රජය හා ආගම අතර ගනුදෙනුව

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/08/19/7878_19082019_FSS_CMY.jpg

බුද්ධ ශාසන අමාත්‍යංශයකුත් ධීවර අමාත්‍යංශයකුත් එක ම රජයකට තිබිය හැකි ද? බුද්ධාගමෙන් සතුන් මැරීම අකටයුතු බව කියන විට ධීවර අමාත්‍යංශයේ වගකීම වන්නේ එය ප්‍රවර්ධනය කිරීම ය. මේ උභතෝකෝටිකය සමග එකම රජයක් ගනුදෙනු කරන්නේ කෙසේ ද?

බුද්ධ ශාසන අමාත්‍යංශයත් ජාතික ලොතරැයි මණ්ඩලයත් එකම රජයක කොටස් විය හැකි ද? බුද්ධාගමෙන් සූදුව පරිහාන ධර්මයක් ලෙස නම් කරන විට, ලොතරැයි මණ්ඩලය එම පරිහානි ධර්මයම, ජය මාවත ලෙස, ප්‍රවර්ධනය කිරීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

අංගුලිමාලට සමාව දුන් බුදුන් වහන්සේ සරණ යන බව කියමින්, මිනිසුන් මැරීමට එල්ලුම් ගස ගෙනෙන්නට, රටේ බහුතරයක් මිනිසුන් සමග, රජය ද අනුග්‍රහ දැක්වීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

දැනට සිදු වන්නේ එකක් වමතට පවරා අනෙක දකුණෙන් කිරීම ය. රජය විසින් පවත්වාගෙන යන විෂයමාලා සහිත පාසල් වල තත්වයේ ද වෙනසක් නැත.

බුද්ධාගමත් ආර්ථික විද්‍යාවත් එකට උගන්වන පන්තියක ළමයෙකුට, බුද්ධාගම උගන්වන ගුරුවරයා සතුන් මැරීමේ ආදීනව උගන්වන විට, ආර්ථික විද්‍යා ගුරුවරයාගෙන් ඉගෙන ගත යුතු ව තිබෙන්නේ රට වටේ ආර්ථික දියුණුව සඳහා ප්‍රයෝජනයට ගත හැකි මත්ස්‍ය සම්පතක් තිබෙන බව ය. එසේ අසන ළමයා විසින් කළ යුත්තේ කුමක් ද? අනුගමනය කළ යුත්තේ කවර ගුරු උපදේශය ද? එකම පාසලක එකම පන්තියක මෙසේ පරස්පරයන් ඉගැන්වීමේ තේරුම කුමක් ද? පාසලේ උගන්වන දෑ සම්බන්ධයෙන් ලොකුවට නොසළකා මග හැරිය යුතු බව ද? හරි දේ කුමක් දැයි ඉන් බාහිර ව සෙවිය යුතු බව ද?

මෙසේ තමනුත් අතර මං වී දරුවන් ඇතුළු සෙසු ජනතාවත් අතරමං කිරීමට වගකිව යුතු රජයකට හැකි ද?

මෙය බුද්ධාගම සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොවේ. සමස්ථ ආගම් හා සම්බන්ධ ප්‍රශ්නයකි. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි යැයි දෙසන ආගම් වලට රැකවරණය සළසන ගමන්, අප විඳින්නේ අප කළ කර්මයන්ගේ විපාක යැයි කියන ආගමකට ද, එක ම රජයකින් ආධාර කරන්නේ, අනුග්‍රහ සපයන්නේ, කෙසේ ද? කෙටියෙන් කියතොත් බුද්ධ ශාසන අමාත්‍යංශ සමග ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශ ද එක ම රජයකින් මෙහෙයවන්නේ කෙසේ ද?

මේ සියළු උභතෝකෝටියන්ට හා ඒ නිසා ඇති කරන විහිළු සහගත තත්වයට හේතුව රජය අනාගාමික නොවීම ය. ආගම්වලට නතු නොවී සිටිමට ඊට ඇති නොහැකියාව ය.

එයින් වැඩිමනත් ලෙස ප්‍රකාශයට පත් වන්නේ දේශපාලනඥයන්ගේ කෛරාටික කම හා අවස්ථාවාදීත්වය ය. ආගම පූජකයන්ට පවරා තමන් රාජ්‍ය පාලනයේ යෙදෙනවා වෙනුවට, රාජ්‍ය පාලනය තුළට ආගම රිංගවාගෙන, එයින් දේශපාලන වාසි ලබා ගැනීමේ ඔවුන්ගේ වුවමනාව ය. අවසානයේ සිදු වන්නේ මේ නිසා ආගම ද හෑල්ලු වීම ය.

ආගම හා ඉතිහාසය

ඉතිහාසය පුරා ම රජවරු සිය පාලනයට සුජාත භාවය ලබා ගත්තේ ආගමට අනුග්‍රහ දැක්විම හරහා ය. එක කලෙක, එය ලංකාවේ කොතරම් නම් ප්‍රචලිත වී තිබුනේ ද යත්, දන්ත ධාතූන් වහන්සේගේ භාර කාරිත්වය තිබුනේ කාට ද, ඔහු රජු හැටියට පිළිගන්නා තැනට පත් වී තිබුනේ ය.

මෙය ආගමික නායකයන් විසින් ද ඉවසීම නිසා අවසානයේ සිදු වූයේ ආගම රජුගේ වුවමනාවන් පිරිමහන තත්වයට පිරිහෙලීම ය. ආගම රජවරුන් වෙනුවෙන් කඩේ යැවීම ය. අද ද අප අත්දකින්නේ ඉතිහාසය පුරා රඟ දක්වන ලද ඒ නාඩගම ය.

ඒ නාඩගමට අනුව රජු ආගමටත් ආගම රජුටත් සේවය කළේ ය. එය කොතෙක් බලවත් වී ද යත් රජුගේ ආගම වෙනස් වූ රටක මිනිසුන්ගේ ආගම ද ඒ ඉක්මණින් වෙනස් වුනේ ය.

බුද්ධාගමට හරවා ගැනුනේ ලංකාවේ ජනතාව නොවේ. දේවානම් පියතිස්ස රජතුමා ය. බුද්ධාගම ආසියාව පුරා පැතුරුනේ ආගමික ප්‍රචාරකයන් විසින් ජනතාව හරවා ගැනීමෙන් නොවේ. රජවරුන් හරවා ගැනීමෙනි.

රජවරුන්ගේ යුගය අවසන් වූ පසු සියල්ල කණ පිට හැරුණු බව ඇත්ත ය. ඒ ජනතා කැමැත්ත චන්දයකින් ලබා ගත යුතු වූ නිසා ය. ඒ යුගයේ සිදු වූයේ, ජනතාවගේ ආගම, රටේ නායකයන් බවට පත් විමට අපේක්ෂා කළ අය විසින් වැළඳ ගැනීම ය. සියල්ල අනිත් පැත්ත ගිය ද නව මාදිලියේ “රජු“ හා ආගම අතර සම්බන්ධය එලෙසම, නොවෙනස්ව, පැවතුනේ ය. සිංහල රාජ්‍ය භාෂාව කිරීමටත්, බුද්ධාගම රාජ්‍ය ආගම කිරීමටත් පොරොන්දු වෙමින් සිය දේශපාලන ගමන ආරම්භ කළ, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක එසේ බුද්ධාගම වැළඳ ගත් එක් ක්‍රිස්තු භක්තිකයෙකි. දේශපාලන චරිත විමසන විට අපට තව එවැන්නන් බොහෝ හමුවේ.

මැලේසියාව, ඉන්දුනීසියාව, ඇෆ්ඝනිස්ථානය වැනි කලක බෞද්ධ වූ රටවල් මුස්ලිම් ආගමට හැරුණේ ද, රජවරුන් කළ ආගම් මාරුවලින් මිසක, ජනතාව ආගම් වල හරය දැන ඒවා වැළඳ ගෙන කටයුතු කිරිම ඔස්සේ නොවේ. ලංකාවේ ඇතැමුන් සිතන පරිදි මුස්ලිම් කුමන්ත්‍රණයක් නිසා නොවේ. බුද්ධාගම ආසියාවේ පැතිර ගිය ආකාරයට මඳකින් හෝ වෙනස් ව නොවේ. ලෝකය පුරා ආගම් පැතිරුණේ රජවරුන්ගේ දේශපාලන ව්‍යාපෘති වල කොටසක් ලෙස මිස ආගමික පූජකයන්ගේ ධර්ම දේශනා ව්‍යාපෘති හරහා නොවේ.

පසු කලෙක සාමය ගැන දේශනා කළ ආගම් පැතිර විම සඳහා තුවක්කුව යොදා ගැණුනේ ද ඒ අනුව ය. යුරෝපීය රටවල් විසින් ලෝකය ආක්‍රමණය කරන විට සිය හේවායන් දිරිමත් කළේ සෙසු රටවල ජනයා ආගමට හරවා ගැනීම ද ආක්‍රමණ ව්‍යපෘතීයේ ම වැදගත් අංගයක් බව සඳහන් පණිවුඩය ය. තුවක්කුව සමග හරි හරියට බයිබලය ද ඒ ආක්‍රමණ පිටුපස තිබුනේ ය.

දුටු ගැමුණු විසින් පරදවන ලද එලාර පිළිබඳ ඉතිහාස පුරා වෘත්තීන් කියන්නේ ඔහු ලංකාවේ රජ කළ වඩාත් ම ධර්මිෂ්ඨ රජ වූ බව ය. නීතිය සිය පුතුට ද එකසේ ක්‍රියාත්මක කළ, යහපාලනය අකුරටම ඉටු කළ, රජ කෙනෙකු බව ය. ඒ නිසා ඔහු එලවා දැමීම පහසු කාරණයක් නොවී ය. දුටු ගැමුණුට තිබුනු ප්‍රධාන අභියෝගය වී තිබුනේ ඒ යහපත් ධාර්මික භාවය ය. එලාර සම්බන්ධයෙන් මතුකරන්නට ඉතිරි ව තිබුණු එක ම ප්‍රශ්නය ඔහු අන්‍යාගමිකයෙකු වීම ය. දුටු ගැමුණුට තිබුණු අභියෝගය ජයගැනීමට එම ආගමික සාධකය පමණක් වුව ප්‍රමාණවත් වූයේ ය.

දුටු ගැමුණුගේ රට එකසේසත් කිරීමේ දේශපාලන අභිලාශය හා ව්‍යාපෘතිය බුද්ධාගම සමග එකට ගැට ගසා තිබුනේ යම් සේද යුරෝපීයන්ගේ ලොව ආක්‍රමණය ද ආගමට සම්බන්ධ කර තිබුනේ ය.

ආගමික නිකායන්ගේ උපත

ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලම නිකාය වලට බෙදී තිබේ. ඒ බෙදීම් බොහෝමයක් පිටුපස ඇත්තේ දේශපාලන ව්‍යපෘතීන් ය. ඇන්ග්ලිකන් පල්ලිය බිහිවන්නේ බ්‍රිතාන්‍ය රජුට සිය මෙහෙසිය දික්කසාද කොට වෙනත් මෙහෙසියක් කර කාර බැඳ ගැනීමට දික්කසාදයට අවසර නැති කතෝලික පල්ලිය විසින් අනුමත නොකිරීම අරබයා ඇති වුනු ගැටුමක පසුබිම තුළ ය. ලංකාවේ නිකායන් හැදෙන්නේ ද එක් එක් කුලයට බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස ය.

පෘතුගීසින් ලංකාවට එන්නේ කතෝලික පල්ලියේ නියෝජිතයා හැටියට ය. ලන්දේසීන් එන්නේ රෙපරමාදු නිකායේ නියෝජිතයා හැටියට ය. බ්‍රිතාන්‍යයන් එන්නේ අංග්ලිකන් නිකාය නියෝජනය කරමින් ය. මේ එක් එක් නිකාය විසින් ඉදිකර ඇති වෙනස් පල්ලි ලංකාව පුරා දැකිය හැකි ය.

මේ ඉතිහාසය විමසන විට පෙනෙන කාරණය නම් අජූත රජවරුන්ට පවා බොහෝ තැනක ඊට සමාන ආගමික පූජකයන් විසින් ආශිර්වාද කරනු ලැබූ බව ය. ආගමට රජු ද රජුට ආගමික පූජකයන්ගේ ආශිර්වාදය ද අත්‍යවශ්‍ය ව තිබූ බව ය. එකිනෙකා පිට කසා ගන්නා ක්‍රමයක් ඔවුන් විසින් හදා ගෙන තිබූ බව ය. යම් හෙයකින් විරසකයක් වී නම් ඒ හරහා තවත් අලුත් නිකායක් බිහි වූ බව ය. ඒ නිකාය විසින් රජු රැක ගත් බව ය. රජු‍ගේ ආශිර්වාදය නැතිව ගිය පසු ,මුල් ආගමික නිකාය දිය වි දුර්වලව ගිය බව ය. කුමක් වෙනස් වුව ද රජු හා ආගම අතර සම්බන්ධය නොවෙනස් ව පැවති බව ය. දෙපැත්තම අනෙත් පැත්තෙන් ජීවය ලබා ගත් බව ය. එසේ නැති තැනක අර්බුදයක් ඇති වූ බව ය. බොහෝ අර්බුද බලය තිබූ පාර්ශවයේ, වැඩි තැනක දී නම් රජුගේ පාර්ශවයේ, ජයග්‍රහණයෙන් කෙළවර වූ බව ය. කෙළවර කරන ලද බව ය.

ක්‍රිස්තුත් වහන්සේ විසින් කළ එක් ප්‍රකාශයක් මේ ගැන උන්වහන්සේගේ අදහස පැහැදිලි කරයි. ඒ ආගම හා රජය යන දෙකෙන් එකක් තෝරා ගැනීම සම්බන්ධයෙන් (බදු ගෙවීම ගැන උන්වහන්සේගේ මතය) උන්වහන්සේ විමසූ අවස්ථාවේ ය. “සීසර්ගේ දේ සීසර්ට දෙන්න. දෙවියන් වහන්සේගේ දේ උන්වහන්සේට දෙන්න“. එයින් අප තේරුම් ගත යුත්තේ දෙකෙහිම පැවත්ම පිළි ගත යුතු බවට වූ උන්වහන්සේගේ අස්ථානය තුළ අර්බුදයක් මතු වීම උන්වහන්සේ හිතා මතා මග හැරිය බව ය. රජයේ අනුග්‍රහය හෝ අවම වශයෙන් ඉවසීම නැතිව ආගමක් පවතින්නේ නැත. රාජ්‍ය බලය, මහ පොළොව මත, දේව බලය ඉක්මවන්නේ ය. එකිනෙකා පැරදවීමෙන් නොව එකිනෙකාට පිහිට වීමෙන් පමණක් රජයට හා ආගමට පැවතිය හැකි ය.

අද වන විට රාජ්‍ය බලය නැතිව ආගමකට පැවතිය නොහැකි බව විශේෂයෙන් ප්‍රදර්ශනය වන්නේ ය. දහම් පාසල් පවත්වා ගෙන යෑමට, ඒවා පැවැත්වෙන කාලයේ ටියුෂන් පන්ති තහනම් කිරීම සඳහා, රාජ්‍ය අනුග්‍රහය ඉල්ලීමට තරම් ආගම් දුර්වල වී තිබීමෙන් ප්‍රදර්ශනය වන්නේ ඒ කාරණය ය. දහම් පාසල් යන සිසුන්ට විශේෂ අනුග්‍රහයන් පිරි නැමීමට රජය මෙහෙයවා ඇත්තේ ඒ නිසා ය. එයිනුත් නොනැවතී උපාසක උපාසිකාවන් පිරිවරා ගොස් ටියුෂන් පන්තිවලට කඩා පැන බලයෙන් පංසල් යවන්නේ ද ඒ නිසා ය.

ආගම රජයේ එල්ලීම

පෝය දින මත්පැන් විකිණීම තහනම් කිරීම හා චිත්‍රපටි නාට්‍ය පෙන්වීම තහනම් කිරීමට සිදු ව ඇත්තේ, මත් පැන්  පානයෙන් හෝ නච්ච ගීත වාදනයෙන් පෝය දිනයේ මිනිසුන්ව ඉවත් කිරීමට, තවදුරටත් සිල් පදයේ පිහිට ප්‍රමාණවත් නොවන නිසා ය.

ආගමට ගරු කිරීම තවදුරටත් මිනිසුන් ස්වෙච්ඡාවෙන් කරන්නක් නොව රජයේ මැදිහත් වීමෙන් කරවා ගත යුතු තත්වයට පත්ව තිබීම පෙන්වන්නේ ද ඒ කාරණයම ය. ආගමේ ගෞරවය රැක ගනු සඳහා පොලීසියේ සහය අවශ්‍යව ඇත්තේ ද ඒ නිසා ය. ආගම දෙස විචාරාත්මකව බැලීම පවා දඩුවම් ලැබිය යුතු වරදක් බවට රජය හා පොලීසිය ලවා පත් කිරීමට ස්වාමීන් වහන්සේලා කටයුතු කරන්නේ ඒ නිසා ය.

අදටත් ලංකාවේ බහුතරයක් මිනිසුන් සිතන්නේ, ආගමට ඇති බැතිය දුර්වල වීම නිසා, සමාජය බිඳ වැටීමකට තුඩු දිය හැකිය කියා ය. ඒ නිසා රජය හෝ මැදිහත් වී එයට තිරිංග යෙදීම වැදගත් කටයුත්තක් ලෙස සැළකෙන්නේත්, ඒ සඳහා සිය කැපවීම ප්‍රදර්ශනය කරන දේශපාලනඥයන් ගැලවුම් කරුවන් ලෙස මිනිසුන්ගේ ගෞරවයට භාජනය වන්නේත්, ඒ නිසා ය.

අංගුලිමාලලාට ධර්මය අවබෝධ කර දෙනු වෙනුවට, ඔවුන් එල්ලුම් ගස් යවන්නට ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වන්නේ, රාජ්‍ය අනුග්‍රහයෙන් මිසක ධර්මයෙන් මිනිසුන් හීලෑ කර ගැනීමට අද වන විට නොහැකි ව ඇතැයි ඔවුන් පවා පිළිගන්නා නිසා ය.

සියල්ලේම නොවෙතත්, දියුණු බොහෝ රටවල්, ආගම රාජ්‍යයෙන් වෙන් කිරීමට කටයුතු කර තිබේ. ඒ රටවල තවදුරටත් ආගම මිනිසුන් යහපත් කිරීම සඳහා අත්‍යවශ්‍ය යාන්ත්‍රණ ලෙස සළකන්නේ නැත. සීසර් ගේ සීසර්ටත් දෙවියන්ගේ දෙවියන්ටත් දීමට ඔවුන් හිත හදා ගෙන තිබේ.

ආගමට පමණක් නොව, රාජ්‍යයකට පවා ඇති අත්තනෝමතික බලය, ඔවුන් තවදුරටත් පිළිගන්නේ නැත. පුද්ගලික නිදහස හා මානව අයිතිවාසිකම්, ඒ යාන්ත්‍රණ දෙකට ම වඩා ඉහළින් සැලකීමට ඔවුන් විසින් වග බලාගෙන තිබේ. ඒ නිසා ම ළමා විවාහයන්ට මෙන් ම කුඩා නොදරුවන් මහණ කිරීමට ද අවසර ලැබෙන්නේ නැත. රජය පමණක් නොව ආගම ද විචාරය කිරීමට විවේචනය කිරීමට ඉඩ හසර ඒ රටවල ජනයා විසින් අත් කර ගෙන තිබේ.

පාසල තුළ ආගම ඉගැන්වීම නවතා දමා තිබේ. ආගම ඉගැන්වීමේ කටයුතු ආගමික සංවිධානයන්ට හා පූජකයන්ට පවරා තිබේ. ඒ නිසා ඒ රටවල දරුවන්ට පාසල තුළ ගුරුවරු දෙදෙනෙකුගේ පරස්පර ඉගැන්වීම් දෙකකට මුහුණ දීමට සිදු වන්නේ නැත.

පුදුමයකට මෙන් ඒ රටවල අපරාධ ද අඩු ය. යුද්ධ කැරලි කෝලාහල අඩු ය. ජාතිය හා ආගම මත පදනම් ව සිදු වන ගැටුම් ද අඩු ය. ඒ රටවල් දෙස බැලූ විට පෙනෙන්නේ දියුණුව හා ආගම් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ඇති බව ය. රටවල් දියුණු වන විට ආගම බැස යනවා ද ආගම බැස යෑම නිසාවෙන් රටවල් දියුණු වනවා ද යන්න ගැන අපට වාද කළ හැකි ය. එහෙත් තොරතුරු කියන්නේ සම්බන්ධය ප්‍රතිලෝම බවට නම් විවාදයක් නැති බව ය. දියුණුව හා ආගම එකට නම් නොපවතින බව ය.

ආගම හා රජය අතර දීගය

සමහර දීගයන් නොපෑහුනේ වුව ද දික්කසාදයකට කිසිදු පාර්ශවයක් සූදානම් නැත. මේ දීගය ද අද පත්ව ඇත්තේ එවන් තත්වයකට ය. එසේ වුව ද හැම පාර්ශවයක්ම උත්සහ කරන්නේ මෙය තවදුරටත් පවත්වා ගෙන යෑමට ය.

ධීවර අමාත්‍යංශය සමග රජයේ සම්බන්ධය අමතක කොට ආගමට දෙන අනුග්‍රහය තකා ඒ අනියම් ප්‍රේමය ඉවසන්නට ආගම සූදානම් ය. ආගම විසින් දමන්නාවූ තහංචි නිසා හා කරන මැදිහත් විම් නිසා, ආර්ථිකයට වි ඇති පාඩුව ඉවසන්නට රජය සූදානම් ය.

රජයෙන් නොලැබෙන සුරක්ෂිතතාවය, ආගමට එකතුව සම්පූර්ණ කරගන්නට මේ දීගයේ දරුවන් වූ ජනතාව ද සූදානම් ය. ආගමෙන් නොලැබෙන සුරක්ෂිතතාවය, පොලීසියෙන් හා හමුදාවෙන් ලබා ගෙන ආගමට සමාවක් දීමට ද දරුවන් වූ ජනතාව ඒ තරමටම සූදානම් ය. හොඳින් බලන්නේ නම් ඒ කිසිවකින් දරුවන් වූ ජනතාවට ලැබෙන සුරක්ෂිතතාවයක් නැත. එය හොඳින් ම ඔප්පු වූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ දී ය. කල් ඇතුව දැනුම් දී තිබුන ද දේව ආරක්ෂාව පතා පල්ලියට ගිය මිනිසුන් ගලවා ගන්නට දෙවියන්ටවත් දෙවියන්ගේ ආගම් රකින රාජ්‍ය යන්ත්‍රණයටත් පුළුවන් වූයේ නැත.

ආගමික නායකයන් වගකීම රජයට පවරන අතර, රජය කරවන අය ගැලවීම සඳහා දෙවියන් යදින තැනකට පත් ව ඇත්තේ, ඒ සන්දර්භය යටතේ ය.

වඩාත් විකාර සහගත දේ වී ඇත්තේ ඒ ප්‍රහාරය දියත් කළේ ද ආගමේ නාමයෙන් වීම ය. රජය විසින් බලා කියා ගනු ලබන තවත් ආගමක නාමයෙන් වීම ය.

රජය සිටිය යුත්තේ සියළු ආගම් වලට ඉහළිනි. ඒ සඳහා මේ දීගය අවසන් කළ යුතු ය. රජය විසින් ආගම දික්කසාද කළ යුතු ය. ඒ කරන්නට ධෛර්යයක් ඇති කෙනෙකු වත්මන් දේශපාලනය තුළ දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ඒ සඳහා ජනයා තවමත් සූදානමක් නොපෙන්විම ය. එවන් තත්වයක් යටතේ එවැනි දික්කසාදයක් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන සිය දිවි නසා ගැනීමක් විය හැකි නිසා ය.

ජනයා දැනුවත් කරන සංවාදයක් මේ සම්බන්ධයෙන් සිදු විය යුත්තේ ඒ නිසා ය. තීරණාත්මක ජනතාවක් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එය කිරීමට කැමති කෙනෙකු හොයා ගැනීම ප්‍රශ්නයක් වන එකක් නැත. මේ සටහන, ඒ ජනතාව දිනා ගැනීම සඳහා කරනු ලබන තවත් එක් උත්සහයකි.

මෙයින් අදහස් කරන්නේ ආගමේ මෙහෙය අවසන් වී ඇති බව නොවේ. මිනිසුන්ගේ සිත් සුවපත් කර ලීමට එයට තවදුරටත් හැකි ය. එහෙත් මිනිසුන් පාලනය කිරීමේ ලා එයට කළ හැකි දේ අල්ප ය. ඒ සඳහා රජය සිටීම ප්‍රමාණවත් ය. ඒ භූමිකාව ඉටු කිරීම සඳහා ද ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු රිසි සේ කිරීමට ද රජයට නිදහස දීම ප්‍රඥා ගෝචර ය. ආගම සම්බන්ධ දේ ආගමටත් රජයට සම්බන්ධ දේ රජයටත් කරන්නට ඉඩ දී අනෙත් පාර්ශවය අයින් වීම බුද්ධි ගෝචර ය.

ආගම රැකීමටත් රට රැකී තිබිය යුතු ය. රට දියුණු වී සුඛිත මුදිත වී තිබිය යුතු ය. ඒ නිසා ම රට ආගම් වලට ඉහලින් තැබිය යුතු ය. ඒ නිසා ම අප කලින් ද සඳහන් කළ පරිදි රජය සියළු ආගම් වලට ඉහළින් තමන් ස්ථාන ගත විය යුතු ය. ඒ ආගම් අතර බේරුම් කාර භූමිකාවක් ඉටුකිරීමට ඒවා අතර වෙනස් කම් නිසා අමතර වශයෙන් රජයට සිදු වන ද නිසා ය.