නැවත විමසිය යුතු ආගමික සාහිත්‍ය

701_25062018_FUN_CMY-400x574

කලාකරුවන්ට සාහිත්‍ය විමසීමට බාධාවක් නැත. ඔවුන්ගේ විමසීමට ආගමික සාහිත්‍යය ද ඇතැම් විට හසුවේ. මේ අප දක්වන්නේ කලාකරුවෙකු විසින් කරන ලද එවැනි වෑයමකි. මේ ගී පද සෝමතිලක ජයමහ ගයන අපූරු ගීයක පදමාලාවෙනි. අසන්නට ලැබෙන්නේ ගායනය පමණක් නොව සංගීතය ද ගී පද මාලාව ද සෝමතිලක ජයමහ සූරීන්ගේ බව ය.

මේ ගීතයෙන් අභියෝගයට ලක්වන්නේ බෞද්ධ සාහිත්‍යයේ එන බුදුන් වහන්සේව ය. ලෙහෙසි පහසු කෙනෙකු විසින් අභියෝග කරන්නට නොහිතන බුදුන් වහන්සේව ය.

එම කතාවට අනුව ඊළග දිනයේ සිය හිත ගත් පෙම්වතියේ අත ගැනීමට සිටි නන්ද කුමරු ප්‍රයෝගයක් මගින් සිය සසුනට එකතු කර ගැනීමට බුදුන් වහන්සේ කටයුතු කළ බව කියවේ. ඒ සඳහා නන්ද කුමරුන් දෙව්ලොව කැන්දාගෙන යන බුදුන් වහන්සේ ඒ අතරමග අලුතෙන් දවා හළු කළ හේනක ඉන්නා වැඳිරියක් ද ඔහුට දැක බලාගන්නට සලස්වන්නේ ය.

ඉන්පසු දිව්‍යාංගනාවන් පෙන්වා සිටින බුදුන් වහන්සේ අසන්නේ ජනපද කළ්‍යාණිය මේ දෙවඟනන් සමග සන්සන්දනය කිරීමේ දී පෙනෙන්නේ කෙසේ ද කියා ය.

දිව්‍යාංගනාවන්ගේ රූ සිරියෙන් මත්වන නන්ද කුමරු කියන්නේ මගදී  දා අලු කළ හේනේ සිටි වැඳිරිය වැනි ය කියා ය. මේ ගී පද මාලාවෙන් ප්‍රශ්න කරන්නේ එවැනි සන්සන්දනයක අර්ථ විරහිත භාවය ය. මතුපිටින් පෙනෙන රූපයට වහල් වන්නට පෙම්වතෙකු තුළ ඇති නොකැමැත්ත ය. සම්පූර්ණ චරිතය මිසක රූපය තඹ සතයකට මායිම් නොකළ යුතු බව ය. නන්ද කුමරු තුළ මනුස්සකම සුළුවෙන් වත් ඉතිරිව තිබුණේ නම් ඔහු මෙසේ කියනු ඇති බව ය.

නවදැලි හේනක පෑව වැදිරි රුව

ලෙස උවමින් දෙනුවන් රවටා…

මා පෙම් කල ජනපද කල්‍යාණිට

හිමියනි මට කල නොහැක නිගා…//

 

‍සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි

සිත්ලෙස දෙනුවන් බඳුන් පුරා…//

මා හඳුනන මගෙ හදගත් කලණිය

මට නුදුරුයි සුරඹුනට වඩා

 

නවදැලි හේනක…//

 

මා සිත සුවපත් කරලනු නොහැකිය

සෝ ලතැවුල් දෙයි රැයද දිවා…//

නෙත දුටු සුරගන රූසිරු කුමටද

හද දුටු ජනපද කලණ නිසා…

සාහිත්‍යයේ එන “බුදුන්“

නන්ද කුමරු ස්ත්‍රී රූපයකට වශී කර ගත නොහැකි සැබෑ ප්‍රේමවන්තයෙකු ලෙස උත්කර්ෂයට නංවන සෝමතිලක ජයමහ ඒ අතරම බෞද්ධ සාහිත්‍යයේ එන “බුදුන්ට“ හීන් ටොක්කක් ද අනින්නේ ය. එය බුදුන් වහන්සේට එල්ල කළ දෙයක් ලෙස ගෙන ඊනියා බෞද්ධයින් විසින් කලබැගෑනියක් ඇති නොකළ යුතු ය. මක්නිසා ද යත් එයින් ඉලක්ක කර ගත්තේ එකක් කඩතොලු මකන්නට ගොස් දහයක් කඩතොලු හදා ගත් මේ බෞද්ධ සාහිත්‍ය නිර්මාණය කළ “ඉඳුරුවේ ආචාරියාට“ නිසා ය.

මේ ගීතය අයිති 70 දශකයට ය. ඒ කියන්නේ අප රට අදට වඩා විවෘතව පැවැති වකවානුවකට ය. මාර්ටින් වික්‍රමසිංහ බවතරණය ලියූ අතීතයට ය. අද මෙවැනි ගී පද මාලාවක් ලියුවේ නම් ලියූ එකා ඉවර ය.

මීට සමාන අභියෝගයක් එල්ල කළ තව ගීතයක් තිබේ. එය ද අයිති එම දශකයට ම ය. එය කුඩා දරුවන් මහණ කිරීම පිළිබඳව නැවතත් සිතන්නට අපව යොමු කරවන ගීයකි. ගායනය හා සංගීතය සනත් නන්දසිරිගේ ය. ගේය පද රචනය ප්‍රියානන්ද විජේසුන්දර ගේ ය.

බෝ මළුවේ මල්.. සුවඳක පැටලී..

අම්මා පෙව් කිරි.. සුවඳ ගලා එන්නේ..

සුපුරුදු උණුහුමකට සිත ඈදී..

ගේ දොර සෙල්ලම්.. පිටිය මතක් වන්නේ..

දං බෝවිටියා කැලේ මැදින්..

එන්න හිතයි නුඹ ලඟට සැනින්…

 

එතෙර කරන්නම් සතර වරිගයම

සංසාරේ යන මේ ගමනේ..

චුට්ටක් සෙල්ලම් කරලා එන්නද

පුරුදු යහළුවන් හා සැනිනේ..

එහෙම ගියත් ඒ අය පොඩි සාධු

කියා කියන විට වැඳ වැටිලා..

කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ

වෙල් ඉපනැල්ලේ පැන නටලා…

 

බෝ මළුවේ මල්….

 

භවයෙන් භවයේ පෙරුම් පුරා මම

බවුන් වඩා උපදින වාරේ..

දිනයක මතුදා හතර වරිගයම

එතෙර කරන්නම් සංසාරේ..

ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ

ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා..

කොහොමද අම්මේ එහෙම කරන්නේ

අම්මත්… සසරින්… එතෙර වෙලා…

 

නොදරුවන් මහණ කිරීම

කුඩා දරුවන් මහණ කිරීමට මුල් වන හේතු ගණනාවකි. එකක් දරිද්‍රතාවය ය. අනෙක හතර කේන්දරය පාලු වීම ය. තෙවැන්න අම්මාට හෝ පියාට අපල නිසා වෙන් කර වන ලෙස ජෝතිෂඥයෙකු කර ඇති නිර්දේශය ය. හතර වැන්න මේ ගීතයෙන් කියන කාරණය ය. එනම් හතර වරිගයම සංසාරෙන් එතෙර කරවන්නට ය.

මේ කුමක් නිසා කළ ද මේ නම් අමානුෂික කාරණයකි. දෑවැදි ඉල්ලා වයස හත යම්තම් ඉක්මවූ සිය දරුවා පියා පසු පස යසෝදරා දේවිය යැවූ බව කියන කතාව නිසා දරුවන් මහණ කිරීම පිටුපස තියෙන බරපතල කම අඩුව තිබේ. සිදුහත් කුමරුගේ පුතු එතරම් වයසක දී මහණ කළ හැකි නම් අපේ දරුවෙකු මහණ කළ නොහැක්කේ ඇයි දැයි කියමින් හිත හදා ගන්නට එසේ සසුනට සිය දරුවන් පරිත්‍යාග කරන දෙමාපියන්ට පුළුවන් කම ලැබී තිබේ.

ඒ නිසා ම ගී පද රචකයෙකුට රාහුල කුමරු ගැන ද නිර්මාණාත්මක මැදිහත් වීමක් කළ හැකි ව තිබේ.

 

දෑවැදි ඉල්ලා මා යැවු අම්මේ

කාට තුරුළු වී හුරතල් වෙන්න ද

අම්මාගේ කිරි සුවඳ මතක් වී කඳුලක් එනවා හිතට මගේ

සෙල්ලම් කරනට ආයෙත් එන්න ද

වැලි සෙල්ලම් කළ යාළුවො පේනව

දකිනා හීනෙක අම්මත් ඉන්නව

දෑවැදි නැතුවට කම් නැහැ අම්මේ

පෙරලා එන්න ද අවසර දෙනව ද

කියන්න අම්මේ පමා නොවී

මේ ඔබේම රාහුල පුතු අම්මේ

 

මේ කතාවේ සංකිර්ණත්වය, ඇත්තටම කියන්නේ නම් මෙහි ඇති බරපතල බව, වඩාත් තදින් දැනුණේ මැයි මස 16 දින මව්බිම පුවත් පතේ දුටු ප්‍රවෘත්තියක් නිසා ය. ඒ වසර 4 ක දරුවෙකු මහණ කරන්නට පන්සලට දන් දුන් අම්මා කෙනෙකුගේ කතාවක් නිසා ය. ශීර්ෂ පාඨයේ නම් තිබුනේ හතර කේන්දරය පාලු වූ නිසා බාර දුන් බවක් ය. එහෙත් ඉන්පසු කියවෙන කතාවේ තිබුනේ දරුවෙකු හොයන පන්සලක් ගැන ලද ආරංචිය අනුව අම්මා විසින් දරුවා එම පන්සලට බාර දුන් බවකි. මුළු රාත්‍රිය පුරාම දරුවා අඩමින් පසුවුනු අතර පසුව ලද පැමිණිලි අනුව පොලීසිය විසින් දරුවා සිය බාරයට ගෙන ඇත. එහෙත් පොලීසියේ කාන්තා නිලධාරීන්ට ද දරුවාගේ ඇඩිල්ල නතර කර ගත නොහැකි වී තිබේ. වරින් වර මෙසේ එලිපහලියට එන ප්‍රවෘත්තියකින් මිස මෙසේ පන්සලේ මහණ කරනු ලබන දරුවන්ගේ ඉරණම අපට හරිහැටි දැන ගන්නට ලැබෙන්නේ නැත.

වෙස්සන්තර ආදර්ශය

වෙස්සන්තර ජාතකය ද දරුවන් දන් දෙන්නට සසරින් එගොඩ වෙන්නට හදන දෙමාපියන්ට උල්පන්දම් දෙන සාහිත්‍ය කෘතියකි. දරුවෙකු දෙමාපියන්ගේ දේපලක් යැයි ඒත්තු ගන්වන ඒ නිසා ම දන් දිය හැකි පවරා දිය හැකි සම්පතක් යැයි දෙන ඉඟියක් මේ  කතාව තුළ තිබේ. ඊටත් වඩා බරපතල කාරණය නම් මවගේ අවසරය පවා නොමැතිව පියෙකුගේ තනි තීන්දුවකින් පවරා දිය හැකි දේපළක් ලෙස එයින් ඉඟියක් ලැබීම ය. එවැනි පවරා දීමක් සඳහා දරුවන්ගේ කැමැත්තවත් විමසිය යුතු නොවන බව එයින් කියවේ. එසේ බාර ගනු ලබන්නා විසින් දරුවන් අරභයා කුමක් කරන්නේ දැයි වත් විමසිය යුතු නොවන බව එය ඒ තරමට ම තමන්ට අයිති සම්පතක් බව මෙයින් අර්ථ ගන්වා තිබේ. මේ විමසිල්ලට ලක් කළ යුතු බෞද්ධ සාහිත්‍යය ය.

දරුවන් පමණක් නොවේ බිරින්දෑ ද එවැනි දේපලක් බවට, ඇගේ කැමැත්ත නැතිව රිසි දෙයක් කරගනු පිණිස තවත් කෙනෙකුට පැවරිය හැකි දේපලක් ලෙස, වෙස්සන්තර ජාතකයෙන් ලඝු කොට තිබේ. දරුවන්ට පමණක් නොව ඇයට ද අයත් වන ඉරණම සැළකිය යුතු දෙයක් නොවන බවට ඉඟි කර තිබේ.

ජූජක බමුණා ළය පැලී මැරී ගිය නිසා යම්තම් ජාම බේරුණ නමුත් බැරිවෙලාවත් දිගටම ජීවත් වුනා නම් ඔහුගේ ස්වභාවය ගැන කියන කතා අනුව සිදුවන්නේ දරුවන්ට වහ කන්නට ය. මන්ත්‍රී දේවියට වහ කන්නට ය. අවසානයේ සාහිත්‍ය සම්පාදනය කළ කර්තෘට වහකන්නට ය. මේ තරම් තදින් මේ ගැන කියන්නේ මේ බෞද්ධ සාහිත්‍ය ආගමක් ලෙස පමණක් නොව දේවවාක්‍යයක් ලෙස සළකන පිළිගන්නා මිනිසුන් සිටින නිසා බව නැවත නැවතත් කිව යුතු ය. ඒ මගේ බේරිල්ලට පමණක් නොවේ. සුවහසක් දරුවන්ගේ බේරිල්ලට ය. භාර්යාවන්ගේ නිදහසට ය.

වෙස්සන්තර රජ්ජුරුවන් තම දාන පාරමිතාව අරඹන්නේ රජුට අයිති සුදු ඇතා දන්දීමෙනි. රටවැසියන්ගේ විරුද්ධත්වය හරහා දන් දීමෙනි.

පාලකයා අයිතිකාරයා නොව භාරකාරයා ය

රජ කෙනෙකුට රාජධානියක් පැවරෙන්නේ එහි ඇති සම්පත් භුක්තියට සවි කර ගන්නට හෝ ඒවා තමන් කැමති ඕනෑම අයුරකින් පරිහරණය කිරීමට හෝ නොවේ. වත්මන් යුගයේ රාජ්‍යත්වයට පත් වෙන සාමාන්‍ය මිනිසුන් මෙන්ම වෙස්සන්තර රජු ද හිතුවේ රාජ්‍ය සතු සම්පත් තමන්ට රිසි සේ භාවිතා කළ හැකි බව ය. තමන් එහි තාවකාලික භාරකාරයා පමණක් බව ඔහුට මේ යුගයේ අප රටේ පාලකයන්ට මෙන් ම අමතක විය. අදටත් අපේ පාලකයින් තමන්ට රිසි සේ සිල් රෙදි ඇතුළු තවත් බොහෝ දන් දෙන විට ආදර්ශයට ගන්නේ මේ වෙස්සන්තර විය හැකි ය. කතාවලින් ඇති කරන බලපෑම ඒ තරමට ප්‍රබල විය හැකි ය.

දරුවන් සම්බන්ධයෙන් ද ඔහු ක්‍රියා කළේ ඊට සමාන අන්දමට ය. ඔහු විසින් ජාතක කළේ වුව ද ඔවුන් ද ලෙයින් මසින් සැදුනු මිනිසුන් බව ඔහු නොසළකා හැරියේ ය. තමා ඔවුන්ගේ තාවකාලික භාරකාරයා බව අමතක කර දැමුවේ ය. දරුවන් සම්බන්ධයෙන් තමන්ට යම් අයිතියක් ඇත්නම් ඊට නොදෙවෙනි හෝ ඊට වඩා අයිතියක් ඔවුන්ගේ මවට ඇති බව මුලින් පිළිගෙන මන්ත්‍රී දේවිය එනතුරු තීරණය කල් දැමු ඔහු අවසානයේ එය බුද්ධත්වයට හිලව් කර අමතක කර දැම්මේ ය. මේ ආදර්ශයන්  කිසිවක් යහපත් නැත.

දැන් මා හැරෙන්නේ උම්මග්ග ජාතකයට ය. පණ්ඩිත භවේ අග තැන්පත් මහෞෂධ පණ්ඩිතයන්ගේ වැඩ කිඩ හරහා සමාජයට ගෙනෙන දරුණු පණිවුඩයක් ගැන කියන්නට ය. ඒ මහෞෂධ පණ්ඩිතයන් අමරා දේවිය සිය ඇඹේනිය හැටියට සළකා බැලීම සඳහා ඇයව භාජනය කරනු ලැබුවේ යැයි කියන පරීක්ෂණයක්  නිසා ය. මේ එම ජාතකයේ කතුතුමාගේ ම වචන ය.

ඉක්බිත්තෙන් එක් දවසක් උන් විමසන සේක්. “සොඳුර අමරා දේවිනි, සාල් මනාවක් පමණ ඇරැ ගෙනැ ඉන් මට කැඳැත් බතුත් අවුළුත් පිසව’යි වදාළ සේකැ. අමරා දේවිත්, ‘එක සාල් මනාවෙන් මෙ තෙක් දෑ කෙසේ පිසම් දැ’යි නොකියා, “යහපතැ”යි වදාළ බස ගිවිසැ, ඒ සාල් මනාව පැසැ, මුල් සාලින් බත් ද කඩා සාලින් කැඳ ද සුන් සාලින් කැව්ම් ද පිසැ, ඊට සුදුසු වු අවුළුත් පිසැ මහ බෝසතාණන් වහන්සේට අවුළු සහිත කැඳ දුන්හ. කැඳ කබලක් මුඛයට ගත් පමණෙකින් මැ සියලු රස නහර වැල් පිනා සිටැ ගත්තේ යැ. පණ්ඩිතයන් වහන්සේ උන් විමසන පිණිසැ, “සොදුර,තොප පිසමන් නො දන්නා කලැ කුමක් පිණිසැ මා ගේ සාල් නා පූදැ’යි කියා කෙළ හා සමඟ මුඛයට ගත් කැඳ කබල කාරා බිමට දමා පි සේකැ. අමරා දේවිත් නො කිපි මැ, “කැඳැ යහබත් නොවී නම් කැව්ම් කැවැ මැනවැ,ස්වාමිනි’ කියා කැවුම් අතට දුන් හ. කැවුම් මුඛයෙහි තිබූ පමණෙකින් මැ රස නහර වැල් පිනා ගියේ යැ. එයිත් එසේ මැ කාරා දමා පි සේකැ ඊටත් නො කි පි මැ, “එසේ වී නම් බත් අනුභව කරව’යි කියා බත් අතැ තුබූ හ. එයිත් ආලෝපයක් මුඛයෙහි තබන්නා මැ සිියලු රස නහර වැල් පිනා ගියේ යැ.බෝධි සත්ත්වයන් වහන්සේ , “තොප පිසමන් නො දන්නා කලැ, මා දුක සේ සොයා ගත් දෙය කුමට නැසූ දැ’යි කිපි කෙනෙකුන් මෙන් තුන් වගය මැ එක් කොටැ අඹරා පියා ,අමරා දේවින් ඉසැ පනේ ඇඟ මුළුල්ලෙහි ගල්වා දොර හව්වෙහි ඉන්නට වදාල සේකැ. අමරා දේවිත් ඊට මඳකුත් නො කිපී, “යහපතැ, ස්වාමිනි “ යි දොර හව්වෙහි හුන්නා හ.

මහෞෂධ පණ්ඩිතයන්ගේ පාණ්ඩිත්‍යය

මේ කතාවෙන් සමාජගත කරන පණිවුඩ කීපයකි. පළමුවැන්න සැමියා දෙන නියෝග ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගත යුතු බව ය. ‘එක සාල් මනාවෙන් මෙ තෙක් දෑ කෙසේ පිසම් දැ’යි නොකියා, “යහපතැ”යි වදාළ බස ගිවිසැ‘ යනුවෙන් කියන්නේ ඒ කාරණය ය.

දෙවැන්න කිසිදු පදනමක් නැති ව අමු අමුවේ බොරු කියමින් අපහාස කරන කල වුව මුවින් නොබැණ ඉවසිය යුතු ය යන පණිවුඩය ය. “සොදුර,තොප පිසමන් නො දන්නා කලැ කුමක් පිණිසැ මා ගේ සාල් නා පූදැ’යි කියා කෙළ හා සමඟ මුඛයට ගත් කැඳ කබල කාරා බිමට දමා පි සේකැ. අමරා දේවිත් නො කිපි මැ, “කැඳැ යහබත් නොවී නම් කැව්ම් කැවැ මැනවැ,ස්වාමිනි’ කියා කැවුම් අතට දුන්නා“ යැයි කියන්නේ ඒ සඳහා ය.

තුන්වැන්න තමන් නොකරන ලද වරදකට අසාධාරණ ලෙස හා අමානුෂික ලෙස දඩුවම් දුන්නේ වුව ද එය ද මුවින් නොබැණ ඉවසිය යුතු බව ය. “තුන් වගය මැ එක් කොටැ අඹරා පියා, අමරා දේවින් ඉසැ පනේ ඇඟ මුළුල්ලෙහි ගල්වා දොර හව්වෙහි ඉන්නට වදාල සේකැ. අමරා දේවිත් ඊට මඳකුත් නො කිපී, “යහපතැ, ස්වාමිනි “ යි දොර හව්වෙහි හුන්නා“ යැයි කියන්නේ ඒ සඳහා ය.

අප මේ කියන්නේ කතාංග හැටියට වුව මනසට යන මේ අදහස් පසු කලෙක පවුල් සම්බන්ධතා වලට අවිඥානකව බල පෑ හැකි බව ය. ඒ නිසා ම මේ සාහිත්‍ය විමසිය යුතු බව ය.

බෞද්ධ සාහිත්‍ය හරහා ගත හැකි යහපත් පාඩම් කප්පරක් තිබිය දී මේ කාරණාම මතු කරන්නේ ඇයි ද යන සාධාරණ ප්‍රශ්නය කෙනෙකුට නැගිය හැකි ය. එවැනි සාධනීය බොහෝ දේ මීට ඉහත ලිපිවලදී මා විසින් මතු කර සාකච්ඡා කර ඇතැයි ඊට උත්තර ලෙස කීමට මම කැමැත්තෙමි. ඊට අමතරව මේ කිසිවකින් බෞද්ධ දර්ශනයේ පොහොසත් මතවාදයන් නිශේධ වේ යැයි මම නොසිතමි.

මට අවශ්‍ය ව ඇත්තේ බෞද්ධ සාහිත්‍ය කරුවන් විසින් එක කරුණක් මතු කරන්නට ගොස් තව බොහෝ කරුණු අනාගෙන ඇති වග කියන්නට ය. ඒ නිසා ම අප බෞද්ධ සාහිත්‍ය පරිස්සමින් භාවිතා කළ යුතු බව කියන්නට ය. එය මෙසේ සංවාදයට භාජනය කොට විවරණය කළ යුතු බව කියන්නට ය. බමුණු මත එකතු වීම නිසා කෙළෙසී ඇති සාහිත්‍ය නැවත සංස්කරණය කොට භාවිතා කළ යුතු බව කියන්නට ය. ඒ සඳහා ආරම්භයක් දීමට ය.

බෞද්ධයෙකු නිසා මා කතා කළේ බෞද්ධ සාහිත්‍ය ගැන ය. සෙසු ආගමිකයන් ද තම තමන්ගේ ආගමික සාහිත්‍ය නැවත විමසිය යුතු ය. ඒ, මේ හැම එකක්ම අවසානයේ අපේ ජීවිත වලට බලපාන නිසා ය. හොඳට මෙන්ම නරකට ද බලපාන නිසා ය.

Advertisements

One thought on “නැවත විමසිය යුතු ආගමික සාහිත්‍ය

  1. නිර්භීතව මෙහෙම ලියන්න පුළුවන් එකම ලොකු දෙයක් මේ වගේ කාලෙක. ඇත්තටම කිව්වොත් මේ මගෙත් පෞද්ගලික මතය ඔබ ලියල තියෙන්නෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s