණ කරන්නේ යැයි කියා නොවේ. ඇත්ත කතාව නම් එය කෙනෙකු ශක්තිමත් කරන බව ය. බහුතරයේ සමාජිකයෙකු වීම කොතරම් නම් ආශ්වාදජනක ද සුරක්ෂිත ද යන්න සොයා දැන ගැනීමට ඔබ සිංහලයෙකු නොවන මිනිසෙකු විඳවන විඳවිල්ල දෙස දෑස් විවර කර බැලිය යුතු ය.

අනන්‍යතාවයේ අර්බුදය

මගේ පියාත් මවත් දෙදෙනාම සිංහල වීම නිසා මට මුහුණ පෑමට සිදු විය හැකි ව තිබූ එක් අනන්‍යතා අර්බුදයකින් මට ගැලවිය හැකි විය. බැරි වෙලාවත් එක් අයෙක් සිංහල ද අනෙකා දෙමළ ද වූයේ නම් මට හිටගන්නට තැනක් මේ දිවයිනේ හිටින එකක් නැත. සිංහල දෙමාපිය පාර්ශවයට හේත්තු වී ඒ නම ගෙන මට අනාගතය සුරක්ෂිත කර ගැනීමේ පුංචි ඉඩක් නැතිවා ම නොවේ. එහෙත් මේ පැටිකිරිය ජීවිතයේ කිසියම් දිනක එලියට පැන මට කරදර කිරීමට ඉඩ තිබේ. ඇතැම් විට මා මගේ සැබෑ පැටිකිරිය සගවා ඇතැයි කියමින් යම් දිනක මා චෝදනා ලබන්නට පවා ඉඩ තිබේ.

මා බෞද්ධයෙකු වූයේ සියලු ආගම් දෙස විචාරශීලීව බලා වඩාත් නිවැරදි ආගම තෝරාගෙන එය වැළඳ ගැනීමෙන් නොවේ. බෞද්ධකම දෙමාපියන්ගෙන් මා ලද උරුමය ය. ඒ සම්බන්ධයෙන් නම්  ජාතිය මෙන් නොව මට කළ හැකි යමක් තිබේ. ඒ තවදුරටත් මා බෞද්ධයෙකු නොවන බව කියා සිටීමට ය. එසේ වුව ද එසේ කීම කියන තරම් පහසු නැත. රැහෙන් මා එලවා දැමීමට එය හේතුවන නිසා ය. දෙමාපියන් ඉදිරියේ මා අකීකරු දරුවෙකු වෙන නිසා ය. ඔවුන් දුන් දෙයට පිටුපෑම නිසා ඔවුන්ට නිගා කළේ යන පාප කර්මයට හසු වෙන නිසා ය. ඒ නිසා මගේ බෞද්ධකම ඉවසීමට මට සිදු ව තිබේ. වෙන ආගම් දෙස නොබලන්නට මම ප්‍රවේසම් වෙමි. බැරිවෙලාවත් එයින් එකක් මගේ කරුමයට මගේ ආගම වූ බෞද්ධාගමට වඩා හොඳ යැයි පෙනී ගියොත් මා වැටෙන්නේ මහ අමාරුවක ය. ඉල්ලන් කන්නට වුවමනා නැත. ඒ නිසා මම විචාරශීලිත්වය පැත්තකට විසි කර දමමි. උරුමය තුරුළු කර ගනිමි. එය වැළඳ ගනිමි. එයින් සැනසෙමි.

අනෙත් අතට බෞද්ධයෙකු වීම මේ රටේ අතිශ්‍ය භාග්‍යවන්ත කටයුත්තකි. ඒ වෙන කිසිවකටත් වඩා අප රටේ බහුතරයක් බෞද්ධ නිසා ය. ඒ නිසා බෞද්ධකමට සමුදෙන්නට අදහසක් මගේ තුන් හිතකවත් නැත.

මගේ පියා හෝ මව එක ආගමකටත් අනෙකා තව ආගමකටත් අයත් වූවා නම් නැවතත් මට සිදු වන්නේ අනන්‍යතා අර්බුදයක අතරමං වන්නට ය. කොයික තෝරාගත්තත් පැටිකිරිය මතු කර නැවත වතාවක් කරදර කිරීමේ ඉඩ තිබෙන නිසා ය.

මා උපන්නේ බෙන්තර ගඟෙන් එහා නිසා මා දකුණේ ය. වමෙන් ගියත් අපි දකුණේ කියා කියන්නට ඒ නිසා මට හැකි ය. දකුණේ මිනිහෙකුගේ ආඩම්බරයට (කුමක් නිසා එසේ ආඩම්බර වන්නේ දැයි නොදැනම) මම ද උරුම කම් කියමි. ඇතැම් විට දුටු ගැමුණු දකුණේ වීම ඒ ආඩම්බරය පහල කළා වෙන්නට පුළුවන.

මා අයත් වන්නේ පහත රටට ය. මා පාතයෙකි. එතැන නම් පොඩි අවුලක් තිබේ. උඩරට උන් මෙන් සියල්ල බන්දේසියක තබා දේශය පිටරටුන් විකුණුවේ නැතැයි කියමින් ඒ අවුල ද ලිහා ගත හැකි ය.

කුලය ද මේ තෝම්බුවට එක් කළ හැකි ය. ඒ කුලයේ වරුණ ගැන ද අටුවා ටීකා ඇතුව කතා කළ හැකි ය. එය ද මගේ ජන්ම උරුමයකි. අනෙක් සියල්ල තරමට ම මගේ  වගකීමක් නැතිව මා මත අහම්බයෙන් කඩා පාත් වුනු එකකි. බැබලිය හැකි නම් මේ ඕනෑම අටමගලයකට අයිතිය කීමේ වරදක් තිබේ ද?

මවත් පියාත් කුල දෙකක වුවහොත් ආයෙත් හබක් ය. දීගයක දී මිනිසුන් මේවා මේ තරමට ම හොයන්නේ දරුවන් අනාථ විය හැකි නිසා විය යුතු ය.

පසු කලෙක මා උගත් පාසල නිසා ද මා ශිල්ප හැදෑරූ සරසවිය නිසා ද මගේ රැකියාව නිසා ද මගේ පැටිකිරිය තවදුරටත් ශක්තිමත් විය.

නමක් ගමක් ඇති මිනිහෙක්

දැන් මා නමක් ගමක් ඇති මිනිසෙකි. මනුස්සයෙකු නොවුනාට කාරි නැත. බැබලෙන්නට අවශ්‍ය තරම් නම් ගම් දැන් මා සතු ය.

මගේ යැයි කිව හැකි කුසලතා ඇත්තේ අල්පයකි. මට තිබෙන්නේ ඕනෑම මිනිසෙකු සතු දුර්වලකම් සමග එකට කැලතුණු ඉතා කුදු ගුණ යහපත් කම් සමූහයකි. නැණ ගුණ එහෙමකට නැති වුනාට බැබලෙන්නට නම් ගම් ප්‍රමාණවත් ලෙස මට තිබීම ම සැනසීමකි. ඒවා කඩේ ඇරියහම මා ගොඩ ය.

මට ඔය සියල්ල ද ඉක්මවන තව වැදගත් දෙයක් ද අමතරව එකතු කර ගත හැකි ව තිබේ. ඒ දේශපාලන කඳවුරක සමාජිකයෙක් වීමෙනි. බහුතරය නියෝජනය කරන එකක, දේශපාලන හා රාජ්‍ය බලය හිමි එකක, සමාජිකයෙක් වුනා නම් ඉතින් ආයෙත් අහන්නට දෙයක් නැත. අවශ්‍ය නිසි වර්ණයකින් ටයි පටියක් පැළඳීම ය. ඊට පසුව තිබෙන්නේ කඩේ යෑමට ය. නිසි තැන් වල පෙනී සිටීම ය. ප්‍රශස්ති ගායනය සඳහා අත්වැල් ගායනයෙන් වත් හවුල් වීම ය. විරුද්ධ පිලේ අපේක්ෂකයාට මැතිවරණ කොමසාරිස් තුමා කිව්වාක් මෙන් බිලෝ ද බෙල්ට් ගහන්නට ය. බොරුව ඇත්ත කොට ඇත්ත බොරුව කොට දැක්වීමට ය. මනුස්සකම කොහේ හෝ මුල්ලකට තල්ලු කර නිරුවතින් පෙනී සිටීමට ය.

ඉහත කිසිවකට එහෙමකට කුසලතා හෝ ගුණයහපත් කම් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය ලජ්ජා නැති කම පමණ ය. නමක් ගමක් පමණක් නොව දැන් ශක්තිමත් කඳවුරක් ද තිබෙන නිසා සියල්ල සම්පූර්ණ ය.

කෙතරම් ශක්තිමත් නායකයෙකු ආවත් අපේ රට ගොඩ ගැනීමට අමාරු මේ නිසා ය. නම් ගම් අවැදගත් වී සුදුස්සාට සුදුසු තැන හිමිවන, මනුස්සයින්ට තැන හිමිවන, දවසක පමණක් රට ගොඩ යනු ඇත.

බුදුන් වහන්සේ තමන්ගේ ශාසනය සම්බන්ධයෙන් අනුගමනය කළේ ඒ ප්‍රතිපත්තිය ය. මහ සයුරට විවිධ ගංගාවලින් ජලය එක් වන වා සේ මගේ සසුනට ද විවිධ පසුබිම් වලින් මිනිස්සු පැමිණෙති. මහසයුරේ ජලය කුමන ගඟකින් ආවා දැයි පවසන අනන්‍යතාවයක් පවත්වා ගන්නේ නැත. ඊට සමානව මගේ සසුනට කොහෙන් ආව ද අන්තිමේ ඒ සියල්ලන් තවදුරටත් වෙනස්කම් නැති සංඝයා වහන්සේ ය. නම් ගම් අදාළ ම නැත. ඒ සියල්ලෝ මනුස්සයෝ ය. මැරෙන මිනිසුන් ය. දුකට පත් වෙන මිනිසුන් ය. ඒ දුකින් මිදීමේ මාර්ගය සොයන පෙන්වා දෙන සංඝයා වහන්සේලා ය. ඒ බුදුන් සිතූ හැටි ය. ශාසනයේ තනතුරු ලද්දේ ගුණ නැණ වලට අනුව මිසක පක්ෂපාතිත්වයන්ට හෝ නම් ගම් වලට අනුව නොවේ.

තනතුරක් වේ නම් ඒ සුදුස්සාටම අයිති විය යුතු

අද අපේ දිවයිනට ද අවශ්‍ය වන්නේ එවැනි තත්වයකි. නම් ගම් පැත්තක තබා ගුණ නැණ බෙලෙන් යුත් මිනිසුන් තනතුරු හොබවන වටපිටාවකි.

කිසිදු අපරාධයක් වංචාවක් දූෂණයක් කළ කෙනෙකුට තම රජයේ තනතුරු පිරිනමන්නේ නැති බව කීවේ අලුතෙන් පත් වූ ජනාධිපති තුමා ය. එය ඒ විදිහට ම වෙන්නේ නම් ඉතා හොඳ ය. අප මේ රවුමේ යමින් කීවේ ද ඒක ය. පුංචි පරහකට ඇත්තේ මේවා ක්‍රියාත්මක කිරීමට යෑමේ දී ය. කියන විදිහට නොකෙරීමේ ය. එසේ කිරීම පහසු නොවීමේ ය. ඒකට එක් හේතුවක් වන්නේ එහෙම මිනිසුන් එහෙමකට නැති වීම ය. සොයා ගැනීම අපහසු වීම ය.

මග්දලේනා නම් වූ, මිිනිසුන් පව් කාරියකැයි හංවඩු ගසා ගල් ගසා මරණයට පත්  කරන්නට හැදූ, ගැහැණියට ගල් ගැසීමට සුදුසුකම් ලබන්නේ, කිසි දා පව් කම් නොකළ එකෙකැයි කියූ විට ගල් ඇතිව සිටි අය පසු බැස, ගල් බිම දමා ඉවත් වූ හැටි, මතක අයට ප්‍රශ්නය කොතෙක් බරපතල දැයි තේරෙනවා ඇත.

රටට අවශ්‍ය වනුයේ නම් ගම් සහිත පින්මඳ පුතුන් දසදහස් ගණනින් වැඩි කර ගැනීම නොවේ. ගණනින් මඳ වුව ද ගුණ නැණ බෙලෙන් යුතු ස්වල්පයක් වත් මිනිසුන් තැනීම ය. පැරණි සාහිත්‍යකරුවාට ඒ ගැන තිබුනේ මෙවැනි අදහසකි.

පින් මඳ පුතුන් සියයක් ලැබුවත් නිසරු

ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝන අඳුරු

නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

මේ කව් පෙල එන්නේ අලගියවන්න මුකවැටිය කිවියාගේ සුභාෂිතය නම් මහා කාව්‍යයේ ය. අපේ රට පෙර කල ලොව බැබළුනේ මෙවැනි දැක්මක් අපේ වියතුන්ට තිබුණු නිසා ය.

අප ජය ගත යුත්තේ ඉලක්කම් වැඩි කර ගැනීම හරහා ම නොවේ. ගුණය වැඩි දියුණු කර ගැනීම හරහා ය. නැණ පහන් දැල්වීම හරහා ය.

බහුතරය ශක්තියක් වන්නේ බලයක් වන්නේ එ් තුළ ගුණ නැණ දෙක තිබුනොත් ය. නැතිනම් බහුතරය රටට හුදු ණයක් පමණ ය. සුහුරු අත් දෙකක් හා දුරදක්නා මොළයක් රහිත නෙරා ගිය බඩවල් වලට ඇති කළ හැක්කේ සමෘද්ධිමත් රටක් නොවේ. ණය බරිත දේශයකි.

නමක් ගමක් නැති මනුස්සයෙක්

අපට අවශ්‍ය නම් ගම් පැටිකිරිය සහිත මිනිසුන් නොවේ. මනුස්සයින් ය. ගුණ නැණ බෙලෙන් යුතු මනුස්සයන් ය. මිනිසුන්ට ප්‍රේම කිරීම තම ජීවිතයේ  ප්‍රථම රාජකාරිය කර ගත් මනුස්සයන් ය. වෛර කිරීමට භය, ප්‍රේම කිරීමට භය නැති, මනුස්සයන් ය. යුද්ධ කිරීමට භය, සාමයට භය නැති මනුස්සයින් ය.

අනෙකාගේ සුගතිය පතන, අනෙකා කෙරෙහි උනුවන හදක් ඇති, මනුස්සයින් ය. ඔවුන්ගේ අහිමිවීම් තමන්ගේ අහිමිවීම් විදිහට ගන්නා මනුස්සයින් ය. ඔවුන්ගේ අයිතීන් තමන්ගේ අයිතීන් විදිහට ගන්නා මනුස්සයන් ය. ඔවුන් ලබන සහනය තමන් ලබන සහනයක් ලෙස ගන්නා මනුස්සයින් ය. ඔවුන්ගේ දුක හා වේදනාව ඉදිරියේ තමන්ගේ හද කම්පාවන මනුස්සයින් ය.

උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වන්නේ

යන කවි පදය ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ ය. උන් වහන්සේ මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමේ අප කළ සටනේ පතාක යෝධයෙක් විය. අධිරාජ්‍යවාදයට පමණක් නොව අප තුළ ම තිබූ නිවට ගති වලට ද එරෙහිව අප විසින් සටන් කළ යුතු ව තිබෙන බව එහිමියන් කීවේ අපේ සැබෑ ශක්තිය සැදෙන්නේ එයින් නිසා ය. එම කවියෙන් ද කියවෙන්නේ ද නම් ගම් ඉදිරියේ විවිධ ආකාරයට ක්‍රියාත්මක වන නොමිනිසුන් නිවටයන් බව ය. උස් මිටි තැන් බලමින් හැසිරෙනවා වෙනුවට සැවොම මනුස්සයින් ලෙස සළකා හැසිරිය යුතු බව ය. ඒ බව සිතමින් මේ රට වැසියන් ලොකු මහත් විය යුතු බව ය.

රට වැසියන් නම් ලොකු මහත් වනු පෙනෙන්නට ඇතත් ඒ ගැන සිතමින් නම් ඔවුන් ලොකු මහත් වන බව පෙනෙන්නට නැත. ඔවුන් වන්දනා කරන්නේ ම නම් ගම් වලට ය. ඔවුන් අමතක කර දමන්නේ ම මනුස්ස කම ය. ඔවුන් පුප්පන්නේ අසරණයන්ට ය. ඔවුන් බලය ඉදිරියේ හැකිලෙන්නේ අංශක අනූවට නැවී ගෙන ය.

අතීතය පීරා යමින් අප කළ යුත්තේ මෙවැනි වැදගත් ගුරුහරුකම් මතු කර ගැනීම ය. ඒ වෙනුවට අප කරමින් ඉන්නේ අතීතය පීරා යමින් අප නොකළ විස්කම් කළ බව දක්වා ලීම ය. ඒවායින් මාන්නය ම ඇති කර ගැනීම ය. මනුස්ස කමින් තව දුරටත් ඈත් වීම ය. මනස උස්ව තබා ගනු වෙනුවට මාන්නය උස්ව තබා ගැනීම ය. අන්න ඒ “මත”ට අප තිත තැබිය යුතු ය. අප කවුරුත් දන්නා “මත”ට තිත තබන තරමට ම මේ “මත”ට තිත තැබීම ද වැදගත් ය.

උරුම කිව යුත්තේ සිංහල හෝ බෞද්ධ ලේබල් වලට නොවේ. නම් ගම් හෝ වාසගම් වලට ද නොවේ. පුහු ආඩම්බර කම් වලට නොවේ. මැණික් කැට මෙන් දිදුලන, මනුස්සකම ඔසවා තබන, අප විසින් ඉහත දැක්වූ ආකාරයේ, මා හැගි ඉගැන්වීම් වලට ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s