හේතු සාධක නැති අපේ නිගමන

444_11022019_FRR

මත්ද්‍රව්‍ය වැනි අනතුරුවලින් සමාජය මුදවා ගැනීම සිල්ලර කටයුත්තක් නොවේ. පහසු කටයුත්තක් ද නොවේ. බොහෝ දෙනෙකුගේ මතය නම් එවැනි කටයුතු වලට දැඩි දඩුවම් පැමිණවීම අවශ්‍ය බව ය. එසේ නොකර ඒවා මුළුනුපුටා දැමිම කළ නොහැකි බව ය. බැලූ බැල්මට කතාව ඇත්ත ය. දඩුවම කෙනෙකු කිසියම් අභිචාරයකින් ඈත් කරවීමට සමත් යැයි කියනු ලබන හෙයිනි.

එහෙත් බොහෝ දෙනෙකු ඒ නිගමනයට එන්නේ කරුණු සළකා බලා විමසා ද යන්න ගැටළුවකි.

මෑතක දී මේ සම්බන්ධයෙන් ඉතාම තදින් බලය යොදා ක්‍රියාත්මක කළ රට වූයේ පිලිපිනයයි. මත්ද්‍රව්‍ය මාෆියාව පාලනය සඳහා පිලිපීන ජනාධිපතිගේ උපායමාර්ගය වූයේ නඩු නැතිවම මරා දැමීමට අවසර දීම ය. එම උපාය මාර්ගය ක්‍රියාවට නැංවීම ආරම්භ කළේ 2016 වසරේ ජූලි පලමුවෙනිදා ය. දකුණු කොරියානු ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් මරා දැමීමෙන් කැළඹීමට පත් ව ජනාධිපති විසින් ඒ උපාය මාර්ගයට කෙටි විරාමයක් ලබා දුන්නේ 2017 ජනවාරි 31 දා ය. ඒ කාල වකවානුව තුළ පමණක් 53,025 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර නිවාස 7,069,095 ක් ගණනක් සෝදිසි කර ඇත. ඒ වකවානුව තුළ පමණක් 1,179,462 තමන් මරා දමනු ඇතැයි සැකය නිසා පොලීසියට බාර වී ඇති අතර හත් දාහකට අධික සංඛ්‍යාවක් මරා දමා ඇතැයි විශ්වාස කෙරේ. එයින් පෙනී යන්නේ එය එක්තරා දුරකට වැඩ කර ඇති සැටියකි.

දකුණු කොරියානු ව්‍යාපාරිකයා මරා දැමීම හේතුවෙන් තම සටනට තාවකාලික විරාමය දෙමින් ජනාධිපති කියා සිටියේ පළමුව පොලීසිය නිවැරදි වී සිටිය යුතු බව ය.

විරාමය සති කීපයකින් අවසන් වූ අතර පෙබරවාරි 27 දින නැවත සංග්‍රාමය ඇරඹිනි. දින 27 ක් තුළ පොලීසිය නිසි මගට පැමිණියේ යැයි සිතුවහොත් එය ලෝකයේ සිදුවූ අතිශය පුදුම සහගත පෙරලිය යැයි කිව හැකි ය. ඒ ගැන තොරතුරු අප සතුව නැත. එහෙත් පොලිසිය හැදුනා හෝ නැතා හෝ මේ ගමන ඉදිරියට යා යුතු යැයි පිලිපීන ජනාධිපති හිතුවා විය යුතු ය.

මර්දනයෙන් නිවාරණය පහසු නැත

මෙයින් එකක් පැහැදිලි ය. මෙවැනි මර්ධනයක් අභියස ද මත්ද්‍රව්‍ය පාලනය ලෙහෙසි වී නැති බව ය. තවමත්  මත්ද්‍රව්‍ය පිලිපීනයේ සංසරණය වන බව ය. මාෆියාව ක්‍රියාත්මක වන බව ය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දැඩි නීති රීති පැනවූයේ ද දඩුවම් ක්‍රියාත්මක වූයේ ද ඉතිහාසයේ පළමු වතාවට පිලිපීනයේ නොවේ. මත්ද්‍රව්‍ය මර්ධනයට දැනට වසර පෙර වැට කඩුළු බැන්දේ අප කවුරුවත් නොහිතන ඇමරිකාව ය.

ඇමරිකාවේ ලාස් වෙගාස් නගරය ප්‍රසිද්ධ සූදුවට ය. එහෙත් එහි බලන්නට වටිනා කෞතුකාගාරයක් ද තිබේ. එය නමින් මොබ් මියුසියම් ය. එහි තිබෙන්නේ ඇමරිකාවේ මාෆියාවේ ආරම්භය විකාශනය හා අවසානය පිළිබඳ කතාව ය. සාක්කි සංඛ්‍යාලේඛන වීඩියෝ පට පමණක් නොව මාෆියාව භාවිතා කළ අවි සහ වෙනත් උපකරණ වල එකතුවක් ද සහිතව ය.

ඇමරිකාවේ මාෆියාව ආරම්භ වන්නේ 1920 දී එහි මද්‍යසාර මුළුමණින් තහනම් කිරීමත් සමග ය. එයින් අදහස් කරන්නේ ඇමරිකාව මද්‍යසාර නිශ්පාදනයත් ආනයනය කිරීමත් බෙදා හැරීමත් විකිණීමත් මුළුමණින් ම තහනම් කළ පසු එම කර්මාන්තය යටිබිම් ගත වූ බව ත් එහි නිශ්පාදනය හා බෙදා හැරීම සඳහා ආරක්ෂාව සැපයීමේ අවශ්‍යතාවය සපුරනු සඳහා අවිගත් කණ්ඩායමක් අවශ්‍ය වූ බවත් ය. එය පසු කලෙක මධ්‍යගත නායකත්වයක් විසින් පාලනය කරන, රට පුරා පැතිර ගිය, වෙනම සංවිධිත මාෆියාවක් බවට ක්‍රමයෙන් වර්ධනය වූ බව ය.

අවශ්‍ය තැන් වලදී මාෆියාව මිනිසුන් අල්ලස් දී මිල දී ගත් අතර එසේ නොකළ හැකි තැන් වල දී මරා දැමීමෙන් ඒ මිනිසුන්ගෙන් නිදහස් වීමට එය වග බලා ගත්තේ ය.

එසේ මේ මාෆියාව පොලීසියේ ද රාජ්‍ය යන්ත්‍රණයේ ද පළල් සමාජයේ ද මිනිසුන් රැසක් බිල්ලට ගත්තේ ය. මිනිසුන් බය නිසා මාෆියාවට විරුද්ධව කිසිවක් කිරීමට කැමති වූයේ නැත. ඒ නිසා ම මාෆියාව මැඩලීම අතිශය දුෂ්කර කරුණක් විය.

උගත් පාඩම්

අවසානයේ ඇමරිකාව මත්පැන් සඳහා තිබුණු තහනම ඉවත් කළේ ය. තහනම ඉවත් කිරීමෙන් පසු සිය පැවැත්ම සඳහා මාෆියාවට අලුත් දෙයක් සොයා ගැනීමට සිදු විය. ඔවුන් ඊළගට එල්ලුනේ එවකට තහනම් කර තිබූ සූදුවේ ය. පසු කලෙක ආණ්ඩුව සූදුව සම්බන්ධ නීති ලිහිල් කළ අතර ලාස් වෙගාස් නගරය ම එක ම සූදු පුරයක් බවට නොබෝ කලකින් පත් විය. මාෆියාවට තව වතාවක් යන එන මං නැති විය.

ඔවුන් කළේ ඒ වනවිට තහනම් කර තිබූ මත්කුඩු ව්‍යාපාරිකයන්ට සරණ වීම හරහා සිය පැවැත්ම නැවත වතාවක් තහවුරු කර ගැනීමට ය. ඇමරිකන් ප්‍රාන්ත ගණනාවක ම මත්කුඩු තහනම ඉවත් වූ කල මාෆියාව බොහෝ දුරට අසරණ විය. ඒ තත්වය යටතේ එය පාලනය කිරීම රජයට පහසු විය.

ඉතින් මේ දිග කතාව කීවේ තහංචි හරහා බොහෝ දේ කළ හැකි යැයි තවමත් විශ්වාස කරන අපේ පාඨකයන්ගේ ඇස් අරවනු පිණිස ය. එහෙත් ඒ සඳහා තව උත්තර දිය යුතු පැනයක් තිබේ. ඒ පැනය නැගුවේ  මේ කතාව අසා සිටි මගේ එක් උගත් මිත්‍රයෙකි. ඔහු ඇසුවේ ඇමරිකාව මාෆියාව මර්ධනය කළේ වුව ද දැන් ගිනි රාමෙට මත් පැන් ද මත් ද්‍රව්‍යය ද සූදුව ද පැතිරී ඇති නිසා එයින් ලබා ගත් ඇත්ත ජය කුමක් ද යන්න ය.

පෙරලා අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. ඒ වෙඩි තබා මිනිසුන් මරා දමා මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමට පිලිපීනයට හැකි වී ඇත්තේ ද කියා ය.

ඒ පිළිබඳව සැක හැර දැනගත හැකි එක නිර්ණායකයක් නම් “ෂාබු“ නම් වඩාත් ජනප්‍රිය වැඩියෙන්ම ඇබ්බැහිවන සුළු මත්ද්‍රව්‍ය වල විදීයේ මිල ඉහළ ගොස් ඇත්දැයි බැලීම ය. පිලිපීනයේ මත්ද්‍රව්‍ය නාශක මධ්‍යස්ථානයේ ම සංඛ්‍යාලේඛන වලට අනුව සංග්‍රාමය දියත් කර මාස 10ට පසුව ද වඩාත් අඩු මිලකට මැනිලා නගරයේ දී මිලට ගත හැකි වී ඇත. 2016 ජූලි මාසයේ සංග්‍රාමය ආරම්භ කිරීමට පෙර ෂාබු ග්රූමයක් පෙසෝ 1,200 සිට 11,000 ක් පමණ පරාසයක පැවති අතර එය 2017 මැයි මාසය වන විට පෙසෝ 1000 සිට 15,000 දක්වා වී තිබේ (ඇතැම් තැනක මිල ඉහළ ගොස් තිබිය ද තවත් තැනක එය ලාභ වී ඇත).

මර්දනය නාමයෙන් තරඟකරුවන් මෙල්ල කිරීම

මෙසේ නොහැකි වීම පිළිබඳ තව කතාවක් තිබේ. පොලීසියේ නිලධාරීන්ගේ අනුග්‍රහ ලබන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දැන් වෙනදාට වඩා සරු වී ඇති අතර උන්ගේ තරඟ කරුවන්ට පමණක් කණකොකා හඩා තිබේ. පළමු කණ්ඩායම නිල පොලීසියේ ආධාර ඇතුව ද දෙවැනි කණ්ඩායම නොනිල මැර කණ්ඩායම වල ආධාරය ද ඇතිව යුද්ධයට අවතීර්ණ වී තිබේ. ජයග්‍රහණය විය යුතු පරිද්දෙන් පොලීසියේ අනුග්‍රාහක කණ්ඩායම් වලට ලැබී ඇති අතර ඔවුන්ගේ මත්ද්‍රව්‍ය දැන් වෙනදාටත් වඩා නිදහසේ අලෙවි වේ. මේ සියල්ලෙන් කියන්නේ නීතිය දැඩිව ක්‍රියාත්මක කළේ වුව ද ඇති වන ප්‍රතිඵල අප නොහිතන පරිදි විය හැකි බව ය.

ආගම තියෙන්නේ නීතියට බැරි වූ දෙය කරන්නට යැයි විශ්වාසයක් ද අප අතර තිබේ. සමහරුන්ට අනුව කළ යුත්තේ බණ කීම ය. ඒ සඳහා දරුවන් දහම් පාසල් දැක්ක වීම ය. මේ දිනවල ඒ සඳහා ද පිඹුරුපත් සකස් කරමින් තිබේ. ඒ ද සංඛ්‍යාලේඛන හෝ තොරතුරු මත පදනම් ව නොවේ.

දැනට ද වඩාත් දැඩිව ආගම අදහන රටවල් 5 අතර ලංකාව ද තිබේ. කුඩා ටවුමක් වූ තලවතුගොඩ හංදියේ පමණක් සිවුරු ආදී පූජා භාණ්ඩ සපයන කඩ සාප්පු පහක් තිබේ. ෆාමසි ගාවට ටවුමේ වැඩියෙන්ම තියෙන්නේ එවැනි කඩ ය. පිරිත් හා බණ හැම තැන ම ලංකාවේ සෑ අස්සක් මුල්ලක් නෑර ම අසන්නට තිබේ. මාධ්‍ය  සියල්ල ද ඒ සඳහා පේවී සිටිති. උදේ ද හවස ද රෑ ද වශයෙන් තෙවතාවක් ආගමික වැඩ සටහන් පැවැත්වේ. බණ කීම සඳහා ම වෙන්වූ නාලිකා ද බර ගණනකි. ඒ සියල්ලෙන් බැරි වූ දේ අප දැන් කරන්නට හදන්නේ දරුවන් දහම් පාසල් යැවීමෙනි. ඒ දැනටමත් දරුවන් දහම් පාසල් යමින් තිබෙන බව පිළිබඳ නොසළකා හරිමින් ද එයින් ඇති ව තිබෙන ප්‍රතිඵල පිළිබඳ නිසි අධ්‍යයනකින් ද තොරව ය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් දුරාචාරයන් හා අභිචාරයන් සම්බන්ධයෙන් ද එය විසඳුමක් යැයි හිතන අය බොහෝ ය.

දහම් පාසල් බෙහෙත

හිර ගෙදර ඉන්නා හිරකරුවන් දහම් පාසල් නොගිය අය දැයි කිසිදු සමීක්ෂණයකින් අනාවරණය වී නැත. එවන් වටපිටාවක අප දහම් පාසල සොයා යන්නේ නිසි තොරතුරු ඇතිව නොවේ. අපට හිතෙන හැටියට ය. අපට දැනෙන හැටියට ය.

එසේ නම් උත්තරය කුමක් ද? ඔබ නොඉවසිල්ලෙන් නගන ඒ ප්‍රශ්නය සාධාරණ ය. එයට දිය හැකි මුල්වටයේ උත්තරය කරන දෙයක් නිසි තොරතුරු අගැයීමකින් පමණක් කරන ලෙස ය. දෙවැනි වටයේ උත්තරය සඳහා අප බැලිය යුත්තේ මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම ඉහළ යන්නේ කවර සාධක මත ද යන්න ය. ඒ ගැන සමීක්ෂණ විසින් හෙලිකර ගන ඇති සමහර තොරතුරු අනුව එක් පැත්තකින් ඊට පෙළඹීමට මිනිස් ස්වභාවයට අමතරව සමාජීය කාරණා ද බලපාන්නේ ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම තුළ අප කරන්නේ අපේ ජිවිතයේ හිස් තැනක් පුරවා ගැනීම ය. බොහෝ දෙනෙකුගේ ජිවිතය තුළ ආදරය සෙනෙහස නැත. ඒවා ආගම විසින් ද සදාචාරය විසින් ද අරහං කර තිබෙන්නේ ය. බොහෝ දෙනෙකුට ජිවිතය විඳින්නට බැරි ය. ඒ කප්පරක් තහංචි නිසා ය. ඒ ඇරෙන්නට සංස්කෘතික ජීවිතයක් මිනිසුන්ට නැත. සිංදුවක් කියන්නට, චිත්‍රයක් අඳින්නට, කවියක් ලියන්නට, රැඟුමක් නරඹන්නට, ක්‍රීඩාවක යෙදෙන්නට හෝ පොතක් කියවන්නට හුරුවක් පුරුද්දක් නැත. එහෙමකට වෙලාවක් නැත. වත් කමක් නැත. කලාතුරකින් කෙනෙකු එවැන්නක් කළ ද තමන් විසින් කරන එවැන්නක් බෙදා හදා ගන්නට එවැන්නක් ගැන කතා කරන්නට ද ඒ බොහෝ දෙනෙකුට සංවේදී සගයෙක් නැත. එහෙමට සමාජයක් ද රටේ නැත. ඉතින් ඒ අඩුපාඩු සියල්ල පුරවනුයේ මත්ද්‍රව්‍ය වලින් වීම පුදුමයක් ද?

ඊට අමතරව බොහෝ මිනිසුන් ජීවත්වන්නේ බොරුවෙනි. වංචාවෙනි. රැවටිල්ලෙනි. ඒ නිසා ඇතුළතින් ඔවුන් ඉන්නේ ආතතියෙනි. ඇතුළතින් වද දෙන හෘද සාක්ෂියක පීඩනයෙනි. ඒ සියල්ලට බේත මත්ද්‍රව්‍ය ය.

පසුබිම් කාරණා

මේ සියල්ල පිටුපස තිබෙන්නේ අපේ අධ්‍යාපනය ක්‍රමයේ වැරදි ය. දේශපාලනයේ දිළිඳු කම ය. ආගමේ කළු හෙවනැල්ල ය. සංස්කෘතියේ යල් පැන ගිය සදාචාරවාදී කුණු කන්දල් ය. ඒවා මත ගොඩනැගුණු අසමත් රාජ්‍ය හා දූෂිත නිලධාරී පැලැන්තිය ය. උඩින් පුම්බාගෙන සිටින්නේ වුව ද ඇතුළතින් දුබල අකාර්යක්ෂම ආයතන පද්ධතිය ය. කුණු උඩ දමමින් වැජඹෙන ජඩ මාධ්‍ය ජාලය ය.

අප ඉහත සඳහන් කළ පොදු බාහිර කරුණු වලට අමතරව ඇතැම් මානසික රෝග ද ජාන දුබලතා ද වැනි අභ්‍යන්තරික කාරණා ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට පෙළඹවිම් ඇති කළ හැකි බව සැබෑ ය. ඒවාට උත්තර සෙවිය යුත්තේ මරණ දණ්ඩනය හරහා නොවේ. වෛද්‍ය විද්‍යාව හරහා ය.

ඇතැම් අය කුතුහලය නිසා ද තවත් අය ක්‍රම විරෝධයේ සංකේතයක් ලෙස ද එයට අනුගත වෙති. එයට උත්තර ඇත්තේ වඩා විවෘතව අදහස් පළ කළ හැකි වටපිටාවක් තැනීමේ ය.

ඊට අමතරව මත්ද්‍රව්‍ය බහුලව භාවිතා කරන්නේ තරුණ පරපුර ය. ඔවුන්ට අධ්‍යාපන අවස්ථා සීමිත ය. රැකියා අවස්ථා සීමිත ය. ව්‍යාපාරික අවස්ථා සීමිත ය. ඒවාට තිබෙන වැට කඩොලු අසීමිත ය. මේ නිසා ඇති ව තිබෙන අසහනය අති විශාල ය. ඒවා වඩා පළල් කිරීමට රජය ගන්නා උත්සහයන් පවා කඩා දැමීමට පේවී ඇති බලවේග වල ගොදුරු බවට මේ සීමිත කඩ ඉඩ පැන ගත් තරුණ තරුණියන් ම එකතු වී කරන නාඩගම් බලන්නට සෙසු තරුණ තරුණියන්ට සිදු වී තිබීමේ කරුමය ද අති මහත් ය.

උන්ට ආතතිය පීඩනය ඇති කිරීමට තරම් අනවශ්‍ය තරගයකට උන් යොමු කරවා තිබේ. උන්ව බැඳ තැබීමට ක්‍රියාත්මක වන දහසක් බලවේග මේ සමාජය තුළ ක්‍රියාත්මක වේ. පාසල, ආගම, රජය, පොලීසිය, සමාජය යන මේ හැම එකකින්ම පනවන්නේ තහංචි ය. පිරිමි ලමයෙකු ගැහැණු ළමයෙකුගේ අතින් අල්ලාගෙන ඇවිදීමටවත්, කුඩයක් යටට වී දොඩමළු වීමටවත්, බැරි ආකාරයේ තහංචි ය. තමන්ට රිසි ඇඳුමක් ඇඳ සිටීමටවත් නොහැකි ලෙස පනවා ඇති සමාජ තහංචි ය. මේ වැට කඩොලු, බැඳීම්, ආතතිය හා තහංචි සිහියෙන් කඩන්නට බැරි තරමට දරුණු ය. ඒවා කැඩිමට ශක්තිය සපයා ගන්නේ විවිධ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙනි.

සමාජය විසින් මත්ද්‍රව්‍ය වැපිරීමට අපූරු තෝතැන්නක් මේ ලෙස බිහිකර තිබේ. වැඩි අමාරුවක් නැතිව ම මත්ද්‍රව්‍ය විකිණිය හැකි වාතාවරණයක් එමගින් ඇති කර තිබේ. ඊට සාමාන්තරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉහළින් සහයෝගය ද රැකවරණය ද නොඅඩුව ලැබේ.

ඒ එක රෝගයක්වත් සම්බන්ධයෙන් බෙහෙත් කරන්නට අපට නොහැකි නිසා, නැතිනම් ඒ බවක් අප නොදන්නා නිසා, අපට කළ හැක්කේ දන්නා දෙයක් කිරීම ය. දැනට සිදු වන්නේ එය ය. ඊට ප්‍රතිපක්ෂව අපේ මේ යෝජනාව මෙතෙක් අනුගමනය කළ සැපයුම පාලනය කරන්නට යෑම වෙනුවට ඉල්ලුම පාලනය කිරිමට කටයුතු කිරිමට ය. ඒ සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමට ය.

සැපයුම් කරන මිනිසුන් රකුසන් සේ දක්වමින් උන් පාලනය කිරීම හෝ තොලොංචි කිරීම හරහා මහජන ප්‍රසාදය දිනා ගැනීමට තැත් කිරීම එකකි. ඉල්ලුම නැති කර සැපයුම් කරුවන්ට සැබෑ ලෙස කොකා පෙන්වීම වෙනත් එකකි. දෙවැන්න පළමුවැන්න මෙන් පහසු නැතිවාට අමතරව ඒ හරහා ලකුණු දා ගැනීම ද අමාරු ය. පහසුවෙන් කර ඉක්මණින් හා වැඩි මනත් ලකුණු දා ගත හැකි මගක් තිබිය දී අමාරුවෙන් කර සොච්චම් ලකුණකින් සැනසෙන්නේ කුමකට ද? අප කලින් කී නොදැනුමට අමතරව මේ අවබෝධය ද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපේ රටේ වත්මන් අස්ථානයට හේතුවක් විය හැකි  ය.

මගේ හැගීම රජයට පමණක් නොව මේ තත්වයේ වෙනසක් ඇති කිරීමට අපට ද වගකීමක් ඇති බව ය. ඒ සැපයුම පාලනයේ දී නොවේ. ඉල්ලුම පාලනයේ දී ය. ඒ අප කලින් සඳහන් කළ සමාජ කාරණා තුනී කරන්නට කැප වීමෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s