මා කවරෙක් ද?

https://i1.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/11/18/1010_18112019_FRR_CMY.jpg

ජනපතිවරණය අවසන් ය. අලුත් ජනපතිතුමාට කටයුතු සංවිධානය කර ගැනීමට කාලයක් දිය යුතු ය. එතෙක් අපට කළ හැකි වැඩක් තිබේ. අප දෙස, අපේ අභ්‍යන්තරය දෙස, බැලීම ය. අප කවුදැයි හරිහැටි හඳුනාගැනීම ය. මේ සටහනේ උත්සහය ආගම සම්බන්ධයෙන් මා කවුදැයි සොයා දැන ගැනීමට ය.

මගේ මිතුරෙකු මේ ළග දී මගෙන් ඇසුවේ ඔබ නිරාගමිකයෙකු ද කියා ය. ඒ ප්‍රශ්නය ඉදිරියේ මම නිරුත්තර වීමි. මගේ ලිපි කියවන ඔබට ද ඒ ප්‍රශ්නය ඇතැම් විට නැගෙන්නට ඇතුවාට සැක නැත. ඇත්තටම මම කවුද? කවර ආගමකට අයත් ද?

බුදු දහමේ තිබෙන ඇතැම් ඉගැන්වීම් මගේ ජීවිතයට මම යොදා ගෙන ඇත්තෙමි. වසර දෙදහස් හයසියයකට පොරොතුව නිදහස් චින්තනය ඉදිරියෙන් තැබූ ශාස්තෘන් වහන්සේ කෙනෙකු හැටියට මම බුදුන්ට ගෞරව කරමි. තමන්ව ප්‍රශ්න කරන්නට අනුගාමිකයන්ට දිරි දුන් ශාස්තෘන් වහන්සේ කෙනෙකු හැටියට මට එතුමා කෙරෙහි ඇත්තේ අති විශාල කැමැත්තකි.

සිල් ගත් පමණින් ලොක්කෙකු ලෙස හැසිරෙන්නට එපා යැයි දක්වා, උස් ආසන මහ ආසන සොයන සිය භික්ෂූන් වහන්සේලාට, ඒවායින් වළකින ලෙස කියමින්, සිල් පදයක් පැනවීම ගැන මට එතුමන් කෙරෙහි ඇත්තේ විශාල ප්‍රසාදයකි. (අද ඇතැම් භික්ෂූන් වහන්සේලා ඒවා ම සොයා යෑම ඒ අයගේ ප්‍රශ්නයක් මිස බුදුන්ගේ ප්‍රශ්නයක් ලෙස මම නොසළකන්නෙමි).

කෙනෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උපතින් නොව තමන් කරන ක්‍රියාවලින් බව, කුල භේදය ඉහළින් ම තිබුණු සමාජයක හිඳ ප්‍රකාශ කරන විට, උන්වහන්සේ පිළිබඳව මට ඇතිවන්නේ ඉමහත් ආදරයකි. (අද ඇතැම් භික්ෂූන් වහන්සේලා ඒවා ම මතු කර ගෙන නිකාය වලට බෙදී කරන නාඩගම් බුදුන්ගේ මතයන්ට පිටුපෑම් ය).

සුනීතටත් සෝපාකටත් රාහුලටත් එක ම තැනක් භික්ෂු සමාජය තුළ හැදීම සම්බන්ධයෙන් මට උන්වහන්සේ ගැන ඇතිවන්නේ විශාල භක්තියකි. මහ සයුරට විවිධ ගංගාවලින් වතුර එකතුවන නමුත් සාගරයට ආ විට ඒ සියල්ල එකක් වන බව පවසමින් ඒ පිළිබඳව තම මතය සැක හැර උන්වහන්සේ දැක් වූ බව මා සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

තමන් ව ශාක්‍ය වංශයට බැඳ තබා ගැනීම සඳහා පියාණන් දැරූ ප්‍රයත්නය එතුමන් අවලංගු කර දැම්මේ තමන් දැන් අයිති බුද්ධ වංශයට බව කියමින් ය. ඒ තැන-තැන පිණ්ඩපාතයේ ගොස් සිගමන් නොඅයදින ලෙසත්, එයින් තමන්ගේ උසස් ශාක්‍ය වංශයට අගෞරව නොකරන ලෙසත්, සුදෝවුන් රජතුමා අයැද සිටි විට ය (අද ඇතැම් භික්ෂූන් වහන්සේලා බුද්ධාගම සිංහල ජාතියට හා ශ්‍රී ලංකවට ගැට ගැසීමට ගන්නා උත්සහයන් බුදුන්ගේ මේ වදන් නොදැන කරන විගඩම් ය).

බුදුන් වදාළ ලෙසම ඇලීම හා ගැටීම යන දෙකම ඈත්කොට දිවියට සන්සුන් බව ගෙනෙන්නට මම උත්සහ කරමි. (අද ඇතැම් භික්ෂූන් වහන්සේලා මාලිගා වැනි අසපු තනමින් කරන විසූක දස්සන ඒ අයගේ වරදක් මිස බුදුන්ගේ ඉගැන්විමක් නොවේ). ඉතාම මහන්සියෙන් ගොඩ නැගූ දේ ද අත්හැරීමට මට හැකි ව තිබේ. මට තවදුරටත් කළ හැකි යමක් නැතැයි හැගී ගිය අවස්ථාවල මා ගොඩ නැගූ ආයතන හැරදා යන්නට මට ප්‍රශ්නයක් වූයේ නැත. මගේ නිර්මාණ කිසිවෙකු විසින් පැහැර ගනු ලැබේ යැයි බියකින් මා පෙළෙන්නේ නැත.

බුදුන්ගේ රුව යැයි කියන රූපයක් කිසිවෙකු විසින් ඇඳ සිටියා යැයි කීවාට මා කිපෙන්නේ නැත. බුදු පිළිමයකට පස්ස හරවා ගෙන සිටියාය කියා මට තරහ යන්නේ නැත. ගැටීමෙන් හැකිතාක් වළකින නිසා ය.

ධර්මයටවත් නොඇලිය යුතු බව කියන උන්වහන්සේ ඒ ගැන අගනා උපහැරණයක් දැක්වූහ. ඒ තමන්ගේ ධර්මය සසරින් එතෙර වීම සඳහා පහුරක් ලෙස පමණක් සළකන ලෙස ය. ගඟින් ගොඩ වූ පසු පහුර කර තබා ගෙන යන සිරිතක් නැත. ඒ නිසා ම ධර්මයටවත් නොඇලෙන ලෙස උන්වහන්සේ දෙසූ හ. එවැනි උත්තමයෙකුට ගෞරවයක් ඇති වන්නේ නිතැතිනි. ඒ සඳහා පන්සලක ශික්ෂණයක් මට අවශ්‍ය නැත. (අද ඇතැම් භික්ෂූන් වහන්සේලා ධර්මය පැත්තක තබා බෞද්ධ කොඩි කර ගහ ගෙන යෑම ඒ අයගේ ප්‍රශ්නයක් මිස බුදුන්ගේ ප්‍රශ්නයක් නොවේ).

තමන්ගේ ජාතියට පමණක් මෛත්‍රී කරන්නට නොකියා සියළු සත්ත්වයන්ට මෛත්‍රිය කරන්නට ඉගැන්වීම සම්බන්ධයෙන් මට එතුමන් ගැන ඇත්තේ ආදරයකි. (අද ඇතැම් භික්ෂූන් වහන්සේලා මෛත්‍රිය වෙනුවට වෛරයත් සාමය වෙනුවට යුද්ධයත් තුන් සරණ වෙනුවට අබසරණත් ඉල්ලීම බුදුන්ගේ සාරසුබා දහමට පිටුපෑමකි).

තාරකා වලට කළ හැක්කේ කුමක් ද? කියා අසමින් බුදුන් වහන්සේ ජෝතිෂ්‍ය වැනි මිත්‍යා මත පසු පස්සේ යන මිනිසුන්ට හරි මග පෙන්වා දුන් සේක. තමන්ට සරණ විය හැක්කේ අනුන්ට නොව තමන්ට ම යැයි කියමින් මිනිසුන් බලාත්මක කළ සේක. ඒ සියල්ල බුදුන් වහන්සේට මගේ ගෞරවය පිරි නමන්නට හේතු අතර ඉදිරියෙන් තිබෙන්නේ ය.

බුදුන් වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව කීවේ ය. වෛරය නැති කළ හැක්කේ මෛත්‍රියට පමණක් බව කීවේ ය. වෛර කිරීම මට ද අමාරු ය. මෛත්‍රීය කිරීම පහසු ය. මගේ මෛත්‍රීයට ලක් වන්නේ මගේ මිනිසුන් පමණක් නොවේ. සියළු මිනිසුන් ය. සියළු ජාතීන්ට, වර්ගයන්ට, ආගම් වලට, කුලයන්ට අයත් මිනිසුන් ය. එකිනෙකා ගහ මරා ගන්නේ නැතිව මිනිසුන් ආදරයෙන් ස්නේහයෙන් ජීවත් වෙනවා දකින්නට මා කැමති ය. ඒ සියල්ල බුදුන් හා එකඟ ය. බුදුන් දෙසූ ධර්මය හා එකඟ ය. එකඟ නොවෙනවා නම් වත්මන් භික්ෂූන් සමග පමණ ය.

පන්සලක ඇති සාම්‍යයට මම කැමැත්තෙමි. වැලි මළුවේ පය පෑගීම නිසා දැනෙන හැගීම ද සුළගට සැලෙන බෝපත් වල අසිරිය ද නිල් අහස පසුබිම් කොට දිලෙන සුදු  චෛත්‍යයක දසුන ද මා වසගයට පත් කරන කාරණා ය. පන්සල තුළ සන්සුන් ව සිය ආගමික කටයුතු වල නියැලෙන උවැසි උවැසියන්ගේ සංයමයට මම කැමැත්තෙමි. ඒ සියල්ල හිත නිවන දසුන් ය. හිත සනහන අත්දැකීම් ය. ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින් ගොරහැඩි ශබ්ද පිට කර මිනිසුන්ගේ සංයමය බිඳ දැමීම භික්ෂූන්ගේ ප්‍රශ්නයක් මිස බුදුන් අනුදැන වදාළ දෙයක් නොවේ.

ලෝකයට කරුණාව, දයාව, සහෝදරත්වය ඉගැන්වූ ක්‍රිස්තුත් වහන්සේට මම ගරු කරමි. අනාචාරයේ හැසිරුනා යැයි කියමින්, ස්ත්‍රියකට ගල් ගැසීමට මිනිසුන් ඉදිරිපත් වූ කල, වැරදි නොකළ මිනිසෙකු පළමු ගල ගසන්නැයි කියමින්, තමන් ගැන මහ ඉහළින් සිතන, තමන් සුචරිතවත් යයි සිතන, මිනිසුන්ට කළ අභියෝගය  ගැන මට උන්වහන්සේ ගැන ඇත්තේ ගෞරවයකි.

අසල්වැසියාට ප්‍රේම කරන්නැයි උන්වහන්සේ කීවේ මිනිසුන් අතර ගැටුම් වලින් කිසිවෙකුටවත් වැඩක් නැතැයි හඟවන්නට ය. එතැනින් නොනැවතී උන්වහන්සේ කීවේ එක කම්මුලකට ගැසුවොත් අනෙත් කම්මුල ද හරවන ලෙස ය. ඒ ගැටුමක ආදීනව උන්වහන්සේ දැන සිටි නිසා ය. එවන් ශාස්තෘන් කෙනෙකුට ගරු නොකොට පුළුවන් ද?

ගස් ගල් වලට පමණක් නොව සිමෙන්ති කොන්ක්‍රීට් පිලි රූ වලට ද නොවඳින මුස්ලිම් ආගමේ ඇතැම් ඉගැන්වීම් වලට ද මම ගරු කරමි. (බුදුන් වහන්සේගේ රූපය තුළ මෙන්ම ක්‍රිස්තුත්වහන්සේගේ පිළිරුව තුළ ද දකින්නට ලැබෙන සාම්‍යය පිළිබිඹු කළ කලාකරුවන්ට මගේ ගෞරවය හිමි වීම වෙනම කරුණකි).

පැය විසිහතරක් ඇතුළත් මළ මිනිය මිහිදන් කිරීමට ද ඒ සඳහා ඉතාම අඩු මිල චාරිත්‍ර වාරිත්‍ර පැනවූ ද ඒ ශාස්තෘන් වහන්සේට මම ගරු කරමි. කියන දේ කරන ලෙස ද කරන දේ කියන ලෙස ද නීති පනවා සත්‍යවාදීත්වය අගය කළ ඒ උතුමන්ට ද මම ගරු කරමි.

එහෙත් කිසිදු ආගමක් කිසිදු දර්ශනයක් මම නොඅදහමි. එපමණක් නොවේ. මේ හැම ශාස්තෘන් වහන්සේ කෙනෙකු තුළ අඩුපාඩු ද මම දකිමි. මේ හැම ආගමක් ම විසින් කාන්තාවන් පත් කර ඇති ද්විතීයක තත්වය මම පිළි නොගන්නෙමි. ඒ හැම ආගමක් විසින් ම නිර්මාණය කර ඇති දෙව්ලොව හා අපාය ද මම පිළි නොගන්නෙමි. දෙව්ලොව යෑම සඳහා පනවා ඇති කොන්දේසි මගේ සිත තුළ ඇති කරන්නේ උත්ප්‍රාසයකි. ඒවා මට පෙනෙන්නේ ඇති තරම් සිනා විය හැකි විහිළු ලෙස ය.

ආගම් උත්කර්ෂයට නංවනු පිණිස ඒවා වටා නිර්මාණය කර ඇති සුරංගනා කතා අසන මට නැගෙන්නේ මඳහසකි. කුඩා දරුවෙකුගේ නිර්මාණයක් දකින විට ඇති වන හැගීමට කිට්ටු හැගීමකි.

තමන්ගේ ශාස්තෘවරුන්ගේ ගුණ ගයන්නට ගොස් ඔවුන්ගේ පතුරු ගලවන ජාතක කතා කාරයා ගැන මට ඇත්තේ අනුකම්පාවකි. වෙස්සන්තර රජුගේ දානමය ප්‍රතිපදාව දක්වන්නට ගොස්, හෙතෙම අසරණ දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන තාත්තා කෙනෙකු ලෙස පෙන්නා දීමෙන්, ජාතක කතා කරුවා වැටී ඇති දුක්ඛිත ස්වභාවය එවැනි එක් අවස්ථාවකි. මූසිලගේ නුගුණ පෙන්නන්නට ගොස් ගුත්තිලගේ නුගුණ එලි දැක්වීම සම්බන්ධයෙන් ද මට ඇති වන්නේ සමාන හැගීමකි.

බයිබලයේ එන දින හතකින් දෙවියන් මැවූවා යැයි කියන සම්පූර්ණ ලෝකය ගැන ද සර්පයාගේ කීම අසා ආදම් හා ඒව ඇපල් කෑමේ ශෝක ජනක කතාව ගැන ද ඇතිවන්නේ සමාන හැගීම් ය.

බොහෝ ආගමික ආයතන වලින් දිරිගන්වන අන්‍යයන්ට වෛර කිරීමේ මතවාදය මට අරහං ය. ආගම ප්‍රචාරය කිරීමේ මෙවලමක් ලෙස හෝ එය රැක ගැනීමේ මෙවලමක් ලෙස ත්‍රස්ත ක්‍රියා හෝ ආයුධ භාවිතය එය කුමන ආගමකින් කරන්නේ ද යන්න ගැන තැකීමකින් තොරව ම මට පිළිකුල් ය. ඇතැම් ආගමික නායකයන් විසින් ඒ සඳහා ඉඩ සළසා ගනු පිණිස මුල් ආගමේ ඉගැන්වීම් වෙනස් කර ඉදිරිපත් කරන විට ද ආගම් ගැන මට දැනෙන්නේ අපුලකි.

එතෙකුදු ඒ එකක් වත් මේ ශාස්තෘන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතික්ෂේප කරන්නට හෝ ඔවුන්ගේ යහපත් අදහස් ප්‍රතික්ෂේප කිරීමට මට හේතු නොවෙයි.

දැන් මා ඔබගෙන් අසන්නේ මා කවරෙක් ද යන්න ය. ඔබ කැමති මට කුමන ලේබලය ඇලවීමට ද යන්න ය.

සීමා මායිම් ඇති කොට ඒ සීමාව තුළ කෙනෙකු රැඳවීමට උත්සහ කරන මිනිසුන් ඉන් අපේක්ෂා කරන්නේ කුමක් ද? ලේබලයක් අලවා මා නිරාගමිකයෙකුගේ භූමි ප්‍රදේශය තුළ රැඳවීමට ඇතැම් අය තැත් කරන්නේ මන් ද? හැම දෙයකම යහපත පිළිගන්නා අතර ඒවා තුළ ඇති බොරුව ප්‍රතික්ෂේප කරන මට ලේබලයක් අලවන්නට හදන්නේ ඇයි ද?

මට නම් මේ ලේබල් යනු එකම විහිළුවකි. මා අපේක්ෂා කරන්නේ ලේබල් නැති ලෝකයකි. ඕනෑ ම දෙයකට අන්ධ ලෙස පක්ෂපාතී වන්නේ නැතිව හැම දෙයක් දෙසම විචාරශීලීව බලන්නට හැකි ලෝකයකි. හැම දෙයකම ඇති යහපත් දෙයින් ප්‍රයෝජනයක් ලබන්නට හැකි ලෝකයකි.

ලේබල් අවශ්‍ය ඇලෙන්නට හා ගැටෙන්නට ඕනෑ අයට ය. උන් හා අප ලෙස බෙදා වෙන්කරන්නට කැමති අයට ය. අළු පාටට තිබෙන ලෝකය කළු හා සුදු ලෙස දකින්නට කැමති අයට ය. සුදනන් ලෙස පෙනී සිටින්නට කැමති දුදනන්නට ය.

ඇලීම හෝ ගැටීම අහෝසි වන්නේ ලේබල් වලින් වෙන්වීම තුළ ය. සතර අගතියෙන් පමණක් නොව සියලු අගතීන්ගෙන් ඈත් වීම තුළ ය. නිවනට සැනසුමට මග එය ය.

දැන් නැවතත් මම ඔබෙන් ප්‍රශ්න කරමි. මා නිරාගමික ද? බෞද්ධ ද?

ඔබ බෞද්ධ ද අබෞද්ධ ද? නැතිනම් ක්‍රිස්තියානි ද? මුස්ලිම් ද?

මාත් ඔබත් අතර ඇති වැට ව්‍යාජයක් නොවන්නේ ද? ඒ නිසාම ඔය ලේබල් ද ප්‍රලාපයක් ම නොවන්නේ ද?

ලේබල් අමතක කොට බැලිය හැකි නම් ලෝකය කෙතරම් සොඳුරුව පෙනෙනු ඇත් ද?

ඇස් නොපෙනෙ කෙනෙකුට කනවැලක් අවශ්‍ය ය. ඇස් පෙනෙන කෙනකුත් එසේ කනවැල අල්ලන්නට වූ විට සිදු වන්නේ අභාග්‍යයක් ම ය. අප ලෝකය තුළ එකිනෙකාගේ බෙල්ල මිරිකාගෙන යටපත් කරන්නට හදන ආගමික ව්‍යාපාර තුළ දකින්නේ ඒ අභාග්‍ය ය. කුණුහරුප කියා ගෙන රෙදි උස්සාගෙන ආගම් ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන නොමිනිසුන් තුළ දකින්නේත් ඒ අභාග්‍ය ය.

ආගම් ශාස්තෘන්වරුන් ලෝකයට කීවේ ලෝකය සුන්දර කර ගැනීමට, දුකෙන් තොර කර ගැනීමට, කළ යුතු දේ තමන් දන්නා පමණට ය. ඒවා තෝරා බේරාගෙන අදට වඩාත් ගැලපෙන දේ පමණක් ක්‍රියාත්මක කර සෙසු ඒවා ප්‍රතික්ෂේප නොකොට, සියල්ල දේවභාෂිතයක් සේ සළකා, වෙනස් කළ නොහැකි කිසියම් අපූර්ව වදන් වැලක් ලෙස සළකා, වන්දනා මාන කිරීම ගැන දොස් නැගිය යුත්තේ ඒ ශාස්තෘන්වරුන් අන්ධව අදහන මෝඩ මිනිසුන්ට මිසක ඒ ශාස්තෘවරුන්ට නොවේ.

මම සියල්ල විචාරයට ලක් කරමි. ඒ නිසා මම ආගමික නොවෙමි. ඇතැම් ශාස්තෘ වහන්සේ කෙනෙකු කියන ලද දෙයක අරුත ද දකිමි. ඒ අනුව ජීවත් වීමට ද වෙර දරමි. ඒ නිසා මම නිරාගාමික යැයි ද කිව නොහැකි ය. ඒ මම ය. මගේ හැටි ය. ඉතින් දැන් ඔබට අවශ්‍ය නම් මට ලේබලයක් ඇලවිය හැකි ය. අවසාන වශයෙන් එකක් පමණක් කියමි. ඔබේ එම ක්‍රියාව මට අදාළ නැති බව ය. ඒ කිසිදු ලේබලයක් මා බාර නොගන්නා බව ය.

නැත. තව එකක් මා කිව යුතු ය. මම සියල්ල දත්තෙක් නොවෙමි. මගේ අදහස් පිළිබඳ මට දැඩි මතයක් නැත. ඒවා විවරණය කරනු ලැබීමට විවෘත ය. විවේචනයට විවෘත ය. වෙනස් කරනු ලැබීමට විවෘත ය.

එහෙත් ඒ තර්ජනයෙන් නොවේ. කුණුහරුප අසන්නට සැලැස්වීමෙන් නොවේ. බිය ජනිත කිරීමෙන් නොවේ. නිර්මල තර්කයේ හා විචාරයේ මෙහෙයවීමෙනි.

ලෝකය සම්බන්ධයෙන් මා ශිෂ්‍යයෙකු පමණ ය. එය අදට පමණක් නොව හෙටට ද අදාළ ය.

මා ලෝකයට ආදරය කරන්නේ එය කියවා තේරුම් ගැනීම අමාරු නිසා ය. එය ගවේෂණය කර අවසන් කරන්නට බැරි නිසා ය. සත්‍යය මුළු මණින් අල්ලා ගැනීමට අපට කිසිදා නොහැකි නිසා ය. අපට කරන්නට හැක්කේ වඩ වඩා සත්‍යයට ආසන්න වීමට පමණකි. ඒ ගමනේ අප විසින් සත්‍යය යැයි විශ්වාස කළ බොහෝ දේ අත්හැරීමට සිදු වනු ඇත්තේ ය. නව පියවරක් ගැනීම සඳහා පය කලින් තිබූ තැනින් ඉවත් කරන්නට සිදු වන්නේ ය. අලුතෙන් වතුර පුරවා ගැනීම සඳහා පැරණි වතුර විසි කර දැමිය යුතු වන්නේ ය. ඉගෙනීමත් ඒ ඉගෙනීම අත්හැරීමත් නව දේ ඉගෙනීමත් වශයෙන් යන මාවතක අප ඒ සඳහා ගමන් කළ යුතු වන්නේ ය. මට සදාකාලික ශිෂ්‍යයෙකු විය හැක්කේ ඒ නිසා ය. මා සදාකාලික ශිෂ්‍යයෙකු විය යුත්තේ ද ඒ නිසා ය.

තාගෝර් තුමාගේ සංකල්පනාවකට අනුව මහගමසේකරයන් විසින් රචිත ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ හඩින් ගැයෙන මේ ගීය මේ අදහස කැටි කොට දක්වන නිසා ම එයින් මේ ලිපිය අවසන් කරමි.

පටු අදහස් නම් පවුරින් ලෝකය, කැබලි වලට නොබෙදී.. ඥාණය නිවහල් වී..

බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ..

එහෙවු නිදහසේ ස්වර්ග රාජ්යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ..

 

සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ..

ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා

නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ

එහෙවු නිදහසේ ස්වර්ග රාජ්යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ..

 

පසු නොබසින වීරිය පිරිපුන් බව, දෙසට දෑත විදහා..

සදා දියුනු වන සිතිවිලි උදෙසා, කම් කටයුතු උදෙසා..

ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ..

එහෙවු නිදහසේ ස්වර්ග රාජ්යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ..

 

මට මෙන්ම ඔබට ද ඔබේ අභ්‍යන්තරය දෙස, විමසුමෙන් බැලිය හැකි ය. ඔබ කවරෙක් ද? ලේබල් ඉවත් කර ගත් නිදහස් මිනිසෙක් මට මෙන් ම ඔබට ද හමුවීමට ඉඩ තිබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s