සංචාරක සටහන් 2

https://i2.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/09/16/d01_16092019_FRR_CMY.jpg

අමුතු ද්වීපය තුළ බෞද්ධ විහාරස්ථාන බොහෝ ය. ඒවා සංචාරක ආකර්ෂණය දිනන තැන් ය. මනරම් චිත්‍රයෙන් විචිත්‍ර ය. මූර්ති ශිල්පීන්ගේ විශ්ම කර්ම වැඩ වලින් අනූන ය. ඒ නිසා ම මගේ සංචාරයේ දී එවන් ස්ථාන සොයා මම මේ ද්වීපය පීරුවෙමි.

ලංකාවේ පන්සල් අතිශය සන්සුන් පරිසරයකට හිමිකම් කීව ද මේ රටේ නම් එසේ වූයේ නැත. කලාවෙන් පරිපූර්ණ වුව ද සාමයෙන් නම් ඒවායේ ගන්න දෙයක් නැත. එක පන්සලකට අඩිය ගැසූ සැණින් ඇසුණු මරලතෝනියකින් මා පස්සට විසි කෙරුනේ ය.

බුදු අම්මෝ ගහන්න එපා යැයි යන කට හඩ කුඩා පිරිමි දරුවෙකුගේ ය. කටහඩ මිස සිදු වන දේ මා ඉන්නා තැනට පෙනුනේ නැත. කට හඩ ආ දෙසට මගේ පය ඉක්මන් කෙරුනේ වැඩි මනත් හිතා නොවේ.

දුටු දර්ශනයෙන් මම වික්ෂිප්ත වීමි. නැඩ පුරුෂයෙකු සිවුරු පැළඳි කුඩා දරුවෙකුට ගසමින් සිටියේ ය. ටික වෙලාවකින් ලඟ සිටි තවත් එවැනි සිවුරක් පැළඳි ළමයෙකුට ද පහර වැදුනේ ය.

සිවුරක් පැළඳ ගත්තාට මේ මහණ දම් පුරණ සාමනේර වහන්සේලා දෙනමක් නම් නොවිය හැකි ය. මට එසේ සිතුනේ බෞද්ධ රටක ගිහියෙක් ස්වාමීන්වහන්සේලාට පහර දෙන එකක් නැත යන සිතිවිල්ල නිසා ය. ඇතැම් විට ගමේ ළමුන් දෙන්නෙක් සෙල්ලමට සිවුරු දාගත්තා වෙන්නට ද පුළුවන. ඒ ගැන කේන්තියෙන් ගමේ වැඩිහිටියෙකු සිවුර සමග සෙල්ලම් නොකරන ලෙස කියා තරවටු කරනවා වෙන්නට පුළුවන. ගැහීම සාධාරණ නැතත් සිවුරු සමග සෙල්ලම් කිරීමට ළමෝ තීරණය කළේ නම් එය වස වැරැද්දකි. එහෙත් මේ තරම් අමානුෂිකව පහර ගැසීම, එවැනි වැරැද්දකට වුව, යුක්ති යුක්ත ද?

තවත් ලං වූ විට පෙනුනේ ළමුන් දෙන්නාගේ කොණ්ඩය තට්ටය හොඳින් පෑදෙන තුරු බූගා ඇති බව යි. එයින් පෙනී ගියේ මේ සාමනේර හාමුදුරු දෙනමක් ම විය හැකි බව ය.

අපේ රටේ නම් මෙතරම් කුඩා ළමුන් මහණ කරන්නේ නැත. එය වෙන එකක් තබා නීතියෙන් තහනම් කරමින් මෑතක දී පනතක් ද පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණ බවක් මට යන්තමින් මතක ය. ඒ බොහෝ කාලයක් තිස්සේ රට තුළ ළමා මහණ කිරීම් හා ළමා විවාහ ගැන ඇති වූ සංවාදයකින් පසුව ය. මේ රට්ටුන්ට ඒ ගැන කියා දිය යුතු ය. අපව අනුගමනය කරන ලෙස කියා සිටිය යුතු ය.

සසරින් එතෙර වීම

අපේ රටේ කලක් ප්‍රචලිතව පැවති මතයකට අනුව දරුවෙකු මහණ කරන්නේ නම් සතර වරිගයටම සසරින් එතෙර වීමට ම ඒ පින ඇති ය. ඒ හාම මට මතක් වුනේ සනත් නන්දසිරි ශූරින් ගයන ගීයකි.

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා
කොහොම ද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

දරුවෙකුගේ සුරතල් ලෝකය වැඩිහිටි මිනිසුන්ගේ ආගමික භක්තිය විසින් සුණු විසුණු කර දැමීමේ කටුකත්වය මේ ගීය මොනවට පැහැදිලි කරන්නේ ය. ලංකාවේ අප විසින් ඉවත් කර ඇති ඒ කටුකත්වය මේ අමුතු ද්වීපය තුළ මම පළමු මට්ටමෙන්ම අත් විඳිමින් සිටින්නෙමි.

අපේ රටේ දරුවන් යම් පමණකට නිදහස ලබා තිබුන ද මේ ද්වීපයේ දරුවන් තවමත් පන්සල් වල ගෙවන්නේ අපා දුකක් බව තේරුම් ගන්නට මේ සිද්ධියම ප්‍රමාණවත් ය. ගිහියන් අතින් පමණක් නොව ලොකු හාමුදුරුවන් අතින් ද ගුටි කන හා වෙනත් අතවරයන්ට ගොදුරු වන පුංචි සාමනේර වරුන් තවම මේ අමුතු ද්වීපයේ සිටින්නට පුළුවන.

කලින් දින මා දැක්කේ බුදුරුවට සමාන රුවක් සහිත සාරියක් ඇඳ සිටි ගැහැණියට දඩුවම් කරන්නට ඉදිරිපත් වුනු භික්ෂූන් වහන්සේ කෙනෙකි. මා අද දකින්නේ සාමනේර හාමුදුරුවන්ට කම්මුල් පහර දෙන ගිහියෙකි. දායක පින්වතෙකි. ගුටි ඇනීම හා කෑම දෙපැත්තට ම සිදු වෙන බවක් ඉන් පෙන්නුම් කෙරෙන්නේ ය.

අපේ යුගයේ මැදිහත් වීම

කුඩා සමනේර වරු බේරා ගන්නට මැදිහත් නොවී එහි සිටි එක් අයෙකු මේ සිද්ධිය වීඩියෝ කරනු දක්නට ලැබුනේ ය. ඒ නම් අප ජීවත් වන මේ කාලයේ හැටි ය. අපරාධ වළක්වන එක ගුටි කන වැඩකි. ඒවා රහසේ වීඩියෝ කිරීම ඒ පමණට අවදානම් නැත. අනෙත් අතට එසේ වීඩියෝ කිරීම ආතල් ය. පසුව මුහුණු පොතේ ආඩම්බරයෙන් බෙදා ගත හැකි ය. අන්තර්ජාලයට මුදා හැරිය හැකි ය.

මට මැදිහත් වීමට අවශ්‍ය වුව ද මගේ දෙපා පණ නැතිව තිබුනේ ය. අත් ගල්ව තිබුනේ ය. මට ශරීරය සෙලවිය නොහැකි විය.

මේ හිංසනය තවදුරටත් ඉවසා දරා ගත නුහුණු කෙනෙකු ඉදිරිපත් වී අපරාධ කරුවා ඉවත් කරගනු ලැබිණි.

“මුන් දෙන්න මගෙ කඩෙන් ටොෆි චොකලට් හොරකම් කරනව මං ඇස් දෙකට දැක්කා. මහ ලොකුවට මහණ වෙලා ඉන්නෙ. දැම්ම ම සිල්පද කඩනව නම් ලොකු වෙන කොට මොනව නොකරාවි ද? මුන්ව හදා ගන්න ලොකු හාමුදුරුවන්ට බැරි නම් අපිවත් හදන්න එපා යැ”. අමානුෂික ප්‍රහාරය කළ පුද්ගලයා සමාවට කාරණා ද කීවේ ය.

අපේ රටේ නම් හොරකමක් සිදු කළ විට මිනිසුන් හොරාට දඩුවම් කරන්නේ නැත. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලීසියක් සිටින නිසා අප කරන්නේ හොරා අල්ලා පොලීසියට බාර දීම ය. නීති ප්‍රකාරව නඩු අසා සාක්කි විමසා දඩුවම් කරන්නේ උසාවිය ය. අප වැනි ශිෂ්ඨ රටවල වැඩ සිද්ධ වෙන විදිහට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට මේ දූපත් වල වැඩ සිද්ධ වන බව පෙනෙන්නේ ය. හාමුදුරුවන් කලින් දවසේ බුදු රුවට සමාන රුවක් සහිත සාරියක් ඇඳ සිටි ගැහැණුන් දෙන්නා අල්ලා පොලීසියට දුන්නේ උන් ගැහැණුන් නිසා ය. පිරිමියෙකු නම් කීවේ එතැනම අල්ලා පොළොවේ ගසන බව ය. ඇතැම් විට මේ රටේ පොලීසිය හා නීතිය ඉන්නේ ගැහැණුන්ට දඩුවම් කිරීමට පමණක් වෙන්නට පුළුවන. රටවල් විවිධ ය. පිරිමින්ට දඩුවම් කරන්නට මිනිසුන් පෙළඹෙන්නේ පොලීසිය පිරිමින්ට දඩුවම් නොකරන නිසා විය හැකි ය.

කඩ කර ඇත්තේ දෙවැනි සිල්පදය ය. මේ සාමනේර හිමිවරු ද ලොකු හාමුදුරුවන් නැති ඇතැම් දවසක ගිහියන්ට  පන්සිල් දෙනවා වෙන්නට පුළුවන. මේ සිද්ධියෙන් පෙනෙන්නේ ඒ පන්සිල් වල තේරුම දැන ගෙන නම් නොවිය හැකි බව ය.

පන්සිල් ගන්න අය ඒ සිල්පද ආරක්ෂා කරන්නේ නැත. පන්සිල් දෙන ඇතැම් අය ද එසේ නොකරන බව දන්නේ පන්සලේ ම ඉන්නා පන්සිල් දෙන අය ම වන්නට පුළුවන. අවවාදයට වඩා ආදර්ශය ළමා මනසට ප්‍රබල සන්නිවේදනයක් ඇති කරන්නේ ය. සියල්ල ඒ අනුව සිදු වුනා වන්නට ද පුළුවන.

සේසතම දෙන්නට සූදානම් උවැසියන්ගෙන් ටොෆියක් ගත්තාට එහෙමට වැරැද්දක් නොවේ යැයි මේ සාමනේර හාමුදුරුවන් සිතුවා වන්නට ද පුළුවන. උපාසික උපාසිකාවන් දන් දෙන්නේ ලවක් දෙවක් නැතිව ය. එහෙම වටපිටාවක ටොෆියක් අනුන්ගේ දේපලක් ලෙස නොසළකන්නට ඉඩකුත් සාමනේරයන් වහන්සේලාට තිබෙන්නේ ය.

උවැසියන්ගේ අදහස්

“යමක් කමක් නොතේරෙන පුංචි දරුවන් මහණ කරහම උන්ට දුක් විඳින්න වෙනවා විතරක් නෙවෙයි. ශාසනේටත් නව නිග්‍රහ විඳින්න වෙනව. හාමුදුරු නමක් හොරකම් කළා කියන්නෙ නව නිග්ගරහයක් නොවෙයි ද?” ඒ එක උවැසියක‌ගේ මතය ය. එම උපාසිකාවට වඩාත් දැඩිව දැනී ඇත්තේ මෙයින් ආගමට වන හානිය ය.

“ලොකු වෙල මහණ වෙන අය අඩු යි. පුංචි කාලෙ මහණ කරහම හීරළුවෙකු වෙලා සමාජයට මුහුණ දෙන්න බැරි නිසා බොහෝ දෙනෙක් කොහොම හරි කාගෙන ඉන්නව. ශාසනේ නැතිවුනොත් කවුද බුද්ධාගම ගෙනියන්නෙ? මං කියන්නෙ අපට පාංශකූලෙකටවත් ගෙන්න ගන්නා හාමුදුරු කෙනෙකු වුවමනා නැද්ද? මෙහෙම ගියොත් ඒවත් ආනයනය කරන්නයි වෙන්නෙ, උපසම්පදාව වගේ”. ඒ තව උවැසියකගේ මතය ය. ඒ උපාසිකාව ප්‍රකාශ කර සිටින්නේ පන්සලේ හාමුදුරුවන්ගෙන් තමන්ට ලැබෙමින් තිබෙන සේවාව හා ලාභය නැති වේය යන බිය ය.

“පව්, ගෙදර හිටිය නම් අඩල දොඩල හරි පැණි රසක් ඉල්ල ගෙන කන වයසනෙ. මාත් අම්මට හොරා සීනි කාල තියෙනව. මොකෝ මහණ වුනා කියල ඒ වුවමනා නැති වෙනව ද? මොකද ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලන්න ද?” ඒ තවත් මතයකි. ඒ කතාව දරුවන් ඉන්නා උන්ට ආදරේ අම්මා කෙනෙකු ගෙනි. එහෙත් ඇයට කළ හැකි දෙයක් නැත. කළ හැකි දෙයක් පෙනෙන්නේ ද නැත. හැක්කේ වේදනාව ප්‍රකාශ කිරීමට පමණ ය.

“මම හිතා ගත්තා ඊළග දානෙට ටොෆි චොකලට් ටිකකුත් එකතු කරන්න”. ඒත් අම්මා කෙනෙකුගෙනි. තමන්ට කළ හැකි, කළ යුතු, දෙයක් ඇතැයි සිතනා අම්මා කෙනෙකුගෙනි. මහණ කම රැක ගන්නා අතරම මව් සෙනෙහස දෙන්නට ද වැඩ පිළිවෙලක් හදන්නට පුළුවන් යැයි සාධනීය ව සිතන අම්මා කෙනෙකුගෙනි.

ඒ අම්මාට ලමා මහණවීම් නවත්වන්නට අවශ්‍ය යැයි හැඟෙන්නේ නැත. එහෙත් ඇය කුඩා දරුවාගේ වුවමනාව ගැන සංවේදී ය. රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීමට නම් ටොෆි චොකලට් ද දානයට එකතු කළ යුතු ය. ඇය සිතන්නේ එසේ ය.

එක උපාසක මහතෙකු කියා සිටියේ දානයක් සඳහා අවශ්‍ය කුමක්දැයි ඇසූ විට සාමනේර හාමුදුරුනමක් ඉල්ලා සිටියේ වතුර විදින සෙල්ලම් පිස්තෝලයක් බව ය. ඒත් එවැන්නක් දානයට දුන්නා ද නැද්ද යැයි ඔහු කීවේ නැත. කිසිවෙකු ඔහුගෙන් විමසන්නට ගියේ ද නැත.

සුරඟනන් පෙන්නා රවටාගෙන නන්ද කුමරු මහණ කර ගත්තා නම්, සෙල්ලම් පිස්තෝලයක් දී, දරුවා ශාසනය තුළ රඳවා නොගත යුත්තේ ඇයි ද යන සාධාරණ ප්‍රශ්නය මගේ සිතට ද පැමිණියේ ය.

ගිය වතාවේ බුදු රුව සහිත සාරිය ගැන පොලීසියට කියන්නට භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් වූ නමුදු මේ සිද්ධිය පොලීසියට වාර්ථා කරන්නට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත. දරුවෙකුට වැඩිහිටියෙකු විසින් තැලීම මේ රටේ මිනිසුන්ට එහෙමට කාරණයක් නොවනවා විය හැකි ය. අපේ රටේ නම් ළමා හිංසනයට තිත වැටී හමාර ය. ළමයින්ට ශාරීරික අඩම්තේට්ටම් කිරීම නීතියෙන් තහනම් ය. වැඩිහිටියෙකු උස්සා පොළොවේ ගැසීමට අවසර තියෙන රටක ළමයෙකුට කම්මුල් පහර කීපයක් දීම එක් අතකට අරුමයක් විය නොහැකි ය. එහෙම බැලුවහම මේ අමුතු ද්වීපයේ මිනිසුන්ට අපේ රටින් ඉගෙන ගන්නට බොහෝ දේ තිබේ.

මට බුදුන් වැඳීම ද මේ සිද්ධිය නිසා එපා වී තිබුනේ ය. මම හැකි ඉක්මණින් එතැනින් නික්මුණෙමි.

පසුදා ඒ රටේ පත්තර වල මේ සිද්ධිය ගැන පලවී තිබුනේ ය. ඒ සමාජ ජාලා හරහා මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා ද සංසරණය වූ පහර දීම සටහන් වූ වීඩියෝව නිසා ය. පොලීසියට තොරතුරු ලැබී තිබුනේ ද ඒවා ඇසුරෙන් බව ප්‍රවෘත්තියේ  සඳහන් ව තිබිණි. ඒ තොරතුරු ඔස්සේ ගොස් ප්‍රහාරකයා අත්අඩංගුවට ගැනීමට ද පොලීසියට හැකි ව තිබේ. ඒ ප්‍රවෘත්තිය වුව ද යම් අස්වැසිල්ලකට කරුණක් වූ බව සැබෑ ය.

 

නව ආරක දානයක්

එහෙත් මේ තොරතුරු නිසා සිදු විය හැකි උපරිම දෙය ලෙස මට පෙනුනේ සාමනේරවරුන්ට දානය පිරිනැමීමේදී ටොෆි චොකලට් දීමට අධිෂ්ඨාන කොටගත් උපාසිකාවන් ටිකක් බිහිවීම පමණ ය. ළමුන් මහණ කිරීම නිසා උන් විඳින වේදනා එලෙසම පවතිනු ඇත්තේ ය. ඒවා ටොෆි චොකලට් වලින් පමණක් සමනය කළ හැකි යැයි සිතීම ම මගේ දුකට හේතුවකි.

ඒත් මා මේ රටට පැමිණියේ රට හදන්නට නොවේ. හදන්නට අවශ්‍ය නම් ඒ සඳහා රටක් ම මට ලංකාවේ තිබේ. එසේ වුව ද මගේ මට්ටමෙන් කළ හැකි තවත් යමක් ඇද්දැයි මම කල්පනා කළෙමි.

මගේ මතකයට එකවර ආවේ ජපානයයි. එහි එක් පන්සලක ධර්මදේශනා කිරීමේ කාර්යය පවරා තිබුනේ රොබෝ හාමුදුරු නමකට ය. හාමුදුරුවන් හොයා ගැනීම අපහසු නම්, අමුතු ද්වීපයේ වැසියන්ට, කුඩා ළමුන්ට දුක් නොදී, හොරකම් නොකරන රොබෝ හාමුදුරුවරුන් බිහි කළ හැකි ය. හොරකම් කිරීමෙන් පමණක් නොව, පස් පවින්ම වැළකෙන, එයිනුත් නොනැවතී, කෝටියක් සංවර ශීලයන්ම රැක ගත හැකි, තවත් සවිස්තරාත්මකව කියන්නේ නම්  කැත නැතිව වැඳිය හැකි, රොබෝ හාමුදුරුවන් පවා බිහි කළ හැකි ය.

එහෙත් දරුවන්ගේ කර මතින් සසරින් එගොඩ වන්නට සිතා සිටින, සතර වරිගයට මෙය ඒත්තු ගැන්විය හැකි විසඳුමක් වනු ඇද්ද? සසරින් එතෙර වීම සඳහා දරුවෙකු වෙනුවට රොබෝ කෙනෙකු ශාසනයට පූජා කිරීම වුව ප්‍රමාණවත්ය යන පණිවුඩය ගෙන යා හැකි නම් සියල්ලම ගොඩ ය. අවශ්‍ය වන්නේ එය එසේ ම බව කියන්නට දිව නමා ගත හැකි සංඝයා වහන්සේ නමකි. ඒත් ඒ සියල්ලට කාලය වැය වනු ඇත. හෙට මහණ කරන දරුවන් විෂයයෙහි ලා එයින් ලද හැක්කේ මද ප්‍රයෝජනයකි.

දරුවන් සම්බන්ධයෙන් අපේ වැඩිහිටි පරපුර කර ඇති අමානුෂික මැදිහත් වීම් සම්බන්ධයෙන් උන්ගෙන් සමාව අයදිනු හැර කළ හැකි වෙනත් යමක් මේ මොහොතේ මට සිහි නොවේ.

යුද්ධයේ වැඩි ම ආදිනව විඳින්නේ ඔවුන් ය. ගෘහස්ථ හිංසනයේ වැඩිම පීඩාව විඳීන්නේ උන් ය. කුඩා කල මහණ කිරීමට පමණක් නොව කසාද බන්දා දීම නිසා සිදුවන සියළු අකරතැබ්බයන්ට ලක් වන්නේ ද ඔවුන් ය. පාසල, පන්සල, පල්ලිය, කෝවිල හා සමාජය තුළ වඩාත් ම දැඩි ලෙස අපයෝජනයට ලක් වන්නේ ඔවුන් ය. අද අප කරන්නාවූ පරිසර විනාශයේ දරුණු විපාක ද අවසානයේ විඳින්නට සිදු වන්නේ ද ඔවුන්ට ය.

ගෙවා නිම කළ නොහැකි වන්දියක්

ගෙවිය යුතුව ඇත්තේ ය

දෙපා නැමද අයදිමි සමාව

නිම කරන්නට නොහැකි වූ මෙහෙයට

සිහිනෙන් මා නැගිටින විට මා වැඳ ගෙන සිටියේ ගුටි කෑ දරු දෙදෙනාට ය. නැත. ටොෆි චොකලට් හොරකම් කළ සාමනේර හිමි දෙනමට ය. මා වැන්දේ ඒ දෙවර්ගයෙන් කුමන අයට දැයි තේරුම් බේරුම් කර ගැනීමට මට අවශ්‍ය නැත. වැඳීමත් සමාව ගැනීමත් නිසා මගේ හිත මඳක් සැනසිනි. තාවකාලික වුව ද එය අස්වැසිල්ලකි. එය මට දැනට ප්‍රමාණවත් ය.