සමනොල ගිරට යන සමනළු වඳින්නේ
බුදු සිරි පතුල කියලයි අපි කියන්නේ
ආදම්ගේ මුදුන සිතියමෙ තියෙන්නේ
ශිව පාදම් කියා අලුතින් ඇසෙන්නේ
මහවැලි කැළණි කළු ගංගා උපන්නේ
ඉර දෙවිඳුන් ද වඳිනා බව කියන්නේ
දහසක් ජන පහස නොමඳව විඳින්නේ
“කරුණා“ කරන්නයි මිනිසුන් නගින්නේ
පොඩ්ඩක් හෝව්
එහෙව් කන්ද කොහොම ද උන්ගේ වෙන්නේ
ශිව දෙවිඳුවත් ඇයි මැදිහත් නොවන්නේ
අයිතිය අපේ උන් ඇයි පිළිනොගන්නේ
“ඉවසුවා ඇති“ දැන් නම් මල පනින්නේ
උස් වී පෙනෙන මහගිරි දඹය පසුකර
ලං වී සිඹින පැහැබර අහස නතු කර
සුං වී අහිමි වන්නට පෙර සිරිපා ශිඛර
එක් වී දෙමු බැටය උන් සිරස කුඩු කර
බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ අතේ දරා ගෙන
(ඕනෑ වුනොත් වැඩ ගන්න බලා ගෙන)
යුද්ධං සරණේ – අපෙ කොළය ඉරාගෙන
සවන් දෙන්න
මේ පිස්සු කතා අපි නවතා
කරුණා කරමු ද අපි මුණි සිරිපා
ගෞතම බුදු පහස ලබා ලොව පරසිද්ද
ආදම්ගෙ පහස ලැබූ බව කිය සද්ද
ශිව දෙවිඳුන් එක් වූ පසු මොන අඩුවක් ද
එක් ව වඳිනවා මිස කුමකට යුද්ධ