පැත්තක් ගියත් ඇත්ත කියනවා ද පැත්ත වෙනුවෙන් බොරු කියනවා ද?

1002_31122018_frr

පැත්තක් ගියත් ඇත්ත කියන එක හොඳ ය. සමහරු හිතන්නේ එහෙම ය. එයට හේතුව ඇත්ත කොච්චර තිත්ත වුව ද අපට නිවැරදි අස්ථානයක් ගැනීමට ඒ නිසා හැකි වන නිසා ය.

මගේ පැත්තක් ගියත් ඇත්ත කියන මා පවා අපේ පැත්තට අවාසියක් වෙනවා නම් ඇත්ත සැගවීමට හෝ බොරු කීමට ඉදිරිපත් වන්නට ඉඩ තිබේ. එසේ වීම වරදක් හැටියට අප බොහෝ දෙනෙකු දකින්නේ නැත.

වෙනත් විදිහකට කියනවා නම් මගේ වාසියට බොරුවක් කීම අපුල දැනවිය හැකි වුව ද අපේ අය වෙනුවෙන් මා බොරුවක් කීම සළකනු ලබන්නේ මා කළ ධීර වීර ක්‍රියාවක් ලෙස ය. ඒ අර්ථයෙන් ම තවත් පියවරක් ඉදිරියට තැබූ විට මා එසේ නොකළේ නම් එසේ නොකිරීම කණ්ඩායමට එරෙහිව කරන ද්‍රෝහී කමක් වන්නේ ය. ඒ පළමුවැන්න ආත්මාර්ථකාමී වන විට දෙවැන්න පරාර්ථකාමී වීම නිසා ය. මට වාසියක් ලබා ගැනීම පිළිකුල් සහගත වුව ද අපට වාසියක් ලබා ගැනීම අපේ කණ්ඩායම තුළ අතිශය ප්‍රසන්න කරුණක් වන්නේ ය.

පොහොට්ටුවේ සමාජිකත්වය ගැනීම නිසා මන්ත්‍රී පදවිය අහිමි වෙතැයි ආරංචියට පොහොට්ටුවේ සමාජිකයන් දැක් වූ ප්‍රතිචාරය තුළ අප දුටුවේ මේ කතාව ය. පොහොට්ටුවේ පිළිසරණ අනාගතයේ පැතීමට ඉන්නා ශ්‍රී ල නි ප සමාජිකයන් ද දැරුවේ ඊට සමාන අස්ථානයකි. වෙන එකක් තබා ලැබුණු පළමු මොහොතේ ම ශ්‍රී ල නි පයට කොකා පෙන්නා පොහොට්ටුවේ සමාජිකත්වය ගත් අයට ඔවුන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවට ලිඛිත සහතික දෙන්නට ද ශ්‍රීලනිපය සූදානම් ය.

පාර්ලිමේන්තුව විසුරවූ වහා ම මහමැතිවරණයක් පැවැත්විමට නියමිත වූ නිසා ලහිලහියේ සිදු වූ මේ පක්ෂ මාරුව පාර්ලිමේන්තුව විසිරුවීම අවලංගු කරමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව නිසා හබක් වුනේ ය.

එදා ආඩම්බරයෙන් ප්‍රසිද්ධියේ සිදු කළ කටයුත්ත දැන් ලජ්ජාවෙන් සගවා ගන්නට සිදු ව ඇති දෙයක් බවට පත් ව තිබේ. ඒ සිදු කළ පක්ෂ මාරුවට තමන්ට අයත් සෑම සන්නිවේදන ක්‍රමයක් භාවිතා කොට ප්‍රසිද්ධියක් දුන් අය දැන් ඒ සමාජ ජාලා සටහන් ද විනාශ කරමින් ඇත්ත සගවමින් සිටින්නෝ ය.

දැන් ඔවුන් කියන්නේ එහැම පිටින් වෙනස් කතාවකි. ඒ කතාවට අනුව ඔවුන් ඉල්ලුම් පත් දැම්මා පමණකි. තවම ඒවා පිළිගෙන සාමාජිකත්වය පිරිනමා නැත. ඒ සඳහා විවිධ බොරු ඉදිරිපත් කෙරේ. එක බොරුවක් වසන්නට කප්පරක් බොරු කියන්නට සිදු ව තිබේ.

තමන්ගේ පැත්තට විරුද්ධ වීම ද්‍රෝහී කමක් නිසා එවන් අවස්ථාවක ඇත්ත කීම ද සළකනු ලබන්නේ ද්‍රෝහී කමක් හැටියට ය. ඒ නිසා තමන්ගේ පැත්තේ කෙනෙකු ඇත්ත නොසැගවීම සම්බන්ධයෙන් ද බොරු නොකීම සම්බන්ධයෙන් ද පොහොට්ටුවට හිතැත්තෝ කිපෙනු ඇත්තේ ය.

අවාසනාව සමහරුන්ට බොරු කියන්නට අමාරු වීම ය. එහෙම අය කියන්නේ පක්ෂ සාමාජිකත්වය ගත් බවට සාක්ෂි නැති බව ය. ලිඛිත ලියකියවිලි නැති බව ය. ඒ කියන්නේ ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බව ප්‍රතික්ෂේප නොකරන මුත් එය ඔප්පු කරන්නට නොහැකි යැයි කියමින් තමන් එහෙමකට බොරුවක් නොකියන බව පෙන්විම ය. එහෙම පෙන්වන අතරේ තමන්ගේ පැත්ත ආරක්ෂා කිරිමට ද කටයුතු කිරිමට ය. ඔවුන්ට සමාවක් ලැබෙන එකක් නැත. හේතුව ඒ ප්‍රකාශය තුළ පක්ෂ සාමාජිකත්වය ගත් බව ප්‍රතික්ෂේප නොවන නිසා  ය. ඔවුන් එසේ කරන්නේ රෙදි ඇඳගෙන සාමාජිකත්වය නොගත් බව කිව නොහැකි නිසා විය හැකි ය. එහෙත් ස්වකිය පැත්ත වෙනුවෙන් රෙදි ගලවන්නට නොහැකි වීම ද්‍රෝහී කමක් වෙනවා ඇත.

පොහොට්ටුවේ කලබැගෑනිය මෑතක දී  සිදු වූ නිසා මේ කතාවට විෂය කර ගත්තා පමණකි. මේ අප කතා කරන්නේ පොහොට්ටුවට පමණක් ආවේනික ප්‍රශ්නයක් ම නොවේ. පොදුවේ අපේ සිතුවිලිවල හා චර්යාවේ ගැටළුවක් පිළිබඳව ය.

බොරු කීම ආඩම්බරයක් වීම

ඒ බොරු කිම නැමැති දුර්ගුණය අපේ පාර්ශවය රැකීමට භාවිතයේ දී සාධු ගුණයක් බවට පෙරලීමේ ගැටළුව ය. එය ලජ්ජාවට නොව ආඩම්බර වීමට හේතුවක් විමේ ගැටළුවය.

බොරුකීම පස්පව් වලින් එකකි. එය දිනපතා මල් පහන් පිදීමෙන් අනතුරුව දෙයියන් බුදුන් ඉදිරියේ අප නොකරන බවට දිවුරා පොරොන්දු වන චර්යාවන්ගෙන් එකකි. එසේ තිබිය දී මේ සිලය අප විසින් කිසිදු හිරිකිතයක් නැතුව බිඳ දමන්නේ කෙසේ ද? ඒ සීලය රැකීම දුර්ගුණයක් (ද්‍රෝහි වීමක්)  ලෙස සළකා එසේ කරන මිනිසුන්ට කුණු බැණුම් එල්ල කරන්නේ කෙසේ ද?

මේ ප්‍රකට කරන්නේ කන්න ඕනෑ වූ විට කබර ගොයා තලගොයා කර ගැනීමේ  න්‍යාය ද? අවසානය නිවැරදි නම් ඒ සඳහා යන මාර්ගය කුමක් වුව ද කමක් නැතැයි කීමේ න්‍යාය ද? ගහල හරි  මරල හරි ගන්න තිබුණා යැයි කියන විට අදහස් කරනු ලබන කතාව ම ද?

මේ සියල්ලෙන් එකක් පැහැදිලි ය. අප, අපේ කණ්ඩායම වෙනුවෙන්, අපේ ආත්මය පාවා දෙන්නට සූදානම් බව ය. බොරු කියන්නට සූදානම් බව ය. වැරදි වැඩ කරන්නට සූදානම් බව ය. නිරුවත් වෙන්නට සූදානම් බව ය. කිච වෙන්නට සූදානම් බව ය. අපායේ යන්නට වුව සූදානම් බව ය.

එවැනි කණ්ඩායම් හැගීමක් ඇති ජාතියක් මේ තරම් නොදියුණු මට්ටමක සිටින්නේ කෙසේ ද? ප්‍රශ්නය තිබෙන්නේ කණ්ඩායම් හැගීමේ නොවේ. ඒ හැගීම විසින් තමන් කෙළෙසීමේ ය. ඊට අමතරව මේ ප්‍රබල කණ්ඩායම් හැගීම තුළ තිබෙන අතිශය දරුණු ස්වාර්ථයේ ය. තමන් කෙළෙසා ගෙන හෝ ලබන ස්වාර්ථයේ ය.

ඒ කුමන ස්වාර්ථයක් ද? අපේ කණ්ඩායමට ජය ලැබේ නම් ඉන් මට ද වාසියක් අත් වෙනවාය කියන ස්වාර්ථය ය. අනෙක් කණ්ඩායම් පාගා දමා හෝ අපේ කණ්ඩායමට වැඩි වාසියක් ගැනීම තුළ ඒ වැඩි වාසියේ කොටස මට ද අත් විම තුළ ය.

මේ තුළ තිබෙන්නේ තනියම නැගිටීමට අපොහොසත් අතිශය දුර්වල මිනිසෙකුගේ මනෝභාවය ය. එහෙමකට නිපුණත්වයක් නැති, එහෙමකට හයියක් නැති, අසරණ නැති බැරි මිනිසෙකුගේ මනෝභාවය ය. එවන්නෙකුට එහෙමට ආත්මයක් නැත. රැක ගත යුතු හර පද්ධතියක් නැත. පුද්ගලික අභිමානයක් නැත. ඒ නිසා තම අභිවෘද්ධිය උදෙසා ඒ වෙනුවෙන් තම කණ්ඩායම දිනවිම උදෙසා කිච වෙන්නට ලජ්ජාවක් ඔහුට නැත.

ඔහු මිරිස් කුඩු වලින් සිය සගයින්ට සංග්‍රහ කරන්නේ ඒ නිසා ය. දෙනෝ දාහක් බලා සිටිය දී මහජන දේපල කඩා බිඳ දමන්නේ ඒ නිසා ය. අප විසින් වන්දනා මාන කරනු ලබන පොත් විරුද්ධවාදින්ට පහර දිමට ඔහු විසින් හිරිකිතයක් නැතිව යොදා ගන්නේ ඒ නිසා ය. ලියුම් විවර කරන්න ගන්නා මෙවලම් ආයුධ බවට පත් කර ගන්නේ ඒ නිසා ය. ඒ සියල්ල අපි පහුගියදා පාර්ලිමේන්තුවේ දී ඇසින් දුටුවෙමු.

එහෙත් මේ දර්ශන දැකීමෙන් තම කඳවුරට අයත් මිනිසුන්ට එහෙමකට ලජ්ජාවක් දැනුනේ නැත. නැත, ඒ ඔවුන්ගේ වීරයන් ය. තම කණ්ඩායම වෙනුවෙන් සටන් වදින විරුවන් ය.

එහෙම ලජ්ජාවක් ඇති වෙනවා නම් මේ රංගනයට සහභාගී වූවන් මීට වඩා පරීක්ෂාකාරී වනවා නොඅනුමාන ය. තමන්ගේ අවිචාර හැසිරීමෙන් එහෙමකට ලජ්ජාවක් සිය ගෝලබාලයන්ට ඇති නොවන බව පමණක් නොව, උන් බොහෝ දෙනා එයින් මුසපත් ව, තමන්ව වන්දනා මාන කරන බව ද ඔවුහු දනිති. ඔවුන් වැඩ පෙන්නුවේ ඒ රූප රාමු තවත් කාලයකට මිනිසුන් අතර සැරිසරන බව නොදැන නොවේ. හොඳින් දැන ය. අප වඩාත් කම්පනය කරන්නේ ඒ යථාර්ථය ය.

අප වෙනුවෙන් අපි

1983 ජූලි මාසයේ හමුදා සෙබළුන් 13 ක් මරා දැමීමෙන් පසුව ඒ වාඩුව ගැනිමට කොළඹ කිසිදු සම්බන්ධයක් නැති අහිංසක නිරායුධ දෙමළ මිනිසුන්ට එල්ල කළ තිරශ්චීන ප්‍රහාරයේ දී දක්නට ලැබුණේ ද ඒ විලි ලජ්ජා නැති මෘග වීරත්වය ය.

අහිංසක මිනිසුන් මරා දැමූ ප්‍රභාකරන්ට ද මේ ලජ්ජාව තිබුණේ නැත. සිය නිහීන අපරාධ සම්බන්ධයෙන් ඔහුට ලජ්ජාවක් නොතිබුණා පමණක් නොව එය වඩාත් දරුණු ලෙස සිදු කර ඒ දර්ශණ ලෝකයට බෙදා හැරීමට ද ඔහු කටයුතු කළේ ය. ඔහු සිය අනුගාමිකයන් තුළ වීරයෙකු වූයේ එසේ ය. එල්ටීටීයේ දේශපාලනය වෙනුවෙන් කඩේ ගිය දෙමළ ජාතිකයන්ට ද මේ අපරාධ නිසා තමන් ලෝකය ඉදිරියේ කිච වෙතැයි හැගීමක් නොවී ය. එල්ටීටීඊ කොඩිය වැනීම ඔවුන්ට ඒ නිසා ලජ්ජා වන්නට කාරණයක් නොවී ය. එල්ටීටීඊ නොවන තමන්ගේ ජාතිකයන් එල්ටීටීඊය විසින් මරා දමනු ලබන විට පවා මේ නිර්ලජ්ජිත විරත්වය ගමන් කරමින් ඇත්තේ කොතැනට දැයි ඔවුන්ට තේරුනේ නැත.

88-89 සමයේ තම අණ නොතකා ගෙවල්වල විදුලි බුබුළු දැල්වූ අහිංසක මිනිසුන් මරා දැමූ දකුණේ පුංචි ආණ්ඩුවට ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ද ඒ නම ඉදිරියට දමා එම කටයුතු මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණට ද ඒ අහිංසකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විලි ලජ්ජාවක් තිබුනේ නැත.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන විට ඔහු කොටියෙකු කර එම අතුරුදහන් වීම සාධාරණය කිරීම පිටුපස ද ලසන්ත වික්‍රමතුංගගේ මරණය මිග් ගනුදෙනු ගැන කතා කරමින් යුද රහස් එලි කිරීම යන වැරැද්දට ලඝු කොට සාධාරණීකරණය කිරීම පිටුපස ද තිබුනේ දකුණේ මිනිසුන් ප්‍රදර්ශනය කළ නිර්ලජ්ජිත වීරත්වය ය. මෘගත්වය ය.

අලුත්ගම හා බේරුවල ද දිගන හා අම්පාරේ ද මුස්ලිම් මිනිසුන්ට එරෙහිව හිංසනය ක්‍රියාත්මක කරන විට ද තිබුනේ  ඒ විලි ලජ්ජා නැති වීරත්වය  ය.

අපේ පැත්තේ මිනිසුනට එරෙහිව අනිත් පැත්තෙන් මේ වීරත්වය ප්‍රදර්ශනය කරන විට කෝපයෙන් වෙව්ලා යන අපේ මිනිසුන්, අනිත් පැත්තට මේ වීරත්වය තමන් විසින් ප්‍රදර්ශනය කරන්නේ මහා උජාරවකින් වුව, සියළු ඇඳුම් ගලවා හෙලුවෙන් ය. ලෝකය ඉදිරියේ පීචං වෙලා ය.

අපි බුදුබණට හීලෑ යක්කු බොලව් කිව්වාට මේ යක්කු දන්නා ආගමක් නැත. හීලෑ යයි කියන්නේ බොරුවට ය. ඒ කියමන තුළ ම කඩා දමා තිබෙන්නෙ මුසාවාදා වේරමණී යන සිව්වෙනි පන්සිල් පදය ය. බුද්ධාගමට මේ යකුන්ගේ යම් නෑකමක් ඇත්නම් ඒ ඔසවන කොඩියේ ය. නැතිනම් මතුරන, එහෙත් අනුගමනය නොකරණ, තිසරණ සහිත, නොතේරෙන පාලියෙන් ගන්නා, පන්සිල් වල ය. නැතිනම් අතේ බැඳ ගෙන ඉන්නා පිරිත් නූලේ ය. ඒ සුකුරුත්තම් වලට ඔබ්බේ කිසිවක් නැත. උන්ගේ ප්‍රකාශ තුළ තියෙන්නේ තම කඳවුර වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරෙන නග්න මෘගත්වය ය.

ලජ්ජා නහරය කපා ගැනීම

ජනාධිපති පදවිය අහෝසි කරන බවට දහ අතේ පොරොන්දු දී බලයට පැමිණ එසේ නොකර මග හැරි දුසිම් බාගයක් පමණ වූ ජනාධිපතිවරුන්ට ද එසේ මග හැරිම සම්බන්ධයෙන් හිරිකිතයක් තිබුනේ නැත. ඒ අය බොහෝ දෙනෙකු බැලුවේ තවත් දවසක්, තවත් වාරයක්, වැඩිපුර ඉන්නට ය. අවසානයේ දෙවරකට සීමා වි තිබුණු ජනපති විමේ වරම ඕනෑම වරකට ලබා ගත හැකි ලෙස විලිලජ්ජා නැතිව වෙනස් කර ගත්තේ එසේ පොරොන්දු දී බලයට පැමිණි සෙට් එකේ එක් කෙනෙකි. ඒ සඳහා තුනෙන් දෙකක චන්දයක් ලබා දී දායකත්වය ලබා දුන් මන්ත්‍රීවරුන්ට ද විලිලජ්ජාවක් තිබුනේ නැත. ඒ අතරේ තම පක්ෂයේ නම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය ද යෙදූ ඒ වෙනුවෙන් කැප වෙන බවට පුරසාරම් දෙඩූ ඊනියා විප්ලවවාදී පක්ෂවල නායකකාරකාදීන් ද සිටියෝ ය. ඒ වෙනුවෙන් ම පිල් මාරු කර ගත් අය, අදට ද, ලජ්ජා නැති ඒ සමාන මිනිසුන්ගේ චන්දයේ පිහිටෙන් බලයට පත් ව, තවමත් දියවන්නාව අසල පච මන්දිරයේ සුපුරුදු කරණම් ගසමින් සිටිති.

සියළු අපරාධ, මැරකම්, චණ්ඩිකම්, පමණක් නොව බොරුව හා වංචාව ද, කරනුයේ තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් නිසා එහෙමකට ලජ්ජා වන්නට දෙයක් නැතැයි යන සිතුවිල්ල අප විසින් ප්‍රශ්න නොකරන තාක් මේ විගඩම් දිගින් දිගට බැලීමට අපට සිදු වනු ඇත්තේ ය. ඒ වීරත්වය තුළ ඇත්තේ ස්වාර්ථය පමණක් බව, කණ්ඩායම දිනවීමෙන් අප පතන්නේ අපේම ස්වාර්ථය බව, පිළිගෙන මේ වීරත්වයේ හා ඊනියා පරාර්ථයේ සළු පිළි ගලවන තුරු අපට මින් ගැලවීමක් නැත.

ගෙදර නම්බුව රැකීම හොඳ දෙයකි. එහෙත් ඒ සඳහා හැම රාත්‍රියකම බිරිඳට බැණ වදින්නට අඩම්තේට්ටම් කරන්නට සිදු වේ නම් ඒ නම්බුවෙන් වැඩක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම හොඳ දෙයකි. එහෙත් ඒ සඳහා පිහි ලෙලවන්නට සිදුවන්නේ නම්, චණ්ඩිකම් කරන්නට සිදු වේ නම්, ඒ රකින ප්‍රජාතන්ත්‍රවාදයෙන් ද වැඩක් වන්නේ නැත.

රට රැකීම ද හොඳ දෙයකි. එහෙත් ඒ සඳහා බොරු කීමට අප කිසිවෙකුට ලයිසන් නොදිය යුතු ය. ඒ උදෙසා හොරකම්  කිරීමට වංචා කිරිමට අප අසංවේදී නොවිය යුතු ය. ඒ උදෙසා මැරකමට ජඩකමට ඉඩ නොදිය යුතු ය. අවසානය මෙන්ම ඒ සඳහා යන මාර්ගය ද අපට වැදගත් බව කිව යුතු ය. අප රකින රට බොරුවේ ද්වීපය නොවිය යුතු ය. මැරකමේ දේශය නොවිය යුතු ය. ලොව හිනස්සන රට බවට පත් නොවිය යුතු ය. ලෝකයෙන් අපවාද ලබන රටක් බවට පත් නොවිය යුතු ය. අවසානයේ අපට ඉතිරි වන්නේ ඒ සියල්ල සහිත රටක් නම් ඒ රටෙන් අපට වැඩක් වන එකක් නැත.

අප දැන් බුදුන්ගේ දේශය යැයි කියමින් නාමිකව ඔජ වඩන රට සැබෑ බුදුන්ගේ දේශයක් වනුයේ අප අපේ ම කඳවුරු තුළ ඇති මේ බොරුවට, වංචාවට, මැරකමට විරුද්ධව කටයුතු කරන්නට ඉදිරිපත් වන දාක ය. එතෙක් ඒ රට බුදුන්ට ද ගෙන එනු ඇත්තේ අපහාසය හා උපහාසය පමණකි. නින්දාව පමණකි. බුදුන්ගේ දේශය කියන බෝඩ් ලෑල්ලක ඇත්තේ ඒ සඳහා යෙදවූ ලෑලි වල වටිනාකම විතර ය. බුදුන්ගේ දේශය කුමක් දැයි ඒ දේශයේ මිනිසුන්ගේ හැසිරීම තුළින්, උන් කියන කර දේ තුළින්, ප්‍රදර්ශනය විය යුතු ය. වටිනාකම ගොඩ නැගිය යුත්තේ ඒ චර්යාව හා වැඩපිළිවෙල හරහා ය. අප ඉටා ගත යුත්තේ මේ බුදුන්ගේ දේශය යැයි ලොවට ආඩම්බරයෙන් කිව හැකි දේශයක් ගොඩ නැගීමට ය.

එය බුදුන්ගේ දේශය ලෙස ලොව බහුමානයට ලක් විමට එවිට බෝඩ්වල පිහිට අවශ්‍ය වන එකක් නැත. ස්ටිකර් අලවා ගෙන වාහන කැත කර ගන්නට වුවමනා වන එකක් නැත. අප වෙහෙස විය යුත්තේ ඒ දවස උදාකර ගැනීමට ය. එය ස්ටිකරයක් අලවන තරම්, බෝඩ් ලෑල්ලක් අටවාගන්නා තරම්, පහසු නැති බව ඇත්ත ය. එහෙත් කළ යුත්තේ ඒ අමාරු කාර්යයට කැප වීම ය. ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම ය. තමන්ගේ පිලේ අය හදා ගැනීම, අන් පිලේ මිනිසුන් හදා ගැනීමට වඩා, එසේත් නැත්නම්, අඩුම වශයෙන් ඒ තරමට ම වත්, වැදගත් බව ඒත්තු ගැනීම ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s