දේව කන්නලව්ව

hindu god

දෙවියන් යදින්නට එන අය බොහෝ ය. එහෙත් මේ මිනිහා වෙනස් ය. වෙන අය අත මෙන් ඔහු අත මල් වට්ටි, පළතුරු වට්ටි, පූජා භාණ්ඩ කිසිවක් තිබුනේ නැත. ඊටත් අමතරව ඔහු පැමිණියේ තනිවම ය. පිරිවර නැතිව ය.

ඔහුගේ ඇස් දෙකෙන් ඇතැම් විට පලවුනේ හිස් බැල්මකි. එහෙත් හදිසියේ එය ගිනි පුලිඟු මෙන් දැල්වී නැවත නිවී යන අයුරු දිස් විය.

දේවාලය තුළට ඔහු ගියේ දෙගිඩියාවකිනි. වරෙක ඔහුගේ පියවර හදිසි කලබල ස්වභාවයක් ගත් නමුත් ඊළග මොහොතේ පය පැකුළුනාක් මෙන් පමා වන බව පෙනිණි. අවසානයේ ඔහු දේවාලය ඇතුළට පිවිසියේ ය. මඳක් දේව ප්‍රතිමාව දෙස බලා සිටි ඔහු ඉන් අනතුරුව දණින් වැටුනේ ය.

දේව ප්‍රතිමාව ඉදිරියේ දණින් වැටුනු මිනිසාගේ මුවින් පිටවූයේ බලවත් අදෝනාවකි. පුද්ගලයා අදුනාගත නොහැකි තරම් ඈත සිටින කෙනෙකුට වුව ඔහුගේ හැසිරීමෙන් හා නැගෙන අදෝනාවේ ස්ව‍රයෙන් එහි ඇති බරපතල කම හදුනා ගත හැකි වනවා නොඅනුමාන ය. හිස කෙස් කඩා දමමින් ද පපුවට ගසාගනිමින් ද ඔහු සිය කථාව වරෙක වේගවත්ව ද වරෙක නෑසෙන සිහින් ස්වරයකින් ද කියවා ගෙන ගියේ ය.

“ඇයි දෙයියනේ මාව මේ ලෝකෙට බිහිකළේ? යැයි දැඩි ස්වරයෙන් නැගුණු අභියෝගාත්මක ප්‍රශ්නයෙන් මම මඳක් පසුපසට විසිව ගියෙමි. දෙවියන් පවා ඉන් ගව්වක් දෙකක් ආ පස්සට විසිව ගියේ නැත්නම් ඒ පුදුමයෙකි.

දෙවියන් මිනිසුන් බිහි කරන්නේ නැත. එය අම්මාවරුන්ගේ රාජකාරියකි. නැත්නම් අම්මාවරන්ගේ දේව කාරියකි. එහෙත් අප අදහන දුසිමක් දහම් වලට අනුව මෙහි කෙළවරක වගකීමක් දෙවියන්ට ද තිබේ. ඒ ඇතැම් තැනක දෙවියන් අපේ කටයුතු වලට මැදිහත් වන නිසා ය. අප ඉල්ලා නොහිටින විට පවා මැදිහත් වන නිසා ය.

මද නැවතීමකින් පසු ඔහු නැවතත් යාදින්න පටන් ගත්තේ ය.

කීකරු කමේ ස්මරණය

“මං පුංචි සන්දියෙ ඉඳන්ම දෙමාපියන්ට කීකරු වෙලා හිටිය. තාත්තා කසිප්පු ගොන්නක් බීලා ගෙදර ඇවිත් රණ්ඩු කරද්දිත් ගුටිබැට දෙද්දිත් මම තාත්තට වැන්ද. උන්දෑ කියන දේකට පිටින් ගියේ නෑ දෙයි හාමුදුරුවනේ.

ස්කොලෙදි වෙන එකෙකුගේ වැරැද්දකට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව උද්ධච්ඡ ගුරුවරයෙක් මට දවසක් නොසෑහෙන්න තැලුව. ඒත් මම කරබාගෙන ඉවසුව හාමුදුරුවනේ. අපට බොරුකරපු අපට තළලා සන්තෝස වුනු ගුරුකමට නිගා දුන්නු ගුරුවරුන්ටත් මම නමස්කාර කළා හාමුදුරුවනේ.

ගුරු‍න්ගෙන්වත් දෙගුරුන්ගෙන් වත් හරිහැටි මග පෙන්වීමක් ලැබුනෙ නැති නිසා ද එහෙම නැත්නම් මගේම කාළකන්නි කමට ද මන් දන්නෙ නැහැ මට ඉහළට ඉගෙන ගන්න ලැබුනේ නැහැ.“ ඔහු මොහොතකට නැවතුණේ ය.

මා දන්නා බොහෝ දෙනෙකු නම් කියන්නේ තමන් හැදුනේ ගුටි කෑ නිසා බව ය. එහෙත් මේ කතාව වෙනස් ය. ගුටි කා තිබුණ ද ඒවා ඉවසමින් ගුටි බැට දුන් අයට දණ්ඩ නමස්කාර කර තිබුන ද ඒ කිසිවකින් වැඩක් වී නැති බවක් එයින් කියවෙන්නේ ය. නැවතත් ඔහුගේ කට හඩ අවදි විය.

“රස්සාවක් නැතිව ළතවෙද්දි රස්සාවක් දෙනවැයි කිව්ව දේශපාලන ලොක්කො පස්සෙ මාත් ගියා හාමුදුරුවනේ. උන්දැලගේ ඔක්කොම කිළුටු මං ‍හේදුවා. උන්ට ප්‍රශස්ති කිව්වා. උන්ව කරපිටේ තියාගෙන ගියා. අන්තිමේ දි කතිරෙත් ගහල මගේ විතරක් නෙවෙයි තව කීපදෙනෙක්ගේ කතිරෙත් උන් වෙනුවෙන් ගහල ‍උන්ව බලයට පත් කරන්න දර දිය ඇද්දා. මිනිහ දින්න. බලයට පත්වුනාට පස්සෙත් උගේ බැලමෙහෙවරකම් මුරකාරකම් හයිකාරකම් ඔය ඔක්කොටම මාත් සහභාගිවුනා.

අරක්කු බෝතලේට රුපියල් පන්සීයට දාහට මම ඒ උන්දැට මගේ ආත්මය වික්කා. මම හිතුවෙ මට රස්සාවක් ලැබෙනවනම් ජිවත්වෙන්න ආදායමක් ලැබෙනව නම් කමක් නැහැ කියලයි.

දේශපාලකයෝ කොල්ලො කෙල්ලො දඩයම් කරන කොටවත් උන් කරන්නේ වැරැද්දක්ය කියල හිතන්න මට ශක්තියක්වත් ඕනෑකමක්වත් තිබ්බේ නැහැ. මට දැනටමත් ලැබෙන ලාභ ප්‍රයෝජනවලින් විතරක් නෙවෙයි, ඉස්සරහට ලැබෙන්න යන ජොබ් එකෙනුත් මම අන්ධ වෙල හිටියෙ.

හෘද සාක්ෂියේ ඇමතුම

මම කරන්නේ වැරැද්දක්ය කියල හිතුන වාරත් තිබුන. ඒත් තව ගොඩක් අයත් ඒක කරනවය කියල මම හිත හදා ගත්ත. ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, වංචා, දූෂණ යන ඔය ඔක්කොටම ප්‍රසිද්ධවෙල හිටිය මගේ දේශපාලන හාම්පුතාට මිනිස්සු ගිහිල්ල පෝලිමේ චන්දෙ දුන්න. ඉතින් මං විතරක් ඌට විරුද්ධවෙල මක්කරන්න ද? ඒ වෙලාවලට එහෙම හිතල මම හිත හදා ගත්ත.

මට අන්තිමේ රස්සාවක් ලැබුන. ඒත් ඒක ලැබෙන කොට මට ගොඩක් දේ අහිමිවෙලයි තිබුනෙ. වෙන එකක් තියා මට හිතන්න ශක්තියක්වත් ඉතුරුවෙල තිබුනෙ නැහැ. අණ දෙනවනම් පිලිපදින්නත් නැත්නම් නිකම් ඉන්නත් මම පුරුදු වුනා. මගේ හිතේ වරින් වර මතුවන පිළිකුළ මම මැඩගත්තේ බීල. නැත්නම් ගෑණීයෙක් හොයා ගෙන ගිහිල්ල, බලෙන් හරි, සල්ලි වලට හරි, මගේ ඇඟ නිවාගෙන.

ලංකාවෙ මිනිස්සු මේ තරම් බොන්නෙ උන්ගෙ ජීවිත ඇතුළෙන් මතුවන ජුගුප්සාව සමහන් කොරගන්නය කියල පන්සල්වල ඉන්න හාමුදුරුවොවත් පල්ලියෙ ස්වාමියොවත් දන්නෙ නැතුව ඇති. මත්පැන් ප්‍රචාරය තහනම් කර,ල බාර් වහල, අපිව මේ උවදුරෙන් ගලවගන්න ඒ අය කල්පනා කරනවා ඇත්තෙ ඒ හින්දා වෙන්න පුලුවන්. ඒත් මං දන්නව, මගේ තියෙන කාළකන්නි හිස් බාවය මං පුරවගන්නෙ බීලා කියල. බිව්වෙ නැති දාට හිතන්න වෙනව. ඒක භයානකයි, හාමුදුරුවනේ. එතකොට අතීතයෙ බියකරු අවතාර පේන්න ගන්නවා. මට ඒවත් එක්ක හැප්පෙන්න ශක්තියක් නැහැ. මං කරපු වැරදි ඉස්සරහට ඇවිල්ල මට දෙස් දෙවොල් තියන්න ගන්නව.

කියපු නිසා මං කොළා. අනිත් එවුනුත් කරපු නිසා මාත් කොළා. මං ඒ දවස්වල හිතහදාගත්තෙ එහෙමයි.

ඒත් නොබී ඉන්න කොට මගේම ආත්මය මට කරදර කරනව. ඇයි කියපු නිසා කොළේ, උඹටයි කියල මොළයක් තිබුනෙ නැත් ද? ඇයි අනුන් කරපු නිසා කොළේ, උඹ රූකඩයක් ද? ඔය වගේ දාහක් ඕන නැති ප්‍රශ්න ඔලුවට එනව. ඒවා මාව හෙම්බත් කොරෝනව. එතකොට මට සියදිවි නහගන්න හිතෙනව. ලංකාවෙ මිනිසුන් බොන එකෙන් විතරක් නෙවෙයි, සිය දිවි නහ ගන්න එකෙනුත් ලෝක වාර්ථාව තියන්න ඇත්තෙ ඒ නිසා වෙන්නැති.“ ඔහු නැවතත් නැවතුණේ ය.

බොහෝ දෙනෙකුට නොඑන උන් මග හැර යන ප්‍රශ්නයකින් පීඩා විඳින මේ මනුස්ස පරාණය දෙස මම ශෝකයෙන් බලා සිටියෙමි. බොහෝ මිනිසුන්ගේ හෘද සාක්ෂීය තියෙන්නේ වැළලිලා ය. මේ මිනිහාට ඇති ගැටළුව ඒ හෘද සාක්ෂිය පණ ගැහි ගැහී තිබීම ය. එය ඔහුට වද දීම ය. බීලාවත් එයින් මිදෙන්නට බැරි වීම නම් කරුමයක් ම තමා ය. මම නැවතත් ඔහුට සවන් දුන්නෙමි.

අමාරු වැඩ කරන්නට ඇති කම්මැලි කම

“අනිත් එවුන් කරන හැම දෙයක්ම කරන මම ඇයි සියදිවි නහගැනීමට විතරක් පහුබාන්නේ. ඇත්තම කියන්න දෙවියනේ, අද මගෙ ලග මැහි තෙල් කුප්පියක් ගන්න තරමටවත් පිච්චියක් නැහැ. මැරෙන්න වුනත් ඕනවට වඩා දඟලන්න මං ලෑස්ති නැහැ. අමාරු දේ කරලා පුරුද්දක් මට ඇත්තෙත් නැහැ. මේවා අහන ඕන කෙනෙක් කියයි මට පිස්සුයි කියල. මෙහෙම ගියොත් වැඩියෙන්ම පිස්සන් ඉන්න රට හැටියටත් අපේ රට කිරුළු පළදින්න පුළුවන්. මිනී මරා ගන්නා එකෙත් වීරත්වයක් තියෙනව. බොන එකත් සිංහ පදමට එන්න බොන්න පුලුවන් නිසා පුංචි වීරත්වයක් ආරූඩ කර ගන්න පුලුවන්. සියදිවි නසා ගැනීම, ඒකත් තරමක් වීරකමක් හැටියට අමාරුවෙන් තර්ක කරල පෙන්නල දෙන්න පුලුවන්. ඒත් පිස්සු වැටීම, මොනම විදිහකටවත් වීර ජාතියකට ගැලපෙන්නෙ නැහැ. ඒ නිසා ම අපේ මිනිස්සු බය වෙන්න පුලුවන්.“ ඔහු එසේ කියා වට පිට බැලුවේ ය. දෙවියන් වඳින්නට ආ පිරිස බය වී ගොළුව සිටි අයුරු ඔහු දැක්කා දැයි පැහැදිලි නැත.

බය වීම අතින් නම් මේ රටේ මිනිසුන් කප් ගසා ඇත. මූණ සෝදන බේසමේත් කිඹුල්ලා දකින ගාණට ඔවුන් බය ය. රට සතුරන් විසින් යටපත් කරනු ලැබේ යැයි බය ය. තමන් සුළු ජාතියක් වෙතැයි බය ය. පුංචි ඉඩක් දුන්නොත් සෙසු ජාතීන් තමන් යටපත් කර ගනිතැයි බය ය. මුළු ලෝකයම අපට විරුද්ධව කුමන්ත්‍රණ කරතැයි බය ය. ඉතින් මේ කතාවට එකග වෙනවා හැරෙන්නට මට කළ හැකි යමක් නැත.

ඒ පමණක් ද සෙසු මිනිසුන් බය කිරීමෙන් ආතල් ගැනීම අතින් ද අපි කප් ගසා ඇත්තෙමු. කුඩා දරුවන්, අපට වඩා බලයෙන් අඩු මිනිසුන්, කාන්තාවන්, අපේ මතයට විරුද්ධ වන්නන් යටපත් කර බිය වද්දා ගැනීමට අපේ රටේ වැඩි දෙනෙක් කැමති ය. මේ මනුස්සයා තමන්ගේ හෘද සාක්ෂිය සමග ගනුදෙනු කරනවාට අමතරව රටේ මිනිසුන්ගේ සැබෑ ස්වරූපය ද මැනවින් වටහා ගත් අයෙකු බවට සැකයක් නැත. ඔහු ගැන මගේ ඇල්ම තව තවත් වැඩිවෙයි. නැවතත් මම ඔහුට සවන් දෙමි.

මං පුංචි කාලෙත් බයෙන් පීඩිතව සිටි ළමයෙක්. වැඩිහිටියෙක් හැටියට මං බොහෝ දෙනෙක්ව බයෙන් මුසපත් කරගෙන හිටපු මිනිහෙක්. ඉතින් බයවීම වගේම, බය කිරීමත් මගේ ජීවිතයට එක වගේම හුරු යි.

දෙවියනේ මම ඔබතුමාව බියගන්වන්න හදනව නෙවෙයි. ඔබ ඇයි මේ සසල වෙලා. ඔබතුමා හොදටම වෙව්ලනව. ගලක් වගේ කිසිදෙයකට සංවේදී නොවූ ඔබ නිකම්ම මැටි පිළිමයකැයි මා සිතුවා. මගේ ජීවිතයට අධ්‍යත්මික පිටුවහලක් ඕන කරන වෙලාවෙ ඔබතුමා මග හැරිය. ඔබතුමා පිළිමයක් වගේ නිසොල්මනේ හිටිය. ඔබ මහා කම්මැලියෙක් ලෙසයි මා දුටුවේ.

පහුගිය දවස්වල අපි සෙල්ලමට වගේ විසිකළ බෝම්බයකින් පමණක් ඔබ සෙලවිය හැකිවනු ඇතැයි මා සිතුවා.

දැන් සසල වීම තේරුමක් නැහැ. සසල වන්නේ නැති කෙනෙකුට මගේ අඳෝනාව කියන්නයි මට ඕන කළේ. කරුණාකර අතීතයේ කළාක් මෙන් නිශ්ශබ්දව මා කියන්නක් අසන්න.“  ඔහු තරවටු ස්වරූපයකින් අවසන්  වදන් වැල පිට කළේ ය.

කට වරද්දා ගැනීම

දෙවියන්ට තරවටු කරන්නට අපේ රටේ මිනිසුන් බිය ය. කට වරද්දා ගත්තොත් තමන්ට කෙළ වෙනවා ය යන විශ්වාසය ඉදිරිපත් ව, ඔවුන් සිය ප්‍රශ්න තමන්ටම සීමා කරගෙන, දෙවියන් ඉදිරියේ කර බා ගන්නෝ ය. මේ මිනිහාට එහෙම බියක් නැත. ඔහු දෙවියන් ප්‍රශ්න කරන්නේ ය. මේ නම් අසාමාන්‍ය මිනිසෙකි. ඒ ගැන සැකයක් නැත.

“මට අඩන්න ඕනෑ…. ඒත් ඒක කරන්න හැටියක් නැහැ…දෙවියනේ හෙලන්න සුසුම් මට නැහැ…ඒ සියල්ල යුද්ධයෙන් තම දූ පුතුන් මියගිය අම්මලා විසින් රැගෙන ගොහින්…

මගේ කඳුලු මට අහිමිව ගිහින්. යුද්දයෙන් මියගිය සෙබළුන්ගෙ අඹුදරුවන් ඒවා සොරාගෙන..

ඒ මිනිසුන්ට වෙලා තියෙන හදිය දැක්කහම, වෙලාවකට, මට මොනව ද වෙලා තියෙන්නෙ කියලත් හිතෙනව. ඒ වුනත් යුද්ධෙට ගිහිල්ල ඒ මැරුණ ගොඩට මාත් අයිති වුනා නම් කියන ආත්මාර්ථකාමී සිතුවිල්ලත් ඒ සමග ම මට එනව. එහෙම නම් මේ මොකවත් නෑ.

ඉතින් දෙයියනේ මම මොකද කරන්නෙ?

ඔහු හිස් බැල්මෙන් දෙවියන් දෙස බලා සිටියේ ය. උත්තර දෙන්නට දෙවි කෙනෙක් සිටියේ නැත. දෙවියන් පමණක් නොව අවට සිටි මිනිසුන් ද කපු මහත්තයා ද ගල් ගැසී බලා සිටියෝ ය. මෙතැන සජීවී මිනිසෙකුට හිටියේ ඔහු පමණ ය. මා ද සිටියේ සෙසු අය තරමට ම ගල් වෙලා ය. නැවතත් ඔහුගේ කට හඩ අවදි විය.

“මම හැමදාම මේ අසාධාරණ ප්‍රශ්නෙට උත්තර බලාපොරොත්තු වුනේ අනුන්ගෙන්. හිතන්න කම්මැලි අනෙක් හැම එකෙක්ම වගේ. අපිට ස්කොලෙ දි ඉගැන්නුවෙ එහෙමයි. හිතන්න නොවෙයි. කවුරු හරි හිතල කියන දෙයක් පාඩම් කරන්න. ආයි විභාගෙට ගිහිල්ල ඒක ම ඒ වචන වලින් ම කියන්න. අපි හැම තිස්සේම පෑනකුත් පොතකුත් අරන් බලන් හිටියෙ වචනයක් වත් අඩු නොවෙන්න ලියා ගන්න. ඇත්තම කියනව නම් පස්සෙ පස්සෙ මට මේ කම්මැලි වැඩේ එපා වුනා. ඒත් ඉතින් මොනව කරන්න ද?“

ඔහු නැවතත් නිහඩ විය. ඊට පසු දිග හුස්මක් හෙලා දේව ප්‍රතිමාව දෙස බලමින් යාදින්න නැවතත් පටන් ගත්තේ ය. එවර ඔහුගේ ස්වරයේ වඩාත් දැඩි තර්ජනාත්මක ස්වරූපයක් දිස් විය. අවසාන සටනට සැරසෙන සෙබළකුගේ මෙන් සූදානමක් ද දක්නට ලැබුනේ ය.

“මං ළගට ආවේ ඇයි කියල ද ඔය අහන්න හදන්නෙ? ඔබතුමාට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නැති බව මං දන්නව. ඒත් මං වෙන කවුරුන් ලගට යන්නද දෙවියනේ!!!“

මහ හඩින් පිට කළ ඒ අවසන් වදනත් සමගම මිනිසා දේව ප්‍රතිමාව ඉදිරියේ සිහිසුන්ව ඇද වැටුණේ ය. මම තරමක් ලංවී අසරණයා කවුරුන්දැයි හදුනාගන්නට තැත් කළෙමි. දුටු දර්ශනයෙන් මම වික්ෂිප්ත වීමි. අන්දමන්ද වීමි. අසරණ වීමි. මට මා විශ්වාස නැත. සැක හැර දැන ගැනීමට මම වඩාත් නැඹුරුව බැලීමි. ඔබ විශ්වාස කරනු ඇත්දැයි මම නොදනිමි.

ඒ වැටී සිටියේ අපගේ ජාතියේ අධ්‍යාත්මයයි. මෙතෙක් නිහඩව සිටි ජාතියේ අධ්‍යාත්මය යි. තමන්ගේ සිත තුළ කැකෑරෙමින් තිබුණු, එහෙත් පිට මිනිසුන් ඉදිරියේ නිරාවරණය කළොත් එයින් ජාතියට අගෞරවයක් වෙතැයි, තමන්ට දෝෂාරෝපන විඳින්නට සිදු වෙතැයි, සිතා සියල්ල හදවතට සීමා කරගත්, එසේ වුව ද තවදුරටත් ඒ තෙරපීම දරා ගනු නොහැකි ව, සියල්ල මේ පිළිමය ඉදිරියේ දිග හැර දැමූ, අපේ ජාතියේ අධ්‍යාත්මය යි.

සියල්ල මොහොතකට නිශ්ශබ්ද විය. එහෙත් ඒ නිහඩ බව පැවතියේ ස්වල්ප මොහොතකට ය. ගල් වී සිටි මිනිසුන්ට හදිසියේ පණ ලැබුනේ ය. උන් ඉන්පසු මේ මිනිසා මතින් අතොරක් නැතිව ගමන් කළේ එහෙම කෙනෙකු නැතැයි බලා සිටින කෙනෙකුට හැඟී යන පරිද්දෙන් ය. එය ජන ගඟක් ම විය. මට වැටී සිටි තැනැත්තා තවදුරටත් පෙනුනේ නැති තරමට සෙනග එන්න එන්න ම වැඩි විය. ඒ සියලු දෙනා කුමක් හෝ වෙනුවෙන් දෙවියන් යදිනු පිණිස දෙවොලට යන අය ය.

ඒ මහා ජන ගඟ අවසන් වුනු පසු අර මිනිසා වැටී සිටි තැන ඔහු තවමත් ඉන්නවා දැයි මම බැලීමි. නැත. එතැන ඔහුගේ සළකුණකුදු ඉතිරිව තිබුනේ නැත. ජාතියේ අධ්‍යාත්මය නැත්තටම නැතිව ගොසිනි.

පසුබිමෙන් ඇහුණේ විභාගය පාස් වන්නට, අහවල් ලෙඩෙන් ගොඩ එන්නට, මාරක අපලයෙන් බේරෙන්නට, අලුත් වාහනයට හෝ නව නිවසට ආශිර්වාදය ලබා ගන්නට, පමණක් නොව තමන්ගේ සතුරාට වින කටින්නට ද දෙවියන්ගේ උදව් ඉල්ලා කරන ඉල්ලීම් ය. උන්ගේ කෑ ගැහිල්ල ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s