ජාතික ආරක්ෂාව සහ සෙසු ආරක්ෂාව

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/12/02/4444_02122019_FSS_CMY.jpg

ජනාධිපතිවරණයේ දී මතු වූ වැදගත් ම කාරණය ආරක්ෂාව ය. නිශ්චිතව කිවතොත් ජාතික ආරක්ෂාව ය. යුද්ධය අවසන් නිසා සාමයේ නිදහස විඳිමින් උන් ජනතාව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අවදි කරන ලද්දේ ය. ත්‍රස්තවාදය හා අන්තවාදය පහර දෙන්නේ හදිසියේ ය. අප නොසිතන, නොපතන, නිමේෂයක ය. අප සූදානම් නැති තැනක ය. සූදානම් නැති අවස්ථාවක ය. පාස්කු ඉරිදා සිද්ධිය ඒ බව මොනවට කියා සිටියේ ය.

දවස් තුන්සිය හැට හතරක් අතිශය සුපරීක්ෂාවෙන් සිටිය ද එසේ නොසිටින එක් දිනක් තිබීම ත්‍රස්තවාදීන්ට හොඳට ම සෑහෙන්නේ ය. අප පාස්කු ඉරිදා අත් වින්දේ ඒ යථාර්ථය ය. ඇමරිකාව සැප්තැම්බර් 11 දිනක අත් වින්දේ ද ත්‍රස්තවාදයේ ප්‍රහාරයට ලක් වූ වෙනත් බොහෝ රටවල් විවිධ අවස්ථාවල අත් විඳ ඇත්තේ ද ඒ යථාර්ථය ය.

එවැනි සිද්ධියක් විසින් අප තුළ ඇති කරන කම්පනය බලවත් ය. ඒ එක්වර සිය ගණන් මැරෙන නිසා ය. අංගවිකලත්වයට පත් වන නිසා ය. අප වියරුවට පත් කරන්නට සමත් වන්නේ මේ අංක ගණිතය ය.

එහෙත් මිනිසුන් මරණයට පත් කරන, ඔවුන් අංග විකත්වයට පත් කරන, ඊටත් වඩා දරුණු දෛනික සිදු වීමක් තිබේ. ඒ රථවාහන අනතුරු ය. ඒත් අපට ත්‍රස්ත ප්‍රහාරයක් තරම් එ්වායින් කම්පනයක් ඇති කරන්නේ නැත. ඒ නිසා ම එවැන්නක් වැළැක්වීමට අපට ඇති උනන්දුව අල්ප ය.

මරුවා සමග වාසය

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් දෙසිය පනහක් පමණ මරණයට පත් වුනු බව ඇත්ත ය. එහෙත් වසරකට රිය අනතුරු නිසා මරණයට පත් වන ගණන තුන්දහසකට ආසන්න ය. ඒ කියන්නේ එය පාස්කු ඉරිදා විපතට පත් වූ ප්‍රමාණය මෙන් දොලොස් ගුණයක් වෙන බව ය. එසේ කී විට එයට බරක් එකතු වන නමුත්, එය දවසකට ගණන් හැදූ විට අටක් පමණ වෙන නිසා, ඒ කම්පනය නැවතත් බාල වන්නේ ය. මේ අංක ගණිත සෙල්ලම නිසා අපි අවධාරණය ලැබිය යුතු දේට නිසි අවධාරණය දෙන්නේ නැත.

මේ රිය අනතුරු වලින් මරණයට පත් වන්නේ ද අහිංසක මිනිසුන් ය. වරදක් නොකළ කුඩා දරුවන් ය. දරුවන් විසින් මග එන තුරු බලා සිටින දෙමාපියන් ය. කොටින් ම නැති වන්නේ මිනිස් ජීවිත ය. ආරක්ෂාව ලැබිය යුතු මිනිස් ජීවිත ය.

ඒවා හදිසි අනතුරු ගොඩට තල්ලු කර දමා අපට අත පිස දා ගත හැකි ද? මේ මිනිස් ඝාතකයන් ත්‍රස්තවාදීන් තරම් ම භයානක ය. ඔවුන් ත්‍රස්තවාදීන් තරම් ම මිනිස් ජීවිත පිළිබඳ අසංවේදී ය.

මේ ත්‍රස්තවාදීන් අල්ලා දඩුවම්  කිරීමේ වගකීම ඇත්තේ රථවාහන පොලීසියට ය. එහෙත් දඩ කොළ ලියන ප්‍රමාණයට සැබෑ අපරාධ කරුවන් අසු වන්නේ නැත. හේතුව අරමුණ දඩ කොල වැඩියෙන් ලිවීම හා ඒ හරහා හොද්ද බොර කර ගැනීම මිසක, රථවාහන අනතුරු අවම කිරීම නොවන බැවිනි. ඒවා අතර එහෙමට සම්බන්ධයක් නැති බැවිනි. යම් පාරක නිශ්චිත ස්ථානයක සැගවී සිට අල්ලා ගත හැක්කේ එතරම් බරපතල නොවන වැරදි කරන මිනිසුන් පමණ ය. එවිට දඩ කොළ ප්‍රමාණවත් ගණනක් ලියා පොත් සම්පූර්ණ කළ හැකි ය. වෘත්තීය රියැදුරන් ඒ ස්ථාන දන්නා නිසා, ඔවුන් ඒ තැන් වල විනයානුකූලව හැසිරෙමින්, සෙසු ස්ථානවල මාරක ධාවනයක යෙදෙති. ඒ නිසා සැබෑ මරුවන් අසුවන්නේ නැත.

ඇතැම් හදිසි අනතුරු වලට හේතුව මාර්ගයේ නොවැසූ වලවල් හෝ අගල් තිබීම විය හැකි ය. ඒවා පිළිබඳ අනතුරු අඟවන සංඥා ප්‍රමාණවත් ලෙස නොතිබීම විය හැකි ය. ඒවා සම්බන්ධයෙන් කතාව නම් දන්නො දනිති, නොදන්නො වැටෙති යන්න ය. ඒවාට හේතුව මාර්ග සංවර්ධනය කරන ආයතන තමන්ගේ වගකීම් ඉටු නොකිරීම ය. හිතාමතා මිනිසුන් නොමැරුව ද මරා දැමීම සම්බන්ධ වගකීමෙන් ඔවුන්ට නිදහස් විය නොහැකි ය.

බොහෝ රටවල මෙවැනි අනතුරුදායක අගල් කාණු හෝ වෙනත් එවැනි අටමගලයන් පවත්වා ගෙන යෑමට නීතියෙන් අවසර නැත. ඒ සම්බන්ධ බලධාරීන්ට දැඩි දඩුවම් ලැබෙන්නේ ය. එය මහජන දේපලවල පමණක් නොව පුද්ගලික දේපල වලට ද අදාළ ය. එවැනි අගලක් හෝ කාණුවක් පිළිසකර කරන තුරු පැහැදිලිව ප්‍රදර්ශනය වන දැන්වීම් මගින් යන එන්නන්ට අනතුරු ඇඟවීම හෝ කළ යුතු ය. එවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකීම හේතු කොට ගෙන කිසිවෙකුට හෝ තුවාලයක් සිදු වුව හොත් විශාල වන්දියක් ද අමතර වශයෙන් ගෙවීමට අදාළ වගකිව යුත්තන්ට සිදු වන්නේ ය.

මෙය සිවිල් වැසියන්ගේ පඹණක් නොව හොරුන්ගේ පවා අයිතියක් ලෙස බොහෝ රටවල සැළකෙන්නේ ය. ඒ නිසා ම අනතුරු අඟවන ශබ්ද ක්‍රමයක් ගෙදරක සවි කරන්නේ නම් ඒ බව දන්වන දැන්වීමක් පහසුවෙන් දැකිය හැකි තැනක ප්‍රදර්ශනය කළ යුතු ය. කිසියම් නිවැසි හිමියෙක් එවැන්නක් ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් හොරෙකු කලබල වී අනතුරකට පත්වුවහොත් ගෙහිමියාට විරුද්ධව නඩු ගොස් වන්දි ලබා ගැනීමට හොරාට හැකි බව කියනු මා අසා ඇත.

ඩෙංගු හා පරිසරය

ඩෙංගු රෝගයෙන් මැරෙන සංඛ්‍යාව ද විශාල ය. එය වසරකට දෙසිය ඉක්මවන අවස්ථා බොහෝ ය. ඒ ගණන පාස්කු ඉරිදා මිය ගිය සංඛ්‍යාවට ආසන්න ය.

මෙහි වරද පැටවෙන්නේ කුණු කසල විධිමත් ව බැහැර නොකරන්නන්ට ය. අගල් කාණු සුද්ධ නොකරන්නන්ට ය. ඊට අප වැනි සාමාන්‍ය මිනිසුන් ද අදාළ ආයතන ද වගකිව යුතු ය. එහෙත් කිසිවෙක් එහෙම වගකියන බවක් පෙනෙන්නට නැත. පරිසර පොලීසිය පසු ගිය දිනක වෙරළ ආශ්‍රිත පවිත්‍ර කිරීමක යෙදුණු බව ආරංචි විය.

අවස්ථා ගණනාවක සංචාරකයන් විසින් වෙරළේ කුණු එකතු කරනු දකින්නට ලැබුනේ ය. ඒ එකකින් වත් කුණ දමන අය සැලෙන්නේ නැත.

වෙරලක පමණක් නොව, සුන්දර ඕනෑම ස්ථානයක් අසුන්දර කිරීමට, ඒවායේ සුන්දරත්වය විඳිනු පිණිස යන මිනිසුන්ට ඇත්තේ නොතිත් ආසාවකි. ඔවුන් එවන් තැනකින් නික්මෙන්නේ නැවත නොඑන්නට සපථ කර වෙන්නට ඇතැයි, කරන වැඩ දකින විට, කෙනෙකුට සිතේ. බෝතලයක් භාවිතා කළොත් එය කුඩු කර දමන්නේ කාගේ හෝ කකුලක ඇනේවායි ප්‍රාර්ථනයක් සමග විය හැකි ය. ඒ තරමට බෝතල් කුඩු කර සඟවා තබන්නට ඔවුන් දක්ෂ ය. ඇතැම් අය තමන් යන තැනක දෙවියන්ට පඩුරක් බැඳ ආරක්ෂාව ඉල්ලන්නේ, ඇතැම් විට තමන්ම ඇටවූ එවන් උගුලක, තමන් වැටීමට ඉඩ ඇති බව දැන විය යුතු ය.

අප රටේ වැඩි ම කැලි කසල එකතුවන්නේ පූජා භූමීන් ආශ්‍රිතව ය. මහත් භක්තියෙන් ඒවා වැඳ පුදාගන්න උපාසක උපසිකාවෝ කිසිදු හිරිකිතයක් නැතිව කුණු මග දමා පැමිණෙති. ඒ පන්සිල් පද පහට කුණු දැමීමෙන් වළකිමි කියා පදයක් නැති නිසා විය හැකි ය. අප යන තැනක ආපසු කෙනෙකුට යෑමට බැරි වන තත්වයකට පත් කරන්නට ඇති මේ උණ පහසුවෙන් සුව කළ නොහැකි ය.

බෝවෙන රෝගයන්ගෙන්  මැරෙන ප්‍රමාණයට වඩා බෝ නොවන රෝගයන්ගෙන් මැරෙන ප්‍රමාණය වැඩි ය. ශ්‍රී ලංකාවේ සිදු වන මරණ වලින් සියයට 75 කට හේතුව බෝ නොවන රෝග බව සොයා ගෙන ඇති අතර සාමාන්‍ය ආයු කාලයට ළඟා වීමට පෙර සිදු වන මරණ වලින් පහෙන් එකකට ද වගකිව යුත්තේ මේ බෝ නොවන රෝග බව ද වාර්ථාවේ. මේ පිටුපස තිබෙන හේතු අතර ප්‍රධාන හේතුව වී ඇත්තේ දියවැඩියාව, ස්ථුලභාවය හා අධික රුධිර පීඩනය ය. අපේ ආහාර පුරුදු හා ජීවන රටාවන් මේ තත්වයට බලපාන්නාවූ ප්‍රාථමික හේතු අතර ප්‍රධාන ය.

එහෙම බලන විට පෙනෙන්නේ කිසිදු පෙරමුණක අපේ ආරක්ෂාව නැති බව ය. අප මරණය සමග නොවටිනා සෙල්ලමක නිරතව ඉන්නා බව ය.

සුරක්ෂිතතාවයේ දිග හා පළල

අප ආහාර අතින් ද සුරක්ෂිත නැත. කන ප්‍රධාන ආහාරය නිපදවන්නේ ශ්‍රමය හා භූමිය හැරුණු කොට සියල්ල පිටරටින් ගෙන ය. බීජ, පොහොර, මැහිතෙල්, වල් නාශක, ට්‍රැක්ටර්, අස්වනු කපන යන්ත්‍ර, කොළ මඩින යන්ත්‍ර, ඒ සියල්ලට අවශ්‍ය ඉන්ධන ලිහිසි තෙල් යන එකී මෙකී නොකී සියල්ල මේ ලයිස්තුවට අයත් ය. නිපදවන වී හාල් කරන්නේ ද පිටරටින් ගෙනෙන යන්ත්‍රානුසාරයෙන් ය. ඒවා බෙදාහරින ලොරි ද ඒවායේ ඉන්ධන ද පිටරටින් ය. ඉතින් ආහාර අතින්වත් අප ආරක්ෂිත නැත.

අප ලොව බලවතුන්ගේ එකිනෙකා පරයා යුද්ධමය වශයෙන් නැගී සිටීමේ සැලසුමේ ගිරයට අසුවුන පුවක් ගෙඩියක් බඳු ය. කොයි වෙලේ කාගෙන් කැපේ දැයි නොදැන අපට අසරණව වෙසෙන්ට සිදු ව තිබේ. එක් පැත්තකින් චීනය ය. තව පැත්තකින් ඉන්දියාව ය. තව පැත්තකින් අමෙරිකාව ය. තව පැත්තකින් යුරෝපය ය. ඒ සියල්ලෝම අපේ දිවයිනේ පය ගැසීමට අයිතිය ඉල්ලා සිටිති. දේශපාලනිකව බැරි නම් ආර්ථිකමය වශයෙන් එය අත්පත් කර ගැනීමට මාන බලමින් සිටිති. ඒ සඳහා ගහන ගේම් වල නිමාවක් නැත. ඒ අතින් ද අපට ආරක්ෂාවක් නැත. ඒ කියන්නෙ දැනට මිනිස් ඝාතන සිදු නොවූව ද මේ ගහන ගේම් වලින් අනාගතයේ දවසක මේ රට යුද පිටියක් වන්නට පුළුවන් බව ය. අප ආර්ථික වශයෙන් දුර්වල තාක් මේ සියලු බලවේගයන්ට අපව හැසිරීමට හැකි වනු ඇත. ඔවුන් විවිධ දිසා ඔස්සේ ඇති කරන පීඩනයන්ගෙන් අප හතර අතට ඇදී යනු ඇත. නන්නත්තාර වනු ඇත.

ආර්ථික වශයෙන් ද අප ආරක්ෂිත නැත. අපේ ණය අහස උසට ය. ඒ බොහෝ ණය මුදල් වලින් මෙතෙක් අප කර ඇත්තේ ආදායමක් නොඑන සුදු අලියන්ගේ ආයෝජනයන් කිරීම ය. නැතිනම් එදිනෙදා ජිවිත්වීමට අවශ්‍ය දේ වෙනුවෙන් ඒ ණය ලෝස් නැතිව වියදම් කිරීම ය. ඕනෑම රටක් තමන් උපයන දේට වඩා ණය ගන්නේ නම් ද ඒ ණය නිසි ආයෝජනයක නොයොදන්නේ නම් ද ඒ වෙනුවට ඒවායින් කානිවල් දමා සතුටු වන්නේ නම් ද අවසානයේ  සිදු වන්නේ තියෙන සම්පත් ටික විකුණා ජීවත් වෙමින් අවසානයේ හිඟා කෑම තෝරා ගැනීමට ය.

අපේ ජනවහරේ එන්නේ මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ කතාවකි. එහෙත් අපේ සැබෑ කතාවේ මරණ තුනක් නොව මරණ දුසිම් දෙක තුනක් ඇති මිනිහෙක් පැණි කෑ බව ලියැවෙමින් තිබෙන්නේ ය.

ඒ නිසා අපේ නව ජනාධිපති තුමාට ඇත්තේ ජාතික ආරක්ෂාව සහතික කිරීමේ වගකීම පමණක් නොවේ. මේ සියළු අවදානම් වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වඩා පළල් වූ වගකීමකි. එය ජාතික ආරක්ෂාවට ලඝු කිරීමට බොහෝ අය ඉදිරිපත් වනු පෙනෙන්නට තිබේ. එය ද වැදගත් බව ඇත්ත ය. අන්තවාදීන් කොයි වෙලේ හිස ඔසවා ද යන්න ගැන සෝදිසියෙන් සිටිය යුතු බව කීවේ ද අන්තවාදීන් ය. ඒ පාස්කු ඉරිදා බෝම්බ ගසමින් ය.

එහෙත් අප පෙන්වා දුන් පරිදි එයට වඩා බරපතල අනාරක්ෂිත තත්වයන් ගණනාවක් ම තිබේ. ඒවා නිසා ඇති වන කම්පනය අන්තවාදයෙන් ඇතිවන කම්පනය තරම් ප්‍රබල නොවන නිසාම ඒවා මග හැරී යෑමේ භයානක අනතුරක් තිබේ. අප ඒ ගැන ද සංවේදී විය යුතු ය.

මේ අනාරක්ෂිත තත්වයට මුහුණ දීම රටට නායකයෙකුට තනිවම කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා මිනිසුන් පෙල ගැසිය යුතු ය. හරි හරියට වගකීම තමන් ද දැරිය යුතු ය.

තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින් බලා ගත යුතු යැයි කීවේ ද අපේ රටේ හිටි ජනාධිපතිවරයෙකි. ඒ තුළ වූයේ වගකීමෙන් නිදහස් වීමේ වුවමනාවටත් වඩා රටේ නායකයා හැටියට තමන් එකල පත්ව සිටි අසරණ බවේ ප්‍රකාශනයක් බව අපට හැඟෙන්නේ ය. වත්මන් ජනපති තුමා ඒ වෙනුවට එය තමන්ගේ වගකීමක් බව ඍජුව ප්‍රකාශ කර තිබෙන්නේ ය. එහෙත් අපට ද වගකීමක් තිබේ. ඒ සඳහා අපේ මට්ටමෙන් අවශ්‍ය සහය හා දායකත්වය ලබා දීම ය.

සතුරා ඇත්තේ අප තුළම ය

බොහෝ දෙනෙකු හිතන්නට කැමති අපේ ආරක්ෂාව සඳහා කළ යුතු වන්නේ සතුරු බලවේග පැරදවීම බව ය. එහෙත් ඇත්තට ම අපේ ආරක්ෂාව සඳහා වඩාත් කළ යුතු වන්නේ අප තුළ පවතින අපේ ම වැරදි කල් ක්‍රියා සිතුවිලි පරාජය කිරීම ය. අනුන් ආණ්ඩු මට්ටු කිරීමට කැමති බොහෝ දෙනෙකුට තමන් තුළ ස්වයං විනයක් හදා ගැනීමට එයින් අරික්කාලක උනන්දුවක් නැති වීම අපේ රටේ පවතින අභාග්‍යය ය.

සතුරු වේශයෙන් එන සතුරා පහසුවෙන් හඳුනා ගත හැකි ය. එහෙත් මිතුරු වේශයෙන් එන සතුරා හඳුනා ගැනීම දුෂ්කර ය. අනෙත් කඳවුරේ ඉන්නා සතුරා හඳුනා ගැනීම පහසු ය. එහෙත් තමන්ගේ කඳවුර තුළ සිටින සතුරා හඳුනාගැනීම අමාරු ය. අප කළ යුතුව තිබෙන්නේ ඒ අමාරු සටන ජය ගැනීම ය.

බොහෝ දෙනෙකු නොදන්නා හෝ අමතක කරන කාරණය නම් සතුරා හදන්නේ අප විසින් ම බව ය. තනි අතකින් අත්පුඩි ගැසිය නොහැකි බව දන්නා අය මේ ගැන හොඳින් දන්නෝ ය. එක් පාර්ශවයක අන්තවාදය ගොඩ නැගෙන්නේ ප්‍රතිපක්ෂයේ අන්තවාදයෙන් අපමණ අනුබල ලබමින් ය.

ඒ අර්ථයෙන් ගත් කළ බොදුබල සේනාව හා රාවණා බලය විසුරුවා හැරීමට ගත් තීරණ නිවැරදි ය. ඒ සඳහා අවවාද අනුශාසනා කළේ කවුරුන්දැයි අප හරියට නොදන්නේ වුව ද ඒ අවවාද අනුශාසනා නම් හරියට හරි ය. පාරවල් කීපයක දෙමල නාම පුවරු ඉවත් කිරීමට කළ කටයුත්තට වහාම මැදිහත් වීම ද ඊට සමාන්තරව සිදු වීම සාධනීය ලකුණු ය. අපට පහසු අප තුළ ඇති අන්තවාදය පැරදවීම ය. ඒ සඳහා දරණ මහන්සිය අපතේ යන්නේ නැත. අනෙත් පස අන්තවාදය මැඩීමට ද එයින් සුජාතභාවයක් ලැබෙන නිසා ය.

අප එකතු වුනොත් ගොඩ ය. එකිනෙකාගේ බොටු මිරිකාගෙන මියෙන්නට හැදුනොත් අප සාමූහිකව වලේ ය. එක මවකගේ දරු කැල කියමින් ජාතික ගීය සිංහලෙන් ගායනා කර මදි ය. දෙමළෙන් ද එය ගැයිය යුතු ය. එසේ ගයා ද මදි ය. එය මහපොළොව තුළ යථාර්ථයක් කිරීමට වෙර ද දැරිය යුතු ය. කණ්ඩායම් කීපයක් ඇති තැනක එක කණ්ඩායමක ආරක්ෂාව රඳා පවතින්නේ ම සියල්ලන් රැකෙන පසුබිමක පමණ ය.

එකිනෙකා අතර අවිශ්වාසය හා සැකය ගොඩ නැගීම පහසු ය. විශේෂයෙන් එවැනි අතීතයක් තිබීම නිසා එය මේ රටේ වඩාත් පහසු ය. අමාරු විශ්වාසය හා බලාපොරොත්තුව ගොඩ නැගීම ය. සමහරු හිතන්නේ දිගින් දිගට සැක කරමින් අවිශ්වාස කරමින් හැම දෙයක ම ඇද හොයමින් සිටියොත් තමන් රැකෙන බව ය. එහෙත් ලෝකයේ බොහෝ රටවල් ඔප්පු කර ඇත්තේ විශ්වාසය හා බලාපොරොත්තු ඇති කිරීම මගින් සියලු දෙනාගේ රැකවරණය සැලසිය හැකි බව ය. සියල්ලන් රැකිය හැකි බව ය.

ඒ විශ්වාසය හා බලාපොරොත්තුව ඇති කිරීමේ වැඩි වගකීම තිබෙන්නේ පුරවැසියන් හැටියට අපට ය. විශේෂයෙන් බහුතර සිංහල බෞද්ධයන්ට ය. ඒ වගකීම ඔවුන් විසින් ඉටු කරන්නේ නම් සෙසු ජන කොටස් ද ඔවුන් සමග අත්වැල් බැඳ ගන්නට ඉදිරිපත් වනු ඇත. එදාට ආරක්ෂාවට තුවක්කු හෝ යුද්ධ ටැංකි අවශ්‍ය වන එකක් නැත.