ආගමට,ජාතියට හා රටට ද්‍රෝහී වීම


ද්‍රෝහි වීම හා පාවා දීම සැළකෙන්නේ අනුමත කළ නොහැකි වැරදි හැසිරීම් ලෙස ය. විශේෂයෙන් සිය රටට, ආගමට හා ජාතියට ද්‍රෝහි වීම සමාව දිය නොහැකි වරදවල් ලෙස සැළකේ. මේ හැසිරීම සම්බන්ධයෙන් ඇතැම් අයට ලේබල් අලවනු ලබන අතර, එසේ ලේබල් ඇලවීමට ලක් වන අයට විවිධ අඩම්තේට්ටම් වලට ලක් වීමට ද සිදු වේ. සුළු අඩම්තේට්ට්ම් නොව අතිශය සාහසික අඩම්තේට්ට්ම් ද ඒ අතර වෙයි. එසේ පාවා දෙන්නන් හා ද්‍රෝහීන්ට මරණය අත් කර දිය යුතු බවට වැඩි මනත් ලෙස කියවේ.

මේ හැසිරීම එතරම් ම දරුණු ප්‍රතිඵල ඇති කරන නිසා සහ ඇති කළ හැකි  නිසා මේ ගැන වැඩිදුරට විමසිය යුතු ය.

යම් නිශ්චිත ක්‍රියාවක් ද්‍රෝහි වීමක් ද නැද්ද යන්න විමසීමේ දී බොහෝ විට වැරදීම් සිදු විය හැකි ය. ඇතැම් විට රටට හිතවත් කමකින් කරන යම් ක්‍රියාවක් ද්‍රෝහී කමක් ලෙස ද රට ගැන අසංවේදීව කරන යම් ක්‍රියාවක් එහි ප්‍රතිපක්ෂය ලෙස ද කෙනෙකුට ගත හැකි ය. එයින් අදහස් කරන්නේ මේ බෙදුම් රේඛාව පැහැදිලි නැති බව ය. ඒ නිසා ම මෙය නිකම් ම නොව ගැඹුරින් විමසිය යුතු ය.

කුමන හෝ හේතුවක් නිසා රට, ආගම හා ජාතිය මිනිසුන්ගේ හැගීම් ඇවිලවීමේ සමත් ය. ඒ නිසා ම මේ සම්බන්ධයෙන් කරන කතිකා බොහෝමයක් ඇවිස්සුණු හැගීම් වලින් ද ගහණ ය. හැගීම් වලින් ප්‍රලය කරනු ලැබූ කෙනෙකුට තාර්කිකව හිතන්නට බැරි ය. ඒ නිසා ද මේ කාරණය සංයමකින් හා ගැඹුරකින් විමසිය යුතු ය.

අපි පළමුව ආගම ගෙන බලමු. ආගම යනු විශ්වාසයන් සමූහයකි. බොහෝ විට දෙමාපියන් විසින් අපට උරුම කර දෙනු ලබන විශ්වාසයන් සමූහයකි. ඒවා අප වැළඳ ගෙන සිටින්නේ අප ඒ පිළිබඳව තාර්කික ව විමසා බලා ඒ ඔස්සේ බැස ගත් නිගමන හරහා නොවේ. කුඩා කල අපගේ ඔලුවට වැටුනු නිසාත්, අප ඒ හා සම්බන්ධ වී කිසියම් ආකාරයක ආයෝජනයක් කර ඇති නිසාත්, ඒ සම්බන්ධයෙන් අපට බැඳීමක් තිබෙන නිසා ය. අප යමක ආයෝජනය කරනුයේ මුදල් පමණක් නොවේ. මෙහි දී නම් අප වැඩිපුරම ආයෝජනය කර ඇත්තේ අපේ කාලයත්, බොහෝ විට අපේ ශ්‍රමයත්, සීමාසහිතව ධනයත් ය.

එසේ පෝෂණය කර හදා ගත් විශ්වාසයක් බැහැර කිරීම අමාරු ය. ඒ නිසා ම අපි ඒ විශ්වාසයන් විමසීමට පවා බිය වෙමු. මක්නිසා ද යත් බැරි වෙලාවත් විශ්වාසය ගැන සැකයක් ඇති වුනොත් කරන ලද ආයෝජනයන් සියල්ල වතුරේ යන නිසා ය. ඒවායින් තවදුරටත් වැඩක් නොවන නිසා ය. ඊට පසු අමාරුවෙන් පාඩම් කර ගත් ගාථා වලට කරන්නේ කුමක් ද? කාලයක් තිස්සේ එකතු කර ගත් දැනුමට කරන්නේ කුමක් ද? පන්සල්, පල්ලි හා කෝවිල්වල පූජකයන් ඇසුරෙන්, ඒවායේ කරන ලද වතාවත් ඇසුරෙන්, උකහා ගත් කුසලතා වලට, සම්බන්ධකම් වලට, කරන්නේ කුමක් ද? ඒවා හිතන තරම් පහසුවෙන් විසි කළ හැකි ද?

ආගමට ද්‍රෝහි වීම

කෙසේ හෝ හිත හදාගෙන කෙනෙකු තමන් අදහන ආගමෙන් ඉවත් වුව හොත් ඔහුගේ කිට්ටුවන්තයන් අර්බුදයකට මුහුණ දෙන්නේ ය. ඔවුන්ට දැනෙන්නේ ඒ පුද්ගලයා තමන් අතහැර ගිය අයෙකු ලෙස ය. තමන්ගේ විශ්වාසයන් අභියෝගයට ලක් කරමින්, තමන් අතරමං කළ අයෙකු ලෙස ය. ඉතින් එවැන්නෙකුට පහසුවෙන් සමාව දිය හැකි ද?

ඔහු ආගමට ද්‍රෝහී වූවෙකු ලෙස සළකා නැදෑ පරපුරෙන් ම පිට මං කරනු ලබන්නේ ඒ නිසා ය.

කෙනෙකුගේ පුද්ගලික කරුණක් විය යුතු ව තිබෙන විශ්වාසයක් මෙසේ කණ්ඩායමකගේ පදනම සකසන අමුතුම ප්‍රපංචයක් වී ඇත්තේ මේ නිසා ය.

මම උත්පත්තියෙන් බෞද්ධයෙක්මි. මොහොතකට නවතින්න. කෙනෙකු උත්පත්තියෙන් මේ කිසිදු විශ්වාසයක් ගෙනෙන්නේ නැත. එය ඒ නිසා වැරදි ප්‍රකාශයකි. මගේ අම්මාත් තාත්තාත් බෞද්ධ ය. මම බෞද්ධ දෙමාපියන් සහිත පවුලක උපත ලැබුවෙමි. ඒ නිසා ම මම කුඩා කල සිට බෞද්ධ විශ්වාස හා වත් පිළිවෙත් ඇදහිලි ගැන දැන ඒවාට සහභාගි වී ඇත්තෙමි. ඒවා කෙසේ කළ යුතු දැයි යන ශාස්ත්‍රය ද ප්‍රගුණ කර ඇත්තෙමි.

සංවාදයේ පහසුව සඳහා මට ක්‍රිස්තියානි ආගම ගැන පසු කලෙක දැනගන්නට කියවන්නට ලැබුණේ යැයි සිතමු. එසේ සොයා දැන ගත් දේ අනුව මට එය වඩා ආකර්ෂණය විනි නම්, වඩාත් පිළිගන්නට පුළුවන් වූයේ නම්, මට “මගේ ආගම“ අත හැර ක්‍රිස්තු භක්තියෙකු විය හැකි ද?

හරි නම් එසේ කළ හැකි විය යුතු ය.

එහෙත් බොහෝ විට සිදුවන්නේ එය බෞද්ධයන් විසින් බුද්ධාගමට කළ ද්‍රෝහී කමක් ලෙස සළකනු ලැබීම ය. එසේ කිරීම හරි ද? අන්‍යාගමිකරණය උණුසුම් මාතෘකාවක් වී තිබෙන්නේ ඒ නිසා ය.

දැන් මෙහි ප්‍රතිපක්ෂය සිදු වූයේ යැයි සිතමු. මා ඉපදුනේ ක්‍රිස්තියානි දෙමාපියන්ට දාව ය. මට බුද්ධාගම ගැන දැන ගන්නට ලැබී එය අධ්‍යයනය කොට එය වඩාත් නිවැරදි යැයි ඒත්තු ගෙන බෞද්ධයෙකු වී නම් බෞද්ධයින් කුමක් කියනු ඇද්ද? සත්‍යය අවබෝධ කරගත් සාදු වන්තයෙකු ලෙස මා සළකනු ඇත. ඔවුන් මා ඔවුනේගේම කෙනෙක් ලෙස බාර ගනු ඇත. මා සුපැහැදිලි ආදර්ශයක් ලෙස ඔවුන්ගේ හිතේෂීන්ට ද හඳුන්වා දෙනු ඇත. ඊට ප්‍රතිපක්ෂව මගේ ක්‍රිස්තියානි දෙමාපියන් ආගමට ද්‍රෝහි වූ දරුවෙකු ලෙස මා පවුලෙන් ද එලවා දමනු ඇත.

බුදු හාමුදුරුවන් භාරතයේ ඒ යුගයේ ඉපදුණ නිසා හොඳ ය. බැරිවෙලාවත් ශ්‍රී ලංකාව වෙනත් ආගමික රටක් වී තිබුනේ නම් ද එකල උන්නාන්සේ ලංකාවට වැඩියේ නම් ද අප උන්නාන්සේට ගන්නේ කොස්ස ය. ඒ අන්‍යගාමිකරණය කරන්නට රටට ආ සතුරෙකු හැටියට සළකා ය. බුදුන් ධර්මය දේශනා කරන ස්ථාන වලට ගල් ගසන්නටත් බුදුන්ගේ ශ්‍රාවකයන්ට හිංසා කරන්නටත් අප පටන් ගනු ඇත. බෞද්ධයෙකුට එවැනි දසුනක් මවා ගත හැකි වනු ඇද්ද? බුදුන්ට කොස්ස ගන්නා රටක් හැටියට තමන්ගේ රට ගැන ඔවුන් අද දවසේ සිට කල්පනා  කරන කල කෙසේ සිතෙනු ඇද්ද? බුදුන් මිත්‍ය දෘෂ්ඨිකයෙකු ලෙස දකින ශ්‍රී ලංකාවක් ගැන ඔවුන් කෙසේ හගිනු ඇද්ද?

මේ සියල්ල ගෙන හැර පෑවේ ආගමට ද්‍රෝහිවීම යනු විකාරයක් බව කියන්නට ය.

පක්ෂයට ද්‍රෝහී වීම

එය එසේ නම් පක්ෂයකට දේශපාලන කඳවුරකට ද්‍රෝහි වීම ගැන මීට වෙනස් දෙයක් කිව හැකි ද? ආගම මෙන් ම දේශපාලන පක්ෂ ද කිසියම් ආර්ථික දේශපාලන දර්ශනයක් සහිත එකකි. එය සැබෑ ලෙස එසේ දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය. අඩුවශයෙන් දර්ශනයක සේයාවක් වත් ඒ බොහෝමයකට තිබේ.

එක පක්ෂයක දර්ශනයක් වැරදි යැයි ඒත්තු ගියොත් අපට එයින් ඉවත්ව වෙනත් පක්ෂයකට යා නොහැකි ද? එය අපතයෙකුගේ මට්ටමට කෙනෙකු පිරිහෙලන ද්‍රෝහී කමක් ද? එය පරිභව කළ යුතු වරදක් ද?

ආගම මෙන් ම පක්ෂය මාරු කිරීම ද ඇතැමුන් කරන්නේ තමන්ට ලැබෙන පුද්ගලික වාසි තකා නම් එතැන අපතයෙකුගේ ලක්ෂණ තිබෙන බව ඇත්තකි. එහෙත් එසේ කරන්නේ කිසියම් විශ්වාසයක අඩුපාඩුවක් දැක හා තව විශ්වාසයක නිවැරදි බවක් දැක නම් අපට එය දුර්ගුණයක් ලෙස සැලකිය හැකි ද?

පක්ෂ මාරුව ද ද්‍රෝහී කමක් ලෙස පක්ෂයේ මිනිසුන් විසින් සැළකෙතත් ඒ සම්බන්ධයෙන් සමාව දෙන කෙනෙකු පවා ආගමික මාරුවක් සම්බන්ධයෙන් එසේ සමාව දෙන්නේ නැත. ඒ දෙකෙහි ඇත්තේ කුමන වෙනසක් ද?

කෙනෙකුට උත්පත්තියෙන් උරුම වන ආගම නොමැකෙන හණක් ලෙස ගසා ගෙන ජීවත් වීමට බල කෙරෙන්නේ අප කලින් දැක් වූ ආයෝජනයේ හේතු නිසා විය හැකි ය. එහෙත් එය ඒ තරම් ම ප්‍රබල විය හැකි ද? එක් ආගමක් වෙනුවට වෙනත් ආගමක් වැළඳ ගැනීම ඇතැම් රටක මරු වැළඳ ගැනීමට සමාන ය.

වෙනත් ආගමක් වැළඳ නොගත්ත ද තමන් “අයත්“ ආගම විවේචනය කිරීම ද මාරයා ලං කරන වැඩක් ව තිබෙන්නේ ය. එය ඇතැම් රටක වෙනත් ආගමක් වැළඳ ගන්නවාට ද වඩා බරපතල දඩුවම් ලැබිය යුතු වරදක් ලෙස සැළකෙන්නේ ය. නිරාගමිකයන් කොහොමටත් ඉන්නේ අන්‍යාගමිකයන්ට වඩා ඈතිනි. පහතිනි. ඒ සියල්ල පිටුපස තිබෙන්නේ ආගමට ද්‍රෝහි වීමේ ආනිශංස ය.

ලොවට සාමය දේශනා කළ, ආදරය කරුණාව මෛත්‍රිය දේශනා කළ, සහෝදරත්වය දේශනා කළ ආගම් අදහන්නන් මෙසේ ආගමේ නාමයෙන් වෛර කරන්නට පෙළඹෙන්නේ කෙසේ ද?  මිනී මරන්නට තරමට පිරිහෙන්නේ කෙසේ ද? ආගම පෞද්ගලික විශ්වාසයකින් එහා ගිය කණ්ඩායමක අනන්‍යතාවය හගවන සළකුණක් බවට, ජාතියකින් ඇගවෙන්නා වූ යමකට සමාන දෙයක් බවට, පත් ව ඇත්තේ කෙසේ ද?

ඒ අප, මේ ලිපි පෙලින් වරින් වර, ඉදිරිපත් කළ “අපේ කම“ සංකල්පය නිසා ය. “අපේ මිනිහා“ අපට ලෙංගතු විය යුතු ය. හේ පරයින් සමග එක්ව අපට පහර ගහන්නට හදන්නේ නම් ද්‍රෝහියෙකු ලෙස නොසළකා වෙන කෙසේ සළකන්න ද?

ජාතියට ද්‍රෝහි වීම

ජාතිය ආගම මෙන් මාරු කළ නොහැකි ය. එසේ නම් ජාතියට ද්‍රෝහීවීමට කෙනෙකුට නොහැකි විය යුතු ය. අමාරු විය යුතු ය. නැත, එහි ද එහෙමට අමාරුවක් නැත.

ජාතියට පිටින් බැන්දොත් වැඩේ දෙල් වන්නේ ය. ජාතියේ සුපිරිසිදු බව ඊළග පරම්පරාවෙන් අහෝසි වී යන නිසා  ය. දරුවන්ට එහෙමට ජාතියක් නැති වන නිසා ය. මේ තත්වය දිගින් දිගට පැවතුනොත් ලංකාවේ එක්තරා දුරකට කුලයට වී තිබෙන තැන අනාගත ගෝලීයකරණය වූ ලෝකයක ජාතියට ද සිදු විය හැකි ය.

ජාතියට කෙනෙකු ගැට ගැහුණේ වැඩි මනත්ව භාෂාව හරහා ය. භාෂාව සීමිත භූගෝලීය ප්‍රදේශයක් තුළ සිරිත්විරිත් බෙදා ගන්නට ඒ ප්‍රදේශය තුළ සිටින ප්‍රජාවට උදව් උපකාර කළේ ය. ඊට ආගම ද රුකුල් දුන්නේ ය. වෙන එකක් තබා ආගම විවිධ රටවල ඒ ඒ රටට ආවේණික ස්වරූපයක් ගනිමින් රූපාන්තරණය ද වූයේ මේ නිසා ය. ඒ ද ලෝකය බෙදී වෙන් ව සිටි කාලයේ ය. ජාත්‍යන්තර දහමක් වූ බුදුදහම අදහන ගමන්  සිංහල බෞද්ධ යැයි එක කුලකයක් තෝරා වෙන් කර ගෙන බොහෝ දෙනා කතා කරන්නේ ඒ නිසා ය.

එක භාෂාවක් කතා කරන එක සිරිත් විරිත් ඇති ප්‍රජාවක් මෙසේ ජාතියක් හැටියට සැළකුණේ ය. ගෝලීයකරණය මෙන් ම ජාත්‍යන්තර භාෂා පරිහරණය ද අන්තර්ජාල තාක්ෂණය ද අන් රටවලට සංක්‍රමණය ද මේ තත්වයේ පැහැදිලි වෙනසක් ඇති කර තිබේ.

ඕස්ට්‍රේලියාවට, ඇමරිකාවට, කැනඩාවට සංක්‍රමණය වී ඇති සිංහල දෙමළ මිනිසුන්ගේ ඊළග පරම්පරාවට සිංහල දෙමල ජාතිකත්වය ඒ පමණට ම දැනෙන්නේ නැත. ඒ පරම්පරාවේ බොහෝ අයට සිය මව් බස හසුරුවන්නට ද බැරි ය. ඔවුන් කසාද බැඳීම සඳහා සහකරුවන් ඇතැම් විට තෝරාගන්නේ  ලෝක “වෙළඳ පොලෙන්“ ය.

ලංකාවේ ඉන්නා අන්තර්ජාලය හරහා ලෝකය හඳුනාගන්නා තරුණ තරුණියන් තුළ ද මේ තත්වය දක්නට ලැබෙන්නේ ය. සිංහල බෞද්ධ සිරිත් වලට මායිම් නොකරන මේ පිරිස තවදුරටත් ඒ සීමාවන් තුළ රඳවා ගැනීම අපහසු ය. ඔවුහු තමන්ගේ කුලයෙන් පමණක් නොව ජාතියෙන් ද පිට සහකරුවන් සොයා ගනිති. ඔවුන් ඒ සීමා තුළ දිගින් දිගට තබා ගැනීමට බලවේග රාශියක් ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය මෙසේ ජාතියට පිටුපාන ජාති ද්‍රෝහීන්ට පහර දිම ය. එම බලවේග මතුකර පෙන්වන්නේ මේ “නන්නත්තාර“ වූ පරම්පරාවේ, මේ ජාති ද්‍රෝහීන්ගේ, ජාතියට ඇති අසංවේදිත්වය ය. අදහස, ඉතිරි ව ඇති පිරිස හෝ මෙයින් ගලවා ගැනීම ය.

බෞද්ධයින් පවා ඕල්කට් බෞද්ධයින් හා ධර්මපාල බෞද්ධයින් ලෙස බෙදී ඉන්නේ මේ ජාතියට ද්‍රෝහි වීම හා හිතවත් වීම පිළිබඳ බෙදුම් රේඛාව හරහා ය.

හොඳින් බැලුවොත් පෙනෙන්නේ මේ ජාතිකවාදී ව්‍යායාමයන් අසාර්ථක ව්‍යාපෘති බව ය. ගෝලීයකරණය වන ලෝකයක එන්න එන්නම ඇකිලීමට නියමිත ව්‍යාපෘති බව ය. ජාතියකට පක්ෂ වීම, ආගමකට පක්ෂ වීම තරමට ම විකාරයක් බව ය.

රටට ද්‍රෝහි වීම

දැන් ඉතිරි ව ඇත්තේ රට ය. අප පක්ෂපාත විය යුත්තේ රටට ද?

කොළඹ පමණක් නොව ලංකාවේ වෙනත් පළාත්වල ඇතැම් පවුල්වල සමාජිකයන් ද සිටින්නේ පිටරට ය. ඒ අතර ඒ රටවල පුරවැසිකම පතා සංක්‍රමණය වූවෝ ද සිටිති. මේ අය රටේ වියදමෙන් නිදහස් අධ්‍යාපනය ලද්දෝ ය. දැන්  කඹුරන්නේ පිටරටට ය. උන් සැලකිය යුත්තෝ රටට ද්‍රෝහී වූවන් හැටියට ද?

එසේ සංක්‍රමණය වූ ඇතැම්හු මුළු මහත් මානව සංහතියට ම වටිනා ඖෂධ හා ප්‍රතිකර්ම විදි සොයා ගෙන ඇත්තෝ ය. නවෝත්පාදනයේ යෙදෙමින් මානව සංහතියේ දියුණුවට උර දී ඇත්තෝ ය. අද අප විඳින තාක්ෂණයන් නිපදවෙන්නේ බොහෝ කොට බටහිර ය. නැත්නම් ජපානය, චීනය, වැනි ඈත පෙරදිග රටවල ය. ඒ රටවල ජනයා සමග උරෙන් උර ගැටෙමින් මේ මානව දැනුමට හා සම්පත් වලට දායක වන අපේ රටේ ම මිනිසුන් ද්‍රෝහීන් ලෙස අපට සැළකිය හැකි ද?

රටේම සිටිමින් රටට ද්‍රෝහී වන්නේ යැයි කියන පිරිසක් ද මේ අතර වෙති. උන් විදේශ ආයෝජන මෙහි එනවාට කැමති ය. විදේශ දැනුම මෙහි එනවාට පක්ෂපාතී ය. විදේශ අදහස් හා ගති පැවතුම් මෙහි එනවාට මනාප ය. උන් රට නොගියාට කැමතිව සිටින්නේ මේ රට ද විදේශයක් කර ගැනීමට ය. අඩු තරමින් අන්න ඒ අයවත් ද්‍රෝහීන් නොවන්නේ ද?

විදේශ ආයෝජන නැතිව ලෝක වෙළඳ පොල ජය ගැනුම උගහට ය. විදේශ දැනුම නැතිව අපේ දැනුමෙන් පමණක් අපට ඉදිරියට යා නොහැකි ය. ඉතාම දියුණු යැයි සැළකෙන ඇමරිකාවවත් එසේ කරන්නේ නැත. විදේශ අදහස් හා ගති පැවතුම් අතර සමහර ඒවා අතිශයින් සාධනීය ය. දියුණුවට ලැදි මිනිසුන් විසින් අත් කර ගත යුතු ය. අප එවැනි දෙයින් මග හැරිය යුත්තේ කුමක් නිසා ද? රටට ද්‍රෝහී වනවා යැයි කියන අපවාදයෙන් ගැලවීමට ද?

තවමත් දේශ සීමා මායිම් තිබෙන බව ඇත්ත ය. රටක් ලෙස තවමත් අපේ අඩුපාඩුකම් අපට විඳ ගන්නට සිදු ව ඇති බව ද ඇත්ත ය. ඒ නිසා ම මේ රට තුළ ජීවත් වන තාක් රට ගැන සිතිය යුතු බව ද ඇත්ත ය. එහෙත් ඒ විදේශ ආයෝජන, විදේශ තාක්ෂණය හෝ විදේශ දැනුමට පිටුපෑමෙන් නොවේ. ඒවා භාවිතයට ගැනීමෙනි. ඒවා සමග ගනුදෙනු කිරීමට උගෙනීමෙනි. අපට වඩාත් වාසි ගත හැකි ලෙස ගනුදෙනු කිරීමට උගෙනීමෙනි.

අප පාරම් බෑවාට ලෝකය සමග ඇති අපේ පෙකනි වැල කැපුවොත් අපට නවතින්න වෙන්නේ අපායක ය. එසේ වූ දිනක සාගතය දුර්භික්ෂය යන සියළු උපද්‍රව අපව වෙලාගනු ඇත්තේ ය. තෙල් නැතිවුනොත් අප බඩ ගින්නේ මියෙන්නේ අම්පාරේ හා පොළොන්නරුවේ හාල් තියා ගෙන ය. ඒ බව දැන ජාත්‍යන්තර වාදී වෙන එක ඇඟට ගුණ ය.

ආගම, ජාතිය, දේශය යන සීමාමායිම් තවම යථාර්ථයක් බව ඇත්ත ය. එහෙත් ඒවා ක්‍රමයෙන් දුර්වල වී යන්නේ ය. එසේ ක්ෂය වී යන එක නපුරක් නොව යහපතකි. මේ ක්‍රමයෙන් බොඳව යන සීමා රැක ගැනීම ගැන නොව බිහිවෙමින් පවතින නව ලෝකය සමග අප ගනුදෙනු කළ යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නයට උත්තර සෙවීමට අපේ සිත් යොමු විය යුතු ය. ඒ ගනුදෙනුව සඳහා අවශ්‍ය හැගිම් නොවේ. බුද්ධිය ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s