සමාජය අපට පෙන්නන “පස්ස“

d01_01102018_FRR_CMY

තරුණ විය ජවයෙන් ද අපේක්ෂාවලින් ද නැවුම් අදහස් වලින් ද පිරුණු සමයකි. සම්මතයන්ට පිටුපාන්නට ඒ වයසේ දරුවන් කැමති ය. විහිළුවට උන් කැමති ය. ජීවිතය වැඩිහිටියන් මෙන් මහ බර සාරව ඔවුන් ගන්නේ නැත. උන් කැමති සැහැල්ලුවෙන් ඉන්නට ය. විනෝද වන්නට ය. ඒ වයසේ “වැරැද්ද“ ය. ඒ වයසේ දරුවන්ගෙන් යම් කෙනෙකු වැඩිහිටියෙකුගේ සංයමය අපේක්ෂා කරන්නේ නම් එවැන්නෙකු කවදාවත් තරුණ වයස අත් දැක නැති එකවර වැඩිහිටි තත්වය ලද එකෙකැයි කියන්නට සිදු වේ.

මේ සියල්ල සිතුනේ පස්ස පෙන්නිම නිසා රක්ෂිත බන්ධනාගාරයට යවා ඇති තරුණයන් ගැන සමාජය තුළ ඇවිල යන කතිකාව නිසා ය.

පස්ස පෙන්නා ඇත්තේ පිදුරංගල පුද භූමියට යැයි තරුණයන් දඩු කඳේ ගසන්නට බලා  සිටිනා අය ශපථ කර කියති. පිදුරංගල පුද භූමිය මේ පස්ස පෙන්නූ  තැනට කෙතරම් ඈත දැයි අප හරි හැටි දන්නේ නැත. දරුවන්ගෙන් ගේම ඉල්ලන බොහෝ අයට ද එය මේ කියන ස්ථානයට කොතෙක් නුදුරින් පිහිටියේ දැයි අදහසක් නැත. එය ඔවුන්ට අදාළ ද නැත.

සමාජ ජාලා වෙබ් අඩවි වල ද පුවත් පත් වල ද කිසිදු සංස්කරණයකින් තොරව අමු අමුවේ දැක ගත හැකි වූ ඒ පස්ස පෙන්නීම තුළ අපහාසයක් කරන ආකාරයට පස්ස පෙන්නීමක් මා නම් දුටුවේ නැත. මට එය පෙනුනේ තමන්ට එසේ කිරීමට හැකි වීම සම්බන්ධයෙන් ආඩම්බරයෙන් ඔජ වඩන කොල්ලන්ගේ විහිළුවක් ලෙස ය. අපහාසයට පස්ස පෙන්නන කොට පස්ස දික්කොට දැක්වීමක් සිදු කරන බව මගේ වැටහිම ය. එහෙම හැසිරීමක් ඔවුන්ගෙන් ප්‍රකට නොවී ය.

තරුණ වයස පහු කළ මේරුණු වැඩිහිටියන් නම් මෙවැන්නක් දෙස බලා සිනාසී අහක බලාගෙන තමන්ගේ වැඩක් බලා ගන්නවා ඇත. “කොල්ලන් කොහොමටත් කොල්ලන්“ යැයි කියමින් එය සැහැල්ලුවෙන් සළකනවා ඇත.

එහෙත් සිදු වූයේ වෙනකකි.

ආයතන වල හැසිරීම

පොලීසිය ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද එක් ව මහා කලබැගෑනියක් කොට තරුණයන් තිදෙනෙකුට චෝදනා ඉදිරිපත් කොට උන් දග දෙයි ලෑම දක්වා කරුණු දිග්ගැස්සුනේ ඒ නිසා ය.

පිදුරංගල පුද බිමේ අයිතිය සඳහා නඩු කියන ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ පැමිණිල්ලකට අනුව යමින් ඒ තීන්දුව දුන්නේ එම පුදබිමේ අයිතිය පිළිබඳ නඩුව අසන උසාවිය ම දැයි හරි හැටි පැහැදිලි නැත.

අස්සයා ගියාට පසු ඉස්තාලය වැහීම අපේ රටට හුරු පුරුදු කටයුත්තකි. දරුවන් හිරේ ලෑමෙන් පසු හාමුදුරුවන්ට අනුකම්පාවක් පහළ වී ඇතැයි සැළ ය. උන් වහන්සේ දැන් කියන්නේ අවවාදයක් කොට නිදහස් කළේ නම් හොඳ බව ය. දරුවන් කොලු කමට කළ දෙයක් ඒ හැටියට බාර ගන්නේ නැති ව උන් දග ගෙයි ලෑම අපට තරම් නොවන බව ය. ඇතැම් විට නුවණ පහළ වන්නේ පරක්කු වෙලා ය. නුවණ පහළ නොවෙනවාට වඩා එක් අතකට පරක්කු වී පහළ වීම හොඳ ය.

එහෙත් එහෙම කිව්වා යැයි කියා උසාවියට හෝ රක්ෂිත බන්ධනාගාරයට දැන් මේ තරුණයන් නිදහස් කිරීමට නොහැකි ය.

වාර්ථා වන විදිහට පොලීසිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව නඩුව ගොනු කොට ඇත්තේ ඇප නොදිය හැකි වරදකට මේ තරුණයන්ට චෝදනා කරමින් ය. උසාවිය ද ඒ නිසා මෙහි දී අසරණ ය. මක්නිසා ද යත් එවැනි අවස්ථාවක ඇප දීමට නීතියෙන් ඉඩක් නැති නිසා ය.

මේ නඩුව දිග හැරෙන අයුරු රට බලා සිටින්නේ ඇතැම් තැනකින් ලැබෙන වාර්ථා වලට අනුව මේ කියන ප්‍රදේශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කර ඇති ප්‍රදේශයක් නොවේ යැයි කියවෙන ද නිසා ය. කරුණු එසේ නම් ඊළග නඩු දිනයේ ම නඩුව අහක යනු ඇත. ඇත්ත නැත්ත උසාවියේ දී නිරාවරණය වන තුරු අපට බලා සිටීමට සිදු වෙයි.

ඇතැම් තැනකින් කියවෙන විදිහට අසභ්‍ය හැසිරීම යටතේ නඩු නොදමා පුරා විද්‍යා පනත යටතේ නඩු දැම්මේ ඒ යටතේ ඇප ලබා ගැනීමට බැරි වන නිසා ය. එක් විදිහකින් නැත්නම් තවත් විදිහකින් හෝ මේ තරුණයන්ට දඩුවම් කිරීමේ වුවමනාව තිබෙන්නට ඇතැයි ඒ අනුව සැක කරන්නට පුළුවන. දඩුවමක් දෙන්නට බැරි වුනත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ම ඇති ය. ඇප දිය නොහැකි වරදක් කර චෝදනා ගොනු කරන්නට ඇත්තේ ඒ නිසා යැයි කියවේ. ඉදිරියේ දි ඒවා ගැන ද අපට නිශ්චය ලෙස දැන ගත හැකි ය.

තලෙයිබාන් දේශය

හරි හැටි කරුණු ද නොවිමසා කඩි මුඩියේ මේ කටයුත්ත කළේ අද අප රට පත් ව ඇති අභාග්‍ය සම්පන්න තත්වයේ ම ප්‍රතිඵලයක් නිසා යැයි හිතන්නට හේතු තිබේ. මේ රටේ අද වන විට වඩාත් දරුණුම අපරාධය අත් වැරදීමකින් හෝ ආගමට හෝ ජාතියට අපහාසයක් කිරීම බවට පත් වෙලා ඉවර ය. අන්තවාදී මුස්ලිම් රටවල තත්වයට ම දිනෙන් දින මේ රට ද පිරිහෙමින් තියෙන්නේ ය.

ශබ්ද විකාෂණ යන්ත්‍ර භාවිතා කර ශබ්ද දූෂණයේ යෙදුනු පන්සලකට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් කළ කෙනෙකුට ගමක් එකතු වී දඩුවම් කළ බවක් අසන්නට ලැබුනේ මේ මෑතක දී ය. ආගමේ නාමයෙන් කරන ඕනෑම ජඩ වැඩක් ඉවසිය යුතු ව තිබෙන තත්වයක් යටතේ ඊට කරන ලද “අපහාසයක්“ සුළු කොට සළකන්නට ඉඩක් නැත.

“බුදුන්ගේ රස්තියාදුව“ නැමැති පොත අරබයා පොලීසිය සමග එක් වී නැටූ නාඩගම තුළ ද ඇමතිවරයෙක් ද සම්බන්ධ කරගනිමින් “තරුවන් සරණයි“ වැනි ගුවන්විදුලි නාටක ගණනාවක් තහනම් කරමින් නැටූ තොවිලය තුළ ද අප දුටුවේ අපහාසයක් නොව අපහාසයක් යැයි සැක සිතෙන දෙයකට පවා කුඩා හෝ ඉඩක් දීමට අදහසක් නැති බව ය.

ප්‍රශ්නයකට ඇත්තේ එමෙන් දහස් ගුණයක අපරාධයන් දෙස ඇහැක් ඇරලාවත් නොලබන, වචනයක්වත් නොකියන, දෙනෝ දාහක් දෙනා, වීරයන් වී, මේ අන්තවාදී කටයුතු වෙනුවෙන් පැකිලීමකින් තොරව ඉදිරිපත් වීම ය. අපහාස ගණයට ටිකක් ඈතින් අල්ලා ඇද දැමිය හැකි මෙවැනි කටයුතු, අද දවසේ මේ පුණ්‍ය භූමිය තුළ සිදු වන එක ම වැරැද්ද යැයි ගැනීම ය.

මෙය බුද්ධාගමට විශේෂ වූ කාරණයක් ද නොවේ. මෑතක දී ආගමික පූජකවරයෙකුගේ නොපනත් කම් හෙලිදරව් කළේ යැයි කියා පල්ලියෙන් එලවා දැමීමට එක් ගමෙක කාන්තාවන් ලක් වූයේ යැයි ද වාර්ථා වී තිබුනේ ය. ප්‍රශ්නය නොපනත් කම් කිරිම නොවේ. ඒවා එලිදරව් කිරිම ය. ආගමට අපහාසයක් සිදු වන්නේ ආගමික පූජකවරුන්ගේ නොපනත් කම් වලින් නොවේ. ඒවා ආගම් අදහන්නන් විසින් ම එලිදරව් කිරීමෙනි.

ආගම රැකීමේ ව්‍යාපෘති යන දුර ඒක ය. ඒ අතින් රට පත් වෙමින් තිබෙන්නේ අතිශයින් ශෝචනීය තත්වයකට ය. උඩින් ලස්සණට තියා ගන්නට දඟලන ඒ සඳහා අන්තයකට වුව ද යා හැකි, බොරුව ද යොදා ගත හැකි, එහෙත් ඇතුළතින් කුණු වෙමින් තිබීම ගැන වගේ වගක් නැති තත්වයක ය.

තවදුරටත් බලාපොරොත්තු තැබිය හැකි ය

සතුටු විය හැකි එක් කාරණයක් පමණක් ඉතිරි ව තිබේ. මේ අන්තවාදය නිසා ම එහි අනිටු බලපෑම තේරුම් ගනිමින් ඉන් ඈත්ව සිටීමට පමණක් නොව එලිපිට විරුද්ධ වීමට ද සැළකිය යුතු පිරිසක් ඇතිවෙමින් තිබීම ය. මේ තරුණයන් සම්බන්ධ සිද්ධියේ දී පැමිණිල්ල කළ ස්වාමීන් වහන්සේට ම එය අකුළා ගැනීමට සිදු ව තිබීමෙන් සනිටුහන් කරන්නේ ඒ සාධනීය ආරංචිය ය.

මේ නඩුව දිග හැරෙන හැටි බලා සිටීම වැදගත්  වන්නේ මේ තුළින් බොරු කළ නිලධාරීන් හඳුනා ගැනීමටත් ඒ නිලධාරීන් නියෝජනය කරන ආයතන වල සැබෑ ස්වරූපයන් හඳුනා ගැනීමටත් නිලධාරීන් වැරදි කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් උසාවිය පනවන දඩුවම් දැන ගැනීමටත් අපට ඉඩක් ලැබෙන නිසා ය.

ඊට අමතරව අපට මේ මුළු සංසිද්ධියම ආගමික අන්තවාදීන් ගැන නැවත හිතන්නට ද ඔවුන් අප වෙනුවෙන් තනන්නට යන රට කෙබඳු වේදැයි හිතන්නට ද අවස්ථාවක් සපයා දී ඇත. ඒ ගැන පස්ස පෙන්නූ කොල්ලන්ට අප ස්තුති කළ යුතු ය.

කානගී මෙලන් ඇමරිකාවේ ඇති ප්‍රසිද්ධ සරසවිවලින් එකකි.  මීට වසර කීපයකට ඉහත දී එහි පැවැත්වූ කලා උළෙලකදී එක් තරුණ සිසුවියක් පාප් තුමාගේ තොප්පියක් පැළද නිරුවතින් රග පෑ භූමිකාවක් එම සරසවියේ පමණක් නොව ඒ අවට ප්‍රජාවගේ ද තියුණු සංවාදයන්ට භාජනය වී තිබිණි.

ඇතිවෙමින් තිබුනු සංවේදීත්වය නිසාම සරසවි පාලනය විසින් මේ සිද්ධිය විමසා වැරැද්දක් සිදුවී ඇත් ද එසේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක් දැයි නිර්ණය කරනු පිණිස කමිටුවක් පත් කර තිබුනේ ය.

එහි නිගමනය වූයේ එම සිසුවිය සරසවියේ කිසිදු නීතියක් කඩා නොමැති බවත් එහෙත් රටේ නිතීයක් කඩා ඇති නිසා ඒ සම්බන්ධයෙන් රටේ නීතිය යටතේ ගන්නා යම් නීතිමය ක්‍රියාමාර්ගයක් වෙත් නම් ඒ සදහා සරසවියේ සහය ලබා දෙන බවත් ය. ඒ ගැන සරසවි ප්‍රජාවට දන්වමින් එහි පාලනාධිකාරිය යවන ලද පණිවුඩයේ මෙසේ සදහන් වී තිබිණි.

කානගී මෙලන් සරසවිය තුළ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කර ඇති නිසා පාප් තුමා හාස්‍යයට ලක් කිරීම වැරැද්දක් හැටියට පාලන අධිකාරිය නොසළකයි. එහෙත් රටේ නීතියට අනුව නිරුවතින් පෙනී සිටීම අවිනීත නිරාවරණය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි. සරසවිය රටේ නීතියට ගරු කරන අතර ඊට යටත් ය. ඒ නිසා සිසුවියට විරුද්ධව රටේ නීතිය යටතේ ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සහය පළ කරන සරසවිය ඊට අමතරව සිසුවියට එරෙහිව සරසවිය තුළ පරීක්ෂණයක් පැවැත්වීමට අපේක්ෂා නොකරයි. මෙය සරසවි ප්‍රජාවට අපේ ආචාර ධර්ම පද්ධතිය නැවත විමසුමකට ලක් කිරීමට ලද අවස්ථාවක් ලෙස ද පාලනාධීකාරය සළකයි. නිදහසේ අදහස් ප්‍රකාශකිරීමට අපට ඇති අනුලංඝනීය අයිතියට ගරු කරන අතරේ ඒ අයිතිය වඩාත් වගකීමකින් යුතුව පාවිච්චි කිරීම කෙරෙහි ද අපේ අවධානය යොමු විය යුතු බව මේ සිද්ධිය මගින් නැවතත් අවධාරණය කෙරේ.

හැම දෙයක් ම අඳුරු නැත

හැම එකක් ම පටලවා ගන්නා අපේ ආයතන මෙන් නොව සියල්ල ලිහා වෙන් කර දැකීමට සමත් වන ඒ නිසා ම තම වපසරිය පටලවා නොගන්නා එවන් ආයතන රටකට වාසනාවන්ත ය.

එහෙත් අපට ඇත්තේ සිය නිල රාජකාරි වපසරිය පසෙකලා ආගමත් සමග රාජකාරිය පටලවා ගත් ආයතනයන් ය. ආගම වෙනුවෙන් කඩේ යන ආයතනයන් ය. ඒ හරහා ආගම ද අවසානයේ හෑල්ලුවට පත් කරන ආයතනයන් ය.

උසාවිය සිය ක්‍රියාකාරිත්වය මගින් තමන් එසේ නොවන බව බොහෝ අවස්ථාවල ප්‍රකට කර තිබේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට උසාවිය තුළ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට දඩුවම් දීමට අධිකරණය පසු බට වූයේ නැත. උසාවියට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගෙනෙන ලද ඇපෑල ද අභියාචනා අධිකරණ විසින් නිශ්ප්‍රභා කරන්නට යෙදුනේ ය.

එහෙත් සෙසු ආයතන සම්බන්ධයෙන් අපට එසේ පැවසිය නොහැකි ය. මෙතැන දී නම් පොලිසිය ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද එක්ව කුමන්ත්‍රණය කර තිබෙන්නේ මේ තරුණයන්ට පාඩම් ඉගැන්වීමට ය. නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරිමට නොවේ. මෙය අපේ ආයතන බොහෝමයක දක්නට ලැබෙන රෝගයකි. සිය වපසරිය හරියට කුමක් දැයි හඳුනා ගැනීමට අසමත් කම එම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයකි.

මෑතක ම උදාහරණය අපට ලැබෙන්නේ ජාතික රූපවාහිනියෙනි. ඒ ආගමික සහ ගුප්ත විද්‍යාධරයන්ගේ විරෝධය මත “යථාරූප“ නමැති අධ්‍යාපනික වැඩ සටහන අකුලා ගැනීමෙන් එම ආයතන පෙන්නුම් කළ හැසිරීමෙනි. ආගමික විශ්වාසවලට විවේචනයක් වෙතැයි යන්න හා ඒ නිසා ඒවා හෑල්ලුවට ලක් වෙතැයි යන්න නිසා එම වැඩසටහන නතර කර දමන ලදැයි වාර්ථා විය. ජාතික මාධ්‍යයක වගකීම ජනතාවට ඇත්ත දැන ගැනීමට සැලැස්වීම ය. ඇත්ත යම් මතවාදයක් හෝ දර්ශනයක් අභියෝගයට ලක් කරන්නේ ද යන්න එහි දී අදාළ වන්නේ නැත.

අප ඊළග කියන්නට යන කතාව ආගමට කරන අපහාසයක් යැයි අප විසින් අනිවාර්යයෙන් ම සළකන, එයිනුත් නොනැවතී කළ එකා පසු පස හඹා ගොස් ඔහුට අමතක නොවන පාඩමක් උගන්වන්නට අප රටේ බොහෝ දෙනෙකුට සිතෙන, හැසිරීමක් සම්බන්ධයෙන් බෞද්ධ හිමිනමක් වූ අජාන් බ්‍රහ්ම වංශ හිමියන් විසින් දරණ ලද අස්ථානයක් පිළිබඳව ය.

අපහාසය මගහැරීම

අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බ්‍රිතාන්‍ය ජාතික ස්වාමීන් වහන්සේ නමක් වුව ද ශ්‍රී ලාංකික බෞද්ධයන් ද ගරු කොට සළකන ස්වාමීන් වහන්සේ නමකි. එක් ජනමාධ්‍යවේදියෙකු උන් වහන්සේ අමාරුවේ දමනු පිණිස ප්‍රශ්නයක් නගා තිබේ. ඒ ඔබ වහන්සේ ඉදිරියේ දී කවුරුන් හෝ සද්ධර්මය අඩංගු පොතක් කක්කුස්සි වලකට විසි කළොත් ඔබ වහන්සේ කුමක් කරන්නේ ද යන්න ය. මඳක් කල්පනා කළ උන්වහන්සේ කීවේ තමන් පයිප්ප වැද්දුම්කරුවෙකු කැඳවන බව ය. හේතුව පැහැදිලි ය. මේ නිසා සිදු විය හැකි ලොකු ම ප්‍රශ්නය නළ මාර්ගය අවහිර වීම ය. වෙනත් විදිහකින් උන් වහන්සේ කීවේ ඉතිරිය ඒ තරම් සැලකිය යුතු නැති බව ය. අපේ රටේ ඊනියා බෞද්ධයින් නම් එවැන්නකට දෙන උත්තරය හාත් පසින්ම වෙනස් වන්නට ඉඩ තිබේ.

මේ කතාව අපට කියන්නේ ආගමකට අපහාස කිරීමට ඔවැනි ක්‍රියාවලින් බැරි බව ය. බුදු රජුන්ට අපහාස කිරීමට පින්තූරයක් ඇඟේ කොටා ගැනීමෙන් බැරි බව ය. සෙරෙප්පුවකට, ධර්ම චක්‍රය ලෙස කෙනෙකුට පෙනෙන, නැවක සුක්කානමක් යෙදීමෙන් බැරි බව ය. පිදුරංගල පුණ්‍ය භුමියට අපහාස කිරීමට “පස්ස“කට පුළුවන් නොවන බව ය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් කළ යුත්තේ නොසළකා හැරීම බව ය. එවැන්නකින් ප්‍රලය වීමෙන් කරන්නේ ඒවාට අනවශ්‍ය වැදගත් කමක් ලබා දීම බව ය. තලෙයිබාන් බෞද්ධ දේශයක් බවට මෙසේ ශ්‍රී ලංකාව පත් කිරිමෙන් කරන්නේ මෙය ජීවත් වීමට සුදුසු නොවන රටක් හැටියට භෞතීස්ම කිරිම බව ය. එයින් තවදුරටත් කරන්නේ තම අදහස් විවෘතව පළ කිරීමට ඉඩ හසර තිබෙන, විචාරයට අවසර තිබෙන, දර්ශනයක් මිනිසුන් හිර කරන තිරශ්චීන ආගමක තත්වයට පිරිහෙලීම බව ය.

අගරද ගුරු මැල්කම් රංජිත් හිමිපාණන් කිවේ ආගම් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බව ය. එහෙත් ඒ බවක් නම් ආගම්වල ක්‍රියාකාරිත්වයෙන් පෙන්නුම් කරන්නේ නැත.

තරුණයන් පස්ස පෙන්නන්නට ඇත්තේ සෙල්ලමට ය. උන්ට දඩුවම් කරමින් සමාජය මෙසේ අපට පස්ස පෙන්නන්නේ සිරාවට ය. වෙනස ඒක ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s