සදාචාරයේ – එල්ලීම

36228184_2241804695845912_4496006988479594496_n

පහු ගිය දිනක මූණු පොතේ අමුතු කාටූන් එකක් සංසරණය විය. ඒ ප්‍රසිද්ධ ස්ථානයක මුත්‍රාකරමින් සිටින කෙනෙකු ඊට නුදුරින් ඉන්නා පෙම් යුවලක් පෙන්නමින් සදාචාරය වනසන බවට චෝදනා නගන සිතුවමකින් යුක්ත වූවකි. සිප ගැනිම සදාචාර විරෝධී වන විට ප්‍රසිද්ධ ස්ථානයක් අපවිත්‍ර කිරීමේ අවුලක් ඇත්තේ ම නැත. මෙය අපේ වත්මන් ලාංකිය සමාජය සදාචාරය දකින ආකාරය සවිස්තරව එලි දක්වන කැඩපතකි.

බස් රථයක කිසිදු අනුමැතියකින් තොරව කාන්තාවන්ට හේත්තු වී ඔවුන් ලිංගික හිංසනයට ලක් කිරීම ගැන වගේ වගක් නැති සේ ඉන්නා මගීන්, ඒ බස් රථය තුළම පෙම් යුවලක් එකිනෙකා සමග හුරතල් විම, දකින්නේ මහා අපරාධයක් ලෙස ය. ඒ අපේ සදාචාරයේ හැටිය.

කොල්ලෙකුට හා කෙල්ලෙකුට එක්ව බුදුන් වැඳිය නොහැකි සේ තහංචි පනවා ඇති පන්සල් තිබෙන රටක, එසේ එක්ව පන්සල් පැමිණීම ගැන මහා ආන්දෝලනයක් කරමින් බණ කියන රටක, පන්සලට දන් පූජා කිරීමට පැමිණි උවැසියක, දානය පිළිගන්නට එන ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ බලාහාත්කාරයට ගොදුරු වීම ගැන මුණිවත රකින්නේ, එ් ගැන විවෘතව කතා කිරීම නිසා, සදාචාරය අවුලට පත් වෙතැයි සිතා ගෙන ය.

ගණිකා වෘත්තිය ගැනත්, එහි නියැලෙන කාන්තාවන් දෙසත්, වපර ඇසින් බලන මේ සමාජයට පන්සල් තුළ පුංචි සාමනේරයන්ට සිදු වන අකරතැබ්බයන් තුළින් ඊට සමාන හෝ ඊටත් වැඩි සන්තෑසියක් සිදු වන බව පෙනෙන්නේ නැත.

කාන්තාවකගේ සාය කොට විම මහා අපරාධයක් ලෙස සළකන බොහෝ අයට සංඝයා වහන්සේලා පාරේ නටන ජවුසම් ගැන එහෙමකට යමක් හිතෙන්නේ නැත. ඒ සිවුරු ද උඩ යන බව පෙනෙන්නේ නැත.

මෙහෙම බලා ගෙන ගියහම පෙනෙන්නේ සදාචාරයට අසුවන්නේ ම ලිංගිකත්වයට අදාළ කාරණා බව ය. එයිනුත් ගිහියන්ගේ ලිංගිකත්වයට අදාළ කාරණා බව ය.

සංස්කෘතික පොලීසිය

ඊයේ පෙරේදා දිනක වැවක කණ්ඩියක් මත ඇවිද යන විට අපූරු දැන්විමක් දක්නට ලැබුනේ ය. මේ ස්ථානයේ විනීත ව හැසිරෙන ලෙස එහි සඳහන් විය. ඊට යටින් සටහන් වී තිබුණේ අණපරිදි ප්‍රාදේශීය ඉංජිනේරු කියා ය.

ප්‍රාදේශීය ඉංජිනේරුවාගේ මෙහෙවරට නව වපසරියක් එක් ව තිබේ. ඒ සදාචාරය ද රැකීම ය. ඒ වැව රකින අතරතුර ය. හාමුදුරුවන්ගේ පොලීසියේ සහ මාධ්‍යයේ කටයුත්තක් ව තිබූ විනීත බව රැකීමේ මහා කර්තව්‍යයට තව පිරිස් ද එකතු වෙමින් තිබීමෙන් පෙනෙන්නේ එය බරපතළ ලෙස සමාජය ද රට ද දකින බව ය.

එක් කලෙක සංස්කෘතික පොලීසියක් ඇති කිරීමේ වුවමනාවක් ගැන ද කතා බහ වනු දක්නට ලැබුනේ ය. ඒ පොලීසිය වෙනත් නාමයන්ගෙන් එලි දැක්වෙන බව මේ සිද්ධිවලින් අපට පෙනෙන්නේ ය. ඒ නිසා අලුතින් එවැන්නක් ඇති කිරීමේ අවශ්‍යතාවය නැති වෙමින් තිබෙන්නේ ය.

විනීත වීම නරක නැත. සදාචාරය ද නරක නැත. එහෙත් එය ලිංගිකත්වයට අදාළ දේට පමණක් සීමා විය යුතු ද? එපමණක් නොවේ. විනීත වීම හෝ සදාචාරයේ නාමයෙන් ලිංගිකත්වය මත අප දමන සදාචාර දම්වැල කොතෙක් දුරට යුක්ති යුක්ත ද? එයින් ඇති කරන නිශේධනීය බලපෑම කුමක් ද? අප සදාචාරාත්මක රටක් ගොඩ නැගීම අරමුණු කරනවා නම් මේ ප්‍රශ්න දෙකට අප විසින් නොපමාවම පිළිතුරු සැපයිය යුතු ය.

සාදාචාරය අවුලකට යන්නේ පිරිමි ළමයෙකු, ගැහැණු ළමුන් අඳින, අරුංගලයක් ඇන්දොත් ය. නැතිනම් එලෙස කොණ්ඩය සකස් කර ගත්තොත් ය. අපේ ආදි මුතුන් මිත්තන් කොණ්ඩය වැවු බවවත්, කොණ්ඩය හැඩ කළ බවවත්, නොවිමසාම සදාචාරය එවිට ඉදිරියට එන්නේ ය. ඇවිත් පරපුරකට ම බණින්නේ ය.

කාන්තාවකගේ ලැම දුටු පමණින්, සීගිරි අප්සරාවන් ද අමතක කොට, සදාචාරය ඉදිරියට එන්නේ ය. ඇවිත් බණින්නේ ය. සුද්දා මේ රටට පිවිසෙන විට ද අපේ කාන්තාවන් උඩු කය නිරුවතින් ජීවත් වූ බව අමතක කර, සදාචාරයෙන් දමා ගසා, ලැම දැකීමෙන් කැළඹුනු මනසකින්, සදාචාරය දොරට වඩම්මන්නේ ය.

මේ හැම තැනකම දක්නට ඇත්තේ ලිංගිකත්වය, එහි කුමන ආකාරයකින් හෝ ප්‍රකාශයට පත් වීම, යටපත් කළ යුතුය යන විධානය ය.

ලිංගිකත්වයෙන් එහා හිස් ය

කලකට පෙර අලුගෝසුවෙකු සඳහා වූ පුරප්පාඩුව පුරවනු ලැබී ය. පසුව ඒ පුද්ගලයා රූපවාහිනියට කැඳවා සම්මුඛ පරික්ෂණයක් කරනු ලැබී ය. ඔහු එහි දි කියා සිටියේ තමන් පැමිණියේ මිනිසුන් මැරීමට බවත් එල්ලුම් ගස ක්‍රියාත්මක නොවෙනවා නම් ඒ පුල පුලා බලා සිටි අවස්ථාව නොලැබෙන හෙයින් තමන් මේ රැකියාවේ තවදුරටත් රැඳී සිටිමෙන් පලක් නොවන බව ත් ය.

මේ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූයේ එම තැනැත්තා ගෝනි බිල්ලෙකු සේ වෙස් ගන්වමිනි. ඔහු කවරෙක් දැයි ජනතාව දැන ගන්නවාට අකමැත්ත තිබුණේ ඔහුගේ ද මාධ්‍ය වලට ද යන්න අපි නොදනිමු. එහෙත් මින් එකක් ප්‍රදර්ශනය විය. ඔහුට පමණක් නොව මාධ්‍යවලට ද සදාචාරයක් නැති බව ය. මිනිසුන් මරා දැමීමේ ආසාවෙන් පෙලීමත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර මිනිසුන්ට අපුල දැනවීමත් එක් ආකාරයකින් සදාචාරය කෙළෙසිමකි. අනිත් අතින් එවන් මානසිකත්වයකින් පෙළෙන කෙනෙකු ලවා, ඒ ආසාව ප්‍රසිද්ධියේ පළ කිරිමට, වේදිකාවක් සාදා දීමෙන් මාධ්‍ය කළේ ද සාදාචාරය කෙළෙසීමකි. ඔහුගේ මුහුණට ගෝනියක් දමන්නට ඇත්තේ මේ කරන කටයුත්ත ගැන ලජ්ජාවක් ඉතිරිව තිබූ තුන්වෙනි කෙනෙකු විය හැකි ය.

සිප ගැනීමේ දර්ශන වලට කොටු දමන මාධ්‍යයට මෙවැනි අපුල ගෙන දෙන ප්‍රකාශයක් හිරිකිතයක් නැතිව එලි දැක්විම ප්‍රශ්නයක් නොවේ. ඒ අපේ සදාචාරය ලිංගිකත්වයට කොටු කර ඇති නිසා ය. අපේ සිනමාව පවා වාරණය කරනු ලබන්නේ ම ලිංගික කරුණු අරබයා පමණ ය. සංස්කෘතික ආරක්ෂකයින්ට ප්‍රශ්නය වැඩිහිටි නොදරුවන් ලිංගික දර්ශනයක් නිසා පරල වීමට ඉඩ තිබීම ගැන ය. ඒ ඇරෙන්නට වෙනත් සදාචාරයක් ගැන ඔවුන් දන්නේ නැත.

එක් මුස්ලිම් ජාතිකයෙකුගේ, එහෙමත් නැතිනම් දමිළ ජාතිකයෙකුගේ, වරදකට, කිසිදු සම්බන්ධයක් නැති මුස්ලිම් ජාතිකයින්ගේ එහෙමත් නැතිනම් දමිළ ජාතිකයින්ගේ ජීවිත, ගේ දොර, ව්‍යාපාරික ස්ථාන පුච්චා අලුකර දමන්නේත්, ඔවුන්ගෙන් ගේම ඉල්ලා සිටින්නේත්, ඒ වෛරී ප්‍රකාශනයන් සම්බන්ධයෙන් රටේ වැඩි දෙනෙකුට ප්‍රශ්නයක් නැත්තේත්, එය සදාචාර විරෝධී කටයුත්තක් ලෙස නොසැළකෙන නිසා ය. (ඇතැම් විට එය සිදුකරන්නේ වරදක් පවා නැතිව වරදක් පටවා දමා ය) සදාචාරය අවුලකට යන්නේ ගවුම කොට වීම, සිප ගැනීම, වැනි සිල්ලර දේ සම්බන්ධයෙන්  පමණ ය.

තහංචි වල ඵල-විපාක

දැන් අපි දෙවැනි ප්‍රශ්නය විමසමු. ඒ, ලිංගික කරුණු අරබයා දමන මේ තහංචි විසින් ඇති කරන ඵලවිපාක කවරේ ද යන්න ය.

ලිංගික ආසාව අපේ වර්ගයා බෝ කිරීම සඳහා පරිණාමය විසින් දී ඇති දයාදයකි. ඊට අමතරව දරුවෙකු වැඩි වියට පත් වන තුරු ආරක්ෂාව ලැබිය යුතු නිසා එතෙක් දෙමාපිය සම්බන්ධය දැඩිව පවත්වාගෙන යෑමට ද එය පරිණාමය විසින් අපට උරුම කර දුන් දයාදයකි. ඊට අමතරව ලිංගික එක් වීම මිනිසුන්ගේ ආතතිය පහ කර ගැනීමට ද උදව් වෙන ඖෂධයකි. එය සතුට ජනිත කරන ක්‍රියාවලියකි. සෞඛය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ද අතවශ්‍ය කාරණාවකි. මේ සියල්ල නිසා එය මිනිසාගේ අතිශය ප්‍රාථමික අවශ්‍යතාවයකි.

මේ කරුණු මෙසේ තිබිය දී ලිංගික දේ සම්බන්ධයෙන් අඳුරු කළු රූපයක් මවා තිබෙන්නේ කුමක් නිසා ද?

ඒ බව දන්නේ දෙවියන් සහ දෙවියන්ගේ නියෝජිතයන් පමණකි. එහි මුල් ඇත්තේ ආදම් හා ඒව විසින් තහනම් ගහේ ගෙඩි කෑමේ කතාව තුළ ය. තමන්ගේ නිරුවත් බව අවබෝධ වි ඇඳුම් සොයන්නේ එයින් පසු ය. ලිංගික ප්‍රකාශනය අපරාධයක් කළ මුල තිබෙන්නේ එහි ය. නිරුවත් බව අපරාධයක් කළ මුල් තිබෙන්නේ ද එහි ය. මෙය බටහිර නිර්මාණයක් ය.

කාම සූත්‍රය ප්‍රකාශයට පත් වූ ඉන්දියාවේ කතාව මිට වෙනස් ය. ශිව ලිංගය වන්දනා කරන හින්දුන්ගේ කතාව මිට වෙනස් ය.

බටහිර පට්ට ගසන අපි අපේ උරුමයට පිටුපා බටහිර හර පද්ධතියක් වැළඳ ගන්නා විට උන් හැව හලා අපේ උරුමය උන්ගේ උරුමය කර ගෙන තිබෙන්නේ ය. දැන් ආපහු හැරෙන්නට බැරි තරමට තහනම් ගහේ ගෙඩි කනවා දැයි බලන සේනා පහල වී තිබෙන්නේ ය.

ලිංගික ක්‍රියාව නොපනත් ක්‍රියාවක් වූ විට දරුවෙකු බිහිවන්නේ එයින් බව කියන්නට දෙමාපියනට නුපුළුවන් ය. දැන් තියෙන්නේ සියල්ල හංගන්න ය. කොකෙකු විසින් රෙදි කඩක ඔතා දරුවෙකු ගෙනත් දෙන බවට සුරංගනා කතා තුළ අපේ විලි ලැජ්ජාව සැඟවීමට ය.

හිත සසල කරවන ප්‍රවෘත්ති අසන්නට ලැබෙන්නේ කසාද බැඳ දරුවන් නොලැබූ දෙමාපියන් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයන් වල දී ය. එයින් ඇතැම් කෙනෙකු දරුවන් ලැබෙන්නේ ලිංගික ක්‍රියාවක ප්‍රතිඵලයකින් යැයි  දැන නොසිටි බව කියන්නේ ඔවුන් ප්‍රතිකාර පතා පැමිණි වෛද්‍යවරුන් ය. ඇතැම් තැනක එයින් එක් පාර්ශවයක් මුහුණ දී ඇති අවුල නම් මේ නොපනත් වැඩය සඳහා හිත හදා ගන්නේ කෙසේ ද යන්න ය.

වගකියන්නට කෙනෙක් නැත

අතිශය ස්වභාවික අගය කළ යුතු යමක්, මෙසේ අමන සංස්කෘතික පොලීසියක් විසින්, ජුගුප්සා ජනක දෙයක් බවට පත් කිරීමට නිසා අවුලට පත් තරුණ ජීවිත ගැන වග කියන්නේ කවු ද?

පාලනය නොකරන ලද ලිංගික ක්‍රියා නිසා සමාජ රෝග ඇතිවිමේ මෙන්ම ඒඩ්ස් වැනි සුව කළ නොහැකි ලෙඩ රෝග ඇති වීමේ අවදානම ද තිබේ. එහෙත් ඒ පිළිබඳ ව ළමුන් දැනුවත් නොකර ලිංගික ආස්වාදය ලැබීමේ සමස්ථ කටයුතු ම ලජ්ජා සහගත වැඩ ලෙස හැඳින්වීමේ ප්‍රතිඵලය කුමක් විය හැකි ද?

ස්වයං වින්දනය නිසා ලිංගික බෙලහිනත්වය ඇති වෙතැයි යන පට්ටපල් බොරු සමාජ ගත ව තිබෙන්නේ මේ අතිශය වැදගත් මිනිස් වපසරිය අඳුරු වලාවක ඔතා සැඟවීම තුළ නොවේ ද? සම ලිංගික හෝ සංක්‍රාන්ති ලිංගික හැසිරීම තුළින් ප්‍රදර්ශනය වන වෙනත් ආකාරයක ලිංගික නැඹුරුතා අස්වාභාවික දේ බවට වර්ග කර එම පුද්ගලයන් අර්බුදයකට යවා තිබෙන්නේ මේ සැඟවිම තුළ නොවේ ද?

ලිංගික අධ්‍යාපනය පවා අශ්ශීල දෙයක් කොට සළකන සමාජයක එසේ අධ්‍යාපනය නොලැබ අතරමං වන දරුවන් ගැන වගකියන්නේ කවු ද? විඳීමට ඇති දෙයක් විඳවන දෙයක් බවට පත් කිරිමේ වග කීම බාර ගන්නේ කවුද?

සාදාචාරය ලිංගික ප්‍රකාශනයට ලඝු කිරීම බොහෝවිට සිදු වෙතත් ඇතැම් තැනක එයට ආගම ද එක් වෙන්නේ ය. තවත් තැනක එයට ජාතිය ද එක්වන්නේ ය.

ආගම හා ජාතිය

ආගම සදාචාරයට එන්නේ බුදු හිමියන්ගේ යැයි අනුමාන කළ හැකි රුවක් පච්ච කොටා ගැනීමට එරෙහි ව වීදී බැහීම හරහා ය. එවැනි කටයුතු සදාචාර විරෝධී ලෙස අර්ථ දැක්වීම හරහා ය. නැතිනම් චීවරධාරියෙකු හිරේ දැමීම සහ ජම්පර් ඇන්දවීම අරබයා ය. එය සදාචාර සම්පන්න නැතැයි කීම හරහා ය. ඒත් නැතිනම් කාන්තාවකට දළදා මාලිගාවේ පත්තිරිප්පුවත් සිරිමා බෝ මළුවත් තහනම් කලාපයක් කිරීම හරහා ය. අවසානයට කී දෙය සදාචාර විරෝධී වන්නේ එසේ ඇති කර ගත් හෝ ඇති කර ගනිමින් තිබෙන සම්ප්‍රදායයන් කඩා දැමීම හරහා ය. ඒ වෙනුවෙන් හඩ නැගීම හරහා ය.

මහනුවර කුඩා දරුවන් පෙනහළු ආබාධ වලින් පෙලෙන්නේ වාහන දුම් ආඝ්‍රානය නිසා ය. එයට හේතුව වාහන තදබදය ය. එයට එක් ප්‍රධාන සාධකයක් වන්නේ දළදා මාලිගාව අභියස ඇති, වසර සිය ගණනක් තිස්සේ වාහන ගමනාගමනය කළ පාරක්, යුද්ධයේ දී මාලිගාවට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග, වසා දැමීම නිසා ය. දැන් යුද්ධය අවසන් ය. එහෙත් දළදා මාලිගාවට ගෞරව පිණිස ඒ පාර වසා තැබිය යුතු යැයි මහා සංඝරත්නයේ ඇතැම් පාර්ශවයන් ද ඇතැම් ජනයා ද සිතති. ඒ ගැන කතා කිරීම, ඒ නිසා, සදාචාර විරෝධී ය. එය විවෘත කිරීම සදාචාර විරෝධී වන විට දරුවන් පෙනහළු රෝගයෙන් පෙලීමට ඉඩ දී තිබීම සදාචාර විරෝධී නැත.

ජාතිය, සදාචාරය තුළට එන්නේ බටහිර ඇති සෑම දෙයක් ම සදාචාර විරෝධී ලෙස ප්‍රතික්ෂේප කිරීම හරහා ය. ඒවා මෙරටට ආනයනයට විරුද්ධ වීම හරහා ය. එකක් කොකා කෝලා ය. අනෙක අතරින් පතර ඉරුණු ජීන්ස් ය. ඒ ලයිස්තුව දිග ය. එහෙත් අදහසක් ගන්නට ඒ දෙක ඇති ය. ඒ එක බඩකඩුත්තුවක්වත් ආරක්ෂා කළ යුතු ඒවා නොවේ. ඒවා වෙනුවෙන් පෙනී සිටිය යුතු ද නොවේ. අනිත් පැත්තට ඒ එකක්වත් එහෙමකට විරුද්ධ විය යුතු දේවල් ද නොවේ. කළ යුත්තේ ඒවා නොසළකා හැරීම ය. ගණන් නොගෙන සිටීම ය. එහෙත් කෙරෙන්නේ ඒවා උඩ දමමින් පහර දීම ය. එසේ පහර දීම සදාචාරය ලෙස දැකීම ය. ඒ ප්‍රහාරයන් හරහා ආතල් ගැනීම ය.

අන් කිසිවක් අදාළ නැත

මේ සීමාසහිත ඊනියා සදාචාරය පෙනී සිටින්නේ කප්පරක් තහංචි පැනවීම වෙනුවෙන් ය. එසේ වුව ද මේ සදාචාරයට අනෙකාට ගරු කිරීම අයත් වන්නේ නැත. අනෙකා පරිභවයෙන් යටපත් කර දැමිය හැකි නම් මේ සදාචාරවාදියා එය කරන්නට පැකිලෙන්නේ නැත.

හඩක් නැති මිනිසුන් වෙනුවෙන් හඩක් නැගීම හෝ පෙනී සිටීම, ඊට අයත් නැත. හැකි නම් ඒ මිනිසුන්ගේ කෙඳිරිය ද යටපත් කිරිමට ඔහු කටයුතු කරනු ඇත. ඔහුට සුළු ජාතිකයන් පේන්න බැරි ය. අන්‍ය ආගමිකයන් වහ කදුරු ය.

පාරේ යන විට සෙසු වාහනවලට ද පදිකයන්ට ද ඉඩ දිය යුතුය යන සංවේදිත්වය පවා ඊට අයත් නැත. හැකි නම් අනෙකා කපා ගෙන යෑමට නලාව ද වෙට්ටු ද යොදා ගැනීමට ඔහු කටයුතු කරනු ඇත. තමන්ට ඉඩ දිමට වාහනය අයින් නොකරන කෙනෙකුට කුණුහරුපයෙන් සංග්‍රහ කරන්නේ සෙසු අය තමන්ගේ පාරේ අවසර නැතිව යනවා යැයි හැඟවෙන පරිදි ය.

යහපත් වචන තෙපලීම අයත් නැත. අනෙකා යටපත් කිරීමට අවශ්‍ය වුවහොත් කුණුහරුප පේලියක් ඉදිරිපත් කිරීමට මේ සදාචාරවාදියා සූදානම් ය.

හික්මුණු හැසිරීම ඒ සදාචාරයට අයත් නැත. තර්ජනාංගුලිය ඔහුගේ සංකේතය ය. උස්සා ගත් සරම හෝ සිවුර ඔහුගේ සෙසු මෙවලම් ය. රවා ගත් බැල්ම, ගහන්නට උස්සා ගත් අත, සෙසු උපකරණ ය.

පෝලිමකට ගරු කිරීම සහ තම අවස්ථාව එනතුරු උපේක්ෂාවෙන් පෝලිමක රැඳීම ඔහුගේ සදාචාරයට අයත් නැත. ඔහු හැසිරෙන්නේ පෝලිමක් නැතිවාක් මෙනි. එය ඔහුට අදාළ නැතිවාක් මෙනි.

සහකම්පනය අයත් නැත. ඇහුම් කන් දීම අයත් නැත. අනෙකා තේරුම් ගැනීමක් නැත. අනෙකා සමග පයුරු පාසානයක් නැත. අනෙකා සිටිය යුත්තේ ඔහු කියන විදිහට ය. ඔහු අනුයන විදිහට ය. ඒ ඇරෙන්නට අනෙකා සමග සම්බන්ධයක් නැත.

තමන් මිස අනුන් නැත

තමන් යනෙන තැන පිරිසිදුව තැබීමට වග බලා ගැනීම, මේ සදාචාරයට අයත් නැත. කුණු දැමීමට තැන නොතැනක් ඔහුට නැත. යෝගට් කෝප්ප විසිකරන්නේ ඩෙංගු ඇති වනු පිණිස ය. කුණු පාර්සලය තියන්නේ බල්ලන්ට පහසුවෙන් ඇද පළාතම වැනසීමට හැකි වන ලෙස ය. හිස්වුනු මත් පැන් බෝතල් තිබෙන්නේ ඉවර වුනු තැනක අත හරින්නට ය. අනෙකාගේ ගේ ඉදිරිපස කුණු ගොඩ නොගැසීමට තරම් සංවේදී වීම ඊට අයත් නැත. කුණු ටික තමන්ගේ වපසරියෙන් එහාට තල්ලු කළ හැකි නම් ඒ ඇති ය.

අනෙකාට හිරිහැරයක් නැතිව ජිවත් විම ඒ සදාචාරයට අයත් නැත. පුළුවන් නම් ලවුඩ්ස්පීකර් දමා ගමම දෙවනත් කර රෑ එලි වෙන තෙක් ජනයා අවදි කර තැබීම ඔහුට විනෝදයකි.

තමන්ට තිබෙන අයිතිය අනෙකාට ද තිබිය යුතුය යන එකඟත්වය මේ සදාචාරයට අයත් නැත. තමා අහවල් ජාතියට, ආගමට හෝ කුලයට අයත් නිසා, තමා පිරිමියෙක් නිසා, තමා අහවල් වෘත්තිකයෙකු නිසා, තමාට, තමාගේ දරුවාට, තමාගේ එකාට, වැඩියෙන් උරුමයක් ඇතැයි ඔහු සිතන්නේ ය.

බොරුවෙන් හා වංචාවෙන් වැළකීම ද මේ සදාචාරයට අයත් නැත. අනෙකා සතු දේ කොල්ල කෑමෙන් වැළකීම කොහෙත්ම අයත් නැත. මහජන සම්පත් කොල්ල කෑමෙන් වැළකිම ද අයත් නැත. මහජන දේපල පරිහරණය කරන්නේ තමන්ගේ බූදලය වගේ ය. එය රිසි සේ මංකොල්ල කෑමට ද සිය පිරිවර අතර බෙදා දීමට ද ඔහු දෙවරක් සිතන්නේ නැත.

ඒ සියල්ල තිබිය දී ඔහු සදාචාරය ගැන බණ කියන්නේ ය. සුචරිතය ගැන ලොරි ටෝක් දෙන්නේ ය. තරුණයන්ගේ කනේ කරාබු සොයන්නේ ය. ගවුමේ දිග පළල ගැන මැසිවිලි කියන්නේ ය. සංඝයාට ජම්පර් ඇන්ද වීම ගැන බණ වදින්නේ ය. තරුණියන්ට කලිසම් ඇන්ද වීම සම්බන්ධයෙන් කම්පා වන්නේ ය. තරුණයෙක් හා තරුණියක් අත අල්ලා ගෙන සිටීම ගැනත්, උන් එකිනෙකා හේත්තු වී සිටීම ගැනත්, එකිනෙකා සිප ගැනීම ගැනත්, කම්මුලට අත තබා ගෙන විස්සෝප වන්නේ ය. ඒ අපේ සදාචාරයේ සීමාව ය. ඉම ය. සදාචාරය සම්බන්ධයෙන් අප දන්නා තරම ය. මේ න්‍යායට අනුව සදාචාරය, සදාචාරය සඳහා ය.

සදාචාරය තියෙන්නේ ගවුමේ දිග පළලේ ම නොවේ. ඒ සම්බන්ධයෙන් අප දක්වන ප්‍රතිචාරයේ ය. සදාචාරය තියෙන්නේ සම ලිංගික නොවීමේ නොවේ. අප සමලිංගිකත්වය විෂයෙහි දක්වන ප්‍රතිචාරයේ ය. සදාචාරය ගැන අප නැවත සිතිය යුතු ය. එසේ නොවෙතොත් අප නතර වන්නේ මූලධර්මවාදී ඇෆ්ගනිස්ථානයට නුදුරින් ය. එය ලිබරල් ප්‍රංශයට වඩා නරක ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s