වියවුල නිරවුල් කර ගැනීම

d2_15102018_FRR

කෙනෙකුට පරාර්ථකාමී මෝඩයෙකු විය හැකි ය. තව කෙනෙකුට අවංක නූගතෙකු විය හැකි ය. තවත් අයෙකුට මෝඩ ලෙස කළගුණ සැළකිය හැකි ය. මේ සියල්ල තුළ ඇත්තේ අවුලකට මුල ය. වියවුලකට මග ය.

පරාර්ථකාමීත්වය හොඳ දෙයකි. මෝඩ කම භයානක එකකි. ඒ දෙක එකතු වූ විට ඇතිවන ප්‍රතිඵලය අතිශයින් හානි කර විය හැකි ය. ඒ, පරාර්ථකාමිත්වය දකින බොහෝ දෙනෙකු ඉන් වශීවී මෝඩකම අමතක කර දමන බැවිනි. මෝඩකම මතු කර පරාර්ථකාමිත්වය අමතක කර දැමීම ද ඊට සමානව ගුණමකු ය. ඒ නිසා ම බොහෝ දෙනෙකු එයින් වැළකෙන්නට වග බලා ගන්නෝ ය. ප්‍රශ්නය හා අවුල ඒ නිසා ය.

අවංකව යමකට කැප වීම හොඳ දෙයකි. නූගත් කම බොහෝ විට අදූරදර්ශී පියවර ගැනීමට තුඩු දෙන්නකි. අවංකව කැපවිමට සූදානම් මිනිසෙකු අදූරදර්ශී පියවර ගැනීම සාමාන්‍ය කෙනෙකු එවැනි පියවරක් ගැනීමට ද වඩා භයානක ය. මක් නිසා ද යත් ඔහු කුමන බාධක පැමිණිය ද ඉන් අධෛර්ය නොවන්නට ඉඩ ඇති නිසා ය. අවංකව ම කැප වීම තුළ තමන් ගන්නා අදූරදර්ශී තීරණයෙන් එහා කිසිවක් නොසිතන නිසා ය.

කළගුණ සැලකීම හොඳ දෙයකි. එහෙත් එය මෝඩ ලෙස කිරීම හොඳ නැත. එයින් ඇතිවන අගෞරවයේ කොටසක් සැළකුම් ලබන්නාට ද හිමි වේ. එවැනි කළ ගුණ සැලකීමකින් කර ඇත්තේ නුගුණයක් මිස ගුණයක් නොවේ.

ලෝකය අයහපත් තැනක් වී ඇත්තේ නරක මිනිසුන් නිසා ම නොවේ. බොහෝ හොඳ මිනිසුන් මෝඩ වීමත් නූගත් වීමත් අදූරදර්ශී වීමත් නිසා ය.

පරාර්ථකාමිත්වය හා මෝඩකම

හිඟා කෑම සමාජ ව්‍යාධියක් බවට පත් ව ඇත්තේ වෙනත් ආදායම් මාර්ග නොමැති නිසා නොවේ. පරාර්ථකාමී මිනිසුන්ගේ නොමසුරු පරිත්‍යාගයන් නිසා එය වඩා ලාභදායක ව්‍යාපාරයක් වී ඇති නිසා ය. බොහෝ රැකියා වලින් ඉපයිය හැකි මුදලට වඩා වැඩි මුදලක් එම දානපතියන්ගේ පරාර්ථකාමීත්වය භාවිතයෙන් මේ හිඟන රස්සාවෙන් ඉපයිය හැකි නිසා ය. ඒ නිසා මේ ප්‍රදර්ශනය කරන පරාර්ථකාමිත්වයෙන් ඇතිවන්නේ අයහපතකි. නපුරකි.

ගොවිතැන කරුමයක් ව ඇත්තේ එයට අනුග්‍රහ නොලැබීම නිසා නොවේ. එයට ලැබෙන වැඩි අනුග්‍රහය නිසා එය ඵලදායික ලෙස සංවිධානය කර ගැනීමට වුවමනා නොවීම හේතුවෙන් ය. තමන්ගේ නිශ්පාදනය විකුණා ගැනීමට නොහැකි වූ විට එහි බර ආණ්ඩුව දැරිය යුතු යැයි යන අදහසේ එල්බ ගෙන සිටිම හේතුවෙන් වැවිය යුත්තේ කුමන භෝගය ද යන්න පිළිබඳව ලොකු වගකීමක් ගැනෙන්නේ නැත. බැරි වෙලාවත් වැරදුනොත් ණය කපා හැරීමට ද සහතික මිලක් ගෙවා ගැනීමට ද වෙනත් සහනාධාර දීමට ද ආණ්ඩුව ඉන්නා නිසා තීරණයේ වගකීම තමන්ට ගැනීමට සිදු නොවන්නේ ය. එසේ සදාකාලිකව අනුන් මත යැපෙන තත්වයට ගොවියා පත් ව තිබිම ශෝක ජනක ය. ප්‍රතිඵලය, බොහෝ බවභෝග පිටරටින් බදු සහිතව ආනයනය කිරීම ද මෙහි නිපදවීමට වඩා ලාභ දායක වීම ය. අප නිපදවන බවභෝග නම් අපනයන කිරීම හිතන්නටවත් බැරි වීම ය. ඒ සියල්ල මෝඩ පරාර්ථකාමිත්වයේ අතුරු ඵල ය.

වෙසක් දන්සැල් සංවිධානය කරමින් සෙසු මිනිසුන්ට සංග්‍රහ කිරීම පරාර්ථකාමී ය. එහෙත් දන්සැල් ඉදිරියෙන් යන සියලු වාහන නතර කරමින් පාරවල් අවහිර කර යනෙන ජනයාට සිය ගමන දුෂ්කර ක්‍රියාවක් කිරිම මෝඩ ය. දන්සැල් නිසා ම වෙසක් දිනයේ ගෙදරට වි සිටිමට ඇතැම් මිනිසුන් තීරණය කිරිම පිටුපස ඇත්තේ මෝඩකම සමග එක් වූ මේ පරාර්ථකාමිත්වය ඇති කළ විපාකයන් ය.

අවංකව ම කැප වීම හා නූගත්කම

දෙමාපියන් සිය දරුවන්ට ආදරේ ය. ඔවුන් වෙනුවෙන් කැපවීමට සූදානම් ය. ලෝකෙට පරකාසෙට නොව අවංකව ම කැප විමට සූදානම් ය. ඉතින් ඔවුන් තුරුලට ගෙන කවා පොවා රැක බලා ගන්නේ ඇතැම් විටක ඔවුන් විසින් කළ යුතු දේ ද තමන් ම කිරීමට බාර ගැනීමෙනි. එසේ බාර ගැනීමෙන් දරුවාගේ ස්වභාවික වැඩීමට, මානසික මෙන්ම ශාරීරික වර්ධනයට, තමන් කරන්නේ බාධාවක් බව මේ දෙමාපින් දන්නේ නැත. දන්නවා නම් ඔවුන් එය කරන එකක් නැත. ඔවුන්ගේ මේ නොදැනුම – නූගත් කම – දරුවන්ට ගෙන එන්නේ අයහපතකි. ප්‍රතිඵලය ශාරීරිකවත් මානසිකවත් දුබල දරුවෙකු නිර්මාණය කිරීම නම් අවංකව දරුවා වෙනුවෙන් කැප වුනාට වැඩක් නැත.

ජාතිය බේරා ගැනීම වෙනුවෙන් අවංකව ම කැප වෙන මිනිසුන්ගෙන් අඩුවක් අපට නැත. ඔවුන් කොතරම් ඒ සම්බන්ධයෙන් කැප වන්නේ ද යත් වෙනත් කිසි ම ජාතියකට තඹයකු දු දෙයක් දෙන්නට, මොන ම හෝ ඉඩ හසරක් දෙන්නට, ඔවුන් සමග, අඩු වශයෙන් ඔවුන්ගේ පළාත් සම්බන්ධයෙන් වත්, බලය බෙදා ගැනීමට කැමති නැත. වසර 30 ට ආසන්න කාලයක් තිස්සේ අප යුද්ධ කළේ ඒ නූගත් අස්ථානයට පින් සිදු වන්නට ය. ඒ යුද්ධය ද තිරශ්චීනව අවසන් කර ලෝකයා ඉදිරියේ වග උත්තර බඳින්නට අපට සිද්ධ වෙන තැනට ද වැඩ සැළසුනේ ඒ නූගත්කම හේතුවෙන් ය. අද පවා උතුරේ සෙවනැල්ලකින් ද බියට පත් ව අනාරක්ෂිතව දකුණේ මිනිසුන් වෙසෙන්නේ ඒ නූගත්කම මත පදනම් ව කරන ලද කටයුතු හේතුවෙන් ය.

ආගම රැක ගන්නට ඉදිරිපත් වන ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මේ උගුලට හසුවන්නෝ ය. තමන්ගේ නූගත් කම නිසා ම තමන් කරන කටයුතු වලින් තමන් රැක ගන්නට වලිකන ආගම ම පිරිහෙන බව ඔවුන්ට තේරෙන්නේ නැත. ලෝකයා ඉදිරියේ එය හෑල්ලුවට ලක් වන බව වටහා ගන්නේ නැත. ඒ නූගත් කමේ ප්‍රතිඵලය ය. තුන් සරණ වෙනුවට අබසරණ පැතීමෙන් අවසානයේ අසරණ වන්නේ තමන් රැක ගැනීමට කැසකවන ආගම බව ඔවුන්ගේ කුඩා මොළයට වැටහෙන්නේ නැත.

කළගුණ සැලකීම හා මෝඩකම

තම දුවණිය උදම් රැලෙන් බේරා ගත් තරුණයාට දියණිය සම්බන්ධයෙන් කැමැත්තක් කරන්නැයි බාර දෙන පියෙකු සිතේ මවා ගන්න. දියණිය ජිවත් වන්නේ තරුණයා විසින් බේරා ගත් නිසා ය. ඒ නිසා ම බේරා ගත් තැනැත්තාට කළ ගුණ සැළකිය යුතු ය. ජීවිතය අයිති ඔහුට ය. එසේ සිතා බේරාගත් දියණිය සම්බන්ධයෙන් කැමැත්තක් කරන්නැයි ඔහුට බාර දීම මෝඩකමකි.

රට බේරා ගත් පුද්ගලයාට රටට කැමැත්තක් කරන්නැයි බාර දීම ද ඊට සමාන ය. දියණිය සම්බන්ධයෙන් එවැනි අනුවණ කම් කරන පියවරු අඩු වුව ද රට සම්බන්ධයෙන් එවැනි අස්ථානයක් දැරීමට ඉදිරිපත් වන අය අඩු නැති බව පසු ගිය සමයේ අපට දැක ගන්නට ලැබුණේ ය. හොරකම් කළාට මොකද රට බේරා දුන්නා නොවේ දැයි අසන ඊනියා බුද්ධිමතුන් පවා අපට දැක ගන්නට ලැබුණේ ඒ අනුව ය.

බුදුන් වහන්සේ අපට නිවනට මග කියා දුන් හ. ඒ වෙනුවෙන් කළ ගුණ සැලකීමට කල්පනා කිරිම යහපත් ය. ඒත් ඒ සඳහා පළතුරු හා ආහාර පාන ආදියෙන් නිවනට ගිය බුදුන් පිදීම අනුවණ ය. මෝඩ ය. බුදුන් වහන්සේ ඒවා කන්නට එන්නේ නැත. ඒ සඳහා වැය කරන සම්පත් අර්ථ විරහිත නාස්තියකි. එය ම පාපයකි. කන්නට යමක් සපයා ගන්නට නොහැකි ව දිවි ගෙවන මිනිසුන් ඉන්නා රටක එය බරපතල පාපයකි.

දෙමාපියන් අප වෙනුවෙන් බොහෝ දේ කර ඇති බව සැබෑ ය. එහෙත් ඒ නිසා ම ඔවුන් කරන කියන හැම එකක් ම දොහොත් මුදුණින් පිළිගැනීම අවශ්‍ය නැත. ඇතැම් ඒවා ප්‍රශ්න කළ යුතු ය. එහෙත් මෝඩකම කළගුණ සැලකීම ලෙස ගන්නා උදවිය එසේ ප්‍රශ්න කිරීමට යන්නේ නැත.

කළ ගුණ සැළකීම හොඳ ය. ඒ මෝඩ ලෙස එය නොකරන තාක් පමණ ය.

පටලවා ගැනීම් කෙළවරක් නැත

වියවුල් ඇති වීමට තවත් හේතු තිබේ. එයින් ප්‍රධාන එකක් නම් අප යම් යම් දේ ඊට සමාන ලෙස දකින වෙනත් දේ සමග පටලවා ගැනීම ය.

කරුණාව නෝන්ජල් කම ලෙසත් – නෝන්ජල් කම කරුණාව ලෙසත්, නිහතමානීත්වය දීන කම ලෙසත් – දීන කම නිහතමානිත්වය ලෙසත්, වීරත්වය මෝඩකම ලෙසත් – මෝඩකම වීරත්වය ලෙසත් යනා දී වශයෙන් පටලවා ගැනීම් ඇති මේ ලයිස්තුව දිග ය. ඒ අප සතු ගුණාංග සම්බන්ධයෙනි.

මිය ගිය හා අතුරුදහන් වූ, තමන්ගේ ඥාතීන් වෙනුවෙන් සැමරිම් කිරීමට උතුරේ මිනිසුන්ට අයිතියක් ඇතැයි පිළිගැනීම කරුණාව පෑමක් ලෙස නොව නෝන්ජල් කමක් ලෙස අර්ථ ගැන්වෙන්නේ ඒ නිසා ය. නීතියෙන් වැරදි කරුවෙකු වන කෙනෙකු එයින් ගලවා ගැනිමට ඉදිරිපත් විම නෝන්ජල්කම වෙනුවට කරුණාව ලෙස අර්ථ ගැන්වෙන්නේ ද ඒ නිසා ය.

ව්‍යාපාරික පන්තියේ සපිරිවරින් යනවා වෙනුවට සාමාන්‍ය පන්තියේ අසුනක අවශ්‍ය අවම නිලධාරීන් සංඛ්‍යාව සමග ගුවන් ගත වන රාජ්‍ය නායකයා නිහතමානී කෙනෙකු ලෙස නොව දීන කෙනෙකු ලෙස ද රාජ්‍ය නායකයාගේ වැදගැම්මකට නැති පුතෙකු ඉදිරියේ විද්වතෙකු යැයි කියන කෙනෙකු කොන්ද නමා ගෙන වැඳ වැටීම හෝ දූ කුමරියක මුලසුනේ තියාගෙන සාකච්ඡාවලට සහභාගි වීම හෝ දීන කමක් ලෙස නොව නිහතමානිකමක් ලෙස ද අර්ථ ගැන්වෙන්නේ ඒ නිසා ය.

රටේ ප්‍රධාන ධාරාවට අනුව යමින් බුදුන්ගේ රස්තියාදුව, තරුවන් සරණයි, නිර්වස්ත්‍රං පරමං සුඛං වැනි කලා කෘතින්ට එරෙහිව වාරණය දියත් කිරීම වැරදි යැයි ද ඒ හරහා ප්‍රකාශනයේ නිදහසට බාධා පැමිණෙන බවට එලිපිට හඩ නැගීම විරත්වයක් නොව මෝඩකමක් ලෙස ද යුධ සමයේ සිදු වී යැයි කියන අපරාධ වලට එරෙහිව පරීක්ෂණයන් තමන් කිසිසේත් කටයුතු කරන්නේ නැතැයි කියමින් රට ලෝකය තුළ හුදකලා කිරීම මෝඩකමක් නොව වීරකමක් ලෙස දකින්නේ ද ඒ නිසා ය.

කතා කර පහසුවෙන් සම්මුතියකට ආ හැකි තැනක බැණ වැදීමෙන් එකගතත්වයකට පැමිණීමට ගන්නා උත්සහයක්  ඇතැම් මිනිසුන් දකින්නේ ගොන් කමක්  ලෙස නොව වීරකමක් ලෙස ය.

මේ ලයිස්තුව ද දිග ය. ඒ හැම තැනක ම තියෙන්නේ පටලවා ගැනීම ය. දකින කෝණයේ අඩුපාඩු ය. අසම්පූර්ණත්වය ය.

ක්‍රියාකාරකම් ද මේ පටලවා ගැනීමට හසු වේ

මිනිසුන් සතු ගුණාංග වලට අමතරව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද පැටලැවීම් ඇති වේ. විචාරය, විවේචනය කිරීමක් ලෙස ද, උපහාසය, අපහාසයක් ලෙස ද, සළකණු ලබන්නේ ය. එසේ කොට ඒවාට එරෙහිව කටයුතු ද සංවිධානය වන්නේ ය. අදහස් ප්‍රකාශනයේ නිදහසට වැට කඩොළු බඳින්නට එම වියවුල යොදා ගැනෙන්නේ ය. මග පාදා ගැනෙන්නේ ය. වැඩ සැලැස්වෙන්නේ ය.

බෞද්ධ සාහිත්‍ය විචාරයට ලක් කිරීම සළකන්නේ එය අපහාසයට ලක් කිරීමක් ලෙස ය. එවන් ජාතියකට කිසිවක් ඉගෙන ගත නොහැකි ය. පැරණී මතවාදයන් හි ගිලී, අතීතය නමැති මඩ ගොහොරුවේ එරී, සිටිමට ඒ නිසා ම එයට සිදු වන්නේ ය.

විකෘති කරන ලද ආගමික ඇදහිල්ලක් පවා උපහාසයට ලක් කරන්නට බැරි ය. එවැන්නක් සළකන්නේ ම ආගමට එල්ල කරන ලද අපහාසයක් ලෙස ය. එහෙව් රටක ආගම යැයි මිනිසුන් අදහනු ඇත්තේ ශාස්තෘවරුන්ගේ දේශනා නොව පසු කලෙක සමාජය විසින් විකෘති කරන ලද අටල් පහුරු ය.

අනෙකාගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිම රැලට කරන ලද ද්‍රෝහීකමක් මෙන් අර්ථ දැක්වේ. බලාධිකාරය ප්‍රශ්න කිරිම අකිකරු දඩබ්බර කමක් ලෙසත් කැරලි ගැසිමක් ලෙසත් අර්ථ ගන්වා තිබේ. එවන් අයට ඇලවීමට විශේෂයෙන් පිළියෙල කරන ලද ලේබල් කීපයක් වෙයි. පළමු කාණ්ඩයට නම් එන්ජීඕ කාරයින් ඩොලර් කාක්කන් පොන්නයින් වැනි නම් ද දෙවැනි වර්ගයට නම් විප්ලවවාදියා, කැරලිකාරයා සහ ඇතැම් විට ත්‍රස්තවාදියා යන ලේබල් ද ඇත.

එහෙම රටකට සාමය ළඟා නොවන්නේ ය. එවන් රටක නව අදහස් නවෝත්පාදනයන් හා දියුණුව ද ඇති නොවන්නේ ය.

කුසලතා ද පටලවා ගනිමු

අප සතු ගුණාංග සම්බන්ධයෙන් පමණක් නොව කුසලතා සම්බන්ධයෙන් ද මේ පටලවා ගැනීම් සිදු වේ. මුඛරි කම කථිකත්වය ලෙසත් – කථිකත්වය මුඛරිකම ලෙසත්, මතක තබා ගැනීමට ඇති හැකියාව බුද්ධිය ලෙසත් අපි පටලවා ගන්නේ ඒ අනුව ය.

බොහෝ මාධ්‍යයන් විසින් විකාශනය සඳහා තෝරාගන්නේ දෙපැත්ත කැපෙන කතා සමග කරන වාචාල දෙබස් ය. මුඛරිකම කථිකත්වය ලෙස ඔවුන් සළකන බවක් ඒ තුළින් පෙනෙන්නේ ය. දක්ෂ කථිකත්වයක් ඇති මිනිසුන් ද කතා කරන්නේ තමන්ට අනුයන දේ නොවේ නම් ඔවුන් වාචාලයින් බවට මිනිස්සු කිසිදු පැකිලිමක් නැති ව හඳුන්වා දෙන්නෝ ය. ඒ තමන්ට විරුද්ධ මතයක් ඉවසීමට ඇති නොකැමැත්ත නිසා ය.

බොහෝ විභාගවල දී මැනෙන්නේ දී ඇති දේ මතක තබා ගෙන වැමැරීමට ඇති හැකියාව ය. ඇතැම් විට බුද්ධිමත්භාවය ලෙස පටලවා ගන්නේ මේ දක්ෂතාවය ය. ඒ නිසා ම අපට අත් දකින්නට සිදු ව ඇත්තේ විභාග පාස් වූ මිනිසුන් විසින් කරනු ලබන ගොන්කම් ය. මොන්ටිසෝරි වැඩ ය.

දුර දකින කුසලතාවය සළකනු ලබන්නේ පොළොවේ පය ගසා යථාව තේරුම් ගැනීමට ඇති නොහැකියාව ලෙස ය. ළඟ නොපෙනීම ලෙස ය. ඇස් පනා පිට ඇති යථාර්ථය මග හැරීමක් ලෙස ය. ඒකාධිපති පාලනයක් යටතේ රට එක ම හිර කඳවුරක් බවට පත්වෙනු ඇතැයි යන දුර දැකීම ප්‍රතික්ෂේප කරන්නේ අද මහ පොළොවේ දක්නට ලැබෙන වත්මන් අරාජිකත්වය නොදකින්නේය යන අතුරු චෝදනාවක් ද සමග ය. සොයන්නේ ක්ෂණික විසඳුම් ය. ලැබෙන්නේ පැලැස්තර ය. එහි තාවකාලික බව පෙනෙන්නේ නැත. තාවකාලික සුවයෙන් සැනසෙන මේ කෙටි දුර දකින්නන්ට තුවාලය ඇතුළතින් ඔඩු දිවිම ගැන එහෙමට තැකිමක් නැත. තාවකාලික සුවය ප්‍රායෝගික බව ඇදහේ. එය ම සුවය බවට විශ්වාස කෙරේ. ඒ යටින් ඔඩු දුවන තුවාලය නැවත මාරාවේශව මතු වන තෙක් ය.

අනාගතය තේරුම් ගත හැක්කේ න්‍යායිකව එය කෙසේ වනු ඇති දැයි ගොඩ නගා ගැනීමෙන් ය. වත්මන තේරුම් ගත හැක්කේ ප්‍රායෝගික ව එය විඳිම තුළ ය. මේ දෙක දැකිය හැක්කේ දෙවිදියකට ය. ප්‍රශ්නය එක් විදිහකට දකින පුද්ගලයාට අනෙත් විදිහ නොපෙනිම ය. ඔහුට පෙනෙන දර්ශණයෙන් අන්ධ වි අනෙක මග හැර යෑම ය.

විසඳුම කොහි ද?

විසඳුම ඇත්තේ සමස්ථය දැකිමට සමත් විම තුළ ය. එක ම දේ තුළ සාධනියත්වය ද නිශේධනියත්වය ද එකවර දැකීමට හැකි විම තුළ ය. කළු හා සුදු හැටියට වෙන් කරන්නට ඉක්මන් වෙන්නේ නැති ව දෙක මිශ්‍ර විමෙන් සෑදුනු අළු පාට පිළිගැනිමට හැකි වීම තුළ ය.

සමාන යැයි එකවර හැඟෙන දෙකක් තුළ ඇති සියුම් විශමතා තේරුම් ගැනීමට හැකි වීම තුළ ය.

යමක් එහි ප්‍රතිපක්ෂය ලෙස දැකීමට අප පොළඹවන අපේ මානසික දුර්වලතා, නැඹුරුතා සහ පක්ෂපාත කම් පිළිබඳව සංවේදි වීම තුළ ය. අනෙකා කරන විට වැරැද්දක් වන දෙයක් අපේ එකෙකු කළ විට හොඳ වන්නට විදිහක් නැතැයි යන අවබෝධය තුළ ය. අනෙකාට දැනෙන්නේ ද අපට දැනෙන වේදනාවම බව පසක් කිරීමට අපට ඇති හැකියාව තුළ ය.

වත්මන විඳීමත් ඒ හරහා එය තේරුම් ගැනිමත් අනාගතය න්‍යායිකව දැකීමත් ඒ හරහා වඩා යහපත් අනාගතයකට පාර කපා ගැනීමත් අවශ්‍යය යන අවබෝධය තුළ ය. ඒ දෙකින් එකක් තෝරා ගැනීම වෙනුවට ඒ දෙකම නිසි තුලනයකින් තෝරා ගැනීමට ඉදිරිපත් වීම තුළ ය.

ඒ සියල්ලට බුද්ධියක් අවශ්‍ය ය. කටපාඩම් කර විභාගයක දී එය වැමෑරිමෙන් ප්‍රදර්ශනය වන දක්ෂතාවයට එහා ගිය බුද්ධියක් ඊට අවශ්‍ය ය. බුද්ධියට ක්‍රියාත්මක වීමට ඉඩ දීමට නම් ඒ සියල්ලට අමතරව සංයමය ද අවශ්‍ය ය. එකවර දැනෙන දෙයට යටින් තිබෙන ගැඹුර අවබෝධ කර ගත හැක්කේ එවැනි සංයමයක පිහිට ඇතුව ය. නැතිනම් සිදු වන්නේ සිතට නැගෙන මුල් සිතුවිල්ලෙන් ක්‍රියාත්මක වී සියල්ල අනා ගැනීම ය. අද රටේ බොහෝ දෙනෙකුට සිදු ව ඇති සේ අනාගැනීමට ය. කොළේ ඉරා ගැනීමට ය. ඇඟේ හලා ගැනීමට ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s