නිදහස් විය නොහැකි නිදහසේ වගකීම

deepana-pix_04022019_FUN_CMY

නිදහස ද අප හුස්ම ගන්නා වාතය වැනි ය. වාතයේ අගය මෙන්ම නිදහසේ අගය ද දැනෙන්නේ එය නැති වූ විට ය. එතෙක් අප ඊට දෙන්නේ කුඩම්මාගේ සැළකිල්ලකි.

දේශපාලනයේ යෙදෙන කෙනෙකුට නිදහස කී විට මතක් වන්නේ පෙබරවාරි 4 දා ය. ඒ ලංකාවට සුද්දාගෙන් නිදහස ලැබුණු දිනය ය. එහි අදහස අපේ රටේ කටයුතු අපට ඕනෑ විදිහකට කර ගෙන යෑමේ නිදහස ඉන් පසු ලැබුණු බව ය. සමහරු නම් කියන්නේ ඒ නිදහස නොලැබුණා නම් මීට වඩා හොඳ බව ය. රට අප විසින් බාර ගත් පසු අප සියල්ල අනාගෙන ඇති බව ය. කොලය ඉරා ගෙන ඇඟේ හලා ගෙන ඇති බව ය. ඒත් තවමත් ලොව නන් දෙසින් ඇසෙන්නේ ස්වයං පාලනයන් ඉල්ලා නගන හඩ ය.

තමන්ගේ ම වුව ඒකාධිපති පාලනයක් අවසානයේ රටේ ජනතාව ලබන්නේ ද නිදහසකි. ඒ ලබන්නේ කතා කිරීමේ නිදහස ය. පාලකයින්ගේ අමන ක්‍රියාවලට, අඩු වශයෙන් තමන් විසින් එසේ අමන යැයි විශ්වාස කරන ක්‍රියාවන්ට, එරෙහිව විරුද්ධත්වය පල කිරීමේ නිදහස ය. සමහරු නම් කියන්නේ අප රටට අවශ්‍ය එසේ විරුද්ධත්වය පල කළ නොහැකි ක්‍රමයක් බව ය. ඒ කෙළවරක් නැති විරෝධතාවයන්ගෙන් නිදහස් වන්නට ඇති වුවමනාව ය. ඒත් ඒකාධිපතිත්වය රජයන රටවලින් නම් ඇසෙන්නේ එවන් පාලනයන් අවසන් කිරීමේ ජනතා වුවමනාවන් ය. මෑතක උදාහරණය මියන්මාරය ය. ඔවුන් තවමත් උත්සහ දරමින් ඉන්නේ මිලිටරියේ පාලනයේ ඉතිරි දම්වැල් වලින් ද නිදහස ය.

ඇතැම් රටවල තමන්ට කැමති ආගමක් අදහන්නට නිදහස නැත. වෙනත් ආගමක සංකේතයක් හෝ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් හෝ පරිශීලනය කිරීමේ පමණක් නොව ලඟ තබා ගැනීමේ හෝ නිදහසක් නැත. සම්මත ආගමේ කිසි දෙයක් ප්‍රශ්න කිරීමේ නිදහසක් ද නැත. වෙනත් ආගමක් ප්‍රචාරය කිරීමේ නිදහස නම් කොහෙත්ම නැත. අපේ රටේ ද එවන් දේ සඳහා ඇති ඉඩකඩ අවුරාලන්න යැයි කියන උද්ඝෝෂණ විටින් විට මතුවේ. එහෙත් ආගමික නිදහසක් නැති රටවල ජනයා ඉන්නේ ආගමික පූජකයන්ගේ යකඩ සපත්තුවලට යටවෙලා ය. ඒ රටවල වැඩි දෙනෙක් ඉල්ලා සිටින්නේ දැඩි ආගමික පාලනයන්ගෙන් නිදහස ය. මෑතක උදාහරණය සවුදි අරාබියාව ය.

ඇතැම් රටවල තමන් කැමති කෙනෙක් විවාහ කර ගැනීමේ නිදහස නැත. මෑතක් වෙනතෙක් ලංකාවේ ද ඒ තත්වය තිබුණේ ය. ඒ නීතියෙන් නොව සමාජ තහංචි හරහා ය. එසේ විවාහ කර ගත් දරුවන් පවුලෙන් පන්නා දමනු ලැබුවේ “උඹ මගේ මරණයට වත් නාවට කමක් නෑ“ කියමිනි. එයින් කියවෙන්නේ නිදහස නැතිවීම නීතිය සම්බන්ධ ප්‍රශ්නයකට එහා ගිය සමාජ ප්‍රශ්නයක් බව ය. නීතියට ද උඩින් ක්‍රියාත්මක වෙමින් ඇතැම් රටවල හා සමාජ කණ්ඩායම් වල සමාජ තහංචි හරහා ද නිදහස සීමා කෙරෙන බව ය.

දරුවන්ගේ නිදහස

තමන් කැමති රැකියාවක් කිරීමට තමන් කැමති විනෝදාංශයක යෙදීමට ද දරුවන්ට නිදහස අයත් කර ගැනීමට සිදු ව ඇත්තේ ඇතැම් විට දෙමාපියන් හා වැඩිහිටියන් සමග විරසක වෙමිනි. ඒ කියන්නේ එවැනි අතිශය පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් ද නිදහස දීමට එරෙහිව ඇතැම් සමාජ කණ්ඩායම් තුළ තවමත් කටයුතු සිදු වන බව ය.

හොඳම දේ දරුවන්ට වුව ද නිදහස නම් දරුවන්ට අකැප යැයි අපි විශ්වාස කරන්නෙමු. ඒ නිදහස ඒ තරම්ම හොඳ නැති යැයි අප යටි හිතෙන් අදහන නිසා විය හැකි ය. උන් හය හතර නොදන්නා නොදරුවෝ ය. දෙන නිදහසෙන් ප්‍රයෝජන ගෙන උන් තමන්ට හානියක් කරගනු ඇතැයි අප බිය ය. ඒ බිය ඇත්තේ කුඩා දරුවන් සම්බන්ධයෙන් පමණක් නොවේ. කර දණ්ඩ උස්වී ලොකු මහත් වූ ද දරුවන් සම්බන්ධයෙන් ද අප කල්පනා කරන්නේ එසේ ය. උන්ට නිදහස දීමෙන් අප කරන්නේ උන්ට හතුරු කමක් යැයි අපි හගිමු.

කුඩා ම දරුවන්ට නම් නිදහසක් අවශ්‍යම නැතැයි බොහෝ දෙමාපියන්ගේ හැගීම ය. පාන්දර පාසල් රථයට යන්නට උදෑසනින් අවදි කරවූ තැන සිට මුළු දවසම දරුවා යටත් වන්නේ පාලනයට ය. පාසැලෙන් ටියුෂන් පන්තියටත් එතැනින් හෝම්වර්ක් කිරිමටත් දක්කන ලමුන්ට ඇත්තේ කෙබඳු නිදහසක් ද? දරුවාගේ අද නිදහස බිලිගන්නේ හෙට ලැබීමට නියමිත වඩා ප්‍රබල නිදහසක් වෙනුවෙන් යැයි නිදහසට කාරණා කීමට දෙමාපියන්ට පුළුවන. එහෙත් මේ හිරකර හදන ළමයෙකු තුළ නිර්මාණශීලිත්වයක් හෝ විචාරශීලිත්වයක් ඇති වේ ද? ගහක වර්ධනයට මෙන් ම ළමයෙකුගේ වර්ධනයට ද නිදහස අවශ්‍ය ය. ඉඩ හසර අවශ්‍ය ය. කොටුකර හැදිය යුත්තේ මසට ගන්නා බ්‍රොයිලර් කුකුළන් පමණ ය. ඒ තුළ සිදු විය හැක්කේ එක් අංශයක වර්ධනයක් පමණ ය.

නිදහස සම්බන්ධයෙන් අප බිය වන්නේ ඇයි? ඒ නිදහස අනෙකා කෙසේ භාවිතා කරන්නේ දැයි යන කුකුස අප තුළ ඇති නිසා ය. ඒ නිසා අප ලබන නිදහස, අප ඉල්ලා සිටින නිදහස, අප සටන් වදින නිදහස අනෙකා ඉල්ලා සිටින විට, උන් ඒ වෙනුවෙන් සටන් වදින විට, අප බිය ය. ඒ ගැන තේරුම් ගන්නට වැඩි ඈතකට යන්නට ඕනෑ නැත. අප තරුණ කාලයේ ඒ නිදහස වෙනුවෙන් අපේ ම දෙමාපියන් සමග ගැටුනේ වුව ද අපේ ම දරුවන්ට ඒ නිදහස දෙන්නට බොහෝ දෙනෙකු අදටත් මැලි ය. සුද්දාගෙන් අප නිදහස ලබා ගැනීමට අප සටන් කළේ වුව ද දෙමළ ජනතාවට ස්වයං පාලනයක් දෙනවාට අප කැමති නැත. මිහිඳු හිමියන්ට දහම් දෙසන්නට නිදහස දුන් අපි අද වෙනත් ධර්ම ප්‍රචාරකයෙකු ඇවිත් අල්ලපු ගෙදර වෙනත් දහමක් දෙසනවාට කැමති නැත. කෙනෙකුට එහෙම නිදහසක් දෙන්නට අප බිය ය. ඒ අප තුළ තිබෙන අනාරක්ෂිත භාවය නිසා ය. අප දුර්වල නිසා ය. අපට යම් කුඩා හෝ සසල වීමක් විඳ දරා ගැනීමට බැරි නිසා ය.

නිදහසේ ඉම

මට මගේ බස්තම වැනීමට ඇති නිදහස අනෙකාගේ නහය කෙළවරින් අවසන් වන්නේ යැයි කියමනක් තිබේ. එහි අර්ථය අපේ නිදහස අන් අයගේ නිදහසට හරස් නොවිය යුතු බව ය. එය පිළි නොගන්නා අය ඉල්ලන්නේ වල් බූරු නිදහසකි. නිදහස පිළිබඳ කතිකාවේ මෙය වැදගත් ඡේදයකි.

මට ආගම අදහන්නට නිදහස තිබේ. එහෙත් එසේ නිදහස තිබූ පලියට මට අනෙකාගේ කණ ලඟ දෙදරන්නට ලවුඩ්ස්පීකරයක් දමා බණ ඇසීමට අයිතියක් නැත. එහෙත් අනෙකාගේ නිදහසට වැට බැඳීමට ඉක්මන් වන බොහෝ දෙනෙකු තමන්ට ඉල්ලන්නේ මේ කියන වල් බූරු නිදහස ය. තමන්ගේ ආගම අනෙකාට රිදෙන සේ හයියෙන් ඇදහීමේ නිදහස ය.

මට මද්‍යපානයට නිදහස තිබේ. එහෙත් වෙරිවී මහමග පිස්සු නටන්නට මට අයිතියක් නැත. එසේ බී ගෙන වාහන එලවමින් අන් අය අනතුරේ හෙලන්නට මට අයිතියක් නැත.

මට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබේ. එහෙත් ඒ නිදහස භාවිතා කරමින් මිනිසුන්ට බොරු අවලාද නගන්නට මට අයිතියක් නැත. වෛරය පතුරුවන්නට මට අයිතියක් නැත. එහෙත් බොහෝ මිනිසුන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිතා කරන්නේ මේ දෙවැනි වර්ගයේ වැඩ සඳහා ය.

ආයතන ප්‍රධානියෙකුට තමන්ගේ ආයතනයේ මිනිසුන්ට ප්‍රතිලාභ පිරිනැමීමටත් දඩුවම් කිරීමටත් හැකියාව හා නිදහස තිබේ. එහෙත් ඔහු එම නිදහස භාවිතා කළ යුත්තේ ආයතනයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව ය. එහි අභිවෘද්ධියට හේතුවන පරිදි ය. ආයතනය අනුගමනය කරන ආචාර ධර්ම හා නිතී රීතින් වල සීමාව තුළ රැඳෙමින් ය.

පොලිස් නිලධාරියෙකුට අපරාධ කරුවෙකු නීතියේ රැහැනට අසු කර දඩුවම් කිරීමේ නිදහස ලබා දී තිබේ. එහෙත් ඔහු විසින් එය කළ යුත්තේ රටේ සම්මත නීතියට අනුකූලව ය. තමන් නීතිය යැයි හිතා ගෙන නොවේ. තමන්ගේ නීතියකට අනුව නොවේ.

එහෙත් අප රට දෙස බලන විට පෙනී යන්නේ මේ බොහෝ දෙනෙකු කිසි දු හිරිකිතයක් නැතිව තමන්ගේ නිදහසේ සීමාව ඉක්මවන බව ය. ඒ නිසා ම සෙසු අයගේ නිදහස වෙනුවෙන් මෙසේ වල්බූරු නිදහස භාවිතා කරන්නන් ආණ්ඩු මට්ටු කළ යුතු බව ය. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ය. සක්‍රීය ජනතා විරෝධය පල විය යුතු බව ය.

අප විරෝධය පළ කළ යුත්තේ අපට එරෙහිව මේ වල්බූරු නිදහස කිසිවෙකු භාවිතා කරන විට පමණක් නොවේ. ඕනෑම කෙනෙකුට එරෙහිව මිනිසුන් වල් බූරු නිදහස භාවිතා කරන හැම විට දී ය. දියුණු රටවල ජනයා කටයුතු කරන්නේ ඒ ලෙස ය. දියුණු රටවල මෙවැනි මිනිසුන් අඩුව ඇත්තේ ඒ රටවල ජනයා කවරෙකුට එරෙහිව මේ වල් බූරු නිදහස කවරෙකු භාවිතා කළේ වුව ද විරුද්ධ වන නිසා ය.

අප රටේ එසේ නොවන නිසා මේ හැම එකකට ම නීති පැනවීමටත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල පිහිට පැතීමටත් අපට සිදු ව තිබේ. වැඩි වැඩියෙන් නීති කියන්නේ ම නිදහස නැති කර ගැනීමකි. ඒ නිසා ම අප වැඩි බර තැබිය යුත්තේ නීති මත නොවේ. අන් අයට ගරු කරන සැමගේ අයිතීන් වෙනුවෙන් නොබියව පෙනී සිටින ජනතා ක්‍රියාකාරිත්වය මත ය.

නිදහසේ ස්වරූප

නිදහස තනි සංකල්පයක් නොවේ. එය සංකීර්ණ සංකල්පයකි. අප මෙතෙක් කතා කළ එහි ස්වරූපයන් අතර දේශපාලන නිදහස ආගමික නිදහස වැනි පැති කඩ කීපයක් විය. වඩාත් වැදගත් පැති කඩක් වන්නේ ආර්ථික නිදහස ය.

අප ආර්ථික අතින් ස්වාධීන නැත්නම් ටික කලකින් අපට සිදු වන්නේ ඉතිරි නිදහසේ සංරචකයන් ද අහෝසි කරගන්නට ය. අවසානයේ සියල්ල බඩ විසින් තීරණය කරන තත්වයට පත් වූ විට නිදහසින් ප්‍රයෝජනයක් නැති බැවිනි. නිදහස කන්නට බැරි බැවිනි.

ණය ගන්නා පුද්ගලයෙකු හෝ රටක් ඒ ණය නිසි ලෙස භාවිතා නොකරන්නේ නම් මුලින් ම නැති කර ගන්නේ ආර්ථික නිදහස ය. ඒ තවදුරටත් ණය ගැනීමට බැරි ලෙස වඩ වඩා ඉහළ පොලියට මිසක ණය ගැනීමට බැරි ලෙස හිර වීම තුළ ය. ඊට පසු සිදු වන්නේ අකමැත්තෙන් වුව ද වත්කම් විකුණා දැමීමට ය. නැතිනම් උගස් කිරීමට ය. ඒ තුළ නැති කරගන්නේ ඒවායින් ඵලදායී ආදායම් මාර්ගයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ය. ණය ගෙවා දැමීමට තිබූ ක්‍රමවේදයන් ය. ඒ කියන්නේ අප විෂම චක්‍රයකට පිවිස ඇති බව ය. මේ මාර්ගය අවසන් වන්නේ ආර්ථික වහල්භාවයෙන් ය. චීනයෙන් ගත් ණය අපව රැගෙන ගියේ මේ පාරේ ය. දැන් ඉතින් ගොඩ ඒම දුෂ්කර ය. දුෂ්කර යැයි කියන්නේ කළ නොහැකි බව නොවේ. ඒ සඳහා අති විශාල වෑයමක් කළ යුතු බව ය. කැප කිරීම් කළ යුතු බව ය. ඒ සියල්ලෙන් කියන්නේ අප විසින් සුද්දාගෙන් ලබා ගත් නිදහස හරි හැටි භාවිතා කර නොමැති බව ය. ඒ නිදහස ලබා ගෙන වසර 70 ක් ගෙවා අවසන් වන විට සුද්දාගෙන් නිදහස් කර ගත් රට චීනාට සින්න කරන්නට සිදු ව ඇති නිසා ය.

නායකයන් වන්දනා කරනවා වෙනුවට නායකයන්ට හරි වැරැද්ද කියා දෙන තැනකට පත් වෙන ජනතාවකට මිස මේ රට යන අගාධයෙන් ගොඩ ගත නොහැකි ය.

නිදහස නිකම් ලැබෙන්නේ නැත. නිදහස නිකම් ම පවත්වා ගෙන යා නොහැකි ය. ඒ සඳහා අපේ පැත්තෙන් කැපවීමක් අවශ්‍ය ය. ඒ කැප වීම සක්‍රීය ජන සහභාගිත්වයක් සඳහා යොමු විය යුතු ය. නිදහස තහවුරු කර ගැනීමට හා රැක ගැනීමට යොමු විය යුුතු ය.

ඒ ගමනේ දී අත් කර ගත යුතු තව වැදගත් නිදහසක් අපට තිබේ. ඒ අතීතයෙන් නිදහස ය. අතීත බැඳීම් වලින් නිදහස ය. අතීත බරින් නිදහස ය. අපට ඒ වැදගැම්මකට නැති අතීත බර මලු ඔසවා ගෙන මේ ගමන යෑ නොහැකි ය. තවදුරටත් ප්‍රයෝජනවත් නොවන ඒ මලු විසිකර දැමිය යුතු ය. ඒ අතර අප අතර පවතින කප්පරක් මිත්‍යා විශ්වාස ද තවදුරටත් වැදගැම්මක් නැති අතීත පුරාජේරු ද වෙයි.

අපට යම් වැඩක් ආරම්භ කිරීමට ඇති නිදහස පැහැර ගන්නට බිත්තියේ ඉන්නා හූනෙකුට හෝ හඳේ හෙවනැල්ල නොහොත් රාහුට හෝ ඉඩදිය යුතු නොවේ.

වගකීමෙන් නිදහස

බොහෝ අය කැමති තමන් හැම දෙයින් ම නිදහස් වීමට ය. ඒ අතරිනුත් ඔවුන් වඩාත් ම කැමති වගකීමෙන් නිදහස් වීමට ය.

බඩදරු අම්මා කෙනෙකුට නිදහස කියන්නේ කුසයේ ඉන්නා දරුවාගේ බරෙන් නිදහස ය. තරුණ වියේ දියණියන් ඉන්නා දෙමාපියන් නිදහස් වන්නේ උන් දීග ගිය දිනයක ය. ඒ අවස්ථා දෙකේම අපේ අදහස වගකීමෙන් නිදහස් වීම ය. මේ අවස්ථා දෙක සම්බන්ධයෙන් එය නරක නැත. එහෙත් බොහෝ දෙනෙකු නිදහස ලෙස දකින්නේ තමන් විසින් දැරිය යුතුව ඇති වගකීමෙන් නිදහස් විම ය.

වගකීමෙන් නිදහස් වන එක් ක්‍රමයක් වන්නේ වගකීම එල්ලීමට කෙනෙකු සොයා ගැනීම ය. අප කලින් ලිපියක සඳහන් කළ පසු අපේ රටේ මිනිසුන් රජෙකු හොයන්නේ මෙසේ වගකීම එල්ලීමට ය. ඉන්පසු ඔහු විසින් අපව බලා ගනු ඇත යන්න එහි අදහස ය. ලඟට කැන්දා දුක් සැප සොයන නිරිඳුන් හිටියේ ඉස්සර ය. ඉස්සර කිව්වාට ඒ ද මහ පොළොවේ නොවේ. කවි පොත්වල ය. එහෙම අය නැති නිසා අප හුරු විය යුත්තේ වගකීම දැරීමට ය. එයින් නිදහස් වීමට නොවේ.

තනතුරු වලට මිනිසුන් පත් කරන්නේ වගකීම් දැරීමට ය. එහෙත් එහෙම පත් කරන අය කැමති තනතුරේ වරප්‍රසාද විතරක් භුක්ති විඳ වගකීම මග හැරීමට ය. වගකීමෙන් නිදහස් වීමට ය.

අපට වගකීමෙන් නිදහස් වීමට නොහැකි ව තිබෙන්නේ මේ තනතුරු දරන්නන් තම වගකීමෙන් නිදහස්ව ඇති නිසා ය. නිදහස අවශ්‍ය නම් අප ඒ නිදහස පවත්වාගෙන යෑමේ වගකීම දැරිය යුතු ය. වෙන කුමකින් නිදහස් වූවත් එයින් නිදහස් වීමට අපට බැරි ය.

එසේ නොවුනහොත් අපේ ආර්ථික නිදහස පමණක් නොව සෙස්ස ද මේ තනතුරු ලාභීන් විසින් උගස් කරනු ඇත. පැහැර ගනු ඇත. නැතිනම් අන් අය විසින් පැහැර ගෙන යනු බලා උන් නිකම්ම සිටිනු ඇත. ඒ සියල්ලෙන් අපට අහිමි වනු ඇත්තේ අපේ නිදහස ය. අපේ නිදහස වෙන කෙනෙකුට පවරා අපට නිදහස් විය නොහැකි තරම් වටිනා එකකි. ඒ නිසා ම ඒ නිදහස රැක ගැනීමේ වගකීමෙන් අපට නිදහස් විය නොහැකි ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s