මට සිහිනයක් තිබේ

මේ රටේ ජනතාව තමන් සතුව ඇති ආගම්, කුල, වර්ග, ජාතිවලට අයත් ලේබල් සියල්ල ගලවා දමා, ශ්‍රී ලාංකිකයන් ලෙස, එකතුව වැඩ කරන දිනයක් පිළිබඳ සිහිනයක් මට තිබේ. ජාතික ගීය ගයද්දී අප දැන් උජාරුවෙන් කියන පරිද්දෙන්, ඒ සෑම දෙන එක මවකගේ දරු කැලක් ලෙස කටයුතු කරන දවසක් පිළිබඳ සිහිනයක් මට තිිබේ. ඔවුන් සෑම දෙන, ගුණ නැණ යන ලක්ෂණයන්ගෙන් පමණක්, සෙසු මිනිසුන් විසින් අගැයුමට ලක් කරන්නාවූ රටක් පිළිබඳව සිහිනයක් මට තිබේ.

ඒ රට තුළ එකිනෙකා කා කොටා ගන්නා, එකිනෙකාගේ දියුණුව නොරිස්සන, මිනිසුන් නැත. ලේ හලා ගැනීම් පමණක් නොව වෛරී ප්‍රකාශන ද නැත. වාර්ගික ගැටුම් ද නැත. කලකෝලාහල නැත. දේපල විනාශ කිරීම් නැත. මිනිස් ජීවිත බිලිගැනීම් නැත. දිග්ගැස්සුණු යුද්ධ නැත.

තවමත් මතකයේ තිබෙන පැරණි ලේබල් වලට අනුව, තමන්ගේ යැයි කියන වර්ගයාට, කළ අකටයුතුකම් ගැන පමණක් නොව, රටේ ඕනෑම මිනිහෙකුට එරෙහිව කරන අකටයුතුකම් ගැන ද නොබිය ව එරෙහි වීමට මිනිසුන් ඉදිරිපත් වන නිසා ම හැම කෙනෙකුම සුරක්ෂිත ය. එසේ ඉදිරිපත් වන අය දේශද්‍රෝහියෙකු හෝ අවජාතකයෙකු වෙන්නේ නැත.

මිනිසුන් සැමරීමට උත්සුක වනු ඇත්තේ අනෙකා පරාජය කළ අවස්ථා නොවේ. සියල්ලන් ජයගත් අවස්ථා ය. සාමය තවත් කාලයකට නැවත නොබිඳිය හැකි ලෙස තහවුරු වූ අවස්ථාවන් ය. ආදරය හා සහෝදරත්වය ය.

යුද්ධය යන වචනය පවා ඔවුන්ට ගෙනෙන්නේ අපුලකි. තමන්ට ඒ ව්‍යාසනය වළක්වා ගත නොහැකි වූයේ යන්න පිළිබඳ පසුතැවිල්ලකි. දෝෂාරෝපනයකි.

කඳුල හැළුනේ කාගෙන් ද ලේ හැළුනේ කා‌ගේ ද අහිමි කරනු ලැබූයේ කාගේ කවුරුන් ද යන්න නොතකා සෑම ව්‍යාසනයකට ම මිනිසුන් සංවේදී  වනු ඇත. ඒ කඳුළු හා ලේ තමන්ගේම ලෙස සළකන්නට තරමට ම සංවේදී වනු ඇත. දේපල අහිමි වූයේ කාගේ ද දිවි තොර වූයේ කාගේ ද දුෂණයට ලක් වූයේ කවුරුන්ද අතුරුදහන් වී ඇත්තේ කවුරුන්ද යන්න නොසළකා මිනිසුන් ඒ සියල්ලන් පිළිබඳ කම්පාවට පත් වනු ඇත.

ඒ නිසා ම යුද්ධ කළකෝලාහල වලින් තොර රටක් බිහිවීම පිළිබඳ සිහිනයක් මට තිබේ.

ජාතිවාදය නැත

මිනිසුන්ගේ අනාරක්ෂිත භාවය උපයෝගී කර ගෙන බලය ලබා ගැනීමට ද බලය තහවුරු කර ගැනීමට ද වෙර දරන අවස්ථාවාදී නායකයන් එහි බහුල නැත. එසේ උත්සහ කරන්නන් සිටින විට වුව ද ජනතාව උන්ට මුලා වන්නේ නැත. ජාතිවාදය ආගම් වාදය අවුස්සා මිනිසුන් කුළල් කා ගැනීමට සලස්වා ඒ හරහා තමන්ගේ ගැලවීම හොයන දේශපාලනඥයන් ද එහි නැති තරම් ය. මිනිසුන්ට උද්වේගකර ප්‍රවෘත්ති විකුණමින්, එක දෙක කරමින්, මිනිස්සුන්ව එකිනෙකාට විරුද්ධව අවුස්සන්නට අවස්ථාවක් එන තුරු බලා ඉන්නා මාධ්‍ය ආයතන ද මාධ්‍ය වේදීන් ද එහි නැත. එකිනෙකා කෙරෙහි වෛරය ඇති කරමින් තමන්ගේ නොවන මිනිසුන් සමූලඝාතනය කළ යුතු යැයි ද උන්ට අබසරණ පැතිය  යුතු යැයි ද සිතන ආගමික නායකයින් ද එහි නැත. තමන්ගේ ජාතියට ආගමට සැළකීම සියලු රාජකාරි වලට වඩා උතුම් දේවකාරියක් සේ සළකා තමන්ගේ රාජකාරිය පැහැර හරින හෝ වැරදි ලෙස රාජකාරී කරන ‌හෝ නිලධාරීන් එහි නැත.

තමන්ගේ මතය එකම මතය ලෙස, එය සෙසු අය විසින් පිළිගත යුතු මතය ලෙස, සළකන මිනිසුන් එහි නැත. තමන් හිතන පතන ආකාරයට සියල්ලන් ජීවත් විය යුතු යැයි හිතන මිනිසුන් එහි නැත. එසේ නොකරන මිනිසුන් ජීවත් නොවිය යුතු යැයි සිතන මිනිසුන් ද එහි නැත. එවැනි වෙනස් මිනිසුන් ඇති තැනක උන්ට කුණුහරුප කියා ගෙන ගේම ඉල්ලන මිනිසුන් ද නැත.

කෙනෙකු තව කෙනෙකුට වඩා වෙනස් විය හැකි බව, කෙනෙකුගේ වුවමනා එපාකම් තව කෙනෙකුට වඩා හාත්පසින් ම වෙනස් විය හැකි බව, පිළිගන්නා මිනිසුන්ගෙන්, ඒ වෙනසට ගරු කරන මිනිසුන්ගෙන්, ඒ රට සමන්විත වනු ඇත.

ඒ රටේ සංවාදයට දොරගුළු විවෘත ය. තමන්ගේ මතය දිනවීමට වඩා මිනිසුන්ට අවශ්‍ය ඇත්ත සොයා ගැනීමට ය. තමන්ගේ අපේක්ෂකයා දිනවීමට වඩා මිනිසුන්ට අවශ්‍ය රට දිනවීමට ය. ඇත්ත දිනවීමට ය.

උත්පත්තිය, ජන්මය, පක්ෂ, පාට, ගුරුකුල, සේවා වෙනස්කම්, ගම් පළාත නොබලා සුදුස්සාට ම සුදුසු තැන හිමි වන දවසක් පිළිබඳ හීනයක් මට තිබේ.

ඒ හීනය තුළ උන්නතිකාමී, කැප වී වැඩ කරන, අනෙකාට සංවේදී, නිහතමානී මිනිසුන් උන් කුමන පසුබිමකින් පැමිණිය ද ඉදිරියට යනු ඇත. අලස, කම්මැලි, ස්වාර්ථය පමණක් බලන, අධිමානයෙන් පෙළෙන, මිනිසුන් කුමන ජන කොටසකට අයත් වුව ද කුමන පක්ෂයකින් පැමිණිය ද පසු පසට තල්ලු වී අවසානයේ ඔවුන්ට ද යහගුණයෙන් පිරෙන්නට බල කෙරෙනු ඇත.

වෙනත් රටවල මෙන් සොක්කන් ලෙස සළකනු ලබන අයට අංශක අනූවට නැමී ලොක්කන් යයි සිතා සිටින උදවියට වඳින්නට වන්නේ නැත. ගෞරවය දෙපැත්තටම ය. එකෙක් අනෙකාට වඩා ලොකු නැත.

එකිනෙකාට උදව් කර ගත්තාට, කාගෙන්වත් යැපෙන්නට, මා දකින සිහින දේශයේ මිනිසුන් කැමති නැත. යාචකයන් යදින්නන් එහි නැත. මිනිසුන් හැමට ආත්මාභිමානයක් තිබේ. ඔවුන් කැමති සෙසු මිනිසුන්ට සමානයන් ලෙස සළකන්නට ය. සමානයන් ලෙස තමන්ට සළකනු ලැබීමට ය.

ගෞරව කළ යුතු අයට ගෞරවය පිරිනැමීමට කිසිවෙකු පැකිලෙන්නේ නැත.  ගෞරව කරනු ලබන්නේ මිනිසාට මිස තනතුරට නොවේ. සුපේක්ෂශීලී භික්ෂුවට මිස සිවුරට නොවේ. සැබෑ පියෙකුට මිස නාමික පියෙකුට නොවේ.

එහි බලය ඇති අය උත්සහ කරන්නේ එය භාවිතයෙන් තමන් බැබලීමට නොවේ. තනතුර බැබලවීමට ය. සෙසු මිනිසුන් බලාත්මක කරන්නට ය. තනතුරු විසින් නිර්මාණය කරනු ලබන්නේ වරප්‍රසාද ලබා ගැනීමේ මාවත් නොවේ. තනතුරට ගැට ගැසුණු වරප්‍රසාද එහි අවම ය.  විවෘත වන්නේ කැපවීමේ අවස්ථාවන් ය. නව දේ නිපැයිමේ අවස්ථාවන් ය. යහපත් වෙනස් කම් ඇති කිරීමේ අවස්ථාවන් ය.

බලය ඇති මිනිසුන් පරිවාර රථ පිරිවරාගෙන අපව කාණු පල්ලට තල්ලු කර දමමින් මහ පාරේ ඉගිල්ලෙන්නේ නැත. මට තිබෙන සිහිනයේ ඔවුන් ගමන් කරන්නේ අප සමග හරි හරියට බස් රථවල හා කෝච්චි වල ය. මිනිසුන් සමග උරෙන් උර ගැටෙමින් ය.

බලය ඇති තැනැත්තන්ගෙන් ද බලය අපේක්ෂා කරන තැනැත්තන්ගෙන් ද ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට ඒ හීනය තුළ ඉඩ තිබෙන්නේ ය. ප්‍රශ්න ඇසූ තැනැත්තාට ඒ ගැන පසුතැවීමක් හෝ බියක් නැතිව ඊට පසුව ද, සුවසේ ජීවත් විය හැකි ය. ,

ඒ සිහිනයේ බලය ඇති අය උත්සහ කරන්නේ ඒ බලය යොදා ගනිමින් පොඩි මිනිහා තලා පෙලා ඔහුගේ විනය පමණක් ඇති කිරීමට නොවේ. බලය හොබවන අය ද ඇතුළුව සියල්ලන් නීතියේ ආධිප්‍යයට අනුව කටයුතු කරන ලෙස වග බලා ගැනීමට ය. බලය අවභාවිතා කිරීම වැළැක්වීමට ය. තමන්ට පැවරුණු බලය වගකීමකින් යුතුව භාවිතා කිරීමට ය.

මා දකින සිහිනයේ නීතිය තිබෙන්නේ පොඩි මිනිහා හිර කර දැමීමට නොවේ. ඔහුට තාඩන පීඩන කිරීමට නොවේ. හැම වර්ගයකම අපරාධ හා දූෂණ නතර කිරීමට ය. මුදල් හා නිලබලය තිබෙන අයට රිංගා යෑමට හිල් ඒ නීතියේ නැත. නීතිය ක්‍රියාත්මක කරවන ආයතන වල ද නැත.

නීතිය සැමට එක ය. නීතිය නවන්නටවත්, කඩන්නටවත්, මවන්නටවත් ඒ සිහින දේශයේ බැරි ය. වැරදිකරු කුමන කණ්ඩායමකට අයත් වුව ද ඔහුට ඇයට දඩුවම් හිමි ය. එය බුදුන් විස්තර කළ පරිදි ගැල බැඳි ගොනා පිටුපස කරත්ත රෝදය එනවා වගේ ම සහතික ය.

බොහෝ කටයුතු කෙරෙන්නේ විනිවිදභාවයෙන් ය. ජනතාව ඉල්ලීමට ද පෙර තොරතුරු ලබා දෙනු ලබන්නේ ය. බදු මුදල් වැය කරන්නේ ජනතාවගේ වුවමනා එපාකම් වලට ය.

අතීතය කබල් ගාමින් ඒ ගැන පාරම්බාමින් හිස් ජීවිත ගතකරන මිනිසුන් මගේ සිහිනයේ නැත. හිතෙන් මවා ගත් රාවණා බලයක් ගැන හෝ වෙන කොහේවත් නොතිබූ දෙයක්, ලංකාවේ තිබුණේ යැයි, ඔප්පු කරන්නට හෝ උනන්දුවක් ඔවුන්ට නැත.

අතීතය ඔවුන්ට පාඩම් ඉගෙන ගත හැකි පුස්තකයකි. වැඩබිමකි. ආත්ම විශ්වාසය ගොඩ නගා ගත හැකි තෝතැන්නකි. ඔවුන්ගේ වැඩි අවධානය ඇත්තේ ඔවුන් එක්ව ගොඩ නගන්නට යන අනාගතය ගැන ය. කතා බහ කරන්නේ එහි හැඩ තල ගැන ය. නව තාක්ෂණය හා නව නිපැයුම් මිනිසාගේත් රටේත් උන්නතිය සඳහා භාවිතා කළ හැක්කේ කෙසේ ද යන්න ගැන ය. රටේ සම්පත් සඵලව හා කාර්යක්ෂම භාවිතා කළ හැකි පර්යේෂණයන් ගැන ය.  රටේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය නව දැනුම සම්පාදනය කිරීම ගැන ය.

උපාධි සහතික නිකුත් කරන මධ්‍යස්ථාන වල සිට දැනුම නිපදවන ආයතන දක්වා සරසවි පරිවර්ථනය වී ඇති රටක් පිළිබඳව මම සිහිනයක් දකිමි. අධ්‍යාපනය වනපොත් කිරීමකට එහා ගිය සංවාදය හරහා සත්‍යය ගවේෂණයට මග පාදන ක්ෂේත්‍රයක් වන හීනයක් මට තිබේ.

පුංචි දරුවන් ශාරීරික වද හිංසනයට ලක් නොකරන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. කාන්තාවට පිරිමින්ට ඇති සියලු වරප්‍රසාද පිරනමන රටක් පිළිබඳව, ගෘහස්ථ හිංසනයෙන් තොර රටක් පිළිබඳව, හීනයක් මට තිබේ. වමත් කරුවන්ට දකුණත් කරුවන්ට මෙන් ද සමලිංගිකයන්ට විෂම ලිංගිකයන්ට මෙන් ද එකසේ සළකන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. නවකයන්ට ද ජේෂ්ඨයින්ට සේම නිදහස හිමි සරසවි සහිත රටක් පිළිබඳ හීනයක් මට තිබේ.

ගැලවුම් කරුවන් සොයමින් මිනිසුන් එහෙ මෙහෙ රස්තියාදු වන රටක් වෙනුවට තමන්ගේ ගැලවුම තමන් විසින් ම සොයා ගැනීමට වෙහෙසන රටක් දකිනු මම රිසියෙමි.

ආගම, අසරණ මිනිසුන් ගසා කෑමට, මුලා කිරිමට හා අයාලේ යැවීමට නොව, ඔවුන්ගේ ජීවිත  එලිය කර ගැනීමට යොදා ගන්නා පූජකවරයන් සහිත රටක් දකින සිහිනයක් මට තිබේ. කුමන ආගම ඉහළ ද සත්‍යය ද යන්න සොයන අනුගාමිකයන් වෙනුවට සියලු ආගම් වල සත්‍යය ද අසත්‍යය ද වෙන් කොට දැකිය හැකි විචාරශීලී අනුගාමිකයන් සහිත රටක් දකිනු මම රිසියෙමි.

ආගම අධ්‍යාපනයෙන් ද රජයෙන් ද වෙන් කොට, එය ඊට උරුම තැන තබන, දේශයක් පිළිබඳ සිහිනයක් මට තිබේ. ආගමේ නාමයෙන් පුංචි දරුවන් ද කාන්තාවන් ද හිරිහැරයට ලක් නොවන අනාගතයක් පිළිබඳ සිහිනයක් මට තිබේ. මවගේ තුරුළේ සිටිය යුතු දරුවන් මහණ කරන්නට හෝ නාකි මනමාලයෙකුට කර කාර බන්දා දෙන්නට අවසරයක් එහි නැත. කාන්තාවන්ට වද හිංසා සිදු කරන ආගමික අණ පනත් ආඥා එහි ක්‍රියාත්මක නැත. ගෑණු දරුවන් ඔවුන්ගේ කිසිදු අවසරයකින් තොරව, ඔවුන් හය හතර නොදන්නා කාලයේ, සුන්නත් කිරීම් වැනි අපරාධකාරී ආගමික චාරිත්‍ර ද එහි සිදු වන්නේ නැත.

මිථ්‍යාවෙන් තොරයි

හැම මගඩි කාරයෙකුම වරින් වර ගෙනෙන ශාන්තිකර්මයන්ට, ආශීර්වාද පූජාවන්ට, “මැජික්” සන්දර්ශනයන්ට, යන්ත්‍රමන්ත්‍ර, හක්ගෙඩි හා වාලම්පූරි වලට, මුලා වී තමන්ගේ ජීවිත අවුල් කර නොගන්නා ජනතාවක් සහිත රටක් දැකීමට මට වුවමනා ය.

අහසේ තියෙන ග්‍රහලෝක කීපයක් විසින් අපේ අනාගතයම තීරණය කරන බව විශ්වාස කරමින් ජීවිත අවුල් කරගන්නා මිනිසුන් නැති රටක් දැකීමට මට වුවමනා ය. දේවාල, කෝවිල්, පල්ලි ගානේ රස්තියාදු වෙමින් ජීවිත කාලකන්නි කර නොගන්නා මිනිසුන් සහිත රටක් දකින්නට මට වුවමනා ය. තමන් අද කරන දෙයින් තමන්ගේ හෙට දවස තීරණය වන බව දැන, අද දවස හදා ගැනීමට උත්සහ කරන මිනිසුන් දකින්නට මට වුවමනා ය.

පැරණි යල්පැන ගිය වටිනාකමක් නැති සම්ප්‍රදායන් අත් හැරීමට සමත් ජනතාවක් දකින සිහිනයක් මට තිබේ. නව අදහස් වලට බිය වී තැති නොගන්නා, ඒවායේ අදාළත්වය දැන, භාවිතයට ගැනීමට සූදානම්, ජනතාවක් පිළිබඳ සිහිනයක් මට තිබේ.

හැම අලුත් දෙයක් දෙසම වපර ඇසින් හා බියෙන් බලන, හැම බාහිර මැදිහත් වීමකම කුමන්ත්‍රණයක් ඇතැයි සැක කරන, මිනිසුන් ඒ සිහිනයේ නැත. ඒ වෙනුවට හැම දෙයක් දෙසම විචාරශීලිත්වයෙන් බලන, සාධනීය හා නිශේධනීය පැති දෙකම අඳුනා ගන්නා, මිනිස්සු ඒ හීනයේ වෙසෙන්නෝ ය.

රටට අවශ්‍ය අල්පෙනෙත්ති ඇතුළු බොහෝ දේ මෙහිම නිපදවා ගත යුතු යැයි මොර ගාන අමන ආර්ථික විද්‍යාඥයන් වෙනුවට අපට වඩාත් ඵලදායී ලෙස මෙහි නිපදවිය හැකි, ලොව තුළ වැඩි ඉල්ලුමක් ඇති, ලොවට විකිණිය හැකි, දේ නිපදවීම ගැන කතා කරන විද්‍යාර්ථිහු එ් සිහිනයේ සිටිති. ඔවුන්ට රට සෛවරී රාජ්‍යයක් ලෙස ගොඩ නැංවීමේ යථාර්ථයක් කර ගත නොහැකි යෝජනා නැත. ඔවුන් ලෝකයේ රටවල් අතර ඇති අන්තර් පැවැත්ම පිලිගන්නා ගෝලීය ආර්ථිකයක මිසක ස්වාධීන ආර්ථිකයක පැවැත්මක් නැතැයි අවබෝධ කර ගත් අය ය. පාඩු ලබන රජයේ ව්‍යාපාරය බදු මුදලින් දිගින් දිගට නඩත්තු කළ යුතු යැයි ඔවුන් කියන්නේ නැත. ඒවා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කර වීම සඳහා පුද්ගලික අංශයට විකුණා දැමිය යුතු යැයි කියන්නට ඔවුන් පසුබාන්නේ ද නැත. ආර්ථික විද්‍යාවට අනුව මිස, රටේ ජනප්‍රිය මතයට අනුව ආර්ථිකය මෙහෙයවීමට ඔවුන් උපදෙස් දෙන්නේ නැත. ඔවුන්ගේ බොරු දේශප්‍රේමයක් නැත. ඔවුන්ට බොරුවට තමන් මහජනතාවගේ පැත්තේ යැයි පෙන්නමින් ලකුණු ලබා ගැනීමට උනන්දුවක් නැත. ඒ නිසා ම ඔවුන්ගේ උපදෙස් රටට වඩාත් හිතකර වන්නේ ය. එහෙයින් ම අපට ලෝකය සමග ඉදිරියට යෑමේ ඉඩ ඒ සිහිනයේ විවර වනු ඇත. වැඩි ව්‍යාපාරික අවස්ථාවන්, අධ්‍යාපනික අවස්ථාවන් පමණක් නොව රැකියා අවස්ථාවන් ද ඒ හරහා විවර වනු ඇත.

නායකත්වය තමන්ටම

ඒ නිසා ම කන්ටේනර් වල ද බෝට්ටු වල ද නැගී දිවි පරදුවට තබා ගෙන රට පනින්නට දරණ තරුණ-තරුණියන් තවදුරටත් එහි නොසිටිනු ඇත. මත්ද්‍රව්‍ය ජවාරම් වලට හසුව හිරේ ලගින, ජීවිත කාලකන්නි කර ගන්නා, තරුණ තරුණියන් විශාල ගණනින් අපට මුණ නොගැසෙනු ඇත. ගණිකා වෘත්තියේ යෙදීමට බල කරනු ලැබ ජීවිතය අපායක් කර ගත් තරුණ තරුණියන් ද දස දහස් ගණනින් තවදුරටත් දකින්නට නොහැකි වනු ඇත. පාතාලයේ පිහිට පතන, ඒ තුළින් සිය ජීවිතයේ විමුක්තිය හොයන, අය ගණනින් ක්‍රම ක්‍රමයෙන් අඩුව යනු ඇත.

මේ මා දකින සිහිනය තවත් බොහෝ අය විසින් දකිනු ඇතැයි යන අමතර සිහිනයක් ද මට තිබේ. එය මහ පොළොව තුළ යථාර්ථයක් කර ගනු රිසියෙන් වැඩ කරන්නට ඉදිරිපත් වන මිනිසුන් සිය දහස් ගණනින් දැකීමේ සිහිනයක් ද මට තිබේ. උන් නායකයින් සොයනු වෙනුවට තමන් නායකත්වය දෙන්නට ඉදිරිපත් වනු මම ඒ සිහිනයේ දකිමි. තමන්ගේ පඩි පත අනෙකාගේ පඩි පතට වඩා වැඩි කර ගැනීමට උද්ඝෝෂණය කරන මිනිසුන් නොව, තම පටු සේවා අවශ්‍යතා ඉදිරියට දමා පාරවල් වසා ගන්නා මිනිසුන් නොව, රටේ පොදු යහපතට අවශ්‍ය වෙනස් කම් සඳහා උද්ඝෝෂණය කරන්නට ඉදිරිපත් වන මිනිසුන් විසින් ඒ දේශය ගොඩ නගනවා ඇත. අකටයුත්තක් දුටු විට, එය සිදු වූයේ කාට ද යන්න නොබලා, ඒ ගැන මැදිහත් වීමට ඉදිරිපත් වන මිනිසුන් විසින් ඒ දේශය ගොඩ නගනවා ඇත.

ඒ මිනිසුන්, පවතින විපක්ෂයේ දේශපාලන බල අවශ්‍යතා වෙනුවෙන් නැටවෙන, රූකඩ නොවේ. ඒ මිනිසුන්, සෙසු මිනිසුන්ට විශාලම කරදරය සිදු වන අයුරින්, උද්ඝෝෂණයේ නිරත වන්නට උත්සහ කරන මිනිසුන් ද නොවේ. ඒ වෙනුවට රටේ පොදු අවශ්‍යතා වෙනුවෙන් සෙසු මිනිසුන් ද දිනා ගැනීමට නව ක්‍රම සොයන මිනිසුන් ය. එවැනි මැදිහත් වීම් මත ගොඩ නැගෙන දේශයක් පිළිබඳ සිහිනයක් මට තිබේ.

දීපන කොලමේ පල වූ ලිපි ගණනාවකින් මේ සිහිනය මම ඔබ සමග බෙදා ගෙන ඇත්තෙමි. එයින් ලිපි ගණනාවක් එක් කර අපේ සිහින දේශය නමින් පොතක් ද පල කර ඇත්තෙමි. දිනමිණ වෙබ් අඩවියට අමතරව “වචන සෙල්ලම්” යන මගේ බ්ලොග් අඩවියේ ද “යුක්තිය” වෙබ් අඩවියේ ද මේ ලිපි පල වී ඇත. ඒ සියල්ල මේ සිහිනය බෙදා ගැනීම උදෙසා ය. මේ සිහිනය ඔබ විසින් ද සෙසු මිනිසුන් සමග බෙදා ගනු ඇතැයි මම උදක් ම විශ්වාස කරමි. ඇතැම් විට, මා දීපන කොළමට ලියන අවසාන ලිපිය ද මෙය විය හැකි ය. එසේ වන්නේ නම්, මා මෙන්ම මේ සිහිනය දකින බොහෝ දෙනෙකු මේ රටේ ජීවත්වන බව දැන, මට දැන් ඔබෙන් සමුගත හැකි ය.