කිසිවෙකු වෙනස් නොවේ නම් – කිසිවක් වෙනස් නොවේ

පාස්කු ඉරිදා ඇති වූ ව්‍යසනය සම්බන්ධයෙන් අවසන් වරට මා දුටු සංඛ්‍යා ලේඛන වලට අනුව, සිද්ධිය නිසා මියගිය සංඛ්‍යාව 290 ක් වන විට තුවාල ලැබූ සංඛ්‍යාව පන්සියයකට අධික වී තිබුනේ ය. එය ලංකාව පමණක් නොව මුළු මහත් ශිෂ්ඨ ලෝකයම කම්පනයට පත් කරන්නට ඇත. මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනා මේ බෝම්බ තැබීමට කටයුතු කළ කිසිවෙකුට, ඔවුන්ගේ කෙස් ගහකට හෝ ඔවුන්ගේ අරමුණකට, පෞද්ගලිකව නපුරක් කළ අය නොවීම, ඒ කම්පනය දරා ගැනීමට නොහැකි වීමට තව ප්‍රබල හේතුවක් වේ. කොහේවත් නැති මිනිසුන් මෙපමණ සංඛ්‍යාවකට මේසා විශාල නපුරක් කළ හැක්කේ කෙසේ ද? බොහෝ දෙනෙකු උත්තර හොයන්නට දඟලන ප්‍රශ්නය එය විය හැකි ය.

අප රට තිස් අවුරුදු ශාපලත් යුද්ධය අවසන් ව වසර දහයක් තවම සම්පූර්ණ කොට නැත. ඉතිහාසඥයන් කියන විදිහට අපේ රටේ ලේ වැගිරීම් සහිත කළකෝලාහල සෑම වසර හතකට වරක් වත් සිදු වන්නේ ය. ඒ මෑත අතීතයේ අප තැබූ වාර්ථාව ය. ඒත් අප ඒවායින් ඉගෙන ගන්නේ නැත. හේතුව අප

මේ සිද්ධි දෙස අප කලින් බැලූ කෝණයෙන් ම, තවදුරටත් බැලීම ය. වෙනත් කෝණයකින් බැලීම ප්‍රතික්ෂේප කිරීම ය.

දැන් මේ එන්නේ ඊට වඩා දරුණු නපුරක් විය හැකි ය. එසේ වන්නේ ත්‍රස්තවාදය අන් සියල්ල මෙන් ම ගෝලියකරණය වී තිබීම ය.

මේ අප විඳවන්නේ නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ල කළ ප්‍රහාරයට උත්තරයක ප්‍රතිඵලයක් විය හැකි ය. ඒ ගෝලීයකරණයේ ස්වභාවය ය. ලෝකයේ එක් තැනක ප්‍රශ්නයකට උත්තර ලැබෙන්නේ වෙනත් කොණකින් වීම ගොලීයකරණයේ ස්වභාවය ය.

ඇතැම් විට මේ තුළ පණිවුඩ දෙකක් තිබෙනවාද විය හැකි ය. එකක් ලෝකයට ය. අප කලින් ද සඳහන් කළ පරිදි ඒ නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්තර එම රටෙන් නොව ලොව හතර දිග් භාගයෙන් ම පැමිණිය හැකිය යන්න ය. එසේ කළ, කරන, කණ්ඩායමට අයත් කිසිවෙකු ලොව කොහේ සිටියත් සුරක්ෂිත නැත යන බව අඟවන්නට ය. බෝම්බකරුවන්ගේ ඉලක්කය ක්‍රිස්තියානි පල්ලි හා පාස්කු ඉරිදා උදෑසන ආහාර මේසය වි තිබුනේ ඒ බව කියන්නට ය. අනෙක් පණිවුඩය රටට ය. මුස්ලිම් මිනිසුන්ට එරෙහිව නොපනත්කම් තවදුරටත් දේශීය වශයෙන් ද නොඉවසන බව කියන්නට ය. ඒ අනුව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු එලා ගැනීම මේ ප්‍රහාරයේ අරමුණ විය හැකි ය.

සන්නිවේදනය අරුම පුදුම එකකි. පණිවුඩය යවන්නා කුමක් කියන්නට තැත් කළ ද පණිවුඩය ලැබෙන තැනැත්තා ඇතැම් විට එයින් ගන්නේ එහෙම පිටින් ම වෙනත් අරුතකි. ඒ නිසා ලැබෙන ප්‍රතිඵලය අනපේක්ෂිත විය හැකි ය.

අපට ගෙනෙන පණිවුඩය

සියළු කළබල වලට මුල ආගම් බව කියන්නට, අනාගමිකයන්ට, මේ අපරාධය කදිම සාක්ෂියකි. ඔවුන්ට අනුව මේ අපරාධ නැති වන්නේ ආගම් නැත්තට ම නැතිවුනු දාට ය. තමන්ගේ බැතිමතුන්ට ආරක්ෂාව සැලසිය නොහැකි දෙවි කෙනෙකු ඇදහිය යුත්තේ මන්ද යන්න, ප්‍රශ්නයක් ලෙස මතුකරමින් ඔවුහු මේ අවස්ථාව තම මතවාදය පතුරුවන්නට භාවිතා කරති. ආගම වෙනුවෙන් ඇති කරන පණිවුඩයක් මෙසේ ආගමට එරෙහි ව යතැයි සිතන්නේ එහෙමත් කෙනෙකි. එහෙත් ඒ ලෝක ස්වභාවය ය. හිතු දේ නොම වෙන නොසිතු දෙයම වන ලෝක ස්වභාවය ය. සංහිඳියාව වෙනුවෙන් වැඩ කළ, වැඩ කරන, අය කියන්නේ මුස්ලිම් ජනතාවට විරුද්ධව කළ ප්‍රකෝපකාරී ක්‍රියා නිසා මුස්ලිම් අන්තවාදීන් ශක්තිමත් වීම මේ තත්වයට තුඩු දුන් බවයි. ඔවුන්ගේ ඇගිල්ල යොමු වන්නේ බොදුබල සේනාවට, රාවණා බලයට හා මහසෝන් බලකායට ය. බේරුවල දිගන සිද්ධි වල වගඋත්තර කරුවන්ට ය. ඔවුන්ගේ අදහස මේ භේද ඇති කරන්නන් ආණ්ඩු මට්ටු කර, ජනවාර්ගික භේද දුරලා, අප වඩවඩාත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීමට කැප විය යුතු බව ය. සංහිඳියාව වෙනුවෙන් අන් කවරදාටත් වඩා පෙනී සිටිය යුතු බව ය. මුස්ලිම් අන්තවාදීන් ද මුල කියූ කාරණා වලට එකඟ වුව ද ඒ සඳහා දෙන උත්තරයට එකඟ වන්නේ නැත. එම උත්තරය මුස්ලිම් අන්තවාදීන්ගේ අපේක්ෂාව නොවේ. ඔවුන්ට අවශ්‍ය භේද තවදුරටත් වැඩි දියුණු කිරිමටය. නැති භේද ඇති කිරීමට ය. ඒ නිසා මෙතැනදීත් ඔවුන්ගේ පණිවුඩය ෆේල් ය. අසමත් ය.

මුස්ලිම් අන්තවාදීන් මට්ටු කිරීමට ඉදිරිපත් වූ සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන කියනු ඇත්තේ අප එදා පෙන්වා දුන් විදිහට මුස්ලිම් අන්තවාදින් මට්ටු කළේ නම් අද ඔවැන්නක් කිරීමට ඔවුන් විසින් මෙසේ ශක්තිය ගොනු නොකර ගනු ඇති බව ය. ඒ කියන්නේ එක් කට්ටියක් මේ සිදුව ඇත්තේ ඉල්ලන් කෑමක් යැයි කියන විට, ඊට ප්‍රතිපක්ෂව ප්‍රතිවිරුද්ධ පාර්ශවය කියන්නේ නයි රෙද්ද අස්සේ දමා ගෙන කනවා යැයි දැන් කෑගසන බව ය. කළ යුත්තේ හුරතල් කිරීම නොව ලවක් දෙවක් නැතුව නෙලීම බව ය. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති බවට මේ සිදුවෙමින් තිබෙන දේ කදිම උදාහරණයක් යැයි එක් බුද්ධ පුත්‍රයන් කෙනෙකු කියන විට තව කෙනෙකු කියනු ඇත්තේ පෙනේ වත් පුප්පන්නේ නැතිව ඔහොම අහිංසක ගානට හිටියොත් දර මිටි බඳින්නටත් ගනු ඇතැයි යන්න මෙයිනුත් ඔප්පු වෙනවා කියා ය. “භූමි පුත්‍ර“ සංකල්පය දරණ අය කියනු ඇත්තේ ප්‍රශ්න ඇති කරන අන්‍ය ජනවර්ගයන් රටින් පිටමං කළ යුතු බව ය. ඒ ඇරෙන්නට වෙන උත්තරයක් නැති බව ය. මෙසේ එකිනෙකට වෙනස් මති මතාන්තර තහවුරු කිරීමට මේ එකම සිද්ධිය භාවිතා කළ හැකි ය.

සිතුදේ නොම වෙයි – නොසිතු දෙයක් වෙයි

බැලූ බැල්මට ඉහත කී එක ද අස්ථානයක් වත් ඇති කිරීම බෝම්බය තැබූ අන්ත වාදීන්ගේ අපේක්ෂාව නොවිය හැකි ය. අනෙත් අතට එවැනි අස්ථානයන් ඇති වීම ම ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටීමක් ද විය හැකි ය. එහෙත් කණගාටුවට කාරණය නම් එවැනි බිඳ වැටීමක් අතිශයින් තාවකාලික වීම ය. එක් අන්තවාදයක පැවැත්ම අනෙක් අන්තවාදයට උඩ ගෙඩි දීමක් නිසා දිගු කාලීන වශයෙන් සිදු විය හැක්කේ මුස්ලිම් අන්තවාදීන්ගේ අරමුණට එයින් ඔවුන් ද අපෙක්ෂා නොකරන තල්ලුවක් ලැබීම ය. එක් දහස් නමසිය අසූතුනේ කළු ජූලිය ලෙස හැඳින්වෙන ජාති වාදී කෝලාහල එල්ටීටීයට සොල්දාදුවන් නිර්මාණය කර දුන් ලෙසට මුස්ලිම් අන්තවාදීනට අවශ්‍ය භට පිරිස් හදා දීමක් ඒ හරහා සිදු විය හැකි ය.

රටට අවශ්‍ය තද පාලකයෙකු යැයි අදහන අයට මේ සිද්ධිය ඊට ලබා දෙන අග්‍ර සාක්ෂියකි. ඕක තමයි අපි දිගටම කියන්නේ කියමින් ඔවුහු මේ වනවිට හැම තැනකම තම අදහස පතුරුවමින් සිටිති. එවැනි පාලකයෙකු අද හෙටම ගෙන ඒමේ අවශ්‍යතාවය නැවත නැවතත් කියති. ඒ වෙනුවෙන් අද අද ම වැඩ කළ යුතු බවට ශපථ කෙරෙති. ඒ ද බෝම්බය තැබූ අයගේ ඉලක්කය නොවිය හැකි ය. එහෙත් එවැනි තද පාලකයෙකු අන්තවාදයක පැවැත්මට අවශ්‍ය ය. ත්‍රස්තවාදය බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දැමීමට ගොඩ නැගෙන උත්තරය වන නිසා ය. එය ත්‍රස්තවාදය වැඩි වර්ධනය වීමට හොඳ තෝතැන්නක් සපයන නිසා ය.

ඒ සඳහා උදාහරණ ලංකාවෙන් සැපයිය හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ පළමු අවස්ථාවේ කැරලි ගසන්නේ බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ය. දෙවැනි වතාවේ අවි අතට ගන්නේ ඔවුන් තහනම් කිරීමෙන් පසු ය. එල්ටීටීඊ ය ගොඩ නැගෙන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතිඥාවක් ගන්නට බල කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමෙන් පසු ය.

එයින් ද පෙනෙන්නේ අන්තවාදීන්ගේ අපෙක්ෂාවන්ට එරෙහිව යතැයි බොහෝ දෙනෙකු සිතන උත්තර අවසානයේ ඔවුන් වෙනුවෙන් ම පෙනී සිටින බව ය. ඒ පැත්තෙන් ගත්තොත් ත්‍රස්තවාදීන් ජය ගෙන තිබෙන්නේ ය.

“රණවිරුවන්“ට විරුද්ධව නඩු පැවරීම සම්බන්ධයෙන් කෝප වී සිටි පිරිස් කියන්නේ මේ නඩු හරහා බුද්ධි අංශ අඩ පණ වීම ත්‍රස්තවාදීන් හිස එසවීමට හේතු වූ බව ය. ඔවුන්ට අනුව මේ අප විඳවන්නේ එසේ නඩු පැවරෙන තැනට වැඩ සිද්ධ විමට ඉඩ සැලසූ නිසා ය. ප්‍රතිවිරුද්ධ පාර්ශවය කියන්නේ යුද්ධය අවසානයෙන් පසු බුද්ධි අංශ මෙහෙයවන ලද්දේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමට බව ය. එයින් ඇතැමෙක් කප්පම් ගැනීමෙන් වල ඉහ ගැනීමට කල්පනා කළ බව ය. ඒ් නිසා බුද්ධි අංශ අඩපන වූ බව ය. තවත් අය කියන්නේ ඔවුන් විසින් කරන ලද නොපනත්කම් නිසා ද මිනිසුන් අන්තවාදයට තල්ලු කරන්නට රුකුලක් වුනා වන්නට පුළුවන බව ය.

මේ සංවාදයෙන් අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ත්‍රස්තවාදයට හුස්ම පිඹිය යුතු බව නොවේ. ත්‍රස්තවාදයේ සැපයුමට පහර දීම සඳහා ශක්තිමත් බුද්ධි අංශයක් තිබිය යුතු ය. හුරතල් කරන්නේ නැතිව නීති කඩකරන්නන්ට එරෙහිව අකුරට නීතිය ක්‍රියාත්මක කරන අතරතුර තමනුත් ඒ නිතීයට ගරු කරන පොලීසියක්, ආරක්ෂක හමුදාවක්, සිටිය යුතු ය. ඒ අර්ථයෙන් එවැන්නක් ක්‍රියාත්මක කරන තද පාලකයෙකු ද අවශ්‍ය ය. එහෙත් ඒ නීතියට උඩින් ඉන්නා පාලකයෙකු නොවේ. නීතියට යටත් පාලකයෙකි. ඒ පාලකයා විසින් ආරක්ෂක අංශ මෙහෙයවා ත්‍රස්තවාදීන් අල්ලා උන්ට නීති ප්‍රකාරව දඩුවම් පැමිණවිය යුතු ය. එහෙත් ඒ සියල්ලෙන් පසු ත්‍රස්තවාදය අවසන් වෙතැයි මොහොතකට වත් නොසිතිය යුතු ය.

අලියා හඳුනා ගැනීම

මේ අප කී හැම කතාවකින් ම ප්‍රශ්නයේ එක පැති කඩක් ප්‍රදර්ශනය වනවා වෙන්නට පුළුවන. එහෙත් ඒ එකක්වත් තනිවම සමස්ථ ප්‍රශ්නය අල්ලා ගන්නේ නැත. මේ කතා කියන අය තම තමන්ගේ කතා ගැන කතා කළාට අනෙත් කතා ගැන තබන නිශ්ශබ්දතාවයෙන් පෙන්වන්නේ අලියා හඳුනාගන්නට තැත් කළ අන්ධයින්ගේ ස්වභාවයම ය. තමන් අල්ලා ගෙන ඇති කෑල්ල දක්වමින්, එය ම උඩ දමමින්, සතා මේ යැයි සපථ කර අපට කීමට ය.
ත්‍රස්තවාදයේ සැපයුමට පහර දෙන අතරේ ත්‍රස්තවාදයේ ඉල්ලුම ඇති කරන හේතු ද විමසිය යුතු ය. ඒවා ද නැති කර දැමිමට කටයුතු කළ යුතු ය. ඉල්ලුම ඇති කරන්නේ සුළු ජනවර්ගයන්ට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන හිංසනයේ ය. ඔවුන්ව ප්‍රධාන ධාරාවෙන් අයින් කර දැමිමේ ය. ඔවුන්ගේ දුක් ගැනවිලි හමුවේ කිසි දෙයක් නොකර සිටීමේ ය. ඒ ඉල්ලුම නැති කිරිමේ ක්‍රියාමාර්ගයන් නොගෙන සැපයුම විතරක් නැති කර දැමීම ප්‍රමාණවත් වන්නේ නැත.
බොහෝ දෙනෙකුට අවශ්‍ය තමන් දැනටමත් දරමින් ඉන්නා දේශපාලන හෝ ආගමික මතය තහවුරු කර ගැනීම සඳහා මේ සිද්ධිය සාක්කියක් ලෙස යොදා ගැනීම පමණ ය.

මීට අමතරව සැවොම බලන්නේ සිද්ධියේ වගකීම අන් අය වෙත, ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් වෙත, පවරා තමන් නිදහස් වීමට ය. තමන්ගේ කඳවුර නිදහස් කර ගැනීමට ය. වැරැද්ද ඇත්තේ අනොකාගේ ය. අපට ඒ නිසා වගකීමක් නැත. අපට කළ හැකි දෙයක් නැත. ඉගෙන ගන්නට දෙයක් ඇත්නම් ඒ අනුන්ට ය. තමන්ට නොවේ ය.

මේ හේතු නිසා අප මේ සිද්ධියයෙන් ද පාඩම් ඉගෙන ගන්නා එකක් නැත. සිදු විය හැකි එකම දෙය නම් ලේ වැගිරීම් සහිත කෝලාහල සිදු වන තීව්‍රතාවය තව තවත් වැඩි වීම ය. ඒවා අතර කාලාන්තරය තව තවත් අඩු වීම ය.
ව්‍යාසනයකින් අප යමක් ඉගෙන ගන්නවා නම් ව්‍යාසනය ඇති කරන පාඩුව එක් අතකට තාවකාලික යැයි සැළකිය හැකි ය. එහෙත් ඒ වෙනුවට අප පාඩම් ඉගෙන ගන්නට අසමත් වීම නිසා එය දිගින් දිගට නැවත නැවතත් සිදු වේ නම් එය සදාකාලික අවාසනාවක් වන්නේ ය.

සංවාදයකින් ඉගෙනීම

යම් බරපතල හානියක් ව්‍යාසනයක් සිදු වූ විට අදාළ වගකිවයුත්තන් විසින් ඒ පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් පැවැත්විය යුතු ය. ඒවා අහුමුළු වල කෙරෙන අවිධිමත් කතාවලට සීමා නොවී විධිමත් ලෙස කළ යුතු ය. ඒ සඳහා ප්‍රමාණික බුද්ධිමතුන්ගේ මතයන් විමසිය යුතු ය. ඔවුන්ට එකිනෙකා හා වාද විවාද කරමින්, ඇති වුනු සිද්ධිය විච්ඡේදනය කරමින්, හරවමින්, පෙරලමින්, බලන්නට අවස්ථාව දිය යුතු ය. ඒවාට හැකිතාක් පුළුල් සහභාගිත්වයක් ලබා ගත යුතු ය. සංවාදය අවසානයේ උගත් පාඩම් ලේඛන ගත කළ යුතු ය. ඒ පාඩම් වලට අනුව නැවත එවැනි ව්‍යාසනයක් ඇති නොවීමට ගන්නා වැඩ පිළිවෙල ප්‍රකාශයට පත් විය යුතු ය. ඒ සඳහා එක් එක් පාර්ශවයට ඇති වගකීම් නිශ්චය ලෙස දැක්විය යුතු ය. ඒ වැඩ පිළිවෙල නිසි පරිදි සිදු වන බවට වග බලා ගැනීමට පසුවිපරම් යාන්ත්‍රණයක් සකස් කළ යුතු ය. ඒ හරහා වැඩ පිළිවෙලේ ප්‍රගතිය වරින් වර සමාලෝචනය කළ යුතු ය. ප්‍රතිඵල ප්‍රමාණවත් නැතිනම් වැඩ පිළිවෙළ නැවත විමසිය යුතු ය.

එසේ නොකර තම මතවාදය තහවුරු කරන සිල්ලර මගකට බොහෝ දෙනෙක් පිවිසෙති. අපේ අවාසනාව එය ය. අපට ඇත්තේ උගත් පාඩම් නොවේ. කප්පරක් වන නූගත් පාඩම් ය. එයට එක් හේතුවක් වන්නේ මේ කතා කියන බොහෝ අය ඉතිහාසය හදාරා නැති වීම ය. මේ ත්‍රස්තවාදීන් බිහිකරන හේතු පිළිබඳව මනෝ විද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක දෘෂ්ඨියකින් කරුණු හදාරා නැති වීම ය. වෙනත් රටවල සමාන සිද්ධි ගැන හදාරා නැති වීම ය. ඒවා ගැන විමසන්නට අවශ්‍ය යැයි ඔවුන්ට හැගෙන්නේ ද නැත. අලුතින් ඉගෙන ගන්නට ඕනෑ යැයි ඔවුන්ට හිතෙන්නේ නැත. වැරදුනේ කොහේ දැයි සෙවීම සඳහා නැවත නැවතත් විමසිය යුතු යැයි ඔවුන් හගින්නේ නැත.

දැනටමත් කොමිසමක් පත් කර තිබේ. ඒ වගකිව යුත්තන් සොයන්නට ය. එය ද අවශ්‍ය ය. එහෙත් වඩාත් අවශ්‍ය උගත හැකි පාඩම් විමසීමට කොමිසමක් පත් කිරීම ය. ත්‍රස්තවාදයේ සැපයුම පමණක් නොව ඊට ඇති ඉල්ලුම ද පාලනය කළ හැක්කේ කෙසේ දැයි සොයා බැලීම ය.
රටවල් ඉදිරියට යන්නේ තමන්ගේ වැරදීම් වලින් ඉගෙන ගන්නට ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගයන් නිසා ය. එසේ නොකරන ජාතීන්ට සිදු වන්නේ සෙසු ජාතීන් තමන් පසු කරමින් යන හැටි බලන්නට ය. එසේ බලමින් ලතවන්නට ය. එකක් පසු පස එකක් එන මෙවැනි ඛේදවාචකයන්ට නැවත නැවතත් මුහුණ දීමට ය.

අප තේරුම් ගත යුත්තේ කිසිවෙකු වෙනස් නොවේ නම් කිසිවක් වෙනස් නොවන බව ය. කිසිවෙකු යන පදයට තමන් ද අයිති බව ය. අනෙකා වෙනස් කිරිමට වඩා පහසු තමන් වෙනස් වීම ය. එවිට එහි ප්‍රතිඵලයක් ලෙස අනෙකා ද වෙනස් වන්නට නියමිත ය. ඉගෙනීම වඩාත් අවශ්‍ය තමන් වෙනස් විය යුත්තේ කෙසේ දැයි සොයා ගැනීමට ය.

2 thoughts on “කිසිවෙකු වෙනස් නොවේ නම් – කිසිවක් වෙනස් නොවේ

  1. ලිපියක් මගින් එක එක තැන් වලට මිනිසුන් ඇදගන යාම කලාවක් නම් ඒ කලාවේ යම් පමණක ප්‍රවීණත්වයක් මේ කතුවරයා අයිති කරගෙන ඇත. ඔහු මුලින්ම ගෙනෙන්නේ නවසීලන්ත ප්‍රහාරයට එකට එක කිරීමේ තර්කයයි. එය ගෙනෙන්නේ අන් කවර කරුණක් නිසාවත් නොවේ, මුස්ලිම් පල්ලියකට ගහන කිතුනුවාට එරෙහිව, කිතුණු පල්ලියකට ගහන මුසල්මානුවා යන විලෝමය මත රඳමිනුයි. හෝටල් වලට ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ ඔහුට වගේ වගක් නැත. ලංකාව ශ්‍රී මහා බෝධිය ට පහර දීම ගැන අපි දනිමු. ඒ ගැන කිසිවකු කිසිවක් කීවේ නැත. එදා සිටි කමලදාසලා කීවේ, ඒකටත් පිලියම සංහිඳියාවම බවයි. සපා කන්න කන්න අත දීමට කීම එකකි, අත නොදීම නිසාම බල්ලා සපා කනවා කීම අනෙකකි. මෙය කොහෙන් සැලසුම් කළද අන්තර්ජාතික අවධානය ලැබෙන පරිදි කළ දෙයක් බව පැහැදිලිය.
    කතුවරයා එකිනෙකා පිට වරද පටවා ගනිමින් ඇඟ බේරාගන්නවා කියන්නේ කුමක්ද කියාවත් පැහැදිලි නැත, රජය හා රාජ්‍ය යාන්ත්‍රණය මෙහි වග උත්තරකරුවන් වන අතර එයට තනිව හා සාමූහිකව ඔවුන් වගකිව යුතුය යන්න පැහැදිලිය. එවන් අවස්ථාවක රජය විවේචනය කිරීම කතුවරයා දකින්නේ බොර දියේ මාළු බෑමක් ලෙසය. මේ සිද්ධියය හේතු සේ දකින්නේ මුසල්මානුවන්ට සිදුවන අඩන්තේට්ටම් ය. කතුවරයා සිය දේශපාලන ව්‍යාපෘතිය බේරාගැනීමට දරන ප්‍රයත්නය හාස්‍යජනක මෙන්ම ජුගුප්සාවද උපදවන්නකි. ඔහුට කිසිවකුට ඇඟිල්ල දික් කිරීමට කොන්දක් නැති බැවින් හතර අතේ ගසයි. ඔතරම් මහන්සි වී හඳුනාගැනීමට අලියකු මෙතැන නැත. එහෙම අලියකු සිටියත් අලියාගේ පයින් පෑගෙන බවත් හොඬවැලෙන් පොලොවේ ගැසෙන බව දැන ගැනීමමෙන් අනතුරුව ප්‍රමුඛතා අත හැර අලියා අත ගගා පර්යේශණ කිරීමේ යෙදෙන ලෙසට පවසන්නේ එක්කෝ මුග්ධයෙකි නැති නම් කුහකයෙකි. මනෝ විද්‍යාත්මක පර්යේශණ තිබියේවා, ඒවා කවදත් විද්වතුන් විසින් කළ යුතු දේය. එය මේ අවස්ථාවේ අමුතුවෙන් කිව යුතු නොවේ. උගත් පාඩම් වැනි පට්ට ගැසූ වචනයක් නැවත නැවත්ත් යොදමින් පවසන්නේ කුමක්ද? අපි පාඩම් නූගත් නිසා මෙය සිදු වූ බවටය ඔහු ඉඟිකරන්නේ. එතකොට අර නවසීලන්ත ප්‍රහාරයට එකට එක කිරීමේ තර්කය ආගිය අතක් නැත.
    මොහු මේ කිසිවක් කෙලින්ම නොකියයි, හැඟවෙන්නට පමණක් ඉඩ හරියි. ඔහු මෙතැනදී දැඩි පාලකයෙක් පත් කර ගනීවි යන බිය පලකර සිටී. පාන්කඩ පාලකයා ගෙදර යැවිය යුතු බව නොකියයි. ඔහු මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ දැනට පත් වී නැති අනාගතයේ එන්නට ඉඩ ඇති ( ඒ සඳහා තව මාස ගණනාවක් තිබියදී ) දැඩි පාලකයකුට එරෙහිව ඡේදයක් දෙකක් වැය කරමිනි. මේ ඔහුගේ පැවැත්ම තුල සිදුව ඇති ගැටළුවයි. මෙවන් අවස්ථාවකදීත් ඔවුන් දකින්නේ තම පැවැත්මයි. යහපාලනයක් අටවාගන්න ට දර දිය ඇද ඉන්පසු ගොඩගන්නට බැරි හානියක් කළද, මේ මහතුන් තැත් කරන්නේ ඒ ව්‍යාපෘතිය ගොඩ ගැනීමය. එල් ටී ටී ය, ජ වි පෙ, මර්දන නිසා වර්ධනය වූයේ යයි කියන මොහු මේ මුස්ලිම් අන්තවාදී ප්‍රවාහය ඉතිහාසයේ මුල් පෙලේ ප්‍රචණ්ඩත්වයක් මුදාගැර ඇත්තේ කෙනහිලි කම් වලට කවර සමානුපාතිකත්වයක් මත දැයි කිසිදු පැහැදිලි කිරීමක් නොකරයි. මෙය රට ගැන නොදන්නා කෙනෙකු ( පරිවර්තනයක් ) කියවුවහොත් සිතනු ඇත්තේ මුස්ලිම් ජනතාව දැඩී ලෙස මර්දනයට ලක් වී ඇති බවකි.
    මේ ලියවිලි වලට ගෙවීමක් ලැබෙනවාදැයි මම නොදනිමි, එහෙත් නිසි අධ්‍යාපනයක් හදාරා ඇති කෙනෙකු තොත්ත බබෙකු වන්නේ කවර ආශ්චර්යකින්දැයි සිතා බලනු වටී. ගුණදාස කපුගේ සන්ෆ්ලවර්ස් ලාගෙ බෙලෙක්ක තාලෙට ගී කීවේ ඔහුට තිබූ ආර්ථික ප්‍රශ්න නිසාය. එවැන්නවුන් පවා විටෙක මුදල් උපයාගන්නට යමක් කරන්නට පෙලඹෙයි. එහෙත් මේ මහතුන්ට මෙවැන්නක් මුදලට කිරීමේ ඕනෑකමක් ඇති බව නොපෙනේ. එවුවත් මුදලට වඩා බල සම්පන්න බලවේග විසින් යම් යම් පිරිස් මෙහෙවනු ලබන බව නම් රහසක් නොවේ.

    • මගේ උගත් මිත්‍රයා සිය ප්‍රතිචාරයේ මෙසේ සඳහන් කරයි. “මුස්ලිම් පල්ලියකට ගහන කිතුනුවාට එරෙහිව, කිතුණු පල්ලියකට ගහන මුසල්මානුවා යන විලෝමය මත රඳමිනුයි. හෝටල් වලට ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ ඔහුට වගේ වගක් නැත. “ මගේ මිත්‍රයාට මග හැරෙන කාරණය නම් මේ කියන හෝටල් වල ප්‍රහාරය එල්ල වන මොහොතේ ඒවායේ පැවැත්වෙමින් තිබුනේ පාස්කු ඉරිදා උදෑසන ආහාර වේල බව ය. ප්‍රහාරය සිදු වූයේ එය සැමරෙන මොහොතේ බව ය.

      වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව ලෝකයට මුලින් කීවේ කමලදාසලා නොවන බවත් එහි ගෞරවය හිමි විය යුතු වන්නේ බුදුන් වහන්සේට බවත් මගේ උගත් මිත්‍රයාට අමතක වී තිබේ.

      ඔහු විසින් පල කර ඇති ඉතිරි අදහස් කරුණු මත පදනම් නොවන ඔහුගේ හිතළු මත පදනම් වේ. කෙසේ වුව ද පාළු ගෙයි වලං බිඳිමින් සිටි මට අභියෝගයක් අවසානයේ මුණ ගැසී තිබේ. මා වඩාත් කැමති වන්නේ මේ උගත් මිත්‍රයා සමග කරුණු මත පදනම් වූ සංවාදයක යෙදීමට මිස අවලාද වලින් එකිනෙකා නෑවීමේ අප්‍රයෝජනවත් කටයුත්තක් ආරම්භ කිරීමට නොවේ. ඒ නිසා මෙතැනින් නවතිමි. කරුණු සහිත සංවාදයකට ඔහුට ඇරයුම් කරමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s