අප තවමත් හෝඩියේ

1_04032019_FUN

පසුගිය දිනක ගුරුවරියක වසර දෙකකට සිර ගෙට නියම විය. එය කෙළෙසකවත් සතුටු විය හැකි තත්වයක් නොවේ. එය කෝප වී වියරු විය යුතු තත්වයක් ද නොවේ. පාසල දෙස විමසුම් ඇසකින් බලන්නට එය අපට ආරාධනය කර සිටින්නේ ය.

අපේ පාසල, ලෝකයේ දියුණු පාසල් සමග සන්සන්දනයේ දී, තවමත් ඉන්නේ හෝඩියේ ය. පාසල ගැන දෙමාපියන්ගේ ද ගුරුවරුන්ගේ ද අදහස් තවමත් තිබෙන්නේ ගෙවී ගිය සියවසේ මානසිකත්වය තුළ ය. අධ්‍යාපන බලධාරීන් බොහෝ දෙනෙකු ද ඉන්නේ ගෙවී ගිය සියවසේ තුන්වෙනි කාර්තුවවත් පන්නා ගෙන නැතිව ය.

දරුවන් 80% ක් තවමත් පාසල තුළ ශාරීරිකව හිංසනයට ලක් වන්නේ ඒ හේතුවෙන් ය. දඩුවම්වලින් 53% ක් ශාරිරික අපයෝජනයන්ය කියන ගරු නම්බුව ලබන්නේ ඒ නිසා ය. මිට මොලවා ගත් අතින් හෝ පයින් ගසනු ලැබිම් 17% ක් ඇත්තේ ඒ නිසා ය. බෙල්ලෙන් ඇද හුස්ම හිරකිරීම වැනි අති අමානුෂික දඩුවම් 16% ක් ද පොල්ලක් හෝ පිහියක් පෙන්නා තර්ජනය කිරීම් 3.8% ක් ද බිම වැටෙන සේ තල්ලු කර දැමීම් 7% ක් ද වශයෙන් මේ දඩුවම් අභිෂේක ලබා තිබෙන්නේ ද ඒ නිසා ය. මේ ලමා ආරක්ෂක අධිකාරියේ 2017 වාර්ථාවකට අනුව ය.

ඉහත සංඛ්‍යාලේඛන කියන්නේ පාසල තුළ විනය පිහිටුවීම පිටුපස ඇති ඛේදවාචකය ගැන ය. එය එසේ විය යුතු ද?

පාසල, සිසුන්ට විනය උගන්වන වැදගත් ස්ථානයකි. එය දෙවැනි වන්නේ ගෙදරට පමණ ය. දරුවෙකු හැදියාව ලබන්නේ මේ දෙපලෙනි.

මේ හැදියාව නම් කුමක් ද? සෙසු මිනිසුන් සමග නොහොඳ නෝක්කාඩු නැතිව ජීවත්වීමට අවශ්‍ය හැදියාව ය. ඔවුන්ට ගරු කිරීමට, වෙනස් වුව ද ගරු කිරීමට, අවශ්‍ය හැදියාව ය. තමන් ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගැනීමේ, එය ඊළග පරපුරට ද එය ඉතිරි කර තැබීමේ, හැදියාව ය. සිතින්, වචනයෙන් හා කයින් සංවරව හිඳීමේ හැදියාව ය. කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් ද පිළිබඳ යහපත් සමාජ සම්මතයන් පිලිපැදීමේ හැදියාව ය. ඒ සියල්ල සමාජයකට අවශ්‍ය ය. එහි ප්‍රගමනයට අවශ්‍ය ය.

ඒ හැදියාව මුලින් හැදිය යුත්තේ මනස තුළ ය. ඊළගට වචනය තුළ ය. අවසානයේ හැසිරීම තුළ ය.

බල්ලන් බළලුන් සම්බන්ධයෙන් නම් අප කරන්නේ මෙහි අනිත් පැත්ත ය. අප උන්ගේ වෙනස් කරන්නේ හැසිරීම ය. ඒ උන්ගේ මනස අමතන සන්නිවේදනය අප තවමත් ඉගෙන නැති බැවිනි. එහෙත් මනසක් ඇති දරුවන් සම්බන්ධයෙන් අප අනුගමනය කළ යුත්තේ පළමුව දැක්වූ සිත-චචනය-හැසිරීම යන අනුක්‍රමික පිළිවෙත ය.

එහෙත් අප සිතා සිටින්නේ තවමත් දරුවන් යනු බල්ලන් බළලුන් මෙන් හැදිය යුතු වර්ගයක් ලෙස ය. ඒ අප පසු කළ ආ සියවසේ තිබූ චින්තනය ය. බොහෝ රටවල් දැන් ඒ තත්වයෙන් මිදී දරුවන් දෙස බලන්නට පුරුදු ව තිබේ. අප තවමත් රස කර කර කියන්නේ, හැඳි නොගහා හදන හොද්දත්, නොගහ හදන දරුවාත්, එක යැයි, අපේ ආච්චිලාගෙත් ආච්චිලා කී කතාව ය. එතැනින් එහාට යන්නට අපට නොහැකි ව තිබෙන බව අප ලිපියේ මුලින් උපුටා දැක් වූ සංඛ්‍යා ලේඛන වලින් මනාව පැහැදිලි වෙයි.

බිය වැද්දීම

දරුවන් හදන්නට අප උත්සහ කරන්නේ යක් මුහුණක් පෙන්නලා ය. දරුවන් බිය වද්දා ය. ගෝනි බිල්ලෙකු මවා ගත්තේ ද ඒ සඳහා ය. නරක වැඩ කළොත් ඌ එසේ කරන ළමුන් අල්ලන් යන්නට එනවා යැයි කීවේ ඒ නිසා ය. බටහිර රටවල දරුවන්ට නත්තල් සීයා කෙනෙකු හිටියේ ය. ඒ හොඳ වැඩ කරන ළමුන්ට තෑගි දීමට ය. අප වඩාත් කැමති වූයේ තෑගි දී සතුටට පත් කරන්නට නොවේ. දඩුවම් දී බියට පත් කරන්නට ය.

එයින් අදහස් කරන්නේ දඩුවම සහමුලින්ම වැරදි බව නොවේ. එය අවසන් විකල්පය මිසක මුල් විසඳුම නොවිය යුතු බව ය. පසු ගිය ලිපියේ දඩුවම් දීම සඳහා පස්මහ බැලුම් බැලිය යුතු බව කීවෙමු. එයින් ද අප කීවේ දඩුවම් දීම පරිස්සමින් කළ යුතු දෙයක් බව මිසක, නොකළ යුතු දෙයක් නොවන බව ය.

දරුවෙකුට ශාරීරික නොවන දඩුවම් දිය හැකි ය. ඒ ඔහු ඇය නිවැරදි කර ගැනීමේ කාරුණික හදවතක් ඇති ව ය.

අපට වැරදුනේ දඩුවම සම්බන්ධ කාරණයේ දී  පමණක් නොවේ. හරි වැරැද්ද සම්බන්ධ කාරණයේ දී අපට ඊටත් වඩා බරපතල ලෙස වැරදුනේ ය.

දඩුවම් දෙන්නේ හරි වැරැද්ද වෙන් කර දක්වා සිටින්නට ය. එහෙත් දඩුවමට දරුවෙකු ලක් කිරීමේදී හරි වැරැද්ද කුමක් ද යන්න තෝරා බේරා ගන්නට බැරිව අපට වැරදී තිබෙන්නේ ය.

ශාරීරික හිංසනය පිළිබඳ සංඛ්‍යා ලේඛන ඒ කතාව ද දක්වා සිටින්නේ ය. හුස්ම හිරවන සේ බෙල්ල මිරිකීම හරහා පෙන්නන්නට යන හරි වැරැද්ද කුමක් ද? කොණ්ඩය වැවීම  වැරදි වැඩක් වුව ද කෙනෙකුගේ හුස්ම හිරවන තුරු බෙල්ල මිරිකා ගෙන සිටීම හරි වැඩක් බව ය. එය යකාගේ හරි වැඩක් මිස මනුස්සයෙකුගේ හරි වැඩක් විය නොහැකි ය. විනය පිහිටුවන්නට යන එකාට ඇති විනයක් නැත. අඩු වශයෙන් තමන්ගේ තරහව පාලනය කර ගැනීමේ සංයමය වත් උනට නැත.

පාසල තුළ කොණ්ඩය වවන්නටත් බැරි ය. කොටට කපන්නටත් බැරි ය. කෙස් ගහේ දිග ශිෂ්‍ය නායකයාගේ අභිමතය පරිදි වෙනස් වීමට ද ඉඩ තිබේ. ඇඳුම, කොණ්ඩය, සපත්තුව, මේ විනයේ දිග පළල ය. ඒ සියල්ල ලොකු බලපෑමක් නොකරන බාහිර කරුණු ය. එහෙමකට වටිනාකමක් නැති කරුණු ය. වටිනාකමක් නැති සිල් රෙද්ද වගේ කරුණු ය. සීලය ඇත්තේ රෙද්දේ නොවනවා මෙන් ම විනය ඇත්තේ ඇඳුමේ ම නොවේ. එහෙම දැක්මක් නැති විනය බලධාරීන් අතින් පාලනය වන පාසල් තුළින් බිහිකරන්නේ, එලියෙන් මනාව ඇඳගත්, අභ්‍යන්තරයේ විලි ලජ්ජා නැති, මහත්හොරු වීම, ඒ අනුව පුදුමයක් වන්නේ නැත.

පාසලින් එලියට බහින බොහෝ ළමුන් තමන් පාසල තුළ ලද පීඩනය මුදවා හරින්නේ කොණ්ඩය එක්කෝ දිගට වවා ගනිමින් ය. නැත්නම් තට්ටය ගා ගනිමින් ය. සිත්සේ කරාබු මාල පැළඳීම මගින් ය. ඉරුණු ඇඳුම් ඇඳීම මගින් ය. ඒ බාහිර විරෝධය විනා, සමාජයේ සැබෑ විරෝධය දැක්විය යුතු දේ සම්බන්ධයෙන්, උන්ගේ ද එහෙමකට විරෝධයක් නැත්තේ, එවැනි කරුණු සම්බන්ධයෙන්, එහෙමට දෙබසක් පාසල තුළ නැති නිසා විය හැකි ය.

විනයේ ඉලක්කය

වෙනස් අදහස් වලට ගරු කළ යුතු බවට විනයක් පාසල තුළ ක්‍රියාත්මක වන්නේ නැත. පාසල ඒ වෙනුවට කියන්නේ විදුහල්පති හා ගුරුවරු කියන බහ නිවැරදි දේ ලෙස තරයේ ගත යුතු බව ය. ඇදහිය යුතු බව ය. ඉදින් අනෙකා නොඉවසන, අන් මතයකට සංවේදී නැති, මිනිසුන් බිහි නොවී තියේ විද?

හැමදෙයක් ම යුනිෆෝම් කරන පරිසරයක වෙනසකට ඉඩක් කොයින් ද? වෙනසකට ගෞරවයක් කොයින් ද?

සෙසු මිතුරන් සමග එක්ව වැඩ කිරීමට හුරුවක් පාසල ලබා දෙන්නේ බාහිර ක්‍රියාකාරකම්වල දී පමණ ය. ඒද තම කණ්ඩායම ජයග්‍රහණය කරවීම හරහා ය. තම නිවාසයේ ජය උදෙසා ය. නැතිනම් තමන්ගේ පාසල ජයග්‍රහණය කරවීම උදෙසා ය. ඒ හැම තැනකම ඇත්තේ අනෙකා පැරදවීම ය. ඒ කටයුතු වල දී ආචාර ධර්ම කුණු මුල්ලට දමනු ලැබේ. එවැනි ආචාර ධර්මයන් නොමැතිව කෙසේ හෝ ජය ලැබීමෙන් අරමුණින් පාසලින් එලියට එන තරුණයා එකතු වන්නේ අනෙකා පරාජය කරනු පිණිස, තමන්ගේ එවුන් සමග එක්ව, යුද වැදීමට ය.

හරි වැරැද්ද ගැන සංවාදයක් ඇති කිරිමට සුදුසු ම තැන මේ තරගයයි. ඒ තරගයක් තුළ පිලිපැදිය යුතු කොන්දේසි ඇති බව උගැන්වීම හරහා ය. මේ එක් හෝ තවත් ආකාරයකට පවත්වන තරගය, මහත්මා ගති සහිතව තරග කළ යුතු ආකාරය පෙන්වා දෙන්නට, වැදගත් අවස්ථාවකි. එහෙත් තරගය ම මතුකරනවා විනා, ජයග්‍රහණයම හඹා යනවා විනා, වෙන දෙයක් පාසල කරන්නේ නැත.

හරි වැරැද්ද සම්බන්ධ නිර්ණායකයන් කොණ්ඩෙන්, ඇඳුමෙන්, සපත්තුවෙන් නතර වන්නේ කුමන කාරණයක් නිසා දැයි කියන්නට කෙනෙක් නැත. ඒවා ස්ථාපිත කරනු සඳහා කරන කප්පරක් දහ ජරා වැඩ හරහා හැදියාව හදන්නේ කෙසේ දැයි කියා දෙන්නට කෙනෙක් ද අපට නැත. හැම පාසලකම කරන නිසා කරනවා විනා, මේ බාහිර පෙනුම එක ම විනය කර්මය වීමේ කරුමයට, පැහැදිලි උත්තර නැත.

කොණ්ඩය, ඇඳුම හා සපත්තුව කෙනෙකුගේ පෞද්ගලික කාරණා ය. එයින් කරනවා යැයි කියන්නේ සමානතාවය ඇති කිරීම නම් සමාජ කාරණාව ය. සෙසු අය සමග නිවැරදිව ගනුදෙනු කරන එක ද සමාජ කාරණාවකි. දෙවැන්න ගැන උනන්දු නොවන පාසල, පළමුවැන්න ගැන උනන්දු විම තුළ පෙන්වන්නේ, තමන්ගේ ප්‍රාථමිකත්වය ය.

මේ සම්බන්ධයෙන් තව පැති කඩක් තිබේ. හරි වැරදි කාලයත් සමග වෙනස් වන්නේ ය. එක කලෙක කුඩා ළමයෙකු මෙහෙකාර කමට තබා ගැනීම වැරදි යැයි සැළකුනේ නැත. දැන් එය වැරදි යැයි සැළකෙන්නේ ය. පාසල තුළ හරි වැරදි සම්බන්ධයෙන් සංවාදයන් පැවතිය යුතු වන්නේ ඒ නිසා ය. අන් බොහෝ දේ මෙන් ම සිරිත් විරිත් ද යල් පැන යන්නේ ය. බුලත් හුරුල්ලක් දී කෙනෙකු පිළිගැනීම එදාට අනුව හරි ය. ඒ බුලත් කන ජනතාවක් හිටි නිසා ය. දැන් එහි ඇත්තේ කුමන තේරුමක් ද? ඉදිරි ගමනක යෙදෙන ජාතියක් නිරතුරුවම තම සිරිත් විරිත් ප්‍රශ්න කළ යුතු ය. නව සිරිත් විරිත් එකතු කර ගත යුතු ය.

පාසල ඊට සූදානම් නැත. දරුවන්ට පාසලේ කිසි දෙයක් ප්‍රශ්න කළ නොහැකි ය. සම්මතයන් ප්‍රශ්න කළ නොහැකි ය. වත් පිළිවෙත්, වැඩ පිළිවෙලවල්, ප්‍රශ්න කළ නොහැකි ය. එසේ දරුවන්ට තහංචි පනවන අප දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ විචාරශිලිත්වය ය. නිර්මාණශීලිත්වය ය. එහෙත් ලැබෙන්නේ උගැන්වූ දේ නැවත එලෙසම වමාරන ගිරා පෝතකයන් ය. තල වපුරා මුං ගන්නට බැරි ය.

ගෞරවය සැමට

පාසලේ විනය තුළ තිබෙන්නේ දරුවා ගුරුවරයාට ගෞරව දැක්විය යුතු බව ය. ගුරුවරයා, දරුවාට අගෞරව කරාට කමක් නැත. බල්ලා හෝ බූරුවා කීවාට කමක් නැත. මේ තුළ දරුවා ඉගෙන ගන්නේ කුමක් ද? පොඩි මිනිහාට පාට් දැමිය යුතු බව ය. එය ලොකු මිනිහාගේ අයිතියක් බව ය. මේ කිනම් හැදියාවක් ද? මෙය වෙනස් විය යුතු නැද්ද? දේශපාලන හයි කාරයින් විසින් ගුරුවර ගුරුවරියන් දණ ගස්වනු ලබන්නේ මේ ඊනියා “අධ්‍යාපනය“ නිසා නොවේ ද? විනය ඇති කිරීමේ නරකම ආදර්ශය, පාසලින් තමන්ට ද, ලැබුණු නිසා නොවේ ද?

දේශපාලනඥයා දන්නා විනය, ගුරුවරයා දන්නා විනයෙන්, දශමයකින් වත්, අබ මල් රේණුවකින්වත්, වෙනස් නැත. මා කියන්නක් කරව. නැතිනම් තොට දඩුවම් දෙන්නට මට හැකි ය. ඒ මා බලවතා නිසා ය. අප, මේ ඊනියා විනය පටිපාටිය අවසන් නොකරන්නේ නම්, භූමරංගයක් මෙන් එය මෙසේ අප වෙත නැවත කැරකී ඒම වැළැක්විය නොහැකි ය. අපට නෙලා ගන්නට සිදු වන්නේ අප වැපුරූ බීජවල අස්වැන්න ය. දෙවැනි වතාවටත් කිව යුත්තේ තල වපුරා මුං ගත නොහැකි බව ය.

අප මෙතෙක් මේ විනය පිහිටුවීමට අදාළ ප්‍රශ්නය දෙස බැලුවේ සමාජයේ පැත්තෙනි. අප දැන් කැමති දරුවාගේ පැත්තෙන්, දෙමාපියන්ගේ පැත්තෙන්, ඒ දෙස බැලීමටය.

ශාරීරික හිංසනය හා මානසික හිංසනය දරුවාට පාසල එපා කරවයි. ඇයට ආතතිය ඇති කරවයි. ඇතැම් දරුණු තත්වයන් යටතේ, දිග්ගැස්සුණු හා දරුණු, ශාරීරික මෙන්ම මානසික ආබාධ ද ඇති කරවයි. දරුවාගේ මේ විපර්යාසයන් දෙමාපිය ජීවිතයට ද දැඩි බලපෑමක් ඇති කරයි. දරුවා පාසල් යැවිය යුතු වුව ද ඒ තුළ දරුවා විඳින පීඩනය ඔවුන්ව ද වෙහෙසට පත් කරයි. ලෙඩ කරවයි. පාසල නම් බලාධිකාරය ඉදිරියේ දරුවන් පමණක් නොව දෙමාපියන් ද අසරණ වෙයි. වෙනත් පාසලක් සොයා ගැනීම අපහසු ය. ගුරුවරයෙකුට විරුද්ධව පැමිණිල්ලක් කිරීම ම අවදානම් ය. එහි දී කිසිවෙකු උදව්වට එන්නේ නැත. පළිගැනීමට ලක් වෙතැයි බිය නිසා ය. එක ගුරුවරයෙකුට එරෙහිව කරන පැමිණිල්ලක් බොහෝ ගුරුවරුන් ගන්නේ තමනට ද එරෙහිව කළ එකක් හැටියට ය. දරුවාට කර ඇති දඩුවම අසාධාරණ සේ දකින ඒ පාසලේම ගුරුවරයෙකු පවා ඇතැම් විට අසරණ ය. ඒ නිසා සිදු විය හැක්කේ තත්වය තවත් උත්සන්න වීම පමණ ය. මේ උගුල ගැලවීමක් නැති උගුලකි. අහුවුනොත් ඒ කරුමයට ය.

ඇතැම් විට ගුරුවරුන් දරුවන්ගෙන් පලි ගන්නේ තමන්ගේ පුද්ගලික පන්තියට පැමිණ පඩුරු පාක්කුඩම් නොපිළිගැන්වීමේ වරදට ය. ඇතැම් විට තමන්ගේ මානසික පීඩනයක් එලියට දමන්නට ය. කෝපය පිට කරන්නට ය. ඒ ගෙදර ආරවුලක් හෝ තමන්ගේ ම ළමයෙකුගේ ගැටළුවක් විය හැකි ය. වින්දිතයා කිසිදු සම්බන්ධයක් නැති අහිංසකයෙකු වීමේ ඉඩ මේ කරුණු නිසා වැඩි ය.

ගුරුවරයාගේ කෝණයෙන්

දැන් අපි ගුරුවරයෙකුගේ පැත්තෙන් මේ පිළිබඳව බලමු. ඇතැම් පාසල් වල පන්තියක ඉන්නා ළමුන් ගණන පනහ ද ඉක්මවයි. ඇතැම් තැනක ගුරුවරයාට පන්තිය තුළ ඇවිදින්නටවත් ඉඩ නැත. ළමුන් විවිධ ය. ඒ අය අතර පවුල් ආරවුල් නිසා මානසික පීඩනයෙන් ඉන්නා ළමෝ ද සිටිති. උන්ට ඉගෙනීමට හිතක් නැත. ඇතැම් ළමුන් මානසික ලෙඩ වලින් ද පෙළෙති. සමහරු බඩගින්නේ ය. උන් පාලනය කිරීම ද අමාරු ය. ඇතැම් ළමෝ සෙසු අයට ද කරදර කරති. ඉගෙනීමට බාධා පමුණුවති. මේ ළමුන් පිළිබඳව කුමක් කළ යුතු දැයි ගුරුවරිය දන්නේ නැත. ඇයට ඒ සඳහා පුහුණුවක් ලබා දී නැත. ඇගේ දැනුම ඇය උගත් විෂය ක්ෂේත්‍රයට සීමා වී ඇත. ඒ අතින් ගුරුවරිය ද අසරණ ය.

දරුවන් හා ගුරුවරුන් දෙකොට්ඨාෂය දෙසම සම සිතින් බලන ගුරු වෘත්තීය සමිති නායකයෙක් වෙයි. එතුමා නමින් ජෝසප් ස්ටාලින් ය. මේ ඔහුගේ හඩ ය. “ළමයින්ට දඩුවම් කිරීම සම්බන්ධව 2005/17 කියල චක්‍ර ලේඛනයක් නිකුත් කරල තියෙනව. මේ සම්බන්ධව අමාත්‍යංශය ගුරුවරුන් දැනුවත් කළ යුතු යි. එසේ නොකිරීමෙන් වෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ගවල දී ගුරුවරුන් පීඩාවට ලක් වීම. ඒ වගේම දඩුවම් සම්බන්දයෙන් නව මනෝ විද්‍යාත්මක සංකල්ප ගුරුවරුන්ට හඳුන්වා දෙන්න ඕන. අධ්‍යාපනයේ සංවර්ධනය ගොඩනැගිලි හැදිමයි ටැබ් දීමෙනුයි එහාට ගිහිල්ල නැහැ. අද අපරාධකරුවන්ට දඩුවම් දීම අතින් ලෝකය නවීන තැනක ඉන්නව.“ අප මේ හඩට ලිපිය තුළ ඉඩ ලබා දුන්නේ ඇති වී තිබෙන තත්වය තේරුම් ගෙන වඩා බුද්ධිමත් ප්‍රවේශයක් වෙනුවෙන් පෙනී සිටින පාර්ශවකරුවන් ද ඉන්නා බව කීමට ය. එහෙත් ප්‍රශ්නය ඔවුන් සිය දහස් ගණනින් අවශ්‍ය තැනක ඉන්නේ අතලොස්සක් වීඹ ය.

වඩා වැදගත් වන්නේ නීති ක්‍රියාත්මක කිරීමට ද වඩා තත්වයේ සාධනීය වෙනසක් කිරීමට ගුරුවර ගුරුවරියන් දෙමාපියන් ද සමග එකට අත්වැල් බැඳ ගෙන කටයුතු කිරීම ය. ඒ ගොඩට දරුවන් ද එකතු කර ගැනීම ය. හැම පාර්ශවයක් දෙස ම ගෞරවයෙන්, ආදරයෙන්, සෙනෙහසින් බලන්නට හැකි පරිසරයක් පාසල තුළ හැදීම වෙනුවෙන් වැඩ කිරීම ය. ඒ සඳහා ගුරුවර ගුරුවරියන් දැනුමෙන් සන්නද්ධ කිරීම ය. පාසල මනෝ විද්‍යා උපදේශනයන් දිය හැකි, ඒ ක්ෂේත්‍රය තුළ විධිමත් අධ්‍යාපනයක් ලැබූ, අයගෙන් ද සමන්විත කිරීම ය. දැන් තරහට කියනවාක් මෙන් පොලීසිය සමග සම්බන්ධයක් ඇති කරගැනීමට වඩා රෝහල සමග, විශේෂයෙන් මනෝ වෛද්‍යවරුන් සමග, සම්බන්ධයන් ගොඩ නගා ගැනීමට කටයුතු කිරීම ය. දරුවන්ගේ දුක්ගැනවිලි වලට සවන් දිය හැකි යාන්ත්‍රණයක් පාසල තුළත් අධ්‍යාපන කන්තෝරු තුළත් සකස් කිරීම ය. දරුවෙකුගේ පැමිණිල්ලක දී ඇයට එරෙහි ව අවි අමෝරා නොගෙන මැදිහත් සිතින් විමසන්නට හැකි සැබෑ වැඩිහිටියන් පාසල තුළත් අධ්‍යාපන කන්තෝරුවලත් සැදීම ය. ඒ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරද්දී රහස්‍ය භාවය රැකීමට, දරුවාට වඩාත් දරුණු අගතියක් සිදු නොවන බවට වග බලා ගැනීමට, කටයුතු කිරීම ය. උදව් අවශ්‍ය ගුරුවරුන්ට නීතියෙන් දඩුවම් කරන්නට පෙර, උපදේශනයෙන් හා වෙනත් අයුරින් සහය වී පිහිට වීම ය.

පාරේ උද්ඝෝෂණය කළාට අධිකරණ නියෝගයක් ආපස්සට හැරවිය නොහැකි ය. ඒ සඳහා කළ හැකි එක ම දෙය ඉහළ අධිකරණයේ සහය පැතීම ය.

ඊට අමතරව අප උද්ඝෝෂණය කළ යුත්තේ ගුරුවරුන් අධිකරණය ඉදිරියට ගෙන යෑම ගැන නොවේ. එවැන්නක් වළක්වා ගැනීමට හැකි යාන්ත්‍රණයක් පාසල තුළ පිහිටුවා ගැනීමට බලධාරීන්ගෙන් අවසර ඉල්ලා ය. ඒ සඳහා මැදිහත් වන ලෙස ඔවුන්ට බල කරමින් ය.

අප හැමදාමත් මෙන් මෙතැනදී ද ඉල්ලන්නේ වැරදි දෙයකි. එසේ කොට යහපත් ප්‍රතිඵල බලාපොරෝතු වීම අපේ දුර්වල කම ය. තෙවැනි වතාවටත් කිව යුත්තේ තල වපුරා මුං ගත නොහැකි බව ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s