සිතු දේ නොම වී නොසිතු දේ සිදු වීම

“පාලම පසුවන තුරු දකුණු පැත්ත බලන්න එපා“ යනුවෙන් සඳහන් පුවරුවක් කෙනෙකු යන මග හමුවේ. ඔහුගේ ප්‍රතිචාරය වනු ඇත්තේ අනෙත් පැත්ත බලා ගෙන යෑම ද? නැත. ඔහු කරනු ඇත්තේ පාලම පසුවන තුරුම දකුණු පැත්තම බලා ගෙන යෑම ය. නොකරන්නට කී දේ කිරීම ය. එය එතැනින් යන, එම දැන්වීම දකින, සියයට සීයයක් නොවෙතොත්, සීයයට අනූ නමයක් ම, ඔහු අනුගමනය කරනු ඇත. එ් එම දැන්වීම කුතුහලය ඇවිස්සීමේ, අවධානය දිනා ගැනීමේ, නොවරදින මග වීම නිසා ය. නොබැලිය යුතු යැයි කියන්නේ කුමන හේතුවක් නිසා දැයි දැන ගැනීමට නොතිත් ආසාවක් ඇති වන නිසා ය. ඒ නිසා ම ඒ පැත්තම බලන නිසා ය.

අප මේ කතාව කීවේ ශක්තික කුමාර නම් අප නොදැන සිටි කුඩා චරිතයක් අතිශය යෝධ මිනිසෙකු බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තුළ ද අප මේ සංසිද්ධිය දුටු නිසා ය.

ශක්තික කුමාර ලීවේ කෙටි කතාවකි. එය අවසානයේ දිග කතාවක් වී නැවතුණේ ය.

හේතුව වූයේ සිදුහත් කුමරු හා යශෝධරා කුමරිය අතර සම්බන්ධයට, එම කෙටි කතාවේ එක් චරිතයක් විසින්, අප දැන සිටි අර්ථ කථනයට වඩා වෙනත් අර්ථ කථනයක් සපයන පරිද්දෙන්, එය ලියූ නිසා ය.

මේ දැක කිපුණු ස්වාමීන්වහන්සේලා හා ගිහියන් පිරිසක් පොලීසියේ ද ආධාරය ඇතිව ලේඛකයා අත්අඩංගුවට ගත්තෝ ය. එතැනින් නොනැවතී උසාවියට ඉදිරිපත් කොට ඇප නොදී රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට වග බලා ගත්තෝ ය. එතැනිනුත් නොනැවතී උසාවියට ඉදිරිපත් කරන දින වල උද්ඝෝෂණ පවත්වමින් මාධ්‍යකරුවන්ට රේටින් වැඩි කර ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍යය ද අඩුවක් නැතිව සපයා දුන්නෝ ය. මාධ්‍ය විසින් ද මේ ලේඛකයා දංගෙඩියට යවමින් රේට් වැඩි කර ගැනීමේ ව්‍යාපෘතියට අත ගැසුවේ ය.

අවසාන ප්‍රතිඵලය කුමක් ද? ශක්තික කුමාර නම් බොහෝ දෙනෙකු නම වත් අසා නැති පුද්ගලයෙකු අදීන ලේඛකයෙකු ලෙස ජන ගත වීම ය. ශ්‍රී ලංකාව තුළ සාහිත්‍ය නිර්මාණයක් කිරීම අරබයා බන්ධනාගාර ගත වූ ප්‍රථම හා එකම පුද්ගලයා බවට පත්වීමෙන් ශක්තික කුමාර වාර්ථාවක් පිහිටුවීම ය. ඒ හරහා ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වීම ය. පොලීසියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ප්‍රශ්න ඇති වීම ය. වෘත්තීයභාවය පිළිබඳ ගැටළු මතු වීම ය. ඒ සියල්ලටත් වඩා කීප දෙනෙකු පමණක් කියවා අමතක කර දමන්නට නියමිත වූ කථාවකට තටු ලැබීම ය.

සිදු වූයේ අපේක්ෂා නොකළ දෙයම ය. නොසිතූ දේ ම ය.

අපේක්ෂා කළේ දඩුවම් දීම වුව ද ලැබී තිබෙන්නේ කීර්තියකි. අපේක්ෂා කළේ සිදුහත් කුමරු හා යශෝධරා පිළිබඳ නව කතාව ජනප්‍රිය කරවීම නොවූව ද සිදු ව ඇත්තේ ද එය ම ය.

එපමණක් නොවේ. ඒ හරහා තව තවත් අතීතයේ ප්‍රශ්නයක් නොවූ සාහිත්‍ය කෘති ද අළු ගසා ප්‍රශ්නයන්  මතු කරමින් එලියට පැමිණියේ ය. ඒ මේ උද්ඝෝෂණය හරහා විවර වූ ඉඩහසර භාවිතයෙන් ය.

එක් සති අන්ත පුවත්පතක් මේ සිද්ධිය ගැන සඳහන් නොකර එහෙත් එයට ඇති අදාළත්වය හැඟී යන පරිද්දෙන් පැරණි ගීතයක් එලියට ගත්තේ ය. ඒ වසන්ත සන්දනායක විසින් ගායනා කරනු ලැබූ “නොකියාම එදා ඇසල මහේ සඳ ඇති පායා“ යන ගීතය ය. ඒ ගීතය සම්බන්ධයෙන් කුතුහලයක් ඇති කර ඔබව අතරමං නොකරනු පිණිස එය සම්පූර්ණයෙන් නැවත මෙහි දක්වා ඇත.

නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ

මේ මාළිගයේ
මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ

පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා
සංසාර සැපේ කලකිරුණලු ඇත්තද ඒක
සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක

ගලවාල දමා
ගලවාල දමා කණකර අබරණ හැම දාක
වැලපේවි යසෝදරා සොහොන් පිටියකි මේක

නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න

 

මේ ගීතය අසන අයට යශෝධරා කුමරිය ගැන අනුකම්පාවක් ඇති වනු නියත ය. කෙනෙකු තවත් ගැඹුරට හිතන්නේ නම් ඒ අනුකම්පාවට සමගාමී ව ඇතිවන්නේ සිදුහත් කුමරු පිළිබඳව නෝක්කාඩුවක් බව පෙනෙනු ඇත. එය මෙතෙක් මේ ගීතය ඇසූ අපට මග හැරන බව මගේ මතය ය. දැන් මේ නව සන්දර්භය තුළ මේ ගීතය නැවත මතු කරන විට පෙනෙන්නේ අපට කලින් පහළ නොවූ සැක සංකා මේ හරහා පහළ කරවීමට මේ මැදිහත් වීම මගින් අවකාශයක් සළසා ඇති බව ය.

ශක්තික කුමාර සංසිද්ධිය හරහා මෙසේ කරලියට පැමිණි තව ගීතයක් වූයේ “නව දැලි හේනක පෑව වැඳිරි රුව“ යන ගීතය ය. අප කලින් සඳහන් කළ ගීය එල්ල වුනේ සිදුහත් කුමරුට ය. බුදුන් ගිහි කල චරිතයට ය. ඒත් මේ ගීය බුදුන් වහන්සේට ම ය.

මේ ගීයෙන් නන්ද කුමරු බුදුන්ට වඩා ඉහලින් තැබෙන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. ඒ බව හඟිස්සන්නට මේ ගීතය මුළුමණින් ම නොදක්වා බැරි ය.

නව දැලි හේනක පෑව වැඳිරි රුව

ලෙස උවමින් දෙනුවන් රවටා

මා පෙම් කළ ජනපද කල්‍යාණිට

හිමියනි මට කළ නොහැක නිගා

 

සුරඟන රූ සිරු දුටිමි හැඳින්නෙමි

සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා

මා හඳුනන මගෙ හද ගත් කලනිය

මට නුදුරුයි සුරඹුනට වඩා

 

මා සිත සුවපත් කරලනු නොහැකිය

සෝ ලතැවුල් දෙයි රැයද දිවා

නෙත දුටු සුරඟන රූ සිරු කුමට ද

හද දුටු ජනපද කලන නිසා

 

මේ ගීය ද නව පනක් ලැබ වේදිකාවට කැන්දා ගෙන ඒමට පමණක් නොව ඒ දෙස වෙනදා නොදුටු දෘෂ්ඨියකින් බැලීමට ද අවස්ථාවක් මේ ශක්තික කුමාර සංසිද්ධිය හරහා විවර වනු පෙනිණි. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ බව තරණය පිළිබඳව ද මේ සංවාදය ඔස්සේ නව උනන්දුවක් ඇති වනු ද මම දුටුවෙමි. මේ කිසිවක් මේ උද්ඝෝෂකයින් අපේක්ෂා කළ දේ නොවේ. එහි ප්‍රතිපක්ෂයන් ය.

මේ තුළ සිදු වූයේ ධර්මය පිළිබඳව පණිවුඩය යටපත් වී චරිතය සම්බන්ධ කුකුස් ඇති වීම ය. බෞද්ධ ධර්මය වෙනුවට බෞද්ධ සාහිත්‍යය සංවාද තලයට පිවිසීම ය.

මීට සමාන දෙයක් පසු ගිය දවසක දහම් පාසල් සම්බන්ධයෙන් ද සිදු විය. ඒ ටියුෂන් පන්තියකට පැන, අශෝභන ලෙස හැසිරෙමින්, අසභ්‍ය ලෙස බැණ වදිමින්, භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් නැටූ ජවුසම නිසා ය. මේ ප්‍රතිචාරයට පාදක වූයේ දහම් පාසල් පවත්වන වෙලාවට ටියුෂන් පන්ති පැවැත්වීම ය. අඩි හප්පා කෑකෝ ගසා කියන ලද්දේ ළමුන් ටියුෂන් පන්තියට නොව දහම් පාසලට යා යුතු බව ය. යැවිය යුතු බව ය.

මේ සිද්ධිය දුටු බොහෝ අය කීවේ දහම් පාසල් වල දේශනා සිදු කරන්නේ මෙවැනි භික්ෂූන් නම් යන ළමුන්ට අබ සරණ බව ය. මෙහෙව් භික්ෂූන් ඉන්නා පන්සල් වල පවත්වන දහම් පාසල් වලට නම් ළමුන් නොයැවිය යුතු බව ය.

අපේක්ෂාව වූයේ දහම් පාසල්වලට ගෙන්වා ගැනීම ය. ප්‍රතිඵලය වූයේ ළමුන් නොඑවීමට සිතා ගැනීම ය. ඉන්නා ළමුන් ද අස් කර ගැනීමට දෙමාපියන් පෙළඹීම ය.

මේ බොහෝ දෙනෙකු හැසිරෙන්නේ මකස ජාතකයේ වඳුරා වගේ ය. රජුගේ ඇඟේ වසන මැස්සාගෙන් රජු බේරා ගැනීම සඳහා කඩුවෙන් මැස්සාට කොටන්නට ගොස් රජුට තුවාල කළ රජු මරා දැමූ වඳුරා වගේ ය.

බුද්ධාගමේ චිරස්ථිතිය පතා කරන්නේ යැයි කියන්නේ වුව ද මේ විසූක දස්සන වලින් අවසානයේ සිදුවන්නේ බුද්ධාගම තවදුරටත් අසරණ කිරීම ය. අර්බුදයට පත් කිරීම ය. ඒ නිසා ම, අතීතයේ අප නොදුටු, මේ අර්බුදයන් ඇති කරන විසූක දස්සන පහළ වන්නේ ඇයි ද යන්න අප විසින් සොයා බැලිය යුතු ය.

එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ අවට සිදු වන වෙනස් වීම් තේරුම් ගැනීමට භික්ෂූන් වහන්සේට හා ආගමික හැගීම් ඇති මිනිසුන්ට නොහැකි වීම ය. ඒ නිසා ම දක්නට ලැබෙන්නේ එයින් අවුලට පත් ව කරන, පමණ ඉක්මවන, ප්‍රතිචාරයන් ය.

අප අවට ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙන්නේ ය. වෙනදා අපට හමු නොවූ දේ අපට දෝතටම දැන් ලැබෙමින් පවතින්නේ ය. අතීතයේ බණක් ඇසීමට නම් අප පන්සලකට යා යුතු විය. නැතිනම් ස්වාමීන් වහන්සේ නමක් ගෙදර වඩම්මා ගත යුතු විය. දැන් එසේ නොවේ. රූප පෙට්ටිය විසින් ස්වාමීන් වහන්සේලා උදේ හවස ගෙදරට වඩම්මා දෙනු ලබන්නේ ය. ගුවන් විදුලිය පමණක් තිබුනු කාලයේ වත් නොතිබුනු පරිදි ධර්මය සඳහා ම වෙන්වුනු නාලිකා කීපයක් අපට තිබෙන්නේ ය. අන්තර්ජාලය භාවිතා කර ගෙන කැමති ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ බණක් ද අපට ඇසිය හැකි ය. ධර්ම පොත් පවා පරිහරණය කළ හැකි ය.

ඒ නිසා මිනිසුන්ට පන්සල් යෑමට එදා තරම් අවශ්‍යතාවයක් නැත. ධර්මය ඉගෙනීම සඳහා දහම් පාසල් යෑමට ද අවශ්‍ය නැත.

සුපර් මාර්කට් ඇති වන විට සිල්ලර කඩවල ඉල්ලුම පහළ ගියේ ය. ඊට සමාන දෙයක් අද පන්සලට ද සිදු ව තිබේ.

වඩා නිවැරදි හා වඩා හරවත් ධර්මයක්, වඩාත් ධර්මධර භික්ෂුවක් වෙතින්, ලබා ගත හැකි ව තිබිය දී අප සිල්ලර භික්ෂූන් පිටුපස යන්නේ කුමක් නිසා ද? මේ විසූක දස්සන පිටුපස ඇත්තේ මේ තත්වය නිසා සෙසු භික්ෂූන් තුළ ඇතිව තිබෙන අපේක්ෂා භංගත්වය ද? අහිමි වෙමින් යන ප්‍රතිරූපය වෙනත් අරුතකින් මතු කර ගැනීමට ඇති වුවමනාව ද? පෙනෙන්නේ මේ විසූක දස්සන වලින් වඩාත් විද්‍යාමාන වන්නේ මේ භික්ෂූන්ගේ හීන මානය බව ය. ඇතුළත ඇති හිස් බව ය.

බුද්ධාගම රැක ගැනීමට සිදු ව ඇත්තේ, බුද්ධාගම රැක ගන්නට ඉදිරිපත් වන අයගෙන් වීම, අද දවසේ අප මුහුණ දෙන ඛේදවාචකය ය.

මෙය බුද්ධාගමට පමණක් නොව සෙසු ආගම් වලට ද පොදු ය. අද වන විට මුස්ලිම් ආගම රැක ගැනීමට සිදු ව ඇත්තේ මුස්ලිම් ආගමේ ම අන්තවාදීන්ගෙනි. පාස්කු ඉරිදා එල්ල වූ අන්තවාදී ප්‍රහාරය අනතුරු අඟවා සිටියේ සෙසු ආගමිකයන්ට පමණක් නොවේ. එහි තර්ජනාත්මකම පණිවුඩය තිබුනේ මුස්ලිම් බැතිමතුන්ට ය. වඩාත් ම එම ප්‍රහාරයෙන් පසු අසරණ වූයේ ඔවුන් ය.

ලොව ආගම් සියල්ල අද වන විට සමාන අර්බුදයන්ට මුහුණ පා තිබේ. ඒවා රැක ගැනීම සඳහා මූලධර්මවාදී කණ්ඩායම් බිහි වීම එම අර්බුදයේ ම ප්‍රතිඵලයකි. ප්‍රශ්නයක් ව තිබෙන්නේ අර්බුදය සමනය කිරිමට නොව එය වඩාත් විශාල කිරීමට එම මැදිහත්වීම් හේතු වීම ය. අන්තවාදීන්ගේ මැදිහත් වීම නිසා සිදුව ඇත්තේ ආගම තවදුරටත් සාමයේ පණිවුඩයක් නොවීම ය. වෛරයේ ගිනිසිළුවක් බවට එය පත් වෙමින් තිබීම ය. මැරයන්ට මිසක සාමය පතන මිනිසුන්ට එය තවදුරටත් හව්හරණක් නොවිම ය.

මිනිසුන් පොදුවේ ආගමෙන් ඈත්වන ප්‍රවණතාවයක් ලොව බොහෝ රටවල දක්නට ලැබේ. විශේෂයෙන් දියුණු රටවල මෙය වඩාත් දක්නට ලැබේ. එයට එක් හේතුවක් වන්නේ පැරණි විශ්වාස එලෙසම පවත්වාගෙන යන්නට සම්ප්‍රදායික ආගමික ආයතන විසින් කටයුතු කරන නිසා ය. ආගමික සාහිත්‍ය, සාහිත්‍ය ලෙස නොව ඇදහිය යුතු ආගමික මූලධර්මයන් ලෙස ගන්නා නිසා ය. අද ඉපදුනු දරුවකු පය තබා ඇවිදින බව කියවෙන සාහිත්‍ය අදට ද රස කරමින් කියන නිසා ය. නිසි සංඝායනාවන් නොකරන නිසා ය. සන්දර්භය වෙනස් වූ විට කළ යුතු වෙනස් කම් ඔවුන් විසින් නොකරන නිසා ය.

උදාහරණයක් ලෙස කාන්තාව අරබයා ආගම්වල අස්ථානය යහපත් එකක් ලෙස හැඩ ගැසී තිබුනේ නැත. එයට එක් කලෙක කාන්තාව සතු සමාජ භූමිකා ද අඩු වැඩි වශයෙන් හේතුවන්නට ඇත. අද ඒ භූමිකා වෙනස්ව තිබෙන අතර එසේ තිබිය දී කාන්තාව හා සම්බන්ධ පැරණි වත් පිළිවෙත් දිව්‍ය වාක්‍ය ලෙස ගැනීමෙන් ආගම් තමන්ගේ ම පරිහානිය පාදා ගෙන ඇත. වත්මන සන්දර්භය හා නොගැලපෙන ආගම් සමග ගනුදෙනු කිරීමෙන් තමන්ගේ ජිවිත කැප කිරීමට සූදානම් මිනිසුන් සොයා ගැනීමට හැකි එක ම ක්‍රමය ඔවුන් සෙසු අයගෙන් හා සෙසු ක්ෂේත්‍රයන්ගෙන් වෙන්කොට ආගමට අන්තවාදී ලෙස ගැට ගැසීම ය. සහරාන් හා ඔහුගේ සගයින් ගත හැක්කේ එසේ ගැට ගැසූ මිනිසුන් ලෙස ය. මහමෙව්නාවේ මහණ වෙමින් දෙමාපියන්ට තමන් හමු නොවන ලෙස උපදෙස් දෙන්නේ ද එසේ ගැට ගැසුණු තරුණයන් ය.

එහෙත් එසේ සැවොම ගැට ගසා ගැනීමට බැරි ය. ඒ නිසා සිදු වන්නේ ආගමට අනුග්‍රාහකයින් අඩු වීම ය. ආගම් විහිළුවට ලක් වීම ය. මිනිසුන් ආගම වෙනුවට වෙනත් ආදේශක සොයා ගැනීම ය. පන්සල් වෙනුවට අසපු සොයා යෑම ය. භාවනා මධ්‍යස්ථාන කරා යෑම ය.

පන්සලෙන් පරිබාහිරව ඇති ව තිබෙන ආගමික ප්‍රබෝධයට හේතුව ද පන්සල් ගතානුගතිකත්වයෙන් මිදිමට අපොහොසත් විම ය. ධර්ම දේශනාවලට සවන් දෙනු වෙනුවට මිනිසුන් භාවනා වැඩසටහන් සොයා යන්නේ ඇයි දැයි විමසන්නේ නම් සිදුවන නැඹුරුව තේරුම් ගත හැකි වනු ඇත. මේ ඇතැම් භාවනා මධ්‍යස්ථාන වල ස්වාමීන් වහන්සේලාට වඩා ජනප්‍රියව ඇත්තේ ගිහියන් වීමේ රහස සොයා ගත යුතු ය.

ස්වාමීන් වහන්සේලා මේ තත්වය ඉදිරියේ පරල වන්නේ නැතිව මේ තත්වයට මුහුණ දිය යුතු වඩා යහපත් ම ආකාරය ගැන සංවාදයන් පැවැත්විය යුතු ය.

දෙමාපියන්ට මුදල් පිරිනමා දරුවන් මහණ කිරීමෙන් මේ තත්වයට උත්තර සපයා ගත නොහැකි ය. සල්ලිවලට මහණ වීම සුරඟනන් ලබා ගැනීම උදෙසනා මහණ වීම හා සමාන ය. එසේ මහණ වන අයගෙන් ශාසනය ගොඩ ගත නොහැකි ය. අවසානයේ සිදු වන්නේ සල්ලිත් වියදම් කර ගෙන ශාසනයත් විනාශ කර ගන්නට ය. ලබන ආත්මයේ ලැබෙන කන්‍යාවන් 72 ක් පෙන්වා ආගමේ නාමයෙන් මිනිසුන් බිලි දීම උදෙසා මුස්ලිම් තරුණයන් මෙහෙයවීමට එය ඇලපිල්ලක් නෑර සමාන ය.

ආණ්ඩුවට එල්ලී බලහත්කාරය භාවිතයෙන් ද මේ තත්වය වෙනස් කළ නොහැකි ය. මත්පැන් තහනම් කර පස්වෙනි සිල් පදය ක්‍රියාත්මක කරන්නට හිතුවොත් වෙන්නේ මිනිසුන්ට කසිප්පු පොවා, ඔවුන් එලොව යවා, පව් පුරවා ගන්නට ය.

ස්වාමීන් වහන්සේලා පාර්ලිමේන්තුවට රිංගුවේ ද ඒ හරහා ආණ්ඩුවට බලපෑම් කිරීමේ අපේක්ෂාවෙනි. බුදුන් අත්හැර ගිය රාෂ්ඨ පාලනය ස්වාමීන් වහන්සේලාට ගෝචර වූයේ අප මේ එළඹෙන්නේ අබුද්දස්ස කාලයට නිසාවෙන් විය හැකි ය.

අන්තිමේ එයින් ද වැඩක් වූයේ නැත. එසේ රිංගීමෙන් ඇති කරගන්නට හැදූ රිමෝට් කන්ට්‍රොල් ද අන්තිමේ වැඩ කළේ නැත. පළමු පන්සිල් පදය රකින්නේ නැති මිනිසුන්ට එය බලහත්කාරයෙන් රැක්කවීම සඳහා නීති පැනවීමට කළ උත්සහයන් ද අන්තිමට සිදු වුනේ අකුලා ගන්නට ය.

මේ සියල්ල අවසානයේ මෙහෙයවනු ඇත්තේ මිනිසුන්ට ආගම පමණක් නොව රට ද එපා වීමට ය. ප්‍රතිඵලය වෙනු ඇත්තේ නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් සොයා මිනිසුන් නැව් නැගීම ය. පිරිත් යකඩ කට හරහා කණට බලහත්කාරයෙන් එබීමට එරෙහිව කතා කරන මිනිසුන්ට පන්සල දෙන උත්තරය මේ රට බෞද්ධ රටක් බව ය. පිරිත් අහන්නට බැරිනම්, ඒ වෙනුවෙන් මහ රෑ පුරා නිදි වරන්නට අකමැති නම්, වෙන රටකට තොලොංචි වී යන ලෙස ය. මේ යන විදිහට එහෙම කියන්නට ද ඕනෑ නැත. කරන හැම දෙයකින් ම පාහේ කියමින් ඉන්නේ මක බෑ වෙයල්ලා කියා ය.

මේ තත්වය තේරුම් ගත් ස්වාමීන් වහන්සේලා කීප නමක් සිය කාලය කැප කරමින් වෙහෙස නොබලා බුදු දහමේ සැබෑ පණිවුඩය ජනතාවට ගෙන ඒමේ උත්සහයක යෙදෙති. එහෙත් වඩාත් දැඩිව නැගෙන ඝෝෂාව විසින් ඒ දහම් පණිවුඩ යටපත් කරමින් තිබේ.

සිවුරට බිය වන තාක් මේ ඝෝෂාව යටපත් කරන්නට බැරි ය. බිය විය යුත්තේ සිවුරට නොවේ. සිවුරට මුවා වී කරන අකටයුතු කම් වලට ය. ඒ තුළ මියෙන ධර්මයේ පණිවුඩයට ය. ශක්තික කුමාර අපට හිරේ යමින්, නව වාර්ථාවක් තබා, කියා දුන්නේ ඒ පාඩම විය හැකි ය.