බොරුව ඇත්තක් කිරීම

බොරුව ඇත්තක් කිරීම

ඇස්කිමෝවරුන්ට අයිස් විකිණීමට සාර්ථක අලෙවිකරුවකුට හැකි යැයි කියන්නේ විහිළුවට ම නොවේ. අලෙවිකරණයේ දී ඇතැම් විටක සිදු වන්නේ ඒක ය. කළ යුත්තේ නැති දෙයක් ඇතැයි පෙන්නීම ය. නැතිනම් ඇති දෙයක් නැතැයි පෙන්නීම ය. කොළේ වහලා ගැහීම ය.

ගරිල්ලා මාකටින් වල දී සිදු වන්නේ මේ කරන බොරුව කිහිප ගුණයකින් විශාල වීම ය. ඒ සඳහා බොරුව පිම්බවීමට මුදල් වියදම් කිරීම ය. අතිශය ආක්‍රමණශීලි පිළිවෙතක් අනුගමනය කිරීම ය. විශාල ශබ්දයක් ඇති කිරීම ය. යෝධ පින්තූරයක් නිර්මාණය කිරීම ය. ලස්සණ සිත් කා වදින සැරසිල්ලකින් ඇන්දීම ය. ලොකු පිරිසකගේ ආශිර්වාදය ඇතැයි පෙන්නීඹ ය.

ජනබලය කොළඹට ගෙනාවේ ඒකට ය. එතැන තිබුනේ දේශපාලනය නොව මාකටින් ය.

ප්‍රශ්නය තිබුනේ ආණ්ඩු විරෝධීන් එකතු කිරිම නොවේ. හිස් ගෙඩි එකතු කිරීම ය. ඉතින් ඒ සඳහා උපයෝගී කර ගැනුනේ දේශපාලන මතට ද වඩා බලවත් භෞතිකව පානය කළ හැකි මත්පැන් ය. ඇතැම් දෙනෙකු කියන විදිහට ලයිට් කණු උඩට බඩ ගෑවේ ඊටත් වඩා ස්ට්‍රොන්ග් බඩු ය.

සෙනගට කීවේ එන්නට ය. ඉතින් ඔවුන් ආවෝ ය. ඇවිත් ගියෝ ය. ඔවුහු කොළඹ බලා ආපහු ගියෝ ය. කරන ලද සංග්‍රයන් භුක්ති විඳ ඊට ප්‍රතිඋපකාරයක් ලෙස නමුත් ලකුණු කොට ගියෝ ය.

බලාපොරොත්තු වූ විරෝධයක් මතු වූයේ නැත. සමහරුන්ට අනුව 9 වන විට බොහෝ දෙනෙකු ආපසු ගමන අරඹා තිබුනේ ය. මධ්‍යම රාත්‍රිය තෙක් හිටියේ දෙදහසක පිරිසක් බව කියවේ. මේ සංඛ්‍යාලේඛන වල ඇත්ත නැත්ත කෙසේ වුව ද ජනබලය කොළඹට සෝඩා බෝතලය ඇරියාට එහා දෙයක් සටහන් කළේ නැත.

ආණ්ඩුව කෙරෙහි විරෝධයක් නැතැයි එයින් අදහස් වන්නේ නැත. එහෙත් වීදි බැස හෙට පෙරලා දමන්නට තරම් විරෝධයක් තවම නැත. ඔළු ගෙඩි වලට ඉඩ දී ආණ්ඩු විරෝධීන් කලින් ගෙදරට සේන්දු වූයේ ද සමහරු ගෙදර ම නැවතුනේ ද ඒ නිසා ය.

ගරිල්ලා මාකටින්

මාකටින් වලින් චන්දයක් දිනිය හැකි නමුත් එයින් පමණක් ආණ්ඩුවක් පෙරලිය නොහැකි ය. මාකටින් වලින් යම් භාණ්ඩයක් ජනප්‍රිය කළ හැකි නමුත් එයට පමණක් මිනිසුන්ගේ සිත් දිගුකාලීනව දිනා ගත නොහැකි ය. සන්නාමයක් ගොඩ නගා ගත නොහැකි ය. ඒ සඳහා මාකටින් වලට අමතරව භාණ්ඩය ද විශ්වාසනීය විය යුතු ය. ගැනුම් කරුවෙකු දෙවැනි වතාවට ගන්නේ ඒ විශ්වාසය පළමු ගනුදෙනුවෙන් ඇති කර ගත හැකි නම් පමණ ය.

ඒ වුනාට එක් වතාවක් මිනිසුන්ගේ ඇස් වලට වැලි ගැසීමට මාකටින් වලින් පුළුවන් ය. බොරුව තාවකාලිකව සමාජ ගත කිරීමට එයට හැකි ය. ඒ සඳහා කරන එක් උපක්‍රමයක් නම් බොරුව නැවත නැවතත් කීම ය. එක වරකින් නොනැවතී දස දහස් වාරයක් ජප කිරිම ය.

එයින් පදම් වුනු පසු අලුත් බොරුවක් හොයා ගන්නට සිදු වන්නේ ය. ඊට හේතුව පරණ බොරුව කාලයාගේ ඇවෑමෙන් කල් ඉකුත් වීම ය. නිතර දකින කුකුළාගේ කරමලය මෙන් සුදු වීම ය.

ඉන්දියානු ඇම්බියුලන්ස් යනු අවදානම් සහගත ගිලන් රථය කැයි කියූ බොරුව දැන් පරණ ය. ඒ නිසා ජනබල උද්ඝෝෂණයට පැමිණ ලෙඩ වූවන් ගෙන යෑමට කිසි අවුලක් නැතිව ඒවා භාවිතා වුනු බව වාර්ථා වුනේ ය.

ඉන්දියාවත් සමග ඇති කරගන්නට හදන එට්කා ගිවිසුම අර පරණ ගිලන් රථයෙන් දැන් විස්ථාපනය කළ යුතු ය. බිල්ලා එහෙම ම ය. වෙනස් වන්නේ බිල්ලාගේ ස්වරූපය ය.

අඩන ළමයි අල්ලන් යන බව කියන බිල්ලා කිසි දවසක නොපැමිණෙන බව කාලයක් යන කොට ළමයෙකුට ඒත්තු නොයා ඉඳීවි ද? තවම දැක නැතත් ඇති කර තිබෙන පින්තූරය භයානක නිසා කුඩා කාලයේ ළමයෙකුව බය කිරීමට ඒ කිසි දා නිශ්චය ලෙස දැක නැති බිල්ලා ප්‍රමාණවත් ය. මෙය පට්ටපල් බොරුවක් බව දැන ගන්නේ ළමයා වැඩිහිටියෙකු වූ විට ය. ඒත් හැම ළමයෙකුම වැඩිහිටියෙකු වන්නේ නැත. අප රටේ වැඩියෙන් ඉන්නේ බිල්ලන්ට තවමත් බය වෙන වැඩිහිටි බබාලා ය.

බොරුව පාපයකි. බොරුව වැරැද්දකි. එහෙත් විවාදය ඒ සම්බන්ධයෙන් නොවේ. බොරුවෙන් ජීවත් වීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි ද යන්න ය. එය වැදගත් වන්නේ බොහෝ දෙනෙකු ප්‍රතිඵල ලැබේ නම් පාපයක් ද වැරැද්දක් ද යයි සිතන්නේ නැති නිසා ය. පන්සිල් තියෙන්නේ ගන්නට මිසක් පිලිපදින්නට නොවන නිසා ය.

ඔවුහු තම මතය සනාථ කරන්නට බණ ටෝක් ද දෙන්නෝ ය. ඒ අරමුණ හොඳ නම් බොරු කීම ඇතුළු වෙනත් ඕනෑම මගඩි වැඩක් කිරීම ප්‍රශ්නයක් නොවන බව ය. බුදු බණේ එහෙම දෙයක් නම් කියා නැත. ඒත් දැන් තියෙන්නේ සංශෝධිත බණ ය.

බොරුවෙන් ලබන ප්‍රතිඵල

අප බොහෝ දෙනෙකුගේ අත්දැකීම විය හැක්කේත් ඒ නිසා ම විශ්වාසය විය හැක්කේත් බොරුවෙන් ප්‍රතිඵල ලබා ගත හැකි ය යන්න ය. ඒ සඳහා කොතෙකුත් උදාහරණ අපට සැපයිය හැකි ය. ඒ නිසා ම එය පහසුවෙන් ඉවත ලා හැකි අදහසක් නොවේ. එහෙත් තවදුරටත් විමසිය යුතු එකකි. එසේ කියන විට බොහෝ දෙනෙකු නොනගන ප්‍රශ්නය නම් එය කොතෙක් කලකට ද යන්න ය. ඊළගට නොනගන ප්‍රශ්නය නම් බොරුව නිරාවරණය වූ විට කුමක් සිදු වේද යන්න ය.

දෙදෙනෙකු අතර සම්බන්ධයක පදනම විශ්වාසය ය. එය ඉතා ඈත අතීතයේ දී පවා සම්බන්ධයක පදනම ලෙස සැළකිණි. විශ්වාසා පරමා ඥාතී යන බුදු වදනෙන් ප්‍රකාශයට පත් වූයේ එය ය.

දෙදෙනෙකු අතර සම්බන්ධයක් එයින් එක් අයෙකු විසින් කරන ලද බොරුවක් නිසා විශ්වාසය කඩ කිරීමක් නිසා බිඳී යා හැකි ය. එය තුන්වැන්නෙකු කරන මැදිහත් වීමක් නිසා ද බිඳී යා හැක්කේ ය. එහි දී ද භාවිතා වන්නේ බොරුව ය.

අප මතක තබා ගත යුත්තේ බොරුව ජය ගන්නේ එය බොරුවක් බවට අනාවරණය වන තෙක් පමණක් බව ය. එහි පැවැත්ම කෙටි කාලීන බව ය. එහෙත් ඒ කාලය තුළ සියල්ල බොරුව හරහා අත් කර ගන්නට කෙනෙකුට හැකි ය. සම්බන්ධය බිඳ වැටුන ද අවශ්‍ය සියල්ල ඒ කෙටි කාලය තුළ බොරු කාරයා විසින් ලබා ගෙන තිබේ. ඉස්තාලය වහන විට අශ්වයා පැන ගිහින් ය. බොහෝ විට බොරුව සාර්ථක යැයි කියන අය උදාහරණයට දක්වන්නේ මෙවැනි අවස්ථා ය.

බොරු කියා බලයට පත් වන දේශපාලනඥයා ගෙදර යන්නේ තමන්ගේ භාරයට පත් දෙයින් ලොකු කොටසක් ද රැගෙන ය. උන් බලා සිටියදී පොහොසත් වන්නේත් මහත් වෙන්නේත් ඒ නිසා ය. කොමියුනිකේෂන් කඩයකින් ආරම්භ කළ ජීවිතය බලා සිටිය දී විශ්මය ජනක ව්‍යාපාරයක් බවට පත් වන්නේ ඒ නිසා ය. ඩේසි ආච්චිලාට මැණික් මලු ලැබෙන්නේත් බොහෝ දේශපාලනඥයන්ට සල්ලි මලු හෝ බර චෙක් ලැබෙන්නේත් මහල් ප්‍රසාද ලැබෙන්නේත් ඒ නිසා ය.

බොරුව බොරුවක් බව අනාවරණය වූ පසු ඊට දඩුවම් ලැබෙන්නේ නම් මිනිසුන් බොරු කරන්නට, බොරු කියන්නට, පෙර දෙවරක් සිතා බලනු ඇත. එවෙලේ බැරි වුවත් පසුව හෝ බොරුවට දඩුවම් ලබා දිය හැකි ය. බොරුවෙන් ලබා ගත් සියල්ල නැවත ආපසු ලබා ගැනීමට උත්සහ දැරිය හැකි ය. එහෙත් බොරුව රජයන සමාජයක එය අමාරු කාරණයකි. මක්නිසා ද යත් බොහෝ දෙනෙක් බොරුකාරයන් නිසා ය. සත්‍යය වෙනුවෙන් පෙනී සිටින අතලොස්ස බොරුකාරයින්ගේ සිර කාරයින් බවට පත් ව කිසිවක් කර ගත නොහැකිව පසුවන නිසා ය. බොරු කාරයන් රැක ගන්නට තව බොරු කාරයන් ඉදිරිපත් වන නිසා ය.

අද දවසේ පවා බොරු කාරයින් පාරම් බාන්නේ ඉතින් අප අල්ලා ගත්තා දැයි අසමින් ය.

ඒ නිසා ම දඩුවම් ලැබෙන්නේ නම් ඒ ඊළග ආත්ම භවයේ දී විය හැකි තරමට එවැනි රටක තත්වය ඔඩු දුවා තිබෙන්නට පුළුවන. එයින් කියන්නේ බොරුව අනාවරණය වුව ද එහෙමට සිදු වන දෙයක් නැති බව ය. දත් මිටි කා දරා ගන්නවා හැරෙන්නට කළ හැකි දේ අල්ප බව ය.

බොරුව සත්‍යය ලෙස

ඊටත් අමතරව බොරුව රජයන සමාජයක බොරු කාරයන්ට සෙසු මිනිසුන් යටපත් කර ගත හැකි ය. බොරුව සත්‍යය ලෙස සමාජ ගත කරන්නට ද හැකි ය. බොරුවෙන් ලබා ගත් මුදල් භාවිතා කර මිනිසුන් නිහඩ කරන්නට හැකි ය. නැතිනම් උන් අතුරුදහන් කරන්නට ද හැකි ය. භෞතිකව පමණක් නොව ආයතනිකව ද අතුරුදහන් කරන්නට හැකි ය (ඒ සඳහා කළ යුතුව ඇත්තේ එහෙම කෙනෙකු නැතැයි සළකා වැඩ කිරීම ය).

එක බොරුකාරයෙකු ඉවත් කර සම්බන්ධ විය හැක්කේ තවත් බොරු කාරයෙකු සමග පමණක් නම් බොරුවට ඉඩ දී කම්පා වෙනවා හැරෙන්නට කළ හැකි යමක් ද මිනිසුන්ට නැත්තේ ය. එවැනි තැනක සිදු වනු ඇත්තේ අඩුම හානියක් ඇති කරන බොරුකාරයා තෝරාගැනීම ය. නැතිනම් වනගත වී භාවනා කරන්නට ය. නැතිනම් තවත් ආකාරයක බොරු කාරයෙකු බවට තමන් පත් වන්නට ය.

අවසාන නිගමනය බොරුව පරාජය කිරීම අපහසු බව ය. බොරුව, බොරුව ලෙස පෙනී ගිය කල ද ඊට තවදුරටත් යෝධ ශක්තියක් තිබිය හැකි බව ය. වෙනත් විදිහකින් කියතොත් බොරුව රජයන සමාජයක, ආයතනික ලෝකයේ පමණක් නොව සමස්ථ සමාජයේ ම, බොරුවට තවමත් ආයුෂ ඇති බව ය.  එය ලෙහෙසියෙන් පසු බැස නොයන බව ය.

මේ නිසා ඇතිවන ප්‍රතිඵලය කෙබඳු වේ ද? බොරුව හා ඇත්ත අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි තරමට ව්‍යාකූලත්වයක් ඇති වීම ය. ඇත්ත බොරුව ලෙසත් බොරුව ඇත්ත ලෙසත් ප්‍රකට වීම ය. බොරුව රජයන සමාජය ඇතුළතින් හිස් වීම ය. කුහරයක් හැදීම ය. පහසුවෙන් කඩා වැටිය හැකි හුඹසක් වීම ය. මේ අර්බුදය නිසා වැඩි දිනක් නොගොහින් සියල්ල කඩා ගෙන වැටීම ය. බොරුව කඩා ගෙන නොවැටෙන තැනක මෙසේ කඩා ගෙන වැටෙන්නේ බොරුව රජයන සමස්ත සමාජයම ය. එසේ නැත්නම් ඒ මත යැපෙන ආයතනය ය.

ඒ නිසා ම කෙටිකාලීනව කෙසේ වෙතත් දිගු කාලීනව බොරුව පරදින්නේ ය. බොරුවට ගහන මුක්කු ද සමග එය කඩා වැටෙන්නේ ය. බොරුව දරා සිටින සමාජය සමගම එය කඩා වැටෙන්නේ ය.

බොරුව කරන්නේ බොරුව සඳහා නොවේ. බොරුව වංචාව හා දූෂණය සඳහා ය. ඒවා සැඟවීම සඳහා ය. ආයතන හා සමාජය කඩා වැටෙන්නේ බොරුවට වහං වී එන මේ දූෂණය හා වංචා නිසා ය. එ් දෙකේ නිවුන් සොහොයුරන් වන නාස්තිය හා අකටයුතු කම් නිසා ය. අසමත්ජාති වැඩ නිසා ය.

ඇත්ත අනාවරණය විම

බොරුවට ඉඩ නැති සමාජයක මේ තත්වය වෙනස් ය. බොරුව අනාවරණය වූ වහාම එහි කර්තෘවරු කඩා වැටෙන්නා හ. ඔවුහු ඉක්මණින් දඩුවම් ලැබීමට ලක්වන්නෝ ය. ඇතැම් සමාජවල ඔවුහු මුළුමණින් පිටමං කරනු ලබන්නා හ.

ඒ නිසා බොරුව බැහැර කළ හැකි නම් හොඳ ය. කෙටිකාලීනව නැත්නම් දිගු කාලීනව හොඳ ය. බොරුව පිළිකෙව් කරන සමාජයක්, ආයතනයක්, හැදිය හැකි නම් හොඳ ය.

බොරුව පැරදිය හැක්කේ ඇත්ත දැන ගැනීමෙනි. ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත විශාල මැදිහත් වීමක් කරන්නේ ය.

බොරුව පරදවා මදි ය. ඊට දඩුවම් කළ හැකි නම් තවත් හොඳ ය. ඊටත් වඩා හොඳ එය ඉක්මණින් එලි පහලියට ගෙන නිරාවරණය කළ හැකි නම් ය. ඊටත් වඩා හොඳ බොරුවට ඉඩ නැති ආයතනයක් බිහිකළ හැකි නම් ය. ඒ ආයතනයේ කටයුතු පාරදෘෂ්‍යව සිදු කිරීමෙනි. සියලු පාර්ශවකරුවන්ට ආයතනයේ සිදු වන දේ පැහැදිලිව දැක ගත හැකි ක්‍රමවේදයන් සකස් කිරීමෙනි. ඒ තුළ බොරුවට පවතින්නට ඇති ඉඩ අවුරා දැමීමෙනි.

බොරු කාරයෙකුට කියූ බොරුව මතකයේ තබා ගැනීමට අමතර උත්සහයක් දරන්නට සිදු වේ. ඇත්ත කියන කිසිවෙකුට ඒ අපහසුව නැත. එහෙත් බහුතරයක් මිනිසුන්ට මතක තිබෙන්නේ සති දෙකක කාලයක් පමණක් නම් බොරුව සති දෙකක් අල්ලාගෙන සිටියහම ඇති ය. මේ නිසා ඇතැම් විට සිදු වන්නේ එක් බොරුවක සිට තව බොරුවකට මාරු වීම ය. ඒ සංක්‍රාන්තිය තුළ පළමු බොරුව අමතක කර දැමීම ය. දෙවැනි බොරුව උඩ දමා පළමු බොරුව යටපත් කර දැමීම ය.

හතරවරං ගැසූ දේශපාලනඥයින් ජනතාව විසින් ගෙදර යැවූ කල ඊට කලකට පසු අලු ගසා දමා තව වටයකින් වේදිකාවට පිවිසෙන්නේ ඒ අනුව ය. අලුත් බොරුවක පිහිටින් නවිකරණය කරන ලද අලුත් අලෙවි වැඩසටහනක පිහිටෙන් ඔවුන්ට ඇතැම් විට නැවතත් බලයට එන්නට හැකි වන්නේ ද ඒ අනුව ය.

රටකට පමණක් නොව ආයතනයකට ද විචාරකයන් අවශ්‍ය ඒ නිසා ය. බොරුව ප්‍රශ්න කරන මිනිසුන් අවශ්‍ය වන්නේ ඒ නිසා ය. අතීතයෙන් නිරතුරුව ඉගෙන ගත යුත්තේ ඒ නිසා ය. ඉතිහාසය නැවත නැවතත් ඉගෙනීම සඳහා ආවර්ජනය කළ යුත්තේ ඒ නිසා ය. ආයතනයක පාර දෘෂ්‍යභාවය තරමට ඒ් තුළ විචාරයට ඉඩ හසර තිබීම ද බොරුව ජයගැනීම සඳහා අවශ්‍ය ඒ නිසා ය.

අලෙවිකරණය ගැන මාකටින් ගැන හැදෑරිය යුත්තේ ඒ නිසා ය. දේශපාලන සටන්, අලෙවි කරණ වැඩසටහන් වලින් වෙන්කොට හඳුනා ගත යුත්තේ ඒ නිසා ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s